ප්‍රේමකීර්ති  රණතුංග  

රුපියල තවත් බාල්දු වීමට පෙර ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නැයි  ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට විපක්ෂය තීන්දු කර ඇත.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට  ඉකුත්දා  විපක්ෂයේ සියලු  පක්ෂ  කැඳවා තිබූ අතර  එහිදී    තීන්දු කර ඇත්තේ ආර්ථික අර්බුදය තවත්   උග්‍ර වීමට   පෙර විපක්ෂයේ  සියලු පක්ෂ සමග සාකච්ඡා කර රුපියල ස්ථාවර කිරීම සඳහා  වැඩපිළිවෙළක්  රජය  සකස් කළ  යුතු බවය.එවැනි වැඩ පිළිවෙළක් සඳහා විපක්ෂය සහාය ලබාදීම ද එහිදී සාකච්ඡාවට ලක් කර ඇත.

මූල්‍ය අරමුදලේ ඉදිරි වාරිකය ලබා ගැනීම සඳහා  මෙන්ම  අමතර  වාරිකයක් ලබා  ගැනීම සඳහා ද විපක්ෂයේ  සියලු  පක්ෂවල සහාය  ලැබෙන බව  මෙහිදී  සාකච්ඡා  වී තිබේ.

මේ පිළිබඳව  සජබ  මහලේකම් රංජිත්  මද්දුමබණ්ඩාරගෙන්  කළ  විමසීමේදී  ඔහු  පැවසුවේ  ආණ්ඩුව  මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ  සර්ව පාක්ෂික  සමුළුවක් කැඳවීම බවය.

මහ ලේකම්වරයා මෙසේද පැවසීය.

ආණ්ඩුවේ හිතුවක්කාර වැඩපිළිවෙල නවත්තලා රුපියල ස්ථාවර කරන්න  කටයුතු කළ  යුතුයි. රුපියල තවදුරටත් බාල්දු වුනොත් මුළු රටම ඇන හිටිනවා. එයට පෙර විපක්ෂයේ සියලු පක්ෂ රැස් කර සර්ව පාක්ෂික සමුළුවකින් මේ පිළිබඳව කතා කිරීමට අපි ජනාධිපතිවරයාට  ආරාධනා  කරනවා. 

ආර්ථිකය ආණ්ඩුවට පාලනය කරන්න බැරි තත්ත්වයට උග්‍ර වුවහොත්  අපි ඉල්ලා සිටින්නේ වහාම මැතිවරණයකට යන්න. ගිහින් රට පාලනය කරන්න පුළුවන් පිරිසකට භාර ගන්න අවස්ථාව දෙන්න කියන එකයි. යැයිද  සජබ  මහ ලේකම්වරයා පැවසීය.