ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සහ සමාජ ජීවිතයේ කොඳුනාරටිය වන්නේ කෘෂිකර්මාන්තයයි. දළ දේශීය නිෂ්පාදනයට සෘජු දායකත්වය සීමිත වුවද, ජනගහනයෙන් සියයට 25 කට වඩා ජීවනෝපාය සපයාගන්නේ කෘෂිකර්මාන්තයෙනි. එමෙන්ම රටේ ප්‍රධාන ආහාරය වන සහල් සැපයීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ දේශීය වී වගාව මතය. වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24 ක් පමණ අවශ්‍ය වන රටක, මෙම තත්ත්වය තුළ වී වගාවේ ස්ථාවරත්වය යනු ජාතික ආරක්ෂාවේම කොටසකි.

පශ්චාත් ආර්ථික අර්බුදයෙන් පසු රට යථා තත්ත්වයට පත්වෙමින් තිබියදී, නව අභියෝගයක් ලෙස දේශගුණික විපර්යාසය මතුවී ඇත. පසුගිය දශකයේ දී ශ්‍රී ලංකාව අත්විඳි ආන්තික කාලගුණික සිදුවීම් සංඛ්‍යාව දෙගුණයකට වඩා වැඩි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම පසුබිම තුළ වර්තමානයේ පැසිෆික් සාගරයේ නැවත වරක් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සහ ඇමෙරිකානු සාගර වායුගෝලීය නිරීක්ෂණ ආයතනය අනතුරු හඟවා ඇත. යල අස්වැන්න නෙළාගනු ලබන මෙම තීරණාත්මක මොහොතේ දී මෙම තර්ජනයට නිසි ලෙස මුහුණ නොදුනහොත්, ඉදිරි මාස පහ තුළ රට දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට සහ සහල් මිල ඉහළ යාමේ අවදානමකට මුහුණ දෙනු ඇත. 

එබැවින්, වර්තමානයේ පවතින හා ඉදිරි මාස කීපය තුළ ඇතිවිය හැකි වෙළෙඳපොළ සහ කාලගුණික තත්ත්වයන් පිළිබඳ ගොවිජනතාව නිසි අවබෝධයක් ලබාගෙන තම වී අස්වැන්න අලෙවි කිරීමේ දී අනවශ්‍ය කලබලයකට පත් නොවිය යුතුය. විශේෂයෙන්ම මේ වන විට පවතින්නේ 2026 යල කන්නයේ අස්වැන්න වන අතර, මෙම කන්නයෙන් පසු සාමාන්‍යයෙන් මාස පහක පමණ වී අස්වනු හිඟ කාලයක් උදාවන බව සැලකිල්ලට ගත යුතුය. ප්‍රමාණවත් නව වී අස්වැන්නක් නැවත වෙළෙඳපොළට ලැබීමට නියමිත වන්නේ 2027 පෙබරවාරි මාසයේදී, එනම් 2026/27 මහ කන්නයේ අස්වැන්න සමගය.

කෙසේ වෙතත්, එම කාලය දක්වා රටේ පාරිභෝගිකයින්ගේ සහල් අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලිය යුතු අතර, ඒ සඳහා දැනට පවතින වී තොග මතම යැපීමට සිදුවනු ඇත. එමෙන්ම දැනට පුරෝකථනය කර ඇති ඉහළ එල් නිනෝ (El Niño) තත්ත්වය සහ ඒ සමග ඇතිවිය හැකි වර්ෂා රටාවේ වෙනස්වීම් කෘෂිකාර්මික අංශයට ඉදිරි මාස කිහිපය තුළ හිතකර නොවන බලපෑම් ඇති කිරීමේ ඉහළ අවදානමක් පවතී. එබැවින් දැනට රට තුළ ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් පැවතිය ද, සැපයුම පිළිබඳ වෙළෙඳපොළ අපේක්ෂාවන් සහ ගබඩාකරණය හේතුවෙන් ඉදිරි මාස කීපය තුළ වී මෙන්ම සහල් මිල ද ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිවීම බලාපොරොත්තු විය හැකිය.

සමස්තයක් ලෙස සලකා බැලූ විට 2025/26 මහ කන්නයේ අස්වැන්න2026 යල කන්නයේ අස්වැන්න සහ පෙර වසරේ ඉතිරි වූ වී තොග එක්වීම හේතුවෙන්, මෙම වසර තුළ විශේෂයෙන් නාඩු සහල් සඳහා ප්‍රමාණවත්, ඇතැම්විට අතිරික්ත සැපයුමක් ද පවතින තත්ත්වයක් දක්නට ලැබේ. එහෙත් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය තීරණය වන්නේ නිෂ්පාදන ප්‍රමාණය පමණක් මත නොව, පෞද්ගලික අංශය විසින් වී තොග මාස කීපයක් රඳවා තබා ගැනීම, ගබඩාකරණ පිරිවැය, මූල්‍ය පිරිවැය සහ අනාගත මිල අපේක්ෂාවන් මතය. එහි ප්‍රතිඵලයක් ලෙස ගබඩාකරණයට වැයවන සාපේක්ෂ පිරිවැයට වඩා වැඩි අගයකින් වී මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් වෙළෙඳපොළ තුළ නිර්මාණය විය හැකිය.

මෙවැනි තත්ත්වයක් තුළ නිෂ්පාදකයාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබාගැනීම යන අරමුණු දෙකම සමබරව ආරක්ෂා කිරීම රජයේ ප්‍රධාන වගකීමකි. ඒ සඳහා රජය කළ යුත්තේ ප්‍රමාණවත් වී තොග විධිමත් ලෙස කළමනාකරණය කිරීම, අවශ්‍ය අවස්ථාවලදී වෙළෙඳපොළට වී හා සහල් නිකුත් කිරීම, රජයේ වී මිලදී ගැනීමේ සහ ගබඩාකරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම, සහ අත්‍යවශ්‍ය අවස්ථාවලදී වෙළෙඳපොළට කාලෝචිත මැදිහත්වීමක් සිදු කිරීමයි. එමඟින් අනවශ්‍ය මිල ඉහළ යාම පාලනය කරමින් පාරිභෝගික සුබසාධනයත්, ගොවි ජනතාවගේ ආදායම් සුරක්ෂිතතාවත් එකවර තහවුරු කළ හැකි වනු ඇත.

එල්නීනෝ සංසිද්ධිය යනු කුමක් ද?

එල්නීනෝ යනු පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර නිවර්තන කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා සෙල්සියස් අංශක 0. 5 කට වඩා වැඩිවී මාස කීපයක් පවතින ස්වභාවික සාගර-වායුගෝලීය සංසිද්ධියකි. මෙහිදී පැසිෆික් සාගරයේ උප මතුපිට ජලයේ උණුසුම් ජල කඳ විශාල ලෙස නැගෙනහිර දෙසට ගමන් කිරීම නිසා ගෝලීය වායු සංසරණ රටා වෙනස් වේ. මෙය ලා නිනා තත්ත්වයේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයයි.

ශ්‍රී ලංකාව වැනි ඉන්දියන් සාගරය ආශ්‍රිත නිවර්තන රටවලට එල්නීනෝවේ බලපෑම සෘජු හා සංකීර්ණ ය. සාමාන්‍යයෙන් එල්නීනෝ සමයේදී නිරිතදිග මෝසම දුර්වල වී වියළි කලාපයට ලැබෙන වර්ෂාව අඩුවන අතර, ඊසානදිග මෝසම අක්‍රමවත් වී ඇතැම් ප්‍රදේශවලට අධික වර්ෂාව ලැබේ. 2016/2017 වසරවල ඇති වූ දැවැන්ත නියඟය සහ 2015 වසරේ ඇති වූ ගංවතුර තත්ත්වයන් එල්නීනෝ හා බැඳුණු සිදුවීම් ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවට ඇති ද්විත්ව කාලගුණික තර්ජනය

එල්නිනෝ තත්ත්වයක් සක්‍රිය වූ විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික කලාප දෙකකට වෙනස් ආකාර දෙකකින් බලපෑම් ඇතිවීමේ අවදානම ඉතා ඉහළ ය.

පළමුව, අධික නියඟය. අනුරාධපුරය, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, කුරුණෑගල වැනි වියළි කලාපයේ ප්‍රධාන වී නිෂ්පාදන දිස්ත්‍රික්ක දැඩි නියඟයකට ලක්වීමේ අවදානමක් පවතී. දැනටමත් වියළි කලාපයේ බොහෝ ජලාශවල ජල මට්ටම සියයට 30ට වඩා පහත වැටී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඉහළ උෂ්ණත්වය, දැඩි සුළං සහ වාෂ්පීකරණය වැඩිවීම නිසා ජලාශ වේගයෙන් සිඳී යන අතර, පසේ තෙතමනය නැතිවී වගා බිම් පුපුරා යයි. මෙහි ප්‍රතිඵලය වන්නේ ඉදිරි මහ කන්නයේ වගා කටයුතු ප්‍රමාද වීම, අක්කර දහස් ගණනක් කුඹුරු පාළුවීම සහ දැනට වගා කර ඇති භෝග වියළී විනාශ වීමයි. වගාව නැවත ආරම්භ කිරීමට ගියද, බීජ සහ පොහොර සඳහා අමතර පිරිවැයක් දැරීමට ගොවියාට සිදුවේ.

දෙවනුව අධික වර්ෂාව සහ ගංවතුර තෙත් සහ අතරමැදි කලාපයේ, විශේෂයෙන් කළුතර, රත්නපුර, ගම්පහ, කුරුණෑගල,නුවර,නුවරඑළිය යන ප්‍රදේශවලට නොසිතූ මොහොතක කෙටි කාලයක් තුළ අධික වර්ෂාව ඇද හැලිය හැක. එවිට ගංවතුර, නායයෑම්, භෝග යටවීම සහ පස ඛාදනය සිදුවී අස්වනු නෙළීමට ආසන්න කෙත්වතු විනාශ වේ. නියඟ සහ ගංවතුර යන අන්ත දෙකම එකම කන්නය තුළ වරින් වර ඇතිවීම තුළින් දේශීය වී අස්වැන්න සියයට 15-20 කින් පමණ පහත වැටීමේ විභවයක් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලික ඇස්තමේන්තු පෙන්වා දෙයි. මෙය සෘජුවම බරපතළ ආහාර අනාරක්ෂිතභාවයක් නිර්මාණය කරයි.

මෙහිදී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ පරිභෝජන රටාවයි. රටේ සමස්ත සහල් පරිභෝජනයෙන් තුනෙන් එකක් පමණ අවශ්‍ය වන්නේ බස්නාහිර පළාතටයි. බස්නාහිර පළාත වී නිෂ්පාදන කලාපයක් නොවන බැවින්, එහි කාලගුණය නිෂ්පාදනයට සෘජුව බලපාන්නේ නැත. එහෙත් වියළි කලාපයේ නිෂ්පාදනය බිඳවැටුණහොත්, බස්නාහිර පළාතේ කෝටි ගණනක් ජනතාවගේ ආහාර සැපයුම සෘජුවම අර්බුදයට යයි. සැපයුම් දාමයේ මෙම අසමතුලිතතාව තේරුම් ගැනීම ඉතා වැදගත්ය.

වත්මන් යල අස්වැන්න, වී අලෙවි අර්බුදය සහ ඉදිරි මාස පහේ අවදානම

මේ වන විට යල අස්වැන්න නෙළාගනු ලබමින් පවතී. ගොවීන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලු‍ව වී අලෙවි අර්බුදයයි. අස්වනු සමයේදී වෙෙළඳපොළට එකවර විශාල වී ප්‍රමාණයක් පැමිණීම නිසා මිල පහත වැටීම සෑම කන්නයකම දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයකි. සහතික මිල රුපියල් 120 ක් පමණ වුවද, තෙතමනය සහිත වී තොග අඩු මිලට විකිණීමට ගොවීන්ට සිදුවී ඇත. මෙහිදී ප්‍රමිතිගත වී අලෙවි කිරීමට වඩා ඉහළ තෙතමනයක් සහිත වී තොග කිලෝවක් රුපියල් 100 කට අලෙවි වන්නේ නම් එය ප්‍රමිතිගත වී කිලෝ එකක මිලට සමානය. ගබඩා පහසුකම් නොමැතිකම නිසා වී තොග කුඹුරේම, නිවසේම තබා ගැනීමට සිදුවීමෙන් නරක්වීම ද වැඩිය.

අනෙක් පසින් මෙම යල අස්වැන්නෙන් පසු ඉදිරි මාස පහක පමණ කාලයක් - එනම් ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා, රටේ සහල් අවශ්‍යතාව සපුරාලිය යුත්තේ දැනට ගබඩා කර ඇති තොගවලිනි. ශ්‍රී ලංකාවේ මාසික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට ආසන්න බැවින්, මාස පහ සඳහා මෙට්‍රික් ටොන් ලක්ෂ දහයක් පමණ අවශ්‍ය වේ. එබැවින් මේ මොහොතේ වෙ​ෙළඳපොළේ සහල් මිල සාපේක්ෂව ස්ථාවරව පැවතියද, එල්නීනෝ හේතුවෙන් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් සැපයුමට සාපේක්ෂව ඉල්ලු‍ම ඉහළ ගොස් සහල් හිඟයක් සහ මිල ඉහළ යාම වළක්වා ගත නොහැක. ආර්ථික විද්‍යාත්මකව, දැනට අලෙවි කර ගැනීමට නොහැකිව පවතින වී තොග සඳහා ඉදිරි මාස කීපයේදී අනිවාර්යයෙන්ම ඉහළ ඉල්ලු‍මක් සහ ඉහළ මිලක් නිර්මාණය වනු ඇත. එය වෙෙළඳපොළේ ස්වභාවයයි.

ගෝලීය බලපෑම සහ ආනයනික අවදානම

එල්නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. එය ගෝලීය කාලගුණයටම බලපායි. ලෝකයේ ප්‍රධාන සහල් නිෂ්පාදකයන් වන ඉන්දියාව, තායිලන්තය, වියට්නාමය, පකිස්ථානය වැනි රටවලද අස්වැන්න අඩුවීම් සිදුවිය හැක. 2023 වසරේ ඉන්දියාව සහල් අපනයනය සීමා කිරීම නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ සහල් මිල සියයට20 කින් පමණ ඉහළ ගිය අයුරු අපට මතකයි. එවැනි තත්ත්වයක් නැවත උදාවුවහොත්, ගෝලීය සැපයුම අඩුවී ජාත්‍යන්තර වෙළෙඳපොළේ සහල් මිල තවත් ඉහළ යනු ඇත. එවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය මොහොතේදී පවා ඉහළ මිලකට, විදේශ විනිමය වැය කර සහල් ආනයනය කිරීමට සිදුවේ. සමහර රටවල් තම දේශීය අවශ්‍යතාව ප්‍රමුඛ කර අපනයන සම්පූර්ණයෙන්ම තහනම් කළහොත්, මුදල් තිබුණද සහල් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක්ද ඇතිවිය හැක. එබැවින් දේශීයව ප්‍රමාණවත් ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම විදේශ විනිමය ඉතිරි කරනවා පමණක් නොව, ජාතික ස්වෛරීභාවය ආරක්ෂා කරන පියවරකි.
මෙට්‍රික් ටොන් ලක්ෂයක ජාතික ආරක්ෂිත වී තොගය සහ විද්‍යාත්මක කළමනාකරණ උපායමාර්ගය

මේ සියලු‍ කරුණු සලකා බැලීමේ දී පැහැදිලි වන්නේ, වී තොග විද්‍යාත්මකව කළමනාකරණය කිරීම යනු තනිකරම ගබඩා කිරීමේ පහසුකමක් නොව, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරන උපායමාර්ගික මෙවලමක් බවයි.

වී තොග රැස්කර ගබඩා කිරීමේ වැදගත්කම වන්නේ අස්වනු සමයේදී මුළු අස්වැන්නම එකවර වෙළෙඳපොළට මුදා නොහැර, ගබඩාවල ආරක්ෂිතව තබා, කාලානුරූපව අවශ්‍යතාව මත අදියරෙන් අදියර වෙළෙඳපොළට මුදා හැරීමයි. එමගින් ත්‍රිත්ව ප්‍රතිලාභයක් ලැබේ. පළමුව, ගොවියාට සාධාරණ මිලක් ලැබේ. දෙවනුව, පාරිභෝගිකයාට වසර පුරා සාධාරණ මිලකට සහල් ලැබේ. තෙවනුව, අස්වැන්න අඩුවීමකදී හිඟය පියවා ගැනීමට ආරක්ෂිත සංචිතයක් ලෙස ක්‍රියා කරයි.

රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වන්නේ මෙම තීරණාත්මක මාස පහ සඳහාය. හදිසි අවශ්‍යතාවයකදී වෙළෙඳපොළට මුදා හැරිය හැකි ආරක්ෂිත සංචිතයක් ලෙස, රජය විසින් අවම වශයෙන් වී මෙට්‍රික් ටොන් ලක්ෂයක ජාතික ආරක්ෂිත තොගයක් නිරන්තරයෙන් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වේ. මෙම ප්‍රමාණය දින දහයකට පමණ ජාතික පරිභෝජනයට සමාන වුවත්, වෙළෙඳපොළ මිල ස්ථාවර කිරීමට ප්‍රමාණවත් උපායමාර්ගික ප්‍රමාණයකි. වත්මන් රජය මෙම ඉලක්කගත ප්‍රමාණයන් ඉක්මවා සාධනීය ලෙස තොග රැස්කරමින් සිටීම අගය කළ යුතුය.

මෙය ක්‍රියාත්මක කළ යුතු ප්‍රායෝගික වැඩපිළිවෙළ. 

පළමුව, තොග නිකුත් කිරීමේ කාලය රැස්කරනු ලබන ආරක්ෂිත වී තොග නොවැම්බර් 01 වැනිදා සිට ඉදිරි වසරේ ජනවාරි 25 දක්වා කාලසීමාව තුළ සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කළ යුතුය. මෙම කාලය විවෘත වෙළෙඳපොළේ වී මිල ඉහළම අගයක පවතින, තොග රැස් නොකරන සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට වී මිලදී ගැනීමට අපහසු කාලයයි.

දෙවනුව,සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් භාවිතය. මේ සඳහා රජයටම සහල් මෝල් පවත්වාගෙන යාම අවශ්‍ය නැත. රජයේ මෝලක් කෙටි කාලයක අවශ්‍යතාව වෙනුවෙන් නඩත්තු කිරීමට වඩා අඩු වියදමින් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හරහා කුලී පදනම මත සහල් කර ගැනීමේ වැඩපිළිවෙළකට යා යුතුය. මෙම අධික මිල කාලසීමාව තුළ දෛනිකව වෙළෙඳපොළෙන් වී මිලදී ගෙන සහල් කරන බොහෝ මෝල් තම නිෂ්පාදනය නවතා හෝ සීමා කර ඇති බැවින්, එම මෝල් පහසුවෙන් මේ සඳහා යොදා ගත හැක. 

තෙවනුව, මූල්‍යමය තිරසාරභාවයයි. එල්නිනෝ බලපෑම තිබුණත් නැතත්, සහතික මිලට මිලදී ගත් වී තොග විවෘත වෙළෙඳපොළ සහල් මිල ඉහළ යන කාලයේ දී නිකුත් කිරීමෙන් රජයට පාඩුවක් නොවී, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට හැකි වේ.

සැලසුම්කරණයෙන් අර්බුදය ජයගමු

දේශගුණික විපර්යාස සහ එල්නිනෝ සංසිද්ධිය අපට පාලනය කළ හැකි සාධක නොවේ. නමුත් ඉන් සිදුවන හානිය සහ අවදානම අවම කර ගැනීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අපගේ දුරදර්ශී සැලසුම්කරණය සහ කළමනාකරණය මත ය. වී තොග කළමනාකරණය යනු වියදමක් නොව, ජාතික ආහාර සුරක්ෂිතතාව සඳහා කරන ආයෝජනයකි.

ගොවීන්, වී මෝල් හිමියන්, පෞද්ගලික අංශය සහ රජය එක්ව නවීන ගබඩා පහසුකම් සහ සයිලෝ වැනි තාක්ෂණය, ප්‍රවාහන පහසුකම් හා ඩිජිටල් තොග කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කරමින් ඉදිරි අභියෝගයට මුහුණ දීමට රට සූදානම් කළ යුතුය. දේශීය වී අස්වැන්න ජාතික අභිමානය සහ ජාතික සුරක්ෂිතතාව ලෙස සලකා, එය සුරක්ෂිත කර ගැනීම මේ මොහොතේ ගත යුතු වේගවත්ම හා ප්‍රමුඛතම රාජ්‍ය පියවරයි.