
බදුකරණය සරල කරන ආණ්ඩුව මුළු රටවැසියන්ටම බදු අංකයක් අනිවාර්ය කර තිබේ. සියලුම දෙනා සෘජු බදු ගෙවිය යුතුය. එතැනින් නතර නොවන වත්මන් සමාජවාදී ආණ්ඩුව වක්‍ර බදු ප්‍රතිශත ද තර කරමින් සිටී. ලබන ජූලි පළමුවැනි දා සිට වැට් බද්ද සංශෝධනය කෙරේ. එය සමාජයෙන් වක්‍රව අය කරන ක්‍රමයකි. සෘජු බදු ආදායම ප්‍රතිශතයක් වශයෙන් ඉහළ නංවන විට වක්‍ර බදු ප්‍රතිශතය සීමා කළ යුතුය. එහෙත් සෘජු හා වක්‍ර බදු තරගයට නංවන විට මුළු රටට ම එක මිටට බදු ගෙවන්නට සිදු වී තිබේ. ආණ්ඩුව අය කරගන්නා බදු ප්‍රමාණය අනුව සමාජය දුප්පත් වන බව මෙහි දී මතක තබාගත යුතු කරුණකි. උපයන දෙයින් කොටසක් බදු වශයෙන් ගෙවන අතර තවත් වටයකින් බදු වැඩිකරන පසු ඇති කරන පීඩනය බරපතළ බව සඳහන් කරනු වටී.
වටිනාකම මත අයකරන බදු ක්‍රමය වැට් වශයෙන් හැඳින්වේ. එය සාධාරණ ක්‍රමයක් බව අන්තර් ජාතික පිළිගැනීම වේ. වැට් ගෙවන පිරිස විසින් ඒවා නැවත ප්‍රතිපූර්ණය කරගැනේ. බද්ද ගෙවන්නේ අවසාන පාරිභෝගිකයාය. නිෂ්පාදනයක් හෝ සේවාවක් කරන ව්‍යවසායකයන්ට ඔවුන්ගේ පිරිවැටුම අනුව බදු නියම වන නමුත් අමුද්‍රව්‍ය ආනයනය, මෙවලම් ගෙන්වීම හෝ තොග වෙෙළඳාම වැනි සෑම අවස්ථාවක දීම මුලින් ගෙවන ලද තැනැත්තාට හෝ ආයතනයට ඔවුන් ගෙවූ බද්ද ආපසු ඉල්ලා සිටිය හැකිය. පාරිභෝගිකයාගෙන් එකවරක් පමණක් අය වන බද්දක් බැවින් මතුපිටින් සලකා බලන පසු එය ඉතා ගැළපෙන ක්‍රමයකි. සමීකරණය තුළ සර්ව සාධාරණත්වය පෙන්වන නමුත් ඉහළ ප්‍රතිශතවලින් අය කර උපයන ආදායම වැය කරන ආකාරය දකින පසු විශාල විවේචනයක් ඇති වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණයට අවනතවීම
2024 ජනවාරි මාසයේ සිට වැට් බද්ද සියයට දහ අට දක්වා වැඩි කෙරිණ. එහි දී මෙතෙක් ආවරණය නොකළ කොට්ඨාස අනූ හතකට අලුතින් පැනැවීමටත් අනුමැතිය පළ කෙරිණ. ලබන ජූලි පළමුවැනි දා සිට එයට තවත් සංශෝධනයක් පනවා ඇත. එය සාමාන්‍ය වැට් බදු ගෙවන කණ්ඩායම්වලට බලපෑමක් නොවේ. නමුත් මූල්‍ය අංශයට සමාජ ආරක්ෂණ බද්ද වෙනම ගෙවීම වෙනුවට එම බදු දෙකම එකක් සේ සලකා සියයට 20.5 ක බද්දක් පැනැවෙනු ඇත.
වැට් බද්ද වැඩිකරන බවට ඇතැම් මාධ්‍ය ගෙනගිය ප්‍රචාර සම්බන්ධයෙන් පිළිතුරු දෙන ආණ්ඩුව වැට් බද්ද වැඩිකර නැති බව අවධාරණය කර තිබේ. එය ඇත්තකි. එහෙත් මෙතෙක් වැට් බදු නොගෙවූ කණ්ඩායමකට අලුතින් වැට් බද්ද ගෙවන්නට සිදුවේ. ගෙවන්නේ මෙරට මහජනතාවය. මහජනතාව ගෙවන වැට් බදු ඉහළ යනු ඇත. එය ද සම්පූර්ණයෙන් සත්‍ය ප්‍රකාශයකි. වාර්ෂික පිරිවැටුම රුපියල් ලක්ෂ හය සියය ඉක්ම වූ පසු වැට් ගෙවිය යුතුව තිබිණ. අලුත් තීරණය අනුව රුපියල් ලක්ෂ එකසිය පනහක පිරිවැටුමක් සහිත සියලුම අංශ වැට් සඳහා ලියා පදිංචි විය යුතු වේ. අවුරුද්ද පුරා ගනුදෙනු කරන ව්‍යාපාරයක් හෝ සේවාවක් එක් දිනක පිරිවැටුම රුපියල් හතළිස් දහස ඉක්මවන පසු වැට් ලියාපදිංචියට යටත්ය.
ආණ්ඩුවේ ආදායම වැඩිකරගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශයකි. ආදායම හා වියදම පාලනය කරගත යුතුවේ. ණය ගැනීම හෝ මුදල් අච්චු ගැසීම නතර කළ යුතුය. එම කොන්දේසිවලට යටත්ව සිටින ආණ්ඩුව සිය වියදම ඉහළ නැගෙන පසුම්බියේ අන්තිම රුපියල ද අත්පත් කරගනිමින් සිටී.
වියදම ඉහළ යන පැති ගැන නොතැකීම
ඡන්ද වේදිකාවේ දී ප්‍රකාශ කරන ලද නිර්මිත පරිසරය අදට වලංගු නැත. එක පැත්තකින් බරපතළ විපත් සිදුවී තිබේ. දිට්වා කුණාටුව විශාල ආර්ථික අලාභයක් කළේය. මැදපෙරදිග යුද උණුසුම ශ්‍රී ලංකාව වැනි රටකට උහුලාගත නොහැකි පිරිවැයකි. විනාශ වී ගිය ජීවිත හා දේපොළ සඳහා වන්දි ගෙවන ආණ්ඩුව විසින් අය වැය අතිරේක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ලදි. බලශක්ති වියදම පාලනය අරමුණු කරගෙන ආණ්ඩුවෙන් ගෙවා සහන සලසන බව ප්‍රකාශ කර තිබේ. අවසානයේ දී මහා භාණ්ඩාගාරයට මෙම වියදම් කළමනාකරණය කරන්නට සිදුවේ. එය පහසු නැත. භාණ්ඩාගාරයට ද හැකර් ප්‍රහාර එල්ල වී තිබිය දී තවත් අපහසුතා ඇතිවේ.
අනාවරණය වී තිබෙන කරුණු අනුව ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් අන්සතු වී ඇත. රජයේ ගෙවීම්වල දී එවැනි අත්වැරදීම් සිදුවිය හැකි බව ආණ්ඩුව පිළිගෙන තිබේ. ගල් අඟුරු ආනයනයේ දී සිදු වී තිබෙන තත්ත්වය ද විශාල අවාසියකි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගණන් හිලව්වලින් පමණක් නොව රජයේ විගණකාධිපති වාර්තාව ද තහවුරු කර ඇත. ඉන්ධන ආනයනයේ දී ගෙවන ලද මිල ගණන් ගැන තවත් දත්ත හෙළිදරව් වී තිබේ. මැති ඇමැතිවරුන්, නිලධාරීන්, ආයතනික මට්ටමින් වියදම් කපාහැරීමක් නැත. රජය කරන ලද වැරදිවල වන්දිය ජනතාව මත පටවන්නේ නැති බව අවධාරණය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක ණය ගන්නේ නැති අතර මුදල් අච්චු ගහන්නේ නැති බව ද ප්‍රසිද්ධියේ කියා සිටියේය.
ආණ්ඩුවට සිදුවී ඇති බරපතළ අවාසි ආවරණය කරගැනීම සඳහා වැට් හෝ වෙනත් බදු සංශෝධනය නොකරන බවක් එතුමා කියා සිටියේ නැත. තිරිඟු පිටිමිල වැඩි කෙරිණ. මෑත සති කිහිපයේ දෙවතාවක් ඉන්ධන මිල ඉහළ නංවා ඇත. විදුලිය ගාස්තු වැඩි කරන්නට සිදුවන බව ප්‍රකාශ වී තිබේ. වැට් බද්ද ද එකතු වූ පසු භාණ්ඩාගාරයේ අස්ථානගතවීම් පමණක් නොව රජයේ ධන හානි ද සියලුම පැතිවලින් ආවරණය කරගත හැකිවේ.
පාර්ලිමේන්තු බහුතරයක් අනුමත කර කථානායකවරයාගේ අත්සන යෙදූ පසු වැට් බද්ද ගැන මැසිවිලි නැගීමෙන් පලක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව මහජනතාව පත්කරන නියෝජිතයන් ව්‍යවස්ථානුකූලව තීරණ ගන්නා අතර එම තීරණ බහුතරයකගේ මතය වශයෙන් පිළිගැනේ. වැට් බද්ද ඇතුළු මහජනතාව මුහුණ දෙන දුෂ්කරතා ගැන රට පුරා උද්ඝෝෂණ හා වර්ජන පැන නැගී ඇති නමුත් මෙම අදහස් ආණ්ඩුවේ අවධානය එතරම් දිනාගන්නා බවක් දැනට ප්‍රකාශ නොවේ.
ඉහළ සිට පහළ ජන කොටස දක්වා තියුණු බලපෑමක්
2023 අවසානය තෙක් වැට්වලින් ලැබුණ ආදායම අනුව සලකා බලන විට 2024 වැට් බදු සංශෝධනවලට පසු එම අදායම සියයට හතළිස් හයකින් වැඩි කරන්නට හේතුවනු ඇතැයි සැලකිණ. ඩීසල් සහ පෙට්‍රල්, ගෑස් සහ පොහොර ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් වැට් බද්දට ඇතුළු කිරීමෙන් පසු එවැනි පසුබිමක් වාර්තා වී තිබේ. 2023 වසර දක්වා වැට්වලින් නිදහස් කර තිබුණ භාණ්ඩ වර්ග 138 කින් 97 ක් වැට් ගෙවිය යුතු කාණ්ඩයට ඇතුළු කිරීමෙන් පසු ඖෂධ, ආබාධිතයන් සඳහා උපකරණ, සහල් පිටි හා තිරිඟු පිටි, එළවළු, පලතුරු හා දියර කිරි වැනි අතළොස්සක් පමණක් වැට් බද්දෙන් නිදහස් කර තිබිණ. 2026 වසරේ යෝජිත වැට් සංශෝධනය සමග රජයේ ආදායම තවත් රුපියල් බිලියන 42 කින් ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. මෙම මුදල ගෙවන්නේ දුප්පත් ජනතාව බව සඳහන් කළ යුතුය.
මහජනතාව ඉන්ධන සඳහා අධික මිලක් ගෙවමින් සිටී. ගෑස් මිල ඉහළය. පොහොර මිල වැඩි අතර හිඟයක් ද තිබේ. විනිමය අනුපාතිකය අනුව ඉදිරියේ දී ගෙන්වන පොහොර මිල තවත් වැඩි වනු ඇතැයි සැලකේ. මෙවැනි පසුබිමක් තුළ ඉන්ධන, ගෑස් හා පොහොර වැනි අංශවල වැට් බදු ඉවත්කර ජනතාවට සහනයක් සැලසිය යුතුව තිබිණ. නමුත් එවැනි පියවරක් සඳහා ආණ්ඩුව සූදානම් නැත. මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබුණ ඖෂධ ඇතුළු වෙළෙඳ ද්‍රව්‍යවලට ද බද්ද ගෙවන්නට සිදුවේ දැයි පැහැදිලි නැත.
කෙසේ නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තොග වෙළෙන්දන් හා සුළු වෙළෙන්දන් අලුත් නියෝගවලට අනුව ක්‍රියා කළ යුතු වේ. ආදායම හා ඒවායේ ලියැකියැවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත්වන අවස්ථාවල අධික දඩ හා අය කරගත හැකි පරිදි නීති පනවා තිබේ. ආණ්ඩුවට බද්ද ගෙවන හෝ නොගෙවන හෝ ඕනෑම තැනක දී වැට් බදු ගැන කියා භාණ්ඩ හා සේවා මිල ඉහළ නංවනු ඇත. එය පාරිභෝගික ජනතාවට මහත් හිසරදයක් වනු නිසැකය. අනෙක් අතට ඩිජිටල් ආර්ථිකයක් බව අවධාරණය කරන පසුබිම තුළ ඒවායේ නිරත දේශීය නොවන ආයතනවලට ද වැට්ගෙවන්ට සිදු වූ පසු උද්ගතවිය හැකි සංකීර්ණතා මහත් පීඩා ගෙන දෙනු ඇත.
ආණ්ඩුවේ වියදම් අඩු නොකරන හේතු හෙළි කරනු
ජනතාව මත බර පටවන ආණ්ඩුව තමන්ගේ වියදම් පාලනය කරන්නට පියවර ගත යුතුය. මැති ඇමැති ඇතුළු රජයේ වියදම් පාලනය කළ යුතුවේ. ඔවුන් ගේ වැටුප් හෝ දීමනා පාලනය වී නැත. අධි සුඛෝපභෝගි වාහන, ඒවායේ පරිවාර රථ, ආරක්ෂක අංශ හා නිලධාරීන්ගේ අතිරේක දීමනා මහජන මුදල් බව අවධාරණයෙන් පෙන්වා දිය යුතුය. රටක් දුෂ්කර තැනක පවතින අතරවාරයේ මැති ඇමැතිවරු සහ නිලධාරීන්ගේ විදේශ ගමන් හා විශේෂ දීමනා තාවකාලිකව අත්හිටුවීම අවශ්‍යය.
දුෂ්කර තත්ත්වයක් යටතේ මහජනතාවට ඉහවහා ගිය බදු පනවන ආණ්ඩුව රජයේ විදුලිය හෝ ඉන්ධන භාවිතය සීමා නොකරන්නේ ඇයි? අනෙක් අතට රජය් කාර්යාලවල ඉඩකඩ මනාව හැසිරවිය යුතුවේ. වහාම කාර්යාල සංගණනයක් කළ යුතුය. අධික කුලී ගෙවන කාර්යාල රජයේ ගොඩනැගිලිවලට මාරු කර වියදම අවම කරගත යුතුවේ.
වැට් හෝ වෙනත් බදු ගෙවන ඕනෑම ආයතනයක් හෝ සේවාවක් එය තමන් උපයන දෙයින් කොටසක් බව සිහිපත් කළ යුතු වේ. ඒවා ආණ්ඩුවට ගන්නා ක්‍රම අඩු කළහොත් එම ධනය නැවතත් ආයෝජනය කෙරෙනු ඇත. සමාගම් හෝ පුද්ගලයන්ගේ ආයෝජන හැකියාව වැඩිවන තරමට මෙරට නිෂ්පාදනය හා සේවා අංශවල ප්‍රබෝධයක් ඇති වන අතර එය ආර්ථික වර්ධනයට හේතුවකි. ආර්ථිකය ප්‍රසාරණය වූ පසු එයින් කොටසක් රජයේ ආදායමට එකතු කරගත හැකිය. රටත් ජනතාවත් දුප්පත්ව සිටින අතර තවත් වටයකින් දුප්පත් කරන තීන්දු අවසානයේ දී ව්‍යවසායකත්වය තව තවත් සීමාවීම තව දුරටත් දුප්පත් භාවයට තල්ලු කරන ඉතා දරුණු විෂම චක්‍රයක් බව පෙන්වා දිය යුතුය. ආණ්ඩුවේ උපදේශකයන් ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම පැති ගැන නොසලකා තීන්දු ගැනීම වරදකි.
සාරා කන්දෙගොඩ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd