සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

 

මේ මොහොතේ රටේ පැන නැගී ඇති උණුසුම් කාරණා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සමඟ කළ සාකච්ඡාවකි.

ඔබෙන් පළමුව ඇසිය යුත්තේ කුමන ප්‍රශ්නය ද කියලා හිතා ගන්න අමාරුයි. ඔබට අනුව මුදල් අමාත්‍යාංශයේ නිලධාරියාගේ මරණයෙන් පටන්ගමු. ඔහුගේ මරණය දිවි නසා ගැනීමක් ද? ඝාතනයක් ද?

පිළිතුර:- මම පොලිසිය නොවන නිසා මට මේ ගැන කතා කරන්න බෑ. හැබැයි ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. මොකද මං හිතන්නේ ඔහුට ලොකු පීඩනයක් එන්න ඇති, සමාජ කතිකාවත් එක්ක. ඔහු මත සියල්ල පටවන්න උත්සාහයක් තියෙනවා කියලා පේනවනේ. ඔහුට ඒක විශාල පීඩනයක් වෙන්න ඇති. ඊට එහා දෙයක් මම දන්නේ නෑ. මම ෂර්ලොක් හෝම්ස් නොවෙයිනේ. නමුත් හරිම අවාසනාවන්ත සිද්ධියක්.

මියගිය නිලධාරියා ඇතුළු නිලධාරීන් හතර දෙනකුගේ වැඩ තහනම් කරලා. ඒ පරීක්ෂණ හරි විදියට කරන්න කියලා. නමුත් මුදල් නියෝජ්‍ය ඇමැතිවරයටයි මුදල් අමාත්‍යාංශයේ ලේකම්ටයි මුකුත් ප්‍රශ්නයක් නෑ?

පිළිතුර:- ඒක තමයි මෙතැන තියෙන ගැටලුවලින් ප්‍රධාන ගැටලුව. අමාත්‍යාංශයක තියෙනවනේ ආයතනික රෙගුලාසි හා මුදල් රෙගුලාසි කියලා දේවල්. ඒවායෙ තියෙන ප්‍රධාන දෙයක් තමයි ආයතනයක් ඇතුළේ මුදල් පාවිච්චි කරන්නේ කියන එක. ඒවායේ තියෙනවා අමාත්‍යාංශයේ ලේකම්වරයා තමයි අවසානෙට වගකියන්න ඕනෑ කියලා.

ඒ වගේම ලේකම්වරයාට පුළුවන් ඒ වගකීම් පහළ නිලධාරීන්ට පවරන්න?

පිළිතුර:- ඔව්. ඒ පවරන එක අවුරුද්දට සැරයක් කරන්න ඕනෑ. මෙන්න මේ තනතුරට තියෙන බලය මේකයි කියල කියන්නත් ඕනෑ. එතකොට ඩොලර් මිලියන 2.5ක් වගේ විශාල මුදලක් මුදාහරින්න මේ නිලධාරීන්ට බලය තියෙනව ද? මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා ඒක. මෙතැන ගෙවීම් දහයක් වෙලා තියෙනවනේ. එක ගෙවීමක් ඩොලර් ලක්ෂ නවයයි ගාණක් කියලා. එහෙම මුදලක් ගෙවන්න මේ නිලධාරියාට බලය තිබුණ ද? ඒ බලය තිබුණනම් කවද ද? කොහොම ද? කවුරු විසින් ද ලබා දුන්නේ? ඒ සම්බන්ධයෙන් තොරතුරු තාම එළියට ඇවිල්ලා නෑ. පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ඒ තොරතුරු ලබා දෙන්න තව සති තුනක කාලයක් තියෙනවා. ඒ තොරතුරු අපට ලබාදෙන්න ඔවුන්ට සිද්ධ වෙනවා. එතැන මට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මියගිය නිලධාරියා මත මේක පටවන්න පුළුවන් ද? එහෙම කරන්න පුළුවන් කියලා මම නම් දකින්නේ නෑ.

ඉතිහාසයේ පළමු වතාවටයි මහ භාණ්ඩාගාරයේ මුදල් මෙහෙම පිට පාරෙන් ගිහින් තියෙන්නේ කියලා කියනවා?

පිළිතුර:- මමත් දන්න විදියට එහෙම තමයි මහා භාණ්ඩාගාරයේ මුදල් මෙහෙම වෙලා තියෙන්නේ. කොච්චර බාධා මැදද අපි මේක කරගෙන ගියේ. උදාහරණයක් විදියට මහින්ද සිරිවර්ධන මහත්තයා මුදල් අමාත්‍යාංශය ගන්නකොට තිබුණ හැලහැප්පීම්, දේශපාලන ප්‍රශ්න, නොදන්නාකම්, මේ ඔක්කොම ගොඩදාගෙන ආපු කණ්ඩායමක්නේ මෙතැන හිටියේ. මහින්ද සිරිවර්ධන ගියා විතරයි, කාඩ්වලින් හදපු ගෙයක් වගේ කඩාගෙන වැටුණා. ඒ.කේ. සෙනෙවිරත්න කියලා ලේකම් කෙනෙක් ප්‍රධාන ඉන්නවා ඕක ඇතුළේ. එතුමන්ලා තමයි මේක රැකගෙන ආවේ.

නමුත් මුදල් අමාත්‍යාංශයෙ ලේකම්කමට පත් කළේ මාලිමාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. ඔබ කියලා තිබුණ ඒක දේශපාලන පත්වීමක් කියලා.

පිළිතුර:- නැත්නම්? මෙහෙම දෙයක් වුණේ ඉතිහාසයේ පළමු වතාවටයි. දේශපාලනඥයෙක් කවද්ද මුදල් අමාත්‍යාංශයෙ ලේකම් වුණේ.

ආණ්ඩුව පුන පුනා කියනවා මෙතැන හොරකමක් වෙලා නෑ කියලා?

පිළිතුර:- හොරකමක් වෙලා තියෙනවා. මම ඍජුවම කියනවා මෙතැන හොරකමක් තියෙනවා.

කවුද හොරා?

පිළිතුර:- ඒක තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයන්න ඕනෑ. මෙතැන හොරකමක් වගේම අපරාධයක් වෙලා තියෙනවා. හොරකමක් වෙලා නැත්නම් සල්ලි තියෙන්න එපැයි.

දේශපාලනයට සම්බන්ධයක් නැතිව හිටපු මම මේකට ඇවිල්ලා සමාජයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අතර කිසියම් නමක් දිනාගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒක බොරුවක් නෙවෙයි. ඒක ගැන මම නිහතමානීව සතුටු වෙනවා.

 

ආණ්ඩුව කියන්නෙ මේ හැකර්ලාගේ වැඩක් කියලයි?

පිළිතුර:- හැකර් කෙනෙක් නෑ. මොන හැකර් කෙනෙක් ද? ඔය කතාව කියන්නේ සමාජයට. ඔය හැකර්ලා කියන වචනය දාලා ඒක යටින් රිංගලා යන්නයි. හැකර්ලා කියන්නේ සාමාන්‍යයෙන් තොරතුරු පද්ධතියට හොරෙන් ඇතුළුවෙලා ඒක අත්පත් කර ගැනීමයි. හැකර්ලා ආවානම් ඒක මහා ලොකු ගැඹුරු ප්‍රශ්නයක්. එහෙම දෙයක් වෙලා නෑ. මෙතැන වෙලා තියෙන්නේ දහ පාරක්ම වැරැදි තැන්වලට ගෙවලා තිබීමයි.

අද ඊයෙ මේක එළියට ආවට අපි මේක දැනගෙන මාස හතරක් වෙනවා කියලා ආණ්ඩුව කියනවා?
පිළිතුර:- මුදල් කාරක සභාවේ සාකච්ඡා වෙච්ච දේවල් මම අනාවරණය කරන්නේ සීමාවක් ඇතුළේ. ඒක තමයි කමිටුවේ සාමාජිකයන් හා මා අතර තියෙන එකඟතාව. ඒ එකඟතාව අනුව තමයි මුදල් ලේකම්තුමාගෙන් අපි සියලු විස්තර ලබා ගත්තේ.

ඒ වුණත් ඔබට කතා කරන්න පුළුවන් සීමාවේ ඉඳගෙන කතා කරන්න?

පිළිතුර:- මම මේ ඒක තමයි කරන්නේ. හතරවැනි කාර්තුවේ සහ ජනවාරි මාසයේ තමයි මේක වෙලා තියෙන්නේ. හැබැයි අපි දැක්ක දේ තමයි නොයෙකුත් අනතුරු ඇඟවීම් කිහිප අවස්ථාවකදීම කරලා තියෙනවා. එහෙමනම් ඇයි එහෙම අනතුරු අඟවලා තිබිය දී මේ ගමන ඉස්සරහට ගියේ.

කවුද මේ අනතුරු ඇඟවීම් කළේ?

පිළිතුර:- ඒකට උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්න මට බලලා ඉන්න වෙනවා. මට ඒක කියන්න පුළුවන් ද දන්නේ නෑනේ. හරි. අනතුරු ඇඟවීම කරලා තියෙන්නේ මහ බැංකුවෙන්.

ඒ අනතුරු ඇඟවීම් කළේ මහා භාණ්ඩාගාරයට ?

පිළිතුර:- ඔව්. එහෙම තිබියදීත් ඇයි එහෙමනම් ඉස්සරහට ගියේ.

මේ සිද්ධියට කලිනුත් මෙහෙම වෙලා තියෙනව ද?

පිළිතුර:- ඒක අපි දන්නේ නෑනේ. දැනට ප්‍රශ්නගත වෙලා තියෙන්නේ සිදුවීම් 10 ක්. ඒ දහයට අමතරව තව සිද්ධි තියෙනව ද කියලා තාම දන්නේ නෑ. හැබැයි, මෙතැන ලොකු හිඩැස් තියෙනවා. ඒ කියන්නේ විධිමත් වැඩපිළිවෙළක් තියෙන්න ඕනැනේ. නමුත් එහෙම දෙයක් මෙතැන නෑ. ඉස්සර ඊමේල්වලින් කළා. ඒ යුගය ගියා. දැන් තියෙන්නේ අලුත් තත්ත්වයක්. හැම තැනම පරිගණක අපරාධ වෙනවා. ඒකටනේ නිලධාරීන් තෝරාගෙන, පුහුණු කරලා පත් කරන්නේ. එහෙම නැතුව ප්‍රශ්නයක් වුණා. දැන් මොකද කියලා අහන්න නොවෙයිනේ. ප්‍රශ්නයක් තියෙනවා කියලා වටහාගෙන ඒකට පෙර සූදානමක් තියෙන්න ඕනැනේ. අනතුරු ඇඟවීම් කරලා තියෙද්දී කඩාගෙන බිඳගෙන යන්න ඕනෑ නැහැනේ. ඒ නිසා හරි පැහැදිලියි වමේ ක්‍රියාදාමය තුළ ලොකු හිඩැස් තියෙනවා.

ඔබ කියන්නේ ඉස්සර තිබුණේ නෑ, මේ ආණ්ඩුව ආවට පස්සෙ තමයි මේ හිඩැස ආවේ කියල ද?

පිළිතුර:- මෙහෙමයි. හිඩැස් තියෙන්න ඇති කලිනුත්. නෑ කියන්නේ නෑ. හැබැයි ඒ හිඩැස්වලින් රිංගන්න තාක්ෂණය තිබුණේ නෑ. අද තාක්ෂණයත් එක්ක මේ හිඩැස්වලින් රිංගන්න පුළුවන්. හිඩැස් වැඩි නොවුණ වෙන්න පුළුවන්. නමුත් රිංගන්න අවස්ථා වැඩි වුණා. මේවා ගැන අවධානය යොමු කළ යුතුව තිබුණා. මුදල් කමිටුවෙදී මම හය පාරක් මේගොල්ලන්ට මේක ගැන කිව්වා. මම කිව්වා සුදුසු පුද්ගලයන් ගන්න කියලා. ඒ අය කිව්වා සුදුසු අය තමයි ගන්නේ කියලා. දැන් පේනවනේ මම කියපු එක මේ කනෙන් අහලා අනික් කනෙන් පිට කරලා තියෙනවා. මේ ගනුදෙනු 10 සම්බන්ධයෙන් මහ බැංකුව අනතුරු අඟවලා තියෙනවා. අපි කමිටුව හැටියටත් පුද්ගලිකව මමත් දැනුවත් කරලා තියෙනවා.

ඔබේ සභාපතිත්වයෙන් තියෙන මුදල් කමිටුවට එන්න කියලා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිව්වත් ඔහු හෝ ඔහුගේ නියෝජිතයෝ ආවේ නෑ. ඊයෙ පෙරේදා ලේකම්වරයා ආවෙත් අන්තිම මොහොතේ. ඔහුට එහෙම නෑවිත් ඉන්න පුළුවන් ද?

පිළිතුර:- ඔහුට නෑවිත් ඉන්න බෑ. අන්තිමට කැඳවපු එකට නෑවිත් හිටියනම් ඔහුට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම මේක කලින් කිව්වෙ නෑ. මීට කලින් අවස්ථාවලදිත් පාර්ලිමේන්තුවේ බලය හෑල්ලු වෙන ආකාරයට වැඩ කරලා තියෙන බව අපට පෙනී ගියා. පිට පිට ළඟදී වෙච්ච දේවල් තියෙනවා.

ඒ අවස්ථා කියන්න පුළුවන් ද?

පිළිතුර:- ඔව්. පළමුවැනි අවස්ථාව තමයි අපි ගන්න හිටිය කාරණා දෙකක්. එකක් 2026 හතර වැනි කාර්තුවේ ආර්ථික ‘අවුට්කම්’ එක සහ කැසිනෝ නියාමනය පිළිබඳව සාකච්ඡාව. එතකොට මුදල් අමාත්‍යාංශයෙ ලේකම්වරයා අපට ලියුමක් එවලා තිබුණා, “හතරවැනි කාර්තුවේ එක කැබිනට් එකෙන් සම්මත කරගන්න කාලයක් අවශ්‍යයි, ඒ කාලය දෙන්න” කියලා. අපි කිව්වා “ප්‍රශ්නයක් නෑ. හැබැයි, කැසිනෝ නියාමනය සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡාවක් තියෙනවා එන්න” කියලා. ආවේ නැතිව හිටියා. කිසිම හේතු දැක්වීමක් කළෙත් නෑ. අපේ මුදල් කමිටුව ඒ ගැන සෑහීමට පත් වුණේ නෑ.

ඊට පස්සේ තිබුණ මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා රාජ්‍ය මූල්‍යයට සිදුවිය හැකි බලපෑම සම්බන්ධ වැදගත් සාකච්ඡාවක්. ඔවුන් අපට දන්වලා තිබුණා, “තවත් අමාත්‍යාංශ හතකට එන්න කියන්න” කියලා. අපි ඒක ඒ අමාත්‍යාංශවලට දැන්වූවා. අවසාන දවසේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියනවා “සාකච්ඡාව තියෙන්නේ බදාදා දවසක. බදාදා දවස රජයේ නිවාඩු දවසක්. ඒ නිසා එන්න බෑ” කියලා. මම කිසිසේත්ම පිළිගත්තේ නෑ ඒක.

අනික් අමාත්‍යාංශ හත ආවද?

පිළිතුර:- ඔව්. මුදල් අමාත්‍යාංශය හැර අනෙක් අමාත්‍යාංශ හත ආවා. මහ බැංකුවත් ආවා. මුදල් අමාත්‍යාංශය නැතිව අපි කාරක සභාව පැවැත්වුවා. ඊට පස්සේ මම කමිටුවේ සාමාජිකයන් සමග සාකච්ඡා කරලා මගේ දැඩි විරෝධය පළ කරලා මේ ගැන ලියුමකින් ජනාධිපතිවරයා දැනුවත් කළා. මම ජනාධිපතිවරයාට කිව්වා “ඔබතුමා මේ කාරක සභාවල ඉඳලා තියෙනවා. ඒ නිසා මේවායෙහි වැදගත්කම ඔබතුමා දන්නවා. ඒ නිසා මේක මේ විදියට වෙන්න දෙන්න බෑ” කියලා.

ඊට පස්සෙවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයගේ හැසිරීම වෙනස් වුණා ද?

පිළිතුර:- ඉන්නකෝ... ඊට පස්සේ තිබුණා මහ බැංකුව හා භාණ්ඩාගාරය අතර තියෙන සම්බන්ධය පිළිබඳව සාකච්ඡාවක්. ඒකට හේතු වුණේ මන්ත්‍රීවරුන් ගෙනාපු කතාවක් තමයි. “අපි මහ බැංකුව ගැන ප්‍රශ්න අහන්නේ පාර්ලිමේන්තුවේදී. ඒකට පිළිතුරු දෙන්නේ මුදල් නියෝජ්‍ය ඇමැති. මහ බැංකුව කමිටුවකට කියලා පැමිණෙන්නේ අපේ කමිටුවට. එතැනදී අපට හොඳ සම්බන්ධීකරණයක් කරන්න පුළුවන්. ඒකට මහ බැංකුව ආවා. මුදල් අමාත්‍යාංශ ආවේ නෑ.

හේතුවක් වශයෙන් කිව්වේ ?

පිළිතුර:- ඒගොල්ලෝ ලියුමකින් දන්වලා තිබුණා, “අවශ්‍ය නෑ එන්න. ලියුම් මගින් අපි පැහැදිලි කරලා දීලා තියෙනවා” කියලා. එහෙම කියන්න හැකියාවක් නෑ. ඒ එක්කම අපි අනික් පැත්තට ලියලා ඇරියා ”මේක අපිට පිළිගන්න පුළුවන් කාරණාවක් නොවෙයි” කියලා.

ඔබ ඇයි පියවරක් නොගත්තේ ?

පිළිතුර:- මම මුදල් ඇමැති හැටියට ජනාධිපතිතුමාට ලිව්වා. මහ බැංකු අධිපතිතුමාට ලිව්වා. ලියන්න ඕනෑ හැම තැනකටම ලිව්වා. ඊට පස්සෙ මට ගන්න තියෙන්නේ ‘වරප්‍රසාද කඩවීමේ’ පියවර. ඒක අවසානයටම ගන්න තියෙන පියවර. මට ඒ පියවර ගන්න එක මහා ලොකු දෙයක් නොවෙයි. මම කල්පනා කළා මොවුන් වෘත්තියවේදියොනේ. ඒ අයට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඔය අතරෙදි තමයි ඩොලර් මිලියන 2.5 සාකච්ඡාවටත් එන්නේ නෑ වගේ කතාවක් කිව්වේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් කිව්වා “ඔය සිද්ධිය ගැන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරනවා. ඒකෙන් පස්සෙ එන්නම්” කියලා. එතකොට තමයි මගේ රතු කට්ට පැන්නේ.

ඇමැති බිමල් කිව්වා “නිලධාරීන්ගේ කාලය කා දමන රැස්වීම්වලට එන්න අවශ්‍ය නෑ” කියලා?

පිළිතුර:- ඔව් ඔව්. මමත් ඇහුවා එහෙම කියනවා. ඒ නිසාත් තමයි මගේ රතු කට්ට පැන්නේ. ඊට පස්සෙ තමයි මම පළු යන්න කිව්වේ. ඊට පස්සෙ මේගොල්ලෝ කල්පනා කළා තවදුරටත් මේක ගෙනියන්න බෑ කියලා. ඒ නිසා ආවා.

ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය ගැන ඔබේ අදහස ?

පිළිතුර:- ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයක් නෑනේ. අයි.එම්.එෆ්. එක කොන්දේසි දාලා තියෙනවා. මේගොල්ලෝ ඡන්දයට කලින් කිව්වේ “මේක වෙනස් කරනවා” කියලා. නමුත් ඒ විදියටම කරගෙන යනවා. කිසිම වෙනසක් නෑ, ආණ්ඩුවට ආර්ථික දැක්මක් වැඩපිළිවෙළක් නෑ.

ඔබ කවදද මාලිමා ආණ්ඩුවට යන්නේ ? අපට ආරංචි විදියට ඔබට එහෙම ආරාධනාවක් තියෙනවා. ඔබේ කැමැත්තකුත් තියෙනවා?

පිළිතුර:- නෑ නෑ. ආරාධනාවකුත් නෑ. කැමැත්තකුත් නෑ. මම හිතන්නේ මේක සමාජ මාධ්‍ය තුළ තියෙන සාකච්ඡාවක්. සමහර විට කැමති ඇති හර්ෂ ද සිල්වා වගේ පුද්ගලයෙක්ව අරගෙන ඒගොල්ලන්ගේ වැඩේට දායක කරගන්න. මොකද මගේ දේශපාලනය වෙනස්නේ.

වෙනස් කිව්වේ?

පිළිතුර:- මගේ වෙනස ගොඩක් දෙනකුට තේරුම් ගන්න අමාරුයි. මම දේශපාලනයට ආවේ ආධුනිකයෙක් හැටියට. වෘත්තියවේදියෙක් හැටියට. ඊට කලින් මම කොහේවත් දේශපාලනය කරපු නැති කෙනෙක්. සමහර මිනිස්සු මට හිනා වුණා, ජාතික ඇඳුම අඳින්නේ නැතිව දේශපාලනය කරන්න බෑ කියලා. ඒ මිත්‍යා මත මම කුඩු කළා. දේශපාලනයට සම්බන්ධයක් නැතිව හිටපු මම මේකට ඇවිල්ලා සමාජයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අතර කිසියම් නමක් දිනාගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ඒක බොරුවක් නෙවෙයි. ඒක ගැන මම නිහතමානීව සතුටු වෙනවා.

ඔබේ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මාලිමා ආණ්ඩුවේ ආරාධනයෙන් ක්‍රිකට් බෝඩ් එකේ සභාපති වුණා?

පිළිතුර:- ඔව්. එතුමා පක්ෂයේ තනතුරුවලින් ඉවත් වෙලා තමයි ඒක බාර ගත්තේ. මම ඕක දකින්නේ වෙනස් විදියට. ක්‍රිකට් කියන්නේ පක්ෂ භේදයකින් තොරව ඔසොවා තැබිය යුතු ක්‍රීඩාවක්. මේ රටේ ඉන්න මිලියන ගණනින් ඒක හොඳටම කරන්න පුළුවන් ඉරාන් වික්‍රමරත්නට ද කියන එක වෙනම කාරණාවක්. ඔහු තෝරා ගැනීමට හේතු වුණේ ක්‍රීඩකයෝ, හිටපු ක්‍රීඩකයෝ එතුමව ඉල්ලපු නිසයි. ඉරාන් ගිහින් ඉල්ලුවේ නෑ, මට මේක දෙන්න කියලා. මේ වගකීම දේශපාලනීකරණය කරන්න ඕන නෑ.

මේක කෙටි කාලයකට පත් කළේ. ඊට පස්සේ ඡන්දයකට යන්න ඕනෑ. ඉරාන් ඡන්දෙ ඉල්ලන්න යන්නේ නෑනේ. ඉරාන් ක්‍රිකට්වලට පුදුම ආදරයක් තියෙන කෙනෙක්. ඔහු දක්ෂයෙක්. එන්.ඩී.බී. බැංකුවේ පළමුවැනි කළමනාකාර අධ්‍යක්ෂවරයා ඔහු. මම සුබ පතනවා ඔහුට.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්