“විවාහ මංගල්‍යය ගැන දහසකුත් එකක් සිහින මවාගෙන දවස් දෙකක කෙටි නිවාඩුවක් අරන් ගෙදර ආපු මගේ පුංචි එකාට මේ ඉරණම අත්කර දුන් මාරයන්ට නම් හොඳක් වෙන්න එපා දෙවියනේ. එයා ගෙදර ආවේ ප්‍රී ෂූට් එකට පින්තූර ගන්න. ඒකට ගෙදර ආපූ පුංචි එකාට ගහලා මරලා දැම්මේ මොන වරදක් කළාට ද දෙයියනේ....?” යි කියමින් කේ.එල්. පදුමාවතී මාතාව හඬා වැලපුණාය. 

සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කරන්දෙණියේ මහගොඩ දී පැවැත්වුණු සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් සිටිය දී - විසිදෙනෙකු ගෙන් පමණ සමන්විත මැර කණ්ඩායමක ප්‍රහාරයට ලක්ව, දින පහළොවක් පමණ සිහිසුන්ව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය සිය පොඩි පුතුගේ අභාවයෙන් කම්පිතව ඕ එලෙස සෝ සුසුම් හෙළුවාය.  

මේ අයුරින් ශෝකජනක ලෙස ජීවිතක්ෂයට පත් වූයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කළ කරන්දෙණියේ පදිංචි ශාමාල් කුමාර පුංචිහේවා නම් තරුණ මහතෙකි.

විසි දෙනෙකු ගෙන් පමණ සමන්විත කණ්ඩායමක් අතිශය අමානුෂික අයුරින් පොලු‍ මුගුරුවලින් පහර දී මෙම මිනීමැරුම සිදුකරන ලදැයි කියැවෙන අතර - කිසිවෙකුට හානියක්, දොසක්, වරදක් නොකරන ශාමාල් තරුණයා කෲර අයුරින් පහර කා මිය යාමට තරමේ තියා ප්‍රමාද දෝෂමය ස්වභාවයේ වරදක් හෝ නොකරන අහිංසකයකු යැයි රට්ටු සහතික කොට ප්‍රකාශ කර සිටින හෙයින්, ඒ ගැන විමසීමට සිටිනුයේ උඩ ඉන්න දෙවියන් පමණකි.

ශාමාල් ගේ විවාහ මංගල උත්සවය යොදා ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් 23 වැනිදාට ය. ඒ සඳහා අවැසි ප්‍රී ෂූට් පින්තූර ගැනීමට ඔහු සේවය කරන කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් දෙදින නිවාඩුවක් ලබා සිය මහඒදණ්ඩ ගම්පියසට එන්නේ 16දාය. අදාල කටයුත්තට ඡායාරූප ශිල්පියා සමග දින නියම කරගෙන තිබුණේ පසුදා ටය. එනම් අප්‍රේල් මස 17 වැනිදාය.

අමානුෂික මැරයෝ ඊට ඉඩ නොදුන්හ. හේතුවක් ඇතත් නැතත් හිත්පිත් නැති මැරයන්  විස්සක් පමණ ශාමාල් ගේ හිසේ දාහතර තැනක් පමණ ඉරිතළන තෙක්ම අත වූ පොලු‍ මුගුරු වලින් පහර දුන්නෝය. ඒ නිසාම ප්‍රී ෂූට් පින්තූර ගැනීම සහ විවාහ මංගල උත්සවය පසෙක තියා මතක  පින්තූර පමණක් නෑ හිතවතුන්ට ඉතිරි කර ඔහු මැයි 4 වැනිදා පස්වරුවේ පැවති  අවමංගල්‍ය උත්සවයකින් අනතුරුව යන්නම යන්න ගියේය. ඒ අඩි හයක් පොළොව යටටය. 

අනේ මට ගහන්න එපා. ඇයි මට ගහන්නේ? මම ගුවන් හමුදාවේ වැඩ කරන්නේ.’ යනුවෙන් කිය කියා කෑ ගහලා. ඒත් හිත්පිත් නැති මාරයෝ පුතාට සිහි නැති වෙනකම් ම ගහලා මහපාර අයිනේ දාල ගිහිල්ලා.

විවාහ මංගල උත්සවය පෙනි පෙනී විසි දෙනකුගේ පමණ අමානුෂික පහරින් ඝාතනය වූ ඒ අහිංසක ගුවන් හමුදා සෙබළාගේ හද කකියවන කතාවේ සමාප්තිය ඒ අයුරින් සිදුවිය.

මෙම තරුණයා මෙලොව එළිය දකින්නේ කරන්දෙණිය මහඒදණ්ඩ පදිංචි මිල්ටන් පුංචිහේවා සහ කේ.එල්.පදුමාවතී යුවළට දාව පවුලේ සිව් වැනියා ලෙසය. ඔහුට වැඩිමහල් සොහොයුරන් තිදෙනෙකි. ඔවුන් තිදෙනාම ශාමාල් මෙන්ම ආරක්ෂක අංශයේය. වැඩිමහල් සොහොයුරා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන මංජුල කුමාර පුංචිහේවාය. දෙවැන්නා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන අසංක කුමාර පුංචිහේවාය. තෙවැන්නා  පොලිසියේම සේවය කරන මිලින්ද කුමාර පුංචිහේවාය. පවුලේ බඩපිස්සිය ඉෂාරා කුමාරි පුංචිහේවාය. ශාමාල් හැර අනෙක් සහෝදර සහෝදරියන් සිව් දෙනාම මේ වන විට සිව් දිගින් දීගතළ ගොස් දරුමල්ලන් ගේ සුරතල් බලමින් පවා සිටිති. පුංචි නොවූ පුංචිහේවා පවුලේ දීගතල යාමට ඉතිරි වී  සිටියේ ශාමාල් පමණි. 

ශාමාල් සිය ප්‍රියම්බිකාව කැන්දා ගෙන එන තෙක් පුංචිහේවා පවුලම අතැඟිලි ගැන ගැන සිටියෝය. ඒ අතරින් පුංචිහේවා පවුලේ නියමුවන් වන මිල්ටන් පුංචිහේවා සහ කේ.එල්.පදුමාවතී දෙපළ ඉදිරියෙනි. කාන්තාවක හා මවක ලෙස එයිනිදු පදුමාවතී සුවිශේෂී වෙන බව අමුතුවෙන් කිව යුතු නැත.  

ශාමාල් (දකුණේ) රණවිරු සහෝදරයන් තිදෙනා සමග

“අනේ දෙයියනේ මෙවන් දුකක් වනේ වන හතුරෙකුගේ අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට වෙන්න එපා.මම කොච්චර ආසාවෙන්ද හිටියේ මගේ පුංචි එකා මනමාලයෙක් වෙලා ඉන්නවා දකින්න. මට ඒකට මේ මාරයෝ ඉඩ දුන්නේ නැහැ. අනේ මගේ පුංචි පුතා ඉතිං ආයේ කවදාවත්ම මනමාලයෙක් වෙන්නේ නැහැ. මගේ පුංචි එකා කෙටි නිවාඩුවකට ගෙදර ආවේ විවාහ මංගල උත්සවයට අවශ්‍ය ප්‍රී ෂූට් පින්තූර ගන්න. ඒක යොදා ගෙන තිබුණේ 17 වැනිදා. විවාහ මංගල උත්සවය යොදා ගෙන තිබුණේ  23 වැනිදා. පුතා 16දා ගෙදර ආවා. එදිනම හවස මනමාලිගේ කැරෑවේ පිහිටි නිවසට ගියා. එයා ගෙදර යනවා කියලා මනමාලියගේ නිවසින් ඇවිල්ලා තියෙනවා. ඒ එන අතරමගදී මනමාලියගේ සොහොයුරෙක් ජංගම දුරකථනයට කෝල් එකක් දීලා කියලා තියෙනවා අලු‍ත් අවුරුද්ද නිමිත්තෙන් මහගොඩ ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් පවත්වනවා, එතනට එන්න කියලා. ඒ ගමන එයත් ඒක බලන්න ගිහිල්ලා.”

“කිසිම කෙනෙක්ට කිසිම වරදක් කරලා නැති මගේ පුංචි එකාට විස්සක් විතර එකතු වෙලා බිම දාගෙන පොලු‍ මුගුරු වලින් පහරදීලා තියෙන්නේ එතකොටයි. ’අනේ මට ගහන්න එපා. ඇයි මට ගහන්නේ? මම ගුවන් හමුදාවේ වැඩ කරන්නේ.’ යනුවෙන් කිය කියා කෑ ගහලා. ඒත් හිත්පිත් නැති මාරයෝ පුතාට සිහි නැති වෙනකම් ම ගහලා මහපාර අයිනේ දාල ගිහිල්ලා. පාරේ යන දෙන්නෙක් දැකලා යතුරු පැදියකින් පුතාව කරන්දෙණිය රෝහලට ගෙන හිහිල්ලා. කරන්දෙණිය රෝහලෙන් එයාව කරාපිටිය රෝහලට මාරු කරලා යැව්වා. 17 වැනිදා අලු‍යම සිට මැයි 01 දක්වාම කිසිම සිහියක් නැතිව කරාපිටිය රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ සිටි මගේ පුංචි එකා මැයි පළමු වැනිදා අලු‍යම අපිව දාලා යන්න ගියා. මේ දුක මම කොහොම උහුලන්න ද දෙවියනේ?”  

ශාමාල් වැඩ කරන කටුනායක ගුවන් හමුදා කඳවුරේ මෙන්ම ඔහු වාසය කරන කරන්දෙණියේ ඔහු ගැන දොසක් කියන කෙනෙක් නැත්තාහ. ඒ සෑම දෙනාම කීවේ ශාමාල් අහිංසක ආරක්ෂක අංශයේ සේවය කළ ද මත් පැන් පොදක් දුම්වැටියක් හෝ තොල නොගාන - කාටවත් කරදරයක් හිරිහැරයක් නැත්තකු ලෙසය. එවන් අයෙක් මෙසේ අමු අමුවේම තඩි බා මරා දැමීමට මේ මාරයෝ ක්‍රියා කළේ ඇයිද යන්න මුළු කරන්දෙණියටම ඇති ප්‍රශ්නයකි. විසඳීමට නොහැකි උභතෝකෝටිකයකි. කෙනෙක් සමග ගහ මරා ගැනීමට තියා රණ්ඩුවක් වෙන තැනකවත් නොසිට මාරු වෙන ශාමාල් ට මේ අවාසනාවන්ත ඉරණම උදාකළ මාරයන්ට දෙන දඩුවම පිළිබඳව මුලු‍ රටම සීරුවෙන් බලා සිටිති.

හඩා වැටෙන දෙමාපියෝ

ශාමාල් ට මංගල ගමන නොව අවමංගල ගමන යෑමට පාර කැපූ මාරයන් ගෙන් හය දෙනෙකුම ප්‍රශ්න කිරීම සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සෙසු අයද අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, කරන්දෙණිය පොලිසිය කියයි.

කරන්දෙණිය පොලිසිය මේ ඝාතනය සම්බන්ධ විමර්ශනයන් සිදුකරන්නේ  මන්දගාමීව බවත්, සැකපිට අත් අඩංගුවට ගැනීම් සිදුකරනුයේ  ඇල්මැරුණු ස්වභාවයකින් බවත්, මියගිය ගුවන් සෙබළාගේ ඥාතීහු පවසති. ඊට හේතුව තමන් නොදන්නා බව ද ඔවුහු තවදුරටත් සඳහන් කරති. 

වරදක් ඇතුව හෝ නැතුව කෙනකු ඝාතනය කිරීමට තබා පහරදීමට වුව වෙනත් කෙනකුට හැකියාවක් නොමැති බැව් සැවොම දනිති. එහෙයින් මේ ඝාතනය සම්බන්ධ විමර්ශන කඩිනම් කොට, සැකකරුවන් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණය අබියසට පමුණුවීමට පොලිසිය කටයුතු කළ යුතු බව ප්‍රදේශවාසීහු අවධාරණය කර සිටිති.   

කරන්දෙණිය 
එම්.සුසිල් පියන්ත