සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ වීමක් ගැන තිබූ බලාපොරොත්තුවද මෙම මැයි දිනයේදී යථාර්ථයක් වූයේ නැත. පවතින ආණ්ඩුවට එරෙහිව ජනතාව යම් මට්ටමකින් ආණ්ඩු විරෝධයකට ගොනුවන අවස්ථාවක් උදා වී තිබියදී සජබ සහ එජාප එකතු වී දේශපාලනයක යෙදෙන්නේ නම් එය විපක්ෂයේ ප්‍රධානම දේශපාලන බලවේගය විය හැකිව තිබූ මුත් තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පක්ෂ තුනක් ලෙස විපක්ෂයේ දේශපාලනය බෙදා ගැනීමට සිදුව ඇත. එකමුතු මැයි දිනයක් ගැන පැරණි යූඇන්පීකාරයන් තුළ මහත් බලාපොරොත්තුවක්ද ඇති වී තිබුණේය.

සජබ මැයි රැලිය ගැන යූඇන්පීකාරයන් බොහෝ පිරිසක් බලාපොරොත්තු තබාගෙන සිටියේ එජාපයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨ නායකයන් බොහෝ දෙනකු මෙම මැයි රැලියට සහභාගී වන බවට ආරංචි පැතිර තිබූ නිසාය.

අප “යූඇන්පීකාරයන්” කියන්නේ මේ පක්ෂ දෙකටම ආදරය කරන මිනිසුන්ය. පක්ෂ දෙකේම එකමුතුව පතන මිනිසුන්ය. රනිල්ට සහ සජිත්ට නායක තනතුරු අවශ්‍ය වී පක්ෂ දෙකක් හදාගත්තාට මේ මිනිසුන්ට වුවමනා වූයේ එක තනි පක්ෂයකි.

පැතිර ගිය කතාවේ හැටියට එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, උප නායක අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක හා නවීන් දිසානායක සජබ මැයි රැලියට එජාපය වෙනුවෙන් සහභාගී වන බව ප්‍රචාරය විය. ඒ අයට පැමිණීම සඳහා එජාප පාක්ෂිකයන් හෝ සහභාගී කරවන්නැයි සජබ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරන බවද ප්‍රචාරය වී තිබිණ.

එහෙත් මේ කිසිවක් සිදු වූයේ නැත. එජාපය තම පාක්ෂිකයන්ට රැලියට යන්නැයි කීවේ නැත. සජිත් එජාප පාක්ෂිකයන්ට ආරාධනා කරමින් රැලියට ඇරියුම් කළේද නැත. නවීන්, අකිල, රුවන් යන්න කැමැත්තෙන් සිටියාට ඉහළින් අනුබලයක් නොමැති නිසා රැලියට සහභාගී වුණේද නැත. අවසානයේ රනිල්ගේ සුබ පැතීමේ නිවේදනයක් පමණක් නිකුත් විය.

සජිත් එම නිවේදනය කියවා එජාපයට ස්තුති කර පක්ෂ දෙකම දැන් එකමුතු වී ඇති බව කියා සිටියේය. එජාප සහ සජබ එකතු වීම ගැන බලාපොරොත්තුවෙන් සිටි පාක්ෂිකයන්ට සිදු වුණේ බලාපොරොත්තු කඩකරගෙන ඉවත බලා ගන්නය.

සජබ සහ එජාප එකමුතුවක් ගැන පක්ෂ දෙකේම පාක්ෂිකයන් බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ බොහෝ කාලයක සිට වුවත් පක්ෂ දෙකේම නායකයන්ට ඒ ගැන කලබලයක් නැත. ඔවුන්ට පක්ෂ ප්‍රධානීන් ලෙස තනතුරු ලැබී තිබීම එයට හේතුවය. එහෙත් පාක්ෂිකයන්ට අවශ්‍ය වන්නේ මැතිවරණ ජයග්‍රහණයකි. ඒ සඳහා සජබය ලෙසත් එජාපය ලෙසත් වෙන වෙනම තරග කර ජය ලබාගත නොහැකිය. පක්ෂ දෙක වෙන්වීම නිසා දේශපාලනය ගැන කලකිරී නිද්‍රාශීලීව සිටින ලක්ෂ ගණනක ඡන්දදායකයන් පිබිදවීම සඳහා පක්ෂ දෙක එකතු වීම අත්‍යවශ්‍ය වෙයි. ඉදිරි මැතිවරණයකදී මෙම නිද්‍රාශීලී ඡන්ද විශාල වටිනාකමක් ගෙන එන අතර ජයග්‍රහණයක් ලබාගත නොහැකි බව පෙනේ නම් මෙම පිරිස ඡන්ද පොළට එන්නේ නැත. ඔවුන් තවදුරටත් නිද්‍රාශීලීවම සිටිනු ඇත. වඩාත් වයෝවෘද්ධ පාක්ෂිකයන් පක්ෂ දෙකම එපා වී මේ අයුරින් නිද්‍රාශීලීව සිටින බව රහසක් නොවේ. පරම්පරාගත “යූඇන්පීකාරයන්” වන ඔවුන් සැලකෙන්නේ “කැපුවත් කොළ” ලේ ඇති දේශපාලන ක්‍රියාකාරීන් ලෙසය. “රනිල්ට දිනන්න බෑ” යන මතයක් ශ්‍රීලනිපය විසින් සමාජගත කළ 1994 න් පසු දේශපාලන බිම අප්‍රසන්න වූ විශාල පිරිසක් මෙම “කැපුවත් කොළ” ලැයිස්තුවේ සිටිති. ජේආර්ලාගේ ප්‍රේමදාසලාගේ නායකත්ව භූමිකා දැක පුරුදු මේ පරම්පරාගත යූඇන්පීකාරයන් යළිත් බලාපොරොත්තු වන්නේ එවැනි නායකත්වයකි. එම නායකත්වය සපයමින් “යූඇන්පී” කාරයන්ගේ පක්ෂය ශක්තිමත් කිරීම රනිල් සහ සජිත් දෙදෙනාගේම වගකීම වන අතර පක්ෂ දෙක එකතු කිරීමකින් තොරව එම අරමුණ ඉටු කරගත නොහැකිය.

එජාපය සහ සජබය යන පක්ෂ දෙකම එකම ප්‍රතිපත්ති මත දරන පිරිසකගෙන් යුතු වන අතර දිනෙන් දින පරාජය වූ ප්‍රතිපත්තියක් හමුවේ එජාපය හැර ගිය පිරිසක් සජබය නමැති අලුත් පක්ෂයක් පිහිටුවූයේය. එම පක්ෂ දෙකේම ගෞරවාන්විත නායකයන් ලෙස සැමරෙන්නේ ඩී.එස්. සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ඇතුළු එජාපයේ පැරණි නායකයන්ය. සජබය පිහිටුවීම සඳහා එක්වූ සියලු දෙනාම රනිල් වික්‍රමසිංහට මැතිවරණ ජයගත නොහැකිය යන ප්‍රකට මතවාදය නිසා එජාපය ගැන කලකිරී තමන්ට වෙනත් පක්ෂයක් පිහිටුවා ජයගත හැකිය යන මතය දැරූ පිරිසකි.

1994 මැතිවරණ පරාජයෙන් පසු එක්සත් ජාතික පක්ෂය තුළ දිගින් දිගටම අර්බුද ඇති විය. නායකත්වය සහ මැතිවරණ පරාජය පිළිබඳව එකිනෙකා බැණ අඬගසා ගැනීමේ ප්‍රතිඵලය වූයේ ජනතාවට එම පක්ෂය එපා වීමය. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එම පක්ෂය සැමදා විපක්ෂයේය යන මතය ගොඩනගන ලද්දේ මංගල සමරවීර ඇතුළු ශ්‍රීලනිපය විසිනි. සැබැවින්ම එජාපය පක්ෂයක් ලෙස 2001 දී දිනූ අර්ධ අවස්ථාව හැර අන් කිසිම අවස්ථාවක මැතිවරණ ජයග්‍රහණයක් ලැබුවේ නැත. අවසානයේ සියලු ජ්‍යෙෂ්ඨයන් එජාපයෙන් නික්ම ගිය ඉක්බිතිව අවසාන බල ගැටුම වූ රනිල් - සජිත් ගැටුමෙන් එජාපය යළි පිළිසකර කළ නොහැකි ලෙස දෙකඩ විය. සජබය බිහිවූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවට පත්වූයේ රනිල් සහ සජිත් බල පොරයේ ප්‍රතිඵලයක් හැටියටය. ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහ මැතිවරණයේදී හෝ එජාපය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගය එක්ව ඒ ඒ දිස්ත්‍රික්කයට නිතරග ගිවිසුම් යටතේ හෝ එසේත් නැතිනම් පක්ෂ තුනම එක්ව හෝ තරග වැදුණේ නම් වත්මන් ආණ්ඩු පක්ෂයට ප්‍රබල තරගයක් දීමට ඉඩ තිබුණේය. ජනාධිපතිවරණයේදී එම පක්ෂ තුනට සියයට පනස් හතක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර ජාතික ජන බලවේගයට තිබුණේ සියයට හතළිස් දෙකක ඡන්ද ප්‍රතිශතයකි. සංවිධානාත්මක මැතිවරණ සටනක එක්ව නිරත වී නම් එක්කෝ මහ මැතිවරණය ජය ගැනීමට හෝ නැතිනම් ආණ්ඩු පක්ෂය සමඟ කරට කර මැතිවරණ සටනක නිරත වී දෙපක්ෂය අතර මන්ත්‍රී ආසන ගණනේ පරතරය අඩුකර ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණ. එහෙත් එම ප්‍රධාන පක්ෂ තුන ඒ වෙනුවට කළේ කිසිවකුත් නොසිතූ ලෙස පළමු වටයේදීම පරාජය පිළිගෙන උදාසීන අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමය. පක්ෂ තුන එකතු නොවූවාට අමතරව එම පක්ෂ තුනේ ප්‍රධාන පෙළේ බල කණු සියල්ලම දේශපාලනයෙන් සමුගත්හ. තමන් තරග නොකරන බවට හිටපු මැති ඇමැතිවරුන් නිවේදන නිකුත් කරන්නට පටන් ගත්තේ තරගයටය. එහි ප්‍රතිඵලය වූයේ ඡන්දදායකයා තව තවත් අසරණ වීමය. සම්ප්‍රදායික ප්‍රභූ යැයි සම්මත පක්ෂ මෙවර වඳ වී ගියේ 1977 දී සාම්ප්‍රදායික වාමාංශික පක්ෂ වඳ වී ගිය ආකාරයම සිහි ගන්වමිනි.

අතීතයේ ආණ්ඩුවක් පෙරළා බලයට ආවේ විපක්ෂයය. එකල විපක්ෂ තිබුණේ එකකි. කුඩා පක්ෂ තිබුණද එක් මන්ත්‍රීවරයකු හෝ දෙදෙනකු සිටි එම පක්ෂ ඊළඟ ආණ්ඩුව භාරගන්නා පක්ෂය ලෙස කවදාවත් මතු වූයේ නැත. 1994 දී එවකට තිබූ රජය පෙරළා දමා බලයට ආවේත් ප්‍රධාන විපක්ෂය පෙරටු කරගත් සන්ධානයකි. 2005 දිත් බලය ගත්තේ එවකට තිබූ ප්‍රධාන විපක්ෂය පෙරටු කරගත් සන්ධානයකි. එහෙත් 2024 දී එම පැරණි ක්‍රමය හා සම්ප්‍රදාය කණපිට හැරුණේය. තුනෙන් දෙකේ බලය තිබූ පක්ෂ  බිංදුවට වැටී එවර බලය ගත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් තුන් දෙනකු පමණක් සිටි පක්ෂයයි. බලය තිබූ පක්ෂය පමණක් නොව සාම්ප්‍රදායික විපක්ෂයද බිංදුවට වැටුණේය. ඉන් පසුව පැවැති මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ සියල්ලම පතුරු පතුරු ගැලවී විපක්ෂයට වැටුණේය. එහෙත් මේ විපක්ෂ කණ්ඩායම් එකකටවත් වත්මන් ආණ්ඩුවට අභියෝගයක් එල්ල කළ හැකි තත්ත්වයක් තිබෙනවා ද යන්න තවමත් ප්‍රශ්නකාරීය. ආණ්ඩුව හැම අතකින්ම දුර්වල වෙමින් යද්දිත් ලබාදුන් පොරොන්දු ඉටු නොකළ බවට චෝදනා නැගෙද්දීත් තවමත් ප්‍රධාන විපක්ෂයක් පෙනෙන්නට නැත. මේ වන විට ඡන්දය වර්ජනය කර නිද්‍රාශීලීව සිටින පනස්තුන් ලක්ෂයක ජනතාව අවදි කරවන්නට විපක්ෂය උත්සාහ ගන්නා බවක්ද පෙනෙන්නට නැත. ඇතැමුන්ගේ මතය වන්නේ පක්ෂයක් ලෙස එජාපයම සජබයට එකතු කරගත යුතු බවය. එහිම තවත් පිරිසකගේ මතය වන්නේ එජාපය තුළ සිටින ගෞරවණීය පුද්ගල චරිත පමණක් එකතු කරගත යුතු බවය. මෙම මැයි රැලියටත් දැරුවේ එවැනි උත්සාහයක් බවද ඔවුහු කියති. කෙසේ හෝ මේ කිසිවක්ම සිදු වූයේ නැත. සජබ එජාප කවදා හෝ එකතු වේ ද? නැතිනම් කිසිදාකවත් එකතු නොවේ ද? එම තීන්දුව ලැබෙන තුරු ඡන්දදායකයා රඳවා තබා ගැනීම පහසු නැති බවද මෙම පක්ෂ නායකයන් වටහා ගත යුතුය.

ප්‍රේමකීර්ති රණතුංග