විද්‍යොදය 1970 ජූලි 14 වැනිදා රෝහණ විජේවිර සමාජවාදී සංගමයේ දේශනයක් පවත්වමින්. එහි සරසවි සිසුවෙකු වූ මහින්ද විජේසේකර මුලසුනේය

මෙතෙක් කතාව; ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන් මග වෙනස් කළ තීරණාත්මක සංධිස්ථානයක් වූයේ ජවිපෙ 1වැනි කැරැල්ල හෙවත්  1971 අප්‍රේල් 05 වැනිදා ආරම්භ වූ කැරැල්ලයි. එම කැරැල්ලට ලබන ඉරිදාට වසර 55කි. තමන් එදා සටන් කළේ සමාජ පරිවර්තනයක් උදෙසා නොමියන අරමුණකින් බව ඔවුහු කියති. ඉකුත් දශක පහ තුළ අප්‍රේල් කැරැල්ල පිළිබඳව පළවූ පත පොත්ද දුසිම් 4කට ආසන්නය. පුවත්පත් ලිපිද දහස් ගණනකි. 

මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න ඉකුත් දශක 2 තුළ කැරැල්ලේ මහ නඩුවේ ජනප්‍රිය නායකයින් පමණක් නොව එම 71 ප්‍රහාරයන්ට එක්වූ ඉදිරිපෙළ නායකයින් සහ සටන්කාමීන් සිය ගණනක් හමුවූ අතර, ඒ පිළිබඳව මෙතෙක් පාඨකයින් කිසිදා නොඇසූ අසම්පූර්ණ සිදුවීම් මාලාව පිළිබඳව පැහැදිලි චිත්‍රයක් සේ මෙම ලිපි මාලාව තුළින් ගෙනහැර දක්වා තිබේ. මෙතෙක් බොහෝ දෙනා ඇසූ සහ කිය වූ උපකල්පන, විකෘති කිරීම්, වැරැදි වැටහීම් මත වෙනුවට සත්‍ය ඉතිහාසය මෙම ලිපි මගින් විවර කරනු ඇත.

චන්ද්‍රසේන මුදලිගේ ආරියවංශ චන්ද්‍රසේකර හෙවත් ගාන්ධි හිතවතුන් ඇමතූවේ චන්දරේ නමිනි. මොහු ගොඩැල්ලේ රාලහාමිගේ බාල පුත්‍රයාය. ගාන්ධිට වැඩිමල් සහෝදරයකු සහ සහෝදරියන් දෙදෙෙනක් වූහ. බඩල්ගම කෙහෙල්ඇල්ල ගම්මානයේ ගොඩැල්ලේ රාලහාමි සහ ගොඩැල්ලේ හාමිනේ යනු ගමේ කාගේත් ආදරය දිනාගත් පිළිගත් පවුලකි. ගොඩ ඉඩම් අක්කර 12 ක් සහ මඩ ඉඩම් අක්කර තුනක් ඔවුනට හිමිව තිබුණි.

වසර 1968/69 රට පාලනය කළේ එජාප රජයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ්මන් ජයකොඩි ගේ සමීප ආධාරකරුවෙක් බවට ගාන්ධි පත්විය. කොටදෙණියාව සතොස ගබඩාවෙහි සේවය කළ ගාන්ධි ට එම වකවානුවේ රුවන්වැල්ල සතොසට ස්ථාන මාරුවක් ලබාදුන් අතර, ඔහු රුවන්වැල්ල සතොස සේවයට ගියේය. ගාන්ධි, රුවන්වැල්ලේදී සමසමාජ පක්ෂයේ අතාවුද සෙනෙවිරත්නට ආධාර කළ බැවින්, දිවුලපිටිය ශ්‍රිලනිප මන්ත්‍රී ලක්ෂ්මන් ජයකොඩි සහ ගාන්ධි අතර විරසකයක් ඇතිවිය. 

ගාන්ධි රුවන්වැල්ලේ සිටි සමයේ නැවතී සිටි ගෙදර සොමිලාවතී වික්‍රමසූරිය නම් තරුණිය සමග ඇති වූ හිතවත්කම මත ඇය සමග විවාහ විය. ගාන්ධි රැකියාවට යෑමට පෙර ලෙනගල පන්සලේ හාමුදුරුවන් ළඟ නැවතී සර්ප වෙදකම උගත්තේය. සර්ප විෂ වෙදකමින් කිහිප දෙනෙක්ම සුවපත් කර ඇත.

වසර 1969 අග භාගයේදී ගාන්ධි, ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) වෙත නැඹුරු විය. එහි ක්‍රියාශීලී සාමාජිකයෙකු වූ අතර, ඔහු විසින් සාමාජිකයන් බඳවා සිය නිවසේ පන්ති 5 කඳවුර සියල්ල පවත්වන ලදී. දක්ෂ වෙඩික්කරුවෙකි. අත් දෙකෙන් තුවක්කු දෙකක් ගෙන ඉලක්කයට වෙඩි තැබිය හැක. 1971 අප්‍රේල් කැරැල්ලට පෙර පළාතේ කැරලිකරුවන් බොහෝ දෙනකුට අවි හරඹ පුහුණුව දුන්නේ ඔහුය.

1970 වසරේ අවසාන භාගය වන විට ජවිපෙද ක්‍රියාශීලිව සංවිධානය විය. ගාන්ධි විසින් තම බිරිය රුවන්වැල්ලටත්, පියා තම අක්කා විසූ පස්යාලටත්, පිටත්කර යවන ලදී. තම නිවස 1971 අප්‍රේල් කැරැල්ලේ ජවිපෙ ප්‍රාදේශීය මූලස්ථානය විය. අවි ආයුධ ඇතුලු‍ අනිකුත් උපකරණ ආරක්ෂා කරතැබීමට වෙනම භූගත ස්ථානයන් ඉදිවිය. ගරිල්ලා සටන් උපක්‍රම සහ උපදෙස් සාමාජිකයෝ ලේඛන මගින් හදාරන්න වූහ.

පොලිසිය විසින් ගාන්ධි පිළිබඳව විමසිලිමත් වූයේ 1971 මැද භාගයේදීය. සතොස සේවයට යාම නැවතූ  ගාන්ධි ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට අවතීර්ණ විය.

1971 කැරළිකරුවන් සොයමින් කැලෑ පීරන ආරක්ෂක හමුදා භටයින්

අප්‍රේල් කැරැල්ල වන විට ගාන්ධිගේ එක් සටන් සගයකු වූයේ බඩල්ගම කෙහෙල්ඇල්ලේ ජී.පී.ජී. සරත් කුමාරය. වර්තමානයේ ඔහු පදිංචිව සිටින්නේ දෙහිඅත්තකණ්ඩියේ මහවැලි ජනපදයකය. එවකට සරත් වයස අවුරුදු 15ක පාසල් සිසුවෙකි. ඒ අතීතය ලියුම්කරු සමග වසර 54කට පසු ආවර්ජනය කළේ මෙසේය.  

“‘‘71 අප්‍රේල් 05වන විට මාගේ වාර විභාගය සඳහා සූදානම් වෙමින් සිටියා. එදින 1971 අප්‍රේල් 5 පස්වරු දෙකට පමණ චන්ද්‍රදාස පැමිණ හේමවර්ධන ඉන්නේ කොහේ දැයි මගෙන් ඇසුවා. ගාන්ධි මට උපදෙස් දී තිබුණේ හේමවර්ධන සොයා ගෙන පැමිණියොත් ඔහුව රැගෙන ගාන්ධි සැඟවී සිටි ස්ථානයට රැගෙන එන ලෙසයි.” 

“ඒ අනුව මා චන්ද්‍රදාසව ගාන්ධිගේ නිවස ආසන්නයේ ඇති කුඹුර පාමුල ඇති ශ්‍රීපාද අමුණ යයි සඳහන් ස්ථානය අසල නිවසකදී මුණගැස්සුවා. එහිදී චන්ද්‍රදාස විසින් 1971 අප්‍රේල් 5 දින රාත්‍රී 11.30 පහර දීමට (සියලු‍ම පොලිස් ස්ථාන වෙත) උපදෙස් ලැබී ඇති බව පවසන ලදී. 1971 අප්‍රේල් 05 රාත්‍රී 7 පමණ වන විට සියලු‍ම සාමාජිකයන් ශ්‍රීපාද අමුණ අසලට රැස්වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡාවෙන් පසු සැඟවූ ආයුධ එකතු කර එහි ඇති නො. 12 - 16 පතරොම් වෙන්කර ඇසිරූ අතර, එම අවස්ථාවේ තිබුණ එකම ගිනි අවිය ගාන්ධිගේ බලපත්‍ර සහිත බෝර 12 අවිය පමණකි. රාත්‍රී නිවෙස්වල තිබූ බලපත්‍ර සහිත ගිනි අවි සියල්ල ගත් අතර, අවි බලය පිරිමසා ගැනීමට හැකි විය.”

“මීගමුව ඩිපෝවට අයත් මරදගහමුල ගාල් කිරීමට එන බස් රථය පැහැර ගත් අතර,කොච්චිකඩේ මීගමුව පොලිස් ස්ථාන වෙත පහරදීමට පිටත් විය. ඉන් පසු නැවත කෙහෙල්ඇල්ලට පැමිණියේ සති 2කට පමණ පසු උඩුබද්දාව ඩිපෝවට අයත් බස් රථයක් පැහැරගෙන එම බස් රථයෙනි.” 

එදින රාත්‍රියේද ගාන්ධි තමාට හමුවූ බව සරත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

වසර 1971 අප්‍රේල් බඩල්ගම කෙහෙල්ඇල්ලේ සිදුවූ  71 සිද්ධි මාලාවෙන් බොහෝමයක් සියැසින් දුටු එක් අයෙකු වූයේ එවකට කෙහෙල්ඇල්ලේ පදිංචිව සිටි පරාක්‍රම නිරිඇල්ලය. වර්තමානයේ ඔහු ප්‍රවීණ කලා ශිල්පියෙකි. පරාක්‍රම නිරිඇල්ල ලියුම්කරු සමග අතීතය ආවර්ජනය කළේ මෙසේය. 

“මගේ මවගේ අභාවයෙන් පසු 1957 සිට මා හැදී වැඩුණේ මවගේ වැඩිමහල් සොහොයුරියගේ කෙහෙල්ඇල්ලේ නිවසේය. මෙය මාගේ සීයාගේ ද ගමය. මැද වලව්වේ අක්කර 8ක පමණ සේනානායක පරපුරට අයත් ඉඩමක් ද විය. බදුකරු විසින් එහි අන්නාසි වගාවක් පවත්වා ගෙන යන ලදී. එබැවින් එය අන්නාසි වත්ත ලෙසද හැදින්විණි. අප්‍රේල් කැරලිකරුවන් විදුහල්පති තිසේරා ගේ තුවක්කුව බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණියහ. බියට පත් ඔහු එහිදී තැබූ වෙඩි පහරක් කැරලිකරුවෙක් වූ ෆොන්සේකාට වැදිණි. කැරලිකරුවන්ගේ වෙඩි තැබීමෙන් විදුහල්පති තිසේරා ද ඝාතනය විය. එකල කෙහෙල්ඇල්ල අයත්ව තිබුණේ දිවුලපිටිය ආසනයටය. වෙඩි වැදුණු කැරලිකරු සහ මිය ගිය තිසේරා ගෙන ගියේ හොරගස්ස රෝහලටය. වර්තමානයේ එය හැඳින්වෙන්නේ දිවුලපිටිය රෝහල නමිනි. මෙම සිද්ධීන් රූපරාමුවක් මෙන් තමාට සිහිපත් වන බව පරාක්‍රම නිරිඇල්ල වැඩිදුරටත් කියා සිටියේය...” 

ඇල්බේනියානු කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් 1964 ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශන්මුගදාසන්ගේ චීන පිලේ තරුණ සංවිධානය වෙනුවෙන්  විජේවීර එහි භාෂා පරිවර්තකයා වශයෙන් කටයුතු කරමින්

 

සිය නිවස මූලස්ථානය කරගෙන කැරලිකරුවන් වෙනුවෙන් ගාන්ධි නායකත්වය ගෙන සටන් කළ අතර, දෙසතියකට පමණ පසු රාත්‍රියේම බඩල්ගම මාඔය අසල පොල්වත්තකට පසු බැස කඳවුරු බඳින ලදී. පරාජය පැහැදිලිව පෙනුණ නමුත් ගාන්ධි භාරවීම ප්‍රතික්ෂේප කළ අතර, අනිකුත් සගයින්ද එයට අනුකූලතාව දැක්වූ අතර, මේ වන විට මෙහි නිල නොලත් නායකයා ගාන්ධි විය. මාඔය අසල පොල්වත්තට හදිසියේ පොලිසිය සහ ගුවන් හමුදා ඒකාබද්ධ ප්‍රහාරයක් සිදුවිය.

මෙම ප්‍රහාරයේ දී ගාන්ධි ප්‍රධාන කණ්ඩායම දක්ෂ ලෙස සටන් වැදුණ අතර පොලිස් ගුවන් හමුදා ඒකාබද්ධ බළකායට සිදුවූ පරාජය කෙතෙක් ද යත් ඔවුන්ගේ ට්‍රක් රථයත් දමා පසු බැස ගිය අතර ට්‍රක් රථයට පසුව කැරලිකරුවන් විසින් ගිනි තබන ලදී.

ඉන්පසු කෙහෙල්ඇල්ල අන්නාසිවත්ත කදවුර ස්ථාපිත විය. දින කිහිපයකට පසු මෙම කඳවුරටද ගුවන් හමුදා සහ පොලිසිය ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කරන ලදී. එහිදී ද ගාන්ධි ප්‍රමුඛ කණ්ඩායමේ ප්‍රහාර හමුවේ ගුවන් හමුදා සහ පොලිසියට පසුබසින්නට සිදුවිය. නමුත් එම කෙහෙල්ඇල්ල අන්නාසිවත්ත කඳවුරේ සිටි පැපොල රෝගය සෑදි අසාධ්‍යව සිටි දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ආරක්ෂක අංශ සිය ජීප් රථයක බොනට්ටුව මත ප්‍රදර්ශනය කරමින් රැගෙන යනු ලැබීය. 

මෙදිනම ජවිපෙට සම්බන්ධයක් නොමැති සෝමරත්න සහ ආරියවංශ යන සොහොයුරන් සහ දාවිත් සිං​ෙඤා් යන තිදෙනා  අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුහු අසුවුණේ ඔවුන් විසින් සඟවන ලද නීතිවිරෝධි මත්පැන් සැඟවූ තැනින් ගැනීමට යාමේදීය. නමුත් ඔවුන් තිදෙනා ජවිපෙ ගොඩට දමා ඝාතනය කරන ලදී.

මෙදින රාත්‍රි 7ට පමණ පොලිසියෙන් පැමිණ ගාන්ධිගේ නිවසට ගිනි තබන ලද අතර, එම අවස්ථාවේදී ගේ තුළින් බිහිසුණු පිපුරුමක් ඇතිවිය. ගෙය සුනුවිසුනු විය. පොලිසිය හිස් ලූ ලූ අත දිවගිය අතර, ඔවුන් එම පිපුරුම ගාන්ධිගේ ප්‍රහාරයක් යයි විශ්වාස කරන ලදී. ගාන්ධිගේ නිවසේ සොල්දරයේ  ඩයිනමයිඩ් කරල් 100කට අධික ගණනක් සඟවා තිබූ අතර, එසේ පිපුරුණේ එම ඩයිනමයිඩ් කරල් බව කියති. 

කෙහෙල්ඇල්ල කඳවුර බිඳවැටෙන කාලසීමාවේ දී බඩල්ගම කඳවුරට නායකත්වය දුන්නේද ගාන්ධිය. උතුරු කොළඹ දිස්ත්‍රික් ලේකම් චුකී ප්‍රේමරත්න, මැද කොළඹ දිස්ත්‍රික් ලේකම් ජයතිලක හෙට්ටිආරච්චි ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් කීපදෙනෙක් දින කිහිපයක් ජාඇල සම්බන්ධීකරණ කාර්යාලයකට ගොනුවී සිටියහ. එම කඳවුරු විසුරුවා හැර විල්පත්තුවට පසු බැසීමට ඔවුන් තීරණයක් ගෙන තිබූ බවද කියති. 

නිරායාසයෙන්ම පරාජය පිළිගත යුතු හෙයින්, ගාන්ධි ප්‍රමුඛ කණ්ඩායම විසිර යාමට තීරණය කරන ලදී. මෙම කඳවුරේ සිටි එකම තරුණිය වූයේ මීරිගම කමලාවතී හෙවත් ලලිතාය. ඇය එම කාලය තුළ සෙසු කැරලිකරුවන් සමග එඩිතරව සටන් බිමේ ක්‍රියාත්මක වූවාය. කඳවුර විසුරවන විට මීරිගම කමලාවතී හෙවත් ලලිතාව ආරක්ෂිත ස්ථානයකට ගාන්ධි විසින් රැගෙන යමින් සිටිය දී ඔහු පන්නල දී පොලිස් අත්අඩංගුවට  පත්විය. 

මේ වන විට ඔහු ගාන්ධි බව පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කිසිවකු නොදැන සිටි අතර, මම ගාන්ධි යයි ඔහු ප්‍රකාශ කළ විට පොලිස් භටයන් මවිත වී ඇතැයි කියති. ගාන්ධීගේ සටන් පෙරමුණේ නායකත්වය ගැන ඔවුන්ට ඒ වන විටද වාර්තා වී තිබිණි. පසුව කෝපයට පත් ඇතැම් පොලිස් නිලධාරීන් තිරශ්චින ලෙස ගාන්ධිට යකඩ පොලු‍ ආදියෙන් පහර දී අත්පා කඩා ජිප්රියෙහි බැඳ මහමඟ ප්‍රදර්ශනය කළ අතර, පසුව මරා ගිරිඋල්ලේ දී මා ඔයට දමන ලදී. ගාන්ධි පිළිබඳව කිසිදු තොරතුරක් ඉන් පසු දැනගැනීමට නොලැබිණි. 

කිසිවකු පාවා නොදී නියම සටන්කරුවකු ලෙස කෙහෙල්ඇල්ලේ උපන් චන්ද්‍රසේන මුදලිගේ ආරියවංශ චන්ද්‍රසේකර හෙවත් ගාන්ධි මරණය තෝරා ගන්නා ලදී. ගාන්ධි සිය මිතුරන්ට නිරතුරුවම පැවසූ වදනක් විය. එනම් ‘විප්ලවවාදියෙක් සිටිය යුත්තේ සටන් බිමකය. නැතිනම් සිරගෙයකය. එසේත් නොමැතිනම් සොහොන් බිමකය.‘ 

ගාන්ධි ඝාතනය වන විට ඔහු තිදරු පියෙකි. තෙවන දරුවා වූ ප්‍රියදර්ශනී ඒ වන විට මාස 8කි. ගාන්ධිගේ බිරිය සොමිලාවතී වික්‍රමසූරිය එම දරුවන් සමග දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවිතයට මුහුණ දුන්නාය. රුවන්වැල්ලේ සිය ඥාතීන් ගෙන් ඇයට සහ පවුලේ අයට හැකි උපරිම අයුරින් උදව් උපකාර ලැබිණි. ගාන්ධිගේ බිරිය සොමිලාවතී 2024 අගෝස්තු 14 දිවියෙන් සමුගත්තාය.  

ගාන්ධිගේ වැඩිමහල් දියණිය පද්මිණී පොල්ගහවෙල ලොකු අම්මා ළඟ හැදී වැඩුණාය. පද්මිණී 19 වැනි වියේ දී දිවියෙන් සමු ගෙන තිබිණි. එකම පුත්‍රයා වූ මංජුල දැන් 57 හැවිරිදිය. අවිවාහකය. ජීවත්වන්නේ රුවන්වැල්ලේය. මංජුල ත්‍රීරෝද රථ වෘත්තියේ නිරතය. ගාන්ධිගේ කනිටු දියණිය දැන් 56 හැවිරිදිය. තිදරු මවක් වූ ඇය ප්‍රියදර්ශනීය. ජීවත් වන්නේ දූනගහ ය. ඇයගේ දූ පුතුන් වූ ගාන්ධිට සිටින මුනුබුරු මිනිබිරියන් සංඛ්‍යාව තිදෙනෙකි. ඒ යශ්මි, දීපා සහ හරීන්ය. ප්‍රියදර්ශනී වර්තමානයේ ජවිපෙ මීරිගම ආසනයේ ක්‍රියාකාරී ය. ජාතික ජන බලවේගය යටතේ මීරිගම ප්‍රාදේශීය සභාවට 2025දී ප්‍රියදර්ශනී තරග කළාය. 

වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී සමගි පෙරමුණ ආණ්ඩුව අතින් ඝාතනයට ලක්වූ කැරලිකරුවන් සංඛ්‍යාව මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව 5,000කට ආසන්නය. එවකට ආණ්ඩුව විසින් ප්‍රකාශ කළ නිල දත්ත අනුව ඝාතනයට ලක්වූ කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 1,200ක් පමණ වේ. එමෙන්ම ජවිපෙ මගින් ප්‍රකාශ කර ඇති පරිදි එම 1971 කැරැල්ලේදී මිය ගිය සංඛ්‍යාව 15,000කට ආසන්නය. රජයේ වාර්තා අනුව අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරු 11ක රඳවා සිටි කැරලිකරුවන්ගේ සංඛ්‍යාව 17,953කි. ඉන් පොදු දේශපාලන සමාව යටතේ භාරවූ සංඛ්‍යාව 4,200කි.

71 අප්‍රේල් කැරැල්ලට අදාළ මෙම ලිපි මාලාව පිළිබඳ වැඩි විස්තර ධර්මන් වික්‍රමරත්න ගෙන් ලබාගත හැකිය. දුරකථනය/ වට්ස්ඇප් 071-2733986

ජවිපෙ මගින් ප්‍රකාශයට පත්කළ 1970 සැප්තැම්බර් මංගල කලාපය

කෙහෙල්ඇල්ලේ ආරියවංශ චන්ද්‍රසේකර හෙවත් ගාන්ධි

1971 අප්‍රේල් කැරැල්ලට පෙර බිත්තියක අලවා තිබූ සටන් පාඨයක්

 

ජවිපෙ රැළියක් අවසානයේදී විජේවීර ජනතාවගේ අාධාර මුදල් ලබාගනිමින් සහ රැස්වීමක් අමතමින්

වම්පස ඡායාරූප දෙකෙන් දැක්වෙන්නේ ගාන්ධිගේ සටන් සගයෙකු වූ එවකට පාසැල් සිසු කෙහෙල්ඇල්ලේ සරත් කුමාර 1971දී සහ වර්තමානයේදීය.