විදෙස් නායකයන් දෙදෙනකු ලංකාවේ

ගෙවී ගිය සතිය ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට කාර්ය බහුල මෙන්ම වැදගත් සතියක් විය. මාලදිවයින් ජනාධිපතිවරයා සහ වියට්නාම ජනාධිපතිවරයාගේ පැමිණීම එයට හේතු විය. සතිය ආරම්භ වූයේ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මොයිසුගේ පැමිණීමෙනි. දින තුනක් මෙරට සිටි මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රජය සමග අවබෝධතා ගිවිසුම් හතකට අත්සන් තැබීය. සංචාරක උසස් අධ්‍යාපන, ආරක්ෂක සහයෝගීතා ඇතුළු අංශ එම ගිවිසුම් අතර වෙයි. මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද රජයෙන් පිරිනැමුණි. දෙරටේම ආයෝජකයන් ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

වියට්නාමයේ නව ජනාධිපති ටෝලම් දිවයිනට පැමිණියේ ඉකුත් 7 වැනිදා රාත්‍රියේය. පෙරේදා (සිකුරාදා) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද වියට්නාම ජනාධිපතිවරයාට අවස්ථාව සලසා තිබිණ. බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් වසරේ මැයි මස 4 වැනිදා වියට්නාමයේ නිල සංචාරයක යෙදුණු අතර එම සංචාරයේ දී ජනාධිපතිවරයා කළ ආරාධනයක් අනුව වියට්නාම ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවිය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ළදරු පාසලක්

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ල, ගොවිජන මන්දිරය සුවිසල් ගොඩනැගිල්ලකි. එහි පවතින ඉඩකඩ යොදාගෙන මෙතෙක් කිසිදු ආණ්ඩුවක් අවධානය යොමු නොකළ සුවිශේෂී කටයුත්තක් කෘෂිකර්ම අමාත්‍යංශය සමග ඒකාබද්ධව සිදුකරන්නට කාන්තා හා ළමා කටයුතු  ඇමැතිනි සරෝජනී​ පෝල්රාජ් මහත්මිය සමත්වූවාය. රජයේ ආයතනවල වැඩ කරන කාන්තාවන්ට තිබූ ලොකුම ප්‍රශ්නයක් වූයේ දරුවන් පෙර පාසලට ගෙන යාම සහ දහවල් කාලයට රැකවරණයක් නොමැති කමය. පෝල් රාජ් ඇමැතිවරිය උත්තර සෙව්වේ එම ප්‍රශ්නයටය. ඇය ලාල් කාන්ත ඇමැතිවරයා සමග සාකච්ඡා කර ගොවිජන මන්දියේ කොටසක ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් සහ පෙර පාසලක් ආරම්භ කළාය. මේ සඳහා සමස්ත චීන කාන්තා සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙත ප්‍රදානය කළ උපකරණ යොදාගෙන ඇත. මෙම කටයුත්ත ගැන රාජ්‍ය සේවයේ නියැළි කාන්තාවන් කතා කරන්නේ දැඩි ප්‍රශංසාවෙනි.

උඩරට දුම්රිය මග බලන්න ප්‍රසන්න යයි

දිට්ටා ව්‍යසනයෙන් පසු උඩරට දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන පසුගියදා රඹුක්කන සහ කඩුගන්නාවට ගියේය. රඹුක්කන සිට පේරාදෙණිය දක්වා එම මාර්ගයේ නාය යාම් ස්ථාන අනූ පහක් තිබූ බවත් එයින් අනූ දෙකක්ම මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින බවත් එහි දී කියැවිණ. ඉන් බොහොමයක වැඩ අවසන්ය. නියෝජ්‍ය ඇමැතිවරයා ගියේ රඹුක්කන හා ගලගෙදර කොටසේ අලුත්වැඩියා කටයුතු නිරීක්ෂණය සඳහාය. ප්‍රදේශවාසීන් සමග ද බොහෝ වේලාවක් කතාබහ කරමින් සිටි නියෝජ්‍ය ඇමැතිවරයාට ඔවුන්ගේ ප්‍රශංසාව ද එහි දී හිමිවිය.

ඉකුත් සතියේ මෙරටට පැමිණි ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරී සංසදයේ නිලධාරීන් පිරිසක් සහ කර්මාන්ත අමාත්‍යංශ නිලධාරීන් සාකච්ඡාවක යෙදුණේ මෙරට තුළ කර්මාන්ත  කිහිපයක් ආරම්භ කිරීම අරමුණු කරගෙනය. ඖෂධ, ඇඟලුම් හා ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රවල ඒකාබද්ධ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මෙම සාකච්ඡා පැවැත්විණි.

විපක්ෂය නඩු ගැන කතා කරයි

විපක්ෂයේ දේශපාලන පක්ෂවලට මෙම සතිය ඇරඹුණේ ආණ්ඩු පක්ෂ ප්‍රබලයන්ගේ ප්‍රකාශවලට පිළිතුරු දෙන කාර්ය බහුල සතියක් වශයෙනි. පාර්ලිමේන්තුව පැවැත්වෙන සතියක් වූ හෙයින් විපක්ෂයේ පක්ෂවල නායකයන් විපක්ෂනායක කාර්යාලයට කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්ෂනායක සජිත් පියවර ගත්තේය. මහලේකම් රංජිත්, ජාතික සංවිධායක ගයන්ත කරුණාතිලක, රවි කරුණානායක, පොහොට්ටුවේ ඩී.වී. චානක, දයාසිරි ජයසේකර, දෙමළ සංධාන මන්ත්‍රීවරුන්, රවුෆ් හකීම් හා අනුරාධ ජයරත්න ඇතුළු මන්ත්‍රී පිරිසක් එම හමුවට එක්ව සිටියහ.

මෙම මාසයේ දී ලැබීමට නියමිත නඩු තීන්දු ගැන ජනාධිපතිවරයා මැයි රැලියේ දී කළ ප්‍රකාශය මහා භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිපහක මුදල අතුරුදන්වීම සහ මූල්‍ය අක්‍රමිකතා ගැන විපක්ෂය කළ යුත්තේ මොනවා ද යන්න මෙහි දී සාකච්ඡාවට ලක්විය.

‘‘ජනාධිපතිතුමා මැයි රැලියේ දී කළේ අනවශ්‍ය කතාවක්. නඩු තීන්දු ගැන කතාකරන තැනක් නෙවෙයි මැයි රැලියක් කියන්නේ. මේ ප්‍රකාශවලින් අධිකරණයට වුණත් අල්ලසක් දෙන්න හදනව කියල කාට හරි තර්ක කරන්න පුළුවන්. නඩු තීන්දු ගැන ආණ්ඩුවෙ කැමැත්ත මේකයි කියල එහෙම කතා කරන එක හොඳ නෑ...’’ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය. මෙහිදී පක්ෂ නායකයන් තීන්දු කළේ අධිකරණයට අත පෙවීමේ රජයේ වෑයමට එරෙහිව විපක්ෂයේ පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක් කතානායකවරයාට භාර දී තම විරෝධය පළකළ යුතු බවය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක එම ලිපිය එම මොහොතේම සකසා මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කිරීමේ කටයුතු ද ආරම්භ කළේය.

‘‘මහබැංකුව හා මූල්‍ය අංශවල තියෙන මේ අක්‍රමිකතා ගැන බැලුවම අපිට දුකයි. මහ බැංකුවට ස්වාධීනත්වය දීලා තියෙන එක භයානක දෙයක්. මෙහෙම හැක් කරලා හරි වෙනත් ගිණුමකට මුදල් බැර කරගන්න හරි පුළුවන්නම් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කියන එක බොරුවක්. අපි මේ සම්බන්ධයෙන් මහ බැංකුව පාර්ලිමේන්තුවට ගෙන්වල හරි  එඬ්ක ලබාගන්න කටයුතු කරන්න ඕනෑ.’’ රවි කරුණානායක කීවේය.

දිට්වා විපතට බඳුන් වූ ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ බලධාරීන් ඇල් මැරුණු ප්‍රතිපත්තියක සිටින බව අනුරාධ ජයරත්න පෙන්වා දුන්නේය. ‘‘මොකුත්ම වෙන්නෙ නෑ. කතාව විතරයි. ඔක්කොම කියනවා විතරයි. දිට්වා වන්දි ගැන කමිටුවට ගියාම එයාල කතා කරන්නෙ වගකීමක් නැතුව වගේ. වන්දි ලැබිල නෑ කියල හෙළිදරව් වෙන කොට දුර්වලතාව තියෙන්නෙ ආණ්ඩුවෙ කියලා පේන එක නවත්වන්නයි මෙයාලට ඕනෑ. අපි මේ අඩුපාඩුව දිගටම පෙන්වල දෙන්න ඕනෑ.’’ අනුරාධ ජයරත්න මන්ත්‍රීවරයා කියා සිටියේය.

කතානායකවරයාට භාරදීමට සකස් කළ ලිපිය එදිනම භාරදීමට ද විපක්ෂය කටයුතු කළේය.

සජබ කළමනාකරණ කමිටුව රැස්වෙයි

සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ඉකුත් සඳුදා පැවැත්විණි. පක්ෂ නායක මහලේකම් ජාතික සංවිධායක සහ මන්ත්‍රීවරු පිරිසක් සෑම සතියකම පැවැත්වෙන මෙම කමිටු රැස්වීමට සහභාගී වෙති. එදින දීර්ඝ ලෙස සාකච්ඡා වූයේ මෙම වසරට අදාළව ආසන සංවිධායකවරුන් පත් කිරීම ගැනය.

‘‘ආසන විස්සක පමණ පුරප්පාඩු පිරවීමට තිබෙනවා. අපි ​මේ අයත් පත් කරලා ඒ ආසනවලින් ක්‍රියාකාරී දේශපාලනයක් කළ යුතුයි. ආසන කීපයකටම සංවිධායකයන් පත් කිරීමට සම්මුඛ පරීක්ෂණ පවත්වන්නත් තියෙනවා. මේ අය ගැන අපි ගන්න පියවර මහලේකම් තුමයි ජාතික සංවිධායකතුමයි පක්ෂ සභාපතිතුමයි එකතු වෙලා කතා කරලා ඉදිරි සතිය ඇතුළත අවසන් කරන්න’’ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේය.

‘‘අපිට මැයි දිනය හොඳින් පවත්වාගෙන යන්න සහාය දීපු සෑම සංවිධායකවරයකුටම මම ස්තුතිවන්ත වෙනවා.’’ පක්ෂ නායක සජිත් තවදුරටත් කීවේය.

පසුගිය පළාත් පාලන මැතිවරණවලට පටහැනිව කටයුතු කළ පළාත්පාලන මන්ත්‍රීවරුන් ​ගේ විනය පරීක්ෂණ වාර්තාව මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මෙහිදී කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කළේය. පළාත් පාලන මන්ත්‍රීවරුන් විස්සක් සහ විසිපහක් අතර සංඛ්‍යාවකට මෙමගින් චෝදනා නැගී ඇත. එම වාර්තාව සහ ඔවුන්ට එරෙහිව යෝජනා කර ඇති නිර්දේශ අනුමත කිරීමට ද කළමනාකරණ කමිටුව කටයුතු කළේය. සමහර මන්ත්‍රීවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ද තවත් සමහර මන්ත්‍රීවරුන් ආසන සංවිධායකවරයා සමග සාකච්ඡා කර සමගි කරවීමට ද නිර්දේශ කර තිබේ.

‘‘විනය පරීක්ෂණ වාර්තාව ක්‍රියාත්මක කරන්න තවත් ගැටලු තිබේ නම් සභාපතිතුමා මහලේකම්තුමා සහ ජාතික සංවිධායකතුමා එක්ව සාකච්ඡා කර තීන්දුවක් ගන්න.’’ පක්ෂ නායක සජිත් සහ කළමනාකරණ කමිටුවට එහිදී කියා සිටියේය.

‘මට තව දෙයක් කියන්න ඕනෑ. පක්ෂයේ අනුබද්ධ සංවිධානවල මේ වසරට ක්‍රියාකාරී වැඩසටහන සහ ටාගට් සම්පූර්ණ කර ගැනීමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාට පවරනවා. ඒ වගේම බිම් මට්ටමේ සංවිධාන ජාලය ගොඩනැගීම සඳහා ජාතික සංවිධායකතුමාගේ මූලිකත්වයෙන් අපි පියවර ගත යුතුයි.’’ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

‘‘ඒ වගකීම භාරගන්නම් නායකතුමනි. අපේ බිම්මට්ටම බිමටම වැටිලා තියෙන්නේ. ඒකට සම්ප්‍රදායෙන් තොර අලුත් වැඩසටහනක් සඳහා යෝජනා කෙටුම්පතක් මම ඉදිරිපත් කරන්නම්’’ ජාතික සංවිධායක තිස්ස අත්තනායක කීවේය. පක්ෂ නායකයා සහ කමිටුවේ අනුමැතිය එයට හිමිවිය. ‘‘අපි දිස්ත්‍රික්ක මට්ටමින් ගිහිල්ලා පක්ෂයේ ප්‍රගති සමාලෝචන බලමු.’’ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය. එම යෝජනාවට ද අනුමැතිය පළවිය.

‘‘ජුනි විසිතුන් වැනිදා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ උපන් දිනය ඒ වෙනුවෙන් එදිනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහනක් කරන්න ඕනෑ. මම ඒ සඳහා අනුමැතිය ඉල්ලා සිටිනවා. අනික තමයි මැයි දිනයට ජනතාව සහභාගී කරවීම ගැන වාර්තාවක් ඕනෑ. ඒ කටයුතු හරියටම ඉටුකරපු නැති අයත් ඉන්නවද කියා බලන්නයි එහෙම වාර්තාවක් වුවමනා. අනික ආසන මට්ටමෙන් හරි පටන් ගන්න ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය සහ විදුලි බිල වැඩි කිරීම ගැන ජනතාවගේ ප්‍රතිචාර ගන්න වැඩ සටහනක්. මේ ප්‍රශ්න දෙක ඉදිරියේ දී දරුණුවට මතු වෙනවා.’’ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කළ අතර ඒ සඳහා කළමනාකරණ කමිටුවේ අනුමැතිය පළ විය.

විදුලි බිලේ බර ජනතාව මතට එපා

යළිත් විදුලි බිල වැඩි කිරීමට අදාළ බලධාරීහු කටයුතු කරමින් සිටිති. බිල වැඩි කිරීම නොව පිරිවැය කළමනාකරණය කර ගැනීම යන මාතෘකාව යටතේ එම උත්සාහය දැරෙයි. මේ පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම ඉකුත් දිනවල මහජන අදහස් විමසීමක් ද සිදු කළේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද එම අවස්ථාවට එක්වී අදහස් පළ කළේය.

‘‘ගෙන ආ ගල් අඟුරු බාලවීම හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ නියමිත විදුලි ප්‍රමාණය නිපදවෙන්නේ නෑ. මේ නිසා ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා. මෙම හේතු දෙකෙන්ම වැයවන අතිරික්ත වියදම පියවා ගන්න හදන්නේ යළිත් විදුලි බිල වැඩි කරලා. අපි ඉල්ලා සිටිනවා. එහෙම කරන්න එපා කියලා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් කිව්වා ගල් අඟුරු ප්‍රශ්නයේ බලපෑම විදුලි පාරිභෝගිකයා මත පටවන්නේ නෑ කියලා. ඒ සඳහා රජය රුපියල් බිලියන පහළොවක සහනාධාරයක් සපයන බව ජනාධිපතිතුමා පැවසුවා. ඒත් එහෙම එකක් දැන් පේන්නේ නෑ. මේ කාල වකවානුව වන විට ගල් අඟුරු නැව් විසි අටක් ඇවිත් තිබෙන්නේ. නැව් 36ක් ඒමට නියමිත වුවත් විසිනවවැනි නැවට එන්න බැරි තත්ත්වයක් තිබෙන්නේ. එහෙම වුණොත් බලහත්කාරයෙන් බලාගාරය වසා දමන්න වෙන බවට විශ්ලේෂකයන් නිගමන පළ කරනවා. මේ සියල්ල එකතු වූ කළ විශාල බරක් ජනතාව පිට පැටවෙනවා. පාලකයන්ගේ ආකාර්යක්ෂමතාව ජනතාව පිට පටවන්න එපා.’’ යැයි ද විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

“ෆ්‍රී ලෝයර්ස්’’ තවත් අනාවරණයක්

ඉකුත් සති කීපය තුළම වත්මන් රජය යටතේ සිදු වූ මූල්‍ය වංචා කිහිපයක් රටට හෙළිදරව් කිරීමට “ෆ්‍රී ලෝයර්ස් සංවිධානයට හැකියාව ලැබිණි. එම සංවිධානය අලුතෙන්ම හෙළි දරව් කළ මූල්‍ය අක්‍රමිකතාව වූයේ මෙම අවුරුදු සමයේ දී රුපියල් ලක්ෂ පනස්දාහක අස්වැසුම වාරික වැරදීමකින් යළිත් ප්‍රතිලාභීන්ට ගෙවා ඇති බවය. එම සංවිධානයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න හිටපු ආණ්ඩුකාර රංජිත් තෙන්නකෝන්, නීතිඥ ගුණරත්න වන්නිනායක සහ අතුල සිල්වා ඇතුළු පිරිසක් රැස් වූයේ මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමටය.

‘‘අපේ හෙළිදරව් කිරීම් නිසා දැන් අපේ සංවිධානයට තොරතුරු විශාල වශයෙන් ගලාගෙන එනවා. අනික් එක අපි හෙළිදරව් කළ දේවල්වලට ජනාධිපතිතුමාටත් හරි උත්තරයක් දීගන්න බැරි තත්ත්වයකට තමයි පත්වෙලා තියෙන්නෙ...’’ මෛත්‍රී ගුණරත්න කියා සිටියේය.

‘‘අපි කිසිම දේශපාලන පක්ෂයකට ගැතිව වැඩ කරන්නේ නෑ. මේ රටේ ජනතාවට සත්‍යය හෙළිදරව් කිරීමයි අපි කරන්නෙ. ඒකට අපිට රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉහළයි.’’ නීතිඥ ගුණරත්න වන්නිනායක කීවේය.

‘‘අපි විවිධ පක්ෂවල ඉන්න නීතිඥවරු මෙතන ෆ්‍රීලෝයර්ස් හැටියට එකතු වෙලා  එකට වැඩ කරනව නම් ඇයි ප්‍රධාන පක්ෂවල නායකයො  ටිකට එකතු වෙලා වැඩ කරන්න බැරි? අද විපක්ෂය කෑලි කෑලිවලට කැඩිලා. බෙදිලා ගිහින්. එයාල තනි තනිව බලනවා ඊළඟ ජනාධිපති වෙන්නෙ කො​​ෙහාමද කියලා. ඒක තීන්දු වෙන්නෙ   ජනාධිපතිවරණ වෙලාවෙ රටේ තියෙන සිද්ධිදාමය අනුවයි කියලා මෙයාලට තේරෙන්නෙ නැති ප්‍රශ්නෙනෙ තියෙන්නෙ’’ මෛත්‍රී ගුණරත්න කීවේය.

අස්වැසුම වාරික මුදල් ප්‍රතිලාභී ජනතාවට අප්‍රේල් මාසයේදී පිට පිටම දෙවරක් මුදාහැර ඇතැයි ඔවුන්ට තොරතුරු ලැබී තිබුණේ ද රාජ්‍ය නිලධාරීන් පිරිසකගෙනි. මේ බව වහාම රටට හෙළි දරව් කිරීමට මෛත්‍රී ප්‍රමුඛ ‘ෆ්‍රී ලෝයර්ස්’’ කටයුතු කළේය. මෙසේ අනීතිකව මුදාහැර ඇති මුදල රුපියල් ලක්ෂ පන්දාහකි.

‘‘මේ රජය ගල් අඟුරු කියලා බාල ගල් අඟුරු ගෙනත් ලොකු මුදලක් අනීතිකව සොයලා තිබෙනවා. විපක්ෂය වුණත් මේ ගැන කටවහගෙන ඉන්නෙ එම මුදල් මොන යම් ආකාරයකින් හරි විපක්ෂයේ සමහරුන්ට ලැබෙන නිසාද දන්නෙත් නෑ....’’ මෛත්‍රී ගුණරත්න කීවේය.

‘‘ආණ්ඩුවේ මූල්‍ය පාලනය අයාලේ යන බවක් පේන්න තියෙන්නේ. ඒකට හේතුව හැටියට රාජ්‍ය නිලධාරින් කියන්නෙ පැලවත්තෙන් යම් නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශවල කටයුතු පාලනයට දාල කියල. ඒ අයට වැඩ තේරෙන්නෙ නෑ... වැඩ තේරෙන නිලධාරීන් මේ නිසා පසුබාලා.... සමහරුන් සිරගත කරලා. මේකයි රාජය කළමනාකරණය අවුල් වෙලා තියෙන්නේ...’’ මෛත්‍රී වන්නිනායක, රජිත් කීර්ති ඇතුළු ෆ්‍රී ලෝයර්ස් සාකච්ඡාවේදී තවදුරටත් සාකච්ඡා විය.

පොහොට්ටුවෙන් අලුත් සංවිධායකවරු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට මෙම සතිය අතිශය කාර්ය බහුල සතියක් විය. එම පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ සිට නැවත පැමිණීමෙන් පසු ඔහු පක්ෂයේ වැඩකටයුතුවලට වැඩි කාලයක් වැය කළේය. නාමල් ඉකුත් සඳුදා නෙළුම් මාවත පක්ෂ කාර්යාලයට පැමිණියේ නව ආසන සංවිධායකවරුන් පත් කිරීම සඳහාය. ජොන්ස්ටන්, සාගර කාරියවසම්, යූ.කේ. සුමිත්, සංජීව එදිරිමාන්න, ඉන්දික අනුරුද්ධ ඇතුළු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු ද එම අවස්ථාවට එක් වූහ.

ආසන සංවිධායකවරුන් තිස් දෙනකුට අලුතෙන් පත්වීම් ලිපි ලැබිණි. ‘‘අපිට ඕනෑ ඊළඟට එන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න. අපි ලොකු ෆයිට් එකක් දීල පැරදුණා කියල කියන එක නෙවෙයි මට ඕනෙ’’ නාමල් රාජපක්ෂ කීවේය. ‘‘ඔව්, අපි බැහැලම වැඩ කරනවා’’ ආසන සංවිධායකවරු එක හඬින් පැවසූහ.

‘‘මේ ආණ්ඩුව වැටිල තියෙන්නෙ. අපි හිතුවටත් කලින් ආණ්ඩුව වැටුණා. කොයි මොහොතක හරි ඡන්දයක් එයි. ඒකට සූදානම් වෙන්න....’’ ජොන්ස්ටන් ප්‍රනාන්දු කීවේය. ‘‘අපි දිගටම ගමින් ගමට වැඩසටහන කරන්න සූදානම් වෙලා ඉන්නෙ. ඒකට එකතු වෙන්න’’ නාමල් රාජපක්ෂ ද කියා සිටියේය. වෘත්තීය සමිති නායකයන් පිරිසක් සහ වෙනත් පක්ෂවල හිටපු සංවිධායකවරුන් පිරිසක් සමග නාමල්ගේ සාකච්ඡාවක් ද ඉන් පසුව පැවැත්විණි.

රෝහණ බැද්දගේගේ සුවදුක් බලන්න ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්ට නාමල් මෙම සතියේ සුවිශේෂී රාජකාරියක් පැවරුවේය. එනම් මෙරට සිටින ජපාන තානාපතිවරයා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරයා හමුවී විශේෂ පණිවිඩයක් ලබා දීමටය. මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග සාගර පැය දෙක හමාරකට වැඩි කාලයක් කතා බහක යෙදී සිටි අතර, මෙහිදී නාමල්ගේ පණිවිඩය කුමක් ද යන්න කොතැනකින්වත් එළියට ආවේ නැත.

රෝහණ බැද්දගේ හමුවෙයි

බදාදා උදෑසනම නාමල්, සංජීව එදිරිමාන්නත් සමග ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේගේ හොරණ පිහිටි නිවසට ගොඩ වුණේ ඒ මහතාගේ සුවදුක් විමසීමටය. හොරණ ප්‍රදේශයේ හිතවතුන් පිරිසක් ද ඒ සඳහා එක්ව සිටියහ. ‘‘ආ එන්න එන්න පුතා....’’ බැද්දගේ සූරීන් නාමල්ව ඉතා ලෙන්ගතුව පිළිගත්තේය.

‘‘කොහොමද බැද්දගේ මහත්තයා....’’ නාමල් විමසුවේ රෝහණ බැද්දගේගේ දෑතින්ම අල්ලාගෙනය.
‘‘තුනුරුවන්ගේ පිහිටෙන් හොඳින් ඉන්නවා....’’ බැද්දගේ කීවේය.

‘‘මේ දවස්වල කන්දෙගෙදර නාට්‍යයේ කොටස් සෝෂල් මීඩියාවල වයිරල් වෙලා.....’’ සංජීව එදිරිමාන්න කීවේය. 

‘‘ආ මටත් කවුද කීව තමයි’’ බැද්දගේ කීවේය.

‘‘තාත්තත් නිතරම රෝහණ මහත්තයව මතක් කරනවා. මම අද මෙහෙ එනව කීවම තාත්තටත් සතුටුයි’’ නාමල් කීවේ හිටපු ජනාධිපති මහින්දගේ හිතවත්කම ගැනද කියා සිටිමිනි. පැයකට ආසන්න කාලයක් බැද්දගේ නිවසේ ගත කළ නාමල් ඇතුළු පිරිස ආපසු ආවේ නිවෙසින් ලැබුණු තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳිමිනි. එදිනම බියගම හා වත්තල පැයැති ‘‘ගමින් ගමට’’ වැඩසටහනටද සහභාගි විය.

මමත් මාධ්‍යවේදියෙක් - රනිල්

රනිල් කවදත් මාධ්‍යකරණයට ඉතා ළැදි පුද්ගලයෙකි. ඔහු ජනාධිපති ධුරය දරන සමයේද වරෙක ”‍ මමත් මාධ්‍යවේදියෙක් තමයි”‍  යැයි හඳුන්වා දුන්නේය. රටේ ප්‍රබලතම මාධ්‍ය පුරෝගාමීන්ට සමීප ඥාතිත්වයක් ඇති රනිල් විශේෂයෙන් මුද්‍රිත මාධ්‍ය පිළිබඳව දැඩි ඇල්මකින් කටයුතු කරන්නෙකි.

මෙවර මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී ද රනිල් මුද්‍රිත මාධ්‍යයේ ඇතැම් බිඳ වැටීම් ගැන සංවේගයෙන් කතා කළේය. 

මේ වෙනකොට මුද්‍රිත මාධ්‍ය තරුණ තරුණියන්ට අමතන්නේ නෑ. ඒක නිසා ඔවුන්ගෙන් පත්තර ගොඩක් දුරස් වෙලා තියෙන්නේ. ඒ කාලේ විවිධ ජන කණ්ඩායම් ඉලක්ක කරගෙන පත්තරවල විවිධ විශේෂාංග පළ වුණා. උදාහරණයක් විදිහට ත්‍රිරෝද රථ එළවන මිනිස්සු ඉලක්ක කරගෙන, ඔවුන්ට ගැළපෙන විදියට විවිධ විශේෂාංග පළ වුණා. ත්‍රිරෝද රථයකින් පත්තරයක් ගන්නවා කියන්නේ තව තව සමාජ කණ්ඩායම් අතරට ඒ පණිවිඩය යනවා. නමුත් අද ඒ ඉලක්කගත කණ්ඩායම්වලට අමතන එක ගිලිහිලා තියනවා.

අපට වඩා දියුණු විදෙස් රටවල පුවත්පත් කලාව තාම තියෙනවා. ඔවුන් සමාජ වෙනස හඳුනාගෙන ඒ වෙනසට අනුවර්තනය වෙලා පත්තර කලාව සාර්ථකව ගෙනියනවා. අපිට එතෙන්ට යන්න බැරි ඇයි?

මිනිස්සු කියවන්න කැමති කොච්චර දේවල් තියෙනවද? ඇයි ඒ දේවල් හඳුනාගෙන දෙන්න බැරි. මිනිස්සුන්ට ඉරාන යුද්ධය ගැන, ට්‍රම්ප්  ගැන කොච්චර දැනගන්න දේවල් තියෙනවද? ඔවුන් මේවා කියවන්න ආසයි”‍ රනිල් කීවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනික් චින්තක කරුණාරත්න හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න ලෙස බලමිනි.

ජනාධිපති ඉදිරියට දීමට නියමිත අධිකරණ තීන්දු ගැන කතා ලොකු ප්‍රශ්නයක් වී තිබේ. ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය ප්‍රබල හඬක් නගමින් සිටී. ජනාධිපතිවරයා එහිදී පැවසූයේ ඉදිරියේ දී එන තීන්දුවලට අත්පුඩි ගැසීමට සූදානමින් සිටින ලෙසයි.

කොච්චර උනත් මිනිස්සු තාම මහින්දට ආදරෙයි”‍ මහින්ද ටාගට් කරනවට මිනිස්සු කැමති නෑ”‍ මන්ත්‍රී කණ්ඩායම අතර සිටි චාමර පැවසීය.

”‍ආණ්ඩුව බලන්නේ ඔවුන්ගේ සැලසුම් ඔක්කොම කඩා වැටෙන කොට හොරු කියලා චෝදනා කරලා ඒ තීන්දු මත එල්ලෙන්න”‍ රනිල් පැවසුවේ ඊට පිළිතුරක් ලෙසිනි.

”‍හරි ඔය තීන්දු එනකොට දිට්වාවලින් හානි වෙච්ච, පාරට වැටුණු මිනිස්සුත් අප්පුඩි ගහනවද? තාම ඒ පාරවල් හැදිලා නෑ. වැඩ එහෙමමයි. ඇත්තෙන්ම අත්පුඩි ගහන්න ඕන පාක්ෂික මිනිස්සු නෙවෙයි මැද ඉන්න අය. ඒ අයට අත්පුඩි ගහන්න නොවෙයි පාන් කියාගන්න බැරිව පීඩාවට පත්වෙලා ඉන්නේ. මේක දැන් කරගන්න බැරැව හිර වෙලා තියෙන්නේ.”

“තවත් ප්‍රශ්නයක් තියෙනවා. භාණ්ඩාගාර ලේකම්තුමා තවදුරටත් ධුරයේ ඉන්නවද? අයින් වෙනවා ද? ආණ්ඩුව ඒ ගැන පැහැදිලි තීරණයක් කියන්න ඕන” වජිර තම මතය ඉදිරිපත් කළේය.

භාණ්ඩාගාර සිද්ධිය ගැන ආණ්ඩුව විවාදයක් ඉල්ලූ විට එය ලබාදීමට පවා ආණ්ඩුව බියට පත්ව තිබේ. ඇපෙන් ගැලවෙන්නට සේ පැයක එකහමාරක විවාද කාලයක් දී ඇඟ බේරාගැනීම ආණ්ඩුවේ අරමුණයි.

“මේ ආණ්ඩුව දකුණු වියට්නාම් ආණ්ඩුවේ අන්තිම කාලෙට එනවා වගේ”‍ රනිල් කීවේ ඒ සිද්ධිය ද පැහැදිලි කරමිනි.

“දකුණු වියට්නාම් ආණ්ඩුවේ අන්තිම කාලය කියන්නේ 1973 ඉඳන් 1975 අප්‍රේල් 30 දක්වා කාලය. ඒක තමයි “වියට්නාම් ජනරජය”‍ කියන රට ලෝක සිතියමෙන් අතුගෑවිලා ගිය කාලය. 1975 අප්‍රේල් 30 - සයිගොන් වැටීම සිද්ධ වුණා. දවස් නවයට ජනාධිපතිලා තුන් දෙනෙක්. මේ බිඳ වැටීමට හේතු කිහිපයක් හඳුනාගන්න පුළුවන්. දූෂණය  ඒ වගේම ජනතා සහයෝගය නැතිවීම හඳුනාගන්න පුළුවන්.”‍ ජනතා විරෝධී ආණ්ඩුවක් ස්වාභාවිකවම වැටුණා”‍ කියලා තමයි අන්තිමට මිනිස්සු කිව්වේ.

මේ ආණ්ඩුවට බලපා ඇති තවත් ‍ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ හොරකම සහ අනිත් පැත්තෙන් අධිකරණයයි. මාලදිවයින් ජනාධිපති ආපු වෙලාවේ කෙරුණ කතාවෙන් රටට මුකුත්ම නෑ නේද? දෙපැත්තෙම තිබුණේ ස්තුති කර ගැනීම් විතරයි.

ජී.එල්ගේ විග්‍රහය

ජී.එල්. ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මාධ්‍ය හමුවක් කැඳවමින් වත්මන් සමාජ ප්‍රශ්න ගණනාවක් ගැන කරුණු ගෙනහැර දැක්වීය. 

තවම ප්‍රකාශයට පත් පත්කර නැති අධිකරණ තීන්දුවක් ගැන ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ජී.එල්. එහිදී දැඩි විවේචනයකට ලක් කළේය.

මෙය ලංකා ඉතිහාසයේ කෙදිනකවත් සිදු නොවූ කාරණයක් බවද ජී.එල් එහිදී කීය.

”‍නඩුව ඇහුවේ අප්‍රේල් 30 වැනිදා. එතුමා මේ කතාව කරන්නේ මැයි පළවැනිදා. අප්‍රේල් 30 වැනිදා අහපු නඩුවේ නඩු තීන්දුව මැයි 25  ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති කියනවා. බරපතළ කාරණය වන්නේ  ඒ නඩු තීන්දුව ලැබුණාම අත්පුඩි ගහන්න සූදානමින් ඉන්න යනුවෙන් කියපු එකයි.

ඒ කියන්නේ මේ නඩු තීන්දුව පිළිගන්න පිරි ඉතිරී ගිය සතුටෙන්, අත්පොළසන් නාදයකින් මේ අධිකරණ තීරණය පිළිගන්නයි කියලා ජනාධිපතිතුමා ඒ රැලියේ ප්‍රසිද්ධියේ ජනතාවට කියනවා.

දැන් මේ ශ්‍රී ලංකා උසාවියක් ඉදිරියේ අහන නඩුවක්. තාම තීන්දුව දීලා නැහැ. හැබැයි ජනාධිපතිතුමා අඟවනවා ඒ තීන්දුව මොකක්ද කියන එක ගැන ජනාධිපතිතුමාට පූර්ව දැනුමක් තියෙනවා කියලා ඒ නඩු තීන්දුව පිළිබඳව.

අපේ නීති සංස්කෘතිය, අපේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩිතාලම සම්පූර්ණයෙන් දෙදරන ප්‍රකාශයක් මේක. මම මේක බොහොම කනගාටුවෙන් කියන්නේ දේශපාලනඥයෙක් හැටියට නොවෙයි, මේ රටේ පරම්පරා දෙකකට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ නීති අධ්‍යාපනය දුන් ගුරුවරයෙක්, මහාචාර්යවරයෙක් හැටියට.

රාජදූත