ලවංගා මාධවී දෑරංගල, ඉමේෂි මන්දිරා ජයරත්න
 
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකළ 2024 ජන හා නිවාස සංගණනය පිළිබඳ අවසන් වාර්තාවට අනුව මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 41.8 ක් කිසි දිනක විවාහ නොවූවන් බව පෙන්වා දෙයි.
 
2012 වසරේ දී පැවැත් වූ ජන හා නිවාස සංගණනයට අනුව මෙම අගය පැවැතියේ සියයට 30 ක් ලෙසය. ඒ අනුව 2024 වසර වන විට එම අගය සියයට 11.8 කින් වැඩි වී ඇත.
 
එමෙන්ම 2024 වසර වන විට පළමු විවාහය සඳහා වන අවම වයස පුරුෂයන් සඳහා වසර 29.2 දක්වාත් කාන්තාවන් සඳහා වසර 25.6 දක්වාත් ඉහළ ගොස් ඇති බව අදාල වාර්තාව පෙන්වා දෙයි. මෙම අගය 2012 වසරේදී පැවතියේ පුරුෂයන් සඳහා වසර 27.2ක් ලෙසත් කාන්තාවන් සඳහා වසර 23.4 ක් ලෙසත්‍් ය.
 
මේ අතර ශ්‍රී ලංකාවේ මුළු සාඵල්‍යතා අනුපාතය හෙවත් එක් කාන්තාවකගේ ප්‍රජනක කාලය තුළ සිදුවන සාමාන්‍ය ජීවිතයේ දරු උපත් සංඛ්‍යාව 1.3 ක් ලෙස වාර්තා වන අතර මුළු විවාහක සාඵල්‍යතා අනුපාතය 2.7 ක් බව මෙම 2024 වාර්තාව කියයි.
 
2012 වර්ෂයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම සහ සාක්ෂරතාවය 2024 වන විට කැපීපෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇති අතර විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සඳහා කාන්තා සහභාගිත්වය ඉහළ ගොස් ඇත.
 
මෙලෙස ශ්‍රී ලංකාවේ අධ්‍යාපන මට්ටම සහ සාක්ෂරතාවය ඉහළ යාම හේතුවෙන් විවාහ වීම සඳහා වන අවම වයස ඉහළ යාම සිදුවන බවත් ඒ හේතුවෙන් සාඵල්‍යතාව අඩුවන බවත් උපකල්පනය කළ හැකිය.
 
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මඟින් 2024 අප්‍රේල් මස 10 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ලද 2024 ජන හා නිවාස සංගණනය පිළිබඳ වන අවසන් වාර්තාවේ තොරතුරු සම්බන්ධව මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනේදී මේ දත්ත ඉදිරිපත් කරන ලදී.