
ඡායාරූපය: දයාන් විතාරණ
ශ්‍රී ලාංකේය ජනහදවත් සිය සුගායනීය හඬින් නිවා සැනසූ, දේශයේ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පිනී, විශාරද ආචාර්ය නන්දා මාලිනියන් කලක් තිස්සේ රෝගාතුරව සිට පසුගිය අගෝස්තු 20 වැනිදා අවසන් හුස්ම පොද වාතලයට මුසු කළේ ලාංකීය සංගීත වංශකතාවේ රන් පරිච්ඡේදයක පුරාවෘත්තය අවසන් කරමිනි. එතුමිය දිවිසැරිය නිම කරන විට 82 වියේ පසුවූවාය. ඇයගේ 83 වැනි උපන්දින සැමරුමට තිබුණේ තවත් දින තුනකි.
ඇය දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි. වැඩිමහල් දියණිය වරුණි විවාහ වූයේ ධර්මසිරි ගමගේ නම් වූ ප්‍රවීණ ගීත රචකයාගේ පුත් චමින්ද සමඟය. දෙවැනි දුව අමා සාරදා විවාහ වූයේ සංජීව සමඟය. මේ සියල්ලන්ම නන්දා මාලිනියගේ ශක්තියයි. ඇය දැන් දයාබර මිත්තණියකි.
සදාකාලික ප්‍රේමයේ පරමානන්දයෙන් රසික ශ්‍රාවක සිත් සතන් සුවපත් කරමින් ගැයෙන ඇගේ ලයාන්විත ගී හඬින් මුසපත් වූ සහෘද රසික කැළ දැහැන් ගත කළ ගායන ලීලාව, මියුරු සත්සර රාවයෙන් ද රස ගැන්වූ මේ ශ්වේත වස්ත්‍රධාරිනිය වෙන කවුරුවත් නොව, ඇය නන්දා මාලිනියයි...
ඇය දේශයේ හද ගැස්ම හඳුනාගත් හඬයි. සමාජ අසාධාරණයට එරෙහිව නැඟුණු විප්ලවීය ස්වරයයි.
‘රන්මුතු දූව‘ චිත්‍රපටයේ “ගලන ගඟකි ජීවිතේ” ගීතයෙන් ඇරඹි ඒ අසිරිය, “අම්මාවරුනේ”, “ලංකා ලංකා”, “පාරමිතා බල” සිට ‘පවන‘ ප්‍රසංගයේ විප්ලවීය හඬ දක්වා ගමන් කරමින් ලාංකේය සංස්කෘතික සිතියම තුළ කිසිදා මකා දැමිය නොහැකි මහා පියසටහනක් සලකුණු කළ නමුදු, ඒ නිහඬතාව ඇතුළත දොඩවන්නේ හිස්බවක් නොව, පරම්පරා ගණනාවක මතකයන් සහ හැඟීම් සමුදායක මහා ප්‍රකම්පනයයි.
මීට වසර දෙකහමාරකට ඉහතදී ‘සඳැල්ල‘ කණ්ඩායම ඇයගේ සුගායනික මෙහෙවර වෙනුවෙන් ඇයට උත්තමාචාර පුද කරන්නට වෙන් කළ මොහොත අද මෙන් මතකය.
ඇය සංගීත දිවිය තුළ කළ කී මෙහෙවර අකුරුවලට සහ පත්තර පිටු කිහිපයකට ලඝු කළ නොහැකි වුවත්, ඇයගේ මෙහෙවර වෙනුවෙන් ඉරිදා ලංකාදීප ”සඳැල්ල” තුළින් අප ඇයට දුන් උත්තමාචාරයට නොමියෙන කෘතවේදීත්වයක්, ප්‍රේමයක් ඇය අපට පුද කළේ අසීමාන්තික සතුටකිනි.
යුගයේ මහා හඬ නැවත අප අතර නොඇසුණත්, ඇයගේ නික්ම යාම හමුවේ ඉතිරිව ඇත්තේ ඇය වෙනුවෙන් අපගේ ආත්මයේ හැඟීම් වචන බවට පත් කළ ඒ මතකයේ නිහඬ සෙවණැල්ලයි.
අප ජීවිත කාලය පුරාම ඇයට පිදූ ඒ උත්තමාචාරය සහ ගෞරවය හුදෙක් වචනවලට පමණක් සීමා නොවූවකි.
ගායනයෙන් එළිය වුණු ගමන ඇරුඹුණු නැත
මේ වසර දෙකහමාරකට පෙර ඇය “ඇය” ගැන කියූ නිර්ව්‍යාජ කතාව.
මිරිහාන ආරච්චිගේ නන්දා පෙරේරා මගේ නමයි. අපේ තාත්තා මිරිහාන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා. අම්මා අලුත්ගම ලෙවන්දූවේ එමලි පෙරේරා. මම උපදින්නේ 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමයේදීය.
කොටහේනේ කාෂෙට්ටි වත්ත නැත්නම් හැටේ වත්තට අපි පදිංචියට එන්නේ 1934දීය. මීට වසර 65කට පමණ එපිට ඒ වත්තේ ගෙවල් 60කටම තිබුණේ වතුර පයිප්ප දෙකකි. පොදු වැසිකිළි පේළිය තිබුණේ වත්ත කෙළවරෙහිය.
අපේ පවුලේ දරුවෝ නවදෙනෙක් සිටියහ. ගෑනු ළමයින් පස්දෙනෙකු සහ පිරිමි ළමයින් හතරදෙනෙකු වූ අපි සියල්ලෝම ජීවත් වුණේ තාත්තාගේ පඩියෙනි. මගේ තාත්තා දක්ෂ ටේලර් කෙනෙකි. ඒ දවස්වල හයිඩ්‍රාමනී කියා ලොකු සමාගමක් තිබුණි. තාත්තා වැඩ කළේ එහි ය. ‘කෝට් බාසුන්නැහැ‘ විදියටයි ඔහුව කවුරුත් හැඳින්වූයේ. ඔහු මහන කෝට්වල බොත්තම් අල්ලා, කමිස මහා ඒවා මැදීමට උදව් කළේ අම්මාය.
මගේ අම්මා බොහොම පිළිවෙළට අරපිරිමැස්මෙන් හැම වැඩක්ම කළ කෙනෙකි. අපේ ගවුම් මැහුවේද අම්මාය. ඇය එය ඉගෙනගෙන කළ දෙයක් නොව, පළපුරුද්දෙන් කළ දෙයකි. දරුවන් නවදෙනෙකුට කන්න බොන්න දීම ලේසි දෙයක් නොවේ. ඒත් තාත්තා සතියට ගෙනෙන පඩිය කොහොම හරි පිරිමහගෙන අම්මා ඒ කටයුතු කළාය. ඒ නිසා අපට බඩගින්නේ සිටින්නට සිදු වූයේ නැත. කෑම වෙලාවට මොනවාම හරි කෑවෙමු. ඒත් විච්චූරණ කෑම බීම නම් ලැබුණේ බොහොම කලාතුරකිනි. මට මතකයි ඒ කාලයේ අස්මී, කොකිස්, කැවුම් වගේ කැවිලි වර්ග අපේ ගෙවල් ඉස්සරහ පාරේ විකුණන්නට ගෙන යයි. අපට මේවා කන්න ආසය. ඒත් තාත්තාට සල්ලි නැති බව දන්නා නිසා ඉල්ලන්නට පුළුවන්කමක් නැත. ඉතින් අපි තාත්තාගේ මූණ බලමු. එතකොට තාත්තා, ”කිසිම දෙයක් ඉල්ලන්න එපා. අද මගේ අතේ සල්ලි නැහැ”යි කියයි.

හැබැයි අපි කොච්චර දුප්පත් වුණත් අපට හොඳට උගන්වන්නට අම්මාත් තාත්තාත් උත්සාහ කළහ. මගේ ලොකුම අයියා ඉගෙනගත්තේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේය. ඔහු හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබීය. මාත් අක්කාත් ගියේ කොළඹ ශ්‍රී ගුණානන්ද විද්‍යාලයටය. එම විද්‍යාලයේ සාහිත්‍යයට හා කලාවට ලොකු ඉඩක් තිබුණි.
ඒ කාලයේ අපට පාසල් යන්නට තාත්තා සත දෙකක් දෙයි. උදේට ඉස්කෝලේ යන්නට හදද්දී තාත්තා කියන්නේ ”කෝට් එකෙන් ගනිල්ලා” කියාය.
සවසට හැමදාම බුදුන් වැඳීම අනිවාර්ය කර තිබුණි. පිළිවෙළට ලස්සනට ශබ්ද නඟා ගාථා කියා වන්දනා කළ යුතුය. ඒත් ගොඩක් බඩගිනි දැනුණු දවසට, අක්කා බත් බෙදන සද්දය ඇසුණු විට කන්නට තියෙන හදිස්සිය නිසා තාලයක් නැතුව ඔහේ ගාථා ටික කියාගෙන යමු. ඒ වගේ දවසකට බුදුන් වැඳ අම්මාටත් තාත්තාටත් වඳින්නට ගිය විට තාත්තා කියන්නේ, ”අද ගාථා කිව්වා හරි නැහැ, ගිහින් ආයෙත් කියන්න” කියාය. අපි ඉතින් ආපසු ගොස් පිළිවෙළට ගාථා ටික කියමු. කුස්සියට ගිය විට අක්කා අපට බත් පිඟාන දෙයි. අපි සද්දයක් බද්දයක් නැතුව කමු. දෙවැනි සැරේට ඉල්ලන්නේ නැත. ඉල්ලුවත් දෙන්න දෙයක් නැති බව අපි දනිමු.
ආර්ථික දුෂ්කරතා අහස උසට තිබුණු නිසා අපි ඉස්කෝලේ ගියේ හරිම අමාරුවෙනි. අපට හොඳ ඇඳුම් තිබුණේ නැත. අක්කයි මායි ගවුම් මාරුකරගෙන ඇඳගෙන යමු. සමහර දවස්වලට ඇඳ සිටි ගවුම එවලේම හෝදයි. රැලි ටික පිළිවෙළට නවලා අතින් මැද කොට්ටය යටින් තබයි. උදේට එය ඇඳගෙන යයි. මට දමන්නට සපත්තු තිබුණේද නැත. දැම්මේ කට්ටා සෙරෙප්පුය. අඩිය තියෙනකොට ‘ටකස් ටකස්‘ ගා සද්දය ඇසෙයි. ඉතින් සමහර ළමයින් කියන්නේ ”ඔන්න ටක්කයා එනවා” කියාය. ඒත් මම ඉස්කෝලේ ගමන නම් නතර කළේ නැත.
ඒ කාලයේ අපේ ඉස්කෝලේ හැම සති දෙකකට සැරයක්ම රැස්වීම් තිබුණි. ඒ රැස්වීම්වල හැමදාම මම කවි කීවෙමි. ඒ කාලයේ මම ඉස්කෝලේ ප්‍රසිද්ධ වී සිටියේ ‘කවි කියන නන්දා‘ කියාය. අපේ ඉස්කෝලේ එන්. මාග්‍රට් පෙරේරා කියා ටීචර් කෙනෙක් සිටියාය. මේ ටීචර් අපේ නැතිබැරිකම් දැනගෙන සිටියාය. ඒ නිසාම ඇය අපි ගැන විශේෂයෙන් සොයා බැලුවාය.
එක් දිනක් ඇය මාව ගුවන්විදුලි සංස්ථාවේ අබේසේකර අයියාගේ ළමා මණ්ඩපයට එක්කන් ගියාය. ඒ යන්නට මට අලුත් ගවුමක් මහා දුන්නාය. සපත්තු කුට්ටමකුත් අරන් දුන්නාය. ඉතින් එදා මාව එක්කන් ගොස් කරු අයියාට කිව්වේ, ”සර්, මෙයා අපේ ඉස්කෝලේ ඉන්න හොඳ දක්ෂ ළමයෙක්. හැබැයි හරි දුප්පත්. අපි මෙයාට උදව් කරමු” කියාය. කරු අයියාද මට ළමා පිටියේ කවි කියන්නට ඉඩ දුන්නේය. ඔහොම අවුරුද්දකට විතර පස්සේ දවසක අසෝක කොළඹගේ ලියූ,
”ඔබගේ පාමුල සඳුන් ගසක් වී
සුවඳ මලින් සරසන්නම්
බුදු සාදු බුදු සාදු
සඳුන් ගසක් වෙන්නම්
මම සමන් වැලක් වෙන්නම්”
කියන ගීතය ගායනා කරන්නට ලැබුණි. ඒ ගීතය සංගීතවත් කළේ ඩී. ඩී. ඩැනී ය.
ඉන්පසු අමරදේවයන් ඔහුගේ ‘මධුවන්ති‘ වැඩසටහනට මාව සම්බන්ධ කරගත්තේය. මඩවල එස්. රත්නායකයන් ‘පද්‍යාවලී‘, ‘පුෂ්ප පුරාණය‘, ‘නිර්මාණ රේඛා‘, ‘කල්පනා‘ වැනි වැඩසටහන්වලට සම්බන්ධ කරගත්තේය.
ඔය අතරේ තමයි අමරදේව සර් ‘රන්මුතු දූව‘ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ. නාරද දිසාසේකර සමඟ ගීතයක් ගායනා කරන්නට මට අවස්ථාව දුන්නේය. ඒ ගීතය නම්,
“ගලන ගඟකි ජීවිතේ
දයාළූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ලපලු නටයි ගංතෙරේ...”
කියන ගීතයයි.
ඔය දවස්වලම ගුවන්විදුලියේ ‘එයාර් ෂිප්‘ කියා ගීත තරගයක් පැවැත්වුණි. මේක රියැලිටි වැඩසටහනකි. මමත් තරගයට සින්දු කීවෙමි. අන්තිම තරගයේදී සින්දු කියන්නට සිටියේ මමයි තව කොල්ලෙකුයි පමණි. ඒත් ජයග්‍රහණය ලැබුණේ වයසින් බාල මටය.
ප්‍රථම ත්‍යාගය ලෙස මට ලැබුණේ බොම්බායට ගුවන් ටිකට් පතකි. මම තාත්තාට කිව්වේ, ”අපි දුප්පත් නිසා ටිකට් එකේ සල්ලි ඉල්ලගමු” කියාය. තාත්තා කිව්වේ එහෙම දෙන එකක් නැති බවය. ඒත් මගේ බල කිරීමට තාත්තා මාත් එක්ක ඒ ආයතනයට ගියේය. මම ගොස්, ”මහත්මයා, මම අර එයාර් ෂිප් තරගයෙන් දිනපු ළමයා. මට හම්බවුණේ බොම්බායට ටිකට් එකක්. අපි දන්න බොම්බායක් නැහැ. එහෙ යන්න දන්නෙත් නැහැ. ඒ නිසා අපට ටිකට් එපා, ඒ සල්ලි ටික දෙන්න”යි කීවෙමි.
පැය කාලක් ගියේ නැත, අපට සල්ලි දුන්නේය. සල්ලි ගත් සැණින් මම තාත්තාට කිව්වේ ”අපි මොනවා හරි බොමු” කියාය. පසුව අපි සරුවත් බිව්වෙමු. ගෙදරට සති දෙකකට විතර සෑහෙන්න කෑමත් ගත්තෙමු. මට මතක් වුණා තාත්තා කෝට් මදින්නේ පොල්කටු ඉස්තිරික්කයකින් බව. ඉතින් මම, ”තාත්තේ අපි ඉස්තිරික්කයක් ගනිමු”යි කීවෙමි. එතකොට තාත්තා, ”කරන්ට් නැතුව මොන ඉස්තිරික්ක ද?” කියා ඇසීය. එතකොට මම, ”ඉතින් අපි කරන්ට් ගනිමු”යි කීවෙමි. ඉන්පසු ගෙදරට විදුලිය ගත්තෙමු.
මගේ ලෝකයේ වීරයා තාත්තාය. සත්‍යගරුක, කෙළින් වැඩ කරන, කාටවත් ණය නොවී ජීවත්වන හැටි අපට කියාදුන්, කාටවත් අත නොපා කෙළින් වැඩ කළ ප්‍රතිපත්තිගරුක කෙනෙකි තාත්තා. මගේ ගතිගුණ පෝෂණය වූයේ තාත්තාගේ අභාසයෙනි.
ඉන් කාලයකට පසුව පත්තරයකින් මගේ සම්මුඛ සාකච්ඡාවක් (Interview) ගත්තේය. ඒ ලිපිය පළවූ පසු මට ලිපියක් ආවේය. එහි තිබුණේ එයාර් ෂිප් ගී තරගයෙන් දෙවැනි තැන ලැබීම ගැන සතුටු වන බවය. ලිපිය එවා තිබුණේ වික්ටර් රත්නායකය. එදා ය මම දැනගත්තේ එයාර් ෂිප් තරගයේදී මාත් එක්ක තරගයට සින්දු කියා තිබෙන්නේ වික්ටර් රත්නායක බව.
ඔබ නම් අනන්තයි අහසක් සේ නන්දා....
අට දශකයක සත්සර මතකයන් මැදනන්දා මාලිනියගේ සම්මානනීය නිර්මාණ සුවඳ...
දශක හයට අධික ඇගේ සම්භාවනීය සංගීත චාරිකාව පුරා ජනතා ප්‍රසාදය මෙන්ම රාජ්‍ය හා කලාත්මක මට්ටමින් හිමිවූ ඇගයුම් සහ සම්මාන ප්‍රමාණය අතිමහත්ය.
1963 වසරේදී ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය වෙනුවෙන් ප්‍රථම සරසවිය සම්මානය දිනාගත් ඇය, පසුකාලීනව අඛණ්ඩව හොඳම පසුබිම් ගායිකාව ලෙස සම්මාන දිනාගනිමින් සරසවිය සම්මාන ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තැබුවාය.
චිත්‍රපට පසුබිම් ගායනය වෙනුවෙන් සරසවිය, ජනාධිපති, සහ ස්වර්ණ සංඛ යන ප්‍රධාන සම්මාන උලෙළවලදී හොඳම ගායිකාව ලෙස ඇය සම්මාන 25කට අධික ප්‍රමාණයකින් පිදුම් ලබා ඇත.
සරසවි සම්මාන වේදිකාවේ සිට ජාත්‍යන්තර සම්මාන තලයන් දක්වා ඇය ගෙන ගිය ඒ ස්වර මාධුර්යය, සම්මානයකටත් වඩා අපේ දේශීය සංගීත වංශකතාවට ලැබුණු අභිමානයකි.

1963 - පළමුවැනි සරසවි සම්මාන උලෙළ - ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය සඳහා
1965 - තුන්වැනි සරසවි සම්මාන උලෙළ - ‘සාරවිට’ චිත්‍රපටයේ ‘මේ සිංහල අපගේ රටයි’ ගීතය සඳහා
1967 - පස්වැනි සරසවි සම්මාන උලෙළ - ‘සැඩොල් කඳුළු’ චිත්‍රපටයේ ‘දස මස කුස දරා’ ගීතය සඳහා
1968 - හයවැනි සරසවි සම්මාන උලෙළ - ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයේ ‘පුංචි පුංචි පුංචි පැටව්’ ගීතය සඳහා
1970 - පළමුවැනි ගුවන්විදුලි සම්මාන උලෙළ - ‘ආදරවන්තයෝ’ චිත්‍රපටයේ ‘පුංචි පැටව්’ ගීතය සඳහා
1979 - අටවැනි සරසවි සම්මාන උලෙළ - ‘මොණරතැන්න’ චිත්‍රපටයේ ‘හඳ හාමුනේ’ ගීතය සඳහා
1980 - නවවැනි සරසවි සම්මාන උලෙළ - ‘සිරිබෝ අයියා’ චිත්‍රපටයේ කවි සඳහා
1980 - තුන්වැනි ජනාධිපති සම්මාන උලෙළ - ‘සිරිබෝ අයියා’ චිත්‍රපටයේ කවි සඳහා
1981 - හතරවැනි ජනාධිපති සම්මාන උලෙළ - ‘වජිරා’ චිත්‍රපටයේ ‘දෙනෝ දහක් නුවන් අතරේ’ ගීතය සඳහා
1982 - එකොළොස්වැනි සරසවි සම්මාන උලෙළ - ‘යස ඉසුරු’ චිත්‍රපටයේ ‘අම්මාවරුනේ’ ගීතය සඳහා
1982 - පස්වැනි ජනාධිපති සම්මාන උලෙළ - ‘සතරපෙර නිමිති’ චිත්‍රපටයේ ‘ගී පොතේ ගී තනු විසිරී’ ගීතය සඳහා
1983 - දහවැනි OCIC සම්මාන උලෙළ - ‘යස ඉසුරු’ චිත්‍රපටයේ ‘අම්මාවරුනේ’ ගීතය සඳහා ජූරියේ විශේෂ සම්මානය
1983 - හයවැනි ජනාධිපති සම්මාන උලෙළ - ‘යස ඉසුරු’ චිත්‍රපටයේ ‘අම්මාවරුනේ’ ගීතය සඳහා
1984 - හත්වැනි ජනාධිපති සම්මාන උලෙළ - ‘සිව්රංග සේනා’ චිත්‍රපටයේ ‘වැස්ස වැටී මිදුලේ’ ගීතය සඳහා
1987 - නවවැනි ජනාධිපති සම්මාන උලෙළ - ‘පූජා’ චිත්‍රපටයේ ‘බුදු බව පතනා’ ගීතය සඳහා
1990 - දෙවැනි ස්වර්ණ සංඛ සිනමා සම්මාන උලෙළ - ‘ගෙදර බුදුන් අම්මා’ චිත්‍රපටයේ ‘සක්වල එතෙරට ඇසෙනා’ ගීතය සඳහා
1991 - දහනව වැනි සරසවි සම්මාන උලෙළ - ‘ප්‍රේම රජ දහන’ චිත්‍රපටයේ ‘අහසින් බසින’ ගීතය සඳහා
1995 - විසිතුන්වැනි සරසවි සම්මාන උලෙළ - ‘අඹු සැමියෝ’ චිත්‍රපටයේ ‘ඉවුරු බිඳුණු ගං තලාව’ ගීතය සඳහා
1996 - හත්වැනි ස්වර්ණ සංඛ සම්මාන උලෙළ - ‘මී හරකා’ චිත්‍රපටයේ ‘ගොපලු වස් දඬු හඬේ’ ගීතය සඳහා
2000 - දොළොස්වැනි ජනාධිපති සම්මාන උලෙළ - ‘රාගිනී’ චිත්‍රපටයේ ‘සඳ සොමි ගුණ’ ගීතය සඳහා
2000 - දහතුන්වැනි ජනාධිපති සම්මාන උලෙළ - ‘පාදඩයා’ චිත්‍රපටයේ ‘නොපෙනෙන දෙනෙතට දෙනෙතක්’ ගීතය සඳහා
2023 - විසිවැනි ජනාධිපති සම්මාන උලෙළ - 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය වෙනුවෙන් හිමි කරගන්නා ලදී.
ඊට අමතරව ඇය,
1972 - තුන්වැනි දීපශිකා සම්මාන උලෙළේදී ජනප්‍රියතම ගායිකාව සඳහා වන සම්මානය
2016 - තිස්තුන්වැනි සරසවි සම්මාන උලෙළේදී රණතිසර සම්මානයෙන් පිදුම් ලැබුවාය.
සරසවි සම්මාන 12ක්, ජනාධිපති සම්මාන 10ක් ද ජනතාවගේ සම්මානය කිහිප වතාවකදීම ලබාගැනීමට ඇය සමත් වූවාය.
ඇය ගීතවලින් ගැයුවේ තම ජීවිතය ද?
“වචනයට යා හැකි දුර නතර වන්නේ කොතැන ද, එතැන සංගීතයේ උපත සිදු වන බව” ඇමෙරිකානු ජාතික සංගීත විද්‍යාඥ ඩේවිඩ් රැන්ඩොල්ෆ්ගේ අදහසයි. මේ මතය විශාරද නන්දා මාලිනියන් දේව භාෂිතයක් ලෙස ඇදහූවක් විය. විශාරද නන්දා මාලිනියගේ හඬටද මාධූර්යය මුසු වූ විට රසික හද සංගීතයෙන් කුල්මත් කරන්නට මෙන්ම නවමු සමාජ කථනයක්ද, ප්‍රේමයේ විරහවද ගැබ්ව තිබුණේ හරි අපූරුවටය.
මේ, ඒ දේශීය හඬ ප්‍රතිභාවේ ප්‍රතිමූර්තිය වූ විශාරද නන්දා මාලිනිය ගැන ගීත විචාරක ධම්මික බණ්ඩාරයන්ගේ කියවීමයි.
ඔබ දකින නන්දා මාලිනිය කවුද?
මා දකින නන්දා මාලිනිය දේශීය හඬයි. සංගීතයට එසේ විෂය භේදයක් නැහැ, දේශීය හඬ දැනෙන්නේ පපුවට. මට නන්දා මාලිනියව දැනුණේ ”අද පමණක් නෙවෙයි අපට හෙටක් තියෙනවා” යන ගීතයෙන්.
ඒ වන විට මම හිටියේ 3 පන්තියේ. වකුටු වී නිදාගන්නා අපව ඇහැරෙව්වේ ඇගේ ඒ ප්‍රතාපවත් හඬ. නමුත් මේ ගීතය රසවින්ඳාට අපට ඇගේ නම මතක තිබුණේ නැහැ. ඇගේ නම හදවතට දැනෙන විට මම හිටියේ 7 වසර පසු කරන කාලසීමාවක. එකල අප සිතූ පරිදි ඇයට යාදෙන ජාතික හඬ වූයේ ඩබ්ලිව්. අමරදේවයන්. ඒ සමයේ අපි දෙදෙනාටම අතිශය ඇලුම් කළා. නැවත නන්දා මාලිනිය පිළිබඳව අපගේ ගැටවර වියෙන් පසුව අවදි වන්නේ 80 දශකයෙන් පසුවයි.
80 දශකයෙන් පසු ඔබ දුටු නන්දා මාලිනිය මොනවගේද?
80 දශකයෙන් පසුව මම ඇයව දකින්නේ කැසට් කලාව තුළින්. ආදරයේ මිහිරි බවත්, ප්‍රේමයේ කටුක බවත් ඇයගේ ගීතාවලිය තුළ සම්මුඛ වී තිබුණා. ගඟක් එකම හැඩයකට එකම වේගයෙන් නොගලන්නා සේ, නන්දා මාලිනිය ඇගේ ගීයේ රැඳි ආදරය විවිධ හැඩයන්හි තබා සවනට මුසු කළා. විටෙක එහි රැඳී තිබුණේ විරහ තාපයෙන් හඬා වැටෙන හඬක්. මට මතක් වෙනවා මෙන්න මේ ගීතය,
“කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී”
ඒ විතරක් නෙමෙයි, ඇය ගායනයේ උල්පත වී ගැයුවා. සෝ තැවුල් සංසිඳුවන ආදරයට ආයාචනා කළා.

“මා හඬනා කඳුළු ගලා සැදුණු කඳුළු සාගරේ...”
මේ ගීතය තුළින් සහ මේ ගීතයෙන් පස්සේ ඇය ගැයූ බොහෝ ගීතවල මා ඇය තුළින් දුටුවේ වැලපෙන ගැහැනියක්. මෙහි ගීත රචනය සොයා ගිය විට දුටුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විරහවේ වේදනාව වචනවල තවරපු ආකාරයයි. ඒ කාලේ මම විද්‍යාව ඉගෙනගන්න සිසුවෙක් වුණත් පැපරාසීන් මෙන් ඒ තොරතුරු සෙවීමේ උණක් තිබුණා. මා දන්නා පරිදි මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නන්දා මාලිනියට ලිවූ පළමු ගීතය:
“සකුරා මල් පිපිලා හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන පියසේ...”
කොහොම වුණත් මේ ගීත බිහි වෙන වකවානුවේ ඒ ඒ අයගේ පෞද්ගලික අත්දැකීම් ඒ නිර්මාණවලට ඉබේම එකතු වෙනවා. නන්දා මාලිනී මහත්මිය ‘සත්‍යයේ ගීතය‘, ‘යාත්‍රා‘ වගේ කැසට් පට කරන කොට, අර ”පහන් කන්ද මුල අඳුරුයි” කියලා කතාවක් තියෙන්නේ, ඒ වගේ ඇගේ ජීවිතෙත් යම් හැලහැප්පීම්වලට ලක් වෙලා තිබුණා. ඒ හැලහැප්පීම්වලට යාදෙන ගීත තමයි ගොඩක් වෙලාවට ඇය ගැයුවේ.
තව තැනක ඇය කිව්වා,
කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවයට යන මංසලකුණු දැක
ඔබව සොයාගෙන ආවා....
එහෙම තමයි, ජීවිත වෙනස් වෙනවා. මේ ගැහැනියට අපි දන්නේ නැහැ කවුද පිහිට වුණේ කියලා. හැබැයි ඒ අතර සින්දු ගොඩක් හැදෙනවා. ඒ වෙනස් වීම් එතුමියගේ ගීත කලාව තුළම තිබුණා.
සුළං කපොල්ලේ තැනූ කැදැල්ලේ කැබලි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ...
මේක ඇගේ ජීවිතයේ හැලහැප්පීම්, වේදනාව ගීත ස්වරයට මුසු වූ තවත් ගීතයක් ලෙස හඳුන්වන්න පුළුවන්.
නන්දා මාලිනිය ගැයූ ගී අතර සෞන්දර්යාත්මක ගුණය අභිබවා ඇය සතු විරෝධාකල්ප ගීත අතර සුපුරුදු මධුර ස්වර ගලා තියුණු කඩු පහර වන්නේ ‘සත්‍යයේ ගීතය‘යි. රටේ දෙකොනම ඇවුළුණු පරිච්ඡේදයක 80 අග භාගයේදී ඔබ දුටු ඇය ගැන කතා කළොත්?
දෙකොනම ඇවුළුණු මේ පරිච්ඡේදය තුළ විවිධ හේතු මත එකල පැවති ආණ්ඩුවට එරෙහිව දේශපාලන වාතාවරණය තුළ වඩා ප්‍රබලව හිටියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය. මේ තුළ නන්දා මාලිනී සහ සුනිල් ආරියරත්නයන් නියෝජනය කළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ආකල්පයි. එහි කූටප්‍රාප්තිය ‘පවන‘ ඒක පුද්ගල ප්‍රසංගයයි. 80 දශකයේ මැද භාගය වෙනකොට නන්දා මාලිනී - සුනිල් ආරියරත්න සුසංයෝගයෙන් ලියවෙනවා ‘සත්‍යයේ ගීතය‘ කියන කැසට් පටය. ‘ශ්‍රවණ ආරාධනා‘ ගී ප්‍රසංගය, ‘පහන් කන්ද‘ කැසට් පටය, ‘යාත්‍රා‘ කැසට් පටය මෙන්ම ‘සත්‍යයේ ගීතය‘ ගී ප්‍රසංගය ඒ කාලේ ලොකු ආන්දෝලනයකට ලක් වුණු නිර්මාණ වුණා.
එහි සියලුම ගීත රචනා ගෙත්තම් වුණේ සුනිල් ආරියරත්නයන් අතින්. සියලුම ගායනා නන්දා මාලිනී සතුයි. සුනිල් ආරියරත්න මහත්මයා තුළ තිබූ ආකල්පවලට හොඳම වාහිකාව බවට පත් වූයේ නන්දා මාලිනියයි. ‘පවන‘ පටන් ගනිද්දීම සුනිල් ආරියරත්න කිව්වා මේක භරතමුනිගේ රස සිද්ධාන්තවලට විරුද්ධයි කියලා. මේක මේ පවතින ආකාරයට ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන් කළා වගේ, ”මං මේ කරන්නේ සාහිත්‍යයෙන් තොර වැඩක්” කියලා. මේ වැඩේ වාහකයා වුණේ නන්දා මාලිනිය. එක් තැනක කියනවා ”අපි ඔක්කොම එකතු වෙමු” කියලා, ආයේ තැනක කියනවා ”අපි උන්ට ගහමු” කියලා. ඒ වගේ සුනිල් ආරියරත්න ඒ වෙලාවේ ඒ පිරිසට ගැළපෙන්න ලිව්වා. ඒත් ඒ ලියපු තැන්වල විසංවාදී තැනුත් තිබුණා. නමුත් ඒ සියල්ලේම වාහකයා වුණේ ඇය.
කොහොම වුණත් ඒ කාලය තුළ ලංකාවේ නිර්ධන පන්තියේ වීරවරිය බවට නන්දා මාලිනිය පත් වුණා. 87-90 භීෂණ සමයේ නන්දා මාලිනිය සත්‍යයේ ප්‍රතිමූර්තියක් බඳු වුණා, පරමාදර්ශී චරිතයක් වුණා. ඇගේ හඬින් වශීකෘත වූ එකල යෞවනයන් දෑස් නොසෙල්වා ඒ ගීත දෙස සීරුමාරුවෙන් හිඳගෙන බලා උන්නා.
නමුත් නන්දා මාලිනිය සමාජයේ පැවති නොයෙකුත් මර්දනය හමුවේ නොපැකිළිව තම හඬ මුසු කරමින් 87-90 බියකරු ධවල භීෂණ සමයේ ‘පවන’ ප්‍රසංගයට දායකත්වය සැපයුවා. විරෝධාකල්ප, පවත්නා සාමාජීය දේශපාලන සංස්කෘතියට අභියෝග කරන ගීත තමයි එහි නිර්මාණය කෙරුණේ.
යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇඟිලි තළා දෙතිස් වදය පමුණුවන්න අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය හා විනිසුරන්....
අවසානයේ මිනී කඳු මතින් නන්දා මාලිනියත් සුනිල් ආරියරත්නත් සිය ජීවිත ආරක්ෂාව පතා විදේශගත වෙනවා. ඒ යුගය නිමා වෙලා නැවත ලංකාවට ඇවිත් ඇයට අනන්‍ය වූ හඬ අරගලය තවදුරටත් ඈ රඳවා ගත්තේ,
මේඝයක් සේ හුදෙකලා වී නීල අම්බරයේ...
නොදැන මඟතොට බලා වටපිට
අයාලේ යන ගමන කොතැනටදෝ...
ඒ වගේ ඇයගේ ජීවිතයේ යම් යම් හැරවුම් ලක්ෂ්‍යයන් තියෙනවා. ඇය කලකිරුණු අවධියෙත් ඇගේ පැත්තෙන් ඇගේ හිතට දැනුණු එකම සුවයක් විය හැකියි මෙය. ජීවිතයේ තැලී පොඩි වී ඉන්න කොට කෙනෙකුගේ සෙනෙහස පුර හඳක්, මල් සුවඳක් වාගේ දැනෙන තැන් තියෙනවා.
ලොවම එපා වී ලොවම කලකිරී
දැවී දැවී හිඳිනා වේලේ...
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ...
නන්දා මාලිනියගේ ජීවිතයේ දේවල් බොහෝ තැන් සොයාගෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඇයව කියෙව්වා. ඒ සංධිස්ථානයන් තමයි මේ විරහ ගීතවල බහුතරයක තියෙන්නේ. යකඩ තැළෙන්න තැළෙන්න තමයි මුවහත් වෙන්නේ. ලංකාවේ ඇය තරම් අත්දැකීම් ලැබූ කිසිම ගායිකාවක නැහැ. ඇය දශක පහක් සහ ඊළඟ ශ්‍රී ලංකා සාහිත්‍යයේ කල්පාන්තය දක්වා පවතින යකඩ ගැහැනියයි.
ඇය කොතරම් ගී ගැයුවත් මම දකින ඇගේ කූටප්‍රාප්ත ගායනය තියෙන්නේ වෙන තැනක. ඒක ලිව්වේ සුනිල් ආරියරත්න නෙමෙයි, අජන්තා රණසිංහයන්. චිත්‍රපටය ‘දුහුළු මලක්’, සංගීතය සරත් දසනායකයන්ගේ. ඒ තමයි,
රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කළ ආදරෙයි....
අපේ කාගේ ජීවිතවලත් වැරදි, හොඳ තැන් දෙකම තියෙනවා. ඒ වැරදි හදාගෙන අපි ජීවිතයට බහින්න ඕනෑ. ජීවිතයේ හැලහැප්පීම් මැද්දේ ගායනයට බැස්ස එකම ගායිකාව ඇයයි.
නන්දා මාලිනියගේ සිනමා ගීතාවලෝකනය
නන්දා මාලිනියගේ සිනමා ගීතාවලිය යනු හුදෙක් පසුබිම් ගායනයක්ම නොවේ. එය චරිතවල ආත්මයට ජීවය දෙමින්, තිරයේ මැවෙන දෘශ්‍ය රූපයේ හැඟීම් ප්‍රේක්ෂක හදවතේ ගැඹුරුම තැනක තැන්පත් කළ මහා කලාත්මක බලවේගයකි. රන්මුතු දූවෙන් ඇරඹි ඒ අසිරිමත් ස්වර යාත්‍රාව, ‘තුන්මං හන්දිය’, ‘සසල දිය අසල’, ‘බඹරු ඇවිත්’, ‘වජිරා’ වැනි චිත්‍රපට ගණනාවක් දක්වා දියත් වූයේ සිංහල සිනමා ගීතයේ ස්වර්ණමය යුගය සලකුණු කරමිනි.
ඇගේ රිදී තිරයේ ගී සිත්තම් දෙස ආපසු හැරී බලන විට, සිනමා ඉතිහාසයේ එම හඬ තැබූ සුවිශේෂී සලකුණ පිළිබඳ ‘සඳැල්ල’ සමග කළ මතකාවර්ජනයකි මේ.
සිංහල සිනමාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය රන්මුතු දූව’ (1962) තිරගත වෙද්දී, 19 හැවිරිදි වියෙහි පසුවූ තරුණියකගේ ස්වරය මුළු මහත් සිනමා ප්‍රේක්ෂකාගාරයම වශී කරගත්තේය. ඒ, අමරදේවයන් නමැති මහා ගාන්ධර්වයාණන් විසින් සොයාගනු ලැබූ නන්දා මාලිනී නමැති ඒ සොඳුරු ගී උල්පතයි. ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහයන්ගේ පද සංකලනයෙන් සහ අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් පෝෂණය වූ ගලන ගඟකි ජීවිතේ’ ගීතයෙන් සිනමා ගී ගමන ඇරඹූ ඇය, එහි පළමු පියවරෙන්ම හොඳම පසුබිම් ගායිකාවට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවාය. නාරද දිසාසේකරයන් ද සිනමාවට පිවිසි මෙම ගීතය, සෙරෙන්ඩිබ් ලේබලය යටතේ ග්‍රැමෆෝන් තැටියකට ද නැඟිණි.
එතැන් පටන් ඇරඹුණු ඇගේ සිනමා ගී රාවය දශක ගණනාවක් පුරා සිනමාපට රැසක් අර්ථවත් කළේය. ‘රන්මුතු දූවෙන් පසු ‘සාරවිට‘ චිත්‍රපටය වෙනුවෙන් ඇය ගැයූ, මහගම සේකරයන් ලියා අමරදේවයන් සංගීතවත් කළ
‘මේ සිංහල අපගේ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි...’
ගීතය සිනමා ගීතයක සීමාවන් ඉක්මවා යමින් දේශයේ ජාතික උරුම ගීතයක් බවට පත් විය. සේකර, පණ්ඩිත් අමරදේවයන් ඉපැද්දවූ රස මියුරු සංගීතය සහ නන්දා මාලිනී හඬ සංකලනය වූ මේ සිංහල අපගේ රටයි’ ගීතය ජාතියක් පණ ගන්වන්නට තරම් ජවයක් ගෙන දුන් ගීතයක් විය.
‘සැඩොල් කඳුළු‘ වෙනුවෙන් ගැයූිදස මස කුස දරා‘, ‘ආදරවන්තයෝ‘ වෙනුවෙන් ගැයූ ‘පුංචි පුංචි පුංචි පැටව්‘, ‘පටාචාරා‘ චිත්‍රපටයට ගැයූ ‘බාලොලි - බාලොලි එකිනෙකට වෙනස් ගීත ලෙස මිහිරක් ගෙන දුන්නේය.
‘වෙසතුරු සිරිත’ (1966) චිත්‍රපටයට ඇතුළත්
‘රුවන් වලා දුහුල් කඩින්පෙ රී සඳේ රිදී කැළුම්’
මහගම සේකර සූරීන්ගේ පද වැලට පණ්ඩිත අමරදේවයන් සංගීතවත් කළ ඒ ගීතයට නන්දා මාලිනිය හඬ මුසු කර ඇති අන්දම ඉතාම මිහිරිය. හැටේ දශකයේ මැද භාගයෙන් පසුව බොහෝ මව්වරු මේ ගීතය දරු නැළවිලි ගීයක් බවට පත් කරගත්හ.
එමෙන්ම 1967 දී ‘රෑන ගිරව්’ චිත්‍රපටයට ධර්මසිරි ගමගේයන්ගේ පදමාලාවකට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ‘රෑන ගිරා ජෝඩුවයි’ ගීතය අමරදේවයන් සමග ගයමින් සදාදරණීය ආදර හැඟීමක් සිනමාවට එක් කළාය.
”රෑන ගිරා ජෝඩුවයි
හාද වෙලා ආදරෙයි
රෑන ගිරා ජෝඩුවයි”
රස පදවල මිහිර, සංගීතය සහ නන්දා මාලිනියගේ මෙන්ම පණ්ඩිත අමරදේව සූරීන්ගේ හඬ මුසුවූ එම ගීතය ගෙන දුන්නේ සදාදරණීය ආදර රසයකි.
ඉන්පසු ආදර රසය ඇය තවත් ප්‍රේමාන්විත කළේ 1971 දී කේ. ඒ. ඩබ්. පෙරේරාගේ ”සීයේ නෝට්ටුව” චිත්‍රපටය වෙනුවෙන් ගැයූ
‘දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ’
ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් ලියූ මෙම ගීතයේ සංගීතය නිර්මාණය කළේ ආචාර්ය කේමදාසයන්ය. 1976 දී තිරගත වූ, මහාචාර්ය සුනිල් ආරියරත්න රචනය කළිදියමන්ති’ චිත්‍රපටයේ ඇතුළත්,
‘යොවුන් වසන්තයේ
දුහුල් වලාකුළේ’
යොවුන් බවට අපූරු අරුතක් ඇය එක් කළේ ඩී. ආර්. පීරිස් සූරීන්ගේ සංගීතයට හඬ මාධූර්යය මුසු කරමින්ය.
1979 දී තිරගත වූ, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘කොවුලන් වසන්තයේ’ (ඩී. ආර්. පීරිස් සංගීතය) සහ ‘සරුංගලය’ චිත්‍රපටයේ බබළයි බිම්බිඳු කුමර තලින්නේ’ (පීරිස් ගුණසේකර රචනය / වික්ටර් රත්නායක සංගීතය) වැනි ගීත හරහා යොවුන් පෙම් හැඟුම්හි ඉහළම සෞන්දර්යය ස්පර්ශ කිරීමට ඇයට හැකි විය.
1976 දී ‘දුහුළු මලක්’ චිත්‍රපටයේ ඇතුළත් සරත් දසනායකයන් සංගීතවත් කළ අජන්තා රණසිංහයන්ගේ ‘රන් කෙන්දෙන් බැඳ’ ගීතය සිනමා ගීත වංශයේ සදාදරණීය සලකුණක් බවට පත් වූයේ,
‘රන් කෙන්දෙන් බැඳ’
ගීතයට ඇය දුන් අපරිමාණ හඬ රසය නිසාය.
ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ පද රචනයට සංගීතවත් කළේ සරත් දසනායක සූරීන්ය. ‘මොණරතැන්න’, ‘හඳ හාමුනේ’, ‘වජිරා’, ‘දෙනෝදහක් නුවන් අතරේ’ සහ ‘යස ඉසුරු’ ‘අම්මාවරුනේ’ වැනි ගීත ප්‍රේක්ෂක හදවත්හි අදටත් නොමැකී පවතී.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට දශක ගණනාවක් මුළුල්ලේ හඬ මුසු කළ ඇය, 2020 දී තිරගත වූ විජිත තැන්න’ චිත්‍රපටයේ ගයාත්‍රි කේමදාසයන්ගේ සංගීතයට, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ ‘අම්මා නොවේ බුදු වන්නේ නුඹයි පුතේ’ ගීතය ගයමින් පරම්පරා දෙකක සංගීත සන්ධිස්ථානයක් සටහන් කළාය.
‘රන්මුතු දූවෙන්’ ඇරඹී අදටත් නොසිඳී ගලන ඒ මියුරු සිනමා ගී ගඟුල, සිංහල සිනමාවේ රන් අකුරින් ලියැවුණු අනගි මුතු කැටයක් බඳුමය.
ඔබ නික්ම ගියේ නාමිකව පමණි. ඔබ මේ මහ පොළොවේ තබා ගිය ශබ්ද මකරන්දය, සුළඟත් සමඟ මුසු වී මේ රටේ සෑම හදවතකම සදාකාලිකවම රැව් පිළිරැව් දෙනු ඇත. නිවන් දකින්නට පෙර යළිත් වරක් මේ පින්බර හෙළ දෙරණේම ඉපදී අපේ සවන්පත් පිනවන්නට ඔබට හේතුවාසනා වේවා යැයි ‘ඉරිදා ලංකාදීප’ අපි ප්‍රාර්ථනා කරන්නෙමු.
ශාන්ත කුමාර විතාන
චන්දි කොඩිකාර
සඳුන් ගමගේ
නදීශා අතුකෝරළ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd