දේවාලය ඇතුළත

හිමාලයේ හිමෙන් වැසුණු දේවදාර වනාන්තර මැද, අද්භූත මෙන්ම අතිශය බලගතු ශක්තියක් සැඟවී තිබෙන ස්ථානයක් වේ. ඒ, මනාලිහි පිහිටි දේවි හඩිම්බා (Hadimba Devi) සිද්ධස්ථානයයි. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ‘පළමු ඉල්ලීම’ එලෙසින්ම ඉටු කරන බවට විශ්වාස කෙරෙන මේ අඩවිය, අද වන විට ලොව පුරා සංචාරකයන්ගේ සහ බැතිමතුන්ගේ අවධානය දිනාගත් සුවිශේෂ ස්ථානයකි. හඩිම්බා දේවාලය සතු ගුප්ත ආකර්ෂණය සහ එහි පසුබිම අතර ඇත්තේ පුදුම සහගත ගැළපීමකි. මෙය හුදෙක් ඇදහීමක් පමණක් නොව, භෞතික විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණවලින් විමසිය හැකි ස්ථානයකි.

පිළිමයක් නොමැති අබිරහස් දේවස්ථානයේ සැඟවුණු කතාව 

තොරතුරු: ආචාර්ය සම්පත් ඒකනායක 
[email protected]

මහා භාරත කතාවට අනුව, හඩිම්බා යනු මිනී මස් අනුභව කළ රාක්ෂියකි. හඩිම්බා යනු ඇගේ සහෝදරයා වන හිඩිම්බි සමඟ ජීවත් වූ වනාන්තරයේ වාසය කළ කාන්තාවකි. පාණ්ඩවයන් පිටුවහල්ව සිටියදී, භීම හඩිම්බි සටනින් පරාජය කළේය. මෙයින් පසු, භීම හඩිම්බා සමඟ ප්‍රේම සම්බන්ධතාවකින් විවාහ වූ අතර, ඔහුගේ පුත්‍රයා වූයේ මහා වීර ඝටෝත්කච් ය. පසුව, හඩිම්බාගේ සැමියා භීම වනයෙන් පිටව ගිය පසු, හඩිම්බා දැඩි ලෙස භාවනා කරමින් තම ‘රාක්ෂ’ ස්වභාවය අත්හැර පාරිශුද්ධ දේවත්වයට පත් වූ බව පැවැසේ. වර්ෂ 1553 දී මහාරාජා බහදූර් සිංග් විසින් අද අප දකින මෙම තට්ටු හතරකින් යුත් දැවමය මනරම් දේවාලය ඉදිකර ඇත. භාවනා කරමින් ලබා ගත් ඇයගේ අාධ්‍යාත්මික බලය සහ භක්තිය නිසා, අවසානයේ ඇය ප්‍රදේශවාසින් විසින් දේවතාවියක ලෙස වන්දනාමාන කරන ලදී. අදටත්, ප්‍රදේශවාසින් පමණක් නොව මුළු භාරතයම ඇය ආරක්ෂකයකු සහ ආරක්ෂක දේවතාවියක ලෙස ගැඹුරින් අදහති.

හඩිම්බා දේවියගේ සහ භීමගේ පුත්‍රයා වන ඝටෝත්කච් වෙනුවෙන් ද මෙම දේවාල භූමියේම කුඩා ස්මාරකයක් ඇත. ඒ මහා භාරත යුද්ධයේදී ඔහු පෑ වික්‍රමයන් අසිරිමත් නිසාය. මෙය ඉන්දියාවේ සාමාන්‍ය දේවාල හැඩයට වඩා වෙනස්ව, මහල් හතරකින් යුත් චීන හෝ නේපාල ‘පැගෝඩා’ වාස්තු විද්‍යාත්මක ශෛලියට අනුව නිමවා ඇත.

තව ද, බොහෝ හින්දු දේවාලවල දේව ප්‍රතිමා තිබුණත්, මෙහි ඇත්තේ ස්වාභාවික මහා ශිලාවකි. මෙම ගලෙහි ඇති අභ්‍යන්තර ශක්තිය (Energy Vortex) වටා දේවාලය ඉදිකර ඇති බව විශ්වාස කෙරේ. මෙවැනි ස්ථාන පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය ප්‍රබලව පවතින ස්ථාන ලෙස සැලකේ.

එමෙන්ම අතීතයේදී මෙම ස්ථානය රාක්ෂ ඇදහීම් සමඟ සම්බන්ධ වූ බැවින්, මෙහි සතුන් බිලි දීමේ චාරිත්‍ර පැවැති බව කියවේ. දේවාලයේ බිත්තිවල එල්ලා ඇති අතිවිශාල මුව සහ එළුවා අං තට්ටු, අතීතයේ මෙහි පැවැති අද්භූත පූජා විධි පිළිබඳ නිහඬ සාක්ෂි දරනු ඇත. එදා පටන් අද දක්වා ආසියානුතික ධනවත්, බලවත් හා ප්‍රභූ කාන්තාවන් රහසේම ඇවිත් යන ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි මනාලිවල පිහිටා ඇති හඩිම්බා දේවියගේ දේවාලය (Hadimba Devi Temple) යනු අතිශය සුන්දර මෙන්ම ඓතිහාසික හා ආගමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. මෙය ප්‍රාදේශීයව ‘ධුන්ග්‍රි දේවාලය’ (Dhungari Temple) ලෙස ද හඳුන්වනු ලැබේ. කාන්තාවන් හඩිම්බා දේවස්ථානය වන්දනා කරන්නේ ඇයි ?

හඩිම්බා දේවිය සලකනු ලබන්නේ ‘ශක්තිය’ සහ ‘ඉවසීම’ සංකේතවත් කරන දේවතාවියක් ලෙසය. මෙහිදී කාන්තාවන් පේවී ගොස් හදවතින්ම කරන පළමු ප්‍රාර්ථනය (විශේෂයෙන් විවාහය, දරු සම්පත් හෝ පවුලේ ආරක්ෂාව පිළිබඳ, සැමියාට ගැටලු ඇත්නම් නම් ඒ අයගේ ආරක්ෂාව හා සහනය) ඉටු වන බවට දැඩි විශ්වාසයක් පවතී. විශේෂයෙන් පවුලේ ස්ථාවරත්වය සහ දියුණුව පතා කාන්තාවෝ මෙහි පැමිණ භාරහාර වෙති.

සොඳුරු පරිසරයක පිහිටි දේවාලය

හඩිම්බා දේවිය වසර දහස් ගණනක් මෙහි භාවනා කළ බව පැවැසෙන අතර, එහි තැන්පත් මානසික ශක්තිය අදටත් එම පරිසරයෙහි රැඳී පවතින බව මෙය වන්දනාමාන කරන අය කියති. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ අනුරාධපුරය තරම්ම ආධ්‍යාත්මික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස මෙම ස්ථානය ඉන්දියානුවෝ සලකති.

හඩිම්බා දේවස්ථානයේ හාස්කම් 

මෙම දේවාලයේ ඇතුළත පිළිමයක් වෙනුවට ඇත්තේ හඩිම්බා දේවිය භාවනා කළ බව කියන විශාල ස්වාභාවික ගලකි. එහි ඇයගේ පාද සටහන් ඇතැයි විශ්වාස කෙරේ. මෙහි ඇති නිහඬ වටපිටාව නිසා යම් අද්භූත ශක්තියක් ගෙන දෙන බව එහි සංචාරය කරන්නෝ කියති. කරදරවලදී පිහිට පතා එන බැතිමතුන් හට දින කිහිපයකින් සහනයක් ලැබෙන බව ඉන්දියානු වැසියන්ගේ විශ්වාසයයි. තව ද මෙය දරුවන් නැති අයට ද සිය ප්‍රර්ථනා ඉෂ්ට වූ සුවිශේෂ තැනක් බව ඉන්දියානුවන්ගේ විශ්වාසයයි.

ඉන්දියාවේ සාමාන්‍ය කාන්තාවන් මෙන්‍ම බොලිවුඩ් නිළියන් සහ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල කාන්තාවෝ නිරන්තරයෙන් මෙහි පැමිණ පුද පූජා පවත්වමින් බාර හාර වෙති. ප්‍රියංකා චොප්රා, කරීනා කපූර් වැනි නිළියෝ මනාලිහි රූගත කිරීම්වලට පැමිණියහොත් රූගත කිරීම් ආරම්භ වීමට පෙර මෙම දේවාලයට පැමිණ ආශීර්වාද ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු කරති. 

හඩිම්බා දේවිය මනාලි නිම්නයේ ආරක්ෂක දේවතාවිය ලෙස සැලකේ. ප්‍රදේශයට පැමිණෙන ස්වාභාවික විපත්වලින් ජනතාව බේරාගන්නේ ඇය බව ඔවුහු විශ්වාස කරති. කාන්තාවන් දැඩි භක්තියකින් යුතුව මෙහි පැමිණ ප්‍රාර්ථනාවක් කළහොත්, හඩිම්බා දේවිය එය ඉටු කරන බවට බලවත් විශ්වාසයක් පවතී. 

විශේෂයෙන්ම කාන්තාවකගේ ප්‍රථම බලාපොරොත්තුව (දරු ඵල/ විවාහ/ පවුලේ දියුණුව/ ධනය/ බලය හා පවුලේ ඕනෑම අභිවෘද්ධිය උදෙසා සිදු කරන ඇයදීම්) සාර්ථක කර දීම උදෙසා ඇයගේ පිහිට පතනු ඇත.

හඩිම්බා දේවිය සැමරෙන ධුන්ගරි උත්සවය 

දේවාලයේ අනුහස් සහ සංස්කෘතික වැදගත්කම විදහා දක්වන ප්‍රධාන උත්සව දෙකක් ඇත.

ධුන්ගරි මේලා (Dhungri Mela) 

හඩිම්බා දේවියගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් සෑම වසරකම මැයි මාසයේදී (සාමාන්‍යයෙන් මැයි 14-16 අතර) දින තුනක් පුරා මෙම උත්සවය පැවැත්වේ. ගම්මානවල සිට දේව රථ විශාල සංඛ්‍යාවක් මෙහි පැමිණේ. ගම්වැසියෝ සාම්ප්‍රදායික හිමාචලී නැටුම් ඉදිරිපත් කරමින් මහත් හරසරින් මෙය සමරති.

කුලු දසාරා (Kullu Dussehra) 

ඔක්තෝබර් මාසයේදී පැවැත්වෙන ලොව සුප්‍රසිද්ධ ‘කුලු දසාරා’ උත්සවයේදී හඩිම්බා දේවියට හිමි වන්නේ ප්‍රධාන තැනකි. පුරාවෘත්තයන්ට අනුව හඩිම්බා දේවිය කුලු රජ පවුලේ ‘මිත්තණිය’ ලෙස සැලකේ.

සෑම වසරකම මැයි මාසයේ පැවැත්වෙන ධුන්ගරි මේලාව (Dhungri Mela) හඩිම්බා දේවිය වෙනුවෙන් කෙරෙන විශාලතම උත්සවය වන අතර, ඉන්දියාවේ ජනප්‍රිය ධනවත් කාන්තාවෝ ඒ අවස්ථාවට අනිවාර්යයෙන් සහභාගි වෙති. විශේෂයෙන්ම අම්බානි පවුලේ විවාහ මංගල්‍යයන් හෝ අලුත් ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට පෙර ඔවුන් හිමාලය ආශ්‍රිත ප්‍රබල දේවාලවල ආශීර්වාදය ලබාගැනීම සිරිතකි. අම්බානි පවුලේ කාන්තාවන් හඩිම්බා දේවස්ථානයට භාර හාර වීම විශේෂත්වයකි. 

ඔවුන් විශ්වාස කරන්නේ මෙහි ඇති ‘ශක්තිය’ ව්‍යාපාරික දියුණුවට සහ පවුලේ සමගියට මහත් පිටිවහලක් වන බවයි. එමෙන්ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ද සිය තරුණ කාලයේදී වසර කිහිපයක් හිමාලයේ තවුස් දම් පුරමින් සැරිසැරූ අයකු වන අතර, හිමාලයේ පවතින ‘ශක්ති පීඨ’ සහ හඩිම්බා දේවාලය වැනි පුරාණ සිද්ධස්ථාන කෙරෙහි ඔහු තුළ ඇත්තේ ගෞරවනීය විශ්වාසයකි. ඔහු නිරන්තරයෙන් පවසන්නේ හිමාලය යනු තමාට ශක්තිය ලබා දෙන මධ්‍යස්ථානයක් බවය.

හඩිම්බා දේවිය තම සැමියා වූ භීම වෙනුවෙන් දැක්වූ පක්ෂපාතිත්වය සහ ආදරය නිසාම, බොහෝ බිරින්දෑවරු තම සැමියාගේ වෘත්තීය දියුණුව සහ දීර්ඝායුෂ පතා මෙහි විශේෂ පූජා පවත්වති. දුෂ්කර රැකියාවල නියුතු සහෝදරයන්ගේ ආරක්ෂාව පතා සහෝදරියන් මෙහි පැමිණ ‘රක්ෂා බන්ධනය’ වැනි නූල් ගැටගසා ප්‍රාර්ථනා කිරීම ද බහුලව සිදු වේ.

දේවදාර සෙවණේ සුවය 

මෙම පරිසරය වට වී ඇත්තේ දේවදාර වනාන්තරයකින් නිසා මේ පරිසරයේ ඇති අධික ඔක්සිජන් සාන්ද්‍රණය සහ ස්වාභාවික නිහඬතාව මනස සන්සුන් කරයි. මෙම දේවස්ථානයේ පූසාරිලා නැත. සියලු ප්‍රර්ථනා, කන්නලව් සිදු කළ යුත්තේ තමා විසින්මය. මෙම පරිසරයේ නිහඬතාව නිසාම විශ්ව ශක්තිය වෙත මුදාහරින මිනිසුන්ගේ වේදනා සහ ප්‍රර්ථනාවන්ට ආශීර්වාදයක් ලැබෙන බව ඉන්දියානු පර්‌යේෂකයන් පවා පවසා ඇත. එමෙන්ම මෙම දේවාලය ඉදිකර ඇති ආකාරය භූමිකම්පාවලට ඔරොත්තු දෙන තාක්ෂණයෙන් යුක්තය. මෙම දේවස්ථානය ‘දේවදාර’ ලී වර්ගයෙන් සාදා ඇත. යකඩ ඇණ වෙනුවට ලී කුඤ්ඤ භාවිත කර තිබේ. දේවදාර ගස් මගින් වාතයට මුදාහරින ‘පයිටොන්සයිඩ්’ නම් ස්වාභාවික තෙල් වර්ගය මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බවත්, මානසික ආතතිය (Cortisol) අඩු කරන බවත් ජපන් පර්‌යේෂකයන් සොයාගෙන ඇත. ‘හඩිම්බා දේවස්ථානය වඳින විට සහනයක් දැනෙන්නේ’ මේ රසායනික ක්‍රියාවලිය නිසා විය හැකි බව පර්‌යේෂකයන්ගේ මතයයි.

හඩිම්බා වන්දනා කිරීමේදී පිළිපැදිය යුතු දේවල් 

ඇඳුම් පැලඳුම් ශරීරය හොඳින් ආවරණය වන සංකෝචිත ඇඳුම් ඇඳීම සුදුසු වේ. (සීතල අධික බැවින් උණුසුම් ඇඳුම් අනිවාර්යයි) භාර හාර වීමට පෙර දින තුනක් මස් මාංශවලින් තොර වී පේවිය යුතු අතර කාන්තාවන් මාසික ඔසප් තත්ත්වයන් මගහැර මෙම භූමියට යාමට වග බලාගත යුතුය.

ඔබත් හඩිම්බා දේවස්ථානයේ සංචාරය කරන්නේ නම් 

දිල්ලි සිට බස් රථයකින් හෝ කුලී රථයකින් පැය 12-14කින් මනාලි වෙත ළඟා විය යුතුය. මනාලි නගරයේ සිට කිලෝමීටර 2ක් වැනි කෙටි දුරක දේවාලය පිහිටා ඇත. වසරේ සෑම දිනකම දේවාලය විවෘත වන අතර, වසරේ ඕනෑම කාලයක මෙහි ගොස් වැඳුම් පිදුම් කරමින් භාර හාර විය හැකිය. 
ගිම්හානයේදී (මාර්තු - ජූනි) ඉතා ලස්සන පරිසරයක් ඇත.

ශීත කාලයේදී (දෙසැම්බර් - පෙබරවාරි) මුළු දේවස්ථානයම හිමෙන් වැසී යයි. එය වඩාත් අද්භූත පෙනුමක් ගනී. මෙම දේවස්ථානය පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව පවතින අතර, ලංකාවේ සිට හඩිම්බා දේවස්ථානයට යාමට දින 3ක කාලයක් ගතවනු ඇත.

හඩිම්බා දේවිය යනු හුදෙක් කාන්තා දේවතාවියක් පමණක් නොව, මුළු පවුලකම ශක්තිය රඳවා තබා ගන්නා ‘මහා මාතෘ’ සංකේතයකි. ඒ නිසාම ඇයගෙන් ඉල්ලන ඕනෑම යහපත් දෙයක් ඉටු වන බවට බැතිමතුන් සිත්හි නොසැලෙන විශ්වාසයක් පවතී.

නදීශා අතුකෝරළ