ඇමෙරිකාව, ඊශ්‍රායලය, ඉරානය කෙහෙවලු‍ පටලාගෙන පුවත් මවද්දි - මිත්‍රත්වය, එකමුතුකම සහ දිවි රැකගැනීම පිළිබඳ හරි අපූරු කතාවක් අපට අසන්න පමණක් නොව දකින්න ද ලැබුණි. 

එහෙත් මේ කතාව බලු‍ කතාවකි. 

බව්වන් රංචුවකගේ වික්‍රමයකි. 

පළමුවෙන් මේ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ විය. ඉන්පසු එය විදෙස් මාධ්‍යවල අවධානය දිනා ගත්තේය. පැය කීපයක් යද්දී, මුළු‍  ලෝකයම මේ ගැන කතා කරන්න වූයේ යුද ගිනි මැද එය අප කාගේත් හදවතට දැනෙන්න වූ නිසාය. අප බොහෝ දෙනකුගේ දෑස් තෙත් කළ නිසාය.

ඔබට බලු‍ සුරතලකු සිටී නම් - ඒ ‘බව්වා’ ගෙන් ඔබට ලැබෙන කොන්දේසි විරහිත ආදරය ගැන අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. අපට කොන්දේසි විරහිතව ආදරය කරන සුරතලකු සිටින්නේ නම්, ඒ බලු‍ සුරතලු‍න්ම පමණි. පූසෝ ආඩම්බරකාරයෝය. විද්‍යාඥයන්ට අනුව - මිනිසා සමග මිනිසාගේ මිතුරකු ලෙස පරිණාමයට ලක් වුණු සතා බල්ලාය. බුද්ධිමත්, කීකරු, කරුණාවන්ත, දයාව සහ ආදරය පිරි බලු‍ සුරතලු‍න් විශේෂ බොහොමයකි.

මේ කතාව අපට අසන්න දකින්න ලැබුණේ චීනයෙනි. චීනයේ ඇතැම් පළාත්, විශේෂයෙන් උතුරුදිග පළාතම බලු‍ සුරතලු‍න්ට සුදුසු නැත. ඒ සාම්ප්‍රදායික චීන වැසියන් තවමත් බලු‍ මස් කෑමට ගන්නා හෙයිනි. “චීන්නු නොකන දෙයක් නැහැ” යනුවෙන් කියන්නේ නිකමටම නොවෙයි. කෙසේ නමුත්, චීනයේ බොහෝ දියුණු පළාත්වල නගරවල බලු මස් ආහාරයට ගැනීමක් සිදුවන්නේ නැත. අප මෙන්ම, එම පළාත්වල වැසියෝ ඉතා කරුණාවෙන් ආදරයෙන් බලු‍ සුරතලු‍න් හදාවඩා ගැනීම කරති.

ජිලිංග් පළාත පිහිටන්නේ චීනයේ වයඹ දෙසිනි. ජිලිංග් පළාතේ අගනුවර චංචුංග් ය. මේ කාලයේ රාත්‍රියට චංචුංග් නගරයේ උෂ්ණත්වය පහළ යයි. අත්‍යවශ්‍ය රාජකාරියකට මිස නගර වැසියන් එළියට බසින්නේ නැත. අත්‍යාවශ්‍ය රාජකාරියක් තිබුණු බැවින්, ලූ නමැති චීන ජාතිකයා එදා රෑ ප්‍රධාන අධිවේග මාර්ගයේ සිය මෝටර් රථය පදවමින් සිටියේය. රාත්‍රී අඳුර අතරින් මෝටර් රථවල සහ විදුලි පහන් වල ආධාරයෙන් ප්‍රතිවිරුද්ධ මාර්ගයේ අසාමාන්‍ය දෙයක් ඔහු නෙත ගැටුණි.  

ඒ, බව්වන් හත් දෙනකුගේ රංචුවකි.

බව්වන් රංචුව එකට එකතු වී, අධිවේගී මාර්ගය දිගේ ඇවිද යමින් සිටියහ. ඔවුහු සිටියේ දුවමින් නොවෙයි. විමසිල්ලෙන් සහ සීරුවෙන් ඇවිදිමිනි.    සාමාන්‍යයෙන් බලු‍ රංචුවක් පාරේ දකින්න ලැබීම අරුමයක් නොවෙයි. ඒත් මේ බලු‍ රංචුවේ අමුත්තක් ඇති බව ලූ ට වැටහුණි. ලූ ද බලු‍ සුරතලකුගේ හිමිකරුවෙකි. ලූ මෝටර් රථය සෙමින් මාර්ගයේ අයිනට කළේය. ඉන්පසු ඔහු බව්වන් රංචුව නිරීක්ෂණය කරන්න පටන් ගත්තේය. දුටු දෙයින් ඔහු මවිත විය.

බව්වන් රංචුවේ සිටි බව්වන් හත් දෙනා එකිනෙකට වෙනස් විය. රංචුවට නායකත්වය දෙන බව පෙනෙන්න වූයේ කෝර්ගියෙකි. කෝර්ගි යනු කුරු සුරතල් බලු‍ විශේෂයකි. මෙම විශේෂය ලොව පුරා ජනප්‍රිය වූයේ දෙවැනි එලිසබත් මහරැජින නිසාය. එලිසබත් මහරැජින සතුව කෝර්ගි බල්ලන් දෙදෙනකු සිටි බැවිනි.

බව්වන් රංචුවට නායකත්වය දුන් කෝර්ගි ඉදිරියට පය තබන්න වූයේ පරිස්සමෙනි. ඉදිරියට තබන සෑම පියවරක් පාසාම පසුපස බැලු‍වේ තම සගයන් තමන් සමග සිටිනවා නේද කියාය. ඔවුන් ප්‍රමාද නම්, කෝර්ගි ද නතර වී ඔවුන් එනකල් සිටී. 

සෙසු බව්වන් අතර ගෝල්ඩන් රිට්‍රිවර් බව්වකු, ලැබ්‍රඩෝර් බව්වකු සහ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ බව්වකු ද සිටින බව ලූට දකින්න ලැබුණි. ජර්මන් ෂෙෆර්ඩ් කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. ජර්මන් ෂෙෆර්ඩ් සිටියේ තුවාල වී කොරගසමිනි. ඇවිද යන්න වූයේ අපහසුවෙනි. වේදනාවෙනි. කෝර්ගි සහ සෙසු බව්වන් ගමන් කළේ ජර්මන් ෂෙෆර්ඩ් වට කරගෙනය. ආරක්ෂාව සපයමිනි.

ලූ උත්සාහ කළේ බව්වන් රංචුව අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමටය. තමා සිටි තැනට ගෙන්වාගැනීමටය. එය අසාර්ථක විය. බව්වන් රංචුව,  ලූ ව ගණන් ගත්තේ නැත. ලූ සිය ජංගම දුරකථනයෙන් බව්වන් වීඩියෝ කළේය. එම වීඩියෝ දසුන් පසුව “ඩෝ යිංග්” සමාජ මාධ්‍ය වේදිකාව “අප් ලෝඩ්” කළේය. ඩෝ යිංග් යනු චීනයේ ටික්ටොක් වැනි සමාජ මාධ්‍ය වේදිකාවකි. පසුව සෙසු ජනප්‍රිය සමාජ මාධ්‍ය ඔස්සේත්, විදෙස් පුවත් ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වූයේ ලූ ගේ එම වීඩියෝව දසුන්ය.

ඒ අනුව බව්වන්ගේ කතාව ජනප්‍රිය වීමට, නැතිනම් වයිරල් වීමට පටන් ගත්තේය. චීනයේ පමණක් මිලියන230 ක් එම වීඩියෝව නැරඹූහ. බව්වන්ගේ කතාවේ අගමුල දැනගත් සැණින්, එම ගණන දෙගුණ තෙගුණ විය. එය නැරඹූ බොහෝ දෙනෙක් සංවේදී වූහ. බව්වන් රංචුව පැය කීපයක් යද්දී ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවට විවිධාකාරයේ “කමෙන්ට්” පළ විය. එය හොලිවුඩ් චිත්‍රපටයක් වැනි යැයි ඇතැමුන් කමෙන්ට් කරන්න විය. එය හොලිවුඩ් චිත්‍රපටයකට සුදුසු කතා තේමාවක් යැයි තවත් සමහරෙක් අදහස් දැක්වීය. එය සැබෑ “පෝ පැටෝල්” කතාවක් වැනි යැයි තවත් සමහරෙක් කමෙන්ට් කරන්න විය. පෝ පැටෝල් යනු විවිධ වික්‍රමවල යෙෙදන බලු‍ සුරතලු‍න් තේමා කරගත් සජීවීකරණ කාටූන් කතා මාලාවකි. මෙය කුඩා දරුවන් අතරේ ප්‍රකටය. ඔය අතරතුරේ, මේ සිද්ධිය ගැන හරිහැටි නොදන්නා කීප දෙනකු මේ මොන විකාරයක්ද? යැයි කී අවස්ථාවද නැතුවාම නොවෙයි.

බවුවන්ගේ කතාව සම්පූර්ණයෙන් දැනගන්න ලැබුණේ වීඩියෝ දසුන් ප්‍රසිද්ධ වීමෙන් අනතුරුවය. එය හදකම්පා කරවන්නකි. බව්වන් සියලු‍ දෙනා එක් ගම්මානයක විවිධ නිවාස වල ජීවත් වූ අය යැයි පැවැසිණි. ගම්මානය පිහිටියේ ලූ ට මෙම බව්වන් රංචුව දකින්න ලැබුණු ස්ථානයේ සිට කිලෝ මීටර් 17 ක් ඈතිනි. ඔවුන් එම ගම්මානයේ නිදැල්ලේ සතුටින් ජීවත් වුණු සුරතලු‍න්ය. දිනක් රාත්‍රියේ බව්වන් 7 දෙනා අතුරුදන් විය. කනස්සල්ලට පත් හිමිකරුවන් ගෙන් පොලිසියට පැමිණිලි ලැබුණි. ඒත් බව්වන් ගැන කිසිදු හෝඩුඩාවක් ලැබුණේ නැත. බව්වන් අතුරුදන් වුණේ කොහොමද? ඒ ඇයි? ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණේ නැත. 

කිසියම් නරුමයන් පිරිසක් එදා රාත්‍රියේ බව්වන් හත් දෙනා පැහැර ගත්තෝය. ඒ ආදරේට හදා ගැනීමට නම් නොවෙයි, මස් කර විකිණීමටය. උතුරු චීනයේ බලු‍ මස් වෙළෙඳසල් බහුල නොවුණත්, ඒවා දකින්න ලැබේ. පැහැරගත් බව්වන් හත් දෙනා ලොරියකට පටවා ඔවුන් රැගෙන යමින් තිබියදී, අතරමග කොතැනකදී හෝ බව්වන්ට ලොරියෙන් පැනගැනීමට හැකිවී ඇත. ජර්මන් ෂෙෆර්ඩ් තුවාල ලැබුණේ එසේ ලොරියෙන් පනිද්දී විය හැක. නැතිනම් ඒ ඌ අනෙක් බව්වන් බේරාගැනීමට, පැහැරගැනීම කළ නරුමයන් සමග සටන් කළා විය හැක. එහි ඇත්ත නැත්ත අප දන්නේ නැත. දැනගන්න ක්‍රමයක් ද නැත. 

කෙසේ හෝ ලොරියෙන් බේරුණු බව්වන් හත් දෙනා ඉව අනුව යමින්, අධිවේගී මාර්ගය දිගේ ගමන් කරමින් අවසානයේ ඔවුන්ගේ ගම්මානයට පැමිණි බව වාර්තා වේ. ලූගේ වීඩියෝව ජනප්‍රිය වෙද්දී, සත්ත්ව සුරතල් සතුන්ගේ සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් නියමුවන් රහිත ඩ්‍රෝන යානා පවා භාවිතයට ගනිමින්, බව්වන්ගේ ගමන් මඟ නිරීක්ෂණය කරන්න විය. බව්වන් රංචුව ආපසු ඔවුන්ගේ ගම්මනයේ ඔවුන්ගේ හිමිකරුවන් වෙත යහතින් යනතුරු එම පිරිස බව්වන් ගැන අවධානයෙන් පසුවුණු බව ද දැනගන්න ලැබුණි.

මෙම සිද්ධිය ගැන චීන රජය නිහඬය. බලු‍ මස් අනුභවය ප්‍රචලිත වීම චීනයේ ප්‍රතිරූපයට හොඳ නැත. ඒත් එක් දෙයක් පැහැදිලිය. ලූ ට මහ රෑ  බව්වන් දකින්න ලැබෙද්දී, ඔවුහු සිටියේ අකරතැබ්බකට මුහුණ දෙමිණි. නොදන්නා පළාතක සිට ඉව අල්ලමින්, මග සලකුණු සොයා ගනිමින්, එකිනෙකා රැකබලා ගනිමින්, මහ රෑ සීතලේ, කිලෝ මීටර් 17 ක දුරක් ගමන් කළ බව්වන් හත් දෙනා ට අවසානයේ ඔවුන්ගේ ආදරණීයන් හමුවිය. එය සැබැවින්ම වික්‍රමයකි.

ෆර්ස්පෝස්ට් ඇසුරිනි.
ලු‍සිත ජයමාන්න