ලංකාවේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියෙහි ”‍ස්ත්‍රී දූෂණය”‍ සහ ”‍ළමා අපයෝජනය”‍ යන වචන ඇසෙන මාත්‍රයෙන් සමාජයෙහි ඇතිවන්නේ දැඩි කෝපයකි. එම කෝපය සාධාරණය. නමුත් එම චෝදනාවම පුද්ගලයකුගේ චරිතය ඝාතනය කිරීමටත්, ඔහු සමාජයෙන් කොන් කිරීමටත් භාවිත කරන ”‍මාරාන්තික අවියක්”‍ බවට පත්වීමේ හැකියාවක් ඇති බවද වටහාගත යුතුය. 
 
නීතිය හමුවේ වරදකරු වීමටත් පෙර, ජන මාධ්‍ය මගින්, රාජ්‍ය නොවන සංවිධාන මගින්  ඔහුව වරදකරු කිරීම අනුව පොලිස් කූඩුව සහ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ නිර්දෝශී පුද්ගලයන් අත්විඳින දැඩි මානසික කඩා වැටීම මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත සමාජයෙන් එල්ල වන දැඩි අපවාදය, පිළිකුල හා කොන් කිරීම වැනි නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි පීඩා සම්බන්ධව අවධානය යොමු කිරීම ශිෂ්ට සම්පන්න සමාජයක වගකීමකි.
 
ලිංගික හිංසන සම්බන්ධව අපේ රටේ ඉතා දැඩි නීති පවතින අතර ඒවා ක්‍රියාත්මක කිරීමේ කාර්ය පටිපාටිය අනුව ආරම්භයේදීම පැමිණිල්ලට දැඩි වාසි සහගත වන ආකාරයට සැකසී ඇති බව දක්නට ලැබේ . එම ක්‍රියාවලිය තුළ ”‍නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය”‍  යන මූලධර්මය ප්‍රායෝගිකව අභියෝගයට ලක්ව ඇත.
 
නීතිය සහ ප්‍රායෝගික අර්බුදය 
 
ශ්‍රී ලංකාවේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ලිංගික අපරාධ යනු ”‍සංඥය”‍ (Cognizable) වරදවල් වේ. එනම් වරෙන්තුවක් නොමැතිව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය ඇත.
 
මෙහි ඇති ප්‍රධාන ගැටලු‍ව වන්නේ 1997 අංක 30 දරන ඇප පනත ක්‍රියාත්මක වන ආකාරයයි. ලිංගික අපරාධ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු විගස, බොහෝ විට මහේස්ත්‍රාත් අධිකරණ මගින් ඇප ලබා දීමට මැළිකමක් දක්වයි. විශේෂයෙන්ම විමර්ශනවලට බාධාවක් විය හැකි බවට පොලිසිය කරන වාර්තා මත පදනම්ව පුද්ගලයකු මාස ගණනාවක් රිමාන්ඞ් බන්ධනාගාර ගතවීමට සිදුවේ.
 
මෑතකදී වාර්තා වූ එක් සිදුවීමකදී, පාසල් දැරියක් තම පියාට ඇති වෛරය නිසා ඔහු තමන් අපයෝජනය කළ බවට බොරු පැමිණිල්ලක් කළාය. පියා මාස අටක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි අතර, පසුව දැරිය විසින්ම එය අසත්‍යයක් බව අධිකරණයේදී පිළිගත්තාය. නමුත් ඒ වන විටත් එම පුද්ගලයාගේ රැකියාව අහිමි වී, ඔහුගේ ආත්ම ගෞරවය සහමුලින්ම සිඳී ගොස් තිබිණ. මෙය තවත් ඕනෑම කෙනෙකුට සිදුවිය හැකි තත්ත්වයකි. විශේෂයෙන්ම කැමැත්තෙන් ලිංගික සබඳතා පැවැත්වීමක් සම්බන්ධව බාල වයස්කාර ගැහැනු ළමයෙකු අනාවරණය වුවහොත් ඇය විසින් තමන් සමග ලිංගික සබඳතා පැවැත්වූ  සත්‍ය පුද්ගලයා නීතියෙන් බේරා ගැනීම සඳහා ඔහුගේ නම  වසන් කරමින්  ඒ වෙනුවට වෙනත් විවිධ පුද්ගලයන් නම් කරමින් පොලිසියට ප්‍රකාශ ලබා දෙන අවස්ථා බොහෝ ඇත. එසේම යම් පුද්ගලයකු කෙරෙහි පෞද්ගලික මට්ටමේ ඇති හේතුවක් මත ඔහු විසින් තමා හට ලිංගික අතවරයක් කළ බවට ව්‍යාජ පැමිණිල්ලක් සිදු කළ හොත් කිසිදු වග විභාගයකින් තොරව එම ප්‍රකාශය මත පමණක් පදනම්ව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම දක්නට ඇත.සමාජයේ කීර්තිමක් පුද්ගලයන් ,ඉහළ නිලධාරීන් ,ආගමික නායකයන් වැනි ඕනෑම කෙනකුට  එරෙහිව මෙවන් ව්‍යාජ චෝදනා එල්ල කිරීමේ හැකියාව ඇත. 
 
නඩු විභාගයකදී රජයේ නීතිඥවරයාගේ කාර්යය වන්නේ සත්‍යය සොයා ගැනීමට අධිකරණයට සහාය වීම මිස කෙසේ හෝ විත්තිකරු හිරේ යැවීම නොවේ. නමුත් ප්‍රායෝගිකව, බොහෝ විට ඔහු චූදිතයා දෙස බලන්නේ අතිශය වෛරී සහගත දෘෂ්ටියකින් බව නිරීක්ෂණය කළ හැකි වේ.
 
මාධ්‍ය සංදර්ශන සහ “මාධ්‍ය මගින් නඩු ඇසීම” 
 
පුද්ගලයකු අත්අඩංගුවට ගත් විගස මාධ්‍ය විසින් ඔහු “ස්ත්‍රී දූෂකයකු”හෝ ”‍සල්ලාලයෙකු”‍ ලෙස හංවඩු ගසයි.  චූදිතයා භික්ෂූන් වහන්සේ නමක් නම් උන්වහන්සේ “චීවරධාරියකු’” බවට පත්වේ.මෙහිදී අහිංසකභාවයේ පූර්ව නිගමනය (Presumption of Innocence) නමැති නීති මූලධර්මය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වේ. වසර ගණනාවකට පසු ඔහු නිදොස් කොට නිදහස් වූ විට, එම මාධ්‍ය ආයතනයම ඒ පිළිබඳව කුඩා පුවතක්වත් පළ කරන්නේ නැත.
 
මාධ්‍ය මගින් ලබා දෙන ප්‍රචාරය ලබා ගැනීම සඳහාම රාජ්‍ය නොවන සංවිධාන විසින් මීට සමගාමීව මාධ්‍ය සාකච්ඡා , උද්ඝෝෂණ විරෝධතා සංවිධානය කොට චූදිතයාට නීතිඥ සහාය ලබා නොදෙන ලෙසටත් බලපෑම් සිදුකරන අවස්ථා දක්නට ඇත.මෙවැනි තත්ත්වයන් නිසා ඇතිවන මානසික පීඩනය හේතුවෙන් නිර්දෝෂී පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පවා පෙලඹෙන අවස්ථාද  දක්නට ඇත.
 
වින්දිත තැනැත්තිය වෙනුවෙන් නීතිඥයන් පෙනී නොසිටීම සම්බන්ධව අවලාද නැගීම 
 
කාන්තාවකට හෝ දැරියකට ලිංගික අතවරයක් සිදු වූවා යැයි කිවූ වහාම ඇය වෙනුවෙන් විශාල නීතිඥයන් පිරිසක් පෙනී සිටිය යුතු බවටත් චූදිතයා වෙනුවෙන් නීතිඥවරු කිසිවෙකු පෙනී නොසිටිය යුතු බවටත් මතයක් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යවලින් සමාජයෙහි පතුරනු දක්නට ලැබේ. නමුත් සත්‍ය සහ ප්‍රායෝගික තත්ත්වය වන්නේ මෙහිදී පැමිණිලිකාර තැනැත්තිය වෙනුවෙන් පෞද්ගලිකව නීතිඥයන් පෙනී සිටීමක් අවශ්‍ය නොවීමයි. පැමිණිල්ල මෙහෙයවන්නේ පොලිසිය වන අතර මහාධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයෙක් ඒ සඳහා පෙනී සිටි. එනම් මෙහිදී පෞද්ගලික නීතිඥයන්ට උසාවියේදී පැමිණිල්ල ඔප්පු කිරීම සඳහා ඉදිරිපත් වීමට අවකාශ නොලැබේ. යම් ආකාරයකින් එසේ නීතිඥයන් ඉදිරිපත් වන්නේ නම් ඔවුන්ට කළ හැක්කේ පැමිණිලිකාරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම පමණි. පෞද්ගලික නීතිඥවරයාට සෘජුවම නඩුව මෙහෙයවීමට හෝ විත්තිකරුගෙන් ප්‍රශ්න ඇසීමට නොහැක.
 
එමෙන්ම විත්තිකරුට සහාය සඳහා නීතිඥවරයකු ලබාදීමට එරෙහිව මහජන මතයක් ඇති කළද අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සෑම සැකකරුවකුටම නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතිය ඇත. මෙය ජාත්‍යන්තරව ද පිළිගන්නා මානව හිමිකමකි. ඒ අනුව යම් හෙයකින් නීතිඥවරුන් කිසිවකු සැකකරු වෙනුවෙන් ඉදිරිපත් නොවන්නේ නම් ඒ සඳහා අධිකරණය මගින් ඔහු වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා නීතිඥවරයකු රජයේ වියදමින් පත්කරනු ඇත. 
 
යුක්තිය පමාවීම යුක්තිය අහිමි කිරීමකි 
 
ලංකාවේ මහාධිකරණයක ලිංගික අපරාධ නඩුවක් අවසන් වීමට ගතවන කාලය වසර 10 සිට 15 දක්වා, සමහරවිට ඊටත් වඩා කාලයක් දීර්ඝ විය හැක. මෙය විත්තිකරුට මෙන්ම වින්දිතයාටද කරන බලවත් අසාධාරණයකි.
 
විත්තිකරුගේ දෘෂ්ටියෙන් සැලකූ විට ඔහු වසර ගණනාවක් පුරා ”‍සැකකරුවකු”‍ ලෙස සමාජය ඉදිරියේ ගැරහීමට ලක්වේ. රැකියාවේ උසස්වීම් අහිමි වේ. සමහර විට රැකියාව අහිමි වේ. වෙනත් රැකියාවක් සොයා ගැනීමත් ඉතා දුෂ්කර වේ.විදේශගත වීමට නොහැකි වේ, පවුලේ අයට දැඩි අපවාදවලට යොමු වීමට සිදුවේ, සමාජයෙන් කොන්වීමට පිළිකුලට ලක් වේ.
 
වින්දිතයාගේ දෘෂ්ටියෙන් බැලූ කල වයස 12 දී අතවරයට ලක්වූ දරුවා, නඩුව අවසන් වන විට වයස 27ක පමණ තරුණියකි. සමහර විට ඇය විවාහ වී දරුවන් සිටින මවක් විය හැක. ඇයට යළිත් එම අඳුරු අතීතය අධිකරණය ඉදිරියේ දිගහැරීමට සිදුවීම ඇයගේ වර්තමාන පවුල් ජීවිතයට පවා බලපායි. 
 
ජයසූරිය එදරිව නීතිපති (Jayasuriya v. Attorney General(1994) 2 SLR 74නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ද පෙන්වා දී ඇත්තේ සාධාරණ කාලයක් තුළ නඩුවක් විභාග නොකිරීම විත්තිකරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි. නමුත් ප්‍රායෝගිකව මෙය තවමත් ක්‍රියාත්මක නොවේ.
 
ජාත්‍යන්තර ක්‍රමවේද සහ අපට ගත හැකි පාඩම් 
 
ලෝකයේ අනෙක් රටවල් මෙම ”‍අසත්‍ය චෝදනා”‍ සහ ”‍නඩු පමාව”‍ පාලනය කරන්නේ කෙසේදැයි සලකා බැලීම මෙහිදී වැදගත් වේ. මේ සඳහා ප්‍රධාන ප්‍රවේශයන් තුනක් නිරීක්ෂණය වේ.
 
  1. වේගවත් අධිකරණ: ඉන්දියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල ලිංගික අපරාධ සඳහා විශේෂිත අධිකරණ පවතින අතර ඒවායේ නඩු විභාග වසරක් ඇතුළත අවසන් කළ යුතුය.
  2. විත්තිකරුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම: බොහෝ යුරෝපීය රටවල, විත්තිකරු වරදකරු වන තෙක් ඔහුගේ නම හෝ ඡායාරූප මාධ්‍යයට ලබාදීම තහනම්ය. මෙය අසත්‍ය චෝදනාවලින් නිර්දෝෂී පුද්ගලයන් ආරක්ෂා කරයි.
  3. පැමිණිලිකරුගේ වගකීම: අසත්‍ය පැමිණිල්ලක් කළ බව ඔප්පු වුවහොත්, පැමිණිලිකරුට එරෙහිව වහාම නීතිමය පියවර ගෙන වින්දිතයාට (චූදිතයාට) විශාල වන්දි මුදලක් ගෙවීමට නියම කෙරේ.
විසඳුම් සහ ප්‍රතිසංස්කරණ: මාවතක් සොයා යාම 
 
ශ්‍රී ලංකාවේ පද්ධතිය පිරිසිදු කිරීමට නම් පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
 
මනෝවිද්‍යාත්මක ඇගයීම (Psychological Profiling) 
 
පැමිණිල්ලක් ලද සැණින් අත්අඩංගුවට ගැනීමට පෙර, පැමිණිලිකරුගේ සහ විත්තිකරුගේ හැසිරීම් රටා පිළිබඳ මනෝවිද්‍යාත්මක වාර්තාවක් ලබා ගැනීම (විශේෂයෙන් පෞද්ගලික ආරවුල් පවතින විට) අත්‍යවශ්‍ය වේ.
 
සාක්ෂි ආරක්ෂා කිරීමේ පනත (Victim and Witness Protection Act) ශක්තිමත් කිරීම 
 
මෙම පනතේ අරමුණ වින්දිතයා රැකීම වුවද, විත්තිකරුට එරෙහිව බොරු සාක්ෂි දීමට පෙලඹෙන ”‍සාක්ෂිකරුවන්”‍ හඳුනාගැනීමටද එහි ප්‍රතිපාදන තිබිය යුතුය.
 
වේගවත් හෝ වෙන් කරන ලද අධිකරණ පද්ධතියක් 
 
මහාධිකරණ වෙත ලැබෙන ලිංගික අපරාධ නඩු, වෙනත් සිවිල් හෝ අපරාධ නඩු සමග මිශ්‍ර නොකර, විශේෂිත දින වෙන් කර (Day-to-day trial) වසරක් ඇතුළත අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ සේවා කොමිෂන් සභාව එක්ව වැඩපිළිවෙළක් සැකසිය යුතුය. ශ්‍රී ලංකාවේ ඇති ලිංගික අපරාධ සම්බන්ධ නඩු ප්‍රමාණය සහ පොලිසියට වාර්තාව වන සිදුවීම් සංඛ්‍යාව සලකා බලන විට එම අපරාධ විසඳීම සඳහා පමණක් විශේෂිත වූ මහාධිකරණයක් වෙන් කිරීමට අවධානය යොමු කිරීමද වඩා සුදුසු වේ.
 
පූර්ව විමර්ශන වාර්තා (Pre-trial reports) 
 
පොලිසිය විසින් ඉදිරිපත් කරන ”‍බී”‍ (ඊ) වාර්තාවල අඩංගු කරුණු කෙතරම් දුරට තහවුරු කළ හැකිද යන්න ගැන මහේස්ත්‍රාත්වරයා දැඩි ලෙස සලකා බැලිය යුතුය. හුදෙක් චෝදනාව මත පමණක් රිමාන්ඩ් කිරීම වෙනුවට, ප්‍රමාණවත් සාක්ෂි ඇත්දැයි මුලදීම සොයා බැලිය යුතුය.
 
ලිංගික අපරාධ මර්දනය විය යුතුය; ඒ ගැන තර්කයක් නැත. නමුත් එම මර්දනයේ පලිහක් කරගනිමින් නිර්දෝෂී මිනිසුන්ගේ ජීවිත අළු කිරීමට හැකි  අසත්‍ය චෝදනා එල්ල කිරීමට ඇති අවකාශය පාලනය කිරීමට වත්මන් නීතිය අපොහොසත් වී ඇත. යුක්තිය යනු වැරදිකරුට දඬුවම් දීම පමණක් නොව, විත්තිකරුට සාධාරණ නඩු විභාගයක් සහ ගෞරවාන්විත ජීවිතයක් සහතික කිරීමයි. ”‍ප්‍රමාද වූ යුක්තිය යුක්තිය ප්‍රතික්ෂේප කිරීමකි”‍ (Justice delayed is justice denied) යන ආප්තෝපදේශය ශ්‍රී ලංකාවේ අධිකරණ ශාලා තුළ සැබෑවක් වන දිනයක් අප උදා කරගත යුතුය.
 
නීතිඥ, වෛද්‍ය පාලිත  බණ්ඩාර සුබසිංහ