
දළ ජාතික නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයේ සෘජු දායකත්වය
2025 දී සංචාරක කර්මාන්තය GDP වෙත ලබා දුන් දායකත්වය සියයට 2.94 යි
2019 දී සහ 2024 දී එය සියයට 4.06 ක සහ සියයට 3.18 ක අගයක් ගෙන තිබුණා
අවශ්‍ය වන්නේ සංචාරක පැමිණීම් නොව, සංචාරකයන් සිදුකරන වියදම් ඉහළ නැංවීමයි
වැඩි දායකත්වයක් දිය හැකි ශක්තීන්, අවස්ථා, දුර්වලතා සහ තර්ජනද පෙන්වා දෙයි
සංචාරක කර්මාන්තය මෙරට දළ ජාතික නිෂ්පාදිතය (GDP) වෙත ලබාදුන් ඍජු දායකත්වය 2025 දී සියයට 2.94ක් බවත්, මෙය 2019 දී ලබාදුන් සියයට 4.06ක මෙන්ම, 2024 දී ලබා දුන් සියයට 3.18ක දායකත්වයටත් වඩා අඩු අගයක් ගන්නා බවත් වාර්තා වෙයි.
කොටස් තැරැව්කාර ආයතනයක් වන SenFin Securities යටතේ පවතින SenFin Research මගින් මෙරට සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විශ්ලේෂණ වාර්තාවක මේ පිළිබඳව කරුණු සඳහන්ව තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරිය සහ මහ බැංකුව නිකුත් කළ දත්ත අනුව 2025 දී කර්මාන්තය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 3.20 කි. එහෙත් මෙය එම වසරේදී බලාපොරොත්තු වූ ඩොලර් බිලියන 5ක ආදායමෙන් සියයට 64ක ප්‍රතිශතයක් ගත් බවත් SenFin Research මෙහිදී පෙන්වා දෙයි.
2025 දී මෙරට දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 108.83ක් වූ අතර, ආර්ථිකය වෙත සංචාරක කර්මාන්තය හරහා ලබාදුන් දායකත්වය සියයට 2.94 ක් විය. කෙසේ වෙතත් 2019 දී මෙරට දළ ජාතික නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 89.00ක් ලෙස සටහන් වූ අවස්ථාවේදී, ඩොලර් බිලියන 3.61 ක ආදයමක් රැස් කරගනිමින් එම දායකත්වය සියයට 4.06 ක් ලෙස සටහන්ව තිබේ. එසේම 2024 දී ඩොලර් බිලියන 99.62ක් ලෙස සටහන් වූ දළ ජාතික නිෂ්පාදිතය වෙත ඩොලර් බිලියන 3.17 ක ආදායමක් ලබාදී එම දායකත්වය සියයට 3.18ක් බවට පත්ව තිබේ.
“2025 දී පෙන්නුම් කළ ඩොලර් බිලියන 3.20ක මෙම යථාවත්වීම විදේශ විනිමය ප්‍රභවයක් ලෙස සංචාරක කර්මාන්තයේ වර්ධනය වන වැදගත්කම පෙන්වනවා. එම ආදයම 2025 දී ශ්‍රී ලංකාව වෙත ගලා ආ සමස්ත සේවා ආදායම් ගලා ඒම් අතරින් සියයට 45ක්, ශ්‍රී ලංකාවේ සමස්ත භාණ්ඩ හා සේවා අපනයනයෙන් සියයට 16ක්. SenFin Research පවසයි.
මේ අතර 2026 වසරේ ජනවාරි සිට ජූනි දක්වා කාලය තුළ ඉතාමත් ශක්තිමත් සංචාරක ක්‍රියාකාරකමක් දැකගත හැකිව තිබෙන බවත්, සංචාරක පැමිණීම් මිලියන 1.15ක් ලෙස සටහන්ව තිබෙන බවත් පෙන්වා දෙයි. ඒ අතරම 2026 මුල් මාස හයේදී ආදායම ඩොලර් බිලියන 1.51ක් බවට පත්ව තිබෙන නමුත් ඒ හරහා වසරේ තත්වය ගැන සදහනක් ලබා දිය නොහැකි බවත් එම ආයතනය සඳහන් කරයි.
විශේෂයෙන්ම එක් සංචාරකයකු දිනකට වියදම් කරන මුදලේ වටිනාකමේ සාමාන්‍ය ලෙස මෙතෙක් පැවැති එක්සත් ජනපද ඩොලර් 181 ක සිට ඩොලර් 148ක් දක්වා අඩු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ගත් පියවර පදනම් කරගනිමින් මෙම කරුණු සඳහන් කර සිටියි.
ඒ අනුව සංචාරක කර්මාන්තය GDP වෙත ලබා දෙන දායකත්වය ඉහළ නැංවීමට නම්, සංචාරක පැමිණීම් නොව, සංචාරකයන් මෙරට තුළ රැඳී සිටින දින ගණන වැඩි වීම සහ සිදුකරන වියදම් කිරීම් ඉහළ නැංවීම අවශ්‍ය බව Senfin Research පෙන්වා දෙයි.
“සිටි ඔෆ් ඩ්‍රීම්ස් වැනි සූදු ක්‍රීඩා සහ සියල්ල එක් වූ රිසෝට් හරහා ආදායම වැඩි කරගත හැකියි. MICE ක්‍රියාකාරකම් පුළුල්වීම ඉහළ වටිනාකමක් ගන්නා සාංගමික සහ ව්‍යාපාරික සංචාරකයන් ආකර්ෂණයට හේතුවක්. ආයුර්වේද සහ සුවතා සංචාරක කර්මාන්තයත් ප්‍රධානයි. 2026 පෙබරවාරියේ සිට ඩිජිටල් නෝමැඞ් වීසා යළි සක්‍රිය කිරීමත් සමගින් වැඩි කාලයක් මෙරට තුළ රැඳී සිටින සංචාරකයන් ආකර්ෂණය කරාවි. සර්ෆින්ග්, තල්මසුන් බැලීම, ජාතික සත්වෝද්‍යාන සංචරණය, ඇතුළු පරිසරය හා සම්බන්ධ සංචරණයන් සහ අභියෝගාත්මක සංචරණ අවස්ථාවද වැඩි ආදායමක් හිමි කර දේවි.”
දත්ත අනුව මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් වැඩිම දින ගණනක් මෙරට තුළ ගත කරන්නේ යුරෝපා සංචාරකයන්ය. ඒ අතරින් නෙදර්ලන්ත සංචාරකයන් පළමු තැන ගන්නා අතර, ඔවුන් රාත්‍රී 13ත් 16ත් අතර කාලයක් මෙරට තුළ රැඳී සිටියි. එසේම බ්‍රිතාන්‍ය, ජර්මානු, ඔස්ට්‍රේලියානු, ප්‍රංශ, ඉතාලි, පෝලන්ත සහ රුසියානු සංචාරකයන්ද මෙරට තුළ වැඩි කාලයක් රැඳී සිටියි. එහෙත් රට වෙත වැඩි වශයෙන් පැමිණෙන ඉන්දියානු සංචාරකයන් මෙරට තුළ රැඳී සිටින්නේ දින 5-6ත් අතර කාලයක් බවත් මෙම දත්ත පෙන්වා දෙයි.
මෙහිදී සංචාරක කර්මාන්තය හරහා ආර්ථිකය වෙත වැඩිදායකත්වයක් ලබාදිය හැකි ශක්තීන්, අවස්ථා මෙන්ම පවතින දුර්වලතා සහ තර්ජන පිළිබඳවද SenFin Research සිය විශ්ලේෂණයේදී කරුණු ඉදිරිපත් කර සිටියි.
ඒ අනුව ශක්තීන් යටතේ ශ්‍රී ලංකාව ශක්තිමත් කලාපීය වෙළෙඳපොළක ස්ථානගතවිම, ඉන්දියාව වර්ධනයේ කැපී පෙනෙන දායකයකු වීම, චීනය - ඔස්ට්‍රේලියාව වැනි තෝරාගත් වෙළෙඳපොළ හරහා වාර්තා වූ ශක්තිමත් කාර්යසාධනය, ශ්‍රී ලංකාව වඩාත් ආකර්ෂණීය නිවාඩු ගමනාන්තයක් වීම සහ වැඩි කාලයක් රැඳී සිටීමේ විභවතාවක් පැවතීමත් ඒ අතර පවතී.
එසේම අවස්ථා යටතේ වෙළෙඳපොළ විවිධාංගීකරණය, රැඳී සිටින කාලය ඉහළ නැංවීම, මැදපෙරදිග මඟහැර වැඩි වශයෙන් අග්නිදිග ආසියානු කලාපයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම, ගුවන් සමාගම් හා පවතින හවුල්කාරිත්ව පුළුල් කිරීම යනාදිය පවතී.
මේ අතර දුර්වලතා යටතේ නිවාඩු සංචරණ මත පමණක් යැපීම, ඉහළ භූදේශපාලනික අස්ථාවරත්වය, සමස්ත සංචාරක පැමිණීම්හි අඩුවීම, ඉහළ වෙළෙඳපොළ හරහා වාර්තා වන අඩු රැඳී සිටීම් කාලය සහ ප්‍රධාන ගුවන් සේවා කිහිපයකට පමණක් කොටුවී සිටීම යනාදිය පවතී.
මීට අමතරව පවතින තර්ජන යටතේ භූගෝලීය අස්ථාවරත්වය, ඉහළ යන සංචරණ පිරිවැය සහ ගුවන් ගාස්තු, තවදුරටත් මැදපෙරදිග මත යැපීම මෙන්ම ඉහළ යන තරගකාරීත්වය පවතින බවත් SenFin Research වැඩිදුරටත් පවසයි.
මේ අතර පසුගිය 2025 වසර අගදී සංචාරක කර්මාන්තය දළ ජාතික නිෂ්පාදිතය වෙත ලබා දෙන දායකත්වය පිළිබඳව අදහස් දැක්වීමක් සිදු කර තිබූ රජයද, එය සියයට 10ක් දක්වා වර්ධනය කරගැනීම අරමුණ බව පවසා තිබුණි. එහිදී එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්දියානු සහ චීන සංචාරකයන්ගේ ඉහළ පැමිණීමක් අපේක්ෂා කරන බවත්, ඒ සඳහා කැසිනෝ ඇතුළු කර්මාන්තය වැඩි භූමිකාවක් රඟ දක්වනු ඇතැයි රජයේ අදහස බවත් සඳහන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd