ජනපති සහ ඉන්දීය ආරක්ෂක ඇමැති හමුව

මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාව ඉකුත් 09 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

“නමස්තේ ප්‍රසිඩන්ට්...” අනුර හමු වූ විගසම ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා දෑත එකතු කර ආචාර කළේය.

“ආයුබෝවන් ආරක්ෂක ඇමැතිතුමනි...” ජනාධිපතිවරයා ද දෑත එකතු කරමින් ඔහුව සාදරයෙන් පිළිගත්තේය.

ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින්, එය මැඩපැවැත්වීමට දෙරටම එකාබද්ධ යාන්ත්‍රණයකින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ සඳහා ඉන්දීය සහාය අපේක්ෂා කරන බවත්, ඉන්දියාවේ බන්ධනාගාරවල සිටින ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒම සඳහා පූර්ණ සහාය අවශ්‍ය බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

“අසල්වැසියා පළමුව” යන ප්‍රතිපත්තිය යටතේ ලංකාවේ ආරක්ෂාව සහ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ඉන්දියාව ස්ථිර සහායක් ලබා දෙන බව ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා පැවසීය. ඉන්දියාවේ ආරක්ෂාවට හානිකර කිසිදු කටයුත්තකට ලංකාවේ සිට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා ද සහතික විය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඉකුත් අඟහරුවාදා පෙරවරු 8:00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. මන්ත්‍රීවරුන් 159 දෙනාගෙන් බහුතරයක් ඊට එක්ව සිටියහ.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ​ෙශ්‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට ලැබුණු පසු එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා බව මෙහිදී ප්‍රකාශ විය. ඒ අනුව 24 සහ 25 දෙදින තුළ එම විවාදය පැවැත්වීමට හැකි වනු ඇතැයි මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබීය. මීට අමතරව පාර්ලිමේන්තු කටයුතු සහ රජය මුහුණ දෙන ගැටලු‍ පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

බේරුවල රැස්වීම තැබුවේ ඇයි?

ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර, මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල, ඇමැති සමන්ත විද්‍යාරත්න සහ මන්ත්‍රී චන්දන සූරියආරච්චි ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.

“කළුතරින් පටන් ගත්ත රැස්වීම් දෙකට හොඳ සෙනඟක් හිටියා නේද?” ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර ඇසීය.

“ඔව්... ආණ්ඩුවට ආපු ගොඩක් විවේචනවලට උත්තර ලැබුණා. බුලත්සිංහලට එකොළොස්දාහකුත් බේරුවලට දාහතරදාහකුත් ඇවිත් හිටියා. ආණ්ඩුවට සෙනඟ නෑ, ජනතාව වෙනස් වෙලා කිය කියා හිටපු අයට හොඳ උත්තරයක් ලැබුණා,” නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල කීවේය.

”ජනප්‍රියත්වය තවමත් හොඳින් තියෙනවා කියන එකයි ඒකෙන් පෙනෙන්නේ,” චන්දන සූරියආරච්චි පැවසීය.

“සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කරගෙන යනකොට ජනප්‍රියත්වය අඩුවෙන එකයි වෙන්නේ. ඒත් අපේ වැඩපිළිවෙළ ජනතාව අනුමත කරනවාද කියලා බලන්නයි මේ රැස්වීම් තිබ්බේ. ජනසහභාගීත්වයේ හැටි බලන්න ඕන වුණා. ඒක සාර්ථකයි,” සුනිල් වටගල වැඩිදුරටත් කීවේය.

“22 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් තියන්න වෙනවා, ඒ ප්‍රචාරක ව්‍යාපාරයයි මේ තියන්නේ කියලත් සමහරු කිව්වා...” චන්දන සූරියආරච්චි කීවේය.

“ඒකත් බොරුවක්නේ. උසාවි තීන්දුවෙන් පස්සෙනේ ඒවා තීන්දු වෙන්නේ. අනුර දිසානායක බැහැලා කිය කියා හිටපු අයගේ මතය සුනු විසුනු කළා මේ රැස්වීම්වලින්,” වටගල නියෝජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පැහැදිලි කළේය.

වෙරළබඩ අනවසර ගොඩනැගිලි ගැන ප්‍රශ්නය

ජනාධිපති අනුර දිසානායක ඉකුත් සතියේ පරිසර ඇමැති ධම්මික පටබැඳි කැඳවූයේ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් පිළිබඳ සාකච්ඡා කිරීමටය.

“මල්ලි, දැන් කොහොමද බීච් සයිඞ් එකේ අනවසර ගොඩනැගිලි අයින් කරන කටයුතු? ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනෑ,” ජනපති කීවේය.

“ඔව් ජනාධිපතිතුමනි... අපි 10 වැනිදාට තමයි අන්තිම දින දීලා තියෙන්නේ. වැඬේ කරමු. මෙහෙම කරගෙන යද්දී තමයි තේරෙන්නේ ඒ කාලේ ජනාධිපති බලයයි ආණ්ඩු බලයයි යොදාගෙන කරලා තියෙන අසාධාරණ වැඩ,” ඇමැතිවරයා කීවේය.

‘‘රාජපක්ෂලා රණවිරුවෝ කියලා හමුදාවේ සමහර ලොක්කන්ව ළඟට ගත්තේ තමන්ට අවශ්‍ය මෙහෙයුම්වලට. සමහර ආරක්ෂක ප්‍රධානීන් ආණ්ඩුවලට හේත්තු දාගෙන හිටියේ නීතියට පිටින් ගිහින් තමන්ගේ වැඩ ටික කරගන්න,” ජනාධිපතිවරයා කීවේ පිළිකුලෙනි.

“ඒ වගේම මේ වැඩෙන් රස්සාව නැතිවෙන පිරිසකුත් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මොනවා ද කරන්න පුළුවන් කියලා අපි බලමු,” ජනාධිපතිවරයා තවත් සංවේදී කාරණයක් මතු කළේය.

“එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. ඒත් මේ සමහර ව්‍යාපාර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කළු සල්ලි සුදු කරන්න පටන් ගත්ත ව්‍යාපාර...” ඇමැති පටබැඳි කීය.

“ඒක හරි... ඒවට කොහොමවත් සමාවක් දෙන්න බෑ. මේ කළු රාජ්‍යය බිඳින වැඩේ අනිවාර්යයෙන්ම කළ යුතුමයි. විනයගරුක රටක් හදන්න නම් කළු රාජ්‍යය බිඳ නොදමා ඉහළට යන්න බෑ. මම ඒ කළු රාජ්‍යය බිඳින්න සූදානම්,” ජනාධිපතිවරයා තදින්ම කියා සිටියේය.

මුස්ලිම් ව්‍යාපාරිකයා ජනපතිට කී දේ

ජාතික ජන බලවේගය පවත්වන ජනරැලි මාලාව කළුතරින් ආරම්භ වූ අතර, බේරුවලට යන අතරමගදී හමු වූ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ජනාධිපතිවරයාට අපූරු කතාවක් කීවේය.

“ජනාධිපතිතුමනි, අපි ඉස්සර අපේ වැඩ කරගන්න මුස්ලිම් මන්ත්‍රී කෙනෙක් හරි ඇමැති කෙනෙක් හරි පත්කරගන්න බලන්නේ. එහෙම කරලත් අපි වෙනුවෙන් ඇත්තටම පෙනී සිටින්න ඒ අයට බැරි වුණා. දැන් තමයි ජාති භේදයක් නැතුව හැමෝටම එක වගේ දැනෙන නායකයෙක් හම්බ වුණේ. ඒ ඔබතුමා. මේ අවුරුදු දෙකේදී අපි ජාතිවාදී ගැටුම් ඇති කරගත්තේ නෑ. දැන් අපිට බයක් නෑ... හොරකමයි නාස්තියයි නැති කරපු එක ලොකු සහනයක්.”

“සහෝදරවරු අපිට ඡන්දය දුන්නේ ඒකටනේ. අපි ඒවා අකුරටම ඉටු කරනවා. අපේ ඇග්‍රිමන්ට් එක තියෙන්නේ ජනතාව එක්ක. මීට පස්සේ අපේ රටේ ජාතිය හරි ආගම හරි මුල්කරගෙන ගැටුම් ඇති වෙන්නේ නෑ,” ජනාධිපතිවරයා සහතික විය.

දෙමළ පක්ෂ විපක්ෂ නායක හමුවෙයි

උතුරු නැගෙනහිර සහ වතුකරය නියෝජනය කරන දෙමළ භාෂාව කතා කරන දේශපාලන පක්ෂ හයක නියෝජිතයෝ ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවූහ. සෙල්වම් අඩෙක්කලනාදන්, එස්. රාසමානික්කම්, මුජිබර් රහුමාන්, රිෂාද් බදියුදීන්, එච්.එස්.යූ. ලෙබ්බේ, එස්. කුගදාසන් සහ එම්.ඒ.එම්. තාහීර් කාදර් මස්තාන් යන මන්ත්‍රීවරු ඊට එක්ව සිටියහ.

වත්මන් ජීවන වියදම, අබලන් මාර්ග සහ යටිතල පහසුකම් ප්‍රශ්න හමුවේ උතුරේ මෙන්ම වතුකරයේ ජනතාව ද පීඩාවට පත්ව සිටින බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

“අපි මේ තත්ත්වය ගැන දිගටම රජයේ අවධානය යොමු කරලා තියෙනවා. බගවන්තලාවේදීත් මම ඒක දුටුවා. ජනතාවගේ සැබෑ ගැටලු‍වලට විසඳුම් දෙන්න අපේ පක්ෂයයි ඔබතුමාලයි අතර සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමු,” විපක්ෂ නායකවරයා යෝජනා කළ අතර ඊට මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය හිමි විය. පළාත් සභා සක්‍රීය කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

(සටහන: අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර යාපනයේදී අතුරුදන් වූවන්ගේ පවුල් හමු වී 31 දෙනකු පිළිබඳ තොරතුරු තහවුරු කරගෙන ඇති බව ප්‍රකාශ කිරීම ද මෙහිදී අවධානයට ලක් විය).

ඉන්දීය ඇමැති සංචාරය ගැන පෙරටුගාමීන්ගේ සැකය

ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයාගේ ලංකා සංචාරය ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ, වසන්ත මුදලිගේ සහ දුමින්ද නාගමුව ඊට එක්ව සිටියහ.

“ඉන්දියානු ආරක්ෂක ඇමැතිවරයා ආවේ කැඩෙට් පුහුණුව, ආයුධ නඩත්තුව සහ ආරක්ෂක විශ්වවිද්‍යාල සහයෝගතාව ගැන ගිවිසුම් ගහන්න කියලා ආණ්ඩුව කියනවා. ඒත් ඒ ගිවිසුම් අමාත්‍යාංශ ලේකම්වරුන්ට කරන්න පුළුවන් ඒවා. අවුරුදු 38කට පස්සේ ආරක්ෂක ඇමැති කෙනෙක් ආවේ ඒකට විතරක් වෙන්න බෑ,” කුමාර් ගුණරත්නම් කීය.

“ඒක ඇත්ත. ආණ්ඩුව ඉන්දියාව සමඟ එකඟ වූ රහස් ගිවිසුම් ගැන රටට හෙළි කළ යුතුයි,” පුබුදු ජයගොඩ තවදුරටත් පැවසීය.

මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වගකීම මධ්‍යම කාරක සභාව විසින් පුබුදු ජයගොඩට පවරන ලදී.

රජරට වී ගොවීන් රාජිතට කී කතාව

වී සඳහා සාධාරණ මිලක් නොලැබීම නිසා රජරට ගොවීන් සිටින්නේ දැඩි අපහසුතාවකය. හිටපු ඇමැති දොස්තර රාජිත සේනාරත්න සහ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය අනුරාධපුරයේ දුල්මිණි හෝටලයේදී ගොවි නායකයන් හමු වූහ. ප්‍රකට පුංචිරාළ ගොවි මහතා ඇතුළු 20 දෙනෙක් ඊට එක් වූහ.

‘‘අපිත් එක්ක සටන් කරලා වී කිලෝවට රුපියල් 150ක් ඉල්ලපු අය අද ඇමැතිවරු වෙලා. ඒත් අපිට රුපියල් 90ට වඩා වැඩි මිලකට වී විකුණාගන්න බෑ. අක්කරයකට ලැබෙන වී ටික විකුණුවාම මාසයකට රුපියල් 15,000ක්වත් ඉතිරි වෙන්නේ නෑ,” පුංචිරාළ ගොවි මහතා පැවසීය.

විපක්ෂයේ අය ඇවිත් පොරොන්දු දී ගියත් වී මිල ප්‍රශ්නය තවමත් එතැනම බව ගොවි නායකයෝ වැඩිදුරටත් කීහ.

අත්අඩංගුවේ සිට නාමල් පාර්ලිමේන්තුවට

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ නාමල් රාජපක්ෂ, “මං ගැන බයවෙන්න එපා... 12 වැනිදා අනුරාධපුර රැලිය හොඳින් කරන්න” යැයි කියමින් බන්ධනාගාර බස් රථයට ගොඩ විය.

පසුදා උදෑසනම ඩී.වී. චානක සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුව බලන්නට පැමිණි අතර, අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද පැමිණියේය. “ශක්තිමත්ව ඉන්න... ජේ.ආර්.ගේ කාලෙත් අපිව මර්දනය කරන්න හැදුවා. මාවත් හිරේ දැම්මා. සැලෙන්න එපා... මේවා හොඳ දේශපාලන අත්දැකීම්,” මහින්ද උපදෙස් දුන්නේය. සුජීව සේනසිංහ, උදය ගම්මන්පිල, වජිර අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් ද නාමල් බලන්නට පැමිණ සිටියහ.

පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අවසරය මත අඟහරුවාදා නාමල් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එනු ලැබීය.
“කොහොම ද ඇතුළේ තත්ත්වය?” චානක මාදුගොඩ මන්ත්‍රීවරයා ඇසීය.

“අපි ෆුල් ෆිට් එකේ ඉන්නවා. දැන් ඇතුළේ අය මා එක්ක හුඟක් යාළුයි,” නාමල් කීය.

එදින පාර්ලිමේන්තුව ඇමතූ නාමල්, තමා අත්අඩංගුවට ගැනීම ගැන වචනයක්වත් නොකී නමුත් ගල්අඟු‍රු මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන් වීමෙන් කෝටි 462ක පාඩුවක් වී ඇති බව කියමින් චෝදනාවක් කළේය. බ්‍රහස්පතින්දා ද සභාව අමතමින් අනුරාධපුර රැලිය ගැන කතා කළ නාමල්, නැවත බන්ධනාගාර බස් රථයට නැඟු‍ණේ “මේ ටිකේම නිව්ස් බලලයි නිදාගත්තේ, අදත් හොඳ නින්දක් දානවා” යැයි කියමිනි.

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සරය වෙනුවෙන් නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ වැඩි කාලයක් නොගෙන ආගමික වතාවත්වලට මුල් තැන දී උත්සවය පවත්වන ලෙසයි. රනිල්ගේ උපදෙස් පරිදි සියලු‍ පක්ෂවලට ආරාධනා කෙරිණි.

සාගල කළ ආරාධනාව පිළිගනිමින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ, “මම විතරක් නෙවෙයි, තවත් මන්ත්‍රීවරු දහ දෙනෙක් එක්ක එන්නම්” කියාය.

උත්සවයෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේදී රංජිත් මද්දුම බණ්ඩාර, “22ට විරුද්ධව කොටුවේ කරපු උද්ඝෝෂණයට මන්ත්‍රීවරු තුන් හතර දෙනයි ආවේ. ඒත් යූඑන්පී සංවත්සරයට උදේ 8 වෙද්දී දහදෙනාම ඇවිත් හිටියා” යැයි පාඨලී චම්පික හමුවේ කීය. “ඔන්න ඔයාලගේ මහලේකම්තුමා කියන කතාව” යැයි පාඨලී ළඟ සිටි මුජිබුර්ට කියද්දී ඔහු සිනාසුණේය.

මෙවර වෙනස් සංකල්පයක් ලෙස, සෙසු පක්ෂ ප්‍රධානීන්ගේ කතා ද කලින් පටිගත කර මාධ්‍යයට නිකුත් කිරීමට රනිල් පියවර ගත්තේය.

ගොවීන් වෙනුවෙන් රනිල්ගේ නව වැඩපිළිවෙළ

පීඩාවට පත් ගොවීන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නැඟීමට රනිල්ගේ ප්‍රධානත්වයෙන් මල් පාර කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි. මහාචාර්ය ජී.එල්. පීරිස්, වජිර අබේවර්ධන, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, සමන් රත්නප්‍රිය සහ නිශාන්ත වර්ණසිංහ ඊට එක්ව සිටියහ.

“ඔබ සැම ගොවියන් හිතන විදියට හිතන්න ඕනෑ. දේශපාලනඥයෝ ඉස්සරහට ආවේ නැතත් කමක් නෑ, ගොවි සංවිධානවලට නායකත්වය අරන් වැඩ කරන්න ඉඩ දෙන්න,” රනිල් කීය. නොවැම්බරයේදී අනුරාධපුරයෙන් මෙම වැඩපිළිවෙළ පටන් ගන්නා බව දුමින්ද දිසානායක මෙහිදී සඳහන් කළේය.

මැතිවරණ කොමිසමේ බලය 

ආචාර්ය රංග කලංසූරිය ලියූ ‘The Youthquake’ කෘතිය ජනගත කිරීම BMICH ය හිදී පැවැත්වුණේ රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී හිටපු මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක හමු වූ ඩලස් අලහප්පෙරුම, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සීමා නිර්ණ කටයුතු ඉක්මන් කරන ලෙස ඉල්ලා සිටියේය.

“පළාත් සභා තියන්න සීමා නිර්ණය අදාළම නැහැ. මේක කිසිම බලතලයක් නැති කොමිසමක්,” සමන් රත්නායක පිළිතුරු දුන්නේය.

නාමල්ගේ අත්අඩංගුවට ගැනීම ගැන රනිල්ගේ විග්‍රහය

නාමල්ගේ අත්අඩංගුවට ගැනීම ගැන රනිල් මන්ත්‍රී කණ්ඩායම හමුවේ අදහස් දැක්වීය.

“නාමල් හිරේ දාපු එකෙන් එයාගේ දේශපාලන ගමන තවත් ශක්තිමත් වෙලා එයා වීරයෙක් වුණා. දූෂණ චෝදනා නිසා එයා එක්ක එකතු වෙන්න අකමැති වුණු අයත් දැන් එකතු වෙනවා. අපි ක්‍රිෂ් නඩුව දාලා පත් කරපු කොමිසමෙන් තුන්දෙනෙකුට චෝදනා කළත් නාමල්ට චෝදනා නැඟු‍ණේ නෑ,” රනිල් පැහැදිලි කළේය.

ජී.එල්.ගේ නීතිමය හා ව්‍යවස්ථාපිත අදහස

එජාප සංවත්සරයේදී රනිල් කළ කතාව අගය කළ මහාචාර්ය ජී.එල්. පීරිස්, 1948දී මෙන්ම ජනතා පරමාධිපත්‍යය සුරැකීමට සියලු‍ දෙනා එකතු විය යුතු බව මන්ත්‍රී කණ්ඩායම හමුවේ කීය.

තවද, 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩල නීතිඥ සංගමයේ සභාපති ස්ටීවන් තිරු ඉදිරිපත් කළ වාර්තාව ගැන ජී.එල්. දීර්ඝ විග්‍රහයක් කළේය. පූර්ණ විනිශ්චයාසනයක් යොදා නොගැනීම, ජ්‍යෙෂ්ඨත්වය මත විනිසුරුවන් තෝරා නොගැනීම සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥයන්ට පිළිතුරු බැඳීමට අවස්ථාව නොදීම එම වාර්තාවෙන් විවේචනය කර ඇති බවත්, ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයෙන් ජාත්‍යන්තරව රටට ලොකු අගතියක් වන බවත් ජී.එල්. පෙන්වා දුන්නේය.

රාජ දූත