භාණ්ඩාගාරයේ වංචාව අනික් අයටත් පාඩමක්

මහා භාණ්ඩාගාරය ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදල අතරමැදි ජාවාරම්කරුවන් පිරිසක් ඊමේල් පණිවිඩ වෙනස් කරමින් සොරාගෙන ඇති බව මේ පිළිබඳව රජයේ ස්ථාවරය වේ. මෙම සොරකම මාධ්‍ය සහ තවත් අය දැනගෙන ඇත්තේ ඉකුත් සතියේ වුවත් එය මුදල් අමාත්‍යාංශය දැනගත්තේ මාස හතරකට පමණ පෙර බව රජය කියයි. ඒ අනුව විමර්ශන වහා ආරම්භ කළ අතර සිද්ධිය රටට එළිදරව් වන විටත් නිලධාරීන් කිහිප දෙනකු ගැන විනය ක්‍රියාමාර්ග ගෙන අවසන් බවද රජය සඳහන් කරයි. ජනාධිපතිවරයා ඇමැති මණ්ඩලයට ද ඒ බව සඳහන් කළේය.

“අපි තාක්ෂණය හඳුන්වා දෙන්නේ නවීන ලෝකයත් සමග අපේ ගමන කඩිනම් කර ගන්නයි. ඒත් ඒ තාක්ෂණයම තවත් කොටසක් අපරාධ සඳහා භාවිත කරනවා. මේක දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඒ නිසා අපි මීට වඩා මූල්‍ය ගනුදෙනු ගැන අවධානය යොමුකළ යුතුයි. මේක අපි නොදැන සිටි දෙයක් නොවෙයි. ඒත් කොතැනක හරි සිදු වූ අතපසුවීමක් නිසා ලොකු විනාශයකට පාර හදාගන්න ඉඩ ලැබුණා. ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසයට අබමල් රේණුවකවත් හානියක් වෙන්න දෙන්න බෑ. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධව අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතුයි. අනෙකුත් අමාත්‍යාංශ සහ ආයතනත් මේ දේවල් පාඩමකට අරගෙන වැඩ කළොත් හොඳයි.” ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමැති මණ්ඩලයට කියා සිටියේය.

දිට්වා ගැන කතාවට ජනපති දිස්ත්‍රික්ක ගානේ යයි

දිට්වා සොබාවික විපත නිසා හානි සිදු වූ ජනතාවට නිලධාරීන්ගේ යම් යම් ප්‍රමාදවීම් නිසා බොහෝ ස්ථානවලදී නිසි පරිදි වන්දි මුදල් ලැබී නොමැති බව ජනාධිපතිවරයාට පැමිණිලි ලැබී ඇත. පූර්ණ හානි සිදු වූ වතු කම්කරු නිවාස ගැනද රජය වන්දි ලබාදීමේ තීන්දුවට එළඹුණේ ඉකුත් සතියේය. මෙවැනි ප්‍රමාදවීම් නිසා ජනතාව නොසන්සුන්ව සිටින බවද ජනාධිපතිවරයාට පැමිණිලි ලැබී තිබේ. මේ නිසා ගමින් ගමට ඇති ප්‍රශ්න විසඳීම සඳහා දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. ඒ අනුව වතුකරයේ දිස්ත්‍රික්ක සඳහා දින හතරක් වෙන් කර තිබේ. මැයි 12, 13, 14 සහ 15 යන දිනවල වතුකරයේ දිස්ත්‍රික්කවල සම්බන්ධීකරණ කමිටු කැඳවා සාකච්ඡා කිරීමට නියමිතය. ජනපති දිස්ත්‍රික්ක කරා යන මෙම ගමන අරඹන්නේ වතුකරයේ ප්‍රශ්න ගැන ඇමැති සමන්ත විද්‍යාරත්න ඇතුළු දේශපාලකයන් ජනපතිගේ අවධානයට ලක් කිරීමෙන් පසුවය.

ජාතික ජන බලවේගය මෙවර මැයි දිනය පැවැත්වූයේ රටම ආවරණය කරමින් මැයි රැලි 21 ක් වශයෙනි. “රට පුරාම ජන බලය තියෙන්නෙ ජාතික ජන බලවේගයට බව පෙන්වන්නයි අපි දිස්ත්‍රික්කයකට එක ගානෙ දිස්ත්‍රික්කෙ ප්‍රධාන නගරෙදි මැයි දින රැලියක් පැවැත්වීමට තීන්දු කළේ...” වැවිලි කර්මාන්ත ඇමැති සමන්ත විද්‍යාරත්න සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි රැලි දෙකකට සහභාගි විය. උදෑසන නුවරඑළියේ පැවැති මැයි රැලියට සහභාගි වූ ජනාධිපතිවරයා කොළඹ මැයි රැලියට සහභාගිවීම සඳහා සවස කොළඹට පැමිණියේය.

ඉරාන් - සජිත් හමුවක්

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ ඒ වන විටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරමින් සිටි ඉරාන් වික්‍රමරත්න වත්මන් රජය යටතේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුල් පුටුවට පත්කිරීම ගෙවී ගිය සතියේ දේශපාලන අංශ අතර මහත් කතාබහට ලක් වූ සිදුවීමක් විය. වසර හතක කාලයක් ක්‍රිකට් මුල් පුටුව හෙබවූ ෂම්මි සිල්වාට ඉල්ලා අස්වන ලෙස රජය දැනුම් දී ඇති බවත් හිස්වන තනතුරට සජබ හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පත් කරන බවත් දින කිහිපයක් තිස්සේම දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය රාවයක් බවට පත් වී තිබිණ. මෙම ආරංචි පැතිර යන අතරතුර ඉරාන් වික්‍රමරත්න ඉකුත් අඟහරුවාදා සජබ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේය.

“නායකතුමනි... මම මේ ආවෙ මට ආරාධනයක් ලැබිල තියෙනවා ක්‍රිකට් බෝඩ් එකේ මුල් පුටුව භාරගන්න කියලා.. මම කැමතියි ඒ යෝජනාවට... ඒ බව දන්වල යන්නයි ආවෙ...” ඉරාන් වික්‍රමරත්න කියා සිටියේය.

“ඔයා තීන්දුව අරගෙනනෙ ඉරාන් ආවෙ... අපිට නම් ඒ තීන්දුව පිළිගන්න බෑ... මොකද ඔයා අපි එක්ක මීට කලින් ඒ ගැන සාකච්ඡා කළෙත් නෑ... ඔයා කෘත්‍යාධිකාරියෙනුයි කළමනාකරණ කමිටුවෙනුයි ඉල්ලා අස්වෙලා ඕන තීන්දුවක් ගන්න..” විපක්ෂ නායක සජිත් කියා සිටියේය. තමා එම තනතුරු දෙකෙන්ම ඉල්ලා අස්වන බව පැවසූ ඉරාන් එම සාකච්ඡාව නිමවා නික්ම ගියේය. එම සාකච්ඡාව අවසන් වූ පසු සජිත් සමග සාකච්ඡාවකට පැමිණි සජබ ඉහළ තනතුරුවල සිටින ගණනාවකම අදහස වූයේ එම තනතුරු දෙකෙන් පමණක් නොව ඉරාන් සජබ සාමාජිකත්වයෙන්ද ඉල්ලා අස්විය යුතු බවය. ක්‍රීඩා සංගම්වල මුල් පුටුවලට දේශපාලනයෙන් තොර පුද්ගලයන් පත් විය යුතු බව සජබයේ ප්‍රතිපත්තිය යැයි එම පිරිස කියා සිටියහ.

ඉරාන් - රංජිත් කබීර්ගේ නිවසේ

සජබ සභාපති කබීර් හෂිම්ගේ නිවසේදී ඉකුත් බදාදා සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ ඉරාන් වික්‍රමරත්න අතර තවත් සාකච්ඡාවක් පැවැත්විණි. තමාට රජයෙන් ඇරියුමක් ලැබී ඇති බව ඉරාන් එහිදී ද කියා සිටියේය. මහ ලේකම් රංජිත් එහිදී කියා සිටියේ එම තනතුර භාරගන්නේ නම් සජබ සාමාජිකත්වයෙන්ද ඉරාන් ඉල්ලා අස්විය යුතු බවය. පක්ෂයේ ප්‍රතිපත්තිය වන්නේ ක්‍රීඩා සංගම්වල සභාපති ඇතුළු මුල් පුටු දේශපාලනයේ නිරතවූවන්ගෙන් තොර විය යුතු බව යැයි මහ ලේකම් රංජිත් මෙහිදී කියා සිටියේය. “මේක දේශපාලන පත්වීමක්නෙ ඉරාන්... ක්‍රිකට් බෝඩ් සභාපති ධුරය දේශපාලන පත්වීමක් වීම ගැන අපි සෑහීමකට පත්වෙන්නෙ නෑ...” මහ ලේකම් රංජිත්ගේ අදහස විය. එම හමුවෙන් පසු ඉරාන් තමා දැරූ සජබ තනතුරුවලින්ද ඉල්ලා අස්වීමේ ලිපිය යැවීය. ඔහු සජබයේ පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙසද ඉකුත් කාලයේ කටයුතු කළේය.

සජබය කියන්නේ ඉරාන් බංකොලොත් වෙමින් පවතින ආණ්ඩුවේ කටයුතුවලට කර තැබූ බවය. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පුටුව ඉවත් කිරීමෙන් එහි ගෞරවය ලැබෙන්නේ ජනාධිපතිවරයාට මිස සජබයට හෝ ඉරාන්ට නොවන බව සජබයේ බොහෝ මුල් පෙළේ ක්‍රියාකාරීන්ගේ අදහසය. ජනාධිපති අනුර ඉරාන්ට දැඩි ලෙස දොස් පැවරූ අතීතයක් ඇති බවද සජබය කියයි. එසේ තිබියදී මෙම පත්කිරීම් දිගු කලක සිට දෙපාර්ශ්වය අතර පැවැති එකඟතාවක් දැයි ඔවුහු සැක පළ කරති.

ඒ අතරම තවත් පිරිසක් පවසන්නේ සියලු දක්ෂයන් සිටින්නේ තම ජාතික ජන බලවේගය තුළ බව මැතිවරණ සමයේ කියා සිටි ජනාධිපති අනුරට ක්‍රිකට් පාලක මණ්ඩලය ගොඩදැමීම සඳහා සජබයෙන් කෙනකු තෝරාගැනීමට සිදුවීම සජබයේ ජයග්‍රහණයක් බවය. ඒ නිසා ඉරාන්ගේ පත්වීමෙන් සජබයට වාසියක් ලබාගත හැකි බව ඔවුහු කියති. ඒ කෙසේ හෝ ක්‍රිකට් පාලක මණ්ඩලය යළිත් දේශපාලනීකරණය වී ඇති බව මේ පත්වීමෙන් පෙනී යන්නේ ඉරාන් වික්‍රමරත්න දේශපාලනඥයකු නිසාය. ඒ අතරම ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ අවංක නමක් ඇති අයකු බවද සැලකිය යුතුය.

එජාපයට – සජබයෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය ඉකුත් සතිය පුරාම මැයි රැලිය සම්බන්ධ කටයුතුවල යෙදුණේය. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත්, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ ජාතික සේවක සංගමයේ සභාපති ජගත් විතාන යන පිරිස සූම් තාක්ෂණය ඔස්සේ පක්ෂයේ මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකයන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන මැතිවරණයට පක්ෂයෙන් තරග වැදුණු අපේක්ෂකයන් සමග ඉකුත් සතිය පුරාම සාකච්ඡා කළේ වැඩි ජනතාවක් ගෙන්වාගෙන පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පුරවා ගන්නා ආකාරය ගැනය.

ජාතික සේවක සංගමයේ වගකීම් ජගත් විතාන මන්ත්‍රීවරයාට පක්ෂ නායක සජිත් අතින් පැවරුණේද ඉකුත් සතියේය. ප්‍රවාහනය, දුම්රිය, තැපැල්, කම්කරු ඇතුළු අංශ ගණනාවක කටයුතු ජගත්ටද අධ්‍යාපන කටයුතු හේවාවිතානගේටද පැවරිණි.

“ජගත් අපිට සෙනඟ ප්‍රවාහනය ගැන ලොකු දායකත්වයක් දක්වන්න ඕනෑ...” පක්ෂ නායක සජිත් කීවේය.
“හරි නායකතුමනි බස් පනහක් හැටක් මම දාල තියෙන්නේ” ජගත් විතාන කීවේය.

“පෝය පිළිබඳ ප්‍රශ්නයක් ආ නිසයි අපිත් ටිකක් මුලදි මැයි රැලිය ගැන අවධානයක් නොදැක්වුවේ. දැන් ඒ ප්‍රශ්න විසඳිලා... ආණ්ඩුවට විතරක්ම මැයි රැලිය තියන්න ඉඩ දුන්නොත් විපක්ෂයක් කෝ කියල ජනතාවට හිතෙයි. ඒ නිසයි පෝය දවසක් වුණත් අපි මැයි රැලියක් පමණක් තියලා විපක්ෂයේ බලය පෙන්වන්න තීන්දු කළේ. එදාට මහා සංඝරත්නයත් සිය නමක් පමණ වැඩම කරනවා... සියලු දෙනාම හැකි උපරිම පිරිසක් කැඳවාගෙන ඇවිත් මේ කටයුත්තට සහාය දක්වන්න...” විපක්ෂ නායක සජිත් එම හමුවේදී කියා සිටියේය.

එම රැස්වීම්වලදී තීන්දු වූයේ එජාපයටද එම මැයි රැලියට සහභාගි වන්නැයි ආරාධනා කිරීමටය. මහ ලේකම් රංජිත් ලිපියක් මගින්ද සජිත් විශේෂ ප්‍රකාශයක් කරමින්ද එජාපයට ආරාධනා කළේය. එම ආරාධනාව අනුව එජාප මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය ලිඛිතව දැනුම් දුන්නේ පොහොය දිනයක් නිසා එජාපයට එම මැයි රැලියට සහභාගි විය නොහැකි බවය. ඒ අතරතුර සජබ මුල් පෙළේ ප්‍රධානීන් අතර සාකච්ඡා වූයේ එජාපය එසේ කීවත් එම පක්ෂයේ ඉහළ තනතුරුවල සිටින දේශපාලකයන් තිදෙනකු මැයි රැලියට සහභාගිවීමේ අරමුණින් සිටින බවය. ඉකුත් බ්‍රහස්පතින්දා සජබය එජාපයට ලිපියක් යැවීමට තීන්දු කර තිබුණේ පාක්ෂිකයන්ට හෝ පැමිණීමට අවසර දෙන ලෙස ඉල්ලමිනි. එහෙත් මුල් ප්‍රතිපත්තියේ දිගටම සිටින බව දැන ගැනීමෙන් පසු සජබය එම ලිපිය යැවූයේ නැත. සහභාගිවීමට නියමිතව සිටි එජාප මුල් පෙළේ කිහිප දෙනාම කලකිරීමෙන් සිටි බවද දැනගන්නට ඇත.

ෆ්‍රී ලෝයර්ස් කියන කතාව

මුදල් අමාත්‍යාංශය ඕස්ට්‍රේලියාවට කළ ඩොලර් ලක්ෂ 25ක හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 78ක මුදලක් ඕස්ට්‍රේලියාවේ අදාළ ආයතනයට නොගොස් අතුරුදන්වීම ගැන රටට පළමුවෙන්ම හෙළි කළේ “ෆ්‍රී ලෝයර්ස්” නමැති සංවිධානයයි. එම අතුරුදන්වීම වාර්තාවීමත් සමග ආණ්ඩුවේ ප්‍රතිරූපයටද එයින් යම් කැළලක් ඇති විය. “ෆ්‍රී ලෝයර්ස්” කැඳවුම්කරු වන මෛත්‍රී ගුණරත්න හා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු එහි ක්‍රියාකාරීන් ඉකුත් සතියේද සාකච්ඡා කළේ ඉන්පසුව ඇතිවී තිබෙන තත්ත්වය ගැනය.

“අපි කිව්වට පස්සෙ මේ සතියේ තමයි අදාළ බලධාරීන් මුදල් අතුරුදන්වීම ගැන උසාවියට බී වාර්තාවක් ඉදිරිපත් කරල තියෙන්නේ. හොරකම සිද්ධවෙලා මාස හතරක් ගතවන තුරුත් ආණ්ඩුව අධිකරණ බලධාරියකුට මේ ගැන වාර්තා කරල නෑ... නීතිය අනුව පොලිසියට පැමිණිල්ලක් කළා නම් පොලිසිය පැය විසි හතරක් ඇතුළත මහේස්ත්‍රාත් කෙනකුට කරුණු වාර්තා කරන්න ඕනෑ... ඒක කෙරිල නෑ... බී වාර්තාවෙන් දැන් සැලසුම් කරල තියෙන බව පේන්නෙ මොකක් හරි පරිගණකයකට වරද පටවන්නයි...” ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කීවේය.

“මුදල් ලේකම් ඉන්නකම් මේකෙ සාමාන්‍ය විමර්ශනයක්වත් යන්නෙ නෑ. ජනාධිපතිතුමා මේ ගැන වචනයක්වත් තවම කතා කරලත් නෑ... විපක්ෂ නායකතුමා මේ ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලල තියෙනවා... ආණ්ඩුව ඒක දෙන්නත් බෑ කියලා... ඔන්න ඕකයි දැන් තත්ත්වය...” ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක කීවේය.
“මේ මුදල් අතුරුදන්වීමේ සම්පූර්ණ වගකීම රජය සතු නිසා... ආණ්ඩුව සද්ද නැතිව ඉන්න බවයි පෙනෙන්නේ. තැපෑලෙත් ඩොලර් ලක්ෂ හයක් අතුරුදන් කියල ආණ්ඩුව ඊටපස්සෙ කීවා... ඉතාම සරලවයි මේ කතා ආණ්ඩුව කියන්නේ...” මෛත්‍රී ගුණරත්න කියා සිටියේය.

නාමල් - පාපන්දු තරගයක

රග්බි ක්‍රීඩකයකු ලෙස ප්‍රකට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉකුත් ඉරිදා පාපන්දු තරගයකට සහභාගි විය. පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයට නීතිඥවරු සහ වෛද්‍යවරු තරග වැදුණහ. දෙපිලම කරට කර තරග කළ අතර ගෝල තුනට තුනක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කෙරිණි.

තරගය අවසානයේ එහි පැමිණි ආරාධිත අමුත්තෝ නාමල් සමඟ සුහද කතාබහක ද නිරත වූහ.

“ඔබතුමා හොඳට ෆුට්බෝල් ක්‍රීඩා කළානෙ... ඒත් අපි හිතුවෙ ඔබතුමා දක්ෂ රගර්වලට කියලා...” ආරාධිත අමුත්තෙක් කියා සිටියේය.

“මම ඉතින් හිටපු ක්‍රීඩා ඇමැතිනෙ” නාමල් සිනාසෙමින් කීවේය. “මම නිතරම ෆුට්බෝල් සෙල්ලම් කරනවා... ගමේ ගියාම අනිවාර්යයෙන්ම සෙල්ලම් කරනවා. ඒ වගේම රළ මත ලිස්සා යාමත් කරනවා...” නාමල් කීවේය.

නාමල්ට මෙම සතියේදී ඊශ්‍රායල් තානාපතිවරයා හමුවීමට අවස්ථාව ලැබිණි. ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන ඊශ්‍රායල් තානාපතිවරයා දින දෙකක රාජකාරි සඳහා මෙරටට පැමිණියේය. ඒ විදේශ ඇමැති විජිත හේරත් සහ නාමල් රාජපක්ෂ හමුවන්නය. ඒ අනුව නාමල් සහ සාගර කාරියවසම් මෙම හමුව සඳහා පැමිණියේ කොළඹ රත්නදීප හෝටලයටය.  වර්තමානයේ මැදපෙරදිග පවතින යුද්ධය ගැනද මෙහිදී සාකච්ඡා කෙරිණි.

“පලස්තීනය ගැන ඔබතුමාගේ මතය කුමක්ද?” ඊශ්‍රායල් තානාපතිවරයා මෙහිදී නාමල්ගෙන් විමසීය.

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටියෙ පලස්තීනය පැත්තෙ. මමත් පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නවා. හැබැයි අපි නොබැඳි ප්‍රතිපත්තිය තමයි ගෙනියන්නෙ. ඊශ්‍රායලය අපිට බොහෝ උදව් කරනවා. අපේ රටේ ශ්‍රමිකයො තිස්දාහකට වඩා ඊශ්‍රායලයේ රැකියාවල ඉන්නවා. ඔවුන් අපිට බිලියනයක පමණ ඩොලර් එවනවා.” නාමල් කීවේය.

“ඔව් ඔබලාගේ දැක්ම හොඳයි. එම නොබැඳි ප්‍රතිපත්තිය මම අගය කරනවා” ඊශ්‍රායල් තනාපතිවරයා පැවසීය.
“ඒ වගේමයි ඊශ්‍රායල් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් මෙරට සංචාරයට එනවා. ඒකත් අපි අගය කරනවා.” නාමල් යළිත් මතක් කළේය. පැය එකහමාරක පමණ කාලයක් මෙම සුහද හමුව පැවැත්විණි.

නෙළුම් මාවතේදී ජොනීව වටකර ගනියි

මැයි දින රැස්වීම පිළිබඳව සහ පක්ෂයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ඉකුත් සතියේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයට පැමිණියහ. ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, මහ ලේකම් සාගර කාරියවසම්, ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න, ජයන්ත කැටගොඩ, සී.බී. රත්නායක, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසක් එසේ පැමිණියහ. දිගු කලකට පසු එයට අමුත්තකුද එක් විය. ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාය. ඔහු රිමාන්ඩ් භාරයෙන් නිදහස් වී පැමිණියේය. ඔහු දුටු පිරිස වහා ඔහු වට කරගෙන කතාබහ කරන්නට පටන් ගත්හ. “රිමාන්ඩ් එකේ තත්ත්වෙ කොහොම ද?” ඩී.වී. චානක විමසීය. “රැඳවියන්ටත් ආණ්ඩුව එපා වෙලා. ඉස්සර ගෙවල්වල අය ඔවුන්ව බලන්න ආවම කියනවා ආණ්ඩුවට ඡන්දෙ දෙන්න කියලා. දැන් ඒක වෙනස් වෙලා ආණ්ඩුවට බනිනවා...” ජොන්ස්ටන් කීවේය.

රැස්වීම ආරම්භ වූ පසු තීන්දු වූයේ “ගමින් ගමට” වැඩසටහන යළි ආරම්භ කිරීමටය. ශාඛා සමිති පිහිටුවීම වේගවත් කළ යුතු බවටද පිරිස එහිදී තීන්දු කළහ.

දයාසිරි - නිමල් සිරිපාල සමගි සාකච්ඡාවට පොල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීමට පක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර සාකච්ඡාවක් ඉකුත් සතියේ පැවැත්විණි. එහිදී නිමල් සිරිපාල හිටපු ඇමැතිවරයා දයාසිරිට කීවේ ඔය නඩු හබ වලින් එන තීන්දු ගැන අපි පස්සෙ බලමු... දැන් අපි හැමෝම එකතුවෙලා මෙවර මැයි දිනය හොඳට කරමු...” කියාය.

“මේකයි සර් වැඩේ... යෝජනාව හොඳයි... මම කැමතියි එන්න... ඒත් අසූ හතරදෙනෙක් ඉන්නවානෙ මාත් එක්ක එළියට ගිය. ඒ අයටත් ලිපියක් ගහල ආරාධනා කරන්න පක්ෂයේ වැඩවලට සම්බන්ධ වෙන්න කියලා... අපි එකතු වෙලා වැඩ කරමු කියල ඔබතුමා ආරාධනා කරන්න...” දයාසිරි කීවේය.

“හා හොඳයි මං එහෙම කරන්නම්...” නිමල් සිරිපාල හිටපු ඇමැතිවරයා එසේ කියා පොරොන්දු වූ ලෙසම දයාසිරි සමඟ පක්ෂයෙන් ඉවත්ව ගිය සංවිධායකවරුන් කිහිප දෙනකුටම මැයි රැලියට එකතු වී වැඩ කරන්නැයි ලිපි යවා ඇත. ඒ අතරතුර ශ්‍රීලනිප ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතාගේ අත්සනින් යුතුව පක්ෂයෙන් දයාසිරි සමඟ දේශපාලනයට ඉවත් වූ කිහිප දෙනකුටම ලිපි යවා ඇත්තේ පිට පිටම පක්ෂයේ රැස්වීම්වලට සහභාගි නොවීම නිසා ඉදිරි දේශපාලන කටයුතු ගැන තීන්දුවක් ගැනීමට සිදුවන බවය. ඒ සමඟම පක්ෂයේ වත්මන් නිලධාරී මණ්ඩලය පිළිගෙන දේශපාලන කටයුතුවලට සහභාගි වන්නේ නම් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය සුරකින බවද එම ලිපියේ සඳහන්ය. මෙවැනි ලිපි යැවීම නිසා දයාසිරි, නිමල් සිරිපාල හා ලසන්ත අලගියවන්න වැනි අයට කතා කර විමසුවේ එකතු වී වැඩ කිරීමට ආරාධනා කරන අතරම මෙවැනි බෙදීමක් ඇති කරන කටයුතු සිදු කරන්නේ කුමන අරුතින් ද? කියාය.

“මොකක් ද සර් මේ කරන්නේ?” දයාසිරි නිමල් සිරිපාලගෙන් විමසූ අතර නිමල් කීවේ “අනේ මම මෙහෙම දෙයක් ගැන දන්නේ නෑ” කියාය. මෙම තත්ත්වය මත දයාසිරි ඇතුළු පිරිස ශ්‍රීලනිප මැයි රැලියට සහභාගි නොවීමට තීරණය කළේය.

පොහොට්ටුවේ සමරුවට නිමල් සිරිපාල ඇතුළු ශ්‍රීලනිපයත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනය සැමරුවේ හිටපු ඇමැතිවරයකු වන ටී.බී. ඉලංගරත්නයන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම උපහාරය සිදුවිය.

“ටී.බී. ඉලංගරත්න කියන්නේ බණ්ඩාරනායකවරුන්ගේ ජනතා හිතවාදී වැඩසටහන්වල සංකේතය. මහජන බැංකුව, රක්ෂණය වගේ රටට හිතැති ආයතන පටන් ගත්තේ ටී.බී. ඉලංගරත්න මැතිතුමා. වැඩ කරන ජනතාවට අනාගතයක් හදල දීපු එතුමාට උපහාර පුද කරන එක තරම් වෙනත් මැයි සැමරුමක් නෑ... අපි ඒකයි මේ උපහාරය සිදු කළේ...” හිටපු ජනපති මහින්ද රාජපක්ෂ එහිදී කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මෙම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන අයද සහභාගිවීම විශේෂත්වයකි. පොහොට්ටුව වෙනුවෙන් සී.බී. රත්නායක, රමේෂ් පතිරණ, සාගර කාරියවසම්, යූ.කේ. සුමිත්, ජානක වක්කුඹුර, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක්ද පාක්ෂිකයෝ පිරිසක්ද සහභාගි වූහ.

මැයි දිනයට එජාපය නෑ 

සැත්කමින් පසුව තවමත් වෛද්‍ය උපදෙස් මත නිවසේ රුඳී සිටින රනිල්ට පසුගිය සතිය කාර්යබහුල එකක් වූයේ ඔහුගේ නඩුව බදාදා විභාගයට ගැනුණු හෙයිනි. එම නිසා නීතිඥවරුන් සමඟ වට කීපයක්ම හමුවීම් සිදුවිය. කෙසේ වුවද රනිල් දේශපාලන උපදෙස් ලබාදීමේ වැඩ කටයුතුවලද නිරත විය.

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්, වජිර, තලතා, සාගල කැඳවා උපදෙස් දීමට අමතරව දුරකතනයෙන් විටින් විට රුවන්, හරීන් සම්බන්ධ කරගෙන දේශපාලන කටයුතු පිළිබඳ උපදෙස් ලබාදීමට කටයුතු කළේය.

මොවුන්ගේ හමුවලදී රටේ තත්ත්වය පිළිබඳවද අවධානය යොමු විය.ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වූ කරුණක් වූයේ සමගි ජන බලවේගය මැයි දිනයට කළ ආරාධනයයි. එහිදී සජබ වෙනුවෙන් එහි මහලේකම්වරයා ආරාධනා කර තිබුණේ පක්ෂ සාමාජිකත්වයට පමණි.එහි කිසි තැනක පක්ෂයේ නායකයකුට හෝ නියෝජිතයකුට කළ ආරාධනයක් සඳහන්ව නොතිබිණ.

එම ආරාධනය ලැබෙන විටත් එක්සත් ජාතික පක්ෂය මැයි දිනයේදී පමණක් නොව ඊට පෙර දිනයේදී කළ යුතු වැඩසටහන් සංවිධානය කර අවසන්ව තිබිණ. ඒ සියල්ලක්ම ආගමික වැඩසටහන විය.පක්ෂය එවැනි පියවරක් ගත්තේ ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී රණසිංහ ප්‍රේමදාස අගමැති ලෙස කළ යෝජනාවකට අනුවය. මැයි පළවෙනිදා පොහොය දිනයක් යෙදුණොත් දේශපාලන කටයුතු නොකළ යුතු බව එම යෝජනාවය. එම ස්ථාවරයට අනුව යමින් පක්ෂය මෙම තීරණය ගෙන තිබිණ.මේ අනුව 30 වෙනිදා රාත්‍රියේ සිටම පිරිත් දේශනා ආදී පින්කම් ද පෝදා දවස පුරා ආගමික වැඩසටහන් සංවිධානය විය.

ඒ අනුව මද්දුම බණ්ඩාරගේ ලිපියට පිළිතුරු යවන්නට තලතාට පැවරිණ.ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් පක්ෂයේ ප්‍රතිපත්ති වෙනස් නොකළ යුතු බවත් ඒ නිසා එදා ප්‍රේමදාස අගමැතිවරයාගේ යෝජනාව අනුව ගත් ප්‍රතිපත්තිය අනුගමනය කරමින් මැයි දින රැලි කිසිවකට සහභාගී නොවන බවත් ඒ ලිපියෙන් අවධාරණය කෙරිණ.

මේ දැනුම් දීම කළේ සජබට පමණක් නොවේ. එජාප නියෝජිතයන්ට ආරාධනා කර ලියුම් එවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂවලටද තම පක්ෂ ස්ථාවරය මෙලෙස සඳහන් කර ලිපි යැවීමට කටයුතු කෙරිණ.

සමගි ජන බලවේගය එජාප පාක්ෂිකයන්ට ආරාධනා කර තිබුණද එහි එජාපයට ඇති කාර්යභාරය කුමක්ද? ආදී කිසිවක් සඳහන් නොවීය. එමෙන්ම පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් එහි යැවීමට නොහැකි තවත් හේතුවක් වන්නේ ඔවුන්ට ද ආරාධනයක් නොමැතිවීමය.එහි තිබුණේ එජාප සාමාජිකයන්ට ආරාධනා කරන බවය.

ක්‍රිකට් ගැන රනිල්ගේ මතය 

ෂම්මි ක්‍රිකට් ලොකු පුටුවෙන් ඉවත් වීමත් සමඟ විධායක සභාවම ඉවත් විය.පසුව ඉරාන් ඊට පත්කෙරුණි. 

“ඒකාබද්ධ විපක්ෂයේ උදවියත් බලාගෙන ඉන්නේ ඒ තනතුරට ඉරාන් පත් කරන තුරු යැයි තමයි”‍යැයි නායකයන් සමඟ රනිල් කීය.

මේ ගැන විපක්ෂයේ නායකයන් මතු කළ කරුණුවලට පිළිතුරු දෙමින් රනිල් කීවේ ෂම්මි ඉවත් කර ඉරාන් පත් කළ පසු අවසානයේ ඡන්දයක් තැබිය යුතු බවය. 

“ඡන්දයක් කිව්වොත් ඉරාන්ට ඉන් ජයග්‍රහණය කළ හැකි ද? අයි.සීසී. පවසන්නේ ව්‍යවස්ථාව අනුව ඡන්දයක් පැවැත්විය යුතු බවය.සියලු‍ ක්ලබ්වල බලය ඇත්තේ ෂම්මිට බැවින් වෙනත් කෙනෙකුට ජයග්‍රහණය ගැන සිතිය නොහැකි බව ක්‍රිකට් ප්‍රවීණයන්ගේ මතයයි.

කාලිංග මාඝ කොට්ඨාසය

ප්‍රධාන භික්ෂූන්ට එරෙහිවද දැන් ආණ්ඩුව විසින් වැඩපිළිවෙළක් අරඹා තිබෙන බව ආරංචි යැයි විපක්ෂයේ නායකයෝ රනිල් හමුවේ කීහ.

“මේ වැඩකටයුතුවලට සී.අයි.ඩී එකේ වෙනම අංශයක් හදන්න යනවා. ඒකට කාලිංග මාඝ කොට්ඨාසය කියලා නම දාන්නත් ලෑස්තියි බව ආරංචියි”‍

යනුවෙන් විපක්ෂයේ නායකයෝ කිහිප දෙනෙක්ම රනිල්ට සැලකර සිටියහ.කාලිංග මාඝ කොට්ඨාසය ආරම්භ කර සිදු කරන්නට යන්නේ සියල්ල නැති කර ගැනීමේ ආරම්භයක් බව විපක්ෂයේ සියලු‍ නායකයන්ගේ අදහස විය.

සුගීෂ්වර පොලීසියට 

භාණ්ඩාගාර ලේකම්වරයාගේ ගෙදර වැටලීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට එන ලෙස තලංගම පොලිසිය සුගීෂ්වරට දැනුම් දී තිබිණ.ඒ සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා පැමිණිල්ල දමා තිබුණේ පොලිස් පොත අමාත්‍යාංශයට ගෙන ගොස් බවටද ආරංචි යැයි රනිල්ට නායකයෝ දැනුම් දුන්හ.

අදාළ සිද්ධියට සුගීශ්වර කටඋත්තරයක් දීමට පැමිණි මොහොතේ ඔහුට දුරකථන ඇමතුමක් ගත් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සහ රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න ඒ ඇමතුම රනිල්ට දුන්හ.එවිට රනිල් මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඔහුට උපදෙස් ලබා දුන්නේය.

රාජදූත