වසර 85කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ අධිකාරිත්වය දරන DIMO, Union Bank PLC සමඟ එක්ව TATA වෙළඳ වාහන, TATA මගී රථ සහ Mercedes-Benz මගී රථ මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා විශේෂ මූල්‍ය පහසුකම් හඳුන්වා දී තිබේ. මෙම හවුල්කාරිත්වය හරහා DIMO වෙතින් අදාළ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට, තෝරාගත් ගාස්තු සඳහා සහන, නම්‍යශීලී ලීසිං පහසුකම් ඇතුළු විවිධ ප්‍රතිලාභ හිමිවන අතර, ඒවා Union Bank හි නියමයන් හා කොන්දේසිවලට යටත් වේ.

“අපගේ අරමුණ වන්නේ ප්‍රජාවන්ගේ සිහින සහ අභිලාෂයන් බලගැන්වීමයි. Union Bank සමඟ ඇති මෙම හවුල්කාරිත්වය එම අරමුණ තවදුරටත් ශක්තිමත් කරන අතර, අපගේ විශ්වාසනීය මෝටර් රථ සන්නාම සහ Union Bank හි පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය විසඳුම් එක් කරමින් ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් ගුණාත්මක ප්‍රවාහන විසඳුම් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව සලසනවා.” DIMO හි විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා මෙසේ සිය අදහස් දැක්වීය.

මීට අමතරව, සහභාගී වන වාහන සන්නාම සඳහා පාරිභෝගික අත්දැකීම තවදුරටත් ඉහළ නැංවීමේ ප්‍රතිලාභ රැසක් DIMO විසින් ලබා දෙනු ඇත. තෝරාගත් මගී රථ සඳහා නිෂ්පාදන හඳුන්වාදීම් සහ ටෙස්ට් ඩ්‍රයිව්, පැය 24 පුරා මාර්ගස්ථ සහාය සහ අනෙකුත් විශේෂ ප්‍රතිලාභ ඒ අතර වේ. තෝරාගත් TATA වෙළඳ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට විශේෂ ප්‍රවර්ධන දීමනා ද හිමි වේ.

Union Bank හි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී අසංක රන්හොට්ටි මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “ශ්‍රී ලාංකිකයන්ගේ දියුණුවට අවශ්‍ය මූල්‍ය විසඳුම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම අපගේ ප්‍රමුඛතාවක්. DIMO සමඟ ඇති මෙම හවුල්කාරිත්වය හරහා වාහන මූල්‍යකරණය වඩාත් පහසු සහ ප්‍රවේශ විය හැකි මට්ටමකට ගෙන එමින්, සිය අභිලාෂයන් සපුරා ගැනීමට පාරිභෝගිකයින්ට ශක්තියක් ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා."

DIMO සහ Union Bank අතර මෙම හවුල්කාරිත්වය පාරිභෝගිකයින්ගේ සමස්ත වාහන හිමිකාරීත්ව අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා දෙපාර්ශවයේම කැපවීම තවදුරටත් සනාථ කරයි. DIMO හි මෝටර් රථ ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ Union Bank හි මූල්‍ය ශක්තිය එක් කරමින්, ගුණාත්මක හා විශ්වාසනීය මෝටර් රථ විසඳුම් සඳහා වඩාත් පහසු ප්‍රවේශයක් ලබාදීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.