සේදවත්ත, කළුපාලම ප්‍රදේශයට එපිටින් ජීවත් වූ ඔහු - රංගන කෞශල්‍යයෙන් හෙබි 19 වියැති තරුණ කඩවසම් වීදිනාට්‍ය රංගන ශිල්පියෙකි. සංවේදී තරුණ කලාකරුවකු ලෙස ඔහුගේ අභිප්‍රාය වූයේ වීදී නාට්‍ය රංගනයෙන් ලත් අත්දැකීම් ඔස්සේ යමින් මෙරට තාරුණ්‍යයේ සිත් වසඟයට ගන්නා ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි රංගන ශිල්පියකු බවට පත්වීමය. ඒ සඳහා වීදිනාට්‍ය ඔස්සේ සිය රංගන කුසලතාව මුවහත් කරගැනීමට හෙතෙම දැඩි වෙහෙසක් ගත්තේය. 

මෙලෙස තම රංගනයෙන් දිවිය ආලෝකමත් කර ගැනීමට පුල පුලා බලාසිටි එම තරුණයාගේ දෛවය වෙනස් කරන දිනය උදාවිය. ඒ 1992 මැයි මස දිනක සේදවත්ත එපිටින් පිහිටි කොහිලවත්තේ දී ඔහු ඇතුළු කණ්ඩායම වීදිනාට්‍ය දර්ශනයක් පවත්වා අවසන් කරනු ලැබුවේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේය. එම වීදිනාට්‍ය දර්ශනය කෙතරම් සිත්ගන්නා සුලු‍වීද යත්, ප්‍රේක්ෂකයන් පිරිසකට යළිත් එම දර්ශනය නැරඹීමට අවශ්‍ය විය. තෙහෙට්ටුව නිසාම හෙතෙම එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. 

තමන්ගේ ඉල්ලීම ළාබාල තරුණයකු විසින් ප්‍රතික්ෂේප කිරීම - තමාට කළ බරපතළ අගෞරවයකැයි සිතූ ප්‍රදේශයේ චණ්ඩියෙක් සඟවාගෙන සිටි පිහියක් තරුණ රංගන ශිල්පියාගේ පපුවට පිහි පහරවල් කීපයක්ම එල්ල කළේය. ඉන් බරපතළ තුවාල ලැබූ එම තරුණයා වහා රෝහල් ගත කෙරුණ අතර, සති ගණනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහුට සුව ලැබුණි. 

රෝහලේ පසු වූ සෑම දිනයකදී ම ඔහු කල්පනා කළේ, තමාට පිහි පහර දී රංගන ශිල්පියකු වීමේ තමාගේ සිහිනය විනාශ කිරීමට ක්‍රියා කළ පුද්ගලයා විනාශ කර දැමීම පිළිබඳවය.  

ඒ අනුව තමාට පිහි පහර එල්ලකළ පුද්ගලයා පිළිබඳ සියලු‍ තොරතුරු සොයාගත් මෙම රංගන ශිල්පියා, තම බිහිසුණු රංගනය ඉදිරිපත් කරන දිනය උදාවිය. ඒ 1992.06.08දා ය. කොහිලවත්තේ නිවසකට කඩාවැදුණු  රංගන ශිල්පියා එදා තමන්ට පිහි ප්‍රහාරය එල්ල කළ ගමේ චණ්ඩියාව නිවස තුළදී ම කපා කොටා ඝාතනය කළේය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 19කි.    

මේ තරුණ රංගන ශිල්පියා නම් පසුකාලීනව මෙරට පාතාලයේ “ගෝඩ් ෆාදර්” බවට පත්වූ “ප්‍රින්ස් කොලම්ස්” හෙවත් “රෝලන්ඩ් ප්‍රින්ස් කොලම්ස්” ය. 

බුදුන් දවස අහිංසක තරුණයා අංගුලිමාල බවට පත් කළේද සමාජයයි. එසේම රංගන ශිල්පියකු වීමේ සිහින දකිමින් සිටි ප්‍රින්ස්ව ද අපරාධකරුවකු කළේ සමාජයයි. එදා අංගුලිමාලට බුදුරජාණන් වහන්සේ පිහිට වී ඔහුට රහතන්වහන්සේ නමක් දක්වා ගමන් කිරීමට මග පෙන්වනු ලැබුව ද, මෙදා ප්‍රින්ස්ට යහපත් මග පෙන්වීමට කිසිවෙක් සිටියේ නැත. ඒ වෙනුවට “මෙවැනි බ්‍රේව් ප්‍රහාරකයෙක්” (යහපත් සිහියෙන් තමන්ගේ ඉලක්කය සොයාගෙන ගොස් සැලසුම් සහගතව ඝාතනය කිරීමට කටයුතු කරන ඝාතකයාව පාතාලය විසින් හඳුන්වන්නේ එලෙසිනි.)  බිලිබා ගැනීමට ඕනෑ තරම් පාතාල නායකයෝ සූදානමින් සිටියහ. 

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එකල ප්‍රබල පාතාල නායකයකු වූ “තෙල් බාලා” - ප්‍රින්ස් කොලම් සිය කණ්ඩායමේ සාමාජිකයෙක් බවට පත්කර ගනු ලැබීය. 

ඒ අනුව සිය රංගන සිහිනය සිහිනයක්ම වන්නට ඉඩහැරි ප්‍රින්ස් කොලම්ස් තෙල් බාලාගේ අවශ්‍යතාව අනුව ඝාතන කීපයක්ම සිදු කළේ සමාජයද භීතියට පත්කරමිනි. ඒ අතුරින් එවක ප්‍රබල පාතාල ක්‍රියාකාරියකු වූ චින්තක අමරසිංහ ද විය. ඒ වනවිට ඔහු තෙල් බාලාගේ ප්‍රධානතම ඝාතකයා ලෙස බෞතිස්ම ලබා සිටියේය.
ඔය අතර කාලයේ දී වනාත ප්‍රදේශයේ සිටි කොළඹ ප්‍රකට සිංහල පාසලක අධ්‍යාපනය හැදෑරෑ “ඕල්කට්” නමැති සිසුවාගේ මව ප්‍රදේශයේ ජාවාරම්කරුවකු විසින් කපා කොටා ඝාතනය කරන්නේ සිය ජාවාරම පිළිබඳව පොලිසියට ඔත්තුව ලබාදුන්නේ එම කාන්තාව බවට චෝදනා නඟමිණි. මින් අතිශය කිපුණු ඕල්කට් නම් සිසුවා තම මවගේ ඝාතකයාගෙන් පළිගන්නා බව සිය ඥාතීන් ඉදිරියේ සපථ කළේය. ඒ අනුව කොළඹ මහ නගරසභාවේ වැඩ අධීක්ෂකයකු ලෙස සේවය කල ඔහුගේ මාමා කෙනකු විසින් ඔහුව තෙල් බාලා වෙත රැගෙන යනු ලැබීය. 

පාසල් වියේ පසුවන ඕල්කට්ගේ  පළිගැනීමේ චේතනාවට අනුබල දීමෙන්  පසුකාලීනව තමන්ගේ බැලයකු ලෙස යොදාගත හැකි බව අත්දැකීමෙන් දන්නා තෙල් බාලා ඔහුට ද සිය සාමාජිකත්වය පිරිනැමීය. එතැනින් නොනැවතී ඒ වනවිට සිය හොඳම ගෝලයා වූ ප්‍රින්ස් වෙත ලබා දී තිබූ ගිනිඅවිය ද ප්‍රින්ස්ගෙන් රැගෙන එවෙලේම ඕල්කට් වෙත ලබාදීමට ද කටයුතු කරනු ලැබීය. 

ඕනෑම ක්‍රියාවකට සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් ඇතැයි සර් අයිසැක් නිව්ටන් පවසා තිබේ. එය එසේම වෙමින් ගිනිඅවිය ලැබුණු ඕල්කට් එදිනම සිය මව මැරූ පුද්ගලයාව ඝාතනය කරමින් ඝාතකයකු බවට බෞතිස්ම ලැබූ අතර, තමන්ට දුන් ගිනිඅවිය තමන්ගෙන් ලබාගෙන පොඩි එකෙකුට ලබාදුන්නාට සොවෙන් ප්‍රින්ස්, තෙල් බාලාව අතහැර යන්නට එවලේම තීරණය කළේය. 

මවගේ ඝාතකයා ඝාතනය කිරීමෙන් පසුව ඊට සම්බන්ධ තව කීපදෙනකු ද ඝාතනය කළ ඕල්කට් - ඉන් පසුව තෙල්බාලා ගේ සුවච ගෝලයා බවට පත්වෙමින් ඝාතන රැසක් සිදුකළේය.

තෙල්බාලා ගෙන් වෙන් වුණු ප්‍රින්ස් ඊළඟට සම්බන්ධ වූයේ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටි මාලිගාවත්තේ සුදුමල්ලී නමැත්තා සමගය. ඉන්පසුව උදාවන්නේ ප්‍රින්ස්ට අවශ්‍ය ලෙස දකුණේ පාතාලය හසුවන සමයකි. බ්ලූමැන්ඩල් වත්ත නම් කුප්‍රකට බ්ලු‍මැන්ඩල් කුණු කන්ද පිහිටි ප්‍රදේශයට පහතින් ඇති ගම්මානය තුළ ඔහු සිය පාතාල අධිරාජ්‍ය පිහිටුවා ගනු ලැබීය. 

ඝාතන පමණක් සිදුකිරීමෙන් පලක් නොමැති බව වටහා ගන්නා ප්‍රින්ස් මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු, කප්පම් ලබාගන්නකු, බවට පත්වෙමින් අතිවිශාල ලෙස මුදල් උපයන්නට කටයුතු කළේය. එසේම බ්ලු‍මැන්ඩල් කුණු කන්දට කුණු දමනවාටද ඔහුට කප්පම් ගෙවිය යුතු විය. එලෙස උපයන මුදල් අතදිගහැර වැය කරන්නටද ඔහු මැළි නොවීය. වත්තේ කවුරු මියගියත් මිනී පෙට්ටිය, දානමාන සඳහා වැයවෙන් මුදල් සේම එම වත්තේ නව යොවුන්  වියට පැමිණෙන දැරියන්ගේ උත්සව, විවාහ උත්සව  සඳහා අත දිගහැර වියදම් කරනු ලැබීය. එසේම තමන්ගේ මත්කුඩු අලෙවි කරන සාමාජිකයකු පොලිසියට හසුවුවහොත් ඔහුට ඇප තැබීමට මෙන්ම ඔහුට ඇප ලැබෙන කාලය දක්වාම එම පවුල්වල වියපැහැදම් දැරීමද ඔහු නොපිරිහෙළා සිදු කළේය. මේ නිසාම බ්ලු‍මැන්ඩල් වත්තේ ජනතාව ඔහු වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට දෙවරක් නොසිතූහ. 

කොතරම් මුදල් ඉපයූවත්, කොතරම් ගෝලබාලයන් සිටියත්, ඝාතනයක් සිදුකිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා යනු ලැබුවේ ප්‍රින්ස්ම ය. එසේම කොතරම් වාහන තිබුණත්, ඔහුට සිතුණ විට සිය ඥාතියකු සමග පාපැදියෙන් ගොස් පුද්ගල ඝාතන සිදුකිරීමටද ඔහු කටයුතු කළේය. කෙසේනමුත් කොතරම් සමීපව ඇසුරු කළත්, ඔහු කිසිවිටකත් සිය මිතුරන්, ඥාතීන් හෝ ගෝලයන් විශ්වාස කළේ නැත. ඝාතන, නීති විරෝධී ගිනිඅවි ළඟ තබාගැනීම් ආදී  සිද්ධි ගණනාවකට අවස්ථා කිහිපයකදී සිරගතව සිටියදී සිය බිරිඳ විසින් සකසා එවන ආහාර කෑමට ගත්තේ තවත් සිරකරුවන් කිහිපදෙනකු ඒවා ආහාරයට ගෙන පැයක් පමණ ගතවූ පසුවය. ඔහු ඒ තරමට අනෙකා අවිශ්වාස කළේය.  එසේම නිවසේ නිදාගන්නා කාමරය කිසිවෙටකත් සිය ගෝලයන්ට දැනගැනීමට ඉඩ තැබුවේ නැත. 

එසේම තම ගෝලයන් ගැන යම් හෝ සැකයක් ඇතිවුවහොත් එවෙලේම ඔහුව ඝාතනය කිරීමටද ප්‍රින්ස් දෙවරක් නොසිතීය. එලෙස ඝාතනය කළ ගෝලයන් මෙන්ම ඔහුට විරුද්ධව නැගී වෙනත් පාර්ශ්වවල පුද්ගලයන්, කප්පම් නොගෙවූ පුද්ගලයන් පණපිටින් බ්ලූමැන්ඩල් කුණු කන්දේ වැළලු‍ බවට ප්‍රසිද්ධ රහසක්ව පවතී.

බ්ලු‍මැන්ඩල් කුණු කන්ද පිහිටි භූමියේ අයිතිය පිළිබඳව කැසිනෝ සමාජශාලා හිමිකරුවන් දෙදෙනකු වන සහෝදරයන් දෙදෙනක් අතර ගැටුමක් පැවති අතර, එක් සහෝදරයෙක් විසින් අනෙක් සහෝදරයා ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රින්ස්ට ලබා දී තිබුණි. කෙසේ නමුත් තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීමකින් එම ඝාතනය වැළකුණි. 

ප්‍රින්ස් හා පොලිස් නිලධාරීන් අතර වෙඩි හුවමාරු වූ අවස්ථා ද තිබේ. මිනීමැරුම් චෝදනා සඳහා සිරගතව සිට පැමිණ  සිදුකළ තවත් අපරාධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී ප්‍රින්ස් කොහිලවත්ත ප්‍රදේශයේ සිටිනවා දුටු එවක වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු වූ සමරනායක නම් නිලධාරියා විසින් ඔහුව අත්අඩංගුවට යාමේ දී දෙදෙනා අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර, ඉන් දෙදෙනාටම තුවාල සිදුවිය. පොලිස් නිලධාරියාගේ වෙඩි ප්‍රහාරයෙන් ප්‍රින්ස්ගේ කකුලක් බිඳී ගියේය. ඉන් අනතුරුව බන්ධනාගාරගත කරනු ලැබූ අතර, කකුල සුව වූවත් දිගටම අත්වාරුවක් භාවිත කළ බවත්, එහි ඔහුගේ ආරක්ෂාවට පිහියක් සඟවාගෙන තිබූ බවත්, පැවසේ. 

ප්‍රින්ස් ගේ පාතාල රංගනයේ ඇති බිහිසුණු බව නිසාම කිඹුලාඇළ ගුණා, තෙල් බාලා ආදී  දෙමළ පාතාලයත්, අයුබ් ඛාන් ප්‍රමුඛ මුස්ලිම් පාතාලයත් පසුවූයේ දැඩි බියකිනි. එම පාර්ශ්ව දෙකම මොහු සමග ගැටුම් ඇතිකර ගැනීමෙන් වැළකී සිටියේ මොහු යමකු ඝාතනය කිරීමට තීරණය කළහොත් - දින ගණනක් ඉලක්කය පසුපස හඹා ගොස් හෝ  ඝාතනය සිදුකරන බව දන්නා නිසාවෙනි. වත්තල හේකිත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ 75 කල්ලිය නම් අපරාධ කණ්ඩායම විසින් ප්‍රින්ස් ගේ ඥාතියකුගේ රන් භාණ්ඩයක් කොල්ල කා තිබූ අතර, එහි නායකයා  මේ පිළිබඳව දැනුවත් වීමෙන් පසු සැඟව සිට තිබේ. කෙසේ නමුත් මොහු හැමිල්ටන් ඇළ ප්‍රදේශයට එන බවට ලත් තොරතුරක් මත ප්‍රින්ස් එහි ගොස් ඇති අතර, එදින එම පුද්ගලයා පැමිණ තිබුණේ නැත. කෙසේ නමුත් ඔහු කිනම් මොහොතක හෝ පැමිණෙන බවට ප්‍රින්ස්ට ලද තොරතුර නිසා දින 1/2 ක කාලයක් ඇළේ සැඟව සිට එම පුද්ගලයා ඝාතනය කරන්නට ප්‍රින්ස් කටයුතු කර තිබුණි. ඔහු එතරම් තම ඉලක්කය සපුරා ගැනීම වෙනුවෙන් කැපවෙන වෙඩික්කරුවෙක් බවට පත්ව සිටියේය.

මෙවන් පසුබිමක එවක පොලිස්පති නියමයෙන් ආරම්භ කොට ක්‍රියාත්මක වෙමින් තිබූ විශේෂ විමර්ශන ඒකකය භාර පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කු (එවක පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කු මේ වනවිට මධ්‍යම අපරාධ විමර්ශන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරමින් සිටී) තවත් ප්‍රබල අපරාධකරුවකු අත්අඩංගුවට ගැනීමට ඔහු පිළිබඳ තොරතුරු රැස්කරමින් සිටි අවස්ථාවක ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලැබුණි.

“සර්, මම ප්‍රින්ස් කතා කරන්නෙ. සර්, මාව හඳුනනව ද? ” යනුවෙන් විමසූ අතර, පොලිස් පරීක්ෂක චන්දන කොඩිතුවක්කු ගේ පිළිතුර වූයේ, “තමන් ඔහුව නොහඳුනන” බවය. 

“සර්, මේ දවස්වල අර අහවල් පුද්ගලයා හොයාගෙන යනවා නේ ද? හොයපු තැන් කීපයේම හිටියෙ නෑ නේද? හැබැයි මම හරියටම එයා ඉන්න තැන දන්නවා. සර් ට කියන්න ද?” යනුවෙන් නැවතත් විමසා තිබුණි.

“ඔව්, මම හොයනවා. දන්නවා නම් හරියටම මට කියන්නකො.” යනුවෙන් පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු ඔහුට පවසා තිබේ.

“එහෙම නෙමේ සර්, අපි හම්බවෙලා ඒ ගැන කතා කරමු. සර් එන්නකො. මම හරිම විස්තර ටික දෙන්නම්.” යනුවෙන් නැවතත් ප්‍රින්ස් පොලිස් පරීක්ෂකවරයාට පවසා තිබුණි.

දුරකථන ඇමතුමේ හඬ හා පැමිණි ප්‍රදේශය අනුව ඒ ප්‍රින්ස් බව ටක්කෙටම නිර්ණය කරගත් පොලිස්  පරීක්ෂක කොඩිතුවක්කු දෙවැනිව මුහුණ දුන් උහතෝකෝටිකය වුයේ - මෙවන් අපරාධකරුවකු විශ්වාස කර ඔහු හමුවනවා ද? ඔහු ගෙන් සත්‍ය තොරතුරු ලබාදේවි ද? මෙය පාතාලයකුගේ උගුලක් විය නොහැකි ද? යනාදී කරුණු ය. 

පසුව මේ සම්බන්ධයෙන් සිය ඉහළ නිලධාරීන් දැනුවත් කළ අතර, ඔවුන්ගේ උපදේශය වී තිබුණේ  අවදානම්සහගත ස්වභාවය නිසා හමු නොවිය යුතු බවය. අනතුරුව සිය ඒකකයේ නිලධාරීන්ගෙන් ද කළ විමසීමක දී ඔවුන් ද පවසා තිබුණේ ප්‍රින්ස්ව හමු නොවිය යුතු බවය. 

දැන් කුමක් කළ යුතුද? පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු තමා ගෙන්ම විමසා සිටියේය.

නිරෝෂාන් ප්‍රේමරත්න