සුජිත් හේවාජුලිගේ

ගල්අඟු‍රු ගනුදෙනු සම්බන්ධයෙන් යම් යම් මගහැරුණු කොටස් තිබේ නම් ඒවා සොයා බලා ජනාධිපති කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පැවසීය.

පසුගිය කාලයේ දී සිදු වූ ගල්අඟු‍රු ගනුදෙනු සම්බන්ධයෙන් කෝප් කමිටුව තවදුරටත් විමර්ශන පවත්වාගෙන යයි. ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවසන් වාර්තාව බොහෝදුරට ලබන මාසයේ දී පාර්ලිමේන්තුවට බාරදීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා කීවේය.

ගල්අඟු‍රු ගනුදෙනු සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් ද තොරතුරු වාර්තා එම ජනාධිපති කොමිෂන් සභාවට දැනටමත්  භාරදී ඇත. පසුගිය 2009 වසරේ සිට ගල්අඟු‍රු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කොමිෂන් සභාව පත් කරනු ලැබීය.

කොමිෂන් සභාව ගල්අඟු‍රු ගනුදෙනු සම්බන්ධයෙන් දැනටමත් දහයකට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කර ඇත. මේ අතර කෝප් කමිටුවට ලබන සතියේදී නැව් සංස්ථාවේ ප්‍රධානීන් කැඳවීමට නියමිතය. මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් දෙවැනි  වතාවටත් කැඳවන බව එම කමිටුව පවසයි.