
සිංහල පත්‍ර කලාවේ දීර්ඝ කාලයක් ජීවත් වූ ජ්‍යෙෂ්ඨතම පත්‍ර කලාවේදියා ලෙස නම් දරා සිටියේ සේනාධීර මහතාය. ඔහුගේ කලාව ආරම්භ වන්නේ ඩී.ආර්. විජේවර්ධන යුගයේදීය. වරක් විජේවර්ධනයන් සමග ගැටුමක් ඇති කරගෙන ලේක්හවුසියෙන් එළියට බැස්ස ඔහු අවසන් කාලයේ එය හඳුන්වා තිබුණේ කළුගලක ඔළුව ගසා ගැනීමක් ලෙසය. සේනාධීර මහතාද අබිබවා අවුරුදු 93ක් ආයු වලඳා මෙරට පත්‍ර කලාවේ අවසන් පුරුකක් පසුගිය සතියේ අප අතරින් වියෝවිය. ඔහු උපන්නේ 1933 පෙබරවාරි 16 වැනිදාය. ඔහු නමින් ස්වර්ණපාල අබේසිරි නාරායන වනිගරත්නය. නමුත් මොටාගෙදර උපන් ඔහු මෙරට කලා ලෝකයේ ප්‍රචලිත වූයේ මොටාගෙදර වනිගරත්න ලෙසය.
මොටාගෙදර වනිගරත්න නොහොත් ස්වර්ණපාල අබේසිරිට බාලව සහෝදරයන් හය දෙනක් සහ සහෝදරියන් තිදෙනෙක් සිටියහ. පවුලේ වැඩිමලාගේ හතර කේන්දරය පාළු නිසා මහණ කිරීමට දෙමව්පියෝ තීරණය කරන්නේ මේ අතරය. ස්වර්ණපාල ඊට අකමැති විය. මේ නිසාම මොටාගෙදර රජයේ පාසලට ඔහු ඇතුළත් කෙරිණ. හතර කේන්දරය පාළු වුවද මේ පුංචි කොලුවා ඉගෙනුමට උපන් හපනෙකි. ඔහුට ඉස්කෝලේ ලැබුවේ ඩබල් ප්‍රොමෝෂන් නොව ට්‍රිබල් ප්‍රමෝෂන් සමගය. මේ දරුවා චිත්‍ර ඇඳීමටද උපන් හපනෙක් විය.
මේ එදා මොටාගෙදර වනිගරත්න තම ජීවිතයේ මුල් කාලය මතකයට නැගූ ආකාරයයි.
“මගේ අම්මා සිරියාවතී දේවනාරායන. තාත්තා අබේසිරි නාරායන වනිගරත්න. අම්මා රුකියාවක් කළේ නෑ. තාත්තා මැකැනික්වරයෙක් විදියට වැඩ කළා. මං අවුරුදු තුනේ හතරේ ඉඳලා චිත්‍රවලට හරි ආසයි. පන්සල් චිත්‍ර බලන්න ආසයි. මැටියෙන් රෑප හැදුවා. අතට අහු වෙන දේක චිත්‍ර ඇන්දා. මම මුලින් පාසල් ගියේ මොටාගෙදර මහා විද්‍යාලයට. ඒ දවස්වල ඒක පොඩි ඉස්කෝලයක් භින්දා පහේ පන්තියෙන් පස්සේ මාතර සර්වේෂස් විද්‍යාලයට ගියා. මොටාගෙදර මහා විද්‍යාලයේදී සිංහලෙන් ඉගෙන ගත්තට සර්වේෂස් විද්‍යාලයේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසියෙන්. අපේ ඉංග්‍රීසි දන්න සීයා කෙනෙක් හිටියා. මම එයාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගෙන හිටියේ. හැම වසරකම මමයි පන්තියේ පළමු වැනියා. චිත්‍රවලට ඉහළම ලකුණු ගත්තා. මේ කාලේ මට ඩබල් ප්‍රමෝෂන් දෙකක් ලැබුණා.
ඉස්කෝලේ දෙන වැඩ සියල්ල මම ගෙදර දී කළා. උදේ පාන්දර හතරට විතර නැගිටලා පොත් පත්වල තියෙන වැඩ ඔක්කෝම ඉවර කරනවා. දක්ෂයෙක් වෙන එක හොඳයි කියලා හිතුණා. ඒ කාලේ සුසිල් ප්‍රේමරත්නයි, ජී.එස්. ප්‍රනාන්දුයි පත්තරවල ප්‍රසිද්ධ ශිල්පියෝ. ඒ පත්තර බලද්දී මටත් හිතුණා පත්තරේක චිත්‍ර අඳින්න පුළුවන් නම් කියලා. අපේ ගෙදරට හැමදාම ‘දිනමිණ‘, ‘ලංකාදීප‘ ගත්තා. මම එස්.එස්.සී. සමත් වුණා 1951 දී. ඊට පස්සෙ සර්වේෂස් විද්‍යාලයේ චිත්‍ර උගන්නපු ධර්මදාස ගුරුතුමා කිව්වා වැඩිදුර චිත්‍ර ඉගෙන ගන්න ටෙක්නිකල් එකට යන්න කියලා. ඒ කාලේ හේවුඩ් කලායතනය තිබුණේ එහේ .”
- ඩඩ්ලිට චිත්‍රයක් ඇඳ හතරවැනි තට්ටුවට ගිය මොටාගෙදර
- මුල්ම චිත්‍ර ප්‍රදර්ශනය විවෘත කිරීම බණ්ඩාරණායක අගමැති දිවුරුම්දුන් පසු ප්‍රථම උත්සවය
- ලංකාදීප - රිවිරුස - දවස - ඇත්ත - ජනදින මුල්ම හෙඩ්පීස් ඇන්ද මොටාගෙදර
- ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ ගම්පෙරළිය බයිස්කෝප් පෝස්ටරය මොටාගෙදරගෙන්
- ඩි.බී ධනපාල, එච්.ඒ.එල් හුළුගල්ල, හික්කඩුව ශ්‍රීලාල්, මානවසිංහ, මාටින් වික්‍රමසිංහ, හේමපාල මුනිදාස, මුනිදාස කුමාරතුංග සමග සේවය කළ අවසන් චිත්‍ර ශිල්පියා මොටාගෙදර වනිගරත්නය.
මොටාගෙදර හේවුඩ් කලායතනයේ ඉගෙනුම ලබන අතරතුර කොළඹ ස්වර්ණාභරණ ආයතනයක ස්වර්ණාභරණ මෝස්තර චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රථම රුකියාව ඇරඹුවේය. ඉන් ලැබෙන වැටුපෙන් කොටසක් ගෙදර වියදමට යැවීමට හැකි වූ අතර ඉන් පියාගේ ආර්ථික බර අඩු විය. මේ අතර එක් දිනක් ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ චිත්‍ර ප්‍රදර්ශනයක් බැලීමට මොටාගෙදර කලාභවනට ගියේය. එම චිත්‍රවල රේඛාමය හැඩතල හා වර්ණ මොටාගෙදර වනිගරත්න තරුණ යාගේ සිත් ගත්තේය. ඉන්පසු මාපලගම විපුලසාර හිමිගේ සභාපතිත්වයෙන් තිබූ ජාතික කලා පෙරමුණෙන් පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශනයට මොටාගෙදර වනිගරත්න චිත්‍ර ඉදිරිපත් කර සම්මාන පිට සම්මාන ලැබීය. පසුව උන්වහන්සේගේ මැදිහත්වීමෙන් හා උපකාරයෙන් ටයිම්ස් ආයතනයේ ප්‍රකාශිත ලංකාදීප පුවත්පතේ චිත්‍ර ශිල්පියකු ලෙස මුල්ම පුවත්පත් රුකියාවට එක්විය. එහිදී ලංකාදීප පුවත්පතේ කර්තෘ හා එදා යුගයේ දක්ෂ චිත්‍ර ශිල්පීන් වන ජී. එස්. ප්‍රනාන්දු, සුසිල් ප්‍රේමරත්න එහි සේවය කළ අතර ඔවුහු ද මොටාගෙදරට උපකාර කළහ. එහි ප්‍රකාශිත රසවාහිනී, වනිතා විත්ති සඟරාවල ප්‍රධාන චිත්‍ර ශිල්පියා මොටාගෙදර බවට අවසානයේ පත්විය.
තමන් ඩි.බී. ධනපාලයන් නිසා එදා ලංකාදීපයට එක් වූ අයුරු මොටාගෙදර කවදත් ස්මරණය කළ සිදුවීමකි.

“මාපලගම විපුලසාර හාමුදුරුවන්ට ඩී.බී. ධනපාල මහත්තයා කියලා තියෙනවා දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලංකාදීප පත්තරේට එවන්න කියලා. හාමුදුරුවෝ මං ගැන කියලා, මට ඒ වෙලාවෙම ගිහින් ධනපාල මහත්තයා හම්බ වෙන්න කිව්වා. මට අඳින්න දුන්නා ලිපියක සිරස්තලයක්. කපු පුළුන් කියලා. පහුවදා ඉඳලා වැඩට එන්න කියලා ධනපාල මහත්තයා කිව්වා. පටන් ගනිද්දී කෑලි ගණනට ගෙව්වේ. මම මාසෙකට රුපියල් 300ක් විතර ගත්තා.”
දිනක් ධනපාල තම සැලෝන් දොරින් මොටාගෙදර කැඳවීය.
“අයිසේ මොටාගෙදර තමුසේ චිත්‍ර එක්ශිබිෂන් එකක් තියෙනවා. මම ප්‍රයිම් මිනිස්ටර් බණ්ඩාරනායක ප්‍රධාන අමුත්තට ගෙනත් දෙන්නම්. තමුසෙගේ චිත්‍රවලට බණ්ඩාරනායක පිස්සු හැදිලා ඉන්නේ. මට කිව්වා ඒ චිත්‍රවල නියම සිංහල ගතිය තියෙනවා කියලා”.
ධනපාලගේ උපදෙස් පිට මොටාගෙදර වනිගරත්න “මගේ ලංකාව” නමින් ඔහුගේ ප්‍රථම චිත්‍ර ප්‍රදර්ශනය 1956 ඔක්තෝබර් 3,4, හා 5 යන දින තුනෙහි කොළඹ කලාභවනේ දී පැවැත්වීය. ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ. බණ්ඩාරනායක මැතිතුමා මොහුගෙන් චිත්‍රයක් ද මිලදී ගත්තේ රොස්මිඩ් වලව්වේ තැබීමටය. ප්‍රදර්ශනය නැරඹීමට දිවයිනේ සතරදෙසින් සෙනඟ ඇදී ආහ. වෛද්‍ය පී. ආර්. ඇන්තනිස්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, විශ්වවිද්‍යාල සිසුන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි අතර මොටාගෙදරයන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය රටේ කලාවේ නව යුගයක් විය. එදා සිට මෙම චිත්‍ර ප්‍රදර්ශනය රටේ විවිධ ස්ථානවල පැවැත්විණි. මේ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ජනගඟක් ගලා ආවේය. ඒ කෙරෙහි උද්‍යෝග්‍ය කොතෙක් වීද යත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් ගාල්ලේ මාතර සහ අම්බලන්ගොඩත් එය පැවැත්වීමට ඔහුට සිදුවිය.
ලංකාදීපයෙන් පසු මොටාගෙදර එක්වූයේ ඩි.බී. ධනපාල මහතා බොරුල්ල චැනපි හවුසියේ ඇරඹූ “දිවයින පුවත්පත”ටය.
“ඒ ඔය අද තියෙන උපාලි විජේවර්ධනයන් ගේ ‘දිවයින’ නොවේ. ‘දිවයින’ට වැඩි ආයුෂ තිබුණේ නෑ.දිවයිනට මටත් කතා කළා. මම ගියා. ඒත් මාස තුන හතරයි පත්තරේ තිබුණේ. අයිතිකාරයෝ මැෂින් ගුණසේන එකට වික්කා. ඊට පස්සේ ධනපාල මහත්තයා ගුණසේන එකත් එක්ක එකතු වෙලා දිනපතා පත්තරයක් කරන්න සූදානම් වුණා. මට එන්න කියලා ‘කාලය’ කියලා සිරස්තල 10 ක් ඇඳගෙන එන්න කිව්වා. ඊට පස්සේ මට ගුණසේන සමාගමේ චිත්‍ර ශිල්පියෙක් හැටියට රස්සාවකුත් ලැබුණා. ඒ පත්තරේ නෙවේ. ගුණසේන සමාගමේ පොත් කවර අඳින්න. දවස පත්තරේ නිදහස් චිත්‍ර ශිල්පියෙක් හැටියට. ‘කාලය’ කියලා මම ඇන්ද සිරස්තල දහයෙන් එකක් දීලා ‘දවස’ නම ඒ මෝස්තරේට අඳින්න කිව්වා. දවස පත්තරේ නමේ අකුරු ටික ඇන්දේ මමයි.”
“පොත් කවර අඳින එකත් වැඩි කාලයක් කරන්න වුණේ නැහැ. මම පොත් කවර ඇන්දම මොටාගෙදර කියලා නම දානවනේ. අයිතිකාරයෝ ඒකට කැමැති වුණේ නෑ. මම වැඩක් කළොත් නම දාන්න ඕන කියලා ඒ අදහසට විරුද්ධ වුණා. බහින් බස් වීමක් ඇති වෙලා ‘දවස’ පත්තරේට යන්න කිව්වා පොත් සමාගමෙන් අස් වෙලා.”
පසුව ස්වාධීන පුවත්පත් සමාගමේ ප්‍රකාශිත දවස සහ රිවිරුස පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ද වැඩකිරීමට මොටාගෙදරට අවස්ථාව ලැබුණි. මේ වකවානුවේ දී මොහු පදිංචිව සිටියේ නාවල ප්‍රදේශයේය. එහිදී කෝට්ටේ පුරාවිද්‍යා චක්‍රවර්තී පුරාවිද්‍යා විශාරද ඩග්ලස් ඩී. රණසිංහ, සූසන් රණසිංහ මැති දෙපළගේ ලොකු දුව දොන් ඩොරින් සීතා රණසිංහ සමග බැඳී දැන හඳුනා ගැනීමකින් පසු විවාහ ගිවිස ගන්නා ලදි.
“සීතා රණසිංහ බඳින කාලෙ වැඩ කළේ රක්ෂණ සමාගමක” මොටාගෙදර වරක් තම රෑමත් බිරිඳ සහ විවාහය ගැන මතක් කරමින් පැවසීය. මොටාගෙදර දවසෙන් ඉවත්වූ අයුරු ද සිහි කළේ සුන්දර අතීතයක් සිහිගන්වමිනි.
“මම දවසේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස බැඳුණත් අවුරුද්දක් වගේ තමයි එතැනත් හිටියේ. මට පොරොන්දුවුණ ගෙවීම් කළේ නෑ. ඒ නිසා එතැනින් ඉල්ලා අස් වුණා. මාත් එක්කම එතනින් අයින් වුණ තවත් කට්ටියක් කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයෙන් ‘ඇත්ත’ කියලා පත්තරයක් පටන් ගත්තා. ඒකට මට කතා කළා. මම ගියා දේශපාලන කාටූන් ශිල්පියෙක් විදිහට. ඒ ස්ථිරව නොවේ නිදහස් පදනමින්.”
මොටාගෙදර වනිගරත්නයන්ගේ 50 වසරක චිත්‍ර සැමරුමට පැවැත්වූ ප්‍රදර්ශනය සඳහා අනුග්‍රහය දැක්වූයේ ලේක්හවුසියයි.

“දුක් දොම්නස්වලින් පිරි ගමනක් හරහා මම චිත්‍ර කලාවේ යම් අනන්‍යතාවක් ගොඩනඟා ගෙන ඇතැයි” ද එහිදී මොටාගෙදර කීය.තෙල් සායම් සහ දියසායම් භාවිතයෙන් ඇඳී සිය නිර්මාණ 150ක්, 200ක් පමණ මීට ඇතුළත් වූ ප්‍රදර්ශනය කලා භවනේදී පැවැත්වීමට සැලසුම් කොට තිබුණි.
“පුවත්පත් ඇසුරින්ම නිර්මාණකරණයේ යෙදුණු චිත්‍ර ශිල්පියකුට ලේක්හවුස් ආයතනය විසින් මුල්‍ය අනුග්‍රාහකත්වයක් ලබා දෙන මුල්ම අවස්ථාව මෙය බව ඉතා කෘතවේදීව සඳහන් කරනවා. මම ‘ඇත්ත‘ පුවත්පතේ හිඳිමින් වැඩි පුරම කෙළේ ලේක්හවුස් ආයතනය‘පතුරු ගැසීම තමයි.”
“එක සැරයක් දැක්ක චිත්‍රයේ ඩඩ්ලි ගැන ඇඳපු කාටුන් එකත් නිසා මට හතරවෙනි තට්ටුවට යන්න සිදුවුණා.”
මොටාගෙදර ලේක්හවුස් එකට එක්වූ අයුරු ද අපූරු ඉතිහාසයකි.
1993 සිළුමිණ කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ ඉල්ලීම මත ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ චිත්‍ර ශිල්පියා ලෙස මොටාගෙදර සේවයට එක්විය. 1999 දී ලේක්හවුස් ආයතනයට සමු දී නැවත 2006 දී සිළුමිණ පුවත්පතට එක්වූ ඔහු ‘ගුරුගෝල වෙනස’, ‘ගමේ කඩේ කතාබහ’ චිත්‍ර ඇඳීම ද කළේය.
“අවුරුදු ගාණකට පස්සේ 94 දී දවසක් දා ලේක්හවුස් එකට ආවා මොනවා හරි විශේෂාංගයක් කරන්න කතා කරගන්න. මේ කාලේ සිළුමිණ කර්තෘ තිලකරත්න කුරුවිට බණ්ඩාර හම්බ වුණා. විශේෂාංගයක් නෙවේ ලේක්හවුස් එකට සම්බන්ධ වෙලා වැඩ කරමු කිව්වා. ඒ පැවැති රජය නිසා හිතදුන්නේ නැති වුණත් මම සම්බන්ධ වුණා. අවුරුදු හතරක් පහක් මම එතැන සේවය කළා. ඊට පස්සේ වයස ප්‍රශ්න නිසා එතැනින් අයින් වුණා.”
මොටාගෙදර එසේ පැවසුවද ඒ වාර දෙක තුළ ඔහු කළ නිර්මාණ මෙරට පත්‍රකලාවේ සදාතනික මතකයක් වී හමාරය. මොටා ගෙදරගේ චිත්‍රකලාව තුළ මේ රට පුවත්පත්වල ඔහු විසින් අඳින ලද ‘හෙඩ් පීස්‘ ඉතිහාසයේ සඳහන් වන්නේ මෙරට පත්‍රකලා ඉතිහාසය තුළ වැඩිම හෙඩ් පීස් ගණනක් නිර්මාණය කළ චිත්‍රශිල්පියා ලෙසය. ‘ලංකාදීප, දවස, රිවිරුස, සවස, රසවාහිනී, ඇත්ත, ජන දින, සතිය ඉන් කිහිපයකි.
අපෙන් සමුගත් මොටාගෙදර පින්සලෙන් විශ්වකර්ම වැඩ කළේ යැයි කිරීම අතිශයෝක්තියක් ලඝු කළ යුතු නොවේ. ආචාර්ය ලේස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය බයිස්කෝප් එකේ පෝස්ටරය හැඩ වූයේ ඔහුගේ තෙළිතුඩෙනි . කිංස්ලි රාජපක්ෂගේ සිඟිති සුරතල් චිත්‍රපටයෙහි ඇඳුම් නිර්මාණය ද මොටාගෙදරගේය. එලෙසම ඔහු නාට්‍ය ගණනාවකට රංග වස්ත්‍ර නිර්මාණය ද වේදිකා අලංකාරයද කරදී තිබේ. දීපශිකා සම්මානය නිර්මාණයේ දී ද ඔහු දායක විය. මොහු අතින් ඉහළම දායකත්වය ලැබූයේ සිංහල පුවත්පත් කලාව යැයි පැවසුව හොත් එය නිවැරදිය. බටහිර රටාවට හැඩගැසී සිටි සිංහල පත්තර කලාවේම චිත්‍රයට ඔහු දේශීයත්වය මුසු කළේය. ලිපි ලේඛන කෙටිකතා, චාරිකා වාර්තා ආදී මේ සියල්ලටම ඔහු හරි අපූරු ලෙස දේශීයත්වය මුසු කිරීම ඔහුගේ අනන්‍යතාව විය.
මොටාගෙදර අපෙන් සමු ගත් අදත් ජීවමාන ඔහුගේ නිර්මාණ කීපයක් වුවා දැක්වූයේ නැතිනම් එය අඩුපාඩුවකි.
මොටාගෙදරයන් අගය කළ චිත්‍ර වූයේ කැලණි විහාරයේ සෝලියස් මැන්දිස් ඇඳි චිත්‍ර, බෙල්ලන්විල රාජ මහා විහාරයේ සෝමබන්දු විද්‍යාපති ඇඳි චිත්‍ර හා බොරුල්ලේ ගෝතමී විහාරයේ ජෝර්ජ් කිට් ඇඳි ශ්‍රී ලාංකීය ආරක් ගත් චිත්‍ර නිර්මාණයන්ය. මෙරටේ අග්‍රගණ්‍ය චිත්‍ර ලෙස මොටාගෙදර විසින් ඒවා හඳුන්වන ලදි.

වැලිගම බෝධිමළු විහාරයේ වටදාගෙය තුළ ඇඳි බුදුන් වහන්සේගේ උපතේ සිට පරිනිර්වාණය දක්වා බුද්ධ චරිතයේ සිතුවම් මොටාගෙදර වනිගරත්නයන්ගේම චිත්‍ර ආරකින් විචිත්‍රණය වූ ඒවාය. එදා සිට අද දක්වා සම්මාන පිට සම්මාන ලැබූ ඔහු සෝවියට් දේශයේ තරුණ හමුවට ද සහභාගි විය. ගාල්ලේ පරමානන්ද විහාරයෙහි හා පුරා කියා තොරණ චිත්‍ර ඇඳීම මොටාගෙදරගේ මුල්ම කාර්යය විය. රුසියාවේදි එක් රුයකදි නාරිරූපයක් ඇඳ මොටාගෙදර ලෝක පූජිත විය.
1953 වෙසක් තොරණක් ගාල්ල ගල්වඩුගොඩ පාසලේ මොටාගෙදර වනිගරත්න කරන ලදී. එය කාගේත් පැසසුමට ලක්වූ නිර්මාණයක් විය. 1956 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කොළඹ වරායේ ඉදිකළ ඒකාලෝක නම් වෙසක් තොරණ නිසා රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රභූන් අතර මොටාගෙදරගේ දස්කම් කථාවට ලක් විය.
1991 දී කඹුරුපිටියේ පැවති ගම්උදාව ප්‍රදර්ශනයේ නුවර මගුල් මඩුවේ කැටයම් කිරීම හා එහි නිර්මාණ කිරීමට මොටාගෙදරට භාර කළේ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස විසිනි. තම පුතු වූ සංඛ මොටාගෙදර සමග ඉතා උසස් ලෙස නිම කරන ලදී. 1991 වසරේ දී හදිසියේ සංඛ පුතු මෙලොවින් සමුගත්තේය. එකී ශෝකය දරාගත නොහැකි එතෙක් කළ සියලුම වැඩ වලට නැවතීම තිබ්බේය.
අවසානයේ කිවහැක්කේ මොටාගෙදර වනිගරත්න යනු චිත්‍රකලාවට පමණක් නොව මූර්ති කලාව, කැටයම් කලාව, බතික් කලාව, වේදිකා සැරසිල්ල, වේශ නිරූපණය, රංග වස්ත්‍ර නිර්මාණය, බිත්ති අලංකාරණය, බිතුසිතුවම, ගෘහ සැරසිල්ල, උද්‍යාන මූර්තිය, පෝස්ටර් නිර්මාණය, කාටුන් චිත්‍ර කලාව ආදී බෙහෝ කලාව හපන්කම් පෙන්වූ දක්ෂ කලාකරුවෙකු වූ බවය.
මොටාගෙදර වනිගරත්නයන්ගේ චිත්‍ර කලා දිවියට 50 වසරක් පිරීම නිමිත්තෙන් පැවති චිත්‍ර මූර්ති ප්‍රදර්ශනයේදී සමරු පොතේ සමන් චන්ද්‍රනාත් වීරසිංහ තැබූ සටහනක් ලිපිය අවසානයට එක්කරන්නේ මොටා ගෙදර ගේ චිත්‍ර ලොව කදිමට ඒ වචන වලට පත් කර ඇති නිසාමය.
“මොටාගෙදරගේ තෙලිතුඩ උපදින නාරිලතාව සෞන්දර්යයේ සංකේතයකි. දේශීය සන්දේශ කාව්‍යවල භාවිතයෙන් නිර්මිත නාරිලතාව, රේඛාවෙන් ජනිත කරවන්නට මොටාගෙදර දක්වන අසමාන ප්‍රතිභාව තුළ කවිය, රසය, ජීවිතය සියල්ල අන්තර්ගතය. එපමණකට සොඳුරු වූ මේ පුංචි මිනිසාගේ දඩබ්බර කමද සුළුපටු නැත. එහෙත් එයද සුන්දරය.”
වනිගරත්නයන්ගේ චිත්‍ර කලාව සත්‍ය වශයෙන් ම මෙරට සංස්කෘතික, දේශපාලන, සමාජයීය වශයෙන් නිහඬව කළ බලපෑම අපමණය. චිත්‍ර ශිල්පියකුට සියුම් සංවේදී ගුණයක් අත්‍යවශ්‍යය. මොටාගෙදරයන්ගේ භාවමය සිතුවම් හැමවිමට අපට සංවේදී වනුයේ ඒ ඔහුගේ සියුම් ගුණය නිසාය.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ කියූ පරිදිම ඒ සියුම් ගුණය තිබූ මොටාගෙදර වනිගරත්නයන්ගේ හඬ නිර්මාණ අපට නැවත දැකගත නොහැකි වන ලෙස ඔහු අප හැර මරණය නමැති අකුරු හතර අප හදවතේ සදාතනික මතකයට චිත්‍රනය එක්කොට අපට සමුදී ඇත.
මහින්ද රණවීර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd