
මෑතකදී වාර්තා වූ අවාසනාවන්ත සිදුවීමක් සමාජයේ දැඩි කම්පනයක් මෙන්ම අනවශ්‍ය කුතුහලයක් ද නිර්මාණය කර තිබේ.ඒ මහාභාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙනි. මරණකරු ඔහුගේ පාද දෙකෙහි ප්‍රධාන බල නහර සහ අතක ප්‍රධාන ලේ ධමනියක් කපා ගනිමින් සිය දිවි හානිකර ගැනීමක් ගැන සඳහන් වීම සහ එම ක්‍රියාවලිය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් මගින් බරපතළ සමාජ විද්‍යාත්මක අවදානමක් මතු වී ඇත. මෙම ඛේදවාචකයේ අඳුරු පැතිකඩ සහ එහි ඇති මාරාන්තික ආදීනව පිළිබඳව මහජනතාව සෘජුවම දැනුම්වත් වීම අවශ්‍ය වේ. ඉහත කාරණා සියල්ල කැටිකොට අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව පිළිබඳ කතාකිරීමට අපි වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා සම්බන්ධ කර ගත්තෙමු.
- බල නහරය කපා ගැනීම සහ මරණාසන්න වේදනාවේ වෛද්‍ය විද්‍යාත්මක යථාර්ථය
සාමාන්‍ය ජනයා අතර "බල නහර" ලෙස ප්‍රචලිත ප්‍රධාන ධමනි සහ ශිරා කපා ගැනීම යනු බොහෝ දෙනා සිතන පරිදි ක්ෂණික මරණයක් ළඟා කර දෙන "පහසු මාවතක්" නොවේ. මෙය පුද්ගලයකු තම අවසාන මොහොතේ අතිශය බියකරු වධයකට ලක්වන ක්‍රියාවලියකි.
පුද්ගලයකු සිය අත් පාවල රුධිරවාහිනී කපා ගැනීමේදී, එම ස්ථානය හරහා දිවෙන පර්යන්ත ස්නායු විශාල ප්‍රමාණයක් එකවර කැපී යයි. එහිදී ඇතිවන වේදනාව කෙතරම් ප්‍රබලද යත්, එය විදුලි සැර වැදීමකට හෝ ශරීරය ගින්නෙන් පිළිස්සීමකට සමාන අත්දැකීමකි. රුධිරය වහනය වීම ආරම්භ වීමත් සමඟ ශරීරයේ රුධිර පීඩනය ශීඝ්‍රයෙන් පහත වැටෙන්නට පටන් ගනී . මෙම තත්ත්වයේදී මොළයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා ඇතිවන අධික හිසරදය, ක්ලාන්තය සහ හුස්ම හිරවීම නිසා ඇතිවන මරණාසන්න භීතිය වචනයෙන් විස්තර කළ නොහැකි තරම්ය. බොහෝ දෙනෙකු මෙම වේදනාව දරාගත නොහැකිව මරණයට පෙර සිය තීරණය වෙනස් කිරීමට උත්සාහ කළත්, ඒ වන විට ඔවුන්ගේ ශරීර ශක්තිය හීන වී ඇති බැවින් කිසිදු උපකාරයක් පතා ගැනීමට පවා ඔවුන්ට නොහැකි වේ. බල නහර කැපි යාමෙන් වෙන මරණය සැබවින්ම හුදෙකලා, අඳුරු සහ ඉතාම වේදනාකාරී මරණයකි.
මෙවැනි උත්සාහයන් සියල්ලම මරණයෙන් කෙළවර වන්නේ නැත. මෙවැනි තත්වයකදී රුධිර පීඩනය පහත වැටීම නිසා ඇතිවන ක්ලාන්තයත් සමඟ ශරීරය ස්වයංක්‍රීයවම රුධිරය කැටි ගැසීමේ ක්‍රියාවලිය ආරම්භ කරයි. මෙවැනි අවස්ථාවකදී මරණයෙන් බේරෙන පුද්ගලයන් මුහුණ දෙන්නේ මරණයටත් වඩා දරුණු ඉරණමකටය.
කැපී ගිය ස්නායු සහ කණ්ඩරා නැවත පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කිරීම වෛද්‍ය විද්‍යාත්මකව අතිශය දුෂ්කරය. එහි ප්‍රතිඵලය ලෙස අත් පා අප්‍රාණික වීම හේතුවෙන් ඇඟිලි ක්‍රියා විරහිත වීම නිසා තනිවම ආහාර ගැනීම ගැනීමට පවා නොහැකි විය හැක. එසේම ස්නායු හානි වීම නිසා වසර ගණනාවක් පුරා පවතින දැඩි වේදනාවක් උරුම වීමේ හැකියාව ඇත.
- ඇවිළෙන ගින්නට පිදුරු දමන මාධ්‍ය වාර්තාකරණය,
තමන්ට ඇතිවන තදබල ගැටලු හේතුවෙන් මානසික අවපීඩනයට ලක්වන බොහෝ පුද්ගලයන් සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති කරගන්නේ මාධ්‍ය මගින් වාර්තා කරන ලද හෝ සමාජ මාධ්‍ය හරහා දුටු යම් කිසි සිදුවීමක් පාදක කරගනිමිනි. මෙය මනෝ විද්‍යාවට අනුව "වර්තර් ආචරණය" (Werther Effect) ලෙස හැඳින්වේ. විශේෂයෙන්ම මෙවැනි මරණ සිදු වූ අවස්ථාවන්හිදී විස්තරාත්මක වාර්තාකරණයෙන් වැළකී මියගිය ආකාරය, කැපුම් තුවාල වල ස්වභාවය හෝ භාවිතා කළ ආයුධ ගැන අනවශ්‍ය විස්තර ප්‍රසිද්ධ නොකළ යුතුය.
යම් මරණයක් සිදු වූ ආකාරය සහ ක්‍රමය ප්‍රසිද්ධියට පත් කළ විට, දැඩි මානසික පීඩනයක සිටින තවත් පුද්ගලයෙකුට එය තමාගේ ප්‍රශ්නයට ඇති "කදිම විසඳුම" ලෙස පෙනෙන්නට ගනී. ඔවුන් දකින්නේ එම පුද්ගලයාගේ මරණය හරහා ඔහුට ලැබුණු ප්‍රසිද්ධිය හෝ ඔහුට ලැබුණු අනුකම්පාව පමණි. නමුත් එම මරණයට පෙර ඔහු විඳි වේදනාව හෝ ඔහුගේ පවුලේ අය සමාජය ඉදිරියේ මුහුණ දෙන දැඩි අපහසුතාව සහ පවුලට සිදුවන හානිය, ඔවුන් අනාගතයට මුහුණ දෙන ආකාරය සියදිවි හානි කර ගන්නා පුද්ගලයාට නොපෙනේ. සියදිවි නසාගැනීමේ සිතුවිලි යනු පුද්ගලයෙකුගේ චින්තනය පටු වන තාවකාලික මානසික අවස්ථාවකි. මෙම අවස්ථාවේදී " බල නහර කැපීම" වැනි බියකරු ක්‍රම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර ප්‍රචාරය කිරීම, ගින්නට පිදුරු දැමීමක් විය හැකිය.
- සමාජ වගකීම සහ මාධ්‍ය ආචාරධර්ම අද තියෙනවාද?
මාධ්‍ය වාර්තාකරණයේදී සියදිවි නසාගැනීම් "වීරත්වයට" නැංවීම හෝ එම ක්‍රමය විස්තර කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය ආචාරධර්මවලට ද පටහැණි ය. මෙවැනි සිදුවීම් ජන මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේදී දැඩි ශික්ෂණයකින් යුතුව එය සිදුකළ යුතු අතර
ඔබේ සමීපතමයකු හුදෙකලා වී සිටින්නේ නම්, අධික ලෙස නිහඬ නම් හෝ ජීවිතය පිළිබඳ කලකිරීමෙන් කතා කරන්නේ නම්, ඔහුට ඇහුම්කන් දී ඔහු සමඟ ළඟින් සිටිය යුතුය. එය ඔහුගේ ජීවිතය රැක ගැනීම සඳහා මහඟු පිටුවහලක් විය හැක.
- පශ්චාත් මරණ පරීක්ෂණය දෙස මනෝ විද්‍යාත්මක ඇසින්,
සාමාන්‍යයෙන් පුද්ගලයකු ස්වාභාවික නොවන හේතුවකින් හෝ නිශ්චිතව නොදන්නා හේතුවකින් මියගිය පසු මරණයට හේතුව සෙවීමට අප සිදු කරන්නේ දේහය කපා පරීක්ෂා කරන පශ්චාත් මරණ පරීක්ෂණයකි. නමුත් සියදිවි නසා ගත්තේ ඇයි ද යන්න සැක කරන පුද්ගලයකුගේ ශරීරයේ තුවාල හෝ රසායනික ද්‍රව්‍යවලට එහා ගිය මරණකරුගේ "මනස" පරීක්ෂා කිරීමේ විද්‍යාව එනම් මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳව වර්තමානයේ කතාබහක් නිර්මාණය වී ඇත. විශේෂයෙන්ම රාජකාරිමය ගැටලු, සමාජීය බලපෑම් හෝ තර්ජනයන් හමුවේ සිදු වන සැකකටයුතු මරණවලදී ඊට හේතු වූ. සත්‍යය හෙළිකර ගැනීමට මෙය ප්‍රබල මෙවලමක් ලෙස ලෝකයේ බොහෝ රටවල් විසින් භාවිතයට ගනු ලබයි.
- පශ්චාත් මරණ පරීක්ෂණයක සාමාන්‍ය ක්‍රමවේදය
සිරුරේ කැපුම් තුවාල සහිතව පුද්ගලයකු මිය ගොස් සිටියේ නම් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා මූලික වශයෙන් කරුණු හයක් කෙරෙහි අවධානය යොමු කරයි.
01. තුවාලවල ස්වභාවය පරීක්ෂා කිරීම,
පිහියෙන් කැපී ඇති තුවාල "සැක සහිත" ද නැතහොත් "සියදිවි නසාගැනීමක ලක්ෂණ" පෙන්වන්නේද යන්න බලනු ලැබේ. උදාහරණයක් ලෙස, සියදිවි නසාගැනීමකදී,අත කපාගෙන තිබේ නම්. මැණික් කටුව වැනි ස්ථානවල “චකිත තුවාල” (Hesitation cuts) (ප්‍රධාන තුවාලයට පෙර, එම පුද්ගලයා තම තීරණය පිළිබඳව ඇතිවන චකිතය නිසා සිදුකරගන්නා නොගැඹුරු කැපුම් තුවාල) තිබිය හැකිය.
02. තුවාල පිහිටීම
තුවාල සිදු වී ඇති ස්ථානවලට මියගිය පුද්ගලයාට ස්වයංව පිහියෙන් කපාගත හැකිද යන්න සහ එම තුවාල මාරාන්තිකද යන්න පරීක්ෂා කෙරේ.
03. ආරක්ෂක තුවාල
මෙය මිනීමැරුමක් නම්, බේරීමට උත්සාහ කිරීමේදී අත්ලෙහි හෝ ඇඟිලිවල ඇතිවන තුවාල තිබේදැයි පරීක්ෂා කරයි.
04. විෂවේද වාර්තා (Toxicology)
මියයන අවස්ථාවේ ඔහු කිසියම් මත්ද්‍රව්‍යයක් හෝ විෂ වර්ගයක් ශරීරගත කරගෙන සිටියේද නැතහොත් එසේ සිදුකොට ඔහු අකර්මණ්‍ය කොට තිබුණේද යන්න බැලීමට රුධිර සහ ශරීර කොටස් සාම්පල රජයේ විශ්ලේෂක වෙත යොමු කෙරේ.
05. පටක ව්‍යාධිවේද වාර්තා (Histopathology)
ශරීරයේ තුවාල සිදු වී ඇති කාලය සහ තුවාල සිදුවී ඇත්තේ මරණයට පෙරද පසු ද යන්න තීරණය කිරීමට මෙය වැදගත් ය.
06. රුධිර රටා විශ්ලේෂණය
ශරීරයේ ඇති වූ තුවාලවලින් රුධිරය වහනය වූ අනුපිළිවෙළ මේ මගින් නිර්ණය කළ හැකි අතර ඒ අනුව තුවාල සිදු වූ අනුපිළිවෙළ නිර්ණය කළ හැක. එසේම දක්නට ලැබෙන තුවාල ස්වයං තුවාලද නැද්ද යන්න, උදාහරණයක් ලෙස , නහර කැපීමකදී රුධිරය විසිරී යන රටාව අනුව එය තමා විසින්ම කරගත් දෙයක්ද නැතහොත් වෙනත් අයෙකු සිටියදී සිදු වූවක්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත. එසේම තුවාල සිදු වූ පසු මරණකරු චලනය වීමක් සිදුව තිබේ දැයි ද නිර්ණය කළ හැක. කෙසේ වෙතත් පුද්ගලයකුගේ මරණය සියදිවි නසා ගැනීමක් ද යන්න තීරණය කිරීමට නම් මිය යන අවස්ථාව වන විට ඔහුගේ මනස පිළිබඳව විද්‍යාත්මක නිගමනයකට එළැඹීම අවශ්‍යවේ.
- මරණයේ ස්වභාවය සහ නොපෙනෙන මනෝ විද්‍යාත්මක සාධක
පුද්ගලයකු සියදිවි නසා ගැනීමට පෙර පෙන්වන චර්යා රටා විවිධය. ඇතැම් විට දැඩි නිහඬතාවකට පත්වන අතර, තවත් විටෙක ඔවුහු කිසිවක් සිදු නොවූවා සේ ඉතා සාමාන්‍ය ලෙස හැසිරීමට උත්සාහ කරති. විශේෂයෙන්ම පවුලේ අය සමඟ විනෝද චාරිකා හෝ වන්දනා ගමන් සැලසුම් කිරීම වැනි "අනාගත සැලසුම්" පැවතීම බොහෝ විට සියදිවි නසාගැනීමේ චේතනාවකට (Suicidal Intent) පටහැණි සාධකයක් ලෙස සැලකේ.
- මොකක්ද මේ Psychological Autopsy කියන්නේ?
"මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් යනු මියගිය පුද්ගලයාගේ මරණයට පෙර දින කිහිපය තුළ ඔහුගේ මානසික තත්ත්වය, පෞරුෂය, සබඳතා සහ ඔහු මුහුණ දුන් පීඩන පිළිබඳව සිදු කරනු ලබන ගැඹුරු විමර්ශනයක්.
මනෝ විද්‍යාත්මක ඇමරිකාව, එංගලන්තය වැනි විදේශ රටවල පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන්නේ අධිකරණ මනෝ වෛද්‍යවරුන් සහ අධිකරණ මනෝ විද්‍යාඥයන් ඇතුළත් කණ්ඩායමක් විසින්. ශ්‍රී ලංකාවේ මේ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සිටියත් සියදිවි නසා ගැනීමක් සම්බන්ධව සැකයක් ඇති විට මහේස්ත්‍රාත්වරයකුට මේ ආකාරයේ පරීක්ෂණයක් කිරීම සඳහා නියෝගයක් ලබාදිය හැකියි. ශ්‍රී ලංකාවේ නීතිය තුළ මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා සෘජුවම නම් කළ වගන්ති නොමැති වුවත්, අපරාධ විමර්ශනයකදී සාක්ෂි ලබා ගැනීම සඳහා පුළුල් ප්‍රතිපාදන පවතිනවා.
විශේෂයෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370 - 373 දක්වා වගන්තිවල හදිසි මරණ පරීක්ෂණ සහ මරණයට හේතුව සෙවීම පිළිබඳව ප්‍රතිපාදන සඳහන් වෙනවා. මරණයක ස්වභාවය නිශ්චය කිරීමට වෛද්‍ය වාර්තා පමණක් ප්‍රමාණවත් නොවන විට දී, විශේෂඥ සාක්ෂි කැඳවීමේ බලය මහේස්ත්‍රාත්වරයාට හිමිවෙනවා. “
මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් පියවරෙන් පියවර සිදුකරන විද්‍යාත්මක ක්‍රියාවලිය හුදු සාකච්ඡාවකට එහා ගිය, ව්‍යුහගත විමර්ශනයකි. ඒ පිළිබඳව ද වෛද්‍යවරයා දැක්වූ තොරතුරු මෙසේයි,
සියදිවි නසාගැනීමේ සිතුවිලි යනු පුද්ගලයෙකුගේ චින්තනය පටු වන තාවකාලික මානසික අවස්ථාවකි. මෙම අවස්ථාවේදී " බල නහර කැපීම" වැනි බියකරු ක්‍රම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විස්තර ප්‍රචාරය කිරීම, ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් විය හැකිය.
පළමුව, මියගිය පුද්ගලයා ඉතිරි කර ගිය සියලුම "ලිඛිත සහ ඩිජිටල් සාක්ෂි" විශේෂඥයන් විසින් පරීක්ෂා කරනු ලැබෙනවා.
ඔහු මීට පෙර මානසික රෝග සඳහා ප්‍රතිකාර ගෙන තිබේ ද? ඔහු ලබාගත් ඖෂධ මොනවා ද? යන්න සොයා බැලීය යුතුයි.
රුකියාව සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණේ නම් ඒ සම්බන්ධව වාර්තා ලිපි ගොනු, ඔහුට යම් චෝදනාවක්, යම් චෝදනාවක් එල්ල වී තිබුණේ නම් එම චෝදනා සහ ඔහු ඒවාට ලබා දුන් පිළිතුරු අධ්‍යයනය කරනු ලබනවා. ඒ වගේම මරණයට පෙර ඔහු අන්තර්ජාලය ඔස්සේ සෙවූ කරුණු (උදා: "නහර කැපීමෙන් මියයන ආකාරය" වැනි දෑ සෙව්වේද?), ඔහු ළගින් ඇසුරු කළ නිතර කතාබහ කළ ,පුද්ගලයන් ගැන ඔහුගේ අවසන් WhatsApp/Messenger පණිවිඩ පිළිබඳ විමර්ශනය කරයි.
- මීළඟට ප්‍රධානම දේ වන්නේ ක්ෂේත්‍ර සම්මුඛ සාකච්ඡා
"මනෝ විද්‍යාඥයන් සහ විමර්ශකයන් මරණකරුට සමීප පුද්ගලයන්ගෙන් තොරතුරු විමසීම. මෙය සාමාන්‍ය පොලිස් ප්‍රශ්න කිරීමකට වඩා වෙනස් "මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක්".
මරණයට පෙර දින පසුදා යාමට ගමනක් යොදාගෙන තිබුණේ නම් ඒ සඳහා ගමන යෑමට ඔහු උනන්දු වූයේ කෙසේද? ඔහුගේ කටහඬේ හෝ මුහුණේ ස්වභාවයේ වෙනසක් තිබුණේද? යන්න පිළිබඳව කරුණු සොයා බැලීම සිදු කෙරෙනවා.
- ඔහුගේ මරණයට පෙර "ජීවන තත්ත්වය" විශ්ලේෂණය
ඔහු අවසන් කාලයේ ගැවසුණු ස්ථාන සහ ඔහුගේ හැසිරීම් රටාවේ වෙනස්කම් නිරීක්ෂණය කරනු ලබන අතර මරණයට පෙර සති කිහිපයක කාලයෙහි සිදු වූ වැදගත් සිදුවීම් කාලානුක්‍රමිකව පෙළගස්වීම සහ. රැස්කරගත් සියලු තොරතුරු ඇසුරින් මියයන අවස්ථාවේ ඔහු සිටි මානසික තත්ත්වය පිළිබඳව විශේෂඥ මතය ගොඩනැගිම සිදුවෙනවා.
ඔහු සිටියේ "සැලසුම් සහගත සියදිවි නසාගැනීමක" (Planned Suicide) ද? නැතහොත් ඔහුට මරණයට පත්වීමට කිසිදු මානසික අවශ්‍යතාවක් නොතිබූ, වෙනත් පාර්ශ්වයක මැදිහත් වීමක් සහිත "සැක සහිත මරණයක්" ද? යන්න පිළිබඳව මෙහිදී තීරණය කරයි.
- අවසන් වාර්තාව සැකසීම
forensic Psychiatrist සහ Psychologist විසින් ඒකාබද්ධ වාර්තාවක් සකස් කරනු ලබයි. මෙහිදී මරණය සිදු වූ ආකාරය පිළිබඳව පහත නිගමනවලින් එකකට පෙලඹිය හැකියි.
1) සියදිවි නසාගැනීමක් වීමට ඇති සම්භාවිතාව
2) අනතුරක් වීමට ඇති සම්භාවිතාව.
3) බාහිර පුද්ගලයෙකුගේ මැදිහත් වීමක් තිබීමේ හැකියාව.
යම්කිසි ආකාරයකට මරණකරු වෙත තුන්වැනි පාර්ශ්වයක් විසින් දැඩි පීඩනයක් එල්ල කොට සියදිවි නසා ගැනීමට පෙලඹුවේ නම් එය ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 299 වගන්තිය යටතේ මරණ දඬුවම හිමි විය යුතු වරදකි. කෙසේ වෙතත් අධිකරණ වෛද්‍යවරුන්ද ඇතුළුව විශේෂඥවරුන් විසින් සිය මත අධිකරණයට ලබාදීමෙන් අනතුරුව එම මතයන් සහ අනෙකුත් සාක්ෂි ද සලකා බලා මරණය ස්වාභාවික ද ,මිනීමැරුමක්ද නැතහොත් සියදිවි නසා ගැනීමක්ද යන්න තීරණය කිරීම අධිකරණය සතු කාර්යභාරයකි.
යම්කිසි පුද්ගලයෙකු, විශේෂයෙන්ම අපරාධයක් හෝ දූෂණයක් සම්බන්ධ පැමිණිලිකරුවකු හෝ සාක්ෂිකරුවකු අබිරහස් ලෙස මියයන විට, ඔහුගේ ශරීරය මෙන්ම ඔහුගේ "මනස" ද පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කළ යුතුය. යුක්තිය යනු හුදු මරණ සහතිකයක් නිකුත් කිරීම නොව, එම මරණයට හේතු වූ සැබෑ චූදිතයන් සහ කුමන්ත්‍රණයන් තිබුණේ නම් ඒවා හෙළිදරව් කිරීමයි.
අපට අවශ්‍ය වන්නේ මියගිය අය වෙනුවෙන් හඬක් නැගිය හැකි, විද්‍යාව සහ නීතිය සුසංයෝගීව භාවිත කරන විමර්ශන පද්ධතියකි. Psychological Autopsy යනු එම ගමනේ ඇති නවීනතම මෙන්ම ප්‍රබලතම අවියයි.
නදීශා අතුකෝරළ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd