පවුලක රන් භාණ්ඩ ණය බර රු 168,000 ක්

උපුල් වික්‍රමසිංහ

2026 මාර්තු වන විට රන් භාණ්ඩ උගස් කර වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය රුපියල් කෝටි එක් ලක්ෂ එක් දහස් එක සියය හැට නවය (101,169) දක්වා ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත ආශ්‍රයෙන් හෙළි වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසයි.

2024 අවසානයේ එම අගය රුපියල් කෝටි හැට හය දහස් විසි හතරක් (66,024) වූ බව කියන මහාචාර්යවරයා, 2026 මාර්තු දක්වා ගත වූ මාස පහළොවක කාලයේ දී රන් භාණ්ඩ උගස් කර වාණිජ බැංකුවලින් ණය ලබා ගැනීම් රුපියල් කෝටි 35,145 කින් වැඩි වී ඇතැයි ද හෙළි කළේ ය.

මෙම දත්ත මෙරට මුළු පවුල් සංඛ්‍යාව වන මිලියන 6ක අගයෙන් බෙදීමෙන් එක් පවුලක් රන් භාණ්ඩ උගස් කර වාණිජ බැංකුවලින් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය දැන ගත හැකි වෙන බවත් ඒ අනුව, වසර 2026 මාර්තු වෙනවිට එක් පවුලක් තමන් සතු රන් භාණ්ඩ උගස් කර වාණිජ බැංකු වලින් රුපියල් එක් ලක්ෂ හැට හත් දහස් හත් සියය හැට එකක (167,761) මුදලක් ණයට ගෙන ඇති බවත් හෙතෙම කීවේ ය.

වසර 2024 අවසානයේ දී එම අගය රුපියල් එක් ලක්ෂ නව දහස් හාර සියය අසූ දෙකක් (109,482) බව ද ගත වු මාස පහළොවක කාලයේ දී එහි වැඩිවීම රුපියල් රුපියල් කෝටි 58,279 ක් බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.

ලංකාවේ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දෙනු ලබන ණය සහ අත්තිකාරම්වල සැලකිය යුතු වර්ධනයක් පසුගිය අවුරුදු එකහමාරක කාලය ඇතුළත දැකගත හැකි බව ද 2024 අවසන් වෙන විට වාණිජ බැංකුවලින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය සහ අත්තිකාරම්වල වටිනාකම රුපියල් කෝටි එක් ලක්ෂ අසූ එක්දහස් පන්සිය දහතුනක් 181,513 බව ද එය 2026 මාර්තු වෙද්දි කෝටි දෙලක්ෂ හතළිස් හතර දහස් නව සියය හැත්තෑව දක්වා වැඩි වී ඇතැයි ද වැඩිවීම රුපියල් කෝටි 63,458 ක් බව ද කී ඔහු මෙයට නිවාස ණය ඇතුළත් නැති බව ද සඳහන් කළේ ය.

නිවාස ණයත් ඇතුළත කළහොත් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දෙනු ලැබ ඇති මුළු ණය ප්‍රමාණය 2024 අවසන් වෙද්දී රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන් දහස් තුන්සියය හතළිස් දෙකක් බවත් එය 2026 මාර්තු වන විට රුපියල් කෝටි තුන් ලක්ෂ තිස් අට දහස් හැත්තෑ එක දක්වා වැඩි වී ඇති බවත් අදාළ කාලයේ දී වැඩි වූ ප්‍රමාණය රුපියල් කෝටි 82,729 ක් බවත් මහාචාර්යවරයා අනාවරණය කළේ ය.

පෞද්ගලික අංශය විසින් වාණිජ බැංකුවලින් ගන්නා ලද ණය ප්‍රමාණය රටේ සිටින පවුල් සංඛ්‍යාවෙන් බෙදූ විට එක් පවුලක් ලබාගෙන ඇති ණය ප්‍රමාණය හෙළි වන බව කී ඔහු, 2024 අවසන් වෙනවිට එම අගය රුපියල් 423,415 ක් වූ බවත් 2026 මාර්තු වෙද්දි එය රුපියල් 560,999 දක්වා වැඩි වී ඇති බවත් වැඩි වූ ප්‍රමාණය රුපියල් 137,184 ක් බවත් අනාවරණය කළේය.

පෞද්ගලික ණය ගැනීම්වලට අදාළ සංඛ්‍යා දත්ත පිරික්සීමේ  දී අධ්‍යාපනයට ගන්නා ණය ප්‍රමාණය පමණක් අඩු වී ඇති බව නිරීක්ෂණය වූ බව ද ක්‍රෙඩිට් කාඩ්, ණය පාරිභෝජන ණය ආදිය ඉහළ ගොස් ඇතැයි ද හෙතෙම පැවසීය. මේ තත්ත්වය පාලනය කිරීමට මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමා ඇති බව ද මහාචාර්යවරයා කීවේය.