ප්‍රේමකීර්ති රණතුංග 

ආණ්ඩුවේ මූල්‍ය විනය ශක්තිමත් කිරීම සඳහා විපක්ෂයේ සිටින හැකියාව ඇති දේශපාලකයන් ආණ්ඩුවට එකතු කර ගත යුතු බවට වූ සාකච්ඡාවක් ආණ්ඩුව තුළ ඇරඹී ඇති බවත් ඒ සඳහා සුවිශේෂ ඇමැති ධුරයක් නිර්මාණය කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බවත් විශ්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන්වීමෙන් පසු ආණ්ඩුව තුළ මෙම සාකච්ඡාව ඇරඹී ඇත්තේ ජාත්‍යන්තර විශ්වාසය රැකගැනීම සඳහා මූල්‍ය විනය වහා ඇති කළ යුතු බවටය. 

ඒ සඳහා විපක්ෂයේ පළපුරුදු දේශපාලකයන් එක් අයකු හෝ කිහිප දෙෙනකු ආණ්ඩුවට සම්බන්ධ කරගත යුතු බවට සාකච්ඡා වී තිබේ.

පළමුවෙන්ම රජයට එකතු වන විපක්ෂයේ මන්ත්‍රීවරයා සඳහා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා එවකට දැරූ ආර්ථික සංවර්ධන ඇමති ධුරයට සමාන බලතල ඇති සුවිශේෂ ආර්ථික කටයුතු ඇතුළත් ඇමැති ධුරයක් සකස් කළ හැකි දැයි රජය සොයා බලමින් සිටින බව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව ඇත. 

විපක්ෂයේ දේශපාලකයකු එම තනතුර සඳහා එක් කර ගැනීමට යම් සාකච්ඡාවක් පැවැත්වෙන බවද සඳහන් වේ.