ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ඉතා දුෂ්කර දේශපාලන ඉතිහාසය තුළ මුල්වරට ලබාගත් ආණ්ඩුව මේ වන විට අභියෝගයකට ලක්ව තිබෙන්නේද? ඉකුත් මාස කිහිපය තුළ මතු වූ යම් යම් ප්‍රශ්න සමග එවැනි අදහසක් යමකුට මතු වුවහොත් එහි වැරැද්දක් නැත.

දිනපතාම මතුවන ප්‍රවෘත්තිවලින් පෙනී යන්නේ රාජ්‍ය මූලයය පාලනයකින් තොරව අයාලේ යන බවය. ආණ්ඩුවක් කෙරෙහි ජනතාව තුළ තිබිය යුතු බිය වෙනුවට ජනතාව අතර ආණ්ඩුව හෑල්ලුවට ලක්වෙමින් තිබෙයි. ආණ්ඩුවට මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ එය පාලනය කර ගැනීමට හැකියාවක් නොමැති නිසාද?

ආණ්ඩුව වඩාත් සැලකිලිමත් විය යුත්තේ අන් කිසිවක් ගැන නොව රටේ මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳවය. එහිදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අඩුකර ගැනීම රජයේ ප්‍රධාන වගකීම විය යුතුය. එහෙත් මාසයක පමණ කාලයක සිට ඩොලරයේ වටිනාකම වේගයෙන් ඉහළ නගියි. මේ වන විට රුපියල් තුන්සිය තිහ ඉක්මවා ඇති ඩොලරයක වටිනාකම ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ රට බංකොළොත් බවට ප්‍රකාශ කළ අවස්ථාවේ ඩොලරයේ රුපියල් වටිනාකම වූ තුන්සිය හැට දක්වා ඉතා ඉක්මනින් නගිනු ඇතැයි බොහෝ දෙනා බියට පත්ව සිටිති. එසේ වුවහොත් ආණ්ඩුවේ පැවැත්ම ස්ථීර වශයෙන්ම දෙදරීමකට ලක්වනු ඇත.

ආණ්ඩුවේ ගමන් මග වහාම වෙනස් කිරීම මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා ඇති හොඳම විසඳුම වෙයි. එක්කෝ විපක්ෂය ද හවුල් කරගෙන ජාතික ආණ්ඩුවක් ගොඩනඟා මූල්‍ය අර්බුදය එක්ව විසඳාගැනීම සිදුකළ යුතුය. මූල්‍ය අර්බුදය තනිව විසඳාගැනීමට උත්සාහ ගැනීමේ ප්‍රතිඵලය වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට අත්වූ ඉරණම ම මෙම ආණ්ඩුවට ද අත්වීමය. ජවිපෙ පාලනය සතුව දැනට ඇති ආණ්ඩුව ඉන් මුදා හැර ආර්ථික විශේෂඥයන් අතට පත් කළ යුතු බවට මතයක් වර්ධනය වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් පක්ෂයේ අර්බුදකාරී දේශපාලන මණ්ඩල රැස්වීමක් ගැන ඉකුත් සතියේ විවිධ පුවත් පළ විය. ජනාධිපතිවරයා පවා ආණ්ඩුවේ ගමන්මග වෙනස් විය යුතු බව පිළිගනී.

මන්ද යත් රාජ්‍යයක් පවත්වාගෙන යාම යනු පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැරණි සාමාජිකයන්ගේ සිත් සතුටු කිරීම පමණක්ම නොවන නිසාය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය ලැබූ විගසම අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ යම් හැකියාවක් තිබූ දේශපාලකයන් ගණනාවක් එකතු කර තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සාහ කළ බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. මන්ත්‍රීවරුන් තිදෙනකු පමණක් සිටියදී තමන්ට ආණ්ඩුවක් කළ නොහැකි බව අනුර හොඳින්ම අවබෝධ කරගෙන සිටි අතර එහෙයින් අනුරාධපුරයේ සේමසිංහ, එවකට විදුලි බල ක්ෂේත්‍රය මෙහෙය වූ කංචන විජේසේකර, නියෝජ්‍ය මුදල් ඇමැති වූ රංජිත් සියඹලාපිටිය ඇතුළු ගණනාවක් එකතු කර මැතිවරණය තෙක් පොදු එකඟතා ආණ්ඩුවක් බිහිකිරීම එම පිරිස සමග පණිවිඩ හුවමාරුවක්ද සිදුවී තිබිණ. එහෙත් එම වෑයම පැලවත්තේ යම් පිරිසක් නිසා වැළකී ගියේය. මාලිමාවෙන් ලබාගත් බලය වෙනුවට ජවිපෙ ආදේශ වූ අතර මහ මැතිවරණයෙන් පසු පැලවත්තේ ජවිපෙ හස්තය ජනාධිපති අනුරටත් ඉහළින් විහිදී ගියේය.

ජවිපෙ නොමැති බව සිතමින් මධ්‍යස්ථ මතධාරීන් ලක්ෂ ගණනක් මාලිමාව වටා තැබූ බලාපොරොත්තුව බිඳ දැමුවේ අනුර නොව ජවිපෙ ය. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ විගසම කිසිවකුත් නොසිතූ ලෙස රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අයුරින්ම මාලිමාවේ ජයග්‍රහණයට ජවිපෙ අන්තර්ග්‍රහණය වී මාලිමා ජය අවභාවිත කළේය. නිසරු පල්හෑලිවලින් පිරුණු මැති ඇමැති කතා අසමින් ජනතාව තවදුරටත් කල්ගත කිරීමේ ප්‍රතිඵලය වන්නේ 1994 දී චන්ද්‍රිකා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට අත්වූ ඉරණම ම අත්වීමය. චන්ද්‍රිකා ජයගෙන වසර දෙකක් ගත වීමට පෙරම ජනතාවට පැවැති එජාප රජයේ වටිනාකම දැනිණි. වර්තමානයේ මාලිමා ජය පිළිබඳව ද ජනතාව තුළ ඇතිවෙමින් පවතින කලකිරීම තවත් ඉහළ යාමට පෙර රටට දැනෙන සංවර්ධනයක් සිදුකිරීමට රජයේ අවධානය යොමු විය යුතුය. අනුර වැනි අවංක දේශපාලකයකු අසාර්ථක ලේබල් වැදී විනාශවීමට ඉඩ නොදිය යුතුය. ජනාධිපතිවරණ සමයේ අනුර දිසානායක නමැති පක්ෂ නායකයා ජනාධිපති අපේක්ෂකයා ජනතාවට පොරොන්දු වූ ආර්ථිකය ඇති කිරීමට ඔහුට නිදහස ලබා දිය යුතුය.

චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ සාර්ථකත්වයවත් අද නැද්ද?

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සංධාන ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණේ ඇමැතිවරුන් සිව් දෙනකුගේ ක්‍රියාකාරී දායකත්වය ලැබිණ. අනුර දිසානායක ඇතුළු එම දේශපාලකයන් සිව්දෙනා පිළිබඳව එකල රට තුළ පැවතියේ යහපත් පිළිගැනීමකි. එම අමාත්‍යාංශ සාර්ථක වූ බවට පොදුවේ පිළිගැනීමක් පැවතුණි. මේ වන විට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යාංශ අසාර්ථකවෙමින් පැවතීම ගැන ආණ්ඩුවේ බලධාරීන් එදා සාර්ථකත්වය සමග ගැලපීම මැනවි. එදා සන්ධාන ආණ්ඩුවේ දී ජවිපෙට ඇමැතිධුර ලැබුණේ චන්ද්‍රිකා කුමාරතුංග හා ශ්‍රීලනිපයේ දැඩි කොන්දේසි යටතේය. එම අමාත්‍යාංශ හතරට මුදල් වෙන් කිරීමේ දී චන්ද්‍රිකාගේ නොයෙකුත් අතවරයන්ට ද ජවිපෙ මුහුණ දුන්නේය. මුදල් නිසි පරිදි වෙන් නොකෙරිණි. නිරතුරුවම කකුලෙන් ඇදීම් සිදුවිය. එහෙත් අමාත්‍යාංශ හතර තුළ රටට දැනෙන යමක් කිරීමට එදා ජවිපෙට හැකියාව ලැබිණි.

එම අමාත්‍යාංශ මෙහෙයවූයේ පක්ෂ මූලස්ථානයෙන් පත් කළ අභ්‍යන්තර කමිටුවකිනි. අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ සකස් කළේත් නිලධාරීන් සමග සම්බන්ධීකරණයෙන් රාජකාරි කළේත් එම කමිටුවේ මැදිහත්වීමෙනි. අමාත්‍යවරයාගේ පෞද්ගලික  කාර්ය මණ්ඩලය ලෙස එදා පෙනී සිටියේ පක්ෂයෙන් පත්කළ එම කමිටුවේ පිරිසය. දකුණු පළාතේ ක්‍රියාත්මක වූ ‘කිරි ඇතිළියෙන් ඔබ්බට’ වැඩසටහන යටතේ එතෙක් මීකිරි සඳහා ඇතිලි සැකසූ මිනිසුන් ලෝක වෙළෙඳපොළ සඳහා විසිතුරු මැටි භාණ්ඩ සකස් කරන තත්ත්වය දක්වා දියුණුවීමට ජවිපෙ අමාත්‍යාංශය යටතේ ඉඩ සැලසිණි. චන්ද්‍රිකාගේ ඇකයේ නැලවුණු ආණ්ඩුවක දී එදා ජවිපෙ ලැබූ එම සාර්ථකත්වය රාජ්‍ය මූල්‍ය පාලනය තමන් සතුව ඇති එමෙන්ම සියලු විධායක බලතල ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ද ඇති ආණ්ඩුවක් ලැබී තිබියදීත් ආණ්ඩුව තුළ අවුල් ඇතිවී ඇත්තේ කුමක් නිසාදැයි යන්න ආණ්ඩුවේ ප්‍රධානීන් සොයා බැලිය යුතුය. 

ඉතිහාසයේ අවස්ථා කිහිපයකදීම අවස්ථාවට සුදුසු උපාය හා උපක්‍රම නිසි ලෙස තක්සේරු කිරීමේ දුර්වලකමක් ජවිපෙ වෙතින් පෙනී ගියේය. ඉන් එක් අවස්ථාවක් වූ 1989 මහා විනාශයට පෙර ජේ.ආර්. ජයවර්ධන රජය පරාජය කිරීම සඳහා තවත් පක්ෂ හතක් සමග දේශපාලන ගනුදෙනුවක් සාර්ථකව සිදුකිරීමේ අවස්ථාව අහිමිව ගියේ ජවිපෙ මූලිකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාව ද අහිමිකර ගනිමිනි. ඉනික්බිතිව භීෂණ සමය අවසන් වූයේ ජවිපෙ බිමට ම සමතලා කර දැමීමෙනි. එම ගිලිහුණු අවස්ථාව ගැන ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානය එම අසීරු මොහොත ගැන මෙවැනි විස්තරයක් ගෙන එයි.

“විධිමත්ව උත්සන්න කැරුණු ප්‍රචණ්ඩත්වයක් ජවිපෙ එජාපය වෙත එල්ල කිරීම ආණ්ඩුවේ දේශපාලන නායකත්වයේ ධෛර්යය හීන කොට රාජ්‍ය බෙලහීන කොට ජවිපෙ විසින් බලය අල්ලා ගැනීම හුදෙක් සුළු කලකින් සිදුවනු ඇතැයි පෙනෙන තත්ත්වයක් උදාකරලීමේ අදිටනිනි. ජේ.ආර්ගේ පැත්තෙන් බලන කල ප්‍රධානම අවශ්‍යතාව වී තිබුණේ ඊළඟ හය මාසය තුළ තම රජයේ පැවැත්ම ගෙනයාමය. ජවිපෙ ජයග්‍රාහී විලාසයක් පෙන්නුම් කළේය. එසේ වුවද ජේ.ආර්. බලයේ රැඳී සිටීමට සමත් විය. එය ඉහළ මට්ටමේ දේශපාලන දක්ෂතාව නිසා මෙන්ම පැහැදිලිවම ‘වාසනා ශක්තිය ද’ නිසාය. බොහෝ අවස්ථාවලදී ජවිපෙ තම අරමුණ ඉටු කරගනු ඇතැයි ආසන්නව පෙනුණු අවස්ථාවලදී ඔවුන්ගේ තැත ව්‍යර්ථ කිරීමට ජේ.ආර්ට හැකි විය”. ජවිපෙ අරගලය හමුවේ එජාප රජය රැකුණේ වාසනාව නිසා බව ජයවර්ධන ජනාධිපතිවරයා ම විශ්වාස කළ බව ඉන් පෙනී යයි. 1989 මැද වෙද්දී රටේ පාලන බලය වරින් වර ජවිපෙ වෙතත් රජය වෙතත් දෝලනය වෙමින් තිබුණේය. එහෙත් හරි මොහොතේ නිවැරදි තීන්දුව ගැනීමට ජවිපෙ නායකයන්ට නොහැකි වූයෙන් විනාශය ඔවුන්ට ද ජය එජාපයට ද ලැබිණි.

අතිදුෂ්කර ගමනකින් පසු දිනාගත් රජය ජවිපෙ අත්අඩංගුවට පත්වීම මාලිමාවට ඡන්දය ලබා දුන් පිරිස පවා කලකිරීමට ලක් කළ සිදුවීමකි. රජයේ වර්තමාන අවුල් ජාලාවට හේතුව ද එය ම බවට සැකයක් නැත.

ජනප්‍රිය දේශපාලන තීන්දු මත රැඳී සිටීමේ කාලය දැන් ආණ්ඩුවෙන් ගිලිහී ගොස් තිබේ. දරිද්‍රතාවෙන් පෙළෙමින් සිටින ජනතාවට හැඟීම්බර ප්‍රකාශවලින් ඇති ප්‍රයෝජනයක් නැත. සිදුවිය යුත්තේ ඔවුන් අතට මුදල් ගලා යාමය. මහා භාණ්ඩාගාරයෙන් ගෙන ජනතාව අතට මුදල් ලබාදෙන ක්‍රමය නොව තම ශ්‍රමය පුදා මුදල් උපයා ගැනීමට ජනතාව නැඹුරු වන ක්‍රමයක් ඇතිකළ යුතුය. ‘රටම වැඩ බිමක්’ ලෙස ක්‍රියාත්මක වූ විට මෙම අර්බුදය විසඳෙයි. ඒ සඳහා තවදුරටත් කල් මැරීම විනාශයේ ආරම්භය ය.

ප්‍රේමකීර්ති රණතුංග