මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.

කොටස් වෙළෙඳෙපාළ ආයෝජනයේ දී ප්‍රාථමික වෙළෙඳපොළ මෙන්ම ද්විතියික වෙළෙඳපොළ ආයෝජනය ගැනද ආයෝජකයන් අවධානය යොමුකළ යුතු වැදගත් කරුණු පිළිබඳව ‘‘කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර”‍ අපගේ පසුගිය ලිපි මාලාවෙන් උත්සාහ කළෙමු. මෙම ලිපිය හරහාද අප බලාපොරොත්තු වන්නේ ආයෝජකයන් විසින් තම අවධානය යොමු කළ යුතු තවත් එවැනි වැදගත් කරුණු කිහිපයක් ගැන අවබෝධය ලබා දීමයි. 

 හරිත බැඳුම්කර සහ නිල් බැඳුම්කර 

අපගේ පෙර ලිපියෙන් කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගත ණයකර පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් ලබා දුන් අතර, එහිදී ණයකර යනු කුමක්ද විවිධ ණයකර වර්ග ගැන අවධානය යොමු කළෙමු. එහිදී අප සඳහන් කළ ණයකරවලට අමතරව කොළඹ කොටස් හුවමාරුව විසින් මෑතකදී විශේෂිත බැඳුම්කර වර්ගයක් වන හරිත බැඳුම්කර වෙළෙඳාමටද පහසුකම් සපයයි. හරිත බැඳුම්කර යනු නව්‍ය මූල්‍ය උපකරණ වන අතර, එහිදී ලැබෙන ආදායම දේශගුණික හෝ වෙනත් පාරිසරික ප්‍රතිලාභ ජනනය කරන හරිත ව්‍යාපෘතිවල පමණක් ආයෝජනය කරනු ලැබේ. උදාහරණයක් ලෙස පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය, තිරසාර ඉඩම් භාවිතය (වන වගාව සහ කෘෂිකර්මාන්තය), ජෛව විවිධත්වය, පිරිසුදු ප්‍රවාහනය සහ පිරිසුදු ජලය. හරිත බැඳුම්කර ගනුදෙනු සහ පියවීම කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කරන සාම්ප්‍රදායික ණයකරවලට සමාන වේ.

එමෙන්ම කොළඹ කොටස් හුවමාරුව (CSE)  නිල් බැඳුම්කර ගනුදෙනුවලටද පහසුකම් සපයයි. ස්ථාවර ආදායම් උපකරණ, දිගුකාලීන තිරසාර ප්‍රතිලාභ සහිත සමුද්‍ර, සාගර පාදක සහ ජලය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මූල්‍යකරණය කිරීම සඳහා පමණක් සහාය වන මුලපිරීම් කෙරෙහි නිල් බැඳුම්කර අවධානය යොමු කරයි. විශේෂයෙන්ම පරිසර හිතකාමී ආයෝජනවලට කැමැත්තක් දක්වන ආයෝජකයන්ට මෙවැනි ණයකරවල ආයෝජනය වඩාත් සුදුසුය. 

 ඒකක භාර ආයෝජනය 

විවිධාංගීකරණය වූ ආයෝජන කළඹක ආයෝජනය කිරීමට පහසුකම් සපයන ආයෝජන මාර්ගයක් ලෙස ඒකක භාර ආයෝජනය හෙවත් CIS (Collective Investment Scheme)  හැඳින්විය හැකිය. ඒකක භාර ආයෝජන සේවා සපයන අරමුදල් කළමනාකරණ සමාගම් 16ක්ද වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ. ඉන් සමාගම් කිහිපයක් නිකුත් කර ඇති ආවෘතාන්ත අරමුදල් කිහිපයක්ද කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගත කර ඇති අතර, ආයෝජකයන්ට අවශ්‍ය නම් ඒකක භාර අරමුදල් කළමනාකරණ සමාගම් වෙත සෘජුව සම්බන්ධ නොවී කොටස් තැරව්කාර ආයතන හරහා එම අරමුදල්වල ආයෝජනයට යොමු විය හැකිය. මෙම අරමුදල්වලට අමතරව කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගත සමාගම්වල ආයෝජනය කෙරෙන හිමිකම් අරමුදල් රාශියක් විවිධ කළමනාකරණ සමාගම් විසින් හඳුන්වා දී ඇත. 

මෙවැනි ඒකක භාර අරමුදල්වල ආයෝජනය කිරීමේ ප්‍රධාන වාසිය වන්නේ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට විශාල වශයෙන් මුදල් නොමැති සහ වෙළෙඳපොළ පිළිබඳව අවධානයෙන් සිටීමට කාලය වැය කිරීමට නොහැකි ආයෝජකයන්ට කොටස් වෙළෙඳපොළ ආයෝජනයට සම්බන්ධවීමට අවස්ථාවක් ලැබීමයි. මෙම ඒකක භාර කළමනාකරණ සමාගම්වලද කොටස් තැරැව්කාර ආයතනවල මෙන් ආයෝජකයන්ට උපදෙස් ලබාදීමට බලපත්‍රලාභී උපදේශකවරුන් සිටින අතර, ඔවුන්ගේ සහයෝගයද ඇතිව විවිධාගීකරණය වූ ඒකක භාර ආයෝජන අරමුදල්වල ආයෝජනය කිරීමට අවස්ථාව ලැබීම මෙම ආයෝජනයේ ඇති මූලික විශේෂත්වයකි. මෙම ඒකක භාර කළමනාකාරණ සමාගම්ද ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ බලපත්‍ර ලාභී ආයතන විශේෂයකි. 

 කොටස් මිල දර්ශක 

ආයෝජකයකුට තම ආයෝජන තීරණ නිවැරදිව ගැනීමට කොටස් මිල දර්ශකවලින් නිසි මගපෙන්වීමක් සිදු කරනු ලබයි. කොටස් මිල දර්ශක යනු කොටස් වෙළෙඳපොළේ සමස්ත ක්‍රියාකාරිත්වය නිරූපණය කරන වැදගත් මිනුම් උපකරණයකි. එමඟින් වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන්නේ ඉහළ යාමක්ද පහළ යාමක්ද යන්න පැහැදිලිව හඳුනා ගත හැකි අතර, ආයෝජකයන්ට තම ආයෝජනවල කාර්යසාධනය, සමස්ත වෙළෙඳපොළ සමග සසඳා බැලීමටද හැකියාව ලැබේ. 

තවද, ආර්ථිකයේ වර්තමාන තත්වය සහ අනාගත අපේක්ෂා පිළිබඳ වැදගත් ඉඟි මෙම දර්ශක මගින් ලබා දෙන බැවින්, කොටස් මිලදී ගැනීම හෝ විකිණීම වැනි ආයෝජන තීරණ ගන්නා විට ඒවා මාර්ගෝපදේශයක් ලෙස භාවිත කළ හැක. එබැවින්, කොටස් මිල දර්ශක ආයෝජකයන්ටත් ආර්ථික විශ්ලේෂකයන්ටත් අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස සැලකේ. 

 සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) 

සියලු‍ කොටස් මිල දර්ශකය  (ASPI)  යනු කොළඹ කොටස් හුවමාරුවේ ගෝලීය කර්මාන්ත වර්ගීකරණ  (GICS)  ව්‍යාපාර කාණ්ඩ 20 යටතේ ලයිස්තුගත සියලු‍ම සමාගම්වල කොටස් මිල ගණන්වල වෙනස්වීම පුළුල්ව නිරුපණය වන වෙළෙඳපොළ මිල දර්ශකය වන අතර, එය සමස්ත වෙළෙඳපොළෙහි වෙනස්වීම් ගණනය කිරීම සඳහා නිර්මාණය කර ඇත. මෙම සියලු‍ කොටස් මිල දර්ශකය පාවෙන-ගළපන ලද වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය (හෝ නිදහස්-පාවෙන වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය) අනුව ගණනය කරනු ලබයි. එයින් අදහස් වන්නේ වෙළෙඳපොළ තුළ ගනුදෙනු සඳහා සක්‍රීයව ලබා ගත හැකි කොටස් පමණක් භාවිත කරමින් ගණනය කරන මිල දර්ශකයක් වීමයි. එමගින් වෙළෙඳපොළ පිළිබඳව යථාර්ථවාදී අදහසක් ලබා ගත හැකිය. විශාල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් විසින් දර්ශකයේ වටිනාකමට පුළුල් බලපෑමක් ඇති කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ කාර්යසාධනය මනිනු ලබන ප්‍රධාන නිර්ණායකය ලෙස සියලු‍ කොටස් මිල දර්ශකය ආයෝජකයන් අතර වැඩි වශයෙන් භාවිත වන මිල දර්ශකයයි. 

 S&P SL20  මිල දර්ශකය 

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE)  කාර්යසාධනය මැනීමට භාවිත කරන ප්‍රධාන දර්ශක අතරS&P SL20  දර්ශකයද විශේෂ ස්ථානයක් ගන්නා දර්ශකයකි. මෙය ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ ඉහළම කාර්යසාධනය දක්වන සමාගම් නිරූපණය කරන දර්ශකයක් ලෙස සැලකේ.

S&P SL20  දර්ශකය තුළ ඇතුළත් වන්නේ, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත සමාගම් අතරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඉහළ, කොටස් ගනුදෙනු වැඩි වශයෙන් සිදුවන (Liquidity) සහ මූල්‍ය ස්ථායීතාව අතින් ඉහළ සමාගම් 20ක් පමණි. මෙම දර්ශකයට යොදා ගන්නා සමාගම් පාවෙන ගලපන ලද (Float Adjusted) වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මගින් බර තැබීම සිදු කර තෝරාගෙන ඇත. මෙම දර්ශකය, සම්මත හා ජාත්‍යන්තර පිළිගත් S&P (Standard & Poor’s)  ආයතනයේ ප්‍රමිතීන්ට අනුව සකස් කරයි. 

මෙම දර්ශකයේද ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ තත්වය පිළිබඳ නිවැරදි හා විශ්වාසදායක චිත්‍රයක් ආයෝජකයන්ට ලබා දීමයි. විශේෂයෙන්ම දේශීය ආයෝජකයන්ට අමතරව විදේශීය ආයෝජකයන් සඳහාද මෙය වැදගත් මාර්ගෝපදේශයක් ලෙස භාවිත වේ.

S&P SL20  දර්ශකය, සියලු‍ කොටස් මිල දර්ශකය සමඟ සැසඳූ විට ඇති වෙනස හඳුනා ගැනීමද වැදගත්ය. ASPI දර්ශකය ගණනය කිරීමේදී කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත සියලු‍ම සමාගම් ඇතුළත් කරන අතර, S&P SL20  දර්ශකයට ඇතුළත් වන්නේ තෝරාගත් ඉහළම සමාගම් 20ක් පමණි. 

එබැවින් S&P SL20  දර්ශකය වෙළෙඳපොළේ ප්‍රධාන ප්‍රවණතා ඉක්මනින් හඳුනා ගැනීමට පහසු දර්ශකයක් ලෙස සැලකේ. එපමණක් නොව, ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ දිශානතිය, ආයෝජක විශ්වාසය සහ ආර්ථික ප්‍රවණතා අවබෝධ කරගැනීමට S&P SL20 දර්ශකය වැදගත් භූමිකාවක් ඉටු කරන බව වෙළෙඳපොළ විශේෂඥයෝ පෙන්වා දෙති.

 මුළු ප්‍රතිලාභ දර්ශක සහ  ආංශික මිල දර්ශක 

මෙම ප්‍රධාන මිල දර්ශක දෙකට අමතරව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් ගණනය කරනු ලබන තවත් මිල දර්ශක වර්ග දෙකක් වන්නේ මුළු ප්‍රතිලාභ දර්ශක සහ ආංශික මිල දර්ශකයි. මුළු ප්‍රතිලාභ දර්ශක යනු ඉහත විස්තර කළ ප්‍රධාන මිල දර්ශකවලට සමාගම් විසින් ගෙවනු ලබන ලාභාංශද ගළපා සකස් කරන මිල දර්ශකයි. 

ආංශික මිල දර්ශක යනු වර්තමානයේදී ලයිස්තුගත සමාගම් වර්ගීකරණය කර ඇති ව්‍යාපාර ක්ෂේත්‍ර 20 අනුව වෙන වෙනම ගණනය කරනු ලබන කොටස් මිල දර්ශක 20යි. මෙම අංශික කොටස් මිල දර්ශකවල කාර්යසාධනය අනුව විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවල තත්වය ගැන අවබෝධයක් ආයෝජකයාට ලබාගත හැකි අතර, දැනුවත් ආයෝජන තීරණ ගැනීමට එය ඉතා වැදගත් වේ. 

 අන්තර්ජාලය පහසුකම හරහා ගනුදෙනු කිරීම (internet Trading) 

අන්තර්ජාල ගනුදෙනු පහසුකම් භාවිත කිරීමට කැමති ආයෝජකයන්ට ඒ සඳහා තම කොටස් තැරැව්කාර ආයතනයෙන් ඉල්ලීමක් කර පහසුකම ලබා ගත හැකිය. අන්තර්ජාල ගනුදෙනු ලෙස හඳුන් වන්නේ ආයෝජකයාට තනිව තීරණ ගෙන විකුණුම් හා ගැනුම් ඇණවුම් ඇතුළත් කරමින් කොටස් වෙළෙඳ ගනුදෙනු කළ හැකි ක්‍රමයකි. වෙළෙඳපොළ දත්ත, සමාගම් තොරතුරු සහ අනෙකුත් වැදගත් තොරතුරු ආයෝජකයන්ටම අධ්‍යයනය කරමින් තම ආයෝජන තීරණ තමා විසින්ම ගෙන කොටස් ගැනුම් හා විකුණුම් ඇණවුම් තමා විසින්ම සිදු කිරීමේදී ආයෝජනයේදී සිදුවිය හැකි අතරමැදි ගැටළුද බෙහෙවින් අඩු වේ. 

එපමණක් නොව, ආයෝජන උපදේශකවරයා නොමැතිව, වෙළෙඳ පද්ධතියට සෘජුව ප්‍රවේශ වීමේ හැකියාව සහ වෙළෙඳපොළ තොරතුරු වෙත පැය 24 පුරාම ප්‍රවේශය ලැබීමෙන් අන්තර්ජාල ගනුදෙනු සිදුකරන ආයෝජකයකුට පහසුව සහ කාලය ඉතිරි වේ. අන්තර්ජාල ගනුදෙනුවලට ප්‍රවේශවන ආයෝජකයාට, ඔහුගේ හෝ ඇයගේ මූල්‍ය වත්කම් කෙරෙහි තීරණ ගැනීමේ බලය සුරක්ෂිත කරන අතර කොටස් වෙළෙඳපොළේ ස්වාධීනව ගනුදෙනු කිරීමට විශ්වාසයක්ද ඇති කරයි. 

 කොටස් ගනුදෙනුවක් සම්බන්ධව  ගැටලු‍වක් මතු වූ විට එය විසඳා ගන්නෙ කොහොමද? 

කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී කිසියම් ආයෝජකයකුට ලියාපදිංචි ආයෝජන උපදේශකවරයෙකු සමග ගනුදෙනු කිරීමට සිදු වේ. කොටස් ගිණුමක් විවෘත කර ගැනීමේ සිට කොටස් මිලදී ගැනීම, කොටස් විකිණීම ඇතුළු කාර්යයන් කිරීමට ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකුගේ සහයෝගය ලබා ගත යුතුය. දැනට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙන් බලපත්‍ර ලබාගෙන ඇති ලියාපදිංචි ආයෝජන උපදේශකවරුන් කවුරුන්ද යන්න පුළුල් විස්තරයක් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා වෙබ් අඩවිය වන www.sec.gov.lk හරහා ලබා ගත හැකිය.

 ආයෝජකයන් සමග කටයුතු කරන මෙවැනි ලියාපදිංචි ආයෝජන උපදේශකයන් පිළිබඳවද ආයෝජකයන්ට මනා අවබෝධයක් තිබිය යුතුය. ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද යන්න තේරුම්ගත යුතුය. යම් අවස්ථාවක ආයෝජකයා විසින් ලබාදුන් ඇණවුමක් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, ඇණවුමක් වැරදි සහගත ලෙස ඉදිරිපත් කර තිබීම වැනි ගැටලු‍ ආයෝජකයකුට කොටස් ගනුදෙනුවලදි මුහුණ දීමට සිදුවන අතපසුවීම්වලින් කිහිපයකි. විශේෂයෙන්ම කොටස් තැරැව්කාර සමාගම විසින් බැඳීම් කඩ කිරීමක් සම්බන්ධයෙන් ආයෝජකයකුට ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට අවස්ථාවක් ඇත. එවැනි පැමිණිල්ලක් ඇති ඕනෑම ආයෝජකයෙකු, පළමු අවස්ථාවේ දීම කළ යුත්තේ, මතභේදාත්මක ගනුදෙනුව/ගනුදෙනු සිදු වූ දින සිට දින තිහක (30) කාලයක් ඇතුළත ලිඛිතව එම පැමිණිල්ල කොටස් තැරැව්කාර සමාගමේ අනුකූලතා නිලධාරියා වෙත යොමු කළ යුතුය.

 කොටස් තැරැව්කාර ආයතනය විසින් ලබාදෙන තීරණයට ආයෝජකයා  එකඟ නොවන අවස්ථාවක 

අනුකූලතා නිලධාරියාගේ තීරණය පිළිබඳව ආයෝජකයා සෑහීමකට පත් නොවන්නේ නම්, ඔහු/ඇය පැමිණිල්ල කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරියා විසින් පත් කරන ලද කොළඹ කොටස් හුවමාරුවේ විශේෂ කමිටුවකට යොමු කරන අතර එහිදී කාරණය විසඳා නොමැති නම්, නිරවුල් නොකිරීමේ සහතිකය නිකුත් කිරීමෙන් දින දහහතරක් (14) ඇතුළත පැමිණිල්ල ආරවුල් විසඳීමේ මණ්ඩලයට යොමු කරන ලෙස ඔහු/ඇය කොළඹ කොටස් හුවමාරුව වෙතින් ලිඛිතව ඉල්ලා සිටිය යුතුය. මීට අමතරව යම් කිසි ආයෝජකයකුට අවශ්‍ය නම් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවටද මතු වූ ගැටලු‍ව සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. 

ද්විතියීක වෙළෙඳපොළ ආයෝජනය ගැන විස්තර කරනු ලබන තවත් ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.