
කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනය අංශ අංශාධිපති මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානියා වන මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියෝ මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය ද හොබවති.මෙරට සාහිත්‍ය සමාජයේ ද සම්භාවනාවට පාත්‍රවී සිටින උන්වහන්සේ සම්භාව්‍ය සාහිත්‍යය,ශ්‍රී ලාංකික සංස්කෘතිය, ජන සාහිත්‍යය, බෞද්ධ සාහිත්‍යය සහ සාහිත්‍ය විචාරය පිළිබඳව ද ශාස්ත්‍රීය පතපොත පළකළ ලේඛකයෙක් වෙති. මෑතකදී මෙරට සංඝ සමාජය පිළිබඳ ශෝචනීය පුවත් රැසක් ම වරින්වර අපට අසන්නට දක්නට ලැබිණ. විනයධර, ධර්මධර, ශික්ෂාමී, සුපේශල.භික්ෂුවක් ගොඩනැගීමේ වගකීම පිළිබඳ අගලකඩ සිරිසුමන හිමියන් සමඟ කළ කතාබහකි මේ.
අද තිබෙන්නේ බුදුගෙවල් ගිහිගෙවල් බවට පත් කරගත් විපරීත සමාජයක්.එබඳු සමාජයක ශාසන විරෝධී, විනය විරෝධී ක්‍රියා සිදුවීමෙි සම්භාවිතාව වැඩියි. මෙි සම්බන්ධයෙන් හොඳම උදාහරණය තමයි මෑතකදී කුෂ් - හෑෂ් නමැති මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් විසි දෙදෙනකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වීම. මේ පිළිබඳ ඔබ වහන්සේට මොකද හිතෙන්නේ ?
මධ්‍යම ප්‍රතිපදාව තේමා කරන් අත්ථකිලමතානු යෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය පිළිකෙව් කළ බුදුරජාණන් වහන්සේ භික්ෂුව නිර්මාණය කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරන පරමාදර්ශී චරිතයක් ලෙසයි. ගිහිගෙය හැම විටෙකම සම්බාධා සහිත රාගාදී රජස්ස පිරුණු මාර්ගයක් ලෙසත් පැවිද්දා ඉතා පිරිසුදු චාම් සරල, නිදහස් චරිතයක් ලෙසත් උන්වහන්සේ ගොඩනැගුවා. විශේෂයෙන් පැවිද්ද යනු බ්‍රහ්මචාරී ප්‍රතිපදාවක්. බ්‍රහ්මචාරී වාසය බොහෝ ප්‍රතිඵල ලැබිය හැකි උසස් තත්ත්වයක්. බෞද්ධ ප්‍රජාව කෙතරම් පාරිශුද්ධ චරිතයක් ද යන්න ඉතා මැනැවින් නිරූපණය කරන තැනක් ලෙස මජ්ඣිම නිකායේ රට්ඨපාල සූත්‍රය හඳුන්වා දිය හැකියි. එහිදී දැක් වෙන්නේ භික්ෂූත්වය ගිහි බවට බියෙන් පලා යාමක් නොවන බවත් අවබෝධයෙන් ගොඩනඟා ගන්නා චරිතයක් වන බවත්ය. භික්‍ෂුත්වයේ අරමුණු පිළිබඳව රට්ඨපාල හිමියන් කෝරව්‍ය රජුට මෙසේ පහදා දෙනවා. “මහරජ ලෝකය අස්ථිරයි. ලෝකයේ සියල්ල හැරදමා යා යුතුයි.අතෘප්තිකර ලෝකයේ තෘෂ්ණාවේ දාසයකු ලෙස ජීවත්වීම නොකළ යුතුයි.” එමෙන්ම බුදුහිමියන් භික්ෂූන්ට දේශනා කළේ “මහණෙනි. ඔබලා ආමිස දායාද නොවව්. ධර්ම දායාදවව්” යනුවෙන්. ආමිස දායාද වීමෙන් භික්ෂුව උත්තර මනුෂ්‍ය ධර්ම තබා සාමාන්‍ය ගිහි දහමෙනුත් පහතට ඇද වැටෙන බව බුදු හිමියන්ගේ අදහස වුණා. එබැවින් භික්ෂුව කිසිවිටෙකත් ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ආදියෙන් බැහැර විය යුතුය යන්න දහමේ ඉගැන්වීමයි. මෙම ඉතිහාසය පුරා ලාංකේය වශයෙනුත් ලෝකය පුරා බැලුවත් මෙම පරමාදර්ශය මත භික්ෂූන් ගොඩනැගී ඇති අයුරු අපට දැකිය හැකියි. මඛාදේව සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට කියා සිටියේ “ආනන්දය, මා විසින් ගොඩනැගූ මෙම කලණ වැට සුරකින අන්තිමයා බවට ඔබ පත් විය යුතු” බවයි. මෙම අවවාදය මත පිහිටා ඉතිහාසය පුරා භික්ෂුව තම කාර්යභාරය කෙතරම් මැනවින් ඉටු කළාද යන්න භික්‍ෂුවගේ ඓතිහාසික විකාශනයෙන් දැකිය හැකියි.
භික්ෂු සමාජයේ විසි වසක් යනතුරු විනය නීති පනවන්නට බුදු හිමියන් ක්‍රියා නොකළේ එතෙක් උන්වහන්සේලා වැරදි නොකළ නිසයි. එහෙත් ඉන්පසු ශික්ෂා පැනවීම සිදු කළේ හැම විටකම භික්ෂු ශාසනයට ඇතුළු වූ භික්ෂු ප්‍රතිරූපක විසින් කරන ලද විවිධ වැරදි හේතුවෙන්. භික්‍ෂුවගේ විනය ගොඩනගන ප්‍රාතිමෝක්ෂයේ ශික්ෂා දෙස බැලීමේදී පෙනෙන්නේ කෙතරම් වැරදිකාර භික්ෂූන් බුදුසමයේ තුළම සිටිය ද යන්නයි. මෙහිදී සුදින්න භික්ෂුවගේ කතාව විමසා බලන්නැයි පාඨකයන්ගෙන් ඉල්ලනවා. මේ අනුව ශාසන විරෝධී, විනය විරෝධී ක්‍රියා වර්තමානයට අලුත් දෙයක් නොවන බව ඓතිහාසික විවරණ තුළින් අපට දැකිය හැකියි.කවර කාලයන්හිදීත් විවිධ වැරදි කළ චීවර ගෞරවය කෙලෙසූ භික්ෂූන්. සිටි අයුරුත් අපට දැකිය හැකියි. 1959 දී බණ්ඩාරනායක ඝාතනය සිදු කළේ භික්‍ෂුවක් විසින්. එහි කුමන්ත්‍රණ කවරාකාර ද යන්න නඩු තීන්දු තුළ අන්තර්ගතයි. මේ අනුව ඔබ අසන මෙම ප්‍රශ්නය දෙස අප උපේක්ෂාවෙන් බැලූ විට නූතනයේ මත්කුඩු මෙරටට රැගෙන ආ භික්ෂූන්ගේ විනය විරෝධී ක්‍රියාව අලුත් දෙයක් නෙවෙයි.එහෙත් එවැනි ආකාරයේ සිදුවීමක් අනාවරණය වූ පළමු අවස්ථාව මෙයයි. එබැවින් එය සමාජයේ මහත් ආන්දෝලනයට ලක්වී තිබෙනවා.
ලංකාවේ මෙකී නොකී සියලු මත්ද්‍රව්‍ය තහනම්.කොටින්ම ආයුර්වේදයේ ඔසුවක් වන ත්‍රෛලෝක විජයපත්‍ර පවා ලංකාවේ තහනම් මත්ද්‍රව්‍යයක්.එබඳු පසුබිමක චීවරය පළිහක් කරගෙන මෙලෙස මත්ජාවාරමේ යෙදීම මුළුමහත් ශාසනයටම කළ නිග්‍රහයක් නො වේද?
මෙහිදී සිදුවී තිබෙන්නේ ජාවාරම් කාරයන්ගේ උගුලකට මෙම ස්වාමීන් වහන්සේලා හසු වීමයි. මෙය උගුලක් බව ඉතාම පැහැදිලියි. එහෙත් එයට කිසිම ආකාරයකින් සමාවක් දිය නොහැකියි. මෙම ස්වාමීන් වහන්සේලා වැඩි පිරිසක් විශ්වවිද්‍යාල මට්ටමට උගත් සහ ඉන් ඉහළ තත්ත්වයන් හොබවන උපසම්පන්න භාවයට පත් වූ භික්ෂූන්. භික්ෂුවක් ලෙස අපේ චර්යාවන් සකසාගැනීමේදී විශේෂයෙන්ම දස ධම්ම සූත්‍රය උදේ හවා වනපොත් කරවනවා. එයට අනුව හැම විටෙකම භික්‍ෂුව ගිහියාගෙන් වෙන්වන වෙනස්වන ආකල්ප අතින් සිතුවිලි අතින් චර්යාව අතින් වෙනස් වූ කෙනෙක් යන්න හැම විටෙකම තම චිත්තාභ්‍යාන්තරය දක්වාම දැනෙන දේශනාවක් ලෙස මෙම සූත්‍රයෙහි එන අදහස් ඉගැන්වෙනවා.
එහි අවසානයේ දැක්වෙන්නේ “මහණෙනි, මෙම දස ධර්මයෝ ගිහිගෙය හැර මහණවූවන් විසින්ම එක්වන්ව සැලකිය යුත්තාහ” යනුවෙන්. මේ අනුව පෙනෙන්නේ එකදු කරුණක් හෝ බැහැර කළ නොහැකි බවයි.මේවා පිළිබඳ අවබෝධයෙන් භික්ෂු ජීවිතයක් ගතකරන්නකු කිසිදා ජාවාරම්කාරයකුගේ කුමන්ත්‍රණවලට හසුවිය නොහැකියි. මෙහිදී පැහැදිලි ලෙස පෙනී යන්නේ ජාවාරම්කාර ද්‍රෝහියකු විශාල ලෙස මුදල් පෙන්වා භික්‍ෂූන්ට විදේශ සංචාර සකසාදී ඇති බවයි. ඒ මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබෙනවා. එහෙත් එවැනි බලපෑමක් කරන්නට උපකාර ලීලාවෙන් පැමිණෙන විට ඒ පිළිබඳ විචක්ෂණ භාවයකින් සොයා බැලීමේ හැකියාවක් භික්ෂුව සතු විය යුතුයි.
මෙම භික්ෂූන් වහන්සේලාට එම අවබෝධය තිබුණේ නම් මෙකී අවාසනාවන්ත ඉරණමට පත් නොවන්නට ඉඩ තිබුණා. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය අප දැන සිටිය යුතුයි. බිහිසුණු මරණ දණ්ඩනය දීමට පවා ලංකාවේ නීති සකසා තිබෙනවා. එවන් වටපිටාවක තායිලන්තය වැනි රටක නිදහස් චාරිකාවකට යමකු අනුග්‍රහ දක්වන්නේ නම් ඔවුන්ගේ යටි අරමුණු හඳුනාගැනීමට උන්වහන්සේලාට හැකියාව තිබිය යුතුයි. එසේ නොවීම සැබවින්ම භික්ෂූත්වයේ අරමුණු නිසි ලෙස පසක් කර නොගැනීමේ ඛේදවාචකය වන්නේ යැයි අපට සිතෙනවා. මෙම ඛේදවාචකයට හසුවූ එක් භික්‍ෂුවකගේ විහාරස්ථානයට මම කතා කළා. එහි සිටින ගුරු හිමියන් කියා සිටියේ තම ශිෂ්‍යවරයන් වහන්සේ මුළුමනින්ම තමාගෙන් බැහැර වී ඇති බවයි. විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගනු ලැබූවත් පසුගිය සිංහල අවුරුද්දට පවා විහාරස්ථානයට නොපැමිණි බව එම හිමියන් පැවසූවා. මේ නිසා ගුරු හිමිවරුන්ගෙන් බැහැරවීමත් කුඩා කාලයේදීම භික්‍ෂුව ස්වාධීනව හැසිරෙන්නට යාමත් මෙවැනි ඛේදවාචකයන්ට හේතුවී ඇති බව පෙනෙන්නට තිබෙනවා.
කෝටි 110 ක කුෂ් මත්ද්‍රව්‍ය සමඟ හසුවූ මෙම පිරිස මතට ඇබ්බැහිවූවන් බව ද පොලිසිය කියනවා. මේ මත්ජාවාරමුන්ගේ ගොදුරු බවට පත්වන්නේ අපේ අනාගත පරපුර.මෙය සමාජ ව්‍යසනයක් බවට පත්වෙලා කිව්වොත්?
මෙම ඛේදවාචකයට ගොදුරු වූ භික්ෂූන් අතර වැඩි දෙනෙක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කර තිබෙන බව ඇත්ත. එය සැබවින්ම ඉතාම බිහිසුණු ස්වරෑපයක්. විහාරස්ථානය යනු ගිහි සමාජයෙන් වෙන් වූ, ශාසනික පිළිවෙත් සුරකින, සමාජ සාරධර්ම වපුරන, හැම විටෙකම ගිහි ජනතාවට ධර්මය කියාදෙන, ආගම දහම ප්‍රගුණ කරන, ලැජ්ජා බය සහිතව ජීවත් වන්නට මග කියා දෙන ශ්‍රී ලංකේය සමාජයේ සුවිශේෂ සමාජ කේන්ද්‍රස්ථානයක්. ධර්ම ශාලාව ඉතිහාසය පුරාම මහා තක්සලාවක් වූ අතර ජනතාවගේ නැණ නුවණ සැකසුණු මහා පාසල වූයේ ද එයයි. එහි වසන භික්ෂුව හැම විටෙකම ගිහියාට වඩා ඉදිරියෙන් සිටිමින් ඔවුන්ට අනුශාසනා කරන්නට අවශ්‍ය සෑම සුදුසුකමක්ම සපුරා සිටියා. එවන් වටපිටාවක ඉතා බිහිසුණු මත්ද්‍රව්‍ය භාවිතයට භික්‍ෂුව ද හසු වී ඇතැයි ඇසුණු විට හද දෙදරා යන වේදනාවක් ඇති වෙනවා.මෙය සැදැහැවතුන් තුළද මහත් කම්පනයක් ඇතිවීමට හේතුවක්.
මේ වටපිටාව තුළ ඉතා අපහසුවෙන් සොයා ගෙන දරුවකු පැවිදි කළ විට උන්වහන්සේ විනාශ නොවී ආරක්ෂා කර ගැනීම උදෙසා පැවිදි කරන ආචාර්යවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා.
අප දානමාන දී පෝෂණය කරන අපේ යතිවරයන් වහන්සේලා මෙවැනි අගාධයකට ඇද වැටීම ශ්‍රී ලාංකේය සංස්කෘතියෙහි මහත් අර්බුදකාරී තත්ත්වයක් පෙන්වනවා. කුඩා සාමණේරයන් වහන්සේලා, සරසවි භික්ෂූන් වහන්සේලාට මෙම ඛේදවාචකයට හසු වී ඇති විටෙක ඉන් පහළ පාසල් දරුවන් ළමා පරම්පරාව කවර ආකාරයකින් බේරා ගත හැකිද? මෙහිදී නූතන පාසල් ගුරුවරයා මුහුණ දෙන්නේ ඉතාම බරපතළ අර්බුදයකටයි. රජය මගින් දරුවන් පාලනය කිරීම පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයෙහි එන අණ පනත් තවත් ශක්තිමත් කර ඇති විටෙක පාසල් ගුරුවරයා මත්කුඩු භාවිතයට යොමු වන දරුවකු එයින් නිවැරදි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ ද? පාසල් අසල මංමාවත්හි යම් යම් වෙළෙඳාම් ආදිය කරන ජාවාරම්කාරයන්ද එසේම බස් රථ දුම්රිය පෞද්ගලික අධ්‍යාපන පන්ති ආදී හැම තැනකම අද මෙම ඛේදවාචකය රට පුරා පැතුරුණු මහා ව්‍යසනයක් වී අවසන්. මේවායේ මහා ජාවාරම්කරුවන් විදෙස්ගතව සිටින අයුරු දිනෙන් දින අපට අනාවරණය වෙනවා. ඒවා මෙහෙයවන සහ අලෙවිකරන ශ්‍රී ලාංකේය නියෝජිතයන් විශාල ලෙස අද මෙය පොහොසත් වීමේ ව්‍යාපාරයක් බවට පත්කරගෙන තිබෙනවා.
පන්සල සහ භික්ෂුව යනුද මෙම සමාජයේම නිර්මාණයක් . මා පෙර කීවා සේ නිසි ගුරු ඇසුරක් වැඩිහිටි ආශ්‍රයක් කල්‍යාණ මිත්‍රයෙක් නොමැති වන හැම තැනකදීම භික්ෂුව ද මෙම ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්විය නොහැකියි.
මෙරට සංඝ සමාජය දිනෙන් දින පිරිහීමට ලක් වෙමින් තිබෙනවා.විනයධර භික්ෂුවක් නිර්මාණය කරගැනීමේ ක්‍රියාවලිය මහනායක හිමිවරුන් පවා කරඅරින බවක් පෙනෙනවා නේද?
සඟ සමාජය පිරිහී ඇතැයි කියන කාරණාව මා පෙර සඳහන් කළා සේම සාපේක්ෂයි. ඉතා පරමාදර්ශී භික්ෂූන්ගෙන් පිරුණු සඟ සමාජයක් අපට දැකිය හැකි වන්නේ නැහැ.ඊට හේතුව විවිධ කාලයන්හි විවිධ අරමුණු පදනම් කොටගෙන ශාසනයට ඇතුළු වූ ඇතැම් පිරිස් මෙම ශාසනය අපිරිසුදු කොට විනාශ කරන ස්වභාවයකට පත්වීම. නූතනයේ සංඝ සමාජයේ බරපතළ පිරිහීමක් ඇතැයි යන කාරණාව සමාජගත කරන්නේ හුදෙක් ඉතාම දියුණු තම අවධියකට පත්ව තිබෙන සමාජ මාධ්‍ය විසින්.
පෙර කාලයන්හි භික්ෂූන් විසින් කරන ලද යම් යම් වැරදි සහගත දේවල් ප්‍රචාරය නොවුණු නිසා සංවිධිත භික්ෂු සමාජයක් තිබුණාය යන්න සමාජයේ පොදු පිළිගැනීමයි. සැබවින්ම ශ්‍රී ලාංකේය සංඝ සමාජය ඉතාම සංවිධිතව සකස් වූ සුවිසල් ජාතික ආගමික මෙහෙවරක නිරත වූ ශ්‍රේෂ්ඨ යතිවරයන්ගෙන් පිරුණු සංඝ සමාජයක්.
ඉතිහාසය විමසද්දී රාජ්‍ය සහ ආගම එකට බැඳී තිබුණු ආයතන දෙකක් ලෙස දකින්න පුළුවන්. රජවරුන් සංඝ සමාජය පෝෂණය කිරීමේ කාර්යභාරය ඉටු කළේ, හුදෙක්ම එය රට පාලනයට මහත්සේ පහසුවක් වූ නිසා.ඊට හේතුව සංඝ සමාජය නැතහොත් විහාරස්ථානය ජනතාවගේ යහපාලනය සාරධර්ම සහ යහපත් ගුණධර්ම ගොඩනගන්නට කළ බලපෑම නිසා රජුට රට පාලනයට පහසු වුණා.
පැරුණි යුගවලත් භික්ෂුව පත්ව සිටියේ සමාජයේ මුරදේවතාවාගේ ස්වරපයට. මෑතක් වන තුරුම ගමෙහි නායකත්වය භික්ෂුවට පැවරී තිබුණා. බොහෝ විට ගමේ නඩුකාරයාගේ තනතුර පවා භික්ෂුව විසින් දැරුවා. පවුල් ආරවුල් ඉඩම් ආරවුල් වැනි දෑ ඔවුන් මුලින්ම ගොස් ප්‍රකාශ කර සිටියේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට. උන්වහන්සේ ඊට දෙන සාධාරණ විසඳුම පිළිගන්නට සැදැහැති දායකයන් සැදී පැහැදී සිටියා. බොහෝ විහාරස්ථානවලින් ලොකු හාමුදුරුවන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් රාශියක් වැඩ සිටියා. උන්වහන්සේලා දැනුමෙන් පිරිපුන්.
ඉතිහාසය විමසන විට නොමග ගිය භික්‍ෂූන් නිවැරදි කරගන්නට ලංකාවේ දී ගත් ක්‍රියාමාර්ග කතිකාවත්වලින් අපට දැකිය හැකියි. විහාර කතිකාවත් ශාසන කතිකාවත් යනුවෙන් කතිකා දෙවර්ගයක් අපේ ඉතිහාසය පුරා ලියැවී තිබෙනවා. ඒවායෙන් සිදු වූයේ විහාරස්ථාන පරිපාලනය සහ සංඝයාගේ විනය ගොඩනැංවීමයි. නිදසුනක් ලෙස දඹදෙණි කතිකාවත විමසා බැලූ විට පෙනෙන්නේ තත්කාලීනව ඇතිවූ සමාජ අර්බුද හමුවේ පිරිහුණු භික්ෂුව නැවත ස්ථාපනය කිරීම සඳහා දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු සහ දිඹුලාගල වැඩසිටි මහා යතිවරුන් වහන්සේලා විසින් ගත් ක්‍රියාමාර්ගයි.
නූතනයේ භික්ෂු සමාජය පාලනය වීම සඳහා සෑම නිකායකම නිකාය කතිකාවත් පවතිනවා. ඒවා ඔස්සේ නිකායික භික්ෂුවක් යම් වරදක් කළ විට ඒ සඳහා හික්මවීමේ ක්‍රියාවලිය එහි සඳහන්. එහෙත් එහි ගැටලුව වී පවතින්නේ. කතිකාවත් මගින් නිවැරදි කරන භික්ෂුව ඒවා පිළිගැනීමට යටත් නොවීමයි. එසේම එම කතිකාවත් බලසම්පන්න ව ක්‍රියාවට නැංවීමට නිකාය සංඝ සභා බලසම්පන්න නොවීමයි. මේ නිසා පසුගිය 25 වසක කාලයක් පමණ ලංකාවේ විවිධ සංවිධාන විසින් රජයට යෝජනාවක් ගෙනෙනු ලැබුවා. මෙම නිකාය කතිකාවත් ලියාපදිංචි කොට ඒ සඳහා නීතිමය බලයක් ඇති කර දෙන ලෙස.
බොහෝ විට මේ කතිකාවත් සකස් කිරීම බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තුව මේ සියල්ල මැදිහත් වී ඉටු කළා. විශේෂයෙන් එවකට කථානායකව සිටි කරු ජයසූරිය මැතිතුමා, බුද්ධ ශාසන ඇමතිව සිටි විජයදාස රාජපක්ෂ මැතිතුමා මෙම කතිකාවත් නීතිගත කිරීම සඳහා මහත්සේ වෙහෙසුණු අය. එමෙන්ම මාද සමලේකම් ධුරය දරන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය හරහා විශාල ප්‍රයත්නයක් දැරුවත් අවසානයේ අපට කතිකාවත් ලියාපදිංචි ලේඛන බවට පත්කරගන්නට හැකියාවක් ලැබුණේ නෑ. එම ඛේදවාචකය බොහෝ විට නූතන ගැටලුවලට හේතුවක් ලෙසත් මා දකිනවා. ලංකාවේ මහනාහිමිවරුන් වහන්සේලාට චෝදනා කිරීම පුරුද්දක් බවට පත්කරගෙන තිබුණත් සැබවින්ම එය වැරදි සහගත ක්‍රියාවක්. උන්වහන්සේලාටත් යම් යම් දේ කළ හැකි සීමා පවතිනවා. දඩබ්බරයකු ලෙස හැසිරෙන්නට කිසිදු මහනාහිමියන් වහන්සේ කෙනකුට හැකියාවක් ඇත්තේ නෑ. උන්වහන්සේලා සඟ සමාජය පවිත්‍ර ආයතනයක් ලෙස පවත්වාගෙන යාම සඳහා විශාල උත්සාහයක් කැප කිරීමක් දරන බව අප හොඳින් දන්නවා. එහෙත් පාලනය කළ නොහැකි ඇතැම් කාරණා හේතුවෙන් මෙවැනි අර්බුද උද්ගතවීම අපට නතර කරන්න බෑ. විශේෂයෙන්ම ජුගුප්සාජනක වීඩියෝ සමාජගත කිරීම බහුලව දැකිය හැකියි.මේවා සිදු කරන්නේ දේශීයව සහ ජාත්‍යන්තරව බුදු සමයට එරෙහි කුමන්ත්‍රණකරුවන්. බොහෝ විට කිසිදා පන්සලකට නොගිය නිරාගමිකයන් අද මෙවැනි දෑ සොය සොයා මහා පරිමාණයෙන් සමාජ මාධ්‍ය තුළ මේවා ප්‍රචාරය කර හරින්නට උත්සුක වන අයුරු අපට දකින්න පුළුවන්. ඒ තුළ පවතින්නේ සැබවින්ම අවංක භාවයක් නොවෙයි. මෙම ඓතිහාසික උරුමය වනසාලීමේ වුවමනාවයි. ඒවාට මැදිහත්ව ක්‍රියා කිරීමේ වගකීමක් මහනාහිමිවරුන්ට මෙන්ම ශාසනික බලධරයන්ට ඇති බව අප මෙහිදී අමතක නොකළ යුතුයි.
අනුරපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, මහනුවර, කෝට්ටේ ආදී යුග ගණනක් ලක්දිව සසුන‘ඹර එකලු කළ යතිවරුන් අපමණයි. උන්වහන්සේලා ත්‍රිපිටකය රැකගෙන ආවා පමණක් නොව සංගායනා ද පවත්වා අටුවා ද ලිව්වා. අද මෙන් නොව බැමිණිතියා සාගතය, බුළුකෑ සාගතය වැනි විවිධ සාගතවලට මැදවී උන්වහන්සේලා දුක් විඳිමින් පර්යාප්ති ධර්මය රැක ගත්තා. පරපුරෙන් පරපුරට මේසා සුවිසල් සේවයක් කළ යති ජීවිතය අවප්‍රමාණය කළෝ කවරහු ද?
සම්බුද්ධ ශාසනයේ ජීවමාන ස්වරූපය ආරක්ෂා වී පවතින්නේ අතීත යතිවරයන් වහන්සේලා විසින් ඉටුකරන ලද අප්‍රතිහත මෙහෙවර හේතුවෙන්. විශේෂයෙන්ම ධර්මය කටපාඩමින් පවත්වාගෙන ආ භාණක පරම්පරාවක් ක්‍රිස්තු පූර්ව පළවෙනි සත වර්ෂය දක්වාම භික්ෂු සමාජය තුළ වැඩ සිටියා. වළගම්බා කාලයේදී බැමිණිතියා සාගතයේදී පවා භික්ෂූන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් ධර්මය වියැකෙන්නට නොදී සුරක්ෂා කරන්නට ගත් උත්සාහය ත්‍රිපිටක ග්‍රන්ථාරූඪකරණයෙන් දැකිය හැකියි. ශ්‍රී මහා බෝධිය දළදා වහන්සේ රක ගන්නට භික්ෂූන් වහන්සේලා ගත් වෑයම අපේ වංශකථාවල අන්තර්ගතයි. ධර්මසේන හිමියන්, බුද්ධ පුත්‍ර හිමියන්, විල්ගම්මුල හිමියන්, ශ්‍රී රාහුල හිමියන්,වැත්තෑවේ හිමියන් වැනි මහ යති පරපුර ධර්ම ආඛ්‍යාන සාහිත්‍ය ගොඩනගමින් කළ මෙහෙවර නිසා මේ උතුම් ශාසන ධර්මය විනය ආරක්ෂා වුණා. අභියෝග පැමිණි කල්හි එය රකින්නට ගත් උත්සාහයන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් දැකිය හැකියි. මාර්ටින් වික්‍රමසිංහ අපේ උරුමය හා භික්ෂූන් වහන්සේ නමින්.ලියූ ලිපි පෙළක් පොතක් වශයෙන් මුද්‍රණය වී තිබෙනවා. එහි 19 සහ 20 වැනි සියවසෙහි සම්බුද්ධ ශාසනය සහ ජාතික උරුමයන් ආරක්ෂා කරන්නට කැප වූ විශිෂ්ට සඟ පරපුරක් පිළිබඳ විස්තර ඇතුළත්. හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම මාහිමි, ලුණුපොකුණේ ධම්මානන්ද මාහිමි, විදුරුපොළ පියතිස්ස මාහිමි, පැළෑනේ වජිරඤාණ මාහිමි, වැලිවිටියේ සෝරත මාහිමි,
කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර මාහිමි, කොටහේනේ පඤ්ඤාකිත්ති මාහිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, උඩකැන්දවල සිරි සරණංකර ඇතුළු ශ්‍රේෂ්ඨ භික්ෂු චරිත රාශියක් මෙහි විවරණය වෙනවා.
මේ හැරුණු කල්හි මෑතකාලීනව මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි, ගංගොඩවිල සෝම හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, බෙල්ලන්විල විමලරතන හිමි, වල්පොල රාහුල හිමි, බළන්ගොඩ ආනන්ද මෛත්‍ර්‍යය හිමි වැනි භික්ෂු චරිත රාශියක් ත්‍රිපිටකය ආරක්ෂා කරන්නටත් ජාතිය ආරක්ෂා කරන්නටත් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නටත් කැපවී තිබෙනවා. නූතනයේ ඇතැම් භික්‍ෂූන්ගේ ක්‍රියාකලාප සැබවින්ම. මෙම උතුම් භික්ෂු චරිත මෙහෙවර අවප්‍රමාණ වන්නට කිසිදු බලපෑමක් වන්නේ නැහැ. එහෙත් නූතන භික්ෂුවගේ වගකීම සහ කාර්යභාරය විය යුත්තේ එම අතීත භික්‍ෂූන් විසින් ඉටු කරන ලද කාර්ය සහ මෙහෙවර අපගේ පූර්වාදර්ශ බවට පත්කර ගැනීමයි.
අවසාන වශයෙන් විනයධර, ධර්මධර, ශික්ෂාකාමී, සුපේශල. භික්ෂුවක් ගොඩනැගීමේ කාර්යභාරය, වගකීම පැවරෙන්නේ කාටදැයි පැහැදිලි කළොත්?
ලංකාවේ නූතන භික්ෂු සමාජය මුහුණ දෙන බරපතළ අර්බුදයක් බවට පත් වන්නේ එහි සංයුතිය පිළිබඳ ඇති ගැටලුවයි. එනම් අතීතයේ පනස් දහසකට ආසන්න භික්ෂූන් සංඛ්‍යාවක් වාසය කළ නමුත් අද වන විට එයා අඩක් පමණක්ම අඩුවී 25000ක දක්වා අවප්‍රමාණ වී තිබෙනවා. මෙය සපුරා ගැනීම සඳහා දරුවන් සොයා ගැනීම බරපතළ අර්බුදයක්ව පවතිනවා. පුංචි පවුල රත්තරන් යන සංකල්පය මත ජනගහන වර්ධනය පාලනය කිරීමේ ඛේදවාචකය හේතුවෙන් සහ ලංකාවේ ජීවන බර සහ අධ්‍යාපනික අර්බුදය පදනම් කර ගනිමින් නූතන අඹුසැමියන් දරුවන් බිහිකිරීම මුළුමනින්ම පාලනය කර ඇති බව පෙනෙනවා. එකම දරුවාගෙන් යැපෙන්නට යෑමේ ක්‍රියාවලිය තුළ ශාසනයට දරුවකු ඇතුළත් කිරීමට නොහැකි වී තිබෙනවා. මෙය කිසිදා අපට ජයගත නොහැකි ගැටලුවක්. මේ නිසා නූතනයේ අගනුවර සහ ආසන්න නගර ආශ්‍රිත විහාරස්ථාන යැපෙනුයේ බුරුම බංග්ලාදේශ සහ වියට්නාම් භික්‍ෂූන්ගෙන්. ඒ අනුව සිංහල භික්ෂු වංශය වඳ වී යාමේ ඛේදවාචකයට මුහුණ දී තිබෙන බවත් කිව යුතුයි. මෙය එක අතකින් නිරාගමිකයන්ගේ ජයග්‍රහණයක්. එහෙත් ලංකාවේ සංස්කෘතිය සුරැකීමේ මුරදේවතාවා අභාවයට පත්වෙමින් පවතිනවා. මේ ගැන බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ නැහැ.
මේ වටපිටාව තුළ ඉතා අපහසුවෙන් සොයා ගෙන දරුවකු පැවිදි කළ විට උන්වහන්සේ විනාශ නොවී ආරක්ෂා කර ගැනීම උදෙසා පැවිදි කරන ආචාර්යවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. ඔවුන්ගේ රැකවරණය ඇල්ම බැල්ම බැහැර වූ කල්හි භික්ෂුව නිදහස සොයා ගොස් වැනසෙනවා. එපමණක් නොව දායකයන්ටද ඥාතීන්ටද විශේෂයෙන් ලංකාවේ පිරිවෙන් ආචාර්යවරුන්ට ද පොඩි හාමුදුරුවන් වහන්සේලා රැකගැනීම උදෙසා විශාල වගකීමක් පැවරෙනවා. මේ පිළිබඳව සැබවින්ම සංගායනාවක අවශ්‍යතාව උද්ගතව තිබෙනවා. කුඩා කියා නොසැලකිය යුතු හතර දෙනකු ගැන බුදු හිමියන් දෙසූ තැන පොඩි හාමුදුරුවන් වහන්සේ ද එහි සිටියා. එබැවින් ලංකාවේ ජාතිය ආගම භාෂාව සංස්කෘතිය අධ්‍යාපනය සහ බුදුන්ගේ ත්‍රිපිටක දර්ශනය ආරක්ෂා කර ගැනීමේ පරම වගකීම අදටත් හෙටටත් අනාගතයටත් පැවරෙන්නේ ශ්‍රී ලාංකේය භික්ෂු සමාජයටයි. එය සංවිධිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සමාජයේ සියලු කොටස් සතු වගකීමක්.
සංවාදය
ශෂී ප්‍රභාත් රණසිංහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd