සුජිත් හේවාජුලිගේ
ඔස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ25ක මුදල (රුපියල් කෝටි අසූවක්) වංචනික ලෙස ලබාගත් පරිගණක හැකර්වරුන් විශේෂිත තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ හඳුනාගැනීම සඳහා රජයේ බුද්ධි අංශ ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ සඳහා පරිගණක හැකර්කරුවන් පිළිබඳ තොරතුරු වාර්තා රැසක් පරීක්ෂාවට ලක් කර ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මීට අමතරව මෙම පරිගණක හැකර්කරුවන් හඳුනාගැනීම සඳහා විදේශීය ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවල ද සහාය ගනිමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි. ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශද මේ සඳහා සහාය දෙන බව ශ්‍රී ලංකා රජයට දැනටමත් ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදල අත්පත් කර ගැනීමට පෙර ඉන්දියාවට ගෙවූ ණය මුදලක් ද පරිගණක හැකර්වරුන් වංචනික ලෙස අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ පිළිබඳවද රජයේ බුද්ධි අංශවල අවධානය යොමු වී තිබේ.
ඔස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදලක් පරිගණක හැකර්කරුවන් අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම මහා භාණ්ඩාගාරයේ කණ්ඩායමක්ද පරීක්ෂණ පවත්වමින් සිටී.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව ප්‍රතිව්‍යුහගතකරණය කළ ණයවලින් ඇෙමරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් සයිබර් හැකර්වරුන් වංචනික ලෙස ලබාගෙන ඇතැයි පසුගිය ජනවාරි මාසයේදී තොරතුරු හෙළි කර ගත් බවයි.
හැකර්වරුන් රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ ඊමේල් පද්ධතියට රිංගා ඒ මාර්ගයෙන් මෙම වංචාව කර ඇති බව දැනගත් වහාම මුදල් අමාත්‍යාංශය ආරක්ෂක අංශ දැනුවත් කළ බව ඔහු ප්‍රකාශ කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව විනය පියවර ගෙන ඇතැයි ද ලේකම්වරයා ප්‍රකාශ කළේය.
එසේම සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය මාර්ගයෙන් අදාළ ණය හිමිකරුවන්ද දැනුවත් කළ බවත් අදාළ ණය සම්බන්ධයෙන් විශේෂඥයන්ගේද උපදෙස් අනුව සාකච්ඡා කර සුදුසු පියවර ගන්නා බවත් සූරියප්පෙරුම පැවසීය.
සිද්ධිය වෙනත් ක්‍රමයකින් ප්‍රසිද්ධියට පත්වන තෙක් ප්‍රසිද්ධ නොකළේ වංචාකරුවන් වෙනත් පියවර ගැනීම වැළැක්වීමට සහ රහස්‍ය භාවය රැකගැනීමට බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd