අපි වෝල්ස්ට්‍රීට් ගැන මුලින් කතා කරමු. වෝල්ස්ට්‍රීට් යනු ලෝකයේ මූල්‍ය අගනගරය ලෙස සැලකෙන, ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පිහිටි වීදියකි. මෙය ලෝක ආර්ථිකයේ හදවතය. ඇමෙරිකන් කොටස් වෙළෙඳපොළ, ප්‍රධාන බැංකු සහ මූල්‍ය ආයතන මෙම වීදියේ පිහිටා ඇත. මුළු ලෝකයේම මුදල් සංසරණය වන ආකාරය තීරණය කරන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස සැලකෙන්නේ ද වෝල්ස්ට්‍රීට්ය.

ඇමෙරිකාවේ විශාලතම බැංකුව වන ජේ.පී. මෝගන් චේස්, වෝල්ස්ට්‍රීට් වීදියේ බලවතාය. ගෝල්ඩ්මන් සැක්ස් යනු ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛතම බැංකුවය. මෝගන් ස්ටැන්ලි ලොව පුරා විසිරුණු මූල්‍ය සේවා සපයන ප්‍රධාන ආයතනයයි. සිටිගෲප් බැංකුව, ලොව පුරා රටවල් රැසක ව්‍යාප්ත වී ඇති ප්‍රධාන වාණිජ බැංකුවවලින් එකකි. බෑන්ක් ඔෆ් ඇමෙරිකා යනු වෝල්ස්ට්‍රීට්හි තීරණාත්මක බලපෑමක් ඇති තවත් ප්‍රධාන බැංකුවකි. ඇමෙරිකන් බලධාරීහු පසුගිය දා වෝල් ස්ට්‍රීට් බැංකු ප්‍රධානීන් සමග විශේෂ හදිසි හමුවක් පැවැත්වූහ. ඒ මූල්‍ය අර්බුදයක් ගැන සාකච්ඡා කිරීමට හෝ කොටස් වෙළෙඳපොළ බිඳ වැටීමක් ගැන සාකච්ඡා කිරීමට හෝ නොවෙයි. හදිසි හමුව පැවැත්වූයේ මෙම බැංකු භාවිත කිරීමට සූදානම් වන ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි මෙවලමක් ගැන සාකච්ඡා කිරීමටය. හදිසි හමුවට ජෙරොම් පවෙල් සහ ස්කොට් බෙසන්ට් ද සහභාගී වූහ.

ජෙරොම් පවෙල් යනු ඇමෙරිකානු මධ්‍යම බැංකුවේ හෙවත් ෆෙඩරල් රිසව් පද්ධතියේ වත්මන් සභාපතිය. ඔහු ලොව බලවත්ම මූල්‍ය නිලධාරියාය. ඇමෙරිකාවේ පොලී අනුපාත තීරණය කිරීම සහ උද්ධමනය පාලනය කිරීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ ජෙරොම් පවෙල්ටය. ඔහු ගන්නා තීරණ අනුව ලෝකයේ කොටස් වෙ​ෙළඳපොළවල් සහ ඩොලරයේ අගය වෙනස් වන බැවින්, මුළු ලෝකයම ඔහු පවසන දේ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි. ස්කොට් බෙසන්ට් ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයකු සහ මූල්‍ය උපායමාර්ගිකයෙකි. කී ස්ක්වෙයා ගෲප් ආයෝජන සමාගමේ නිර්මාතෘවරයාය. මෑතකදී ස්කොට් බෙසන්ට් වඩාත් ප්‍රසිද්ධ වූයේ ඇමෙරිකන් දේශපාලනය සහ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව ඔහු දක්වන අදහස් නිසාය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ඉදිරි මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී ප්‍රධාන උපදේශකයකු ලෙස කටයුතු කරයි. ස්කොට් බෙසන්ට් වෝල්ස්ට්‍රීට්හි ඉතා ගෞරවයට පාත්‍ර වූ, වෙෙළඳපොළ ප්‍රවණතා පිළිබඳ මනා අවබෝධයක් ඇති විශේෂඥයෙකි.

හදිසි හමුවට මුල් වූ ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි මෙවලම මයිතෝස් ය. හමුව පැවැත්වීමට හේතු වූයේ ඇමෙරිකන් බලධාරීන් මයිතෝස් ගැන බියෙන් පසුවීමය. ඇමෙරිකන් බැංකු සහ මූල්‍ය ආයතන මයිතෝස්ගේ සේවය ලබා ගැනීමට උනන්දුවක් දක්වන්නේ ඔවුන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමටය. මයිතෝස් ඇන්ත්‍රොපික් සමාගම විසින් නිර්මාණය කළ තවත් කෘත්‍රිම බුද්ධි මෙවලමකි. මයිතෝස් එසේ මෙසේ කෘත්‍රිම බුද්ධි මෙවලමක් නොවෙයි. ඇමෙරිකන් රජයේ බලධාරීන් මයිතෝස් ගැන බියවීම සාධාරණය. මයිතෝස් නිසා නව මාදිලියේ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් ඇති බව බලධාරීන් හඳුනාගෙන ඇත. පරිගණක විශේෂඥයන් පෙන්වා දෙන ආකාරයට, මයිතෝස් යනු මෙතෙක් නිපදවා ඇති බලගතුම ඒ.අයි. හෙවත් කෘත්‍රිම බුද්ධි මෙවලමය. ඇතැමුන් මයිතෝස් හඳුන්වන්නේ සුපිරි හැකරකු ලෙසය. හැකරුන් යන වදන ශ්‍රී ලංකාවේ අපට ආගන්තුක නැත. හැකරුන් යනු පරිගණක දත්ත සොරුන්ය. සයිබර් අපරාධකරුවන්ය. එහෙත්, මයිතෝස් නිර්මාණය කර ඇත්තේ නීති විරෝධී ක්‍රියා සඳහා නොවෙයි. හැකරකු ලෙස ක්‍රියා කිරීමට නොවෙයි. එසේ වුවත් මයිතෝස් හැකරකුට දෙවැනි නොවෙයි. මිනිස් හැකරකු සේම, මයිතෝස්ට ද පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ විය හැකිය. හැකරුන් පරිගණක පද්ධතිවල ඇති හිඩැස් නැතිනම් දෝෂ හඳුනා ගනිමින්, ඒවා භාවිතයට ගෙන එම පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වෙයි. මිනිස් හැකරුන්ට වඩා වේගයෙන් මයිතෝස්ට මෙවැනි දේ කළ හැකිය.

මයිතෝස් නිර්මාණය කළ ඇන්ත්‍රොපික් සමාගම යනු කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ලොව ප්‍රධාන පෙළේ ඇමෙරිකන් සමාගමකි. එහි මූලස්ථානය ඇත්තේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේය. ඇන්ත්‍රොපික් වඩාත් ප්‍රසිද්ධ, අප කවුරුත් දන්නා චැට් ජීපීටී නිර්මාණය කළ ඕපන් ඒ.අයි. සමාගමේ ප්‍රධානතම තරගරුවා ලෙසය. 2021 දී ඇන්ත්‍රොපික් සමාගම ආරම්භ කරනු ලැබුවේ ඕපන් ඒ.අයි. සමාගමේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් පිරිසක් විසිනි. මයිතෝස් මෙවලම නිර්මාණය කළ ඇන්ත්‍රොපික් සමාගමේ නිර්මාණකරුවන් පවා පවසන්නේ මයිතෝස් ඉතා අනතුරුදායක ඒ.අයි. මෙවලමක් බවය.

මයිතෝස් මෙවලම නිර්මාණය කිරීමේ අරමුණ පරිගණක පද්ධති ආරක්ෂා කිරීමය. මයිතෝස් මෘදුකාංග ස්කෑන් කරයි. දුර්වල තැන්, අඩුපාඩු සහ දෝෂ හඳුනා ගනී. හැකරුන්ට අනවසරයෙන් ඇතුළු විය හැකිදැයි සොයා බලයි. ගැටලු‍ව මෙයයි. මයිතෝස් යොදාගනිමින් අත්හදා බැලීම් කරද්දී, “මයිතෝස්ටිසීරෝ ඩේ ෆ්ලෝස්’ දහස් ගණනක් හඳුනා ගැනීමට හැකිවිය.“සීරෝ ඩේ ෆ්ලෝස්’ යනු පරිගණක කේතකරණයේ දී භාවිතයට වන වදනකි. කිසියම් මෘදුකාංගයක් නිර්මාණය කරන පුද්ගලයන්ට පවා මඟ හැරෙන, ඔවුන්ට හසු නොවන, ඔවුන් නොදන්නා දෝෂ සහ අඩුපාඩු මෙම නමින් හැඳින්වෙයි.

‘සීරෝ ඩේ ෆ්ලෝස්’ ඇති බව මෘදුකාංග නිර්මාණකරුවන් පවා දන්නේ නැත. මෙවැනි අඩුපාඩු ඇති විට ඒවා සැණින් නිවැරදි කළ නොහැකිය. හැකරුන් අනවසර පිවිසීම් සඳහා යොදා ගන්නේ මෙවැනි අඩුපාඩුය. එය අධිආරක්ෂිත ගොඩනැගිල්ලකට පිවිසෙන, කිසිවකු නොදන්නා අගුළු නොදැමූ රහස් දොරටුවක් සොයා විවර කරනවා වැනිය. මෙවැනිි “දොරටු’ සොයා ගැනීමට මයිතෝස් හපනෙකි. මයිතෝස් මිනිස් හැකරකු අතට පත්වුවහොත් කුමක් වේවිද? පද්ධති ආරක්ෂා කිරීමට භාවිත කරන මයිතෝස්ට, එම පද්ධතිවලට ඇතුළු වී ඒවා හැක් කිරීම නැතිනම් දත්ත සොරකම් කිරීම හෝ කඩාකප්පල් ක්‍රියා කිරීමට හැකියාව ඇත. බලධාරීන්ගේ බිය මේ ගැනය. හැකරකු අතට මයිතෝස් පත්වුවහොත්, ඉලක්ක රැසකට එකවර පහර දීම කළ හැකි වෙයි. සියල්ල පරිගණක ගතකර ඇති බැවින් බැංකු අඩපණ කර මුදල් කොල්ලකෑම් කළ හැකිය. බැංකු පද්ධති පමණක් නොව, බලශක්ති පද්ධති ආදිය එකවර එක සැණින් අඩපණ කළ හැක. ආණ්ඩු පෙරැළීම් කළ හැකිය. මයිතෝස් සම්බන්ධයෙන් හටගත් බිය සාධාරණය.

කෙසේ නමුත්, මේ වනවිට ජේ.පී. මෝගන් චේස්, ගෝල්ඩ්මන් සැක්ස් සහ මෝගන් ස්ටැන්ලි යන බැංකු සීමිත ප්‍රවේශයක් ලබා දෙමින් මයිතෝස් භාවිතයට දැනටමත් කැමැත්ත දී අවසන්ය. තවත් ප්‍රධාන පෙළේ බැංකු ද මයිතෝස් භාවිතයට ගැනීමට සූදානමින් සිටී. ඒ, බැංකු කටයුතු දෝෂ නැතිව, තවත් සාර්ථකව කරගෙන යෑමේ අරමුණින්ය. ගැටලු‍ව මෙයයි. මයිතෝස් පාලනය කරන්නේ කවුරුන්ද? එය පවතින්නේ කා යටතේ ද? දැනට එය ඇත්තේ ඇන්ත්‍රොපික් සමාගමේ කිහිප දෙනකු යටතේ පමණි. ඇන්ත්‍රොපික් සමාගම, මයිතෝස්,“පෞද්ගලික පරිගණක වැඩසටහනක’ට සීමා කර ඇත. සිර කර ඇතැයි කීවොත් එය ද වැරදි නැත. “පෞද්ගලික පරිගණක වැඩසටහන’ හැඳින්වෙන්නේ ග්ලාස්විංග් ව්‍යාපෘතිය (ප්‍රොජෙක්ට් ග්ලාස්විංග්) යනුවෙනි. මේ වනවිට ඊට ප්‍රවේශවීමට අවසර ගෙන ඇත්තේ ඇමසන් වෙබ් සර්විසස් සමාගම, ඇපල් සමාගම, මයික්‍රෝසොෆ්ට් සමාගම, ගූගල් සහ එන්විඩියාය. ඒ ඔවුන්ගේ පද්ධතිවල ඇති දෝෂ සැණින් හඳුනා ගැනීමට සහ ඒවා සැණින් නිවැරදි කර ගැනීමටය.

ලු‍සිත ජයමාන්න
ෆස්ට්පෝස්ට් ඇසුරිනි