සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

 

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සමග කළ සාකච්ඡාවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේ ඔබත් එතැනට ගියා ද?

පිළිතුර:- මට යන්න බැරි වුණා. මොකද මම කොළඹින් පිට හිටපු නිසා. නමුත් මම ඉතාම කනගාටුවට පත් වෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රජය සලකන ආකාරය සම්බන්ධයෙන්.

ආණ්ඩුවේ ගමන් මග සම්බන්ධයෙන් ඔබේ දැක්ම ?

පිළිතුර:- ඉතාම අදක්ෂ ඉතාම අකාර්යක්ෂම ඒ වගේම අපරිණිත රාජ්‍ය පාලනයක් බව තමයි මේ ගෙවිච්ච අවුරුදු එකහමාර කාලය තුළ පෙන්වලා තියෙන්නේ.

ඔබ මැයි දිනය දා ප්‍රකාශයක් කරලා තිබුණා. මේ රජය තියෙන්නේ 2027 මැයි 21 වැනිදා වනතුරු පමණයි කියලා. ඔබ ටක්කෙටම ​ එහෙම කියන්නේ කොහොම ද?

පිළිතුර:- ඇත්තටම මම ඒ ප්‍රකාශය කළේ  අපේ පක්ෂයේ මැයි දින රැලියෙදී. මැයි 1 උදේ තමයි රැලිය තිබුණේ. මම එහෙම කිව්​වේ හිතුමතේම නොවෙයි. මම ව්‍යවස්ථානුකූල කාරණාවකුයි මම එතැන දී මතු කළේ. මෙම රජය බලයට පත්වුණේ 2024 නොවැම්බර් 21 වැනිදා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට රජය විසුරුවන්න බලය ලැබෙන්නේ අවුරුදු දෙකහමාරකින්. ඒ අවුරුදු දෙක හමාරේ දිනය උදා වෙන්නේ 2027 මැයි 21 වැනිදාට. වත්මන් රජයේ ගමන් මාර්ගය දිහා බැලුවම ඔවුන් පෙන්වන අපරිණත ආකාර්යක්ෂම ස්වභාවය අදූරදර්ශී ස්වභාවය හා විචක්ෂණ භාවයෙන් තොර රාජ්‍ය පාලනය දිහා බැලුවම අවුරුදු දෙකහමාරකට වඩා මේ රජයට යන්න අපහසුයි. දැන් අවුරුදු එක හමාරකට මෙහෙමයි. තව අවුරුද්දක් විතර යනකොට සාධාරණයි. ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ජනමතය යළිත් උරගා බලන්න. මම කිව්වේ ඒ ව්‍යවස්ථාපිත තත්ත්වයට අනුකූලව ජනාධිපතිවරයාට ඒ තැනට යන්න වෙයි කියලයි.

ඒ දවස වෙනතෙක් ඔබ ජීවත් වෙයි ද කියලා ජනාධිපතිවරයා කිව්වා.

පිළිතුර:- මම අර ප්‍රකාශය කරලා පැය කිහිපයක් යන්න පෙර ජනාධිපතිවරයා මහරගම තිබුණ ජාතික ජනබලවේගයේ මැයි දින රැස්වීමේ දී කිව්වා ‘කෙනෙක් දිනයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔහු ඒ දින වෙනකම් ජීවත් වෙයි ද කියලා අපි බලමු. හිටියොත් අප ඔහුගෙන් අහලා බලමු කියලා.

ඔබට ඒකට දෙන්න පිළිතුරක් තියෙනව ද?

පිළිතුර:- මේ ප්‍රකාශය කරන්නේ රටේ විධායක ජනාධිපතිවරයයි. ඒ වගේම ඔහු තමයි සේනාධිනායක. එතකොට ඔහු මෙහෙම කතාවක් කියන්නේ මොන පදනමින් ද? බුද්ධි තොරතුරක් ලැබිල ද?  මම  පැහැදිලිව කියනවා මේක මරණ තර්ජනයක්. මගේ මානව හිමිකම් කඩ කිරීමක්. මගේ වයස අවුරුදු 45යි. මම  මගේ සෞඛ්‍යය ගැන ඉතාමත් සැලකිලිමත් වෙනවා. එහෙම අකාල මරණයකට මට හේතුවක් නෑ. ඒ නිසාම ඒක සරලව ගත හැකි ප්‍රකාශයක් ​ නොවෙයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබ යම් පියවරක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා ආරංචියි.

පිළිතුර:- මෙහෙමයි. ඔහු මේ රටේ ජනාධිපතිවරයා. මේ ගැන ජාත්‍යන්තරයට කියන්න පුරවැසියෙක් හැටියට මට ලජ්ජයි. රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජාත්‍යන්තරයට ගෙන යනවට මම විරුද්ධයි. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ හරි ගෝඨාභය රාජපක්ෂ හරි ජනාධිපතිවරයා වෙලා ඉන්නකොට විරුද්ධ පක්ෂයක නායකයකුට ‘‘අපි බලමු එයා ජීවත් වෙයි ද?’’ කියලා කතාවක් කිව්වානම් කොහොම තියෙයි ද? එහෙමනම් මානව හිමිකම් සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන බටහිර තානාපති කාර්යාල මිනිත්තු පහෙන් පහට පුවත්පත් නිවේදන ට්විට් ගහනවා. ජේවීපී එක පසුත් කයි. අද ඒ මොකුත් නෑ. ඒකට හේතුව තමයි අද මේ ආණ්ඩුව රන් කරන්නේ, ඇජෙන්ඩා එක දෙන්නේ බටහිරෙන්. නිදහසෙන් පස්සෙ ලංකාවේ බිහි වෙච්ච හැම රජයකටම වැඩිය මේ රජය බටහිරට ගැතියි. ඒ වගේම ඉන්දියාවට දණ ගහනවා. බල කෑදරකම නිසා කියන ඕනෑම පදේකට නටනවා.

විපක්ෂයත් සද්ද නෑනේ. ආණ්ඩුව නම් කියන්නේ පොල් මල පොළොවේ ගැහුවා වගේ විපක්ෂය විසිරිලා කියලයි.

පිළිතුර:- පොල්මල පොළොවෙ ගහන්න අමුතුවෙන් දෙයක් තිබුණේ නෑනේ. විපක්ෂය සීසීකඩ ගිහිල්ලනේ තිබුණේ. රජය බලයට පත්වෙන කොටත් විපක්ෂය විසිරිලා හිටියෙ. පොල්මල පොළොවේ ගහලා තිබුණු අවස්ථාවක තමයි මේ රජය බලයට පත් වුණේ. සීසීකඩ වුණ විපක්ෂය අවුරුදු එක හමාරක් යන කොට ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා නැවත එකතුවන බවක් තමයි පේන්නේ.

විපක්ෂය පණ මදි කියලත් චෝදනාවක් තියෙනවා.

පිළිතුර:- ඒකේ යම්කිසි සත්‍යතාවක් තියෙනවා. ප්‍රධාන විපක්ෂය වන සමගි ජනබලවේගයෙ තුළ විපක්ෂ නායකතුමාගේ ක්‍රියා කලාපය දිහා බැලුවම රටේ ජනතාවට  එහෙම හිතෙන එක පුදුමයක් නොවෙයි. අපිට පේනවා විපක්ෂ නායකතුමා රජයට විරෝධතාව දක්වන්නේ තෝරාගත් මාතෘකා කිහිපයකට, තෝරාගත්. මාත්‍රාවකට පමණයි කියලා. ඒ කියන්නේ එතුමා විසින්ම පනවාගෙන තියෙනවා. සීමාවක් ‘‘මම මෙන්න රජයට විරුද්ධ වෙන්නේ මෙන්න මේ සීමාවට මම මෙන්න රජයට විරුද්ධ වෙන්නේ මෙන්න මේ සීමාවට විතරයි’’ කියලා මාතෘකාවක් තෝරාගෙන පාර්ලිමේන්තුවේ උදේ කතා කරනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියනවා. එච්චරයි. ඒ නිසා රජයට දැනෙන විරෝධතාවක් ප්‍රකාශයට පත් කරන්න විපක්ෂනායකවරයා අසමත් වෙලා තියෙනවා. ඒ හින්දා විපක්ෂයෙ අනිකුත් කණ්ඩායම්වලට සිද්ධ වෙලා තියෙනවා විපක්ෂයේ කාර්යභාරය ඉදිරියට ගෙනියන්න.

ඒ නිසා ද ඔබලා වෙනමම සංවිධානය වෙන්නේ? 

පිළිතුර:- ඔව් මේ වෙනකොට විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම් දෙකක් මතුවෙලා තියෙනවා. ඒකාබද්ධ විපක්ෂය කියන ශීර්ෂය යටතේ මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ කැඳවුම්කාරත්වයෙන් එක කණ්ඩායමක් සංවිධානය වෙනවා. ටිරාන් අලස් මහත්තයා එක්ක තව කණ්ඩායමක් එකතු වෙලා ඉන්නවා. ඒ විදියේ කේන්ද්‍රගතවීම් දෙකක් අපට පේන්න තියෙනවා.

සර්ව ජන බලය ඉන්නේ කා එක්කද?

පිළිතුර:- ඒ කණ්ඩායම් දෙක සමග සුහදව වැඩ කරන්න අපි තීරණය කරලා තියෙන්නේ.

ඔබ කිව්වා ‘‘විපක්ෂ නායකවරයා සීමාවක් හඳුනාගෙන ඉන්නවා’’ කියලා ඒකට හේතුවක් ඔබ දකිනවද?

පිළිතුර:- මම හිතන්නේ එතුමා යම් බියකින් පසුවෙනවා. පහුගිය කාලයේ අපට මතකයි එතුමට විරුද්ධව චෝදනා කිහිපයක් එල්ල වුණා. විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව කාලයේ එතුමා අමාත්‍යවරයා හැටියට සිදුවුණු යම් ගනුදෙනු පිළිබඳව. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිවාස අධිකාරියෙ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විමර්ශන ගැන අපට අහන්න ලැබුණා. ඒ සම්බන්ධයෙන් එතුමා යම් බියකින් පසුවෙනවා වෙන්න ඇති. ඔබට මතක ඇති බිමල් රත්නායක ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ දී කිව්වා ‘‘අපට ඉන්න හොඳම විපක්ෂ නායකවරයා මෙතුමයි. එතුමා රැකගැනීම සඳහා අපේ 158 දෙනාගෙම සහයෝගය අත් දෙකම උත්සලා දෙනවා කියලා කිව්වනේ. ඉතින් ආණ්ඩුව බොහොම පහසුවෙන් විපක්ෂ නායකතුමා එක්ක ඉන්නවා කියලයි පේන්නේ.

දැනට රටේ ‘‘තෙරපුම් නායකයන් දෙදෙනකු ඉන්නවා’’ කියල කියනවා. එක් කෙනෙක් නාමල් රාජපක්ෂ. අනික් කෙනා ඔබේ සර්ව ජනබලය පක්ෂයේ නායක දිලිත් ජයවීර. ඔබ මොකද කියන්නේ ?

පිළිතුර:- ඇත්තටම නාමල් රාජපක්ෂ මහත්මයා දකුණේ පාරම්පරික දේශපාලනික මූලයක් තියෙන දක්ෂ තරුණ දේශපාලනඥයෙක් හැටියට අපි හඳුන්වා ගන්නවා. ඉතින් එතුමාගේ පාක්ෂිකයන් එතුමාව ඉදිරියට ගෙන ඒම සඳහා උත්සාහයක් දරනවා. උපරිම කැප කිරීමක් කරනවා. ග්‍රාමීය මට්ටමෙන් එතුමාට ජනප්‍රසාදයක් වර්ධනය වෙන ආකාරයකුත් අපට පේනවා.

එතකොට දිලිත් ජයවීර?

පිළිතුර:- දිලිත් ජයවීර මහත්තයා මේ රටේ දේශපාලකයන් සමග දීර්ඝ කාලයක් ගනුදෙනු කරපු කෙනෙක්. එතුමාත් දකුණු පළාතේ ගාල්ලෙන් ඇවිත් ස්වෝත්සාහයෙන් තමන්ගේ ව්‍යාපාර ගොඩනගා ගත්ත අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉහළට ගියා. නීතිඥයෙක් වගේම දක්ෂ  ව්‍යවසායකයෙක්. එතුමාත් පහුගිය අවුරුදු එක හමාරක කාලයක් නව දේශපාලන බලවේගයක් හැටියට අපට පේනවා. රට පුරා යනවා. එතුමාට සැලකිය යුතු ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ වගේම නව දේශපාලන කණ්ඩායමක් එතුමාට බිහිකරගන්න පුළුවන් වෙලා තියෙනවා. මීට පෙර දේශපාලනයෙ නොහිටපු අලුත් මුහුණ 20කට ආසන්න ප්‍රමාණයක් එතුමාට මාධ්‍ය අත්දැකීම් තියෙනවා. සුපර් ස්ටාර් තුළින් ගායක ගායිකාවන් විවිධ කලා කුසලතා තියෙන අය එළියට ගත්තා වගේ අලුත් තරුණ මුහුණු ඉදිරියට ගෙන ඒමේ වැඩ පිළිවෙළක් එතුමා පටන් අරගෙන තියෙනවා කියලා අපට පේනවා.

නාමල් - දිලිත් දෙන්නාගෙන් ඔබට අනුව කවුද දැන් ඉදිරියෙන් ඉන්නේ?

පිළිතුර:- ජාතික කඳවුර දිහා බැලුවම මේ දෙදෙනාම සම්පත්. මම නියෝජනය කරන්නේ සර්ව ජන බලය. ඊළඟට එන මැතිවරණයකදී වඩ වඩාත් ශක්‍යතාවයකින් යුතුව ඉදිරියට එන්න විභවය තියෙන්නේ දිලිත් ජයවීරට කියලා මම විශ්වාස කරනවා. පොදුජන පෙරමුණේ පාක්ෂිකයන්ට නාමල් රාජපක්ෂ ගැන ඒ වගේම විශ්වාසයක් තියෙනවා. අපි අනාගතයට ඉඩදීලා බලා ඉමු. වඩාත් ජවසම්පන්න ලෙස ඉදිරියට එන්නේ කවුද කියලා.

මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු සැකකයුතු ලෙස මියගියා. කපිල චන්ද්‍රසේන දිවිනසා ගත්තා කියලා කිව්වා. මේවා හුදෙකලා සිදුවීම්ද නැත්නම්  යටින් වෙන හේතු තියෙනව ද?

පිළිතුර:- පැහැදිලිවම මෙතැන දේශපාලනයක් තියෙනවා. ඒකට හේතුව අද ආණ්ඩු කරන්නේ රටේ දෙපාරක් දස දහසක් ජීවිතවලට වගකිවයුතු දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම ඔවුන් රහසිගත දේශපාලනයක් කළ බව කවුරුත් දන්නවා. ඒ වගේම 2022 මැයි 9 දා එදා පාලනයේ හිටපු අයගේ ගෙවල් දොරවල් ගිනි තියල, ර​ටේ මහා භීෂණයක් ඇති කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සැලකිය යුතු දායකත්වයක් තිබුණා කියලා. චෝදනා එල්ල වුණා. ගම් මට්ටමේ ඔවුන්ගේ සමහර ක්‍රියාකාරිකයන් තමයි ඒකට වැඩියෙන්ම දායක වුණේ කියලා මම කියනවා.

ඔබ එහෙම කියන්නේ මොන පදනමින් ද?

පිළිතුර:- අනුරාධපුරයේ මගේ කාර්යාලය ගිනි තියන්න ප්‍රධාන වශයෙන්ම ආවේ ජවිපෙ පිරිස. එතකොට ඔවුන්ට වගේම දේශපාලන අර්ථයක්  තියෙනවා. මෑතකදී යූටියුබ් සාකච්ඡාවකදී අනිල් කියන මහත්තයෙක් කිව්වා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙච්ච වෙලාවෙ එයාව ඝාතනය කරන්න තමන්ට තමයි උපදෙස් දුන්නේ කියලා. අනිල් කියන මහත්මයා ඒ කාලේ ජවිපෙ පූර්ණකාලීනයෙක්. මේක කවුරුත ප්‍රතික්ෂේප කරලා නෑ. ඒ වගේම නන්දන ගුණතිලක මහත්මයා තමන්ට ජීවිත තර්ජනයක් තියෙනවා කියලා ප්‍රසිද්ධියේ කිව්වා. එතුමා මියගියා. ඊට පස්සෙ එතුමාගේ සොහොයුරිය පැමිණිල්ලක් කළා තමන්ගේ සොහොයුරාගේ මරණය ගැන සැකයක් තියෙනවා කියලා. ඒ පැමිණිල්ලට මොකද වුණේ කියලා අපි තාම දන්නෙ නෑ. කන්ටේනර් 323 සිද්ධියේ පැමිණිලිකාරයා තමයි ඩෑන් ප්‍රියසාද්. ඔහුට වෙඩි තබා මරා දැම්මා. ඒ විමර්ශනවලට මොකද වුණේ ඒ මරණ ගැන ඇතිවෙන සැකය ජවිපෙ ඉතිහාසයත් සමග ගලපා ගත්තට පස්සේ සාධාරණයි. මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මෙන්ම කපිල චන්ද්‍රසේන මහත්මයාගේ මරණයත් සැක කටයුතු වෙන්නේ ඒ අනුවයි. 

ප්‍රසන්න සංජිව තෙන්නකෝන්