වාහන  තරම් මේ දිනවල කතාබහට ලක්වන මාතෘකාවක් ශ්‍රී ලංකාවේ නැති තරම්ය. වාහන ගෙන්වීම රජයටත් පෞද්ගලික අංශයටත් එක්තරා මාෆියාවක්වෙන තරමට ‘වාහන’ සුවිශේෂ භාණ්ඩයක් වී තිබේ. ගෙවුණු සතිය ආරම්භ වූයේ වාහන මත අධිභාරය පනවන දිනයට පෙර සහ ඒ ආසන්න දිනවල වාහන ගෙන්වීමට ගත් උත්සාහයන් සහ ඒ වෙනුවෙන් විදේශයට ගිය ඩොලර් ගැන කතාබහෙනි. ඒ අතරම ආණ්ඩුව යළිත් වරක් වාහන ආනයනය සීමා කිරීමට සැරසෙන්නේ දැයි සැකයක්ද මතුවෙමින් පවතී. පෞද්ගලික පරිහරණය සඳහා වාහන අත්‍යවශ්‍ය කරුණක් වී ඇත්තේ පොදු ප්‍රවාහනය දුර්වල වීම නිසා යැයි නැගෙන චෝදනාවකි. එය පසුව විසඳාගත යුතුය. ඊට පෙර වාහන ආනයනය සහ ඒ සම්බන්ධ සැකසංකා පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

ශ්‍රී ලංකා රුපියල නැවත වරක් දැඩි පීඩනයකට ලක්ව තිබේ. එය අද උදෑසන ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 354ක් දක්වා වේගයෙන් පහත වැටිණ. එය රටේ බිඳෙනසුලු‍ බාහිර අංශය සහ පහත වැටෙන විදේශ සංචිත මට්ටම පිළිබඳව අලු‍ත් කනස්සල්ලක් මතු කරයි. හදිසි නිවැරදි කිරීමේ පියවර නො ගතහොත්, ඉදිරි දිනවලදී රුපියල තවදුරටත් කඩා වැටී රුපියල් 380 සීමාව ඉක්මවා අවප්‍රමාණ විය හැකිය. වෙළඳපොළ මනෝභාවය අතිශයින් දුර්වල මට්ටමක පවතී. ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයෙන් තවමත් මිදෙමින් පවතින ආර්ථිකයකට මෙවැනි වේගවත් පහත වැටීමක් දැඩි ලෙස අවදානම් සහගත වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල , ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ආශ්‍රිත මූල්‍යකරණයෙන් අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් බිලියන 1කට ආසන්න මුදල් ගලා ඒම මගින් තාවකාලික සහනයක් සැලසිය හැකිය. එහෙත්, මෙම මුදල් ගලා ඒම පමණක් දිගුකාලීන මුදල් ස්ථාවරත්වයක් ඇති කිරීමට සමත් නොවේ. මන්ද, ඒවා ප්‍රධාන වශයෙන් ණය වන අතර ස්ථිර විදේශ විනිමය උපයාගැනීම් නො වන බැවිනි.

රුපියල තාවකාලිකව ස්ථාවර කිරීම

ඉදිරියේදී ලැබීමට නියමිත බහුපාර්ශ්වීය අරමුදල් පැකේජය මගින් කෙටිකාලීන ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීමටත්, වෙළෙඳපොළ විශ්වාසය ශක්තිමත් කිරීමටත්, බැංකු පද්ධතියෙහි පවතින ක්ෂණික ඩොලර් හිඟය මඟහරවා ගැනීමටත් අපේක්ෂා කෙරේ. මහ බැංකුවට වෙළෙඳපොළ වෙත විදේශ විනිමය සැපයීම සඳහා වැඩි ශක්‍යතාවක් ලැබෙන බැවින්, එමගින් රුපියල තාවකාලිකව ස්ථාවර කිරීමට හෝ සුළු වශයෙන් ශක්තිමත් කිරීමට ද හැකි වනු ඇත.

අපනයන ආදායම, සංචාරක ලැබීම්, ප්‍රේෂණ හෝ දිගුකාලීන විදේශ සෘජු ආයෝජන මෙන් නොව, මෙම මුදල් ගලා ඒම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයාගැනීමේ ශක්‍යතාවෙහි තිරසර වැඩිදියුණු වීමක් ඇති නො කරයි. සාරාංශයක් ලෙස, රටට තාවකාලික සහන කාලයක් ලැබෙමින් පවතී. එය ස්ථිර ප්‍රතිකාරයක් නොවේ.

ශ්‍රී ලංකාවේ බාහිර අවදානම් සහගත භාවය තවදුරටත් ඉහළ මට්ටමක පවතී. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ණයට ගත් ඩොලර් මත යැපෙමින්, සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නො වන භාණ්ඩ පාලනයකින් තොරව ආනයනය කිරීමට රට අඛණ්ඩව අවස්ථාව ලබා දුන හොත්, ඉදිරි මාසවලදී සංචිත මත පවතින පීඩනය නැවත වරක් දැඩි විය හැකිය. රුපියල මෙලෙස ශීඝ්‍රයෙන් අවප්‍රමාණය වීම, දිගුකාලීනව ඩොලර් ලබා ගත හැකි බව සහ ණය තිරසරභාවය පිළිබඳව වෙළෙඳපොළ තවමත් නොසන්සුන් බව පෙන්වන අනතුරු ඇඟවීමේ සංඥාවකි.

සුඛෝපභෝගී ආනයන සඳහා සීමා

මෙම පසුබිම හමුවේ, මුදල් ස්ථාවරත්වය සහ සංචිත ප්‍රමාණවත් භාවය වැඩිදියුණු වන තෙක්, අත්‍යවශ්‍ය නො වන සහ සුඛෝපභෝගී ආනයන සඳහා තාවකාලික සීමා පැනවීම කෙරෙහි ජනාධිපතිවරයා දැඩි ලෙස අවධානය යොමු කළ යුතුය. සෑම ඩොලරයක්ම අතිශයින් වැදගත් වන මෙවන් වකවානුවක, හිඟ විදේශ විනිමය ප්‍රමුඛතාව ලබා දිය යුත්තේ ඉන්ධන, ඖෂධ, ආහාර, කාර්මික අමුද්‍රව්‍ය, බලශක්තිය සහ ණය සේවාකරණ බැඳීම් සඳහාය. එය සුඛෝපභෝගී පරිභෝජනය සඳහා වැය නො කළ යුතුය.

වාහන ආනයනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ආර්ථික බිඳවැටීමෙන් රට තවමත් මිදෙමින් පවතින මොහොතක, අත්‍යවශ්‍ය නො වන වාහන මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් දැනටමත් විශාල වශයෙන් ඩොලර් පිටතට ගලා යමින් පවතී. පවතින තත්ත්වය යටතේ අධික ලෙස වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබා දීම මගින් රුපියල කෙරෙහි තවදුරටත් පහළ පීඩනයක් එල්ල විය හැකි අතර, සංචිත ක්ෂය වීම වේගවත් විය හැකිය.

සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නො වන වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීම මගින් ඩොලර් පිටතට ගලා යාම අවම කිරීමටත්, රුපියල ශක්තිමත් කිරීමටත්, සංචිත ස්ථාවර කිරීමටත්, ගෙවුම් ශේෂ තත්ත්වය වැඩිදියුණු කිරීමටත් සහාය වනු ඇත. මෙවැනි පියවර කෙටිකාලීනව ජනප්‍රිය නො වීමට ඉඩ ඇත. එහෙත්, පරිභෝජනය මත පදනම් වූ ආනයනවලට වඩා ආර්ථික ස්ථාවරත්වයට ප්‍රමුඛතාව ලබා දිය යුතුය.

ඉන්දියානු ආදර්ශය

ශ්‍රී ලංකාවට අසල්වැසි ඉන්දියාවෙන් ද පාඩම් ඉගෙන ගත හැකිය. නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වය යටතේ, ඉන්දියාව අඛණ්ඩව ආර්ථික ස්වයං-විශ්වාසයට ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, උපායමාර්ගික අංශවල අනවශ්‍ය ආනයන පාලනය කර තිබේ. එමෙන්ම දේශීය නිෂ්පාදනය දිරිමත් කර ඇති අතර ගෝලීයව අවිනිශ්චිත භාවය පවතින කාල පරිච්ඡේදවලදී විදේශ විනිමය සංචිත ආරක්ෂා කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බෙහෙවින් කුඩාය. ව්‍යුහාත්මකව වෙනස්ය. එහෙත්, බාහිර පීඩනය පවතින අවස්ථාවලදී විනයගරුක ආනයන කළමනාකරණය පිළිබඳ මූලධර්මය මෙරටට ද බෙහෙවින් අදාළ වේ.

වළක්වා ගත හැකි ඩොලර් පිටතට ගලා යාම හේතුවෙන් සිදු වන තවත් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දීමේ හැකියාවක් රටට නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවෙන් ලැබෙන මුදල් ගලා ඒම මගින් විශ්වාසය සහ ද්‍රවශීලතාව තාවකාලිකව ශක්තිමත් කළ හැකිය. එහෙත්, ණය මගින් පමණක් රුපියල ස්ථිරව ශක්තිමත් කළ නොහැකිය. තිරසර මුදල් ස්ථාවරත්වය අවසාන වශයෙන් රඳා පවතින්නේ අපනයන වර්ධනය, සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වීම, ඉහළ ප්‍රේෂණ, ඵලදායී ආයෝජන සහ බුද්ධිමත් ආනයන කළමනාකරණය මතය.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන මූල්‍ය අනාගතය ආරක්ෂා කිරීම සඳහා අද දවසේ තාවකාලික කැපකිරීම් කිරීම අවශ්‍ය විය හැකිය.


එල්.සී.එකක වලංගු කාලය මාස තුන හතරකට සීමා කරන්නැයි රජයෙන් ඉල්ලනවා

අධිභාරයක් පැනවූ පසුවද වාහන ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීමට ඇතැම් ආයතන කටයුතු කිරීම හරහා වාහන ආනයනය නතර කිරීමට සූදානමක් තිබේ යැයි සැකයක් මතුවන බව සිලෝන් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි. 

“මැයි 16දා සිට 50%ක අධිභාරයක් පනවන බවට ගැසට් නිවේදනය නිකුත් කළ මැයි 15දා පුද්ගලික සමාගම් කිහිපයක් විසින් ඩොලර් මිලියන 23ක එල්.සී. (ණයවර ලිපි) විවෘත කර තිබෙනවා. බ්‍රෑන්ඩ් නිව් වාහන සඳහා තමයි මෙලෙස එල්.සී. විවෘත කරලා තිබෙන්නෙ. හැබැයි මෙතන වාහන කොපමණ සංඛ්‍යාවක් තිබේද යන්න පැවසීමට අපහසුයි වගේම කුමන හේතුවක් නිසා මෙතරම් වටිනාකමක එල්.සී. විවෘත කළාද කියලා කියන්න අපි දන්නේ නැහැ. මෙය තරමක් අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් වෙනදා දිනකට විවෘත කරන එල්.සී.වල වටිනාකම ඩොලර් මිලියන 2 -3ක් පමණ වනවා. ඒ වගේම 14දා වැනිදාත් ඩොලර් මිලියන 7.5ක එල්.සී. විවෘත කරලා තිබෙනවා.”  

“එසේම අධිභාරය පැනවීමෙන් පසුව පසුගිය 18වැනිදා ඩොලර් මිලියන 18ක සහ 21 වැනිදා ඩොලර් මිලියන 10 අධිකව එල්.සී. විවෘත කරලා තිබෙනවා. මේ හැසිරීම තුළ තරමක් අසාමාන්‍ය බවක් නිරීක්ෂණය වනවා. නැවතත් වාහන ගෙන්වීම තාවකාලිකව නවත්වන්න සූදානමක් තිබෙන නිසා මෙසේ වනවා දැයි යමෙකුට හිතෙන්න පුළුවන්. නමුත් අපිට ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ.

රීකන්ඩිෂන් වාහනවලට එල්.සී. විිවෘත කරන විට ඒ වාහනයේ චැසි අංකය ඊට ඇතුළත් කළ යුතුයි. මේ විදිහට බල්ක් එල්.සී. ඕපන් කරන්න බැහැ. අපිට තිබෙන ප්‍රශ්නය මේක තමයි. බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වන අය මේ විදිහේ ලොකු එල්.සී. විවෘත කළහම රටේ වාහන ආනයනය නැවත්තුවත් කලින් විවෘත කළ එල්.සී. ළඟ තිබෙන නිසා ඒ අයට අවුරුද්දක් විතර යනකල් වාහන ගෙන්වන්න පුළුවන්. ”

“මේ නිසා අපි රජයෙන් ඉල්ලන්නෙ එල්.සී. එකක වලංගු කාලය මාස 3කට හෝ 4කට සීමා කරන්න කියලයි. නැත්නම් වෙන්නේ රජය ගන්නා හොඳ තීන්දුවලිනුත් බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්වන සමාගම් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒකෙන් අපහසුතාවට පත්වෙන්නෙ රජය සහ මහජනතාවයි. රටේ ඩොලර් අර්බුදයක් තිබෙන අවස්ථාවක බ්‍රෑන්ඩ් නිව් වාහන ආනයනය කරන  සමාගම් මෙතරම් විශාල විශාල වටිනාකමකින් යුත් එල්.සී. විවෘත කිරීම වැරදියි. මේකෙන් සිදුවන බලපෑමට මුහුණදෙන්නට සිදුවන්නෙ ආණ්ඩුවට සහ ජනතාවටයි. ”

නිරෝෂණ