JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන First Capital Holdings PLC, 2026 සැප්තැම්බර් 30 දිනයෙන් අවසන් වූ 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 1.27 ක බදු පසු අලාභයක් වාර්තා කර තිබේ. ඊට සාපේක්ෂව පෙර වසරේ අදාළ කාලසීමාව තුළ සමාගම රුපියල් බිලියන 3.43 ක බදු පසු ලාබයක් වාර්තා කර තිබිණි. 2026/27 මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා සමූහයේ බදු පසු අලාභය රුපියල් බිලියන 0.54 ක් විය.

මුදල් ප්‍රතිපත්තිවල සිදු වූ වෙනස්කම් සහ ස්ථාවර ආදායම් ප්‍රතිලාභ අනුපාත (Fixed-income yields) මත ඇති වූ පීඩනය හේතුවෙන් වෙළෙඳපොළ පරිසරය අභියෝගාත්මක වීම මෙම තත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මැදපෙරදිග භූ දේශපාලනික ගැටලු‍ හේතුවෙන් ඇති වූ උද්ධමනකාරී පීඩනය සැලකිල්ලට ගනිමින් 2026 මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් අංක 100 කින් ඉහළ නංවනු ලැබීම, අදාළ කාලපරිච්ඡේදය තුළ පැවති මෙහෙයුම් පරිසරයට දැඩි බලපෑමක් එල්ල කළේය. පළමු කාර්තුව අවසානයේ සහ දෙවැනි කාර්තුව තුළ රාජ්‍ය සුරැකුම්පත්වල ප්‍රතිලාභ අනුපාතවල විශාල වෙනස්කම් සිදු වීම හේතුවෙන් ස්ථාවර ආදායම්, ණය සහ කොටස් ගනුදෙනුවල කාර්යසාධනයට බලපෑම් එල්ල විය.

කෙසේ වුවද වෙළෙඳපොළේ සිදුවන මෙබඳු වෙනස්කම් First Capital සමාගමට නුපුරුදු අත්දැකීමක් නොවන අතර, අප මීට පෙර ද මෙවැනි වෙළෙඳපොළ අස්ථාවරත්වයට සාර්ථකව මුහුණ දෙමින් ව්‍යාපාර කටයුතු මෙහෙයවා තිබේ. උදාහරණයක් ලෙස, 2021/22 මූල්‍ය වර්ෂයේදී පැවති අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ව හමුවේ සමූහය රුපියල් මිලියන 652 ක බදු පසු අලාබයක් වාර්තා කළේය. ඉන් අනතුරුව වෙළෙඳපොළ තත්වය වෙනස් වීමත් සමග යළි ලාභදායීත්වය අත්කර ගැනීමට සමූහය සමත් වූ අතර, 2022/23 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 2.65 ක්, 2023/24 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 10.16 ක්, 2024/25 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 5.02 ක් සහ 2025/26 මූල්‍ය වර්ෂයේදී රුපියල් බිලියන 2.10 ක් වශයෙන් බදු පසු ලාබ වාර්තා කිරීමට අපට හැකි විය. මෙම අතීත ප්‍රතිඵලවලින් First Capital සතු වෙළෙඳපොළ අත්දැකීම් සම්භාරය මෙන්ම වෙනස් වන තත්වයන්ට සාර්ථකව මුහුණ දෙමින් දීර්ඝකාලීනව ව්‍යාපාරික කාර්යසාධනය පවත්වාගෙන යාමේ හැකියාව මැනැවින් පිළිබිඹු වේ.

අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ව හේතුවෙන් සමූහයේ ප්‍රධාන ව්‍යාපාර අංශවලට විවිධාකාර බලපෑම් එල්ල විය. ඒ අනුව 2026/27 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධය සඳහා Primary Dealer අංශය රුපියල් මිලියන 540 ක බදු පසු අලාභයක් වාර්තා කළ අතර, පෙර වසරේ එම කාලසීමාව සඳහා එම අංශය වාර්තා කර තිබූ බදු පසු ලාබය රුපියල් බිලියන 1.57 කි. රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනුවලින් රුපියල් බිලියන 1.69 ක අලාභයක් සිදුවීම මෙම අංශයේ ප්‍රතිඵල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මීට සාපේක්ෂව 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී එම අංශය රුපියල් බිලියන 1.81 ක ගනුදෙනු ලාබයක් වාර්තා කර තිබිණි. එමෙන්ම පෙර වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළදී රුපියල් මිලියන 988 ක් වූ ශුද්ධ පොලී ආදායම මෙම කාලපරිච්ඡේදයේදී රුපියල් මිලියන 687 ක් දක්වා පහළ ගොස් තිබේ.

මේ අතර, ණය සහ කොටස් වෙළෙඳපොළවල පැවති අසීරු තත්ව හේතුවෙන් Corporate Dealing Securities අංශය 2025/26 මූල්‍ය වර්ෂයේ ප්‍රථම අර්ධයේදී වාර්තා කළ රුපියල් බිලියන 1.78 ක බදු පසු ලාබයට සාපේක්ෂව මෙවර රුපියල් මිලියන 834 ක බදු පසු අලාබයක් වාර්තා කර ඇත.

මෙම තත්වයන්ට වෙනස්ව Corporate Finance Advisory අංශය වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර, පෙර මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයේදී වාර්තා කළ රුපියල් මිලියන 25 ක බදු පසු ලාබය මෙවර රුපියල් මිලියන 69 දක්වා ඉහළ ගොස් තිබේ.
Wealth Management අංශය රුපියල් මිලියන 3 ක සුළු බදු පසු අලාබයක් වාර්තා කළ අතර, 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී එම අංශය රුපියල් මිලියන 48 ක බදු පසු ලාබයක් වාර්තා කර තිබිණි. 2026 සැප්තැම්බර් 30 දින වන විට එම අංශය මඟින් කළමනාකරණය කරනු ලබන වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 92.4 ක් ලෙස වාර්තා විය.

Stock Brokering අංශය අඛණ්ඩව ලාබදායීත්වය පවත්වාගෙන ගියද එහි බදු පසු ලාබය පෙර වසරේ අදාළ මාස 6 ක කාලසීමාව තුළ වාර්තා කළ රුපියල් මිලියන 116 ට සාපේක්ෂව මෙවර රුපියල් මිලියන 12 ක් දක්වා පහළ ගොස් තිබේ. වෙළෙඳපොළ තත්වයන් හමුවේ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් මන්දගාමී වීම, ගනුදෙනු ප්‍රමාණය සහ සමස්ත වෙළෙඳපොළ කාර්යසාධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම මීට ප්‍රධානතම හේතුවයි.

සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ වුවදFirst Capital Holdings PLC සමාගම අදාළ කාලපරිච්ඡේදය තුළ සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලැබීමට සමත් විය. 2026 අගෝස්තු මාසයේදී World Economic Magazine විසින් සමූහය ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයෝජන බැංකුකරණ ආයතනය’ ලෙස නම්කරන ලද අතර, නැවත වරක් LMD 100 Top Corporates ලැයිස්තුවට ඇතුළත් වීමටද සමත් විය.