සුජිත් හේවාජුලිගේ

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ හදිසි මරණය සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කපිල චන්ද්‍රසේනගේ මරණය ඝාතනයක්ද එසේ නැතිනම් කිසිවකු හෝ ඔහුට සිය දිවි හානි කර ගැනීමකට පසුබිම් වන වාතාවරණයක් සකස් කළාද යන්න සොයා බැලීමට මෙහිදී කටයුතු කෙරෙනු ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු මිය යෑමට පෙර හමු වූ පුද්ගලයන් මෙන්ම දුරකථනයෙන් කතා කළ අය සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇති බව පවසන එම ආරංචි මාර්ග මෙම තොරතුරු සොයා ගැනීම සඳහා දුරකථන දත්ත වාර්තා සහ සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කරන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන කොල්ලු‍පිටිය පේද්‍රිස් මාවතේ  සිය නිවසේ කාමරයක ගෙල වැලලාගෙන සිටියදී ඔහුගේ සිරුර 08 වැනිදා සිකුරාදා පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

ඉන් අනතුරුව චන්ද්‍රසේන මහතා සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එසේම මෙය සැකකටයුතු මරණයක් ලෙස සලකා ඉදිරි විමර්ශන කරන බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස්-330 ගුවන් යානා 06ක් සහ - 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට චෝදනා එල්ල විය.

අනතුරුව ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරිණ.

කෙසේ වෙතත් එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවද විමර්ශනයක් ආරම්භ කළේය

ඒ අනුව ඊට අදාළව පසුගිය මාර්තු 12 වැනිදා කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගැනිණ.ඔහුගේ මරණය සැක සහිත බවට දේශපාලන පක්ෂ ගණනාවක් සඳහන් කරයි.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ ඔහුගේ මරණය සැක සහිත බවය. ඔහුට ඇප ලබාදීමට පැමිණි අය සම්බන්ධයෙන්ද සැකයක් පවතින බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර කපිල චන්ද්‍රසේනගේ මරණයත් සමග එයාර් බස් ගනුදෙනුවට අදාළ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යෑමට යම් බාධා මතුවිය හැකි බව නීති විශාරදයෝ පෙන්වාදෙති.