ශ්‍රී ලංකාව යනු දශක ගණනාවක් තිස්සේ ලෝක සිතියමේ සටහන්ව තිබුණේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය හෙවත් සංචාරක පාරාදීසයක් ලෙසිනි. එහෙත්, මෑත කාලීන දත්ත සහ බිහිසුණු හෙළිදරව් කිරීම් පෙන්වා දෙන්නේ එම සුන්දර ප්‍රතිරූපය පිටුපස අඳුරු සෙවණැල්ලක් වර්ධනය වෙමින් පවතින බවය. ගිනිකොනදිග ආසියාවේ මියන්මාරය, කාම්බෝජය සහ ලාඕසය වැනි රටවල් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ බිහිසුණු සයිබර් අපරාධ ජාල, මේ වන විට සිය මෙහෙයුම් මධ්‍යස්ථාන ශ්‍රී ලංකාව වෙත විමධ්‍යගත කරමින් පවතින බවට සාක්ෂි හමුවෙමින් පවතී. අද වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ”ටෙලිකොම් වංචාකරුවන්ගේ” (Telecom Fraudsters) සහ “Pig Butchering” (මූල්‍ය ආයෝජන වංචා) මෙහෙයවන සින්ඩිකේටයන්ගේ රහසිගත තාවකාලික මූලස්ථානයක් බවට පත්වෙමින් තිබේ.
මෙම විමර්ශනය මගින් 2023 සිට 2026 අප්‍රේල් දක්වා කාලයෙහි මෙරට සිදුවූ වැටලීම්, තාක්ෂණික දත්ත සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ ලබාගත් දත්ත පදනම් කරගනිමින්, මෙම ජාල ක්‍රියාත්මක වන ආකාරය සහ ඒවායින් මෙරටට මෙන්ම ගෝලීය ප්‍රජාවට එල්ල වන තර්ජනය විමසා බලයි.
ගෝලීය මර්දනය සහ ශ්‍රී ලංකාව ”පිවිසුම” බවට පත්වීම
චීනය සහ අග්නිදිග ආසියානු රටවල් එක්ව මියන්මාරයේ “KK Park” වැනි අපරාධ කලාප සහ ඩුබායි වැනි ප්‍රදේශවල සිදුකළ දැඩි මර්දනය හේතුවෙන්, මෙම අපරාධකරුවන් ආරක්ෂිත නව කලාප සොයා විහිදී ගොස් ඇත. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට ශ්‍රී ලංකාව පත් වී ඇත්තේ පහත ප්‍රධාන හේතු නිසාය:
රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඕනෑම විදේශීය ආයෝජනයක් හෝ මුදල් ගලා ඒමක් පිළිබඳ පවතින ලිහිල් අවධානය අපරාධකරුවන්ට වාසි සහගත වී ඇත. එමෙන්ම සංචාරක වීසා මත පැමිණ ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට ඇති පහසුව සහ වීසා කාලය ඉක්මවා රැඳී සිටීමට පවතින අවස්ථා, දකුණු ආසියාවේ ඉහළ මට්ටමක පවතින අන්තර්ජාල වේගය සහ සන්නිවේදන පහසුකම් මෙම සයිබර් මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. එමෙන්ම දේශීය අන්තර්ජාල පරිශීලකයන්ගේ නොසැලකිලිමත්කම සහ තාක්ෂණික සාක්ෂරතාව මඳකම ඔවුන් පහසුවෙන් ගොදුරු කර ගැනීමටත්, ඔවුන්ගේ බැංකු ගිණුම් ජාවාරම් සඳහා භාවිත කිරීමටත් මඟ පාදයි.
මෑතකාලීන වැටලීම් සහ හෙළිදරව් වූ තොරතුරු
2024 වසරේ මැද භාගයේ සිට ශ්‍රී ලංකා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකළ වැටලීම් කිහිපයක් හරහා මෙම ජාලයේ පරිමාණය හෙළි කර ගැනීමට හැකි වී තිබේ.
ඒ අතර මහනුවර 2024 වර්ෂයේ දී හන්තාන ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක් සහ නිවාස කිහිපයක් වටලා චීන ජාතිකයන් 126 දෙනකු අත්අඩංගුවට ගන්නා ලදි. එහිදී පරිගණක 200 කට අධික සංඛ්‍යාවක් සහ ජංගම දුරකථන 500 ක් පමණ සොයාගැනිණ. එමෙන්ම පානදුරේ පිහිටි තෙමහල් නිවසක සහ මීගමුවේ සංචාරක නිවාසවල ක්‍රියාත්මක වූ වංචා මධ්‍යස්ථාන වැටලීමේ දී විදේශිකයෝ 200 කට අධික පිරිසක් අත්අඩංගුවට පත් වූහ.
ඒ අතර හලාවත ඉරණවිල වැටලීම (2026 අප්‍රේල් 03) මෑත කාලීන විශාලතම වැටලීම ලෙස මෙය හැඳින්විය හැකිය. හලාවත අඹකඳවිල ඉරණවිල ප්‍රදේශයේ සුපිරි හෝටලයක් කුලියට ගෙන ක්‍රියාත්මක වූ චීන ජාතිකයන් 133 ක්, වියට්නාම් ජාතිකයන් 13 ක් සහ මැලේසියානු ජාතිකයකු ඇතුළු 150 දෙනෙකු මෙහි දී අත්අඩංගුවට ගැනිණ.
මෙම වැටලීම්වල දී පොදු ලක්ෂණයක් වූයේ අත්අඩංගුවට පත් වූවන් සතුව තිබූ “SIM Boxes” ය. මෙය එකවරSIM කාඩ්පත් සිය ගණනක් ක්‍රියාත්මක කරමින් දහස් ගණන් වංචා සහගත ඇමතුම් සහ කෙටි පණිවිඩ යැවීමට භාවිත කරන උපකරණයකි.
ජාත්‍යන්තර ටෙලිකොම් වංචා ජාලයේ ශ්‍රී ලංකා මෙහෙයුම පිළිබඳ විශේෂ විමර්ශනයක්
ක්‍රියාත්මක වන ආකාරය (Modus Operandi)
මෙම අපරාධකරුවෝ ඉතා සංකීර්ණ ස්ථර කිහිපයකින් යුත් ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වෙති. මොවුහු Telegram, Facebook සහ LinkedIn හරහා “Online Marketing” හෝ “Data Entry” රැකියා සඳහා දැන්වීම් පළ කරති. ඉහළ වැටුප් පවසමින් විදේශිකයන් (චීන, තායි, ඉන්දීය) ලංකාවට ගෙන්වා ගෙන ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අත්පත් කරගෙන, වහලුන් මෙන් මෙම “Scam Centers” තුළ රඳවා තබා ගනිමින් වංචා සිදු කිරීමට බල කරයි.
මෙම ජාලයේ ප්‍රධානම ආදායම් මාර්ගය වන “Pig Butchering” සහ ආයෝජන වංචා ද මේ අතර වේ. මෙහිදී වින්දිතයා සමඟ ප්‍රේම සම්බන්ධතාවක් හෝ දැඩි මිත්‍රත්වයක් ඇති කරගෙන, පසුව ව්‍යාජ ආයෝජන වේදිකාවල මුදල් තැන්පත් කිරීමට සැලැස්වීම මෙහි ස්වභාවයයි. මුලින් කුඩා ලාභ ලබාදී පසුව විශාල මුදලක් තැන්පත් කළ විට මුදල් සමඟ අතුරුදන් වීම මොවුන්ගේ උපක්‍රමයයි.
මොවුන් තම අනන්‍යතාව වසන් කිරීමට VPN භාවිත කරන අතර, ලංකාවේ සිටියද IP ලිපිනයන් පෙන්වන්නේ යුරෝපය හෝ ඇමරිකාව ලෙසය. සමාජ මාධ්‍ය ගිණුම් (WhatsApp, Facebook) හැක් කර ඒ හරහා මුදල් වංචා කිරීම ද සිදු කෙරේ. අපගේ විමර්ශනයේ දී හෙළි වූ පරිදි, හැක් කරන ලද WhatsApp ගිණුමකින් ලංකාවේ පෞද්ගලික බැංකු ගිණුමකට මුදල් තැන්පත් කරන ලෙස පවසමින් සිදුකරන වංචා බහුලය. මෙහිදී “Phishing” (ෆිෂින්) ලින්ක් යැවීම ප්‍රධාන මෙවලම ලෙස භාවිත වේ.
වර්ධනය වන තර්ජනය
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම (RTI) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගත් තොරතුරු අනුව පසුගිය වසර තුනක කාලයෙහි අත්අඩංගුවට ගැනීම්වල දැවැන්ත වැඩිවීමක් දක්නට ලැබේ.
එහිදී 2023 වර්ෂයේ සිට 2026 අප්‍රේල් 3 වනදා වනවිට අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පමණක් විදේශිකයන් 412 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී 2023 වර්ෂයේ දී 7ක්, 2024දී 253ක්, 2025දී 2ක් 2026 (අප්‍රේල් 3 දක්වා) දී 292 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
ඒ අනුව එම කාල සීමාවේ දී පමණක් අත්අඩංගුවට ගත් සම්පූර්ණ සංඛ්‍යාව 554කි. (01 රූපය)
මෙම අත්අඩංගුවට ගැනීම් අතර 2024 ඔක්තෝබර් මාසයේ දී අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ යැයි සැක කෙරුණු චීන ජාතිකයන් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මහනුවර කුණ්ඩසාලේ දී අත්අඩංගුවට ගැනීම, 2026 මාර්තු මස 17 වන දින සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැඳී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අනුරාධපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඔවුන් 2026 මාර්තු මස 30 වන දින ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝග මත මෙරටින් පිටුවහල් කිරීම, එමෙන්ම සංචාරක විසා මත මෙරට රැඳී සිටිමින් ඔන්ලයින් ජාවාරම්වල නිරත වූ චීන හා වියට්නාම ජාතිකයන් 17 දෙනකු 2026 මාර්තු මස 24 දින පෝද්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීම හා ඔවුන් සන්තකයේ තිබූ පරිගණක 08ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 84 ක්ද පොලිස් භාරයට ගැනීම, මෙන්ම 2026 අප්‍රේල් මස 03 වන දින හලාවත අඹකඳවිල, ඉරණවිල ප්‍රදේශයේ සුපිරි හෝටලයක් කුලියට ගෙන එහි නැවති අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ බව කියන චින ජාතිකයන් ඇතුළු 150 ක පිරිසක් යුද හමුදා බුද්ධි තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක අපරාධ සම්බන්ධ ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පෙන්වා දිය හැකිය.

මෙම සිදුවීම් 2023 සිට 2026 දක්වා වූ කාලයේ දී සිදුකළ මෙහෙයුම් අතරින් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම වේ, ඒ හැරුණු කොට මේ ආකාරයෙන්ම තවත් ප්‍රදේශ රාශියක දී අන්තර්ජාල වංචා සිදුකරනු ලැබූ විදේශිකයන් අත්අඩංගුවට ගැනීම් ගණනාවක් වාර්තා වේ. ඒ අතර ද විශාල පිරිසක් සිටින්නේ චීන ජාතිකයන්ය.
එමෙන්ම 2023 ජනවාරි 01 සිට 2025 දෙසැම්බර් 31 දක්වා කාලයේ වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටකළ විදේශිකයන් සංඛ්‍යාව 270 ක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම යටතේ ලබාගත් තොරතුරු මගින් වාර්තා වේ. ඊට අමතරව 2026 වර්ෂයේදීද චීන ජාතිකයන් 125ක් ඒ කාරයෙන්ම මෙරටින් පිටුවහල් කර තිබේ. ඒ අනුව චීන ජාතිකයන් 307ක්, තායිලන්ත ජාතිකයන් 43ක්, වියට්නාම් ජාතිකයන් 18, පිලිපීන ජාතිකයන් 08, මියන්මාර් ජාතිකයන් 06ක්, ඉන්දුනීසියා ජාතිකයන් 03ක් ඇතුළු විදේශිකයන් 385 දෙනෙකු 2023 වර්ෂයේ සිට 2026 අප්‍රෙල් 3 දක්වා කාලයේ දී මෙරටින් පිටුවහල් කර තිබේ. (02 රූපය)
මෙම වැටලීම්වලින් තහවුරු වන්නේ චීන සහ නයිජිරියානු ජාතිකයන් මෙම සයිබර් අපරාධ ජාලයන්හි ප්‍රධාන ක්‍රියාකරුවන් බවයි. එමෙන්ම චීන විශේෂ පොලිස් කණ්ඩායමක් ලබාදුන් වාර්තා අනුව මෙම මධ්‍යස්ථාන මියන්මාරයේ හෝ කාම්බෝජයේ ජාත්‍යන්තර අපරාධ ජාලයන් හා සෘජුව සම්බන්ධය.
මීට අමතරව මෑත කාලීනව හම්බන්තොට, මාතර සහ ගාල්ල ඇතුළු දකුණු පළාතෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ තවත් ප්‍රදේශය රැසක මේ වනවිටත් චීන ජාතිකයන් සංචාරකයන් ලෙස රුඳී සිටිමින් මෙරට විවිධ පුද්ගලයන් සමඟ ද එක්වී විවිධ ජාවාරම්, සංචාරක ව්‍යාපාර සිදුකරන බවටද නිරීක්ෂණය වන කරුණකි.
ජාල විශ්ලේෂණය සහ සැඟවුණු සබඳතා
මෙම අපරාධ ජාලය හුදෙක් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ එකතුවක් නොව, ඉතා සංවිධානාත්මක ව්‍යුහයක් වේ. මියන්මාරය හෝ ඩුබායි වැනි රටවල සිටින ප්‍රධාන “මොළකරු” (Mastermind), ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යාජ සමාගම් (Shell Companies) ලියාපදිංචි කර ඒ හරහා ව්‍යාපාරික වීසා (Business Visa) මගින් ක්‍රියාකරුවන් ගෙන්වා ගනිමින් මෙහි ජාත්‍යන්තර ආයතනික ව්‍යුහය සකසා ගෙන තිබේ. එමෙන්ම රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා වූ අධික මාසික කුලියකට පොලිසියට දැනුම් නොදී නිවාස ලබාදෙන දේපළ නියෝජිතයන් සහ ව්‍යාජ තොරතුරුවලට SIM කාඩ්පත් දහස් ගණනින් ලබාදෙන පුද්ගලයන් මෙහි තීරණාත්මක කොටස්කරුවන්ය. ඒ සඳහා භාවිත කරනු ලබන්නේ දේශීය පහසුකම් සපයන්නෝය. වංචා කරන මුදල් බැංකු පද්ධතිය මඟහැර USDT (Stablecoin) වැනි ගුප්ත මුදල් බවට පත් කෙරේ. එතැන් සිට විවිධ ඩිජිටල් පසුම්බි (Layering) හරහා අග්නිදිග ආසියාවේ හෝ බදු පාරාදීස රටවල ගිණුම්වලට බැර කෙරේ.
පවතින අභියෝග සහ නීතිමය හිඩැස්
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් මුහුණ දෙන ප්‍රධානතම බාධාවන් මෙසේය: අපරාධකරුවන් භාවිත කරන සංකීර්ණ දත්ත සංකේතනය කිරීම් (Encryption) හඳුනා ගැනීමට සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට ඇති නොහැකියාව, කැපී පෙනෙන තාක්ෂණික දුබලතාවකි.
එමෙන්ම මෙම ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුව ද ඔවුන්ගේ ”ප්‍රධාන පාලකයන්” විදේශ රටවල සිටීම නිසා ජාලය සම්පූර්ණයෙන් මුලිනුපුටා දැමීම දුෂ්කර කාර්යයක් වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට අමතරව විශේෂිත තාක්ෂණික අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට විශාල කාලයක් ගතවීම නිසා ඇති වී තිබෙන නීතිමය බාධාද, පවතින නීති මගින් අලුතින් මතුවන සයිබර් අපරාධ සියල්ල ආවරණය නොවීම ද ශ්‍රී ලංකාවේ මෙම අපරාධ මුලිනුපුටා දැමීමට මෙහිදී අභියෝගයක් වී තිබේ.
කළ යුත්තේ කුමක් ද?
ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ කේන්ද්‍රස්ථානයක් වීම වැළැක්වීම කෙරෙහි දැඩි නීති රෙගුලාසි මෙන්ම විදේශිකයන්ට නිවාස හෝ මහල් නිවාස කුලියට දීමේදී, එම විදේශිකයන්ගේ වීසා වර්ගය සහ රැකියාව පිළිබඳ තොරතුරු ප්‍රදේශයේ පොලිසියට අනිවාර්යයෙන් වාර්තා කළ යුතු බවට නීතියක් පැනවීම රජයේ අවධානයට ලක්විය යුතුය. එක් පුද්ගලයෙකුට හෝ ආයතනයකට ලබාගත හැකි SIM කාඩ්පත් සංඛ්‍යාව සීමා කිරීම සහSIM Boxes වැනි උපකරණ මෙරටට ගෙන්වීම දැඩි ලෙස පාලනය කිරීම මෙන්ම එසේ ගෙන්වන ලද පුද්ගලයන්ගේ දත්ත රැස්කිරීම අවධානයට ලක්විය යුත්තකි.
විශේෂයෙන් චීන සහ ඉන්දීය ආරක්ෂක අංශ මෙන්ම ඉන්ටර්පෝල් (Interpol) සමඟ එක්ව ඒකාබද්ධ සයිබර් විමර්ශන ඒකක පිහිටුවීම හා සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා සම්බන්ධයෙන් පවතින නීති වත්මන් තාක්ෂණික අවශ්‍යතාවලට ගැලපෙන සේ කඩිනමින් සංශෝධනය කිරීම හා සංචාරක වීසා මත පැමිණ නීති විරෝධී මාර්ග උපදේශක සේවාවල නිරත වන විදේශිකයන් පිළිබඳ නිරීක්ෂණ වැඩි කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම වැනි කාරණා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුත්තකි.
ශ්‍රී ලංකාව මේ වන විටත් ජාත්‍යන්තර සයිබර් අපරාධකරුවන්ගේ ”ඩිජිටල් වැඩබිමක්” (Digital Sweatshop) බවට පත්වීමේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇත. මෙය හුදෙක් මූල්‍ය වංචාවක් පමණක් නොව, රටේ ජාතික ආරක්ෂාවට, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට සහ ජාත්‍යන්තර කීර්තිනාමයට එල්ල වන ප්‍රබල තර්ජනයකි.
බලධාරීන් වහා ක්‍රියාත්මක නොවන්නේ නම් ශ්‍රී ලංකාව මීළඟ ”සයිබර් අපරාධකරුවන්ගේ පාරාදීසය” ලෙස ලෝකය හඳුනාගනු ඇත. සංචාරක පාරාදීසයක් ලෙස තිබූ අපේ මව්බිම අපරාධකරුවන්ගේ තෝතැන්නක් වීමට ඉඩ නොදීම සැමගේ වගකීමකි.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
චීන්නු සයිබර් අපරාධවලට ශ්‍රී ලංකාව තෝරාගන්නේ ඇයි?
ශ්‍රී ලංකාව සතුව මැනවින් සංවර්ධනය වූ විදුලි සංදේශ යටිතල පහසුකම් පවතී. “Pig-butchering” ලෙස හඳුන්වන වංචා (ව්‍යාජ ප්‍රේම සබඳතා හෝ ආයෝජන උපක්‍රම) සහ ක්‍රිප්ටෝ මුදල් වංචා පවත්වාගෙන යාම සඳහා අධිවේගී අන්තර්ජාලය සහ පුළුල් ජංගම දුරකථන සබඳතා අත්‍යවශ්‍ය වේ.
එසේම සංසන්දනාත්මකව ලිහිල් වීසා ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ පැවතීමද හේතුවක් ලෙස දැක්වේ. විශාල කණ්ඩායම්වලට මෙරටට ඇතුළු වීම ඓතිහාසිකව පහසු වූ බව අප දන්නා කරුණකි. මෙම වංචාකරුවන් බොහෝ විට සංචාරක හෝ ව්‍යාපාරික වීසා මත මෙරටට ඇතුළු වී, පසුව වීසා කාලය ඉක්මවා රැඳී සිටිමින් නීති විරෝධී ලෙස කටයුතු කරති.
මෑතක් වන තුරුම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් අපරාධ මර්දන බලකායන්හි ප්‍රධාන අවධානයට ලක් වූ රටක් නොවීම චීන්නු හොරකම් සඳහා ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් කර ගැනීමට හේතුවක් විය. මේ නිසා, මෙකොං (Mekong) කලාපීය රටවල දැඩි ලෙස නිරීක්ෂණය වන දේශ සීමාවලට සාපේක්ෂව, ශ්‍රී ලංකාව පහසු ඉලක්කයක් ලෙස මෙම කල්ලි විසින් සලකනු ලැබීය.
මෙම කණ්ඩායම් ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ ගොදුරු බවට පත් වන්නේ බොහෝ විට ප්‍රධාන චීන භූමියේ (Mainland China) ජීවත්වන චීන ජාතිකයින්ය. විදේශ රටක සිට මෙහෙයුම් සිදු කිරීම මගින් චීන පොලිසියට ඔවුන්ගේ භෞතික පිහිටීම සහ සර්වර් (server) IP ලිපින හඹා යාම අසීරුවෙයි. මේ නිසා මෙය දැක්විය හැක්කේ චීන්නු විසින් ශ්‍රී ලංකාවේ සිට චීනය හොරකම් කිරීමක් ලෙසය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd