විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයකු හා රාජ්‍ය තාන්ත්‍රික චරිතයක් ලෙස විශිෂ්ට   සේවාවක් කළ එච්.එම්.ජී.එස්. පලිහක්කාර

 

මෙරට සිවිල් සේවාවේ සහ විදේශ සේවයේ නිරත වූ කීර්තිමත් චරිතයක් ලෙස ඔහු ප්‍රකටය. එච්.එම්.ජී.එස්. පලිහක්කාර යනු ඒ ප්‍රවීණයාගේ නාමය වෙයි.

විදේශ ලේකම්වරයකු ලෙස කටයුතු කළ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ජිනිවා සහ නිව්‌යෝර්ක් නගරවල නිත්‍ය නියෝජිත, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති, එක්සත් ජාතීන්ගේ ආසියානු සහ පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, සාම ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් උතුරු  පළාතේ ආණ්ඩුකාර මෙන්ම, උගත් පාඩම් කොමිසමේ සාමාජිකයකු යන විවිධ තනතුරු දරමින් ජීවිතයට වඩා වගකීම් විශාල කරගෙන වඩාත් ප්‍රායෝගික වූ චරිතයකි. මෙරට සිවිල් යුද්ධයේ අවසාන මාසවල දී ඇති වූ සටන්වල දී ශ්‍රී ලංකා හමුදාවේ ක්‍රියාකාරකම් මානුෂීය උත්සාහයක් වන්නේ කෙසේදැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී ඔහු කළ සැලකිරීම ලෝකයේම අවධානයට යොමු වූයේ BBC සහ CNN නාලිකාවල ඔහුගේ ප්‍රකාශවලිනි. අපේ හමුදාව යුද මුක්ත කලාපයට බර අවි ප්‍රහාර සිතාමතාම එල්ල කළේ යැයි එල්ල වූ චෝදනාව එමගින් සාවද්‍ය බව ලෝකයටම පැහැදිලි විය. ලාංකීය හමුදාවේ ක්‍රියාමාර්ග ආරක්ෂා කර ගැනීමට එදා එලෙසින් කටයුතු කළ පලිහක්කාරයන් යනු රටේ අභිමානය සහ සත්‍යය වෙනුවෙන් නිතර පෙනී සිටි චරිතයකි. අද අපේ විශ්‍රාමික සුපිරි තරුව වන්නේ ඔහුය.

සම්පූර්ණ නම:- එච්.එම්.ජී.එස්. පලිහක්කාර

ගම :- මාතර – යටියන.
 

පාසල් අධ්‍යාපනය ලැබූ ආකාරය:- 

මුලින්ම ගියේ යටියන විද්‍යාලයට. පස්වැනි පංතියේ ඉහළම ශිෂ්‍යත්වලාභියෙකු වුණා. විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබුවේ දික්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉගෙනීමෙන් පසුවයි.

සරසවි අධ්‍යාපනය ලැබුවෙ?

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් Bachelor of Education උපාධිය එහිදී ලබාගත්තා.

අරමුණ වුණේ?

පාසල් ගුරුවරයකු හරි විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හරි වෙන්න.

පවුල් පසුබිම එහෙම කොහොමද?

මල්ලිලා තුන්දෙනයි. සහෝදරියන් දෙන්නයි. එක් සහෝදරියක් ජීවතුන් අතර නැහැ. එක්  සහෝදරයෙක් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙක්. තව සහෝදරයෙක් පදිංචි නවසීලන්තයේ. අනෙක් සහෝදරයා වැවිලි ක්ෂේත්‍රයේ. සහෝදරිය එයාගෙම අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යනවා. තාත්තා කටයුතු කළේ වතුපාලකවරයකු විදිහට. අම්මා ගෘහණියක් වුණා.

පාසල් අධ්‍යාපනය එහෙම ඒකාලයේ කොහොමද? අමතර පංති එහෙම තිබුණාද?

ඒ කාලයේ ටියුෂන් තිබුණෙ නැහැ. කිසිම දවසක මම ටියුෂන් ගිහිල්ලා ඉගෙන ගත්තෙ නැහැ. පාසල්වල තිබුණෙ ඉතාම හොඳ අධ්‍යාපන ක්‍රමයක්. 1956 දී භාෂා ප්‍රතිපත්තිය වෙනස් කළ ක්‍රමයෙන් පසුව මේ රටේ ළමයින්ට ලොකු අගතියක් ඇති වුණේ. භාෂා තුනම ඉගෙන  ගන්න නොදී එක භාෂාවකට යොමු කිරීම නිසා කුඩා පාසල්වල භාෂා උගන්වපු ක්‍රමය නැවතී ගියා. ඒක හරි අපරාධයක්. ඒ කාලයේ කුඩා  පාසල් වුණත් ලබා දුන්නෙ විශිෂ්ට අධ්‍යාපනයක්. ශාස්ත්‍රීය වශයෙන් හොඳට ලකුණු ගන්න අය ශිෂ්‍යත්ව වැනි විභාගවලට යොමු කළා. ටියුෂන් නොගිහින් එකදු විභාගයක්වත් අසමත් නොවී, ශිෂ්‍යත්වයක් රැකගෙන විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වුණා.

විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා ඊළඟට මොනවද කළේ?

පත්වීමක් බලාපොරොත්තුව සිටින අතරේ සිංහල ශබ්ද කෝෂයේ වචන කාඩ්පත් පිළියෙළ කිරීමේ කනිෂ්ට තනතුරක් ලැබුණා. මාස කීපයක් ඒ විදිහට කටයුතු කරමින් සිටියදී කර්මාන්ත අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරි තනතුරක ඇබෑර්තු වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අයදුම් කළා. කර්මාන්ත නිලධාරි සහ ආනයන අපනයන සහකාර පාලක තනතුරක් ලැබුණා. 1969 සිට 1979 දක්වා ඒ රැකියාව කළා. 1979 දී විදේශ සේවා බඳවා ගැනීමේ විභාගයට පෙනී ඉඳලා ඉන්පසුව විදේශ සේවයට එක්වුණා.

ඉන්දීය අගමැති මෝදි සමග සාකච්ඡාවකදී...

කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ කළ කාලයේදී එවකට ඇමැතිවරයා වුණේ කවුද?

පිලිප් ගුණවර්ධන මහතා.

ඔහු එක්ක වැඩ කරන්න පහසු වුණාද?

එතුමා දැඩි සමාජවාදියෙක් වගේම නූතනවාදියෙක් හැටියටයි මම දකින්නෙ. දේශපාලකයින් කළයුත්තේ මතවාද ගොඩනැගීම නෙවෙයි. සම්මුතිවාදී වීමයි. සම්මුති ගොඩනැගීමයි. එතුමා ඒ වගේ කෙනෙක්. එතුමාගේ ඒ ප්‍රවේශය දැන් සිටින දේශපාලකයින්ට හොඳ පාඩමක්. එතුමාගෙන් අප වැනි වෘත්තිකයන්ට කවදාවත් ප්‍රශ්නයක් වුණේ නැහැ. හරියට කළ යුතු දේ කරන්න ඉඩහැර, ප්‍රතිපත්ති සම්පාදනයේදී එතුමා පෙරමුණ ගත්තා. අපේ රටේ තියෙන ප්‍රශ්නවලින් 99% ක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙ අපේ දේශපාලන සංස්කෘතිය නිසයි. ඒ දේශපාලන සංස්කෘතියේ දී දේශපාලකයින් කරන්නේ මතවාද ගොඩනැගීම මිසක් එකඟත්ව ගොඩනැගීම නෙවෙයි. ලඝු දේශපාලකයෝ විතරයි මතවාද ගොඩනගන්නෙ. නියම නායකයින්  කහටි සම්මුති ගොඩනගන්නෙ. පිලිප් ගුණවර්ධන ඒ වගේ චරිතයක්. ලෝකයේ දියුණු වෙච්ච සැම රටකම නායකයින් ඒ රටවල් දියුණු කරලා තියෙන්නෙ මතවාද ගොඩනගලා නෙවෙයි. සම්මුති ඇති කරලා.

විදේශ සේවයට ඇවිත් මුලින්ම දැරූ තනතුර?

සහකාර අධ්‍යක්ෂකවරයෙක් විදිහට බැඳුණෙ. විදේශ සේවා ව්‍යවස්ථාවේ හැටියට අවුරුදු 3ක් පරිවාස සේවා කාලය. ඊළඟ අවුරුදු කීපයක් ඇතුළත නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙනවා. ඒ අතරේ පරිපාලන විභාග පශ්චාත් උපාධි වැනි විභාග සමත් විය යුතුයි. අධ්‍යක්ෂ ජනරාල් සහ ඊළඟට අතිරේක ලේකම් සහ ලේකම් දක්වා තනතුර උසස් වෙනවා. 2004 දී තමයි ලේකම් තනතුරට පත්වුණේ.

විශිෂ්ට බුද්ධිමතෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් නේද එවකට විදේශ කටයුතු ඇමැති වුණේ? 

ඔව්. එතුමා යටතෙ තමයි පත්වීම ලැබුවෙ.

කදිරගාමර් චරිතය කියන්නෙ ලියා කියා නිමකළ නොහැකි තරමේ විද්වත් චරිතයක් කියලනෙ බොහෝ දෙනා කියන්නෙ? ඇත්තටම ඔහු විශාල වුණේ මොන වගේ හේතු නිසාද?

වචනයේ පරිසමාප්ත අරුතින් මේ රටේ සිටි විදේශ ඇමැතිවරයෙකු ලෙස ඉතා සූක්ෂම ඉතා ඥානාන්විත පරිචයක් තිබූ නායකයෙක්. මේ රටේ තියෙන දේශපාලන ස්වභාවය දෙස බලද්දී එතුමා මේ රටේ තියෙන දේශපාලන මොඩලයට අයිති කෙනෙක් නෙවෙයි. රාජ්‍යකරණයේ යෙදුණු නියම නායකයෙක්. සිංහලද, දමිළද, මුස්ලිම්ද, ක්‍රිස්තියානිද කියන  දේ නෙවෙයි. එතුමාට වැදගත් වුණේ ශ්‍රී  ලාංකිකයකු කියන අනන්‍යතාවයි. ඊට මුල් තැන දී වැඩ කළ චරිතයක්. මගේ ජනකොට්ඨාසයට අයත් මිනිස්සු වැරදි කළොත් මට වැරදියි යන මතයේ හිටියේ. ඒ නිසා තමයි එල්ටීටීඊ හිතවාදී මාධ්‍ය ඔහුට පාවා දෙන්නෙක් විදිහට එදා හංවඩු ගැහුවෙ. එල්ටීටීඊ එකේ වැරදි කියද්දී ඒ විදිහට මාව හැඳින්වීම මට ප්‍රශ්නයක් නෙවෙයි කියලා එදා එතුමා නිර්භයව තම මතයේ හිටියෙ. එතුමා සුළු ජාතින්ගේ අයිතිවාසිකම් වගේම, ලාංකීය සමස්ත ජාතියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. සම්මුති ගොඩනැගීමේ දේශපාලනයේ හොඳම පරමාදර්ශයක් තමයි එතුමා.

ඔහු එක්ක වැඩ කිරීම සංකීර්ණ වුණාද? පහසුවක් වුණාද?

එතුමා එක්ක වැඩ කළ කාලය තමයි මගේ ජීවිතයේ වෘත්තීය ඵලදායිතාවයේ අග්‍රඵලය තිබූ කාලය. එතුමා තමන්ගේ ආයතනයේ මාත් ඇතුළු වෘත්තිකයන්ගෙන් නිතර අදහස් විමසුවා. පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ විශේෂ හැකියා තිබූ කණිෂ්ටයින්ගෙ අදහස් විමසා හරිදේ මොකක්ද  කියලා හිතලා තමයි තීන්දු තීරණ ගත්තෙ. අපි දෙදෙනා අතර තිබුණෙ අන්‍යෝන්‍ය ගෞරවයක්. රටට එතුමා ඉදිරිපත් කළ උපාය මාර්ග සියල්ල රටට ප්‍රායෝගික වුණා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් තනතුරින් විශ්‍රාම ගියාට ඔබට විශ්‍රාම දිවිය ගත කරන්න ලැබුණෙ නැහැ. ‘UN’ එකට ගිහින් කටයුතු කරන්න වුණා නේද?

ඒක වුණේ මෙහෙමයි. 2008 වෙද්දී ආපසු අවි ගැටුම් නිර්මාණ වෙලා තිබුණෙ. ඒ කාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මට කතා කරලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ බාර ගන්න කිව්වා. යුද්ධය අවසන් වන තෙක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් යුද්ධයට තහංචි පැනවීමට ඉඩ නොදී ඒ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර කරන්නය කියලා එතුමා මට පැවරුව භාරදූර වගකිම ව​ුණේ.

එදා ඒ තනතුර වගකීම දරමින් ඔබට එදා රටට ලබාදෙන්න පුළුවන් වුණේ මොකක්ද?

මට පැවරුණු කාර්ය භාරය වුණේ ආරක්ෂක අංශ විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විනාශ කරන්න පටන් ගත් මෙහෙයුම අතරමග නතර නොකර පවත්වාගෙන යාම සඳහා ඇතිවන රාජ්‍ය තාන්ත්‍රික බාධක වැළැක්වීමයි. කිසිම රටක් තරහා කර නොගෙන ඒ කාර්යභාරය කරන්න පුළුවන් වුණා. 

යුද්ධය හමාර වූ පසුවත් ඔබ නිකම් හිටියෙ නැහැ.

යුද්ධය හමාර වුණාට ගැටුම හමාර වෙන්නෙ නැහැනෙ. මේ රටේ සොල්දාදුවන් සහ සිවිල් ජනතාව කැප කිරීම් කරලා සාමයට තිබුණු ප්‍රධාන බාධකය වූ LTTE එක ඉවත් කළා. ඒත් ඒ යුද ජයග්‍රහණය සාම ක්‍රියාදාමයකට එනම් පශ්චාත් ගැටුම් කාලයේ රට නැවත ගොඩනැගීමේ ක්‍රියාදාමයකට අපේ රටේ දේශපාලකයින්ට කටයුතු කරන්න තිබුණත් ඔවුන්  එය කළේ නැහැ. එයාලා එතැනදී අසමත් වුණා. ඉන්පසුව මතුවූ යෝජනාව වුණේ යුද්ධය ඉවර වුණාට ගැටුම් ඉවර නොවන නිසා සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් හානි පූර්ණය වෙනුවෙන් කටයුතු කරලා, රට නැවත ගොඩනැගීම කළයුතුය  කියලයි. කදිරගාමර් මහතා කී පරිදි ශ්‍රී ලාංකීය අනන්‍යතාව ඇති එක් ජන කොටසක් ගොඩනැගීමට කටයුතු කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් තමයි උගත් පාඩම් කොමිසම (LLRC) ගේන්න කටයුතු කළේ. අවුරුදු දෙකක් එහි සාමාජිකයා ලෙස කටයුතු කළා. උගත් පාඩම් කොමිසමෙන් අපේ රටේ ප්‍රශ්න අපට විසඳා ගත හැකි වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වුණා. ඒත් අද වෙලා තියෙන්නෙ අපේ රටේ අපට විසඳන්න තිබූ ප්‍රශ්න පිට රටවල අය විසඳන්න මැදිහත්වීමයි. අපි මෙහේ කළ යුතු දේ විදේශයට ගියා. UN  එකට මානව හිමිකම් කොමිසමට සහ විදේශ පාර්ලිමේන්තුව ඇතුළු පාර්ශ්ව රැසක් වෙත ගියා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් හමුවකදී...

ඇයි එහෙම වුණේ?

අපේ දේශපාලකයින් එතැනදිවත් සම්මුතියක් ගොඩනැගීමට අසමත් වීම නිසයි. ඒ අසමත්වීම වළක්වා ගැනීම වෙනුවෙන් උගත් පාඩම් කොමිසම විසින් 2011 වෙද්දී නිර්දේශ 200 වඩා ඉදිරිපත් කරලා තිබුණෙ. ඒවා කළ හැකිව තිබූ දේවල්.  පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ ඒකාබද්ධව සම්මුතියක් ගොඩනගලා, ඒ ගැන රටේ ජනතාවට ප්‍රකාශ කරලා පැහැදිලි කරන්න තිබුණත්, ජාත්‍යන්තරයට ප්‍රකාශ කරන්න තිබුණත්, ඒක කළේ නැහැ. ඒක පාවිච්චි කළේ එයාලගෙ දේශපාලනයට. ඊට පස්සෙ තමයි, ඩයස්පෝරාව සමහර බටහිර රටවල් භූ දේශපාලන හේතු මත ලංකාවට පීඩන ඇති කිරීමට මානව හිමිකම් වාර්තා, සෑම වසරකම ඉදිරිපත් කරන්නෙ. දේශීය වශයෙන් විසඳන්න තිබූ ප්‍රශ්න මගහැරලා දේශපාලන වාසි ගත්තාම වෙන්නෙ ඒවා විදේශගතවීමයි. ඒක පැහැදිලි න්‍යායක්. දැන් වෙලා තියෙන්නෙ එයයි.

උගත් පාඩම් කොමිසමෙන් ඉදිරිපත් කළ කරුණු ඉටු කළේ නම් අද මේ රට මුහුණ දෙන මේ ප්‍රශ්න ඇතිවෙන්නෙ නැද්ද?

ඒ වාර්තාවේ මේ රටේ සංහිඳියාව ඇතිකළ යුතු විදිහේ සිට බොහෝ ප්‍රායෝගික කළ හැකි කරුණු ඇතුළත් වුණා. ඒවා ක්‍රියාත්මක කළේ නම්, මේ ආර්ථික අර්බුදය වගේ දේ, මුස්ලිම් අන්තවාදී ප්‍රශ්න, පාස්කු ප්‍රහාරය වැනි දේ සිදු නොවෙන්න ඉඩ තිබුණා. LLRC වාර්තාවට අදාළ දේ කරන්න එවකට සිටි රජය වගේම විපක්ෂය උනන්දු වුණේ නැහැ. ඒ වගේ රටට යහපත් දේ ක්‍රියාත්මක කරන්න, විපක්ෂය – ආණ්ඩුවට සහයෝගය දෙන්න ඕනෑ. අපේ රටේ විපක්ෂයේ තියෙන සංස්කෘතිය වන්නේ, ආණ්ඩුව යෝජනා කරද්දි, විපක්ෂය විරුද්ධ වීමයි. දියුණු වෙච්ච රටවල් ඒ විදිහ නෙවෙයි. අසල්වැසි ඉන්දියාව ගනිමු. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ සියලු දෙනාගෙ රටට වැදගත් යෝජනා හමුවේ එකමුතුව ගත් ක්‍රියාමාර්ග නිසා, අද ඉන්දියාව ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා බවට පත්වෙලා. BJP එකයි කොංග්‍රස් පක්ෂයයි එකතුවෙලා සාමුහික ආර්ථික ප්‍රෝග්‍රෑම් එක හදන්න මුල් වුණා. සම්මුතිවාදී දේශපාලනය නිසා ඔවුන් දියුණුවට යමින් සිටිනවා. අපේ රටේ මෙච්චර අර්බුදයක් ඇවිල්ලත් එය ගොඩනගා ගන්න සම්මුති හදාගන්න බැහැ. බැරිකම නෙවෙයි, ආණ්ඩුව සුහුරුභාවයෙන් තොරව වැඩ කරද්දි, විපක්ෂය, ඒක ආණ්ඩුව පෙරළීමේ ආයුධයක් කරගෙන කටයුතු කරනවා.

ඒ කියන්නෙ දෙපැත්තම දුර්වලයි?

දෙපැත්තම ස්වයං ඝාතකයන් වෙලා.

ඒ තත්ත්වය දිගටම තිබුණොත්?

ආයෙත් රට අර්බුදයකට යාවි

ඔබ කියන්නෙ LLRC උගත් පාඩම් කොමිසමේ කරුණු සම්මත කරගෙන ක්‍රියාත්මක නොකිරීම නිසා බරපතළ තත්ත්වයකට රට ඇදී ගිය බවද?

ඒ වාර්තාවේ තියෙන සෑම කාරණාවක්ම කිරා -  මැන බලලා කොහොමද? ජන කොටස් සහ දේශපාලනඥයන් ඇතුළු සියල්ල එකතු කරන්නෙ. කියන දේ පැහැදිලිව ඇතුළත් කර තිබුණෙ. 2011 දි අපේ LLRC කමිටුවේ වැඩ ඉවර කරලා පාර්ලිමේන්තුවට බාර දුන්නාම එය ක්‍රියාත්මක කරන්නයි තිබුණෙ. පාර්ලිමේන්තුවේ ප්‍රථම කාර්යය විය යුතුව තිබුණෙ එය අනුමත කරගෙන, ඒ වාර්තාව මුළු පක්ෂ – විපක්ෂ වෙත ලබාදෙන්න. එයාලා පක්ෂ වශයෙන් පුද්ගලිකව සහයෝගය දෙනවා කිව්වට, ඒකමතිකව එය ප්‍රකාශ කළේ නැහැ. කිසිම හේතුවක් නැතුව ආණ්ඩුවත් ඒක කර හැරියා. දැන් වෙලා තියෙන්නෙ, අපේ රටේ හමුදාවේ නිලධාරීන්ට වීසා ගන්න බැහැ, ඒ නිසා එයාලට විදෙස්ගත වෙන්න බැහැ. මානව හිමිකම් එකෙන් සම්මත කරගත් යෝජනා නිසා, සමහර සිවිල් නිලධාරින්ටත් ඒ වාරණ පැනවෙන්න ඉඩ තියෙනවා. පක්ෂ – විපක්ෂ වගකීම් රහිත දේශපාලනය නිසා ඒ වගේ ප්‍රශ්න ඇතිවෙනවා.

ආයෙත් එවැනි වැරදි නොවෙන්නට නම්, රට හොඳ අතකට ගෙනියන්න නම්, කවුද ඊට මූලික වෙන්න ඕනෑ, මොනවගේ ක්‍රියාමාර්ග ද ගත යුතු වන්නෙ?

දේශපාලකයින් කළ යුත්තේ මතවාද ගොඩනැගීම නෙවෙයි සම්මුති ගොඩනැගීමයි

මේක ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා හැමෝම මුල්වෙලා විසඳගන්නට ඕනෑ. මේ රටේ ප්‍රධානව තිබෙන්නෙ කාරණා තුනයි. ප්‍රථමයෙන් අපේ රටට ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. හැමදාම දියව් - දියව් කියමින් සියලුම දේ අරගෙන, නිකං ඉන්න බැහැ. රාජ්‍ය අංශයෙන් වේවා, පුද්ගලික අංශයෙන් වේවා, ඒකෙ පිරිවැයට අඩුවෙන් විකුණලා රටකට ජීවත් වෙන්න බැහැ. ඒක IMF එක කියන්න ඕන නැහැ. සාමාන්‍ය කඩේ මුදලාලි පවා දන්න දෙයක්. ඊළඟට අපේ අය-වැය පරතරය තිරසාර විදිහකට පවත්වාගන්න ඕනෑ. ලැබෙන ආදායමට වැඩිය වියදම් කරන්න බැහැ. එහෙම කරන්න පුළුවන් ඇමරිකාවට විතරයි. මොකද එයාලගෙ ඩොලර් ලෝකෙ ප්‍රධාන මුදල් භාවිතය නිසා. එයාලට මුද්‍රණය කරන්න හරි පුළුවන්. හැබැයි අපි මුදල් මුද්‍රණය නොකළ යුතුයි. 

විනිමය අනුපාතය පවත්වාගෙන යා යුතුමයි. ඒ වගේම විචක්ෂණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. ගෙවන්න බැරි මනුෂ්‍යයා තලා පෙළන්නෙ නැතුව, වක්‍ර බදු අඩු කරලා, පුළුවන් තරම් ඍජු බදු වැඩි කරලා, බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතුයි. මෙන්න මේ කාරණා ගැන ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි දෙකම එක හඬකින් ජනතාවට කියන්නට ඕනෑ. ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ. පවතින ආණ්ඩුවත් ඒක හරියට මෙහෙයවන්නෙ නැතිවුණත්, මේ ආර්ථික අර්බුදය එයාලා ඇතිකළ එකකුත් නෙවෙයිනෙ. ඒ නිසා දැන් මේ ආණ්ඩුව පෙරළන්න ගියොත් වෙන්නෙ රට තවත් අස්ථාවර වෙන එකයි. ඒ වගේම හැමදාම මිනිස්සු පාරේ පිකට් කරමින්, උද්ඝෝෂණ කරමින් හිටියොත්, ආයෝජකයන් කවුරුවත් එන එකක් නැහැ. අර්බුද තියෙන රටක ආයෝජනය කරන්න කවුරුවත් කැමති නැහැ. හැම ආයතනයකටම – ප්‍රජාවකටම යුනියන් එකක් තියෙනවා. එයාලා නිතරම පාරට බහිනවා. වෛද්‍යවරු පවා අද පාරට බහිනවනෙ. ආණ්ඩුවත් බලයට පත්වෙලා, ආර්ථික ප්‍රතිසංස්කරණ මුල් කරගෙන ආණ්ඩු පෙරළන්න හදනව නම්? ඒක සම්පූර්ණයෙන්ම වගකීම් රහිත වැඩක්.

විදේශ ආයෝජන ඇයි අපේ රටට අවශ්‍ය?

අපට තියෙන්නෙ බොහොම කුඩා ආර්ථිකයක්නෙ. අපේ දළ ජාතික නිෂ්පාදිත දර්ශකය බලද්දි, අපේ ආර්ථිකය සසඳද්දි, විදේශීය ආයෝජන නැතුව ප්‍රාග්ධනය නිපදවාගන්න සහ ගොඩනගාගන්න අපට ශක්තියක් නැහැ.

ඒ පරිසරය හදා ගැනීමට නම් අප කළ යුත්තේ කුමක්ද?

රට ස්ථාවර කර ගැනීමයි. ස්ථාවරත්වය පෙන්වන හොඳම ක්‍රමය වන්නේ, ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා වූ සම්මුතියක් ඇතිකර ගැනීම. ඊළඟට නීතිය සහ ආධිපත්‍යය ගැන සම්මුතියක් ඇතිකර ගැනීම. ඊළඟට විදේශ රටවල් සමඟ සබඳතා ශක්තිමත් කරගෙන, භූ දේශපාලන අරගලවල කොටස්කරුවන් නොවීම. එවැනි ප්‍රතිපත්තියක් ඇති රටක් ලෙස ලෝකයට දැනෙන්නට සලස්වන්නෙ නැත්නම් අපට මේ අර්බුදවලින් ගොඩ එන්නත් බැරි වේවි.

භූ දේශපාලනය සහ විදේශ ප්‍රතිපත්ති ගැන හසල දැනුමැති ඔබ ගැන විදේශ සේවාවේ නියුතු බොහෝ දෙනා කතා කරන්නෙ ප්‍රශංසා සහගතව. එ් වගේම තානාපති සේවයට එක්වන අය වගේම තානාපති සේවයට අයත් බොහෝ දෙනා අතර ඔබ ඔවුනගේ පරමාදර්ශී චරිතයක්? මොකක්ද ඔබ කළ දේ එහෙම වෙන්න?

මගේ සේවා කාලයේදී නිහතමානීව මම දායකත්වය ලබා දුන්නෙ තනිවම නෙවෙයි. කිසිවක් තනිව ලබාගත්ත ප්‍රතිඵල නෙවෙයි. සහෝදර නිලධාරීන් සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා, එකමුතුව වැඩ කරලා ලබාගත්ත ප්‍රතිඵල මිසක්, තනිව කළ කිසිවක් නැහැ. නිලධාරීන් එක්ක වගේම ආයතන රාශියක් එක්ක සම්මුති - සාකච්ඡා කරලා ගත්ත තීන්දු තීරණ ඵලදායී වෙන්න ඇති. මොන ප්‍රශ්න තිබුණත්, සෑම සතියකම අපි මීටින් පැවැත්වුවා. ගත යුතු - කළ යුතු දේ කරුණු විමසා සිටියා. අවසන අපි යම්කිසි සම්මුතියකට ඇවිත් විදේශ ඇමැතිවරයාට, අගමැති - ජනපතිට – කැබිනෙට්ටුවට යෝජනා ලෙස ඉදිරිපත් කළා. ඒ නිසා ආයතනය ඇතුළෙ ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් අපි ඒ සියල්ල කරන්නෙ කියන විශ්වාසය ගොඩනැගී තිබුණා. ඕනෑම නිලධාරියකුට ඇවිත් කතා කරන්න මගේ කාර්යාලය නිතරම විවෘත වුණා. ඒ වගේම මම වැඩ පටන්ගන්න උදෑසනම කාර්යාලයට ගියා. ඒකත් හරි ප්‍රයෝජනවත් වුණා. එවැනි දේ නිසා ඔබ කී පරිදි ඔවුනට මා කෙරෙහි යම්කිසි විශ්වාසයක් ගොඩනැගෙන්න ඇති.

මූල්‍ය අස්ථාවරත්වයකට මුහුණ දී සිටින, චූල ප්‍රාග්ධනයක් ඇති අපි වගේ රටක්, පවතින මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ මොන විදිහට හැසිරිය යුතුය කියලද ඔබ හිතන්නෙ?

චූල ධනයක් ඇති බව ඇත්ත. ඒ නිසා අපි ලොකු වැඩ කරන්න යන්න හොඳ නැහැ. ඒ චූල ප්‍රාග්ධනය තිබුණය කියලා අපි බය වෙන්න ඕනැත් නැහැ. මේ වෙලාවෙ අපි භූ චලන විදිහෙ වෙනස් දේ කළ යුතු නැහැ. මේ වෙලාවේ ලෝකයට අපි ප්‍රක්ෂේපණය කළ යුතු වන්නේ අපි බොහොම ස්ථාවර රටක් කියලයි. ඒ වෙනුවෙන් පළමුව දේශපාලන ස්ථාවරත්වය තිබිය යුතුයි. අපේ රටේ දේශපාලකයන් ප්‍රතිපත්ති ප්‍රශ්නයක් මුල් කරගෙන, වැස්ස දවසට පදික වේදිකාවේ සිටින වෙළෙන්දෝ වගේ කුලල් කා ගන්නෙ නැතුව කටයුතු කළොත් හොඳයි. 

සෑම ප්‍රතිපත්ති ප්‍රශ්නයක් මත කුලල් කා ගන්නව නම් ස්ථාවරත්වයක් ඇතිවෙන්නෙ නැහැ. දෙවනුව විදේශ ප්‍රතිපත්තියේදි හැමෝම එක්ක ගනුදෙනු කරන බව පෙන්වන්න ඕනෑ. කිසිවකුගේ බල අරගලයකට සම්මාදම් වෙන්නෙ නැහැ කියලා අපි ප්‍රකාශ කළ යුතුයි. ඊළඟට ඕනෑම කෙනකුගේ ආයෝජනවලට අපේ රටේ ප්‍රතිපත්තිවලට අනුව ඉඩ දිය යුතුයි. විවෘත කර දිය යුතුයි. අප රටේ සෑම දේශපාලන පක්ෂයක්ම ඒ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශයට උර දෙන්න ඕනෑ. මේ කියූ සමීකරණය ඇතුළට ඉන්දියාව අපි මෙහෙයවා ගත යුතු විදිහ ගැනත් හිතන්න වෙනවා. ඉන්දියාව නිතරම බලන්නෙ චීනය එක්ක අපි කරන ගනුදෙනු හැකිතාක් අඩු කරලා, ඉන්දියාව එක්ක පමණක් ගනුදෙනු තියාගන්න. ඉන්දියාව තරහ කරගෙන බැහැ. 

හොඳ හිත තියාගෙන සිටීම වැදගත්. එහෙමයි කියලා ආර්ථිකව හෝ වෙන යම් ක්‍රමෝපායකින් අප රට අන්තර්ග්‍රහණය කරගන්න ඉඩ දෙන්න අපට බැහැ. මොකද බංග්ලාදේශයට වූ දෙය අපට තවම අමිහිරි මතකයක්. ඒ වගේම අපි චීනයේ අතකොලුවක් නොවේය කියන දේ ඉන්දියාවට දැනෙන්න ඉඩ හරින්න ඕනෑ. මොකද ඒ ආරක්ෂාව ගැන ප්‍රශ්නය ඔවුන් හිතන දෙයක්. ඒ නිසා ඒ ගැන දෙගිඩියාවෙන් හිතන්න ඕන නැහැ කියන තැනට ඇවිත්, අපි ඉන්දියාවට සහතික වෙන්න ඕනෑ. අපේ භූමිය කිසිම විටෙක වෙනත් රටක ග්‍රහණයට පාවිච්චියට ඉඩ දෙන්නෙ නැහැ කියලා අපේ ජනපති කියන දෙයක්. ඒක හොඳ දෙයක්. චීනයේ නැවක් එහෙම ආවාම ඉන්දියාව අසීමිතව කලබල වෙනවා. එතකොට වෙන්නෙ අපේ නෞකා ගමනය අඩපණ වීම. නාවික කටයුතු අඩපණ වුණාම ආර්ථිකය වැටෙනවා. ඒ නිසා Port call policy එකක් හදාගෙන වැඩ කළොත් හොඳයි.

සාකච්ඡා සටහන
සඳුන් ගමගේ