නිශාන්ත කුමාර බණ්ඩාර

මෙනින්ජයිටීස් හෙවත් මොළේ උණ රෝගය පාසල් ළමයින් අතර ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින්නේ දරුවන් ඒකරාශි වීම හා ආහාර ජලය බෙදා ගැනීම නිසා බැවින් උණු කර නිවාගත් ජලය භාවිත කිරීම වැදගත් බව කියන වසංගත රෝග විද්‍යා අංශය ජල බෝතල් හවුලේ පාවිචිචි කිරීමෙන් වළකින ලෙස පාසල් දරුවන්ගෙන් ⁣ඉල්ලීමක් ද කරයි.

මෙම රෝගය වඩාත් පැතිර යන්නේ පාසල් දරුවන් අතර බවත් රෝගය වැලඳුණු කිසිම රෝගියකුට බරපතළ තත්ත්වයක් දක්වා එය වර්ධනය වී නොමැති බවත් දින කිහිපයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝගය සුව අතට හැරෙන බවත් එම ආයතනය සඳහන් කරයි. බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ මාතර යන දිස්ත්‍රික්කවල රෝගය පැතිර යාමේ වැඩි ප්‍රවණතාවක් පසුගිය දිනවල ඇති විය.  

වර්ෂාව සහ වෙසක් සමයේ ජනයා ගැවසෙන උත්සව ඔස්සේ මෙම රෝගය පැතිර යා හැකි බව ද පවතින වර්ෂා කාලයේ දී වෙසක් උත්සවය ආශ්‍රිත දන්සැල් ආදී කටයුතුවල දී මෙම රෝගය පැතිර යාමේ ඉඩකඩක් පවතින බවද  සෞඛ්‍ය අංශ පවසයි.  

උණ, හිසරදය හා බෙල්ලේ යම් සිරවීමක් ඇති වීම මෙම රෝගයේ මූලික ලක්ෂණ වන අතර පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් හා වාතයෙන්ද රෝගය බෝවීමේ අවදානම පවතින වෛද්‍යවරු පවසති.

ජනයා ඒකරාශි වන ස්ථානවල ශ්වසන රෝගී තත්ත්වයක් ඇත්නම් එය මග හැර යන ලෙසද මුඛ ආවරණ පැලඳීමට තවම නිර්දේශ කර නැතත් සෞඛ්‍ය අංශවල හා අධ්‍යාපන මාර්ගෝපදේශ පිළිපදින ලෙසද සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරයි. රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා දැනටමත් පියවර ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් 15 වැනිදා දෙනියාය කොටපොළ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයෙන් මෙම රෝගය පළමු වරට වාර්තා විය.

මෙයින්ජයිටිස් හෙවත් මොළේ උණ වසරක් පසා ව්‍යාප්ත වෙමින් පවතින බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරයි.