පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ

ඉන්ධන මිල ගණන් වැඩි කරනු ලැබීමත් සමගම අපේක්ෂා කළ පරිදි මුලින්ම ප්‍රවාහන ගාස්තු සංශෝධනය විය. ඉදිරියේ දී තවත් භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යනු ඇත. එය මහ පොළොවේ යථාර්ථය යි. 2022 ආර්ථික අර්බුදයත් සමග ඉතා විශාල අගයකින් ඉන්ධන මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් ද සැලකිය යුතු අගයකින් ඉහළ ගිය බව අපට මතක ය. මෙරට ආර්ථිකයෙහි දැකිය හැකි මූලික ලක්ෂණයක් නම් ඉන්ධන මිල ගණන් වැඩි වෙද්දී සෙසු ඒවායෙහි මිල ගණන් කවර අගයකින් වැඩි වුව ද තෙල් මිල ගණන් අඩු වූ පසු ඊට සාපේක්ෂව මිල ගණන් අඩු නොවීම ය. අවිධිමත් ආර්ථික කටයුතු හා වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයත් මේ තත්ත්වයට හේතු වේ. මේ සියලු කාරණා සම්බන්ධයෙන් මහාචාර්ය වසන්ත අතුකෝරළ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියක් මෙසේ ය.

ඇමෙරිකාව හා ඊශ්‍රායලය එක්වී ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය හේතුවෙන් මේ වෙනවිට ලෝකයේ දැඩි අවිනිශ්චිතභාවයක් උද්ගතව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස භාණ්ඩ හා සේවාවල මිල ගණන් ද ඉහළ යමින් තිබේ. එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම අඩාළ වීමක් ද නිරීක්ෂණය කළ හැකි ය. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හෝ ඒ ආශ්‍රිතව නිර්මාණය වන අවිනිශ්චිතතා නිසා ලෝක තෙල් සැපයුමෙන් සියයට 20 ක ප්‍රමාණයකට අහිතකර ප්‍රතිවිපාක ඇති කර තිබේ. දිනකට බොර තෙල් බැරල් මිලියන විස්සක ප්‍රමාණයක් ප්‍රවාහනයට විශාල බාධා මතුව ඇත.

2026 ආනයන බිල ඩොලර් 1-2 අගයකින් වැඩි වෙන ලකුණු

බොර තෙල් මිල ගණන් වැඩිවීමත් සමග නෞකා ප්‍රවාහන ගාස්තු මේ වෙද්දී සියයට දෙසීයකින් පමණ ඉහළ ගොස් ඇත. එසේම රක්ෂණ ගාස්තුවල ද වැඩිවීමක් දැකිය හැකි ය. මේ සියලු දේවල් මගින් ලංකාවේ ආර්ථිකයේ විවිධ අංශ කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි ය. ඒ බලපෑම් විශ්ලේෂණය කිරීමේ දී අනාගතයේ දී අපේ ආනයන වියදම සැලකිය යුතු අගයකින් ඉහළ යෑමට පිළිවන. එහිදී ඉන්ධන හා ආහාර ද්‍රව්‍ය ආනයන වියදම් විශේෂ ය. මෙම වසරේ පෙබරවාරි 27 වැනි දින වෙනවිට තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 66.8 ක් ලෙස ය. මාර්තු 22 හා 23 වෙද්දී එම අගය ඩොලර් 98.2 දක්වාත් වැඩි විය. මේ වෙද්දී එම මිලෙහි යම් පහළ යෑමක් දැකිය හැකි ය. ඛනිජ තෙල් ප්‍රවාහනය අඩපණ වීම හා නැව් ගාස්තු ඉහළ යෑම සිදුව ඇති හෙයින් බොර තෙල් බැරලයක මිල සුළු ප්‍රමාණයකින් පහළ ගිය ද එය ඵලදායක නොවේ. 

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් සියයට 47 කින් පමණ ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව මේ වෙද්දී ඉන්ධන මිල ගණන් සියයට 36 න් පමණ වැඩිකර තිබේ. ඉන්ධන මිල වැඩිවීම ආර්ථිකයේ සෑම අංශයකටම බලපෑම් ඇති කරයි. ඒ අනුව පසුගියදා ප්‍රවාහන වියදම් ඉහළ නංවන ලදි. ආනයන වියදම සඳහා මේ වසරේ දී අමතරව ඩොලර් බිලියන එකත් දෙකත් අතර මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. මේ යුද්ධය හේතුවෙන් අපේ අපනයන කඩා වැටීමට ද පිළිවන. මගේ පුරෝකථනය අනුව මේ වසරේ දී අපනයන ආදායම් සියයට 10-15 අතර ප්‍රතිශතයකින් පහළ යා හැකි ය. විනිමය අනුපාතය මේ වෙද්දිත් අවප්‍රමාණය වෙමින් තිබෙන අතර වසරාවසානයේ දී සියයට 10-15 අතර ප්‍රමාණයකින් රුපියල අවප්‍රමාණය වීමට පිළිවන. එයින් තවදුරටත් ආනයනික භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිවීමට ඉහළ තෙරපුමක් ඇති කරනු ලබයි.

ගල්ෆ් කලාපයෙන් ලැබෙන ඩොලර් බිලියන 3.5 ක විදේශ ප්‍රේෂණවලට බලපෑම්

සංචාරක කර්මාන්තයට ද මේ යුද්ධයෙන් අහිතකර ප්‍රතිවිපාක ජනනය කළ හැකි අතර ඒ අනුව මේ වසර ඇතුළත සංචාරක පැමිණීම් සියයට 20 -30  අතර ප්‍රමාණයකින් පහළ වැටීමට ඉඩ ඇත. එයින් අහිමි විය හැකි ආදායම ඩොලර් බිලියනයක් පමණ වේ. ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ද තිබේ. ප්‍රමාණවත් ඉන්ධන තොග රටට නොලැබීම සහ ඇතැම් අය ඉන්ධන තොග විශාල වශයෙන් රැස්කිරීම යනාදී තත්ත්වයන් ඊට හේතු විය හැකි ය. මෙම යුද්ධය නිසා විදේශ ප්‍රේෂණ ලැබීම්වලට ද අයහපත් බලපෑම් එල්ල වීමට පුළුවන. වැඩිම විදේශ ප්‍රේෂණ ලැබෙන්නේ ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකින් වන අතර එම අගය ඩොලර් බිලියන 3.5 ක් පමණ වේ. එම මුදල්වල යම් ප්‍රමාණයක අඩුවීමක් 2026 වසර ඇතුළත අපේක්ෂා කළ හැකි ය. මේවාට අමතරව විදේශ ආයෝජන රටට අහිමි වීම, ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් විදුලිය ජලය යන සේවා සැපයුම අඩාළ වීම වැනි තත්ත්ව ද උද්ගත විය හැකි ය.

තෙල් මිල වැඩිකිරීම ප්‍රමාණවත් නෑ

මෙම යුද්ධය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන බැරෑරුම් ප්‍රශ්නය වන්නේ ඉන්ධන සැපයුම යි. රජය ඉකුත්දා ඉන්ධන මිල ගණන් ඉහළ දැමුව ද ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වලට අදාළව සිදු වන වෙනස්කම් දෙස සාපේක්ෂව බැලීමේ දී එම මිල වැඩිකිරීම ප්‍රමාණවත් නැති බව මගේ අදහස යි. මෙවැනි වාතාවරණයක් හමුවේ මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැත. ඕනෑම රජයකට කළ හැක්කේ මෙවැනි තත්ත්ව උපක්‍රමශීලීව කළමනාකරණය කිරීම පමණි. ඒ සඳහා ආර්ථික විද්‍යාත්මක ක්‍රම කිහිපයක් තිබේ. පළමු ක්‍රමය නම්, වෙළෙඳපොළ මිල ගණන් ඉහළ දමමින් පාලනය කිරීම ය. එය විය යුත්තේ ලෝක වෙළෙඳපොළේ මිල ගණන් වෙනස් වීමට සමගාමීවය. ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල, ප්‍රවාහන ගාස්තු සහ නැව් රක්ෂණ ගාස්තු ඉහළ ගිය ප්‍රතිශත සමග සැසඳීමේ දී මෙරට වෙළෙඳපොළේ පෙට්‍රල් හා ඩීසල් ඉන්ධන ලීටරයක මිල රුපියල් 133 න් පමණ ඉහළ යා යුතු බව මගේ ගණන් හැදීමයි. එහෙත් රජය ඊට වඩා අඩු මුදලකින් ඉන්ධන මිල වැඩි කළේ ය. එපරිදි රජයට පාඩුවක් දරාගනිමින් ඉන්ධන අලෙවි කිරීමෙන් ඉතිරි වන පාඩුව දැරීමට සිදු වන්නේ ද ජනතාවටයි. එසේම මේ අවස්ථාවේ ඉන්ධන සහනාධාර දිය යුතු නැත. වෙළෙඳපොළ බලවේගවලට මිල තීරණය කිරීමට ඉඩ හරිමින් සාධාරණව ක්‍රියාත්මක වීම වැදගත් වේ. දෙවැනි ක්‍රමය යටතේ ඉන්ධන කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි ය. රජය මේ වෙද්දිත් QR ක්‍රමවේදය ඔස්සේ එය ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ යටතේ වාහනවලට ලබාගත හැකි ඉන්ධන ප්‍රමාණ සීමා කර තිබුණ ද එහි යම් යම් ගැටලු ඇති බව හඳුනාගත හැකි ය. 

මෙම යුද්ධය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන බැරෑරුම් ප්‍රශ්නය වන්නේ ඉන්ධන සැපයුම යි. රජය ඉකුත්දා ඉන්ධන මිල ගණන් ඉහළ දැමුව ද ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වලට අදාළව සිදු වන වෙනස්කම් දෙස සාපේක්ෂව බැලීමේ දී එම මිල වැඩිකිරීම ප්‍රමාණවත් නැති බව මගේ අදහස යි.

වෙළෙඳපොළ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හා භාණ්ඩ මිල අඩු නොවීම

තුන්වැනි ක්‍රමය යටතේ ඉන්ධන අලෙවියේ දී නියමිත ප්‍රමාණයට වඩා ලබාගැනීමට අවශ්‍ය අයගෙන් අමතර මුදලක් අය කිරීමට රජයට පිළිවන. මෙම කළමනාකරණ විධි ක්‍රියාත්මක කරමින් රජයට මේ අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කරගත හැකි ය. එසේ වුවත් මේ යුද්ධය හා ඒ හේතුවෙන් උද්ගතව ඇති අවිනිශ්චිතතාව අපගේ පාලනයෙන් තොර දෙයකි. භාණ්ඩ හා සේවාවන්හි මිල ඉහළ යෑම සඳහා ප්‍රධාන හේතුවක් වන්නේ ඉන්ධන මිල වැඩිවීමයි. මෑත ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ගණන් වැඩි කරන ලද්දේ 2022 වසරේ ජුනි 26 වැනිදා ය. එහිදී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 550 දක්වා ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 470 දක්වා ද ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 460 දක්වාත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 520 දක්වාත් වැඩි විය. ඒසා විශාල අගයකින් ඉන්ධන මිල ඉහළ යෑමත් සමග විදුලි හා ජල ගාස්තු, ප්‍රවාහන ගාස්තු, ආහාර මිල ගණන් මේ ආදී සෑම දෙයකම මිල වැඩි විය. ඒ සියල්ලෙහි ප්‍රතිඵලයක් වශයෙන් උද්ධමනය ද කැපීපෙනෙන ලෙස ඉහළ ගියේ ය. එහෙත් පසුව එසේ ඉහළ ගිය මිල ගණන් ක්‍රමයෙන් අඩු විය. නිදසුනක් ලෙස 2026 මාර්තු මස පළමු වැනිදා වෙනවිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල සටහන් වූයේ රුපියල් 340 ක් වශයෙනි. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පැවතියේ රුපියල් 293 ක් හැටියට ය. ඉහත ගෙනහැර දැක් වූ 2022 වසරේ ජුනි මස පැවති ඉන්ධන මිල ගණන් සමග මෙම මිල ගණන් සැසඳීමේ දී මිල මට්ටම් අඩු වී ඇති බව පැහැදිලි ය. මේ ආකාරයට ඉන්ධන මිල ගණන් අඩු වුවද 2022 ඉන්ධන මිල ගණන් වැඩි වෙද්දී ඊට සාපේක්ෂව ඉහළ ගිය භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු වූයේ නැත.

පාරිභෝගික කටයුතු අධිකාරියේ වගකීම

මේ තත්ත්වය ආර්ථික විද්‍යාත්මකව සලකා බැලීමේ දී ඒ සඳහා රජයකට කළ හැකි මැදිහත්වීම අවම බව කිව යුතු ය. එනම්, ඉන්ධන මිල අඩු වෙනවිට ඊට සාපේක්ෂව ඒ ඒ භාණ්ඩ හා සේවාවල මිල ගණන් අඩු විය යුතු බවට සෑම අංශයකටම මැදිහත් විය නොහැකි බව ය. බොහෝ රටවල මෙය හසුරුවනු ලබන්නේ වෙළෙඳපොළ බලවේග විසිනි. එනම්, ඉල්ලුම හා සැපයුම නමැති බලවේග දෙක ය. මෙරට ආර්ථිකයෙහි සැලකිය යුතු ප්‍රමාණයක අවිධිමත් ආර්ථික කටයුතු සිදු වේ. මේ අවිධිමත් ආර්ථික කටයුතු ඇතැම් අවස්ථාවල බලවත් වේ. හේතුව, ඒවායෙහි නිරත අය සතුව යහමින් මුදල් ගැවසීමත් ඔවුන් විසින් භාණ්ඩ මිලදී ගෙන ඒවා ඉහළ  මිල ගණන්වලට අලෙවි කරනු ලැබීමත් ය. එම ක්‍රියාකාරිත්වය නිසා ඉල්ලුම-සැපයුම බලවේග අනුව ඉහළ ගිය මිල ගණන් පහළ යන්නේ නැත.

මිල ඉහළ යෑම නිසා ආයෝජකයෝ ඔවුන්ගේ අමතර මුදල් ආයෝජනය කරමින් භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කරති. එබැවින් ඔවුන්ට ස්ථාවර වියදමක් දැරීමට සිදු වේ. එවැනි සන්දර්භයක ඉන්ධන මිල ගණන් යළි පහළ ගිය ද ක්ෂණිකව භාණ්ඩ මිල අඩු කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නැත. මෙපරිදි ඉන්ධන මිල වැඩිවීමත් සමග සියලු භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වුව ද තෙල් මිල අඩු වෙනවිට ඊට සාපේක්ෂව භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු වෙන්නේ නැත. මෙය ලංකාවට පමණක් පොදු තත්ත්වයක් නොවන අතර වෙළෙඳපොළ ආර්ථිකය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන ඕනෑම රටක දැකිය හැකි ය.

මෙවැනි අවස්ථාවල ඇතැම් ව්‍යාපාරිකයන් විසින් ඔවුන්ගේ ලාභ උපරිම කර ගැනීම සඳහා අනීතික අයුරින් භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩිකරනු ලැබීමට ඉඩ ඇත. ඒවා පාලනය කිරීම පිණිස පාරිභෝගික කටයුතු අධිකාරියට විශාල වගකීමක් පැවරේ. විශේෂයෙන් ළඟ එන උත්සව සමයේ දී පාරිභෝගිකයන්ට අසාධාරණයක් වන්නේ ද යන්න ගැන එම අධිකාරිය සෙවිල්ලෙන් පසුවිය යුතු ය.

උපුල් වික්‍රමසිංහ