ජීවිතයට කුමන අභියෝග පැමිණිය ද ඒ සියල්ල පසෙකලා නොනැවතී තම අරමුණු කරා ළඟා වූ බොහොමයක් දෙනා අප සමාජය තුළ එදා මෙන්ම අද ද අඩුවක් නොවේ. ඒ බොහෝ පිරිස් තමන් ආ ගමන් මග අද දවසේ ද සිහි කරන්නේ, සුවහසක් මතක මංපෙත් තුළ කිඳා බසිමිනි. 

ගුරුවරයකු ලෙස වෘත්තිය අරඹා, විදුහල්පතිවරයකු ලෙස සේවයෙන් ඉසුඹ ලන විට සුවහසක් දූ දරුවන් කැලකට සුන්දර ලොවක් තනා දුන් ගුරු පියකු ලෙස එම්.එච්. මුණිපාල මහත්මා සුවිශේෂීය. 

මේ ඔහුගේ කතාවයි.

දකුණු පළාතේ සුන්දර ගම්මානයක් වන දෙවිනුවර උපන් ගම වූ එම්.එච්. මුණිපාලට සහෝදරයන් දෙදෙනකුත් එක් සහෝදරියකුත් සිටි අතර, ඔහුගේ පියා සේවය කළේ එකල යුද සමයේ මිලිටරි ආමි නම් වූ බළකායකය. මව ගෘහණියක ලෙස නිවෙසේ සියලු‍ කටයුතු සිදු කළ අතර, ඔහු තම සුන්දර ළමා විය ගෙවා දමන්නේ සහෝදර සහෝදරියන්ගේ මෙන්ම ගම්වාසින්ගේ ද ආදරය රැකවරණය මැදය.

“මම පුංචි කාලෙ හරි ආසයි චිත්‍ර අඳින්න. දවසක් ඉස්කෝලෙ යන්න උදේ නැගිටලා මම චිත්‍රයක් ඇඳ ඇඳ ඉඳලා එහෙමම ඒකත් අරගෙන පාරට ගියා ඉස්කෝලෙ යන්න. ඒ වේලාවෙ යාළුවො ඇහුවා කෝ කමිසෙ කියලා. එතතොට තමයි මතක් වුණේ චිත්‍ර ඇඳිල්ලට තිබුණු ඕනෑකම නිසා කමිසෙ අඳින්නෙ නැතුව තමයි පාරට බැහැලා තියෙන්නෙ කියලා.”

මුණිපාල ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ දෙවිනුවර කනිටු විදුහලෙනි. ඉන් පසුව සිය මව්ගේ ගම වූ කෝට්ටගොඩ ගොඩඋඩ මහ විදුහලෙන් ද්විතීයික අධ්‍යාපනය ලබන්නේය.

එම පාසල ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ අමතක කළ නොහැකි චරිතයක් වූ රෝහණ විජේවීර ද ඉගෙනුම ලැබූ පාසල වූ බව කිව මනාය. ඔහු තමාට වඩා ඉහළ පන්තියක සිටි අයුරු තවමත් මතක සැමරුම් අතර ඇතැයි මුණිපාල කියයි.

“මම ඉගෙන ගත්ත විදුහල්වල දීප්තිමත් ශිෂ්‍යයෙක් වුණා කිව්වොත් වරදක් නැහැ. හැම ගුරුවරයකුම මට ආදරෙයි. ගමේ දහම් පාසලෙත් එහෙමයි. මට මතකයි ඒ කාලෙ ගමේ හැම අවුරුද්දකම සංඝමිත්තා පෙරහරක් යනවා. මම තමයි ඒ කරත්තෙ පදවන්නෙ. ඒ කාලෙ අපේ පන්සලේ නායක හාමුදුරුවො තමයි අමරපුර මහ නිකායේ මහනායක කහඳමෝදර පියරතන හාමුදුරුවො. හාමුදුරුවො ඉස්සර විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුවලට කොළඹ වඩිනකොට මාවත් එක්කගෙන යනවා. හාමුදුරුවො වැඩ ටික කරගන්නකම් මම තනියම ගිහින් ග්‍රහලෝකාගාරයත් බලලා තියෙනවා.”

සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වන මුණිපාල විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරීමට යන්නේ දික්වැල්ල විජිත මධ්‍ය මහා විදුහලටය. නමුත් කෙටි කලකින් එම පාසලේ විද්‍යා අංශය අකර්මණ්‍ය වූ හෙයින් මාතර රාහුල විදුහලට ඒමට ඔහුට සිදු වේ. ඒ කාලයේදී මුණිපාලගේ පවුලේ උදවිය තිස්සමහාරාමයේ පදිංචියට ගොස් සිටි හෙයින්, දෙවිනුවර මාමා කෙනකුගේ නිවෙසක නේවාසිකව සිටිමින් රාහුලයට යාමට ඔහුට සිදු වේ. 

“ටික දවසක් යද්දි මට තේරුණා අපේ තාත්තාට මට වියදම් කරන්න පුළුවන්කමක් නැහැ කියලා. මම නැවතිලා හිටිය ගෙදර මාමලාටත් අමාරුකම්. මට ඕනෑ වුණා රස්සාවක් කරන්න. මම උසස් පෙළ අතරමග නතර කරලා මහනුවර කටුගස්තොටට ආවා. ඒ අපේ ඥාති ව්‍යාපාරිකයකුට අයත් එන්.එච්. කුමාරසිංහ සමාගමට. එතැන ස්ටෝර්කීපර් කෙනෙක් විදිහට තමයි මම වැඩ කළේ. එතැන මම අවුරදු 2ක් වැඩ කළා.”

උසස් පෙළ විභාගය අතරමග නතර කර දැමුව ද මුණිපාලට ඕනෑ වූයේ අධ්‍යාපනය පැත්තෙන්ම ඉදිරියට යාමටය. මේ කාලයේ රජය මගින් සහතික නොලත් උප ගුරුවරුන් බඳවා ගැනීමේ තරග විභාගයක් පැවැත්වූයේ ඒ වන විට රට තුළ පැවැති ගුරු හිඟයට පිළියමක් වශයෙනි. මේ විභාගය සඳහා මුණිපාල ද ඉදිරිපත් වූයේය.

“මම ඒ විභාගය සමත් වුණා. මම විභාගය ලියුවෙ මොනරාගල දිස්ත්‍රික්කයෙන් නිසා සහකිත නොලත් උප ගුරුවරයකු ලෙස පළමු පත්වීම ලැබුණේ සෙල්ලකතරගම ප්‍රාථමික විදුහලට. ඒ, 1972 වසරේ. ඒක දුෂ්කර පාසලක්. මම ගිහින් වැඩ බාරගෙන ළමයින්ට උගන්වද්දි, විදුහල්පති ඒකට එච්චර කැමැති නෑ වගේ හැඟුණා. මට කියනවා ඔය ළමයින්ට සෙල්ලමක් එහෙම කියලා දුන්නාම ඇති කියලා. සතියක් යද්දි විදුහල්පති මොනරාගල පළාත් අධ්‍යාපන කාර්යාලයට ගිහින් ආවා. ඊට පස්සෙ දවසෙ මට මාරු වීමක් ආවා මොනරාගල කලවැල්ආරගම කනිෂ්ඨ විදුහලට. ඒක පුදුම අත්දැකීමක්. අධ්‍යාපන කාර්යාලයට ගිහින් පාර අහගෙන පාසලට ගියේ. මහ රූස්ස කැලයක් මැදින් ප්‍රධාන පාරෙ ඉඳන් කිලෝමීටර 6ක් පයින් යන්න ඕනෑ. අලි කොටි විමානයක්. ගෙයක් පේනතෙක් මානයක නෑ. මම නැවතුණේ පාසලේම කාමරයක. ඩෙස්ක් එකක් උඩ නිදාගත්තේ. කෑම දුන්නෙ ළඟ ගෙදරකින්. රොටි, දඩ මස් ප්‍රධාන ආහාරය. ඒ පාසලේ දෙවැනි දවසෙ රෑ ඉන්නකොට අලි රංචුවක් ඇවිත් පාසල් වත්තම විනාශ කළා. මගේ ජීවිතේ බේරුණේ නූලෙන්. මම පහුවදාම අධ්‍යාපන කාර්යාලයට ආවා.”

ඉන් පසුව මුණිපාලට පත්වීම ලැබෙන්නේ වැල්ලවාය මහ විදුහලටය. තාවකාලික පදිංචිය විදුහලේම ගුරු නිවාසයේය. මෙම පාසල ඔහුගේ ජීවිතයේ කිසි දිනක අමතක නොවන්නේ, මෙරට කලා ක්ෂේත්‍රයේ නොමැකෙක සටහන් තැබූ ප්‍රවීණ ගායන ශිල්පි රෝහණ බැද්දගේ හා ප්‍රවීණ නාට්‍ය ශිල්පි ලීලානන්ද ගජනායක මහත්වරුන් දෙපළ සේවය කළේ ද එහිම වීම නිසාය.

“අපි හිටිය ගුරු නිවාසෙ තමයි කට්ටියටම කෑම හදන්නෙ. ඉතින් කට්ටියම රෑට එනවා එතැනට. සිංදු කියමින් රස කතා කියමින් සුන්දර කාලයක් ගත කළේ. දරුවන්ගේ අධ්‍යාපනය ඉතා ඉහළින් ඒ කාලයේ දියුණු වුණා පාසලේ. ඒ වගේම තමයි හරි අපූරු සිදුවීමකුත් වුණා.”

“මට බැද්දගේ මහත්තයා කියන්නේ මුණියෝ කියලා. දවසක් මොනරාගල රැස්වීමකට ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව මහත්තයා ආවා. බැද්දගේ මහත්තයා මට කිව්වා මුණියෝ රැස්වීමක් තියෙනවා යමු, මමත් සිංදුවක් කියනවා කියලා. ඒ සිංදුව තමයි - දැසමන් මලක් වගෙයි. බැද්දගේ මහත්තයා මට සිංදුව කියලා පෙන්නලා තිබුණේ. මට කිව්වා ඔහු වේදිකාවෙ සිංදුව කියන අතරේ මිනිස්සු අතරට ගිහින් සිංදුවේ තිබෙන ‘ම් කවුද...’ කියන පදය කෑගහලා අහන්න කියලා. මේක අවස්ථා තුනකදී අහන්න ඕනෑ නිසා තැන් තුනක ඉඳලා තමයි මම අහන්නේ. මිනිස්සු මගේ දිහා බලනවා. ඒක පුදුම අත්දැකීමක්. මම විශ්වාස කරනවා ඒ ගීතය එදා තමයි මිනිස්සු අතර ගැයූ ප්‍රථම අවස්ථාව.”

ආධුනික ගුරුවරයකු ලෙස ගුරු ජීවිතයට එක්වූ මුණිපාල මහතා ඒ වන විට මොනරාගල ලංකා ගුරු සංගමයේ මාණ්ඩලික ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර, 1973දී යම් සිදුවීමක් හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වැටලීමකදී ඔවුන්ට පහරදුන්නේ අශ්වයන් ලවා යැයි සිහි කළේ ද යටගියාවේ මතක මොන තරම් සුන්දරදැයි පසක් කරමිනි. වැල්ලවායෙන් පසු තණමල්විල මහා විද්‍යාලයේ ද ගුරුවරයකු ලෙස කටයුතු කළ ඔහු 1978-1979 වර්ෂ දෙක සඳහා මහරගම ගුරු විද්‍යාලයට තේරී පත් වූ අතර, පසුව පත්තලගෙදර ගුරු අභ්‍යාස විදුහලට මාරුවක් ගන්නේය. එතැනින් ඔහු පිට වන්නේ එම කණ්ඩායමේ ඉහළ මට්ටමට පැමිණි එකම ගුරුවරයා ලෙස මහත් අභිමානයෙනි. ඔහු විද්‍යා ගණිත පුහුණු ගුරුවරයකු ලෙස ඉන් පසු පත්වීම ලබන්නේ මාතර මොටාගෙදර මහ විදුහලටය. ඉන් පසු දික්වැල්ල කුමාරගුංග මුනිදාස විදුහලේ ද ගුරුවරයකු ලෙස සේවය කරන අතර, පසුව මැදවැලෑන මහ විදුහලට මාරුවක් ඉල්ලා ගෙන යන්නේ මේ කාලය තුළ ඔහු විවාපත්ව සිටි බැවින්, තම බිරිය සේවය කරන්නේ දෙබරවැව ප්‍රාථමික විදුහලේ වීම හේතු කොටගෙනය.

“ගුරුවරයකු ලෙස මම කවදාවත් වගකීම් පැහැර හැරලා නෑ. ඒක වගකීමෙන් කියන්න පුළුවන්. සේවය කළ හැම පාසලකම හිටියේ අහිංසක දරුවො. ඒ දරුවො අපේ දරුවො හා සමානවම මම සැලකුවා. ඒ වෙද්දි මගේ සේවය මේ ප්‍රදේශවල හැම කෙනෙක්ම දන්නවා. ඒ කාලෙ තිස්සමහාරාම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වෙලා හිටියෙ පසු කාලීනව දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයකු ද වූ අයි. විජේවන්ත මහත්තයා.” 

“ඒ ලු‍ණුගම්වෙහෙර ව්‍යාපෘතිය ඇරැඹුණු කාලෙ. ඒ ව්‍යාපෘතියෙන් ඉදි වූ ජනාවාසවල වම් ඉවුරෙ පාසල් 18ක්, දකුණු ඉවුරෙ පාසල් 18ක් වෙන්‍න හදලා තිබුණා. කලාප අධ්‍යක්ෂවරයාගේ මැදිහත් වීමෙන් මට එහි කුඩා ගම්මාන එක පාසලේ විදුහල්පතිවරයා ලෙස වැඩ බාරගන්න වුණා. පත්වීම ලැබුණේ පාසල බාර උප ගුරු කියලා. තව ගුරුවරු පහකුයි ස්වාමින්වහන්සේ නමකුයි දුන්නා පාසලට. මම දවසක් මගේ බයිසිකලයෙන් පාසල බලන්න ගියා. අක්කර පහක ප්‍රදේශයක් මුළු පාසලටම. පාරට කිට්ටුවෙන් අඩි 100ක ගොඩනැගිල්ලක්. වත්ත කෙලවරේම ගුරු නිවාස 3ක් තිබුණා. මුළු බිමම තද දුඹුරු පටයි. වැහැලා සම්පූර්ණයෙන්ම බිම මඩ වෙලා තිබුණෙ. මගේ බයිසිකලේ මඩේ එරිලා ගමේ මිනිස්සු ඇවිත් තමයි ගොඩට අරගෙන හෝදලා දුන්නෙ. එතැන හිටියා සිරිසේන තිස්සකුට්ටිආරච්චි කියලා මහත්තයෙක්. එතුමයි, ගමේ අයයි, ගුරුවරුයි එකතු වෙලා පාසල පටන්ගන්න කලින් මුළු පාසල් භූමියේම ගස් හිටෙව්වා. පසුව තමයි ළමයි භාරගත්තෙ. එදා භාරගත් පළමු ළමයා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ තිස්සකුට්ටිආරච්චි මහත්තයා. දවසින් දවස පාසල අපි දියුණු කළා. ඇත්තටම මම ගුරු සේවයෙන් විශ්‍රාම ගත්තට පස්සෙ මේ පාසල බලන්න ගියා. මට හිතාගන්න බෑ. අපි හිටවපු ගස් රූස්ස ගස් වෙලා. පාසල එකම වන උයනක්. එදා මම මුල්ම විදුහල්පති ලෙස ඒ දරුවන්ගෙන් බුහුමන් ලැබීම ජීවිතයේ කවදාවත් අමතක වෙන්නෙ නෑ.”

බෝගහපැලැස්ස විදුහලේ රාජකාරි කරද්දී ඒ නම වෙනස් කර කාවන්තිස්සපුර විදුහල යැයි නම් කරන්නට මූලික වූයේ ද මුණිපාල මහතාය. මේ කාලයේදී නවදිල්ලි හි නීපා ආයතනයේ විදුහල්පති පුහුණුවක් ලබන්නට සුදුසුකම් ලබන ඔහු, තම මුළු දිවියම කැප කරන්නේ තමන්ගේ දරුවන්ට වඩා තම පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. ඒ සියලු‍ දෑ අතරේ අධ්‍යාපනවේදි උපාධිය ද ලබාගන්නේය.

“මේ වෙද්දි මගේ දරුවො තුන්දෙනාම ශිෂ්‍යත්වය සමත් වෙලා ගාල්ලෙ පාසල්වල අධ්‍යාපන ලැබුවෙ. පුතාලා දෙන්නා රිච්මන්ඩ්. දුව සවුත්ලන්ඩ්. ඉතින් මම හිතුවා මේ කාලයේ මගේ දරුවො එක්කත් ඉන්න ඕනෑ කියා. එවකට අධ්‍යාපන ඇමැතිවරයාව සිටියේ රිචර්ඩ් පතිරණ මහතා. මම එතුමාට ලියුමක් දැම්මා මගේ ගැටලු‍ව කියලා එතුමාගෙ ආසනේ ඕනෑම පාසලකට ගන්න, මම ඒ පාසල ගොඩනගනවා කියලා. ඒ ඉල්ලීමටයි මම බටදුව ශ්‍රී රතනජෝති විදුහලේ විදුහල්පතිවරයා ලෙස වැඩ බාර ගන්නෙ. ඇත්තටම ඒ පාසල අක්මීමණ කොට්ඨාසයේ විශිෂ්ට පාසලක් කරන්න මට ශක්තිය දුන්නේ එහි ගුරු මණ්‍ඩලය හා දරුවන්, මව්පියන් හා ගම්වාසින් වගේම බටදූව ශ්‍රී සුගතාරාම විහාරය. අදටත් මගේ ගුරු විදුහල්පති ජීවිතයේ නොමැකෙන මතක සටහනක් තමයි ඒ පාසල. ඒ දරුවො, ගුරුවරු අදටත් මා එක්ක සම්බන්ධතා පවත්වනවා.”

එතැනින් නොනැවතුණු එම්.එච්. මුණිපාල මහතා බද්දේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ද, යක්කලමුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කරමින් පාසල් ප්‍රජාවට කළ මෙහෙවර අති මහත්ය. ඒ, ඔහුගේ ජීවිත කාලයෙන් වැඩි කාලයක්ම කැප කළේ දරුවන්ගේ යහපත වෙනුවෙන් බැවිනි.

“මගේ ගුරු විදුහල්පති ජීවිතයේ අමතකම නොවන අත්දැකීමකට මුහුණ දුන්නේ විශ්‍රාම යන්න මාස හයක් හතක් තිබියදී. දකුණු පළාතේ විශිෂ්ට ජාතික පාසලක් වූ ලබුදූව සිරිධම්ම විදුහලේ විදුහල්පතිවරයා ලෙස මගේ පත්වීම් ලිපිය හදලා වසර තුනක් ගෙවී ගියත්, එය ලබාදුන්නේ විශ්‍රාම යන්න මාස හතක් තිබියදී. ඒකට හේතුව මොකක් ද කියා දන්නේ නැහැ. ඒ වෙද්දි පාසල හැම පැත්තෙන්ම වැටිලා තිබුණේ. දේශපාලන අධිකාරියෙන් වගේම විවිධ පාර්ශ්වයන් මට ඒ පත්වීම බාරගන්න කිව්වත් මම බාරගත්තේ නෑ. මේ කෙටි කාලයට එහි පරිපාලන ගැටලු‍ විසඳන්න බැරි නිසා. නමුත් අන්තිමට ඒ පාසලේ මව්පියවරු රාශියක් මගේ නිවෙසට ඇවිත් ඉල්ලීමක් කළා පාසල බාර අරන් හදලා දෙන්න කියලා. ඒ ඉල්ලීම මට අහක දාන්න බැරිකමට මම බාරගත්තා. මම මුලන්ම කළේ භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් කැඳවපු එක. එතැනදී ගුරුවරු යම් ප්‍රමාණයක් වැරැදිකරුවන් වුණත්, මම ඒ ගැටලු‍ව හරියාකාරව විසඳා පාසල යථා තත්ත්වයට පත්කරලයි විශ්‍රාම ගත්තේ. මට අදටත් ඒ සතුට තියෙනවා.”

එම්.එච්. මුණිපාල මහතාගේ දූ දරුවන් මේ වෙද්දී ජීවත් වන්නේ රටවල් තුනකය. සිය බිරියගේ හා දූ දරුවන්ගේ ආදරය සෙනෙහස නොමඳව ලබමින්, ඔහු සැනසුම්ව ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නේ, සුන්දර අතීත මතක සැමරුම් ස්මරණය කරමිනි.

“මගේ ගුරු විදුහල්පති ජීවිතය තුළ වැඩිපුර ලැබුණේ ගොඩනගාගෙන ඉදිරියට යා යුතු පාසල්. ඒ වුණත් මම ඒ කිසිදු පාසලක් අතහැරියේ නෑ. ඒ වගේම එම පාසල්වල සිටි ගුරුවරු දරුවො මට පුදුමාකාර ශක්තියක් දුන්නා. ඒ බහුතරයක් අදටත් මාත් එක්ක සමීපයි. ඒ තමයි මේ ජීවිතය තුළ මා ලැබූ වටිනාම දේ. මම හරියට වැඩ කළා කියන හැඟීම අදටත් තියෙන නිසා මේ රටට ණය නැති අයකු ලෙස ඉදිරියටත් ඒ අතීත මතක එක්ක ජීවත් වෙන්න පුළුවන්.”

සුජිත් ප්‍රසංග