
දැන් දැන් යළිත් ආර්ථිකය ගැන අසන්නට ලැබෙන්නේ එතරම් සුබදායී පුවත් නොවේ. අපේ පාලනයෙන් තොර මැදපෙරදිග යුද්ධයේ බලපෑම් නිසා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම තේරුම්ගත හැකි ය. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන ද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීම ද තේරුම්ගත හැකි ය. ඒ බාහිර කම්පන අපට නතර කළ නොහැකි වුව ද අභ්‍යන්තර ආර්ථික ප්‍රතිසංස්කරණ හා පාරිභෝජන රටාවේ වෙනස්කම් මගින් ඉදිරි අර්බුදවලදී පෙර සූදානම සකස් කර ගත හැකි ය. ශ්‍රී ලංකාවේ ආර්ථික කථිකාවේ 1978 වසර විශේෂ වන්නේ විවෘත ආර්ථිකය හඳුන්වාදීම නිසා ය. ඒ විවෘත ආර්ථිකයෙන් නිෂ්පාදන අංශය පිබිදී වියට්නාමයේ, චීනයේ හා තායිලන්තයේ සිදූ වූවාක් මෙන් විදේශ සංචිත ඉහළ ගොස් තරවූ ආර්ථිකයක් බිහිවෙතැයි අපේක්ෂාවක් තිබුණ ද ලංකා පොළොවේ එවැන්නක් සිදු වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ අධිපාරිභෝජනවාදී සමාජයක් බිහිවීමත් පිටරටින් එන සුඛෝපභෝගී භාණ්ඩ නැතිව බැරි සමාජයක් බිහිවීමත් ය.
ලංකාව නැති බැරි ආර්ථිකයක් සහිත රටක් ය යන්න මුසාවාදයක් නොවේ. ආර්ථිකය විවෘත කර පන්සාළිස් වසකට වැඩිකාලයක් ඉක්ම ගොස් ඇතත් අප තවම කතා කරන්නේ ඩොලර් බිලියන 6 ක් තරම් සොච්චම් විදේශ සංචිතයක් ගැන ය. 1990 ගණන්වල අප හා සමානව හෝ අපටත් වඩා පසුපසින් සිටි වියට්නාමය තායිලන්තය වැනි රටවල් අද විදෙස් සංචිත අතින් යෝධයන් ය. අපි අපේ තරම දැන්වත් තේරුම්ගත යුතු වෙමු. ආර්ථිකයේ ප්‍රමාණයට සරිලන පරිභෝජන රටාවක් හදා ගත යුතු ය. සුඛෝපභෝගී භාණ්ඩ පරිහරණය හොඳ ආර්ථිකයක ලක්ෂණයක් වුවත් ලංකාව හොඳ ආර්ථිකයක් නොවේ. එනයින් සුඛෝපභෝගී පරිභෝජනයෙන් ඈත් ව නැවෙන් කටට ප්‍රතිපත්තිය වෙනස් කළ හැකි ආකාරය ගැන සිතිය යුතු ය. එයින් නොනැවතී හැකි දේ නිෂ්පාදනය කෙරෙහි ද ගත සිත වෙහෙසිය යුතු ය. මේ පූර්විකාවෙන් මතු කළ කාරණා ප්‍රශ්න කරමින් ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ සමග කළ සාකච්ඡාවකින් සකස් කළ ලිපියක් මෙසේ ය.
රාජ්‍ය යාන්ත්‍රණයේ හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති අකාර්යක්ෂමතා තවමත් එලෙසම පවතී. ආර්ථික අර්බුදයකට මුහුණ දුන් පසු එයින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යන බවක් දිස්වන්නේ නැත. බැංකු පද්ධතිය වෙත ඩොලර් ආකර්ෂණය කරගැනීම අධෛර්යවත් කරන බාධාක රැසක් පවතින බව ද කිව යුතු ය. එබැවින් ඊට අදාළ නීති රීති ලිහිල් කළ යුතු ය.
වසර 2022 උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත් විය. ඉන්පසු ක්‍රමයෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත් විය. ඒ සඳහා පැවති හා පවතින ආණ්ඩුත් මධ්‍යම බැංකුවත් සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේ ය. වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හොත් එයින් ජනතාව මත දැවැන්ත පීඩනයක් පතිතවීම වැළැක්විය නොහැකි ය. ආර්ථික අර්බුදයත් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සිදු වූ අතර එයින් සේවක අර්ථසාධක අරමුදලේ සේවකයන්ට දැනෙනසුලු බලපෑමක් සිදු විය. එසේම රජයට විශාල පොලී පිරිවැයක් දරන්නට ද සිදු විය. මේ සියලු දේවල් සිදු වූයේ ආර්ථික කළමනාකරණයේ උද්ගත වූ දුර්වලතා නිසා ය.
අධිපාරිභෝජනවාදී සමාජයක්
ශ්‍රී ලාංකික සමාජය අධිපාරිභෝජනවාදී සමාජයකි. අපේ සමාජය නිෂ්පාදනයට හුරු වන්නේ නැත. ලෝකයේ වෙනත් රටවලට තවත් රටවලින් භාණ්ඩ ගලා එනවිට තාක්ෂණය ද පැමිණේ. නිදසුනක් ලෙස ආනයනික ජංගම දුරකථන සමග ඊට අදාළ තාක්ෂණය ද පැමිණේ. එම තාක්ෂණය ඉගෙන ගනිමින් සිය රටවල එය ප්‍රචලිත කිරීමට බොහෝ රාජ්‍ය කටයුතු කරයි. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි භාවිතයක් තිබුණේ නැත. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවැසි පරිසරයක් අතීතයේ සිට නිර්මාණය වූයේ නැත. එසේම ඊට අවැසි ජනතා සහයෝගය ලැබුණේ ද නැත. මේ දෙකෙහි තිබෙන අසමතුලිතතාව නිසා ආර්ථිකයේ අඛණ්ඩ අර්බුද උද්ගත විය.
වාහන ආනයන සීමා ඉවත් කළ පසු 2025 දී ඩොලර් බිලියන 1.6 ක මුදලක් වාහන ආනයනය සඳහා වැය විය. අපේ ආනයන සැලකීමේදී ඉන්ධන ඇතුළු භාණ්ඩ කිහිපයක් හැර සෙසු ඒවා රට ඇතුළත නිෂ්පාදනය කළ හැකි ය. එහෙත් නිෂ්පාදනය නොකර ආනයනය කර පාරිභෝජනය කිරීම ශ්‍රී ලංකාවේ පුරුද්දක් බවට පත්ව ඇත. පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2025 දි රුපියල් බිලියන 1,663ක පමණ මුදලක් වැය විය. එයින් රුපියල් බිලියන 636 ක් වියදම් කර තිබෙන්නේ ආහාර හා පාන වර්ග ගෙන්වීමට ය. එළවළු ආනයනය කිරීමට රුපියල් බිලියන 121 ක් ද සීනි හා රසකැවිලි ගෙන්වීමට රුපියල් බිලියන 110 ක් ද වැය කර තිබේ. මෙයින් පැහැදිලි වන්නේ රටේ නිෂ්පාදනය කර පරිභෝජනයට ගත හැකි හා එයින් ද නොනැවතී වෙනත් රටවලට අපනයනය කර ඩොලර් ඉපැයිය හැකි භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබුණ ද අප ඒවාට අතගසා නැති බවත් ඒ වෙනුවට එම භාණ්ඩ වෙනත් රටවලින් ආනයන කරන බවත් ය.
රුපියල පිරිහීම හා ආනයන වියදම් වැඩිවීම
මේ සන්දර්භයේ දිගටම ආනයන-අපනයන පරතරය වැඩි විය. එම වැඩි වීම 2026 මාර්තු අවසන් වෙද්දි ඩොලර් මිලියන 800 ඉක්මවා ගොස් තිබිණ. එහි අර්ථය, එම මාසයේ දී අපනයනවලින් ඉපැයූ ආදායමට වඩා ආනයන සඳහා වැඩියෙන් ඩොලර් මිලියන 800 ක් වියදම් කර ඇති බව ය. ඇමෙරිකා-ඉරාන යුද්ධය අතරමග නතර වී තිබුණ ද එහි බලපෑම රටවල් රැසකට ඉතා නරක ලෙස බලපෑවේ ය. එයින් මෙරට ආර්ථිකයට ද අහිතකර බලපෑම් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රටින් පිටට ඇදී යන ඩොලර් ප්‍රමාණය වැඩි විය. එසේම රටට ලැබෙන ඩොලර් ආදායම් ද අඩු වී තිබේ. මෙම වසරේ පළමු මාස තුනක කාලය ගතහොත් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමය පහළ යෑමක් දැකිය හැකි ය. එහෙත් විදේශ ප්‍රේෂණවල වර්ධනයක් දකින්නට පිළිවන. 2025 දී විදේශ ණයවලින් යම් ප්‍රමාණයක් ගෙවීමට සිදු විය. එමෙන් ම එම වසරේ දී මහ බැංකුව සතු සංචිත වැඩි කරගැනීමට ද හැකි වූයේ නැත.
මේ පසුබිමේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය දිගටම පිරිහෙමින් පවතී. මෙම වසරේ ජනවාරි පළමු වැනිදා වෙනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 313.4 ක් වූ අතර එය මාර්තු 31 වෙද්දි 319.3 දක්වා ඉහළ ගොස් තිබිණ. එම මාස තුනක කාලයේ දී ඩොලරයේ විකුණුම් මිල වැඩි වී තිබුණේ රුපියල් 6 කිනි. එම වෙනස අප්‍රේල් මාසයේ දී රුපියල් 4 ක් වශයෙන් සටහන් විය. එසේ වුව ද අප්‍රේල් 30 සිට මැයි 20 දක්වා කාලය තෙක් රුපියල් 19 ක් වැනි ඉතා ඉහළ අගයකින් ඩොලරයේ විකුණුම් මිල ඉහළ ගොස් තිබේ. අප්‍රේල් 30 වැනිදා වෙනවිට ඩොලරයක විකුණුම් මිල රුපියල් 323.8 ක් වූ අතර එය 2026 මැයි 20 වෙද්දී 342.7 දක්වා වැඩි විය. මෙපරිදි ඩොලරයේ රුපියල් අගය අඛණ්ඩව ඉහළ යෑම හේතුවෙන් ඉන්ධන, ඖෂධ ආදී ආනයන භාණ්ඩ වෙනුවෙන් වැය වෙන මුදල් තවත් ඉහළ යනු ඇත.
ශ්‍රී ලාංකේය සමාජය සුඛෝපභෝගී පාරිභෝජනවාදී සමාජයක් වීමත් දේශීය නිෂ්පාදනවලට වඩා විදේශ භාණ්ඩ පරිභෝජනය කෙරෙහි ඉහළ නැඹුරුවක් දැක්වීමත් ආනයන-අපනයන වෙළෙඳ පරතරය වැඩිවීමට එක් හේතුවක් වී තිබේ. රුපියලේ අඛණ්ඩ කඩාවැටීම තේරුම් ගත යුත්තේත් මේ පසුබිමේ ය. ආර්ථිකයේ සැබෑ ස්වරූපය අපි විනිවිද දැකිය යුතු වෙමු. 2022 දී ඇති වූ ආකාරයේ දරුණු ආර්ථික අර්බුදයක් නැවත උද්ගත වීම වැළැක්වීම පිණිස සමාජයටත් විසල් වගකීමක් තිබේ. ඒ යටතේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම අරබයා සමාජයට කැපකිරීම් කළ හැකි ය. ලොව දියුණු වූ සෑම රාජ්‍යයක් ම අර්බුදකාරී අවස්ථාවල දී එම අර්බුද අවස්ථාවක් කරගනිමින් සාර්ථකත්වය කරා පිය නැගුවේ ය. අධිපාරිභෝජනය අවම කිරීම සඳහා ජනතාව කටයුතු කිරීම ඉතා වැදගත් ය. එහිදී ආනයනික භාණ්ඩ පාරිභෝජනය හැකි තරම් අඩු කිරීමත් ඇතැම් ආනයනික භාණ්ඩ සඳහා දේශීය නිෂ්පාදන ආදේශ කිරීමත් වැදගත් ය. එසේ කිරීම මගින් රජයට යම් ආකාරයක සහයෝගයක් ලබාදීමට ජනතාවට පිළිවන.
අස්ථාවරභාවය හමුවේ කලබල නොවීමේ වැදගත්කම
මේ ආකාරයේ අර්බුදයක් එන විට ජනතාව කලබල වන ස්වභාවයක් ද දැකිය හැකි ය. එය හොඳ තත්ත්වයක් නොවේ. එවැනි අවස්ථාවල ජනතාව භාණ්ඩ රැස් කිරීමට යොමු වෙති. වෙළෙන්දෝත් එයම කරති. ඊට දැක්විය හැකි මනා නිදසුනක් නම්, වාහන ආනයනකරුවන් වාහන වැඩියෙන් ආනයනය කිරීම ය. මේ තත්ත්වය පසුගිය කාලයේ දක්නට ලැබිණ. එයින් ඔවුහු ඉහළ ලාභ ඉපැයීම අරමුණු කරති. ආර්ථිකයේ අස්ථාවරත්වයක් උද්ගත වෙද්දී ඩොලර් බැංකු පද්ධතියට නොයවා වෙනත් ක්‍රම ඔස්සේ හුවමාරු කිරීම ද දැකිය හැකි ය. මෙපරිදි ජනතාව කලබල වී කටයුතු කිරීමෙන් සිදුවන්නේ අර්බුදය තවදුරටත් රජයේ පාලනයෙන් තොරව ගමන් කිරීම ය. මේ නිසා ජනතාවට තමන්ගේ හැසිරීම රටේ යහපත ගැන සිතා පාලනය කිරීමට සිදු වේ. එහිදී ඉන්ධන පාරිභෝජනය සීමා කිරීම, සුඛෝපභෝගී ආනයනික භාණ්ඩ පරිභෝජනය සීමා කිරීම ආදී ක්‍රියාමාර්ග වෙත යොමු විය හැකි ය.
නිෂ්පාදනය පුළුල් කිරීමත් ඵලදායීතාව ඉහළ නංවා ගැනීමත් ශක්තිමත් ආර්ථිකයක් වෙනුවෙන් අවැසි ය. ජනතාව හැකි පමණින් නිෂ්පාදන කටයුතුවලට හවුල් වීම අත්‍යවශ්‍ය වේ. 2025 දී විදේශ ප්‍රේෂණ මගින් ඩොලර් බිලියන 8 ඉක්ම වූ විදේශ විනිමය ප්‍රමාණයක් ද සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් බිලියන 3.2 ක් ද රටට ලැබිණ. මේ මුදල් බැංකු පද්ධතියෙන් බැහැරව විකල්ප ක්‍රම ඔස්සේ සංසරණය වීමට ඉඩ ඇති බව ඉහතදීත් අපි සඳහන් කළෙමු. ජනතාව එම භාවිතයෙන් ඉවත් වී ආර්ථිකය කළමනාකරණය කරගැනීම සඳහා රජයට සහයෝගය දැක්වීම වැදගත් ය. රටට ගලා එන ඩොලර් ප්‍රමාණයට වඩා රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය වැඩි වුව හොත් ආර්ථිකයේ ප්‍රශ්න උද්ගත වන බව ජනතාව තේරුම්ගත යුතු ය. එබැවින් ජනතාව උපයන ඩොලර් බැංකු පද්ධතිය මගින් ගනුදෙනු කළ යුතු ය. ආර්ථිකයේ අස්ථාවරතා උද්ගත වන අවස්ථාවල ජනතාව මේ ආකාරයට කල්පනාකාරීව රටේ යහපැවැත්ම ගැන සිතමින් කටයුතු කරන විට ජනතාව නිවැරදි දිසාවට යොමු කිරීම රජයේ වගකීමකි.
වගා සංග්‍රාමයකින් ජනතාව ආහාර නිෂ්පාදනයට හවුල් කරගැනීම
මැදපෙරදිග යුද්ධය ආරම්භ වන අවස්ථාවේ හෝ ඊට පෙර රට ඇතුළත වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබූ බව මම සිතමි. එසේ කළේ නම්, මේ වෙද්දි රටේ ආහාර නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකිව තිබුණි. ආදායම් වැඩි කරගනිමින් සහ වියදම් අඩු කරගනිමින් රාජ්‍ය මූල්‍ය කළමනාකාරිත්වය හොඳ මට්ටමක පවත්වා ගෙන යෑමට රජයට හැකි වී තිබුණ ද පුද්ගලයන් ආර්ථික වශයෙන් සවිබලගන්වා ඔවුන් නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රීය ලෙස සම්බන්ධ කරගන්නා වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වී ඇත.
එසේම රාජ්‍ය යාන්ත්‍රණයේ හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඇති අකාර්යක්ෂමතා තවමත් එලෙසම පවතී. ආර්ථික අර්බුදයකට මුහුණ දුන් පසු එයින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යන බවක් දිස්වන්නේ නැත. බැංකු පද්ධතිය වෙත ඩොලර් ආකර්ෂණය කරගැනීම අධෛර්යවත් කරන බාධාක රැසක් පවතින බව ද කිව යුතු ය. එබැවින් ඊට අදාළ නීති රීති ලිහිල් කළ යුතු ය. මේ සියල්ල සලකා බලා රටට ඔබින ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආර්ථික අර්බුදයෙන් පසු ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන ආර්ථිකය මගින් සමාජය නගාසිටුවීමේ හැකියාව ලැබී නොමැත. මේ තත්ත්වය වෙනස් කර ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට නම් ජනතාව කැපකිරීම් කළ යුතු අතර ජනතාවගේ එම කැපකිරීම්වලට රජයෙන් උපරිම සහයෝගය ලබා දිය යුතු ය.
උපුල් වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd