ගුවන්විදුලි සේවය අප රට තුළ ස්ථාපිතවී මේ වනවිට වසර 100ක් ගෙවී ගොසිනි. එදා මෙදාතුර සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ජනමනස සුවපත් කිරීමෙහිලා පුරෝගාමී දායකත්වයක් දැක්වූ එම සේවාව – නූතන තාක්ෂණය නොමැති එදා ගමද නගරය ද එක ඉරකට යා කළේය.

හේනේ කුඹුරේ සිට කඩපිළ දක්වා ද, නිවෙසේ සාලය දක්වා ද විහිදී ගිය ගුවන්විදුලිය තම ජීවිතයේ අත්‍යාවශ්‍යම අංගයක් බවට පත්වූ කාලයක් අපේ රටේ ජනතාවට තිබුණේ එහි වූ සෞන්දර්යාත්මක වින්දනය නිසා බැව් කිව යුතුම කාරණාවකි.

ඈත එපිට ගම්දනව්වක පොල්අතු පැළක ද නගරයේ මහා මන්දිර වල ද එදවස ප්‍රධානතම අංගයක් බවට පත්වූ ගුවන්විදුලි යන්ත්‍රය කාර් බැටරියෙන් හෝ බැටරි කෑලි වලින් පණ ගන්වා එහි හඬ දසත පතුරුවන විට ඒ වටා එක් රොක් වී ගීත හා විවිධ වැඩසටහන් රස විඳින්නට මෙරට ජනයා පුරුදු පුහුණු වූයේ දවසේ විඩාව මහන්සිය මෙන්ම කාන්සියද නිවාගනු පිණිසය.

කෙසේ වෙතත් විකාශය වූ වැඩසටහන් අතරෙන් බහුතරයක් දෙනාගේ ප්‍රියතම අංගය වූයේ ගීතයයි. ගුවන්විදුලි ගීතයේ ආරම්භය 40, 50 දශකයන්හි වූ අතර, අද වනවිට ඒ තුළින් ප්‍රචාරය වූ හා එළිදැක්වූ ගීත සංඛ්‍යාත්මකව අති විශාලය.

ප්‍රථමයෙන්ම ගුවන්විදුලිය ඔස්සේ සිංහල ගීතයක් ඉදිරිපත් කිරීමේ ගෞරවාදරය හිමිවන්නේ ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ කෝකිලදේවී වීරතුංගටය. ඒ 1929 ජනවාරි23 වැනි දා ප්‍රවිණ සංගීතවේදී වින්සන්ට් සෝමපාල නිර්මාණය කළ සධානන්ද පට්ටිආරච්චි මාස්ටර් සමග ගැයූ “කීර්තිමත් සිටු දේවිය විශාකා”නම් වූ ගීතය ගායනා කිරීම වෙනුවෙනි.

ගුවන්විදුලියෙහි පටිගත කළ පළමු සිංහල ගීතය ලෙස සැලකෙන්නේ “ඕළු පිපිලා විල ලෙළ දෙනවා” ගීතයයි. ප්‍රවිණ සංගීතවේදී සුනිල් ශාන්තයන් විසින් 1946වසරේ මාර්තු 2 වැනි දින එම ගීතය පටිගත කළ අතර, එහි පද රචනය, සංගීත නිර්මාණය හා ගායනයද ඔහුගේමය. ඉන්පසුව ගුවන් විදුලි සේවය වෙනුවෙන් ඔහු නිර්මාණය කළ හඳපානේ, කෝකිලයන්ගේ, ලංකා ලංකා, බෝවිටියා දම්, තෙල් ගාලා හිස පීරන් නෑනෝ, එම්බා ගංගා, වැනි ගීත අද දවසේ ද ශ්‍රාවකයා ට අමතක නොවේ.

මේ කාල සීමාව තුළ ගුවන්විදුලි ගීතය වෙනුවෙන් මහත්වූ කාර්යභාරයක් ඉටුකරමින් විවිධ සංගීත රටා ඔස්සේ ගීතය සමාජගත කිරිමට උත්සාහ ගත් සංගීත ශිල්පීන්, පද රචකයන්, හා ගායක ගායිකාවන් බොහෝ පිරිසක් විශිෂ්ට කැපවීමක නිරත වූ අතර - ගුවන්විදුලි ගීතය වෙනුවෙන් ඔවුන් ඉටුකරන ලද එම විශිෂ්ට සේවාව අද දවසේ වුවද මතකයට නැගෙන්නේ එම මියුරු ගීත මොනතරම් රසික ජනතාව වැලඳගත්තා ද යන්න පසක් කරමිනි.

ගුවන්විදුලි සංස්ථාවෙහි ගීතය වෙනුවෙන් මහත් වූ මෙහෙවරක් ඉටුකරනු ලබන්නේ එහි සංගීත අංශය වන අතර, අද දවසේද බොහෝ දෙනකුගේ අදහස වී ඇත්තේ - එම අංශය මගින් විශිෂ්ට ගීත නිර්මාණ කරමින් ගීත ක්ෂේත්‍රයට වැඩිම මෙහෙවර සිදුකෙරුණේ 70 දශකයේ දී බවය. සරල ගීතයට එහා ගිය පර්‌යේෂණ ගී, ජන ගී ආදී විවිධ ඉසව් ගීතයෙන් හැඩ වූ අතර - සී. ද එස්. කුලතිලක, ඩබ්ලිව් බී. මකුලොලු‍ව වැනි වියතුන් සහ තවත්‍ විශිෂ්ට නිර්මාණකරුවන්ගේ මගපෙන්වීම මත ගුවන්විදුලි ගීතය අලු‍ත් මගක් ගත් බව නොකියාම බැරි කාරණාවකි.

උසස් රසඥතාවකින් යුත් විචාරශීලී රසික පිරිසක් පිරිසක් මෙරටෙහි බිහිකිරීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශය සිදුකළ මෙහෙවර අති මහත්ය.

ඒ තුළින් ප්‍රචාරය වූ ඩී. එස්. පට්ටිආරච්චිගේ “ගීතමාලා”‘, අමරදේවයන්ගේ “ජනතා ගායනා”‘, මහගමසේකරයන් හා අමරදේවයන් එක්ව ඉදිරිපත්කළ “මධුවන්ති”‍, “රස මියුරු”, “ස්වර වර්ණ,”‍ ඩෝල්ටන් අල්විස්ගේ “විජය ගීත”‘, ජි.එස්.බී.රාණි පෙරේරා ඉදිරිපත්‍ කළ“ගීත තරංග”‍ වැනි වැඩසටහන් ද , 80-90 දශකය තුළ බිහිවූ ගීත මෙන්ම ගුවන්විදුලි සංගීත වැඩසටහන් ද, ශ්‍රාවක හදවත් තුළ නොමැකෙන සටහනක් තබා ඇත්තේ අදටත් මතකයේ රැඳී ඇති අයුරිනි.

නමුත් මේ සියල්ල උඩුයටිකුරු කරමින් විසිවන සියවස ආරම්භයත් සමග පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ජනගතවීම තුළ ජාතික ගුවන්විදුලිය වටා එක් රැස්ව සිටි ශ්‍රාවකයා ඒ තුළින් බැහැරවීමට පටන්ගත්තේ බාළ රසවින්දනයක් සොයා බැව් නොකියාම බැරි කාරණාවකි. හතු පිපෙන්නාක් මෙන් ඇරඹුණු මෙම ගුවන්විදුලි නාළිකා බොහෝමයක් අතුරින් විනාශ වූයේ මෙතෙක් කලක් මහත්වූ ගෞරවයකින් හා අභිමානයකන් ඉදිරියට රැගෙන ආ සිංහල ගීතය ය. එදා පද රචකයා ලියන ලද පදමාලාව පවා යම් අනුමැතියකට යටත්ව සැලසුමකට අනුව නිර්මාණය කළ ගීත වෙනුවට මෙම නාලිකා වැඩි සංඛ්‍යාවක් පාලනයකින් තොරව විවිධ වර්ගයේ ගීත නිර්මාණය කරමින් හා පෞද්ගලික ලාබ ප්‍රයෝජන මත නිර්මාණය කළ ගිත ප්‍රචාරය කළේ ඒවා රස විඳින තරුණ පරම්පරාව පිළිබඳව පවා කිසිම හැඟීමකින් නොවේ.

මේ සියලු‍ කාරණා හමුවේ ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශය මගින් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ ගීත නිර්මාණ කටයුතු පවා අතරමග නතරකර දමන්නට පවා සිදුවූයේ මේ ආකාරයේ හේතු කාරණා මතය.

නමුත් කාලයාගේ ඇවෑමෙන් ගුවන්විදුලි සංස්ථාව තුළ නව පිබිදීමක් ඇති කරමින් නැවතත් නවමු ගීත නිර්මාණය කර ශ්‍රාවකයා හමුවට ගෙන එන්නට එහි සංගීත අංශය කටයුතු කරලීම - ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට මහත් අස්වැසිල්ලක් වූයේ, දක්ෂ නිර්මාණකරුවන්ට ගුවන් විදුලිය යළි අපූරු තෝතැන්නක් කරවමිනි. ඒ හරහා මුදල් මත සියල්ල අධිනිශ්චය කෙරෙන සමාජයක ගීතයක් නිර්මාණයක් කර ගැනීමට නොහැකිව සිටින නිර්මාණකරුවන්ට උසස් ප්‍රමිතියෙන් යුතු ගීතයකට හිමිකම් කියන්නට අගනා අවස්ථාවක් උදාවී තිබීම සතුට දනවන කාරණාවකි.

මේ උදාර කටයුත්ත සිදුකරනුයේ ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශයයි. එහි ප්‍රධානී ලෙස කටයුතු කරන්නේ ප්‍රවිණ සංගීතවේදී දිනේෂ් බෝගොඩ  ය.

“ගුවන්විදුලියේ ස්වර්ණමය යුගය කියා අදටත් බොහෝ දෙනා හඳුන්වන්නේ 70 දශකය. මොකද ඒ වෙද්දි ගුවන්විදුලිය පමණක් තිබූ නිසා ගුවන්විදුලියෙන් නිර්මාණය කළ ගීත වලට විශාල පිළිගැනීමක් තිබුණා. නමුත් මේ වෙද්දි ලොකු තරගකාරිත්වයක් එක්ක ගුවන්විදුලි නාළිකා වගේම ගීතත් විශාල ලෙස නිර්මාණය වනවා. ඒ වගේම තමයි ඒ නාළිකා වල ප්‍රචාරය වන ගීත ගත්තම අපිට සිතන්න බැහැ, මේ ජනප්‍රිය වන්නේ සාහිත්‍යමය අගයක් තියෙන ගීතමද කියලා.”

“මේ සියලු‍ කාරණා එක්ක අද වනවිට අපට අලු‍ත් ගීත නිර්මාණය කිරීම අභියෝගයක් වෙලා.මොකද අද වනවිට ගුවන්විදුලි නාළිකා 50ක් විතර තියෙනවානෙ. ඉස්සර නම් අපි ගුවන්විදුලියෙන් පටිගත කරලා ගීතයක් ප්‍රචාරය කළාම ඒක මුළු ලංකාවම අහනවා. ඒ ගීත ඉතා ඉක්මණින් ජනප්‍රිය වෙනවා. විශේෂයෙන් අපි ප්‍රමිතිගත ගීත තමයි එදා ඉඳලම ප්‍රචාරය කළේ. අද බිහිවන ගීත ජනප්‍රිය වීමේ සම්භාවිතාව දැන් අඩුවෙලා. ඒ කියන්නේ නාළිකා වැඩි නිසා හැමදේම බෙදිලා ගිහින් තියෙන්නෙ. මේ හේතුව නිසා තමයි නව නිර්මාණ බිහිවීමේ අඩුව තියෙන්නෙ.”

“ඒත් මොන අභියෝග තිබුණත් අපි සංගීත අංශය විදියට අලු‍ත් ගීත නිර්මාණය කළ යුතුයි. ඒ නිසා තමයි සභාපතිවරයා එක්ක කතා කරලා ඔහුගේ ආශීර්වාදයත් එක්ක මේ පැයේ ගීතය නමින් අලු‍ත් ගීත නිර්මාණය කිරීම ඇරඹුවේ. මොකද මම සංගීත අංශයේ මුල් පුටුවේ ඉන්න කාල සිමාවේ අලු‍ත් ගීතයක්, අලු‍ත් ගායක ගායිකාවන් බිහිවුණේ නෑ කියන චෝදනාව මටත් එන්න පුළුවන්. මට ඕනෑකම තියෙන්නේ විශිෂ්ට ගීත නිර්මාණ ටිකක් නැවතත් ගුවන්විදුලිය හරහා ශ්‍රාවකයාට දෙන්නයි.”

“අපි නිර්මාණ මොන තරම් කළත් මේ වෙද්දි ප්‍රචාරය විමේ හා ශ්‍රාවකයා ග්‍රහණය කර ගැනීමේ අඩුවක් තියෙනවා. අලු‍ත් නාලිකා ප්‍රමාණය වැඩි නිසා. මේ හේතුව නිසා තමයි මම යෝජනා කළේ පැයකට සැරයක් මාසයක් එක දිගට එක ගීතයක් නිර්මාණය කරලා ප්‍රචාරය කරමු කියලා. ඒ පද රචනය, සංගිතය ගායනය හැමදේම අලු‍ත් ගීතයක් ගීත සාහිත්‍යට එකතු කිරිමේ අරමුණින් තමයි මේ වැඩේ පටන් ගත්තේ.”

“ඒ වගේම තමයි මේ වෙද්දි සංගීත අංශය මගින් අලු‍ත් වැඩ රාශියක්ම අරඹා තිබෙනවා. අපේ ජන සංගීතය, ජනශ්‍රැතිය එකතු කරලා ගිගිරි වළලු‍ නමින් අලු‍ත් වැඩසටහනක් අරඹා තියෙනවා. මොකද අපේ ජන නාද මාලා, අපේ සංස්කෘතිය අතහරින්න බැහැනෙ. ඉස්සර ගමක බෙර සද්දයක් ඇහිච්ච නැති දවසක් නැහැ. මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ ඒ දේවල් නැවත සමාජගත කිරීම.”

“ආධුනික ගායන ශිල්පීන් සරල ගීයට යොමු කරන ස්වර වර්ණී නමින් වැඩසටහනත් සුබාවිත ගීතය, හදවතේ ගීතය වැනි රසවින්දන වැඩසටහන් ක්‍රියාත්මකයි. ඒ වගේම තවත් අලු‍ත් වැඩසටහන් කීපයක්ම තිබෙනවා ගීතය වෙනුවෙන්. අපිට ඉන්න ශ්‍රාවක පිරිස අඩු වුණා කියන එක නෙමෙයි බලන්නේ. අපේ වගකීම මොකක්ද කියලා.අපේ වගකීම හරියට ඉටු කරමින් තමයි මේ ගමන යන්නේ. මේ වෙලාවේ රටේ ජනතාවත් හිතන්න තමන් රස විඳින්නේ, තමන්ගේ දරුවන්ට අහන්න දෙන්නේ මොන වගේ ගුවන්විදුලි නාලිකාවක්ද කියන එක. ගුවන්විදුලියේ වැඩසටහන් දවස් දෙක තුනක් රසවින්දොත් බොහෝ ශ්‍රාවකයන්ට වැටහෙයි මෙච්චර කාලයක් ඔවුන් වෙනත් නාලිකා හරහා විඳ ඇත්තේ මොන තරම් සරල රසවින්දනයක් ද කියා.”

අනාදිමත් කාලයක් තිස්සේ ගුවන්විදුලි ගීතයට හිමිව තිබූ ගෞරවය ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් නිර්මාණකරුවන් ගේ හැඟු‍ම් පැයේ ගීතයට එක් කරන්ට අප්‍රමාණ වෙහෙසක් දරන්නේ සංගීත අංශයේ නිෂ්පාදිකාවක වන දිල්කා විමර්ෂණී හඳුවල ය. වසර 20කට වැඩි කාලයක් පුරා ගුවන්විදුලිය තුළ ලබා ඇති අත්දැකීම් ඇය පැයේ ගීතය තුළින් ද ශ්‍රාවකයාට නවමු අත්දැකීමක් එක්කරන්නට සමත් වන්නීය.

“ගුවන්විදුලිය කියන්නේ කාලයක් තිස්සේ අලු‍ත් ගීත රාශියක් ශ්‍රාවකයා වෙනුවෙන් බිහිකළ තැනක්. නමුත් කාලයත් සමග ඒ ගීත නිෂ්පාදන කටයුතු යම්තාක් දුරට නැවතිලා තිබුණේ විවිධ ගැටලු‍ හේතුවෙන්. නමුත් ගුවන්විදුලි සංස්ථාවට පත්වූ නව සභාපතිවරයාගේ අනුදැනුම යටතේ 2025 වසරේ සිට නැවතත් අලු‍ත් ගීත නිර්මාණය කරන වැඩසටහන අරඹා තිබෙනවා. මේ වැඩසටහන පැයේ ගීතය නමින් තමයි හඳුන්වා තියෙන්නේ. අපි මේ වෙද්දි අලු‍ත් ගීත 4ක් නිර්මාණය කර ප්‍රචාරය කර තිබෙනවා. ඒ ගීත මාසයක් පුරා පැයකට වරක් ප්‍රචාරය කරනවා. එහෙම කරන්නේ ගිතයේ ශ්‍රාවකයා අතරට යවන්නයි.”

“ඒවගේම තමයි මේ ගීත අපි නිර්මාණය කරන්නේ විවිධ සංකල්ප යටතේ. උදාහරණයක් ලෙස අපි ගීතය සඳහා තෝරාගන්නා රචකයාට, සංගීත අධ්‍යක්ෂවරයාට කියනවා අපට ඕන ජනනාද මාලා ගිතයක් එහෙමත් නැතිනම් බයිලා ගීතයක්, 80 දශකයේ වගේ ගීතයක් නිර්මාණය කර දෙන්න කියා. එහෙම කියන්නේ එක් එක් ශ්‍රාවකයාගේ රසවින්දනය වෙනස් නිසා වගේම විවිධ ශෛලියේ ගීත නිර්මාණය විය යුතු නිසයි.”

ගුවන්විදුලිය යනු වසර සියයකට එහා ගිය අතීතයක් හිමි ගමද නගරයටද එකට යා කළ ප්‍රබලතම ශ්‍රව්‍ය මාධ්‍යයයි. එය අද දවසේද ශ්‍රී ලාංකේය ජන හදවත් තුළ නොමැකෙන සටහනක් තැබූ සුන්දර මාධ්‍යයකි. ඒ තුළින් අද දවස දක්වාම සිංහල ගිත ක්ෂේත්‍රයට සිදුවූ මෙහෙවර මෙන්ම දායාද කළ උසස් ගීත සංඛ්‍යාත්මකව අති විශාලය. ඒ උදාර කාර්යයට නැවතත් උරදෙන්නාවූ අනගි මෙහෙවර තවත් පරපුරකට නිවැරදි රසවින්දනයක් එක්කරන්කට සමත්වන බැව්ද නොකියාම බැරි කාරණාවකි.

සුජිත් ප්‍රසංග


 

අපේ වැඩසටහන්වල අරමුණ මානසික නිරෝගිභාවය වගේම ජනමනස සුවපත් කිරීමයි

සභාපති ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර

“ගුවන්විදුලිය කියන්නේ වසර 100ක ඉතිහාසයක් ඇති ආයතනයක්. අපි දැන් එතැන සිට නැවත ඊළඟ සියවස දිහා බලන්නේ තව මොනවද අලු‍ත් දේවල් කරන්නේ කියලා. මොකද මේ වෙද්දි ගුවන්විදුලි මාධ්‍යය තුළ ඉතා විශාල තරගයක් ඇතිවෙලා තියෙනවානෙ. ජාතික ගුවන්විදුලිය කියන්නේ වෙනම සංස්කෘතියක්. ඇරඹුණු දා සිට මේ දක්වාම පවත්වා ගෙන ආ අනන්‍යතාවක් අපට තියෙනවා.ඒ වගේම අපට ජාතික වගකීමක් තියෙනවා. ඒ සියල්ල දැන හඳුනා ගනිමින් තොරතුරු සම්පාදනය කරමින් තමයි මේ කාලය ගෙවෙන්නේ.”


“මේ වෙද්දි සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනේම වැඩසටහන් පිළිබඳව අධ්‍යයනය කරමින් තමයි ඉන්නේ. අපි මුල් කාලයේ ජනප්‍රිය වූ සෑම අංශයකම ඇතැම් වැඩසටහන් නැවතත් විකාශය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම සමහර වැඩසටහන් ඉවත්‍කළා වගේම තවත් පැරණි වැඩසටහන් නවතාවකින් ඉදිරිපත් කරන ක්‍රමවේදයකුත් ක්‍රියාත්මකයි. අපේ වැඩසටහන්වල අරමුණ මානසික නිරෝගිභාවය වගේම ජනමනස සුවපත් කිරීම. ඒ වෙනුවෙන් තමයි මේ සියල්ල කරන්නේ. ගුවන්විදුලියේ සංගීත අංශයත් මේ පිබිදීමට මූලිකත්වය දී අලු‍ත් ගීත නිර්මාණය කිරීම අරඹා තියෙනවා. ඒකත් අපේ ගීත ක්ෂේත්‍රයට හොඳ පණිවුඩයක්.”