කාලීන දේශපාලන කාරණා සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සමග කළ සාකච්ඡාවකි.

ජාතික රණවිරු දිනය සමරන්න ගිහින් ඔබ ‘‘හොම්බෙන් ගියා’’ කියලයි සමහරු කියන්නේ?

පිළිතුර:- ගිය අවුරුද්දෙත් මැයි 18 වැනිදා සවස 2.00ට මේ සැමරුම කළා. එදා මමත් ගුණදාස අමරසේකර මහත්තයත් හිටියා. තවත් විශාල පිරිසකුත් සමග මල් තියලා අපේ ආචාරය පුද කරලා ආවා. නමුත් කිසිම බාධාවක් වුණේ නෑ.

මේ පාර මොකද වුණේ?

පිළිතුර:- මේ පාර අපි වැඩි හොඳට දැනුම් දීමක් කළා ආරක්ෂක අමාත්‍යාංශයට. අපි අහවල් දවසේ අහවල් වේලාවට මේ කටයුත්ත කරන්න මෙතැනට යනවා කියලා.

අවසර ඉල්ලීමක් ද කළේ?

පිළිතුර:- නෑ. මේක දැනුම් දීමක් පමණයි. මේකට අවසර ඉල්ලීමක් අවශ්‍ය වෙන්නේ නෑ. මොකද මේක පොදු ස්ථානයක්. මේ දැනුම් දීමෙන් පස්සෙ ඒගොල්ලෝ මේක කරන්න එපා කිව්වෙත් නෑ. වෙන දැනුම්දීමක් කළේත් නෑ. එහෙම නොකර මේ පාර කලින් අවුරුද්දේ නොකරපු දෙයක් කළා. පොලිසිය දාලා එතැනට යන එක නතර කළා. එතැනට යන එක නතර කරන්න ඒ ගොල්ලන්ට අයිතියක් නෑ.

ආණ්ඩුව කියනවා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුදා පැවැත්වෙන ජාතික සැමරුම් උළෙලේ පෙරහුරුවක් තිබුණා කියලා?

පිළිතුර:- ආණ්ඩුව එහෙම කිව්වට අපි යන වෙලාවේ පෙරහුරුවක් පටන් අරගෙනත් නෑ. පෙරහුරුවක් තිබ්බත් අපි සාමකාමීව ගිහින් මල් තියලා එන එක වළක්වන්න හේතුවකුත් නෑ. ඉතින් ඒ නිසා මෙය හිතාමතාම ආණ්ඩුවෙන් උඩින් ආපු නියෝගයකට වෙච්ච දෙයක්. ඒකට යටත් විය යුතුයි කියලා මම හිතන්නේ නෑ. ඒ අනුව තමයි අපි මහත් පරිශ්‍රමයක් දරලා රණවිරු ස්මාරකය ආසන්නයටම ගිහිල්ලා ඒ මල් ටික තියලා අපි අපේ ආචාරය පුද කරලා ආවේ. මං වැටුණා නම් වැටුණේ රණවිරුවන්ගේ මහ ස්මාරකය අබියස. ඒ පොළොව උඩ. ඒක කිසිම ආකාරයකට පසුතැවීමට හේතුවන වැටිල්ලක් නොවෙයි. හැබැයි මේ ආණ්ඩුව දණ ගහලා වැටිලා ඉන්නේ කොටි ඩයස්පෝරාවේ උවමනාව ඉදිරිපිට. ඔවුන් තමයි නියම නිවට ඇදවැටීමකට ලක්වෙලා තියෙන්නේ.

මෙවර ජාතික රණවිරු සමරු උළෙලේ දී ජනාධිපතිවරයා ‘‘අභීත රණවිරුවා’’ කියලා කිව්වා. ඒකෙන් උඩ පැන පැන ගහන්න හිටපු තුරුම්පුවක් ඔබට නැති වුණා? 

පිළිතුර:- ගිය අවුරුද්දේ රණවිරු සමරුවට ආරාධනා පත්‍රයේ ජනාධිපතිවරයා එන බව නොවෙයි තිබුණේ. අර බංකු බංකු ඇමැතිගේ ප්‍රධානත්වයෙන් රණවිරු උත්සවය පවත්වනවා කියලා. නමුත් රටෙන්ම ආවා ලොකු විරෝධයක්. ඒ නිසාම අමාරුවෙන් වගේ ඇදගෙන ආවා. ඒකේ ‘‘රණවිරුවෝ’’ කියන වචනය නෑ. එදා ඉඳලා මෙදා දක්වාම ‘‘රණවිරුවෝ’’ කියන වචනය පාවිච්චි කළේ නෑ. මේ ආණ්ඩුවේ කිසිම කෙනෙක්. මේ පාර 18 වැනිදා පොලිසියත් සමග ඇති වූ ප්‍රශ්නයේ දී මම මතු කළ ප්‍රධාන තර්කය තමයි ‘‘අපි මේ නිහීන ආණ්ඩුව එළවලා රණවිරුවන්ට රණවිරුවන් කියලා කියන පාලනයක් පිහිටුවනවා කියලා. අවසානයේ දී ජනාධිපතිවරයාට සිද්ධ වුණා යටත් වෙන්න. ‘‘එඩිතර රණවිරුවා’’ කියලා කියන්න. ඒ විදියට බලහත්කාරයෙන් හරි ඒ වචන එළියට ගැනීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා. එහෙම නොවෙයි රටේ ජනාධිපතිවරයා නොකියා ඉන්න බැරිකමට කියන වචන නෙවෙයි. හදවතේ ගැඹුරුම තැනින් ඉපදී නිරුත්සාහකව ගලා ආ යුතු වචන. ඒවා මේ කෘත්‍රිමව එළියට දාන්න ඕනෑ වචන නෙවෙයි. කමක් නෑ. ඔහොමහරි කමක් නෑ ඔය වචන කෘත්‍රිමව හරි එළියට එන එක ගැන අපි සතුටු වෙනවා.

දේශපාලනයේ අවස්ථාවන් අහිමිව සිටින ඔබ ජාතිවාදය අවුස්සලා උඩට එන්න හදනවා කියලා මම යෝජනා කළොත්?

පිළිතුර:- මොකක් ද මම කරන ජාතිවාදය ඇවිස්සීම? ජාතිවාදය අද අවුස්සනවා උතුරේ. ජන සංහාරයක දවස කියලා එකක් සමරනවා උතුරේ. වෙල්ලමුල්ලිවයික්කාල්වල මහ සැමරුම් තියෙනවා. ඒකෙදි වීරයෝ හැටියට බෞතිස්මය කෙරෙන්නේ එල්.ටී.ටී.ඊ. නායකයන්. එල්.ටී.ටී.ඊ. මතවාදය තමයි එතැන ප්‍රවර්ධනය කෙරෙන්නේ. පාසල් ඇරිලා එළියට එන දරුවන් අතට පත්‍රිකා බෙදනවා. උතුරේ පොලිසියේ අවසරයකින් තොරව ලවුස්පීකර් බැඳගෙන මුළු උතුරේම රවුම් ගහනවා. දෙමළ මතවාදය ප්‍රවර්ධනය කරමින් ලවුඩ්ස්පීකර්වලට බලපත්‍රවත් නොගෙන එතැන දී ප්‍රවර්ධනය කෙරෙන්නේ මේ රට අවුරුදු 32ක් වඳවින් ද මතවාදය. අමතක කරන්න එපා අප අවුරුදු 32ක් ඒ උමතු මතවාදයේ ආයුධ නිසා පස්සට ගිය රටක්. ඒ උමතු මතවාදය නිසා කොළඹ බෝම්බ පිපුරුණා. බස්වල බෝම්බ පිපුරුණා. කෝච්චිවල බෝම්බ පිපුරුණා. දේශපාලන නායකයන් ඝාතනය වුණා මේ රටේ ජනතාව පොදු දේපොළ නැති වුණා. අපි ආවේ පස්සෙනේ. මුලින් ආවේ මරුයි. අපි පැරැද්දුවට පස්සේ දැන් මතවාදය ප්‍රවර්ධනය කරනවා. ඒකට ඉඩ දීලා තියෙනවා ආණ්ඩුව. එතැනට ක්‍රියාත්මක නොකරන නීතියක් තමයි අද මෙතැනට ක්‍රියාත්මක කරන්නේ. ඇත්තටම ජාතිවාදය කියන එක ප්‍රවර්ධනය වෙමින් පවතින්නේ එතැන. මෙතැන කිසිවකු කිසිම ආකාරයක ජාතිවාදයක් ප්‍රවර්ධනය කරන්නේ නෑ. දෙමළ ජනතාව යාපනය හැරුණු විට වැඩියෙන්ම ජීවත් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ නිසා ඔය ජනාධිපතිගෙයි එන්පීපී බත් බැලයන්ගෙයි නරි නාටක කතා. ඕවා පිළිගන්නේ නෑ මේ රටේ ජනතාව.

ඔබට තියෙනවා අනුර කුමාර ජනාධිපතිවරයා සහ මාලිමා ආණ්ඩුව ගැන ඊර්ෂ්‍යාවක්?

පිළිතුර:- ඉරිසියා කරන්න ඇති දෙයක් තියෙනව ද? එතුමාගේ මුහුණ දැක්කම පේනවනේ මොනතරම් ආතතියකින් ද ඉන්නේ කියලා. මටනම් ඉරිසියාවක් නෙවෙයි, ඇත්තටම තියෙන්නේ දුකක්.

දුකක්? ඒ ඇයි?

පිළිතුර:- බැරිබරගාතේ කරන්න බැරි වැඩකට කරගහලා කයිවාරු ගහලා කුමක් කරම්දෝ කියලා හිත හිතා ඉන්න ජනාධිපතිවරයෙක් තමා මට නම් පේන්නේ. වැටුණු ආර්ථිකයක්නේ ඒගොල්ලෝ ගත්තා කිව්වේ. හැබැයි රනිල් වික්‍රමසිංහගේ කාලේ 6යි දශම 5ක සංචිතයකට ගෙනාවනෙ. එතකොට එතැන ඉඳන් උඩට අරගෙන යන්න මේ ජනාධිපතිවරයාට පුළුවන් වුණා ද? අයි.එම්.එෆ්. උගුලෙන් ගැලවෙන්න එක උපාය මාර්ගික පියවරක් කියන්න පුළුවන් වුණා ද? විදේශ විනිමය පහත කලින් තිබුණ පනත ගේන්න හයියක් තියෙනවද? ඔහුම විවේචනය කරපු මහ බැංකු අධිපති නූල කැඩිච්ච සරුංගලය වගේ රුපියල පහතට කඩාගෙන බිඳගෙන යනවා. ඒ මහ බැංකු අධිපති ගැන තීන්දුවක් ගන්න මෙයාට කොන්දක් තියෙනව ද? මූල්‍ය අරමුදල න්‍යාය පත්‍රයේ ඇතුළේ ඉන්න කොට එක එක්කෙනාගේ සීට් මාරු කරලා හරියන්නෙ නෑ.

ආණ්ඩුවනම් කියන්නේ විපක්ෂයේ වැඩ්ඩන්ගෙන් වැඩක් ගන්න සූදානම් කියලයි ?

පිළිතුර:- ඔව්. මේගොල්ලෝ කියනවා එජාපයේ හා සජබයේ ඉන්න වැදගත් මහත්වරුන් ඕනෑ කියලා. එහෙම පුටු මාරු කළාට හරියන්නේ නෑ. මේ න්‍යාය පත්‍රයෙන් එළියට එන්න ඕනෑ. මේ න්‍යාය පත්‍රය ඇතුළෙ ඉන්නකොට රුපියලට මෙහෙම කෙළවෙන එක ගැන අහන්න දෙයක් නෑ. විදේශ සංචිත හිඳෙන එක ගැන අහන්න දෙයක් නෑ. රනිල් වික්‍රමසිංහ මේ රට වැරැදි පාරේ ගෙනිච්චා වුණත් ඔහුට තියෙනවා බර වාහන ලැයිෂන් එකක්.

ඔබට දැන් රනිල් වික්‍රමසිංහ හොඳ වෙලා වගේ?

පිළිතුර:- එහෙම හොඳවීමක් නොවෙයි, ඔහු වැරැදි පාරේ ගියත් ඔහු බර වාහන ලයිෂන් එකක් තියෙනවා. ඒ වැරැදි පාරෙම මේ රට ඇදගෙන යන්නේ සැහැල්ලු වාහන ලයිෂන් එකක් තියෙන කට්ටියක්. එතකොට යන්නේ අයාලේ. දැන් වෙලා තියෙන්නේ තමන්ගෙ තියෙන අසමත්භාවය හැම පැත්තෙන්ම පේනකොට තමන්ගෙම අය අදක්ෂයි කියලා පිටින් මිනිස්සු අරන් පුටුවල වාඩිකරවන්න හදනකොට කිසිම ප්‍රතිපත්තිමය නව්‍යකරණයක් කරන්න බැහැයි කියලා. පේනකොට මට නම් ඇතිවෙන්නෙ දුකක් මිසක් ඉරිසියාවක් නෙවෙයි. මම ඉරිසියා කරයි වැඩේ මරුවට කරනවා නම්. හැබැයි ඉතින් ඉරිසියා කරන්න හේතුවක් නෑ. ඒකයි ප්‍රශ්නය.

ඔබ ගිය අවුරුද්දේ අවසන් භාගයේ දී කිව්වා ලබන අවුරුද්දේ (2026) අප්‍රේල් වෙනකොට රටේ මහ කැලඹිලි සහගත තත්වයක් ඇති වෙනවා කියලා. ඒ පුරෝකථනය වැරැදියි නේද?

පිළිතුර:- අප්‍රේල් මාසයේ සිට කියලයි මම කිව්වේ. ජනතාව ඉතා විශාල වශයෙන් පීඩනයට පත්වන තත්වයක් හා ජනතාව ඊට එරෙහිව ප්‍රතික්‍රියා දක්වන තත්ත්වයක් අප්‍රේල් මාසයේ සිට ආරම්භ වෙනවා කියලයි මම කිව්වේ. ඒක තමයි අද අපි අත්විඳිමින් ඉන්නේ. විදුලි බිල සියයට 50කින් ඉහළ දානකොට ඔබට ඇතිවන හැඟීම මොකක් ද? ඉන්ධන මිල අඩු කරනවා කියලා බලය අරන් සියයට 300කින් 2100කින් ඉන්ධන මිල ඉහළ දානකොට ඇතිවෙන ආතතිය කොච්චර ද? ඒ ගොඩනැගෙන වේදනාවේ පීඩාව කන්ද පුපුරන දවස ජූනි ජූලි ද කියන ප්‍රශ්නය විතරයි තියෙන්නේ. ගිනි කන්ද පුපුරන්න කලින් ලාවා ගලන තත්වයක් දැන් තියෙන්නේ. ගමන් කරමින් තියෙන්නේ මම කලින් අනාවැකිය සනාථ කෙරෙන දිශාවට. ඒ ජන විරෝධය උත්සන්න වෙන්න පටන් ගත්තේ අප්‍රේල්වලින් පස්සේ කියලයි මම කියන්නේ.

ඔය ඔබ කියන තත්ත්වය නිවැරැදිවම වුණාට පස්සේ රට බාරගන්න ඉන්න නායකයා කවුරු කියල ද ඔබ යෝජනා කරන්නේ ?

පිළිතුර:- අනාගතය බාරගන්න ඉන්න නායකයා කවුරු වුණත් පළමු කොටම ඔවුන් මේ රට පාලනය කරපු අය නම් මම පාලනයට සම්බන්ධ වෙච්ච කෙනෙක්. පාලනය කරපු අය කිව්වෙම මෙතැන වැඩිහෙන්ම කියැවෙන්නේ මුදුනේ හිටපු අය. මුදුනේ අයනම් ඔවුන්ගෙන් ස්වයං විවේචනයක් මේ රටට ඕනෑ. ඒ වගේම මුදුනේ නොසිටියත් ඒ පාලනයේ හවුල්කාරයන්ව සිටිය අයගෙනුත් මේ රටට ස්වයං විවේචනයක් අවශ්‍යයි.

බැරිබරගාතේ කරන්න බැරි වැඩකට කරගහලා කයිවාරු ගහලා කුමක් කරම්දෝ කියලා හිත හිතා ඉන්න ජනාධිපතිවරයෙක් තමා මට නම් පේන්නේ. වැටුණු ආර්ථිකයක්නේ ඒගොල්ලෝ ගත්තා කිව්වේ. හැබැයි රනිල් වික්‍රමසිංහගේ කාලේ 6යි දශම 5ක සංචිතයකට ගෙනාවනෙ.

ඔබත් එතැන ඉන්නවා ?

පිළිතුර:- ඔව්. මම ද ඇතුළුව ඒ වගේම ඒ ස්වයං විවේචනය මත පදනම්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උගුලට ගොදුරු වෙච්ච මාවත වෙනුවට මේ රට මේ වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න විකල්ප මාර්ගය මොකක්ද කියලා රටට කියන්න ඕනෑ. ඔන්න ඔය කරුණු ටික සම්පූර්ණ කරනවා නම් එයා තමයි නායකයා. වාහනේ එකයි අපි අවුරුදු පහෙන් පහට රියැදුරා මාරු කරනවා. දැන් එහෙම යන්න පුළුවන් දුර ඇවිත් ඉවරයි. අනුර කුමාර දැන් පෙන්වන්නේ ඒ වාහනේ උඩ තමන් නොවෙයි, රෝහණ විජේවීර වාඩිවුණත් ඉදිරියට යන්න බෑ කියලා. දැන් ඕනෑ වාහනෙයි, රෝදයි එන්ජිමයි අලුත් කරගෙන යන ගමනක්. ඒ අවශ්‍යතාවය ඉටුවන ආකාරය මහජනයා තීන්දු තීරණ ගත යුත්තේ.

හැමෝම බලය ඉල්ලුවේ ඔය ඔබ කියන විදිහට තමයි.

පිළිතුර:- දැන් බලන්න මේ අවුරුද්දේ අග වෙනකොට බ්‍රිට්ස් සමුළුව රැස්වෙනව ඉන්දියාවෙ දී. එහෙම රැස්වෙලා ලෝකයේ අනාගතයට තීරණාත්මකව බලපාන තීන්දු රැසක් ගන්නවා. අද විකල්ප මූල්‍ය පද්ධතියක් ඒ හරහා නිර්මාණය වෙමින් පවතිනවා. ඩොලරයේ ඇති ආධිපත්‍යය විශාල වශයෙන් බිඳ වැටෙමින් තියෙනවා. ඒ ගොඩනැගෙන නව බල කේන්ද්‍රය සමග ගැට ගැසෙන නායකත්වයකට මිස තවදුරටත් බටහිරට වැඳුම් පිදුම් කරන දෑ කැත්තයි මිටියයි කර තියාගත් නව ලිබරල්වාදීන්ට මේ රට මේ වළෙන් ගොඩගන්න බෑ.

ඔබ කියන ආණ්ඩුවේ අසමත් භාවයට ඔබ දකින හේතු?

පිළිතුර:- හේතු දෙකක් තියෙනවා. එකක් ප්‍රතිපත්තිමය උපාය මාර්ගික වෙනස් කිරීමකට මේ රට යොමු කළේ නෑ. මූල්‍ය අරමුදලේ මාවතේම ගියා. මේ අය උපාය මාර්ගිකව ඉන්නේ බටහිර කඳවුරත් එක්ක. ණය අරගෙන රෝල ගහන මාවතේ ඉන්නේ. රාජ්‍ය ස්වෛරී භාවය දියවෙලා ගියාට කමක් නෑ කියන මාවතේ. ඒ මාවතේ ඉඳගෙන මොනවද කළේ. හිඟන්නගේ මුහුණේ පවුඩර් ගානවා. පිටකොටුව බස් ස්ටෑන්ඩ් එක, කොටුව දුම්රිය ස්ථානය පාට කරනවා. ඒ නිසා හරිම ළාමක විදියට වැඩ කිරීම තමයි පළමු වැරැද්ද? දෙවැනි එක අත්දැකීමක්, අවබෝධයක්, පළපුරුද්දක් නොමැතිකම හා ඒ බව නොදන්නාකම. දන්නේ නැති බව දන්නේ නැති තරමට උද්දච්චයි. මේ ගොල්ලෝ ඉන්නේ අහසේ.

අනාගත ජනාධිපතිවරණයකට ඔබ ඉදිරිපත් වෙනව ද? නැද්ද කියලා මම දන්නේ නෑ. ඔබ ඉදිරිපත් නොවෙන්නේ නම් ඔබ සහාය දෙන අපේක්ෂකයකු හෝ කඳවුරක් ගැන හිතලා තියෙනව ද?

පිළිතුර:- මගේ නම් මැනීම අපට මුහුණ දෙන්න වෙන පළමු මැතිවරණය මහ මැතිවරණයයි. මේ ආණ්ඩුවට යන්න බෑ. මහජන ප්‍රතිවිරෝධය ඇවිළෙනකොට අනුර කුමාරට සිද්ධ වෙනවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තීරණ ගන්න. එතකොට මේ පිපිරෙන ජනතා ආවේගය පිටකර හරින්න දෙන සොරොව්ව තමයි මහ මැතිවරණ සොරොව්ව. බොහෝ විට ලබන අවුරුද්දේ මැයි වෙනකොට ඔය සොරොව්ව අරින්න වෙයි. ඒ නිසා මහ මැතිවරණයක් ගැන තමයි මම මේ වෙලාවේ කල්පනා කරන්නේ. ජනාධිපතිවරණය එන වෙලාවට ඔබ කවුරුවත් නොහිතන කෙනෙක් අපේක්ෂකයා ලෙස ඔබට මුණ ගැසේවි.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්