
- දළ ආදායමේ සියයට 15.6 ක කැපී පෙනෙන වර්ධනය හේතුවයි
- බැංකු සතු වත්කම්ද රුපියල් ට්‍රිලියන 26ක් දක්වා ඉහළට
මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගත වූ පළමු මාස හයක කාලය තුළදී බැංකු අංශයේ බදු පසු ලාභය රුපියල් බිලියන 208.7 ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ මුල් මාස හය තුළ වාර්තා වූ රුපියල් බිලියන 184.8 ක බදු පසු ලාභය හා සැසඳීමේදී සියයට 12.9 ක වර්ධනයකි.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2026 දෙවැනි කාර්තුව සඳහා නිකුත් කළ මූල්‍ය සාධනීය දර්ශක වාර්තාව තුළ මෙම කරුණු ඇතුළත්ව තිබේ.
මෙහිදී අදාළ කාලසීමාව තුළ දී බැංකු අංශයේ ඉපැයීම්හි පෙන්නුම් කළ වර්ධනය මේ සඳහා හේතුව වී ඇතැයි මහ බැංකුව පවසයි.
ඒ අනුව 2026 මුල් මාස හය තුළ බැංකු සතු වූ දළ ආදායම රුපියල් බිලියන 732.9කි. එය 2025 එම කාලසීමාවේ වාර්තා වූ රුපියල් බිලියන 633.7 ක ආදායම හා සැසඳීමේදී සියයට 15.6ක වර්ධනයකි.
මේ අතර 2026 දෙවැනි කාර්තුව අවසන් වනවිට බැංකු සතු වත්කම්ද රුපියල් ට්‍රිලියන 26ක් ලෙස සටහන් වන අතර, එය 2025 දෙවැනි කාර්තුවේදී වාර්තා කර තිබූ රුපියල් ට්‍රිලියන 23.8 ක වත්කම් හා සැසඳීමේදී සියයට 9.3ක වර්ධනයකි.
මූලිකවම ණය සහ ලැබිය යුතු මුදල්හි කැපී පෙනෙන වර්ධනය මූලික වී තිබේ. මෙහිදී 2025 පළමු කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 12.34ක් ලෙස පැවැති ණය සහ ලැබිය යුතු මුදල් 2026 දෙවැනි කාර්තුවේදී රුපියල් ට්‍රිලියන 15.26ක් දක්වා සියයට 23.6 කින් වර්ධනය වී තිබේ.
ඒ අනුව මෙය වසරේ පළමු අර්ධය තුළ බැංකු හරහා සිදුකළ ණය ලබාදීමේ කැපී පෙනෙන වර්ධනයක් බව මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් අදාළ කාලසීමාව තුළ බැංකු වෙත හිමි වූ ආයෝජන රුපියල් ට්‍රිලියන 9.90 ක සිට රුපියල් ට්‍රිලියන 8.92 ක් දක්වා සියයට 9.9 කින් පහත වැටී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd