නිශාන්ත කුමාර බණ්ඩාර

අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් වැටලීම තවදුරටත් සිදු කෙරෙන අතර එම පරීක්ෂණ වාර්තාව නොමැති නම් ගමන් වාර ධාවනයට ඉඩ නොදෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය දැනුම් දෙයි.

පොදු ප්‍රවාහනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ අරමුණ බවත් ඒ යටතේ පොදු ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් හා කොන්දොස්තරවරුන් ඉලක්ක කරගෙන විශේෂ අන්තරායකර මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් ප්‍රවාහන, මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය මගින් සකස් කෙරෙන මාර්ග ආරක්ෂණ සැලැස්ම යටතේ ක්‍රියාවට නැංවෙන මෙම ක්‍රියාවලියේ තවත් එක් පියවරක් පසුගිය 26 වැනිදා නුගේගොඩ බස් නැවතුම්පොළේ දී පැවැත්විණ.

මෙම පරීක්ෂාව සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලයනල් මුහන්දිරම් ඇතුළු කණ්ඩායමක් සහභාගි විය.

එම ආයතනයේ ජංගම පරීක්ෂණාගාර බස් රථය තුළදී මෙම පරීක්ෂාව සිදුකර තිබේ. මෙහිදී නුගේගොඩ බස් නැවතුම්පොළේ ගාල් කර තිබූ බස්රථවල රියැදුරන් හා රිය සහායකයන් 172ක් පමණ මෙම අහඹු පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. ඉන් 05 දෙනකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවුරු වී ඇත.

මෙම පරීක්ෂණ වාර්තාව නොමැති නම් ඉදිරියේ දී බස් රථ ධාවනයට ගමන් වාර ලබා නොදෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මාර්ග පරීක්ෂක කේ. වී. සමින්ත පැවසීය. 

වැඩිදුරටත් අදහස් දැක්වූ මාර්ග පරීක්ෂක කේ. වී. සමින්ත මෙසේද කීය.

“ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වගේම ශ්‍රී ලංකා පොලිසිය එකතු වෙලා තමයි මේ පරීක්ෂණ සිදුකරන්නේ. පරීක්ෂණය අවසානයේ අපි සහතිකයක් ලබා දෙනවා. මත්ද්‍රව්‍ය ලබාගෙන ද, කියලා. ඒ වාර්තාව බලලා තමයි අපි මොවුන්ට නැවත ගමන් වර ලබා දෙන්නේ. මේ වාර්තාව අරගෙන නැත්නම් කොන්දොස්තරට හා රියැදුරුටත් සේවයේ යෙදෙන්න දෙන්නේ නැහැ.  පරීක්ෂණය නොමිලේ කරගන්න අවස්ථාව දීලා තියෙනවා. ඉදිරියේ දී දිවයින පුරාම මේ පරීක්ෂණ කරනවා. 

මෙහි අරමුණ වෙලා දිවයින පුරා සිටින රියැදුරු හා කොන්දොස්තරවරුන් මේ මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවාගෙන හොඳ විධිමත් ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමයි. එසේම මෙම පරීක්ෂණවලින් අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිත කළ රියැදුරන් හඳුනාගතහොත් ඔවුන්ට ආයතනික නීති පද්ධතිය යටතේ උපරිම දඬුවම් ලබා දෙනවා. රටේ පොදු නීතිය යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරනවා.”‍