
සියලු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළට
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ආණ්ඩුව ගෙන ඒමට නියමිතව තිබූ පනත් හා නීති සංශෝධන ගැන සමාජයට මුලින්ම කාන්දු වූයේ දැනට මාසයකට පමණ පෙරය. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීමට දරන උත්සාහයක් සම්බන්ධයෙනි.
ඉන්පසුව අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ද දිගු කරන බවට ආරංචි පැතිරිණි. එහෙත් රජය සූදානම්ව සිටියේ ඉහළ අධිකරණ දෙක ඇතුළුව සියලු අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දිගු කිරීමටය.
විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් පත්‍රිකාවක් ලෙස රජය ඉකුත් සතියේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ඉදිරිපත් කළේය.
එම කැබිනට් පත්‍රිකාවේ සාරාංශයට අනුව, ලංකාවේ සියලු අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමට යෝජනා කර ඇත. දැනට සිටින 110ක් වූ මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැංවීමට ද අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව තවත් පස් දෙනකුගෙන් වැඩි කිරීමට ද රජය එම කැබිනට් පත්‍රිකාවෙන් නිර්දේශ කර ඇත. සිවිල් අභියාචනාධිකරණ සහ පළාත්බද මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමට ද එමගින් යෝජනා කර ඇත. මෙම කැබිනට් පත්‍රිකාව ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ අතර, එළැඹෙන සතියේදී එම පනත් සංශෝධනය ගැසට් කිරීමට නියමිතය.
ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට අභියෝගයක්
විපක්ෂය මේ සම්බන්ධයෙන් නගන විරෝධය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ගණනාවක් අතර ඉකුත් සතියේ සාකච්ඡාවක් පැවැත්විණි.
නීතිඥවරුන් සහ විපක්ෂ මන්ත්‍රීවරුන් පවසන්නේ මෙම සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය නම් ලබන දෙසැම්බර් මාසයෙන් පසු ගෙන එන ලෙසය. එයට පිළිතුරු ලෙස ආණ්ඩු පක්ෂය පවසන්නේ වත්මන් අගවිනිසුරුවරයා මෙම දෙසැම්බරයේ විශ්‍රාම යෑමට නියමිත හෙයින් ඔහු ඉලක්ක කර මෙම චෝදනාව මතු කරන බවය. ඒ අනුව සංශෝධනයට මෙම පිරිස විරුද්ධ නැති බවත්, අගවිනිසුරුගේ නිල කාලය දිගු කිරීමට පමණක් ඔවුන්ගේ විරෝධය පවතින බවත් ආණ්ඩුවේ මතය වේ.
එමෙන්ම මෙම සංශෝධනය නීති විරෝධී බව විපක්ෂය පවසන්නේ නම් එය නීති විරෝධී වන්නේ ව්‍යවස්ථාවේ කවර වගන්තියෙන් දැයි ආණ්ඩුව ප්‍රශ්න කරයි. නීතිඥ, ඇමැති සුනිල් වටගල ඇතුළු පිරිසක් එහිදී කියා සිටියේ, මෙම සංශෝධනය නීති විරෝධී නොවන බවට ඕනෑම රූපවාහිනී නාළිකාවක ප්‍රසිද්ධ විවාදයකට තමන් සූදානම් බවය.
ලබන සතියේ ගැසට් කෙරෙන බැවින් ඕනෑම අයකුට අධිකරණය හමුවට ගොස් අභියෝග කළ හැකි බව ද ඔවුහු කියති.
මෙම සංශෝධනය ජනමත විචාරණයකින් සම්මත කිරීමට අවශ්‍ය එකක් නොවන බව රජයේ මතය වේ. ජනමත විචාරණයකින් සම්මත කළ යුතු සංශෝධන ව්‍යවස්ථාවේ පැහැදිලිවම දක්වා ඇති බවත්, මෙම සංශෝධනය ගැන එවැනි සඳහනක් නොමැති බවත් රජය කියයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉකුත් බදාදා පැවැත්වූ විශේෂ මහා සභාවට තුන්දහස ඉක්ම වූ නීතිඥ ප්‍රජාවක් පැමිණි බවත්, විශාල පිරිසක් සූම් තාක්ෂණයෙන් සහභාගි වූ බවත් එහි ගිය විපක්ෂ දේශපාලනඥයෝ කියති. එහෙත් රජය පවසන්නේ එම රැස්වීම පැවැති ශාලාවේ ඇත්තේ පුටු 325ක් පමණක් බවය. සූම් තාක්ෂණයෙන් කතා කළ පිරිස දෙසීය ඉක්මවා නොගිය බවට ස්ක්‍රීන් ෂොට් ඇති බව ද රජයේ මැති ඇමැතිවරුන්ගේ හමුවේදී සාකච්ඡාවට ලක්විය. නීතිඥ සංගමයේ සාමාජිකයන් 26,000ක් රට පුරා සිටියත් එදින පැමිණ සිටියේ පන්සියයකට ආසන්න පිරිසක් බව රජයේ මැති ඇමැතිවරුන්ගේ මතය වේ.
මෙවැනි ප්‍රචාර හේතුවෙන් විනිසුරු විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනය හකුළා නොගන්නා බවත්, එය ඉක්මනින්ම ගෙනැවිත් දැනට ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය ඉක්මනින් විභාග කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් එම සාකච්ඡාවට සහභාගි වූ මැති ඇමැතිවරු පැවසූහ.
“කොහොමවත් මේ සංශෝධනය පස්සට ගන්නේ නෑ. කැබිනට් පත්‍රිකාවේ දාල තියෙන්නෙ සිවිල් අභියාචනාධිකරණ සහ පළාත්බද මහාධිකරණ පුළුල් කරනවා කියල. ඒ කියන්නෙ තව උසාවි කිහිපයක් වැඩිවෙයි. මේ ගැන දිස්ත්‍රික්ක 18ක් පුරාම ආණ්ඩුවට පක්ෂ නීතිඥවරු රැස්වීම් තියල ජනතාව දැනුවත් කරමු’’ යි මැති ඇමැතිවරු එහිදී කියා සිටියහ.
ණය ෙශ්‍ර්ණිගත කිරීමෙන් යහපත් තැනක්
ශ්‍රී ලංකාවේ ණය ෙශ්‍ර්ණිගත කිරීම ගැන ජාත්‍යන්තර ආයතනයක් ලබාදී ඇති නවතම ශේණිගත කිරීම අනුව මෙවර එම තත්වය යහපත් හා ස්ථාවර මට්ටමක පවතී. මේ පිළිබඳව ජනාධිපතිවරයා, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත හමුවූ අවස්ථාවේ කතා කළේ දැඩි සතුටකිනි.
“අපි දශමයක් හරි ආපස්සට ගියා නම් අද බලන්න තිබුණා විපක්ෂය මොකද කරන්නේ කියලා’’ ජනාධිපති අනුර දිසානායක කීවේය.
‘‘අපොයි ඔව්... එහෙනම් මෙලහකට ප්‍රවෘත්ති සාකච්ඡාවකුත් කැඳවලා’’ නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත කීවේය.
‘‘“ඇත්තටම මේකේ ඇති වැදගත්ම දේ තමයි අපි ‘දිට්වා‘ සුළි කුණාටුවයි, මැදපෙරදිග යුද්ධයයි වගේ බාහිර හා අභ්‍යන්තර කම්පන අවස්ථා දෙකකට මුහුණදීලා කිසිම කඩාවැටීමකට ලක් නොවී, රට වහන්නෙත් නැතිව, ආනයන සීමා කරන්නෙත් නැතිව මේ වගේ ස්ථාවරත්වයක් හදාගන්න පුළුවන් වීම’’ එසේ කීවේ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමය.
‘‘“ඒක ඇත්ත. මේකට හේතුව අපේ මූල්‍ය විනය හා කළමනාකරණය. ඒකට හැමෝම ලොකු මැදිහත්වීමක් කළා. දැන් අපි ආයෝජකයන් ගෙන්වා ගන්න ලොකු අවධානයක් යොමු කරන්න ඕනෑ. ඒ වගේම රට ඇතුළෙ කිසියම් ආයතනයක් ස්ථාවරව පවත්වාගෙන යන්න එයාලට සහාය ඕනෑ නම් අපි ඒකටත් ප්‍රතිපාදන ලබාදෙමු’’ ජනාධිපතිවරයා පැවසීය.
‘‘අපිට තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කලින් ආණ්ඩු කිසිම සැලැසුමකින් තොරව ලබාගත් ණය. ඒ නිසා අපේ භාණ්ඩාගාරයට විශාල ණය හා පොලී ප්‍රමාණයක් ගෙවන්න වෙලා තියෙනවා. මේ වසරේ පමණක් රුපියල් බිලියන 2,500ක පොලියක් විතරක් අපි ගෙවන්න ඕනෑ. මේක සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක්.’’ ජනාධිපතිවරයා කියා සිටියේය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේ, ලබන වසරේ අයවැය වෙනුවෙන් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවය.
නීතිඥ සංගමයේ විශේෂ හමුව
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉකුත් බදාදාට යෙදුණු පොහොය දිනයේ තම සාමාජිකයන්ගේ ජාතික මහා සභාවක් කැඳවූයේ විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමට රජය ගෙන ඇති තීන්දුව ගැන සාකච්ඡා කිරීමටය. දේශපාලනයේ යෙදෙන නීතිඥ වෘත්තිකයෝ කිහිප දෙනෙක්ද එම විශේෂ මහා සභා රැස්වීමට සහභාගි වූහ.
නීතිඥ දයාසිරි ජයසේකර, නීතිඥ චන්දිම වීරක්කොඩි, නීතිඥ අජිත් පී. පෙරේරා, නීතිඥ අලි සබ්රි, එම්. ඒ. සුමන්දිරන්, නීතිඥ මධුර විතාන ඇතුළු පිරිසක් ඒ අතර වූහ. විපක්ෂ මන්ත්‍රීවරුන් කියන්නේ එම හමුවට රට පුරාම සිටින නීතිඥවරුන්ගෙන් 3,500ක් පැමිණ සිටි බවය.
මෙහිදී මෙම පනතට නීතිඥවරුන්ගේ සම්පූර්ණ විරෝධය පළ විය. පනත පාර්ලිමේන්තුවට ගෙන එන දිනට පාර්ලිමේන්තුව වටකළ යුතු බවට යෝජනාවක්ද, පාර්ලිමේන්තුව ඉදිරිපිට නීතිඥවරුන්ගේ විශාල ප්‍රමාණයේ උද්ඝෝෂණයක් කළ යුතු බවටද එකඟතාවට පැමිණියහ. එයට අමතරව රට පුරාම විවිධ උද්ඝෝෂණ පැවැත්වීමට ද තීරණය විය.
මේ වන විට සමගි ජන බලවේගය ද ශ්‍රී ලංකා නීතිඥ සංගම් යෝජනාවට සහාය ලබාදෙන අතර, ජනතාව දැනුවත් කරන පාදයාත්‍රා උද්ඝෝෂණයක් පැවැත්වීමට ද සජබය තීන්දු කර ඇත.
විපක්ෂයෙන් තවත් විරෝධයක්
ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් එහි කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේදී හමුවූ අවස්ථාවේදී ද විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ගැඹුරින් සාකච්ඡා කෙරිණි. සමාජයේ විවිධ ක්ෂේත්‍ර ඊට එරෙහිව පැන නගිමින් පැවැතීම ගැනත්, ඉන්දියාවේ ඇති වූ ප්‍රවණතාවන් ගැනත් සියුම් අධ්‍යයනයන් එහිදී ඉදිරිපත් විය.
මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් මහාචාර්ය ජී.එල්. ගෙනහැර දැක්වූ අදහස්වල සංක්ෂිප්තය මෙසේය:
“පුද්ගලයෙක් ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඉතා භයානක දෙයක්. එවැනි දේ කරන්නට හැදූ හැම විටකම ප්‍රතිඵල ඉතා භයානක වුණා. තමන්ගේම නඩුව තමන්ම ඇසීම සුදුසු දෙයක් නොවෙයි. විශාල වරප්‍රසාදයක් විනිශ්චකාරවරුන්ට ලබාදෙන පනතක නීත්‍යානුකූලභාවය ඒ ලබා ගන්නා පුද්ගලයන්ගේම තීරණයට භාජනය වීම නීතියේ මූලිකම සිද්ධාන්තවලට පටහැනි කාරණයක්. එය කිරීමෙන් අධිකරණය ගැන ජනතා විශ්වාසය සම්පූර්ණයෙන් දෙදරා යන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඒ නිසා අප මීට විරුද්ධව සම්පූර්ණ ශක්තිය යොදවා සටන් කළ යුතුයි.
මෙම කාරණය ජනතා අධිකරණයට යොමු කළ යුතුව තිබෙනවා. උත්තරීතර ඉහළම අධිකරණය එයයි. පරමාධිපත්‍ය තියෙන්නේ වෙන කාටවත් නොවේ, ශ්‍රී ලංකාවේ ජනතාවටයි. මෙය ජනතාවගේ තීරණයට යොමු කරන්න මෙච්චර බය ඇයි? මෙය කරන්නේ වංක චේතනාවකින් බව රජය හොඳටම දන්නවා.
රජය ඉදිරිපත් කරන එකම හේතුව වන්නේ නඩු එකොළොස් ලක්ෂයක් ගොඩගැසී තිබෙන බවයි. මේ නඩු ඉක්මනින් ඇසීම සඳහා මේ පියවර ගන්නා බවයි ආණ්ඩුව කියන්නේ. ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක්. නඩු අහලා ඉවර කරන්න අවශ්‍ය නම් අඩු ගානේ විනිශ්චකාර පුරප්පාඩු පුරවා අවසන් කළ යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් තිබෙනවා. ඒවා පුරවන්නෙත් නැහැ.
ඒ වගේම රටේ නීතිඥයන් 26,000ක් නියෝජනය කරන නීතිඥ සංගමය සමග කිසිම සාකච්ඡාවක් නොකර මේ සංශෝධනය කරන්න හදනවා. අධිකරණ ඇමැතිවරයාට ලියුම් දෙකකුත් ජනාධිපතිවරයාට එක ලියුමක් යැව්වත් කිසිම ප්‍රතිචාරයක් ලැබිලා නෑ.’’
එමෙන්ම, අදාළ කාරණය සම්බන්ධයෙන් පැවති සංඝසමුළුව සඳහා දිවයිනේ නන් දෙසින් මහා සංඝරත්නය 1,000කට වැඩි පිරිසක් වැඩම කර සිටි බවත්, එම සංඝ සමුළුව කඩාකප්පල් කිරීම සඳහා රජය සහ පොලිසිය බලපෑම් කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එහිදී කියැවිණි.
සජිත් හම්බන්තොට ගොවීන් හමුවේ
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඉකුත් සතියේ දින කිහිපයක්ම ගත කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව සහ තිස්සමහාරාම ප්‍රදේශවල ගොවි ගැටලු ගැන ගොවීන් සමග සාකච්ඡා කරමිනි. සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ද සජිත් සමග එම ගමනට එක්ව සිටියේය.
සෑම තැනකදීම ගොවීන් සජිත්ට කීවේ එකම කතාවකි. අනේ සර්.... අපේ මහන්සියේ හැටියට වී ටික විකුණාගන්න බෑ. කුණු කොල්ලෙට ගන්නෙ. ආණ්ඩුවෙ කයිය විතරයි’’ කියාය. සියලු ගොවි ගැටලු සාවධානව අසා සිටි සජිත් පාර්ලිමේන්තුවේදී මේ ගැන රජයේ අවධානයට ලක් කරන බවට පොරොන්දු විය.
අගලවත්තේ ඡන්දෙන් සජබට ජය
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ උපසභාපති තනතුර ඉකුත් දිනවල හිස්වූයේ එම තනතුර දැරූ ස්වාධීන මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීම නිසාය. ඒ අනුව එම තනතුර වෙනුවෙන් නව උපසභාපතිවරයකු පත්කර ගැනීමට ඡන්ද විමසීමක් කැඳවා තිබිණි.
අගලවත්ත සජබ සංවිධායක ජගත් විතාන පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට කීවේ, මෙම තනතුර තමා අනිවාර්යයෙන්ම සජබයට රැගෙන දෙන බවය.
‘‘ගන්න ජගත්. ඔයාට පුළුවන්...’’ සජිත් කීවේය.
ඒ අනුව ජගත් විතාන සජබ මන්ත්‍රී කණ්ඩායමෙන් මන්ත්‍රීවරයකු උපසභාපති තනතුරට ඉදිරිපත් කළ අතර, ඡන්ද විමසීමේදී පාලක ජාතික ජන බලවේගයට හා සජබයට ඡන්ද 8 බැගින් ලැබිණි. ඉන්පසු උපසභාපතිවරයා තෝරා ගැනීමට කාසියක් උඩ දමා ජයග්‍රාහකයා තේරූ අතර, ජය හිමිවූයේ සජබ මන්ත්‍රීවරයාටය. ජගත් ඉන්පසුව ද සජිත්ට කතා කළේය.
‘‘වැඬේ හරි සර්. අපිට උපසභාපති පුටුව ලැබුණා. සභාපති මාලිමාවෙ. උපසභාපති සජබෙ.’’ ජගත් සිනාසෙමින් කියද්දී විපක්ෂ නායක සජිත් ද මහ හයියෙන් සිනාසුණේය. මැතිවරණය පවත්වා මාස 14කට පසු මෙම වෙනස්කම සිදුවිය.
අනුර - මහින්ද - සජිත් කතරගම පෙරහරේ
කතරගම මහ දේවාලයේ මහ පෙරහර මෙවර පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පෙරහැර නැරඹීමට ගොස් සිටීම විශේෂත්වයක් විය.
සජිත් සමග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, දිලිප් වෙදආරච්චි සහ මොනරාගල ධර්මසේන යන මන්ත්‍රීවරු ද පෙරහර නැරඹීමට එක්වූහ. සජිත් ඇතුළු පිරිස කතරගම අභිනවාරාමය වැඳපුදා ගැනීමට ද එක්වූ අතර, ඔවුන්ට රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණේ ද අභිනවාරාමයේදීය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂද එහි පැමිණියේ ඔවුන් එහි සිටින අතරතුරය.
‘‘කොහොමද විපක්ෂ නායකතුමා... ආ රංජිත් කොහොමද?’’ මහින්ද විමසීය.
‘‘හොඳින් ඉන්නවා හිටපු ජනපතිතුමනි’’ සජිත් සහ රංජිත් ඇතුළු පිරිස එසේ කියා කෙටි පිළිසඳරකින් පසු මහ පෙරහර නැරඹීමට ගියහ.
චමින්දගේ සහායට සජබයම බදුල්ලට
සජබ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරිට ඉකුත් සතියේ බදුල්ල මහාධිකරණයේදී වසර එකහමාරක සිර දඬුවමක් නියම විය.
නඩු දිනය දා බදුලු යෑමට සජබය කලින්ම තීන්දු කර තිබූ අතර, විපක්ෂ නායක සජිත් සමග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, මුජිබර් රහුමාන්, දිලිප් වෙදආරච්චි, චතුර ගලප්පත්ති, රෝහණ බණ්ඩාර, ධර්මසේන, හෙක්ටර් අප්පුහාමි හා කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද අධිකරණ භූමියට ගොස් නඩු තීන්දුව දෙන තුරු රැඳී සිටියහ.
තීන්දුවෙන් පසු චමින්ද විජේසිරි සමග කතා කළ සජිත් කියා සිටියේ, අභියාචනයකට පූර්ණ සහාය ලබාදෙන බවය. ඒ සඳහා ජනාධිපති නීතිඥවරයකු යටතේ එදිනම අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කළ පිරිස කොළඹ බලා පිටත් වූහ.
සර්වජන බලයේ අලුත් සංවිධායකයෙක්
මේ වන විට විපක්ෂයේ පක්ෂයක් බවට පත්ව ඇති සර්වජන බලය පක්ෂය ශක්තිමත් කිරීමේ අරමුණින් නව නියෝජිත පත්වීම් රැසක් ඉකුත් සතියේ පිරිනැමිණි.
ගම්පහ නියෝජිත පත්වීම් පිරිනැමුණේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ජයන්ත අතපත්තුගේ නිර්දේශය මතය. පත්වීම් ප්‍රදානය සර්වජන බලය ජාතික සංවිධායක දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
‘‘අනෙක් දිස්ත්‍රික්ක එක්ක බලද්දී ජයන්ත අතපත්තු තම වගකීම ඉටු කරනවා. මේ වෙද්දි කොට්ඨාස සඳහා සියලු පත්කිරීම් කරලා....’’ දිලුම් අමුණුගම එහිදී කීවේය.
පොහොට්ටුවේ කාන්තා සමුළුව
පසුගිය අඟහරුවාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයට සම්බන්ධ කාන්තා නියෝජිතවරියන්ට වැඩමුළුවක් සංවිධානය කර තිබිණි. මහලේකම් සාගර කාරියවසම් සහ ජාතික සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මූලිකත්වයෙන් වැඩමුළුව සංවිධානය විය.
ඩී.වී. චානක, තේනුක විදානගමගේ, සංජීව එදිරිමාන්න, ඉන්දික අනුරුද්ධ ඇතුළු පිරිසක්ද එයට සහාය වූහ. ඒ දිනවල මඳ අසනීප තත්ත්වයකින් සිටි නාමල් රාජපක්ෂ පැමිණියේ මඳක් ප්‍රමාදවීමෙන් පසුවය.
‘‘දැන් කොහොමද අසනීපෙ....’’ නාමල් දුටු ඩී.වී. චානක සහ ජොන්ස්ටන් විමසූහ.
‘‘හොඳයි...’’ නාමල් කීවේය.
දේශන සඳහා පැමිණ සිටි මාධ්‍යවේදියෙක් මුළු සභාවම සිනා සාගරයක ගිල්වීමට සමත්විය.
‘‘අම්මෝ ගොඩක් කාලෙකින් මෙහෙම වුණේ’’ නාමල් සහ ජොන්ස්ටන් සිනාසෙමින් පැවසූහ.
‘‘ඒ කතාව මටත් කොච්චර වැදුණද කියනවා නම් මමත් යන්න හිටිය ගමනකුත් කැන්සල් කරලා මේ හිටියේ....’’ සාගර කාරියවසම් ද කීවේ සිනාසෙමිනි.
‘‘නාමල් ඇමැතිතුමා... ඔබතුමාව හිරේ දානවා කියලා කියනවා’’ එහි සිටි කාන්තාවෝ පිරිසක් නාමල්ගෙන් විමසූහ.
‘‘ඔව් ආණ්ඩුව එහෙම හිතේ තියාගෙන ඇති.... ඒත් ඒක ලේසි වෙන්නේ නෑ....’’ නාමල් කීවේ සිනාසෙමිනි.
පෙරහරක් තියාගන්නත් බැරි ආණ්ඩුවක්
නාමල් රාජපක්ෂ පසුගිය සතියේ අවිස්සාවේල්ලේ හා පාදුක්කේ රැස්වීම් මාලාවකට සහභාගි විය. ඒ අතර ඩී.වී. චානක, නාමල්ට කතා කර කීවේ, පාතාල ප්‍රශ්නයක් නිසා දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම නවතා ඇති බවය.
‘‘ඔව් මමත් දැක්කා. පොලිස්පතිනෙ නවත්තලා තියෙන්නේ. අපේ කාලෙ නම් යුද්දෙ තියෙනකොටත් පෙරහර කළා.... මේක පෙරහරකටවත් ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්.....’’ නාමල් චානකට කීවේය.
නාමල් සිය කතාවේදී ද මේ බව කියන්නට අමතක නොකළේය.
”අපි එල්.ටී.ටී.ඊ. එක්ක යුද්ධ කරද්දීත් පෙරහරට ආරක්ෂාව දුන්නා. ඒත් එක කෝල් එකක් නිසා පොලිස්පතිවරයා දෙවිනුවර කාවඩි නවත්තලා.... ආණ්ඩුව ගැන පොලිස්පතිටත් විශ්වාසය නැතිද මන්දා....’’ නාමල් කීවේය.
එහිදී පාක්ෂිකයෝ ආණ්ඩුව ගෙන එන ව්‍යවස්ථා සංශෝධනය ගැන ද නාමල් රාජපක්ෂ සමග කතාබහ කළහ.
‘‘”ආණ්ඩුවට බලය ලැබිලා පිස්සු නටනවා. හිතුමනාපෙට ව්‍යවස්ථා සංශෝධන කරන්න ගිය ආණ්ඩු ඉක්මනින් වැටුණා. අපිත් ව්‍යවස්ථා සංශෝධන කළා, පුද්ගලයන්ට විතරක් බලපාන එව්වා. මතකනේ ජනාධිපතිවරණයට තුන්වරක් ඉල්ලන්න ව්‍යවස්ථාව සංශෝධනය කළා. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු ඡන්දෙට තරග කරන්න පුළුවන් කියලා සංශෝධන ගෙනාවා. මොකද වුණේ... ඒවා අපි අතින් වුණ වැරදි....’’ නාමල් කියද්දී, එහි සිටි පාක්ෂිකයන් කීවේ, ඔබතුමා ඒ වැරැදි තේරුම් ගැනීම හොඳ දෙයක්’’ කියාය.
‘‘ඔව්.... අපි අතීත වැරදිවලින් පාඩම් ඉගෙනගෙන ඉදිරියට යමු’’ යි නාමල් කීය.
රනිල් භූතානයට යයි
දෛනික කටයුතුවලින් මඳ විවේකයක් ලැබූ රනිල් වික්‍රමසිංහ ඉකුත් සඳුදා භූතානය බලා පිටත්ව ගියේය. බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද එම ගමනට එක් වූවාය.
හිමාල කඳුවැටිය ආශ්‍රිතව පිහිටි, අලංකාර ස්වාභාවික පරිසරයකට සහ අද්විතීය සංස්කෘතියකට හිමිකම් කියන දකුණු ආසියාතික රටක් වන භූතානයේ සංචාරය කරමින් එහි විහාරස්ථාන සහ ඓතිහාසික ස්ථාන දැකබලා ගැනීම රනිල්ගේ සංචාරයේ එක් අරමුණක් විය. භූතානය වජ්‍රයාන බුදුදහම අනුගමනය කරන රටකි.
භූතාන සංචාරයට පෙර රනිල් සතියේ දේශපාලන වැඩ කටයුතු සිදු කෙරෙන ආකාරය ගැන සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් පස්වැනි පටුමඟේ සිය නිවසට කැඳවීය. ඉදිරි දින කිහිපයේ වැඩකටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. එහිදී මහාචාර්යවරයා ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට සංවිධාන කර තිබෙන සම්මන්ත්‍රණ, රැස්වීම් මෙන්ම මාධ්‍ය හමු පිළිබඳවත් තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම මානව හිමිකම් කවුන්සලය දැනුවත් කිරීමට ගත් පියවර සම්බන්ධයෙනුත් සඳහන් කළේය.
විශේෂයෙන් විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂය ගත යුතු ස්ථාවරය මෙහිදී රනිල් පැහැදිලි කළේය. මෙම භාරදූර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් අවශ්‍ය බවට වන ස්ථාවරය හැම විටම මතුකර පෙන්වන ලෙස රනිල් මෙහිදී ජී.එල්.ට දැනුම් දුන්නේය.
ඊට අමතරව සභාපති වජිර අබේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක කැඳවූ රනිල් එජාපය පාර්ශ්වයෙන් ගතයුතු පියවර පිළිබඳව දැනුවත් කරනු ලැබීය. ඊට අමතරව හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, රනිල් ජනපති සමයේ මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්න, විදේශ කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ කැඳවූ රනිල් මාධ්‍ය පැත්තෙන් ඉදිරි සතියේ මතු කළ යුතු මාතෘකා පිළිබඳව සාකච්ඡා කර තීරණවලට එළඹියේය.
භූතානයට ගිය පසුව ද රනිල් දුරකථනය ඔස්සේ ජී.එල්., වජිර, සාගල අමතමින් අවශ්‍ය කටයුතු සඳහා උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ කටයුතු, රටේ දේශපාලන ලෝකයේ හැසිරීම සම්බන්ධයෙන් සහ මාධ්‍ය පාර්ශ්වයේ ක්‍රියාකාරීත්වය ගැන විටින් විට දිනිත් කරුණාරත්න ඇමතූ රනිල් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත්තේය.
භූතාන සංචාරය නිමකර රනිල් ඉරිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. එලෙස පැමිණි විගස ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මෙන්ම එජාප නායකයන් මුණගැසීමට නියමිතය.
රනිල්ගේ දිවා භෝජනය
මේ අතර ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු උප මහලේකම්, ප්‍රවීණ ලේඛක ආචාර්ය ශෂී තරූර්ට රනිල් භූතාන ගමනට පෙර දිවා භෝජනයක් පිරිනැමීය. ඉන්දීය හිටපු අමාත්‍යවරයකු වන ශෂී තරූර් පාර්ලිමේන්තු විදේශ කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාවේ සභාපතිවරයා ද වෙයි.
රනිල්ගේ දිවා භෝජනයෙන් මෙන්ම හමුවීමෙන් ද ඉතා සතුටට පත් වූ තරූර් සිය ‘X‘ (ට්විටර්) ගිණුමේ මෙසේ සඳහන් කර තිබිණි.
‘‘හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති උණුසුම් දිවා භෝජන සංග්‍රහයකින් ශ්‍රී ලංකාවේ මගේ පළමු දිනය ආලෝකමත් විය. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ මම ඔහුගේ මිත්‍රත්වය භුක්ති විඳිමි. ඔහු තම රටේ සහ කලාපයේ යහපත සැබවින්ම හදවතින්ම සලකන බව මම විශ්වාස කරමි.’’
රාජ දූත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd