අපි දරුවෙක් පාසලට ඇරලවන්න යන අවස්ථාවක් ගැන හිතන්න. අපි දරුවාව පාසල් ගේට්ටුව ළඟින් ඇතුළට යවලා ආපහු එනවා. ඇයි අපිට එහෙම කරන්න පුළුවන්? ගේට්ටුවෙන් එහා අපේ දරුවා ඉන්නේ දරුවන් වෙනුවෙන් සකස් කරපු පරිසරයක කියලා අපි දන්නවා. එතැන ගුරුවරු ඉන්නවා. දරුවන්ට ගැළපෙන නීති රීති තියෙනවා. ඔවුන්ගේ වයසට ගැළපෙන අධ්‍යාපනයක් තියෙනවා. දරුවන්ගේ ආරක්ෂාව ගැන හිතලා ඒ පරිසරය සකස් කරලා තියෙනවා. 
ඇත්තටම අපි දරුවන් සම්බන්ධයෙන් හැමදාම කරන්නේ මේකයි. ගෙදර විදුලි සොකට් එකක් දරුවාට අනතුරුදායක නම්, අපි දරුවාට විදුලිය ගැන සම්පූර්ණයෙන් ඉගෙන ගන්න කියලා බලාගෙන ඉන්නේ නැහැ. සොකට් එක ආරක්ෂිත කරනවා. කාර් එකේ දරුවාට වෙනම ළමා ආසනයක් තියෙනවා. බෙහෙත් මාත්‍රාව පවා දරුවාගේ වයස අනුව වෙනස් වෙනවා. 
ඒ කියන්නේ දරුවා පරිසරයට හැඩගැසෙන තුරු අපි බලාගෙන ඉන්නේ නැහැ. අපි පරිසරය දරුවාට ගැළපෙන විදිහට හදනවා. එහෙත් අද අපේ දරුවන් දවසේ සැලකිය යුතු කාලයක් ගත කරන තවත් විශාල පරිසරයක් තියෙනවා. ඒ අන්තර්ජාලය. දරුවන් එතැන ඉගෙන ගන්නවා. වීඩියෝ බලනවා. සෙල්ලම් කරනවා. යාළුවන් එක්ක කතා කරනවා. තොරතුරු හොයනවා. දැන් කෘත්‍රිම බුද්ධියත් එක්ක කතා කරනවා.
එහෙත් අපි අපෙන්ම අහන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා. පාසල් ගේට්ටුවෙන් එහා ඉන්න අපේ දරුවා ගැන තියෙන ඒ විශ්වාසය, දරුවා අන්තර්ජාලයට ඇතුළු වෙනකොටත් අපට තියෙනවද? බොහෝ විට නැහැ. ඒකට හේතුවත් සරලයි. අපේ දරුවන් හැමදාම භාවිත කරන අන්තර්ජාලය දරුවන් වෙනුවෙන් නිර්මාණය කරපු එකක් නෙවෙයි. 
මේ ප්‍රශ්නයට පිළිතුරු හොයන්න අපි අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ දේ කරලා තියෙනවා. දරුවන්ට අන්තර්ජාලය ආරක්ෂිතව භාවිත කරන හැටි උගන්වනවා. ඩිජිටල් සාක්ෂරතාව වැඩි කරනවා. අන්තර්ජාලයේ තියෙන අවදානම් ගැන කියලා දෙනවා. මවුපියන්ට Parental Control මෙවලම් දෙනවා. Screen Time පාලනය කරනවා. නීති ගේනවා.
මේ හැම දෙයක්ම වැදගත්. ඒවා දිගටම කරන්නත් ඕනේ. එහෙත් මේ හැම විසඳුමකම යටින් තියෙන්නේ එකම අදහසක්. අපි උත්සාහ කරන්නේ දරුවාව අන්තර්ජාලයට හැඩගස්වන්න. දැන් මේ ප්‍රශ්නය දිහා බලපු විදිහ වෙනස් කරන්න කාලය ඇවිත්. දරුවා අන්තර්ජාලයට හැඩගස්වනවා වෙනුවට, අන්තර්ජාලය දරුවාට හැඩගස්වන්න බැරිද? 
මීට අවුරුදු කිහිපයකට පෙර මේක ප්‍රායෝගික නොවන අදහසක් වගේ පෙනෙන්න තිබුණා. එහෙත් කෘත්‍රිම බුද්ධියේ වේගවත් දියුණුවත් එක්ක ඒ තත්වය වෙනස් වෙමින් තියෙනවා. සියලු‍ දෙනාටම එකම ඩිජිටල් අත්දැකීමක් ලබාදෙනවා වෙනුවට, භාවිත කරන කෙනාගේ අවශ්‍යතාව අනුව හැඩගැසෙන ඩිජිටල් සේවාවන් අද අපට නිර්මාණය කරන්න පුළුවන්.
එහෙම නම් දරුවෙක් අන්තර්ජාලයට ඇතුළු වුණාම ඇයි ඔහුව හෝ ඇයව වැඩිහිටියෙක් විදිහට සලකන්නේ? දරුවාගේ වයසට සහ වර්ධන මට්ටමට ගැළපෙන අන්තර්ගත ලබාදෙන්න පුළුවන්. අහිතකර අන්තර්ගතවලින් ආරක්ෂා කරන්න පුළුවන්. AI සහායකයෙක් දරුවෙක් එක්ක කතා කරන ආකාරය පවා දරුවාගේ වයස සහ අවබෝධ මට්ටම අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෙහි අරමුණ දරුවා වටා ඩිජිටල් තාප්පයක් හදන එක නෙවෙයි.
දරුවා වැඩෙන්න වැඩෙන්න ඔහුට හෝ ඇයට ලැබෙන ඩිජිටල් නිදහසත් වැඩි වෙන්න ඕනේ. ඒත් එක්කම වගකීමත් වැඩි වෙන්න ඕනේ. ආරක්ෂාව වගේම පෞද්ගලිකත්වය, සෞඛ්‍ය සම්පන්න ඩිජිටල් පුරුදු, ඉගෙනීමේ නිදහස සහ ක්‍රමයෙන් ස්වාධීන වීමත් මේකේ කොටස් වෙන්න ඕනේ. 
ළමා හිතකාමී අන්තර්ජාලයක් (Child-Friendly Internet)  කියන්නේ මෙන්න මේ අදහසටයි. එතකොට තවත් වැදගත් ප්‍රශ්නයක් එනවා. දරුවෙක් අන්තර්ජාලයට ඇතුළු වෙනකොට, අන්තර්ජාලය ඒ ඉන්නේ දරුවෙක් කියලා දැනගන්නේ කොහොමද?
දරුවෙක් අද තමන්ගේ ජංගම දුරකථනයෙන් අන්තර්ජාලයට යන්න පුළුවන්. ගෙදර Wi-Fi එකෙන් යන්න පුළුවන්. පාසලේ ජාලයෙන් යන්න පුළුවන්. පොදු Wi-Fi එකකින් යන්නත් පුළුවන්. මේ හැම තැනකදීම වෙන වෙනම App එකක් දාලා දරුවාව ආරක්ෂා කරන්න උත්සාහ කරනවා නම්, අපි තවමත් ප්‍රශ්නයේ එක කොටසක් විතරයි විසඳන්නේ.
එහෙම නැතුව වෙනස් විදිහකට හිතන්න පුළුවන්. මවුපියකු තම දරුවා භාවිත කරන අන්තර්ජාල සම්බන්ධතාවය “ළමා හිතකාමී” සම්බන්ධතාවක් විදිහට එක් වරක් සක්‍රීය කළාට පස්සේ, දරුවා අන්තර්ජාලයට පිවිසෙන හැම අවස්ථාවකදීම ඒ ඩිජිටල් පරිසරය ඔහුගේ හො ඇයගේ වයසට සහ වර්ධන මට්ටමට ගැළපෙන විදිහට හැඩගැසෙන්න පුළුවන් නම්? මෙන්න මෙතැනදී විදුලි සංදේශ සමාගම්වලට සහ අන්තර්ජාල සේවා සපයන්නන්ට විශේෂ කාර්යභාරයක් තියෙනවා.
ඔවුන්ට දරුවාව අන්තර්ජාලයට සම්බන්ධ කරන එකෙන් නතර වෙන්නේ නැතුව, අන්තර්ජාලය දරුවාට ගැළපෙන තැනක් බවට පත් කිරීමේ ආරම්භක ස්ථානය වෙන්නත් පුළුවන්. හැබැයි මේක ටෙලිකොම් සමාගම්වලට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
රජය, ටෙලිකොම් සමාගම්, තාක්ෂණ සමාගම්, පාසල්, ගුරුවරු, දෙමාපියන් සහ ඩිජිටල් සේවා සපයන ආයතන, මේ හැමෝම එකතු වෙන්න ඕනේ. දරුවන්ගේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ ඩිජිටල් යහපැවැත්ම පසුව එකතු කරන පහසුකම් නොව, මුල සිටම ඩිජිටල් ලෝකයේ කොටසක් බවට පත් වෙන්න ඕනේ.
මෙතැනදී ශ්‍රී ලංකාවට ලොකු අවස්ථාවක් තියෙනවා. අපි කුඩා රටක්. එහෙත් මේ වගේ වැඩකදී ඒක දුර්වලතාවක්ම නෙවෙයි. රජය, ටෙලිකොම් සමාගම්, තාක්ෂණ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රය එක අරමුණක් වටා එකතු කරගන්න අප වැනි රටකට පුළුවන්. 
ඒ වගේම මේක අදහසක් විතරක් නෙවෙයි. දරුවන්ට ජාල මට්ටමින් ආරක්ෂාව ලබාදිය හැකි තාක්ෂණ ශ්‍රී ලංකාවේම දියුණු වෙලා තියෙනවා. ඒවා සැබෑ ටෙලිකොම් ජාලවල ක්‍රියාත්මක කිරීමේ අත්දැකීමත් අපට තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට තවත් ලොකු ඉලක්කයක් ගැන හිතන්න පුළුවන් කියලා. ලෝකයේ පළමු  Child-Friendly Internet Nation  එක ශ්‍රී ලංකාව කරන්න අපට බැරි ඇයි? ඒකෙන් අදහස් කරන්නේ කිසිම අවදානමක් නැති අන්තර්ජාලයක් හදනවා කියන එක නෙවෙයි. එහෙම ලෝකයක් හදන්න බැහැ. එහෙත් අපට වෙන දෙයක් කරන්න පුළුවන්. දරුවන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ වර්ධනය අන්තර්ජාලයේම සැලසුමේ කොටසක් කරන්න පුළුවන්.
අද අපි දරුවාව පාසල් ගේට්ටුවෙන් ඇතුළට යවලා ආපහු හැරිලා එන්නේ, ඒ ගේට්ටුවෙන් එහා දරුවන් වෙනුවෙන් සකස් කරපු පරිසරයක් තියෙනවා කියන විශ්වාසයෙන්. හෙට දවසේ අපේ දරුවා අන්තර්ජාලයට ඇතුළු වෙනකොටත් ඒ වගේ විශ්වාසයක් අපට ඇති කරගන්න පුළුවන් නම්? ඒක අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපට කරන්න පුළුවන් විශාල වෙනසක්.
මෙතෙක් අපි උත්සාහ කළේ දරුවන් අන්තර්ජාලයට හැඩගස්වන්න. දැන් අන්තර්ජාලය දරුවන්ට ගැළපෙන විදිහට හැඩගස්වන්න කාලය ඇවිත්.