බොහෝ දෙනා මුඛ සෞඛ්‍යය පිළිබඳ සිතීමේ දී අවධානය යොමු කරන්නේ දත් ගැන පමණකි. නමුත් නිරෝගී මුඛයක සැබෑ පදනම වන්නේ විදුරුමසයි. ශක්තිමත් විදුරුමසක් නොමැතිව දත්වල පැවැත්ම හෝ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගත නොහැක. නවීන දන්ත වෛද්‍ය පහසුකම් පැවතුණත්, ශ්‍රී ලංකාවේ විදුරුමස් රෝග තවමත් බහුලව දක්නට ලැබෙන්නේ ඒ පිළිබඳ පවතින නොදැනුවත්කමිනි.

නිරෝගී විදුරුමසක් යනු දත් මුල් සහ ඒවා රඳවා තබා ගන්නා අස්ථි පද්ධතිය බැක්ටීරියාවලින් ආරක්ෂා කරන පවුරකි. දත්වල මැලියම් (Plaque) තැන්පත් වීම හේතුවෙන් විදුරුමස් ඉදිමීම ඇති වේ. මුල් අවධියේ දී මෙය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි වුවත්, නොසැළකිල්ල හේතුවෙන් විදුරුමස් දියවීම, දත් බුරුල් වීම සහ අවසානයේ දත් හැලී යාම පවා සිදු විය හැක.

විදුරුමස්වල නිරෝගීභාවය ශරීරයේ පොදු සෞඛ්‍යය සමඟ සමීපව බැඳී පවතී. විදුරුමස් රෝග දියවැඩියාව සහ හෘද රෝග අතර දැඩි සබඳතාවක් ඇති බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. නිරෝගී විදුරුමස් මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට සහාය වන අතර පාලනය නොකළ දියවැඩියාව විදුරුමස් රෝග උත්සන්න කිරීමට හේතු වේ. එබැවින් විදුරුමස් රැක ගැනීම සමස්ත සෞඛ්‍යයේම ආරක්ෂාවට වැදගත් වේ.

දුම්පානය නිසා විදුරුමස්වල ලේ ගැලීම වැනි රෝග ලක්ෂණ යටපත් විය හැකි අතර එය රෝගය බරපතළ වන තෙක් හඳුනා ගැනීමට බාධාවකි. එසේම ලේ ගැලීමක් සිදු නොවන නිසාම විදුරුමස් නිරෝගී යැයි සිතීම වැරදි මතයකි. නිවැරදිව දත් මැදීමේ දී දත් මෙන්ම විදුරුමස ද පිරිසිදු කිරීම අත්‍යවශ්‍ය වේ.

සෑම මාස හයකට වරක් දන්ත වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වීමෙන් මුල් අවධියේ දී ම විදුරුමස් රෝග හඳුනාගත හැකිය. නිවැරදි සෞඛ්‍යය පුරුදු සහ යහපත් ජීවන රටාව මගින් විදුරුමස් රෝග පහසුවෙන් වළක්වා ගත හැක. මුල සිටම නිවැරදි පියවර ගැනීමෙන් ජීවිත කාලය පුරාම නිරෝගී මුඛ සෞඛ්‍යයක් පවත්වා ගත හැකිය.