ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මැයි දින රැලියේදී නඩු තීන්දු කිහිපයක් සම්බන්ධයෙන් අත්පොළසන් දීමට සූදානමින් සිටින්නැයි යනුවෙන් සිදුකළ ප්‍රකාශය හරහා මෙරට අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය සම්බන්ධ ජනතා විශ්වාසය පලු‍දුවන බවට චෝදනානගන පිරිස් දැඩි චෝදනාවක් එල්ලවෙමින් පවතී. මෙය අධිකරණයට සිදුකරන බලපෑමක් මෙන්ම රටේ ප්‍රජාත්‍රන්තවාදය අනතුරේ හෙළීමක් බවට ජාත්‍යන්තරයට පවා පැමිණිලි කරන තත්ත්වයට පත්ව තිබෙන පසුබිමක මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මහාචාර්ය ජී.එල්. පීරිස් සම්බන්ධ කර ගතිමු.  

Q නඩු තීන්දු සඳහා අත්පොළසන් දෙන්න සූදානමින් සිටින්නැයි ජනපති මැයි රැලියේදී කළ ප්‍රකාශය මේ වනවිට දැඩි ආන්දෝලනයකට ලක්වී තිබෙනවා. නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ඔබ මෙය දකින්නේ කොහොම ද?

එය බරපතළ ප්‍රකාශයක්. එවැනි අර්බුදයක් ශ්‍රී ලංකා අධිකරණ ක්ෂේත්‍රයේ මෙතෙක් දුරට කිසිදු දවසක ඇතිවෙලා නැහැ. මේක අසමාන, අද්විතීය සිදුවීමක්.

අතිගරු ජනාධිපතිතුමා මහරගම මැයි රැලිය අමතමින් මෙසේ පැවසුවා.

“ඊයේ (අප්‍රේල් 30දා) නඩුවක් ඇහැව්වා. ඒ නඩුවේ තීන්දුව මැයි 25 එනවා. ඒ නඩු තීන්දුව එනවිට අත්පොළසන් නාදයකින් එය පිළිගැනීමට සූදානම් වෙලා ඉන්න. ”‍ 

මොකක් ද මේ කියන්නෙ, ජනාධිපතිතුමා ඉඟියක් දෙනවා නඩු තීන්දුවේ නිගමනය මොකක් ද කියලා. නඩු තීන්දුව පිළිබඳ පූර්ව දැනුමක් තමන්ට තිබෙන බව ජනාධිපතිතුමා අඟවනවා. අනික එතුමා කියන විදිහට මේක එක නඩුවකට සීමාවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ පළමු පුරවැසියා වන ජනාධිපතිවරයා විසින් සම්පූර්ණ අධිකරණ පද්ධතිය සැහැල්ලු‍වට ලක්කිරීමක්. මේක කවදාවත් අපේ රටේ දැක්කේ නැති අද්වීතීය අර්බුදයක්.

ශිෂ්ට ලෝකයේ ඕනෑම රටක පිළිගත් නීතිය තමයි නඩුවක් අහනකොට විනිශ්චයකාරකාරතුමා ඒ නඩු තීන්දුව දෙන්න පෙර ඒ නඩු තීන්දුව කිසිම තුන්වැනි පාර්ශ්වයක් සමග සාකච්ඡා කරන්න බැහැ යන්න. එතුමා ඒ නඩුවේ ඉදිරිපත්වෙච්ච සාක්ෂි සලකා බලලා නීතියට අනුව තීන්දුවක් දෙනවා. මෙතැනදි මාර්ගෝපදේශන විදිහට තිබෙන්නේ කාරණා 2යි. එකක් නීතිය, අනෙක තමන්ගේ හෘද සාක්ෂිය. කිසිම දවසක විනිශ්චයකාරවරයකු නඩු තීන්දුව සම්බන්ධව තුන්වැනි පාර්ශ්වය සමග සාකච්ඡා කරලා නැහැ. තුන්වෙනි පුද්ගලයකු තෘප්තියට පත්කිරීම හෝ සමාජයේ අත්පොළසන් ලබාගැනීම නෙවෙයි අභිප්‍රාය, යුක්තිය ඉෂ්ට කිරීමයි.

ඕනෑම සමාජයක ප්‍රශ්න තිබෙනවා. නමුත් අවම වශයෙන් ඒ සමාජයේ සියලු‍ දෙනාට දැඩි විශ්වාසයක් තිබෙන්න ඕනෑ උසාවියට ගිහින් යුක්තිය ඉෂ්ට කරගන්න පුළුවන් කියලා. දුප්පත් වුණත්, පොහොසත් වුණත්, බලවත් වුණත් නැතිවුණත්, බලවත් පුද්ගලයන් ආශ්‍රය කරනවා වුණත් නැතිවුණත්, සාමාන්‍ය පුරවැසියකු වුණත්, කාටවුණත් නීතිය ඉදිරියේ සමානතාව ලැබෙන්න ඕනෑ. එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියේ පළමුවන උපවගන්තියේ ගැබ්ව තිබෙනවා. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සමග දැන් මේ විශ්වාසය සම්පූර්ණයෙන් පලුදුවෙලා.  ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබද ජනතා විශ්වාසය දෙදරන තත්ත්වයට පැමිණ තිබෙනවා. එහෙම වෙන්නේ ප්‍රබල පුද්ගලයන් සමග සාකච්ඡා කර නඩු තීන්දු දෙනවා කියන කාරණය නිසයි.  ජනාධිපතිතුමගේ ප්‍රකාශය විනිසුරු තුමාට බලපෑමක්නෙ. මේ බලපෑම එල්ලකරන්නෙ සාමාන්‍ය පුද්ගලයකු නොව විධායක ජනාධිපතිවරයා විසිනුයි. විනිසුරුවරුන් පත්කිරීම, උසස්වීම් ලබාදීම, ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් පත්කිරීමට නිර්දේශ ඉදිරිපත්කිරීම (ව්‍යවස්ථාදායක සභාවටත් මෙහි යම් බලතල පැවරී තිබුණත්) සම්බන්ධව ජනාධිපතිවරයාට  කේන්ද්‍රීය බලයක් හා වගකීමක් පැවරී තිබෙනවා. එවන් පුද්ගලයකුගෙන් තමයි මේ බලපෑම එන්නෙ. එවන් පසුබිමක  විනිශ්චයකාරවරයා එවන් අසීරුතාවකට පත්කිරීම සාධාරණ ද? ඒ විනිශ්චයකාරවරුන්ට පුළුවන් ද මෙවැනි මැදිහත්වීම්වලට මුහුණ දෙන්න. 

දැන් මේ විනිශ්චයවරයාගේ තත්ත්වය මොකක් ද කියලා අපි අවංකව හිතලා බලමු. දැන් මේ නඩු තීන්දුව ලියලා ඉවරයි. නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන්න සූදානම් වෙලා ඉන්නෙ මැයි 25. දැන් මේ නඩු තීන්දුව ගැන ජනාධිපතිවරයා ලබාදුන් ඉඟිය ගැන මුළු රටම දන්නවා. අත්පොළසන් දෙන්න සූදානම් වෙලා ඉන්න කිව්වනෙ. එතකොට කොයි පැත්තට ද මේක යන්නෙ.

මැයි 25දාට විනිශ්චයකාරවරයාට විනිසුරු අසුනට නැඟලා මේ නඩු තීන්දුව දෙන්න පුළුවන් ද? ආත්ම ගරුත්වයක් ඇතිව එහෙ කරන්න පුළුවන් ද? එහෙනම් මොනව ද ඒ විනිශ්චයකාරවරයාට ඉතිරිවෙලා තිබෙන විකල්ප. 

එක්කො මේ නඩුවෙන් ඉවත් වෙන්න පුළුවන්. මෙතන අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා, ඒ නිසා මම තවදුරටත් මේකට අතගහන්නේ නෑ. ඒනිසා මම ඉවත්වෙනවා කියලා ඉවත්වෙන්න පුළුවන්. හැබැයි එය එතුමාට කිසිසේත් අදාළ නොවන අසාධාරණ හේතුවක් නිසා ඉවත්වීමට සිදුවීමක්. 

එසේ නොවනවා නම් විනිසුරුවරයාට පුළුවන් මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල්දාන්න. හැබැයි කල්දාලත් මොකද කරන්නෙ, නඩු තීන්දුව වෙනස් කරනව ද? එය සංශෝධනය කරනවද? මුළු රටම බලාපොරොත්තුවෙනවා එක්තරා නඩු තීන්දුවක්. නඩු තීන්දු ඒ අපේක්ෂාවට අනුව ප්‍රකාශයට පත්කරනව ද? එහෙම නැත්නම් ඒක කරන්න බැහැ, එය මගේ ආත්ම ගරුත්වයට කැළලක්. ඒ නිසා මම මේ නඩු තීන්දුව වෙනස් කරනවා කියන ස්ථාවරයට එනව ද? බලන්න, ජනාධිපතිතුමා තම ප්‍රකාශයෙන් කොයිතරම් අවුලක්, ව්‍යාකූල බවක් ඇතිකරලා ද කියලා.

අවසානයේ මේ නඩු තීන්දුව දෙන්නේ නීතියට අනුකූලව, සාක්ෂිවලට අනුකූලව සාධාරණව ද?

එසේත් නැත්නම් බාහිර මැදිහත්වීම්වල ප්‍රතිඵලයක් වශයෙන් වෙන විදිහකට සකස්කරන්න සිදුවන නඩු තීන්දුවක් ද? කිසිම විනිශ්චයකාරවරයකු මෙවන් අපහසුතාවකට පත්කිරීම කිසිසේත් සුදුසු වන්නේ නැහැ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ සම්බන්ධව පැහැදිලි විධිවිධාන තිබෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්පූර්ණ පරිච්ඡේදයක් තිබෙනවා අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධව. ඒ 15වැනි පරිච්ඡේදයයි. එහි 105වැනි වගන්තියේ 03වැනි උපවගන්තියෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධව විශේෂ විධිවිධානයක් ති​ෙබනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111වැනි වගන්තියේ තිබෙනවා කිසිම පුද්ගලයකු අයුතු ලෙස නඩු තීන්දුවක් සම්බන්ධයෙන්, විනිශ්චයකාරවරයකු සම්බන්ධයෙන් මැදිහත්වීමක් සිදුකරනවා නම් වසරක සිර දඬුවමකට යටත්වනවා සහ එම පුද්ගලයාගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි කිරීමට සිදුවනවා යනුවෙන්. 

යුක්තිය පසිඳලීමේ කටයුත්ත සියයට 100ක් නිර්මල විය යුතුයි. මේ සම්බන්ධයෙන් පිළිගත් සිද්ධාන්තයක් තමයි යුක්තිය පසිඳලීම හරියාකාරයෙන් සිදුවනවා පමණක් නොව හරියාකාරයෙන් සිදුවන බවට පූර්ණ විශ්වාසයක් සමාජයේ මුල්බැසගෙන තහවුරු වෙලා තිබෙනවා. දැන් ඒ සියල්ලක්ම මේ ප්‍රකාශය නිසා දරුණු අභියෝගයකට ලක්වෙනවා. මේ නිසා තමයි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ අත්සනින් අග්‍රවිනිශ්චයකාරවරයාට ඉතා ඉක්මනින් සන්දේශයක් යවන්න තීරණය කළේ. එතුමාගේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි. 

අපේ රටේ අධිකරණ පද්ධතිය ගැන, විනිශ්චයකාරවරුන් සම්බන්ධව ලොකු ප්‍රෙ‌ෟඩත්වයකින් කතාකරනවා. ඒ වගේම විනිශ්චයකාරවරුන් විශාල කීර්තියක් ලබාගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ක්‍රිෂ්ටි වීරමන්ත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමා ජාත්‍යන්තර අධිකරණයේ උපසභාපති ලෙස කටයුතු කළා. ඩී.එස්. ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා නීතිවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ ඉහළ තනතුරු දැරුවා. මේක අපේ සංස්කෘතික හා නීතිමය උරුමයේ කැපී පෙනෙන ලක්ෂණයක්. අපේ රටේ ජනතා ගෞරවයට පාත්‍ර​ෙවලා තිබෙන, පලුදුවෙලා නැති එකම ආයතනය ශ්‍රී ලංකා අධිකරණයයි. මේ නිසා ඒ ගෞරවය, ඒ කීර්තිනාමය එලෙසම රැකගන්න පක්ෂ භේදයකින් තොරව අපි ඒකාරාශි වෙන්න ඕනෑ. ඒ සඳහා අපි අග්‍රවිනිශ්චයකාරතුමා දැනුවත් කරනවා. ජාත්‍යන්තර වෘත්තිමය සංවිධාන දැනුවත් කරනවා. අපේ අරමුණවෙන්න ශ්‍රී ලංකා අධිකරණය සහ යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය කිසිදු බාහිර බලපෑමකින් තොරව සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගැනීමයි.

Q ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයත් සමග අධිකරණය සම්බන්ධ ජනතා විශ්වාසය බිඳවැටීමක් සිදුවිය හැකියි නේද? මේ තත්ත්වය වළක්වා ගන්නේ කොහොම ද?

ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට මහේස්ත්‍රාත් අධිකරණය දක්වා සියලු‍ විනිශ්චයකාරවරුන්ට මම උගන්වලා තිබෙනවා. මෙවැනි පිරිසකට ඉගැන්වීම මගේ ජීවිතේ ලබාගත් විශාල වරප්‍රසාදයක් වගේම ඉන් මම විශාල තෘප්තියක් ලබනවා. මම වසර 26ක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නීති මහාචාර්යවරයකු, උපකුලපතිවරයකු ලෙස නීතිය උගන්වා තිබෙනවා. මට සහතිකව කියන්න පුළුවන් මේ පිරිසෙන් අතිබහුතරය අවංක පුද්ගලයන් බව. තමන්ගේ කර්තව්‍ය අවංකව ඉටුකිරීමේ අධිෂ්ඨානය ඇති පිරිසක් තමයි අද අපේ රටේ අධිකරණ විනිශ්චයකාරවරුන් බවට පත්ව තිබෙන්නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙහෙසෙන්නේ ඔවුන්ට  තමන්ගේ කර්යභාරය  ස්වාධීන ලෙස කිසිදු බලපෑමකින් තොරව ඉෂ්ට කිරීමේ වාතාවරණය, පරිසරය සකස් කරදීම සඳහායි. එතැන තමයි දැන් ප්‍රශ්නය ඇතිවෙලා තිබෙන්නෙ. 

විනිශ්චයකාරවරුන් කියන්නෙ අවංක පුද්ගලයන්. නීතිය අනුව යුක්තිය පසිඳලීමට ඇප කැප වී සිටින පුද්ගලයන්. ඒ කර්තව්‍ ඉටුකිරීමට අවශ්‍ය සියලු‍ම පහසුකම්, වාතාවරණය සපයාදීම තමයි මේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභිප්‍රාය. අපි වින්ශ්චයකාරවරුන් රැකගන්න ඕනෑ. මෙහෙම දේවල්වලට අපි කවදාවත් ඉඩ තියන්න හොඳ නෑ. මේ සම්බන්ධව වෙන කාටවත් වඩා විශාල වගකීමක් තියෙන්නේ අග්‍රවිනිශ්චයකාරතුමාටයි. එතුමා හොයලා බලන්න ඕනෑ මොකක් ද මේ වුණේ කියලා.

අපි පූර්ව නිගමනයකට බහින්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමා තමයි ඉඟියක් දෙන්නේ එතුමාට පූර්ව දැනුමක් තියෙනවා. ඒ නිසා අග්‍රවිනිශ්චයකාරතුමා ඒ ගැන හොයන්න ඔිනෑ. 

Q ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාත් පසුගියදා පැවසුවා අතීතයේ ගල්අඟුරු ගනුදෙනු සොයන්න පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන බව. මේ කොමිසමත් අත්පොළසන් බලාපොරොත්තුවෙන් පත්කරන්නක් වෙයි ද?

විශේෂ ජනාධිපති කොමිෂන් සභා පත්කිරීම සම්බන්ධයෙන් අපේ රටේ නීතියක් තිබෙනවා. ඒ තමයි 1978 අංක 7 දරන නීතිය. එහි සුවිශේෂත්වය වෙන්නේ වෙන කොමිෂන් සභා මෙන් නොව මෙම කොමිෂන්සභාවේ සාමාජිකයන් විදිහට ජනාධිපතිතුමා පත්කරන සියලු‍ම දෙනා වර්තමාන විනිශ්චයකාරවරුන් විය යුතුයි. ඒ වගේම මේ සඳහා දිසාඅධිකරණයට පහළ විනිශ්චයකාරවරුන් පත්කිරීමට නොහැකියි යනුවෙන් එම නීතියේ දෙවන වගන්තියේ උපවගන්තියේ සඳහන්. සාමාන්‍ය කොමිෂන් සභාවකට විශ්‍රාමගිය විනිශ්චයකාරවරුන්, රාජ්‍ය සේවයේ කීර්තිනාමයක් සහිත පුද්ගලයන්, විදුහල්පතිවරුන්, ප්‍රසිද්ධ නීතිඥවරුන්, සමාජයේ කීර්තිනාමයක් සහිත පුද්ගලයන් පත්කළ හැකිවුවත් විශේෂ ජනාධිපති කොමිසමකට එවැනි අය පත්කළ නොහැකි සුවිශේෂ ගණයේ කොමිෂන් සභාවක්. 

ඒ වගේම මෙහි නඩු අහන්නේ අධිකරණයක නඩු අහන විදිහටමයි. ටිල්වින් සිල්වා මැතිතුමා කිව්වත් මෙය අධිකරණ බලයක් සහිතයි කියලා එය වැරදි. හැබැයි මෙහි අධිකරණයේ මෙන් විත්තිකරුවන් සඳහා නීතිඥයන් පෙනී සිටිනවා. අධිකරණයක සාමාන්‍ය ක්‍රියාදාමය තමයි එතන සිද්ධවෙන්නෙ.

විශේෂ ජනාධිපති කොමිසමකට පුළුවන් නිර්දේශ කරන්න අසවල් පුද්ගලයාගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කරන්න කියලා. ඉන්පසුව එම නිර්දේශය පාර්ලිමේන්තු අනුමැතියට යොමු කරනවා. පාර්ලිමේන්තුවෙන් එය අනුමත වුණොත් එම පුද්ගලයාගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසි වෙනවා. 

මේ පනත ගෙනාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටයි. එය ඉටුකෙරුණා. එම කොමිසමෙන් නිර්දේශයක් ඉදිරිපත් කළා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභිමතය අවභාවිත කළා යනුවෙන්. එහෙම වරදක් අපේ නීතියේ නැති වුණත් එම නිර්දේශය පාර්ලිමේන්තුවේ අනුමත නිසා එතුමියට වසර 7කට ප්‍රජා අයිතිය අහිමි වුණා. 

අනුර කුමාර ජනාධිපතිවරයා විසින් මෙම කොමිෂන් සභාව පත්කරලා තිබෙන්නේ ගල් අඟු‍රු ගැටලුව ගැන සෙවීමට. නමුත් එහි සාමාජිකයන්ගේ කාර්යභාරය නිර්වචනය කිරීමේදී මේ වනවිට සමාජයේ කතාබහට ලක්වෙන මිලියන 2200 ගල් අඟු‍රු වංචාව ගැන සෙවීම නොව 2009 සිට සියලු‍ම ගල් අඟු‍රු ගනුදෙනු ගැන විමර්ශන පවත්වලා නිර්දේශ ඉදිරිපත් කරන්න යනුවෙනුයි දක්වා තිබෙන්නේ. මෙම කාලයෙහි සිදුවූ ගනුදෙනු ප්‍රමාණය දළ වශයෙන් 460ක්. 

මෙම ගනුදෙනු 460 ගැන සොයන්න ලබාදී ඇති කාලය මාස 6යි. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක් ද? ටිල්වින් සිල්වා කියන්නෙ සාමාන්‍ය පුද්ගලයකු නොව ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් වරයායි. එම පක්ෂයේ සංයුතිය හා සංස්කෘතිය අනුව අතිශය ප්‍රබල තනතුරක්. ඒ නිසා ජනාධිපතිතුමා වගේම ප්‍රබල පුද්ගලයෙක් තමයි ටිල්වින් සිල්වා මැතිතුමා. ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා “කොමිසම පත්කර මාස 3ක් තුළ ගල් අඟු‍රු වංචාව ගැන ආණ්ඩුවට විරුද්ධව චෝදනා එල්ලකරන පුද්ගලයන් චූදිතයන් බවට පත්වෙනවා. ආණ්ඩුවෙ අය සම්පූර්ණයෙන් නිදොස්.”‍ 

ඇයි මෙහෙම කොමිෂන් සභාවක් පත්කරන්නෙ. ඔවුන් දැනටමත් තීරණයක් අරගෙන ඉවරයිනෙ. වින්ශ්චයකාරවරුන්ට තීරණය කරන්න දෙයක් ඉතිරි කරලා තියෙනව ද?  මෙය වර්තමානයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අධිකරණ බලය භාවිත කරලා වින්ශ්චයකාරවරුන්ට සිදුකරන නිග්‍රහයක් සහ අපහාසයක්. ඒ අයගේ නිගමනය මොකක් ද කියලා රජය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අනුව වාර්තාවක් හදලා දෙන්න කියලද මේ කියන්නෙ. මේ කොමිසන් සභාවේ ඉන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද නඩු අහන වින්ශ්චයකාරවරයෙක්, අභියාචනාධිකරණයේ අද නඩු අහන විනිශ්චයකාරවරයෙක් සහ මහාධිකරණයේ අද නඩුඅහන විනිශ්චයකාරවරයෙක්. ඒ අයට කියනවා මාස 6ක් යන්න ඕනැ නෑ මාස 3ක් තුළ මෙන්න මේ නිගමනයට තමයි එන්න ඕනෑ කියලා. අපේ විනිශ්චයකාරවරුන්ගේ ආත්ම ගෞරවයට මොකද වෙන්නෙ. අන්න ඒක තමයි ප්‍රශ්නය.මෙය ඉතා ශෝචනීය අවස්ථාවක්.

Q විශේෂ ජනාධිපති කොමිසමේ තීරණ ගැන අභියාචනා ඉදිරිපත් කරන්න තැනක් නැද්ද?

නැහැ. ඇපිල් කරන්න තැනක් නැහැ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සම්බන්ධ නිර්දේශ ඇපිල් කරන්න හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි මේ නිර්දේශ එකපාරටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට යම් කාලයක් ගත වෙනවා. හැබැයි ආණ්ඩුවට බහුතර බලයක් තිබෙන නිසා ඒ නිර්දේශ පාර්ලිමේන්තුවේදී නිසැකවම සම්මත වෙනවා. සිරිමාවෝ මැතිනිය සම්බන්ධ නිර්දේශ පාර්ලිමේන්තුවේ 5/6ක බලයෙන් සම්මත වුණාම එතුමිය ඒ වෙලේම දොට්ට දැම්මා. 

මේ නිසා විශේෂ කොමිසමක් පත්කරනවා නම් එහි සාමාජිකයන්ට ස්වාධීනව ක්‍රියා කරන්න අවස්ථාවක් දෙන්න ඕනෑ. නමුත් දැන් ආණ්ඩුව මෙහෙයවන දේශපාලන පක්ෂයේ අතිශය ප්‍රබල මහලේකම්වරයායි මේ කාරණය කියන්නෙ. එවිට ඒ විනිශ්චයකාරවරුන්ගේ තත්ත්වය මොකක් ද?

Q ආණ්ඩුව මේ හරහා උත්සාහ කරන්නෙ රට පාලනය කරන්නෙ පැලවත්තෙන් යැයි ප්‍රචලිත චෝදනාව මහපොළොවේ යථාර්ථයක් බවට පත්කිරීම ද?

ඇයි නැත්තෙ. ඒක ඇස්පනාපිට පේනවානෙ. ලාල් කාන්ත මැතිතුමා කියනවා “අපිට දැන් තිබෙන්නෙ ආණ්ඩුව මෙහෙයවීමේ බලය පමණයි. අපි එයින් කිස්සේත් සෑහීමකට පත්වෙන්නේ නෑ. අපට ඕනෑ රාජ්‍යයේ සියලු‍ මර්මස්ථාන අපේ පාලනයට නතුකර ගැනීමයි“ යනුවෙන්. 

ඒ වගේම ටිල්වින් සිල්වා මැතිතුමා කියනවා “අවුරුදු 5කින් අපේ වැඩපිළිවෙළ ඉවර කරන්න බැහැ. අවුරුදු 25ක්වත් අවශ්‍යයි“ යනුවෙන්. තවත් බොහෝ අය ඔය අවුරුදු 25 කතාව කියලා තියෙනවා.

මේ රටේ උත්තරීතර නීතියක් තියෙනවා. අවුරුදු 5කට වරක් ජනතාවට අයිතිය තියෙනවා මැතිවරණකට ගිහින් ආණ්ඩුවක් පත්කරගන්න. ඉන්න ආණ්ඩුව හොඳයි කියලා පිළිගන්නවා නම් අවුරුදු 25ක් නෙවෙයි අවුරුදු 50ක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි ඒ තීන්දුව ගන්න ඕනැ මහජනතාව මිසක් පක්ෂයක මහලේකම් හෝ පක්ෂය විසින් නෙවෙයි. ඒ නිසා ජනතාවට සර්වජන ඡන්දබලය භාවිතා කිරීමේ අයිතිය වසර 5කට වරක් ලැබෙන්න ඕනැ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ අත්තිවාරම. ඒ අයිතිවාසිකම නැත්නම් අන් කිසිදු අයිතියක් ඉතිරිවන්නේ නැහැ.ඒ තමයි උල්පත. සර්වජන ඡන්දබලය කියන උල්පතෙන් තමයි අන් සියලු‍ අයිතිවාසිකම් ගලාගෙන එන්නෙ. මින් පෙර සිටි කොයි ප්‍රබල ආණ්ඩුවක්වත් කිව්වේ නැහැ ජනතාව මොනවා කිව්වත් අවුරුදු 5කින් ගෙදර යන්නේ නැහැ, අපට කරන්න වැඩක් තියෙනවා, ඒ වැඩේ ඉවරවෙන තුරු අපි මෙතන ඉන්නවා, අපි මේක අතහරින්නේ නැහැ කියලා. එහෙනම් ඒක ප්‍රජාතන්ත්‍රවාදි ආණ්ඩුවක් ද? අඥාදායක ආණ්ඩුවක් ද? ඒ ප්‍රශ්නය බොහොම පැහැදිලිනෙ.

Q නීතිපතිවරයාට සාක්ෂි රහිතව වුවත් නඩු පැවරීමට බලකිරීමක් සිදුකරන බවට චෝදනා ලැඟෙනවා නේද?

නීතිපතිවරයාගේ කාර්යභාරය මොකක්ද කියලා අපි ඉතා පැහැදදිලිව වටහා ගන්න ඕනෑ. නීතිපතිවරයා කියන්නෙ නඩුපවරන මැෂිමක් හෝ යාන්ත්‍රණයක් නෙවෙයි. කිසිම ආණ්ඩුවකට නීතිපතිවරයාට කියන්න අයිතියක් නැහැ, “ඔබතුමාගේ කාර්ය නඩු පවරන එක, ඒ නඩු අහලා චූදිතයන් සදොස් ද නිදොස් ද යන්න තීරණය කිරීම ඔබතුමාගේ කාර්යක් නෙවෙයි. ඒක අධිකරණයට භාර කාර්යක්. ඔබතුමා ඒ ගැන කරදර වෙන්න එපා. දිගට හරහට නඩු දාන්න. ඒ නඩු අධිකරණයට ගේන්න. ඊට පස්සෙ වෙන දේ උසාවියට භාරයි.”‍ යනුවෙන්. මේක සම්පූර්ණයෙන් වැරදි ප්‍රකාශයක් පමණක් නොව අපේ නීති පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කරන මතයක්. 

නීතියේ භාෂාවෙන් නීතිපතිවරයාට අර්ධ අධිකරණ මනසක් භාවිත කරන්න වෙනවා මේ කාර්තව්‍ය ඉෂ්ට කිරීම සඳහා. අර්ධ අධිකරණ මනසක් කියන්නෙ එතුමාගේ කාර්ය තමයි බැලූ බැල්මට පෙනෙන ප්‍රමාණවත් නඩුවක් මෙතන තියෙනවද නැද්ද යන්න නිගමනය කිරීම. ඒ සඳහා ඊට අදාළ බී වාර්තා හෝ වෙනත් ලේඛන සැලකිල්ලට ගෙන ස්වාධීන නිගමනයකට එන්න ඕනෑ මේ නඩුව උසාවියට ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් පදනමක් තිබෙනවද නැද්ද යනුවෙන්. අධිචෝදනා පත්‍රයක් යැවීම කියන්නෙ සැහැල්ලු‍වෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. 

මෙහිදී පවතින පැහැදිලි නීතිමය සිද්ධාන්තයක් තමයි ඒ තීරණය ගැනීමේදී නීතිපතිවරයාට කිසිම බාහිර සාධකයක් භාවිත කිරීමට පුළුවන් කමක් නෑ. දේශපාලන සාධක සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕනෑ. අර්ධ අධිකරණ කියන එකේ තේරුම ඒකයි. ඒ නිසා නීතිපතිතුමාට මෙන්න මේ අහවල් අහවල් නඩු දාන්න කියලා බලපෑම් කරන්න බැහැ. මේ සියලු‍ දේවල් අපි හැමදාම ගරුකරපු දේවල්. දැන් සිද්ධවෙන්නෙ ප්‍රජාතන්තවාදය සුරක්ෂිත කරන මේ කුලු‍නු එකින් එක සම්පූර්ණයෙන් විනාශ කර දැමීම. විනිශ්චයකාරවරුන්ගේ ස්වාධීනත්වය හා ගෞරව නාමය, නීතිපතිතුමාගේ ස්වාධීන කාර්ය භාරය ආදිය චේතනාන්විතව, සැලසුම් සහගතව එකිනෙක විනාශ කර දැමීමේ වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරමින් තිබෙන්නෙ.

Q රට අපි ඒකාධිපතිවාදයක් කරා ගමන් කරමින් සිටිනවා යැයි චෝදනාවක් තියනවා?

තාම ඒක සිද්ධ වෙලා නෑ. එවැනි අවදානමක් තිබෙනවා. හැබැයි මෙහෙම ගියොත් ඒක තමයි සිද්ධවෙන්නෙ. ඒ නිසා ජනතාවට මේ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුයි, මොකක්ද මේ වෙන්න යනුවෙන්. මේ වෙන දේවල්වල ප්‍රතිඵලය මොකක්ද? ජනාධිපතිතුමාගේ මැයි දින දේශනයෙන් ඉස්මතුවන ගැටලු‍ මොනවා ද? ඒවා කෙතරම් බරපතළ ද, ඒවා කොච්චර දුර යනව ද ? විනාශකාරි ගමනක පෙරනිමිති බොහොම පැහැදිලිව පේනවා. හැබැයි මේ තත්ත්වය වළක්වා ගන්න අපට තාම අවස්ථාව තිබෙනවා. නමුත් එය පාර්ලිමේන්තුවේ විපක්ෂයට පමණක් කළ හැක්කක් නෙවෙයි. සිවිල් සමාජය ඒ සඳහා සෘජු දායකත්වයක් දක්වන්න ඕනෑ. ආගමික නායකයන්, සිවිල් සංවිධාන, නීතිඥ සංගමය, වෙනත් වෘත්තීය සංගම් හැමෝම මේ සඳහා එක්විය යුතුයි. මේ පිළිබඳ පූර්ව හැඟීමක්, මින් ජනිතවන අනුෂංග පිළිබඳ පූර්ව අපේක්ෂණයක් ලෙස පූර්ව දායකත්වයක් සමාජයෙන් අවශ්‍යයි. 

නිරෝෂාන් ප්‍රේමරත්න