ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර

කාලීන දේශපාලනය පිළිබඳ මේ සාකච්ඡාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සමඟයි.

ආණ්ඩුව මෙතෙක් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

පිළිතුර - ආණ්ඩුවක් විදියට පළමු කාලසීමාව තුළ අපි උපරිම උත්සාහ කළේ ආර්ථික ස්ථායීකරණය සම්බන්ධයෙන් කටයුතු කරන්නයි. අපි ආණ්ඩුව භාරගන්නකොට ”‍ආර්ථිකය වැටෙයි, විදේශ වෙ​ෙළඳාම අඩු වෙයි, විනිමය අනුපාතය ඉහළ යයි”‍ වගේ බොරු මත සමාජගත කරලා තිබුණා. ඉතින් අපට තිබුණු අභියෝගය තමයි ඒ කාරණාවලට සාර්ථකව මුහුණ දීලා ආර්ථිකය හොඳ තැනකට ගෙනෙන එක. අපි ඒකට විවිධ ක්‍රියාමාර්ග ගත්තා. අද වන විට ඇත්තටම රට හොඳ ආර්ථික තත්ත්වයක තියෙනවා.

අපේ අරමුණ මේ තත්ත්වය ඊළඟ අවුරුද්ද ඇතුළත තවත් වර්ධනය කිරීමයි. විශේෂයෙන්ම රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා. ඒ වගේම අපේ භාණ්ඩාගාරය කළමනාකරණය කරගැනීමේදී හොඳ මූල්‍ය විනයක් පවත්වාගෙන යාම තමයි අපේ ප්‍රමුඛ කාර්යය වෙලා තියෙන්නේ. පහුගිය අයවැයේදී අපට පුළුවන් වුණා ඉතිහාසයේ අඩුම අයවැය හිඟය පවත්වාගෙන යන්න. ආණ්ඩුවක් හැටියට මේවා ආර්ථික පැත්තෙන් අපි කරපු සුවිශේෂී ජයග්‍රහණ.

අනික් පැත්තෙන් විදේශ සම්බන්ධතා වගේ විෂයකදී ආණ්ඩුව පෙන්නපු නිපුණතාව ඉතාම වැදගත්. ලංකාව ලෝකය ඉදිරියේ මොන වගේ රටක්ද කියලා පෙන්වන්න අපට පුළුවන් වුණා. ඉතා හොඳ, ශක්තිමත් විදේශ සම්බන්ධතා ජාලයක් අපි මේ වන විට ගොඩනගාගෙන තියෙනවා. අපි බලයට එනකොට අපට තිබුණු තවත් චෝදනාවක් තමයි විදේශ සම්බන්ධතා නැහැ කියන එක. හැබැයි ඔය මහ ලොකුවට විදේශ සම්බන්ධතා තියෙනවා කියලා කියපු අයට වඩා අපි මේ වන විට ලංකාව ලෝකය ඉදිරියේ සලකුණු කරන්න සමත් වෙලා තියෙනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ලෝකය ඉදිරියේ ඇගයීමක් සහ ගෞරවයක් ලැබිලා තියෙනවා. ඒක අපි ලබපු ජයග්‍රහණයක්.

ඒ වගේම රට තුළ ජාතික සමගිය පවත්වාගෙන යන්න අපි විශේෂ කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. මීට කලින් තිබුණු ආණ්ඩු කළේ තමන්ගේ බලය රැකගන්න ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සපු එක.

අපි ජනතාවට දීපු ප්‍රධානම පොරොන්දුවක් තමයි වංචා දූෂණ හෙළිදරව් කරලා ඒවට සම්බන්ධ අයට නීතියෙන් දඬුවම් දෙනවා කියපු එක. ඒක අද නිසියාකාරව සිදුවෙමින් පවතිනවා. ඒ සම්බන්ධව තමයි අද විපක්ෂයේ කල්ලි කණ්ඩායම් සෑහෙන කුපිත වෙලා තියෙන්නේ. ඒකෙන්ම පෙනෙනවා අපි ගන්න ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය. මෙහෙම බලද්දී අපට පෙනෙනවා අපේ අවුරුදු එකහමාරක ගමන් මාර්ගය සාර්ථක එකක් බව.

ඔය ආණ්ඩුව පැත්තෙන් වෙච්ච, ඔබලා කියන හොඳ වැඩ ටිකනේ. එතකොට ආණ්ඩුව අතින් වෙච්ච වැරදි, අඩුපාඩු, අතපසුවීම් ගැන ස්වයං විවේචනයක් එහෙම නැද්ද?

පිළිතුර - ඕනෑම ආණ්ඩුවක දුර්වලතා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි පළමු වතාවට ආණ්ඩු බලය ලබාගත් පක්ෂයක්. වැරදි අඩුපාඩු සියයට සියයක්ම නොවෙනවා කියලා අපි කියන්නේ නැහැ. පොඩි පොඩි අතපසුවීම් වෙන්න පුළුවන්. ඒත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තියෙන නිසාම රටට වෙච්ච මහා වැරැද්දක්, පාඩුවක්, වංචාවක් හෝ හානියක් අපි අතින් වුණා කියලා මම හිතන්නේ නැහැ. යම් යම් සන්නිවේදන දුර්වලතා, මහජන සම්බන්ධතාවල දුර්වලතා තියෙන්න ඇති. ඒක අපි පිළිගන්නවා. ඒවා අපි ක්‍රමයෙන් නිවැරදි කරමින් යනවා.

මේ අවුරුදු එකහමාර ඇතුළේ කථානායකවරයකුට පුටුව අතහරින්න වුණා; ඇමැතිවරයකුට පුටුව අතහරින්න වුණා; ඇමැතිවරයකුට විශ්වාසභංගයක් ආවා. මේවට ද පොඩි පොඩි අතපසුවීම් කියන්නේ?

පිළිතුර - අපේ පැත්තට චෝදනාවක් එන හැම වෙලාවෙම අපි ඒකේ වගකීම අරගෙන තියෙනවා. අපි ඒ තත්ත්වය නිවැරදි කරන්න මුල් අවස්ථාවේම පියවර අරන් තියෙනවා. මීට පෙර ආණ්ඩු වැඩ කරපු විදිය සලකා බැලු‍වොත් මෙහෙම තත්ත්වයක් අපි දැක්කේ නැහැ. ඒ පැත්තෙන් අපි ආදර්ශවත් ආණ්ඩුවක් කියලා බය නැතුව කියන්න පුළුවන්. වැරැද්දක් වෙනවා නම් අපේ කෙනා කියලා ඔහුව බේරන්න අපි අනවශ්‍ය විදියට මැදිහත් වෙලා නැහැ. ඒ තත්ත්වය තුළ නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා අපි බලන් ඉන්නවා. මීට පෙර පැවති ආණ්ඩු කටයුතු කළේ එහෙම නෙවෙයි. ආණ්ඩුවට එන ඕනෑම චෝදනාවකදී අපි අපේ වගවීම සහ වගකීම හරියටම පෙන්වලා තියෙනවා කියන එක තමයි මගේ අදහස.

 විපක්ෂය නගන චෝදනාවක් තමයි මේ සංශෝධන හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙනවා කියන එක. ඒක සත්‍යයෙන් තොරයි. සමහරු මේ ප්‍රශ්නයේ ඇත්ත සඟවන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ ප්‍රශ්නය පටු තැනකට ගෙනල්ලා බොරු විරෝධයක් තමයි විපක්ෂය පාන්නේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධව දැන් ඇතිවෙලා තියෙන ප්‍රශ්නයේදී සමහරු ගෙනියන්නේ වැරදි අදහසක්.

මාලිමාව මැතිවරණයට කලින් රටට කියපු දෙයක් තමයි පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න කියන එක. ජනතාව ඒක යම් ප්‍රමාණයකට ඉටු කළා. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතවරියන් විදියට පත් වුණු ඔබලා මේ වන විට සැලකිය යුතු මට්ටමකින් ඒ අවශ්‍යතාව ඉටු කරලා තියෙනව ද?

පිළිතුර - මාලිමා ආණ්ඩුවක් යටතේ මේ තරම් කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ පැවතීමම ජයග්‍රහණයක්. ඒ නියෝජනය තුළත් සුවිශේෂතා රැසක් තියෙනවා. විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින්, විවිධ ජාතීන්වලට, විවිධ ආගම්වලට අයත්, විවිධ වෘත්තීන්හි නියැළෙන දක්ෂ කාන්තාවන් රැසක් මෙවර මාලිමාවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. ඒක තමයි පළමු ජයග්‍රහණය.

කාන්තාවන් දේශපාලනය කිරීමේදී අභියෝග නැතුවා නෙවෙයි. හැබැයි ඒවට සාර්ථකව මුහුණ දෙමින් යන ගමනක් අපට තියෙනවා. පාර්ලිමේන්තුව තුළ අපේ කාර්යභාරය විවිධයි. අපි නොයෙක් වැඩවලට යොමුවෙලා ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වැඩකටයුතුවලට අමතරව විවිධ කාරක සභා නියෝජනය කරන්න අපට පුළුවන් වෙලා තියෙනවා. අපි ඒවායේදීත් අපේ උපරිම දායකත්වය දෙනවා. මේ හැම තැනකදීම මන්ත්‍රීවරියන්ගේ අදහස්වලටත් ඉඩක් තියෙනවා. අගමැතිතුමියගේ සිට අපි කවුරුත් අපට එන අභියෝගවලට මුහුණ දෙමින් සාර්ථක ගමනක් යනවා කියලා මම හිතනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදියට ලක්මාලි හේමචන්ද්‍ර ටිකක් කැපී පෙනෙනවා වගේ. පාර්ලිමේන්තු කතාවලට ලැබෙන ඉඩ වගේම මාධ්‍යයේ දේශපාලන සංවාදවලට ලැබෙන ඉඩ අනෙක් අයට සාපේක්ෂව වැඩියි කියලා බැලූ බැල්මට පෙනෙනවා. මේ අවස්ථා ලැබෙන්නේ කොහොමද?

පිළිතුර - ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරියන් විදියට හැම විවාදයකදීම අපි හැමෝම වගේ කතා කරනවා. හැමෝටම සම අවස්ථා හම්බවෙනවා. එක් එක් අය දක්ෂතා දක්වන අංශ තියෙනවා. ඔවුන්ගේ දක්ෂතාවන් හඳුනාගෙන ඒ ඒ අංශවලට අපිව යොමු කරලා තියෙනවා. සමහර අය තමන්ගේ දිස්ත්‍රික්කයේ වැඩවලදී වැඩියෙන් ක්‍රියාකාරීයි. සමහරු පාර්ලිමේන්තුවේ විවිධ කමිටුවලදී තමන්ගේ ක්‍රියාකාරීත්වය දක්වනවා. තවත් සමහරු සභාගර්භය ඇතුළේ තමන්ගේ දායකත්වය දක්වනවා. කාටවත් විශේෂ අවස්ථාවක් කියලා වෙන් කිරීමක් නැහැ. මාධ්‍ය සාකච්ඡාවලදීත්, සංවාදවලදීත් එහෙමයි. අපි වැඩ බෙදාගෙන කරන පක්ෂයක්. ආණ්ඩුවක් විදියට අපේ සාර්ථකත්වයත් ඒකම තමයි.

අධිකරණය සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ගන්නා නව ක්‍රියාමාර්ග ගැන විපක්ෂයෙන් නැගෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස මොකක් ද?

පිළිතුර - විපක්ෂය නගන චෝදනාවක් තමයි මේ සංශෝධන හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙනවා කියන එක. ඒක සත්‍යයෙන් තොරයි. සමහරු මේ ප්‍රශ්නයේ ඇත්ත සඟවන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ ප්‍රශ්නය පටු තැනකට ගෙනල්ලා බොරු විරෝධයක් තමයි විපක්ෂය පාන්නේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධව දැන් ඇතිවෙලා තියෙන ප්‍රශ්නයේදී සමහරු ගෙනියන්නේ වැරදි අදහසක්. මේ වෙලාවේ අපි ගෙනත් තියෙන අධිකරණ ප්‍රතිසංස්කරණ යෝජනාව එක් විනිසුරුවරු කොට්ඨාසයක් විතරක් ඉලක්ක කරලා ගෙනත් තියෙන එකක් නෙවෙයි. සියලු‍ම අධිකරණවල විනිසුරුවරුන්ට වසර දෙකක සේවා දිගුවක් ලබාදෙන්න ඕන කියන එක තමයි අපි යෝජනා කරලා තියෙන්නේ. ඉහළ උසාවිවල සිටින විනිසුරුවරුන්ගේ සේවය ඵලදායී ලෙස ලබාගැනීමයි මෙහි අරමුණ. අවුරුදු 65න් විශ්‍රාම ගන්නා විනිසුරුවරුන් බොහෝ විට පෞද්ගලික අංශයේ සේවය කරනවා. ඉතින් ඔවුන්ට සේවා දිගුවක් දීලා සේවය ලබාගැනීම වැරැද්දක් නෙවෙයි. අපි අධිකරණ පද්ධතියේ විවිධ ප්‍රගතිශීලී වෙනස්කම් කරමින් යන්නේ. විනිසුරුවරුන්ගේ සේවා දිගුව කියන්නේ එහි එක කාරණයක් විතරයි.
ප්‍රියන්ත කොඩිප්පිලි