අප රටේ යමෙකු විදේශීය රටක උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා වන මහඟු තෝතැන්නක් ලෙස ‘‘ජර්මනිය’’ සඳහන් කළ හැකිය. එහෙත් ජර්මනියේ සිට අධ්‍යාපනය ලැබීම වෙනුවට බොහෝ දෙනා තෝරා ගන්නේ වෙනත් විකල්පයන්ය. විදේශීය රටක දී උසස් අධ්‍යාපනය ලබන විට, අධ්‍යයන වාර වෙනුවෙන් ගෙවීමට සිදුවන අතර ඒ සඳහා විශාල මුදලක් වැය වේ. එනම් ටියුෂන් ෆී (Tution Fee) ගෙවීම අනිවාර්යය වූවකි. නමුදු අධ්‍යයන වියදම් (ටියුෂන් ගාස්තු) නොගෙවා අධ්‍යාපනය ලැබීමට අවකාශය ලබා දී ඇති රටවල් අතළොස්ස අතරින් ජර්මනියට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. ජර්මනිය යනු විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබාදෙන රාජ්‍යයකි. ඒවා හැඳින්වෙන්නේ Public Universities යනුවෙනි. අප රටේ උසස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරන බොහෝ දෙනා බොහෝ විට සිතන්නේ ජර්මනියේ සිට අධ්‍යාපනය ලැබීම යනු ඉතා අසීරු කටයුත්තක් ලෙසය. නමුදු සරසවි අධ්‍යාපනය ලැබීමට ජර්මනිය යනු නිදහස් පාරාදීසයකි. ඒ නිදහස් පාරාදීසයේ සිට යුනිවර්සිටි අධ්‍යාපනය වෙනුවෙන් යාමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා වන නියමිත ක්‍රමවේදයන් ගැන දැන සිටිය යුතුය. මෙම සටහන මගින් සූදානම් වන්නේ ජර්මනියේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට ඇති අවස්ථා සහ අවකාශය කෙතරම් ද යන්න ගැන සවිස්තරාත්මකව විස්තර කිරීමටය.

ජාත්‍යන්තර හෝ දේශීය යන කාණ්ඩ දෙකටම අයත් සිසුනට ජර්මනියේ දී අධ්‍යාපනය නොමිලේ ලබාගත හැකිය. එවැනි අවකාශයක් තිබුණ ද, ලාංකීය බොහෝ දෙනා ජර්මනියේ අධ්‍යාපනය ලැබීම, කී විගස සිතන්නේ ජර්මානු භාෂාවෙන් අධ්‍යාපනය ලැබිය යුතු වේය යන්නය. එහෙත් ජර්මානු භාෂාවෙන් උගෙන ගත හැකි අතර ජාත්‍යන්තර සිසුනට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමේ හැකියාව සලසා ඇත. ඊළඟට විශේෂ කාරණය වන්නේ, ජර්මනිය අධ්‍යාපනය විකිණීම සිදු නොකිරීමයි. අනෙකුත් රටවල දී විදේශීය සිසුන්ගෙන් අය කර ගන්නා මුදල් සහ ක්‍රමවේදයන් අනුව එකී රටවල අධ්‍යාපනය විකිණීම සිදුවෙන ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන බව පෙනේ. ජර්මනිය නිතරම බලන්නේ තත්ත්වයේ උසස් බවය. භාණ්ඩයක වේවා, සේවාවක මෙන්ම අධ්‍යාපනයේදී ද උසස් ප්‍රමිතිය ගැන උනන්දු වන බව කිව හැකිය. සරලව කිවහොත්, ජර්මනියේ නිෂ්පාදනය කෙරෙන බෙන්ස් සහ බී.එම්.ඩබ්ලිව්. (BMW) මෝටර් රථවල උසස් නිෂ්පාදිත තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. එනයින් යම් කිසි දෙයක ‘‘ගුණාත්මක බව’’ බලන රටක් ලෙස ජර්මනිය විශේෂිත වේ. අධ්‍යාපනයේ දී එය ඉතා විධිමත් හා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යයි. මේ ස්වභාවය ගැන දැන් දැන් ලාංකීකයන්හට අවබෝධයක් ඇතිවෙමින් තිබෙන අයුරු දැක ගත හැකිය.

අධ්‍යයන වාර (Semester) පහසුකම්

ජර්මනියේ දී ජාත්‍යන්තර සිසුනට සෙමෙස්ටර් (Semester) දෙකක් වෙනුවෙන් මුදලක් ගෙවීමට සිදුවේ. එනම් අධ්‍යයන වාර දෙක සඳහා පමණෙකි. ජර්මනියේ සරසවියකට ඇතුළත් වූ පසු ‘‘සෙමෙස්ටර් ටිකට්’’ හෙවත් ඒ අධ්‍යයන වාරය සඳහා ප්‍රවේශ පත්‍රයක් ලබා දීම සිදුවෙයි. එම ප්‍රවේශ පත්‍රය භාවිත කරමින් මුළු අධ්‍යයන වාරයේදීම බස් රථ, දුම්රිය ඇතුළු මහජන ගමනාගමන සේවාවන්වල යා හැකිය. 

අධ්‍යාපන ගාස්තු නිදහස් කිරීමට හේතුව

ටියුෂන් ගාස්තු ෆ්‍රී හෙවත් නොමිලේ ලබාදීම නිසා අධ්‍යාපනය කෙරෙහි ඍජු අවධානයක් සිසුනට කළ හැකිය. විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුනට අධ්‍යාපනය වෙනුවෙන් වැයවන මුදල ගැන නොසිතා, ඒ ගැන පසුතැවීම් නොවී නිදහස් මනසකින් අධ්‍යාපනය ලැබිය හැකිය. ජර්මනියේ අධ්‍යාපනය විශේෂ වී ඇත්තේ එවැනි පහසුකම් ලබාදී ඇති නිසාය. ජර්මනියේ අධ්‍යාපනය ලැබීම ට්‍රෙන්ඩ් එකක් බවට අද පත්වී ඇත්තේ ද ලබාගත හැකි පහසුකම් නිසාය.

ජර්මනියේ අධ්‍යාපනය ලැබීමට යා යුතු විදිය සහ අනුගමනය කළ යුතු ක්‍රමවේදයන්

ජර්මනියේ විශ්වවිද්‍යාලයකදී කළ යුතු උපාධියට අදාළ පාඨමාලාව තෝරාගැනීම සහ විස්තර Daad (ජර්මානු අධ්‍යාපන හුවමාරු සේවාව) වෙබ් අඩවියට පිවිස දැන ගත හැකිය. බැචලර් (Bachelor) උපාධියක් හෙවත් පළමු උපාධිය ලබා ගැනීමට නම් උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ (S) තුනක් තිබිය යුතුය. ඒ හැර IELTS (ජාත්‍යන්තර ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයෙන් (International English Language Testing System) අවම 5.5ක ප්‍රතිශතයක් ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ ඒ පාඨමාලා සහ උපාධි අනුව IELTS ප්‍රතිශතය වෙනස් වේ. පළමු උපාධිය හෙවත් බැචලර් උපාධිය වෙනුවෙන් වසර තුනක් හෝ තුනහමාරක් ගත කිරීමට සිදුවේ. එම කාලසීමාවට සීමාවාසික පුහුණුවද අයත්ය.

ශ්‍ාස්ත්‍රපති (Masters) උපාධි වෙනුවෙන් එන අයට ඒ අවස්ථාව සලසා ගන්නේ ලංකාවේ සරසවියකින් නම්, ජර්මනියේදී  වසර හතරකට සීමා වූ කාලයක් ඒ සඳහා වන තෝරා ගැනීමක් විය යුතුය. එවැනි අය අවම වශයෙන් දෙවැනි පෙළ පහළ සාමාර්ථයක් සහිත මූලික උපාධිය ලබා තිබිය යුතු වේ. පොදුවේ ඒ සුදුසුකම් ඇතුළත් වුවද ඊට අමතරව බඳවා ගන්නා විශ්වවිද්‍යාල ගැන සොයා බැලිය හැකිය. මාස්ටර්ස් උපාධි සඳහා ජර්මනියට යාමට අපේක්ෂා කරන අය ලංකාවේ දී ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය හදාරා ඇත්නම් IELTS විභාගයේ ලකුණු අවශ්‍ය නොවේ. එය එක් එක් විශ්වවිද්‍යාල අනුව වෙනස් වන අතර සමහර විශ්වවිද්‍යාල වෙත IELTS සුදුසුකම් තිබිය යුතුය. මාස්ටර්ස් උපාධියක් කරන අයට අමතරව රැකියාවක නිරතවීමේ අවස්ථා සඳහා අවසර ලබාදීම සිදුවෙයි. වසරකට සම්පූර්ණ දවස් 140ක් වැඩ කිරීමට හැකි මෙන්ම පැය 4ක වැනි කාලයක් වැඩ කරන්නේ නම් දින 280ක් වැඩ කළ හැකිය. එමගින් හොඳ මුදලක් උපයා ගත හැකිය. ජර්මනියේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන විශ්වවිද්‍යාල පිහිටා තිබේ.

අධ්‍යාපනයට පැමිණෙන අය ඉන්පසුව ජර්මනියේ ජීවත් වීමට අපේක්ෂා කරන්නේ නම්?

උසස් අධ්‍යාපනය ලබා ඉන් පසුව ජර්මනියේ ජීවත්වීමට අපේක්ෂා කරන්නේ නම්, ජර්මනියට යාමට පෙර ජර්මන් භාෂා විභාගය අදියර කීපයක් යටතේ සමත් වී සිටීම එරට පදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට උපකාර වේ. එමෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට යන සිසුන් ජර්මානු භාෂාව මූලික වශයෙන් හෝ හදාරා තිබීම, රැකියාවක නිරතවීමට සහ ලබාගැනීමට පහසුවකි.

උසස් පෙළ අසමත් අයටත් අවස්ථා

මූලික උපාධිය සඳහා සුදුසුකම් නොලබන අයට එනම් උසස් පෙළ අවම වශයෙන් ‘S’ සාමාර්ථ නොමැති අයට, Ausbildung (වෘත්තීය පුහුණුව) සඳහා අයදුම් කළ හැකිය. ඒ වෙනුවෙන් ජර්මානු භාෂාවේ  B-1 සහ B-2 සමත්ව තිබිය යුතුය.

ජර්මානු භාෂාවන් වෘත්තීය පුහුණු අධ්‍යාපනය ලබාදීම සිදු කරන නිසා එම පුහුණුව ලබා දෙන ආයතනවල නිර්දේශ මත B-1 අදියර හෝ B-2 අදියර සලකාබැලීම සිදුවේ. එම පාඨමාලාව වසර 3කට අයත්ය. වෘත්තීය පුහුණුව ලැබීම හෙද සේවයේ සිට විවිධ අවස්ථා ඇත. එලෙසින් පැමිණෙන අයට අනුග්‍රාහකයකු සොයා ගත හැකි වේ නම් (ආයතනයක) ඉගෙනීමට අමතරව එම ආයතනයේ සේවය කිරීමේ අවස්ථාව ද ලබාගත හැකිය.
ජර්මනියේ අධ්‍යාපනය ලැබීමට මුදල් කොතරම් අවශ්‍ය ද?

ටියුෂන් හෙවත් පංති ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේය. නමුදු ජර්මනියේ උසස් අධ්‍යාපනයට යාමට සූදානම් වන විට මුදල් තැන්පත් කළ (Block Account) බැංකු ගිණුමක් තිබිය යුතුය. ලංකාවේ සිටියදීම එය විවෘත කර ගත හැකිය. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විවෘත කර ගත් එම ගිණුමට ලංකාවේ බැංකු ආයතනයක් හරහා යුරෝ දොළොස් දහසක මුදලක් හුවමාරු කළ යුතුය. එම මුදල සලකා බැලෙන්නේ ජීවන වියදම සඳහා වන මුදලක් ලෙසය. වීසා ලබා ගැනීම සඳහා එය අනිවාර්යය වූවකි. එම කටයුතු සිදු කරදීම හෙවත් සේවා ලබා ගැනීම සඳහා වූ ආයතනයක් ඇත. යම්කිසි විදිහකින් වීසා ප්‍රතික්ෂේප වුවහොත් එම මුදල නැවත මෙහි ගිණුමට බැර කෙරේ. Block Account එකක් සාදා ගත නොහැකි අයට, ජර්මනියේ සිටින ඥාතියකු හෝ වෙනත් අනුග්‍රාහකයකුගේ අනුග්‍රාහකත්වය ලබාගත හැකි නම් එම ගිණුම අවශ්‍ය නොවේ.

ලෝකය දැනගැනීමට ඇති අවකාශය

සාමාන්‍යයෙන් ජර්මනිය හැඳින්වෙන්නේ Land of Opportunity (අවස්ථා බොහෝ ලබා ගත හැකි දේශය) යනුවෙනි. අධ්‍යාපනය කරන අතරේ නියමිත පැය සහ දින ගණනට අදාළව රැකියාවක් කරමින්, ජර්මනියේ සිටින සිසුන්ට සමස්ථ ජර්මානු රජ්‍යයේ සංචාරය කිරීමට මෙන්ම මුළු යුරෝපයේ අනෙකුත් රටවල සංචාරය කරමින් ජීවිතයට අත්දැකීම් සම්භාරයක් එකතු කර ගත හැකිය. බොහෝ විදේශීය සිසුන් දැනුම මෙන්ම සංචාරක අත්දැකීම රිසි සේ ලබා ගන්නා තෝතැන්නකි.

ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම කිසිසේත්ම නොකළ යුත්තකි.

ඉහත විස්තර සඳහන් කළ ආකාරයට, ජර්මනියේ උසස් අධ්‍යාපනය ලැබීමට යාමට අපේක්ෂා කරන්නේ නම් ඉදිරිපත් කළ යුතු සහතික සියල්ල නිවැරදි ඒවා විය යුතුය. ව්‍යාජ සහතික හෝ IELTS ව්‍යාජ සහතික වලංගු නොවේ. ජර්මනිය යනු Smart රාජ්‍යයකි. එනිසා කරන කියන කටයුතු මෙන්ම ඉදිරිපත් කරන ලියකියවිලි සියල්ල ද සත්‍යය ඒවා විය යුතුය.

විනය

ජර්මනිය යනු විනයක් ඇතිව ජීවත් වන මිනිසුන් සිටින රාජ්‍යයකි. බස් එකක, දුම්රියක යන විට අනෙකාට ඇසෙන සේ කෑ කෝ ගසමින්, බාධා වන අයුරින් කිසිවකු කටයුතු කරන්නේ නැත. විදේශීය සිසුන් ලෙස ඒ විනය රැකගැනීම ඉතා වැදගත්ය. මගී ප්‍රවාහන පරිහරණය කිරීමේ දී ඒවාට හානි කිසිවක් නොකිරීමට වගබලා ගත යුතුය. පාර මාරුවීමේ දී නියමිත පදික මාරුවෙන් හැර වෙනත් විකල්ප භාවිත කළ යුතු නොවේ. මහජනතාව ගැවසෙන ස්ථානවල දී පඩිපෙළ භාවිත කරන්නේ නම් හැමවිට දකුණු අත පැත්තට වන්නට ගමන් කළ යුතුය. ජර්මනියේ දී ‘‘ඉවසීම’’ යනු ඉතා යහපත් දෙයකි. සමහර දේ සාර්ථක කර ගැනීමට මෙන්ම පිළිතුරු ලබා ගැනීම ප්‍රමාද වීම සිදුවිය හැකිය. එනිසා ඒ ඉවසීම තිබීම අනිවාර්යය දෙයකි. නැතහොත් සිදුවන්නේ තමා නියෝජනය කරන රටට අපකීර්තියක් ඇති කරවීමය. 

තරුණ – තරුණියන්ට Aupair අවස්ථා

වයස 18ත් 25ත් අතර වූ තරුණ තරුණියන්ට Aupair වැඩසටහන යටතේ ජර්මනියට යාමට අවස්ථාව උදාකරගත හැකිය. ජර්මානු භාෂාව ඉගෙන ගන්නා අයට විවර වූ මහඟු අවස්ථාවකි. අඩු තරමින්  A-1 අදියර යටතේ ජර්මානු භාෂාව හදාරා තිබිය යුතු වේ.

ලංකාවේ උපාධි ඇති අයට ඇති අවස්ථා

මෙරට උපාධි ඇති අයට ජර්මනියේ ජොබ් (Job) එකක් හෙවත් රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව ලබා ගැනීම වෙනුවෙන් අයදුම් කළ හැකිය. එය වසරක කාලයකට එම ‘‘වීසා’’ව ඇතුළත්ය. ඒ සඳහා අයදුම් කිරීමේ දී ද ඉහත කී පරිදි ‘Block Account’ ගිණුමක් තිබිය යුතුය. ජර්මනිය යනු රැකියා බොහෝ ඇති රටක් නිසා එහිදී රැකියාවක් සොයා ගැනීම අසීරු නොවේ. එවැනි අවස්ථා සොයා යෑමේ දී ජර්මානු භාෂාව හදාරා තිබීම අනිවාර්ය වූවකි.

සාකච්ඡා සටහන 
සඳුන් ගමගේ