මිනිස් ජීවිතය යනු සතුට සහ කඳුළ එකට බැඳුණු - එක්තරා ආකාරයක විකාරරූපී නාටකයකි. කෙනෙක් සිය ජීවන ගමනෙහි දී තමාට සම්මුඛ වෙන අභියෝග, බිඳවැටීම්, ප්‍රතිවිරෝධතා සහ නීරස අත්දැකීම් හමුවෙහි ජීවිතය ඛේදාන්තයක් කරගනිද්දී තවත් කෙනෙක් ඒ සියල්ල සංසාරික යථාර්ථය ලෙස අවබෝධ කරගනිමින්, ප්‍රඥාවේ මාවත ඔස්සේ පියමං කොට සුඛාන්තයක් නිර්මාණය කර ගනී. එය එසේ වී නමුදු ලෝකයම සැප සම්පත්, තනතුරු සහ ලෞකික ප්‍රේමය හඹා යන අතෘප්තිකර තරගයක නිරතව සිටියි.

ඒ සියල්ලේ නිස්සාර බවත්, අත්හැරීම තුළ ඇති පරම ශාන්තියත් ස්වකීයම වූ ජීවිත කතාවෙන් ලොවට පසක් කරදෙන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා අපට හමුවන්නේ කලාතුරකිනි. ලෞකික ලෝකයේ මිනිසුන් අල්ලාගැනීමට, රැස්කිරීමට සහ තණ්හාවෙන් සන්තර්පනය වෙන්නට වෙහෙසෙද්දී, සියල්ල අතහැරීමේ සහ පරිත්‍යාගයේ අසදෘශ පාරමිතාව ප්‍රායෝගිකවම පූර්ණය කළ තමන්ගේ සිරුරේ අවයව පවා අන් අයගේ ජීවිත වෙනුවෙන් දන් දීමට සිත පහදවාගත්, මේ, අපේ කාලයේ මහා යතිවරයාණන් වහන්සේ නමකි.

මේ අන් කවරෙකුවත් නොව, රත්නපුර නිවිතිගල, මැණික්දෙණිය, ශ්‍රී සුමනාරාම ආරණ්‍ය සේනාසනයේ ප්‍රධානී, උඩකොටුවේ සුගතධීර ස්වාමීන් වහන්සේය. 

සංසාරයේ පැවැත්ම යනු සදාතනික සැපයක් නොවන බව උන්වහන්සේට වටහා දුන්නේ - ජීවිතයේ මුහුණ දීමට සිදු වූ අතිශය සංවේදී සහ කටුක අත්දැකීම් ය. විවාහ දිවියේ අත්විඳි සියලු‍ තුවාල සහ අභියෝග, ලෝකය සුවපත් කරන ධර්ම ඖෂධයක් බවට හරවාගත් උඩකොටුවේ සුගතධීර ස්වාමීන් වහන්සේ - අද වන විට මුළු මහත් රටක්ම ආදරය කරන, ගෞරව කරන මහා ප්‍රඥාවන්ත ධර්ම දේශකයාණන් වහන්සේ නමකි. දුකට පත් සිත් නිවාලීමට, අසරණ වූවන්ට මඟපෙන්වීමට සහ අඳුරේ සිටින මිනිසුන්ට ප්‍රඥාවේ ආලෝකය ලබාදීමට උන්වහන්සේ දෙසන සරල, මෙන්ම හදවතට කතා කරන ධර්ම කරුණු අද සමාජයට මහත් ආස්වාදයක් වී ඇත. සංසාරයේ රුදුරු බවත්, ජීවිතයේ අස්ථිර බවත් එකම රාමුවක තබා පෙන්වා දෙන ඉතාමත් හැඟීම්බර, එහෙත් පරමාදර්ශී උතුම්, අසිරිමත් ගුණවලින් පිරි යතිවරයාණන්ගේ නොමියෙන සංසාරික චාරිකාවේ කතාවයි මේ.

“මගේ ගිහි නම දහනායක මුදියන්සේලාගේ සුමිත් ලක්මාල් ගුණතිලක. පැවදි නම උඩකොටුවේ සුගතධීර ස්වාමීන් වහන්සේ. මම උපදින්නේ 1989 නොවැම්බර් 13. කුරුණෑගල රෝහලේ. මගේ ගම තමයි කිරිඳිගල්ල කුඩාකන්ද කියන ගම. පවුලේ අයියා, අක්කා ඉන්නවා. මම පවුලේ බාලයා. අම්මා විමලාවතී. තාත්තා ගුණතිලක බණ්ඩා. ගල්හිඳකන්දේ පුඤ්ඤධීර ස්වාමින් වහන්සේ නමින් තාත්තා දැන් පැවදිවෙලා ඉන්නේ.”

“මම වසර හතක්ම පාසල් යන්නේ ඉබ්බාගමුව කිරිඳිගල්ල පාසලට. එතැනින් පස්සේ මවගේ සහ පියාගේ යම් විරසකවීමක් මත මගේ අම්මා මාව එක්ක යනවා උඩකොටුව ඇහැටුවාව කියන අම්මාගේ ගමට. එතැන් පටන් හුණුගල්ලෑව විද්‍යාලයේ තමයි මම සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තේ. උසස් පෙළට ඇහැටුවාව බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වෙනවා. එතැනදි උසස්පෙළ ලියන්න මාස 6ක් තිබියදී යුධ හමුදා සේවයට බඳවා ගන්නවා කියලා දැන්විමක් දැකලා ඒකට යන්න ආස හිතුණා. ඒකට අපේ දුප්පත්කමත් බලපෑවා.”

ගිහිකල පියා අද මහණදම් පුරමින්

මම දන්න කාලේ ඉඳලා අධික ලෙස මත්පැනට ලොල් වූ මගේ තාත්තා අද මගේ  අවසන් ගෝලයා විදියට මහණදම් පුරලා ඉන්නවා

රට වෙනුවෙන් රණබිමට

මව්බිමේ නිදහස වෙනුවෙන් තරුණ වියේ දී සිය සිරුර වෙඩි උණ්ඩවලට දන්දී අතිශය දුෂ්කර කැපකිරීම් කළ වීරයකු ලෙස යුද හමුදා බිම තුළ අත්විඳි අභීත සටහන් ද උන්වහන්සේට ඇත.

“2006 තමයි ගැමුණු හේවා බළකායට බැඳෙන්නෙ. එතැනින් පස්සේ කමෙන්ඩෝ රෙජිමේන්තුවේ වසර දහයක් එක දිගට මම සේවය කළා. මම මුලින්ම පුහුණු වෙන්නේ දියතලාව ගැමුණුහේවා බළකායේ. මාස 6 පාඨමාලාවේ හොඳම සෙබළා සහ හොඳම වෙඩික්කරුවා වුණේ මම. අවුරුදු හතක් ටයිකොන්ඩෝ කරලා බ්ලැක් බෙල්ට් පවා මට තියෙනවා. එතනින් පස්සේ කමාන්ඩෝ කෝස් එක කරලා ක්‍රියාන්විතේ රාජකාරියේ යෙදෙන්න වුණා. වවුනියාව ඉරට්ට පෙරියකුලම් ප්‍රදේශයෙන් තමයි මම ක්‍රියාන්විත රාජකාරියට අඩිය තියන්නේ. එතැනින් පස්සේ ඉතා අවිනිශ්චිත ජිවිතේම තමයි මම දැක්කේ. මගේ බැචාලා ගොඩක් දෙනෙක් මගේ ඇස් ඉස්සරහම මියැදුණා. ඒ මිනී මගේ කර මතින් අරන් ගිහින් තියෙනවා. සමහර අයගේ මිනියක් නෑ, කෑලිටික මගේ අතින් එකතු කරලා තියෙනවා.”

“එල්.ටී.ටී.ඊ. කොටියා කියන්නේ අමුතුම කෙනෙක්. අපි ගම්මාන අල්ල ගත්තට පස්සේ උදැල්ලක් එහෙම තිබුණොත් අනිවාර්‌යයෙන් උදැල්ල ගන්නවා. ටෙරාලා සමහර වෙලාවට උදැල්ලට ටැෆින් එක හයි කරනවා. නූල ගානට උදැල්ලට ගැට ගහලා එහා පැත්තේ මෝටාර්වලට සෙට් කරනව. උදැල්ල ගත්තු ගමන් ඉවරයි.”

“එක පාරක් වව්නියාවේ කොටි කෑම්ප් එකක් අල්ල ගන්න ගියා. ඒ පොයින්ට් එකේ කොටි පස්දෙනෙක් හිටියා. අපි ගහලා කෑම්ප් එක අල්ල ගත්තට පස්සේ බොඩි හතරයි හම්බවුණේ. එකෙකුට වෙච්ච දෙයක් හොයාගන්න බැරි වුණා. පොයින්ට් එක ක්ලියර් කරලා අපි හැරෙන කොටම වෙපන් එකක් කොක් කරනවා ඇහුණා. ආයේ හිතන්නවත් වෙලාවක් තිබුණේ නෑ. අපේ අට දෙනෙක් හිටපු ටීම් එකේ හයක් එතනම නැති වුණා. මමයි තව රංගන කියලා කොල්ලෙක් හිටිය, අපි දෙන්නා විතරයි බේරුණේ.”

“මගේ දණහිසෙන් පහළට උණ්ඩ දෙකයි උකුළට එකයි වැදුණා. රංගනගේ අත කපන්න වුණා. මගේ කකුල කුඩු වෙලා. බලන්න බෑ. ඒ වෙලාවේ ආවා මාරාවේස මොරාල් එකක්. ඒ මොරාල් එක කොච්චර ද කියනවනම් මගේ කකුලක් බෑ රංගගෙ අතක් බෑ. ඉතුරු වුණ ටෙරාව මරලාම තමයි රංගනයි මායි ආපස්සට හැරුණේ. නැගිටලා යන්න බෑ. එදා මීටර් 300කට වඩා බඩ ගෑව කැලේ.”

“එදා එතැනින් වවුනියාව රෝහලට යැව්වා. වව්නියාවෙන් අනුරාධපුර රෝහලට එව්වා. අනුරාධපුර රෝහලේදි කිව්වා උකුල් ඇටේ ළඟින් කපන්න වෙයි කියලා. එදා ජයවර්ධනපුර මහ රෝහලේ ආනන්ද පෙරේරා කියලා සර් කෙනෙක් තුවාල වුණ අයව බලන්න ඇවිත් හිටියා. පෙර පිනකට එතුමා කිව්වා කකුල කපන්න ඕන නැහැ, මේ කකුල හදන්නම් පුතා කියලා. එතුමා මාව භාර ගත්තා. එතැන් පටන් මම ප්‍රතිකාර ලැබුවේ ජයවර්ධනපුර රෝහලේ. අවුරුදු හතරක් විතර ඇඳේම ඉන්න වුණා. කිහිලිකරුවෙන් ගොඩක් කාලයක් ගියා. කොහොම හරි ආනන්ද වෛද්‍යතුමාට පින් සිදු වෙන්න කාලයක් යද්දි මට ඇවිද ගන්න පුළුවන් වුණා. අදටත් උණ්ඩ තුනක් මගේ කකුලේ තියෙනවා.”

“ඊට පස්සේ තමයි මම විවාහ වෙනවා. මම විවාහ වෙන්නෙ නෑනා වෙන ඥාතිවරියක් එක්ක. විවාහයට අපේ ගෙවල්වලින් අකමැති වුණා. ඒ නිසා අපි දෙන්නා තීරණය කළා ගෙදරින් යනවා කියලා. ඇයත් අරන් ගමේ ඉඳලා කොළඹට එනකොට මගේ ළඟ තිබුණේ රුපියල් 1200යි. අනිත් එක ඒ කාලෙ එහෙම ඉතුරු කරනවා කියලා එකක් තිබුණෙ නෑ. ඊළඟ පාර නිවාඩු එන්න පුළුවන් වෙයි ද කියලා දන්නෙත් නෑනේ. ජීවිතේ ඒ තරම් අවිනිශ්චිතයි. ඒ හින්දා පඩි ගත්තහම ඉතින් කොල්ලො එක්ක ජොලි දාපු එක තමයි කළේ.”

“ඇත්තම කියනවා නම් විවාහ වෙලා ගිය පළවෙනි දවසේ නිදාගන්නවත් තැනක් තිබුණේ නෑ. මගේ යාළුවෙකුගේ ගෙයක කුලියට තමයි හිටියේ. උයාගෙන කන්න වළඳක් නෑ, නිදාගන්න පැදුරක් නෑ. හිස් ගෙයක් විතරයි අපට තිබුණේ. අපි දෙන්නා හරියට දුක් වින්දා. එතැන දි මමයි ඇයයි රැකියාවක් කරන්න තීරණය කළා. දෙන්නාම රැකියාවක් කළා. වැටුප් දෙකක් ලැබෙද්දි අවුරුද්දක් විතර යනකොට ස්ථාවර තත්ත්වයට එන්න පුළුවන් වුණා. බයික්, ත්‍රීවිල් ගත්තා. ඔය අතරේ ඇයට දුව ලැබෙන්නත් හිටියා. ඔය කාලේ හමුදාවෙන් ණයක් අරන් ඉඩමක් අරන් ගේ හැදුවා.”

“ඔය අතරතුරේ මගේ යාළුවෙක් කළා ඩේලි කෑෂ් කියලා සල්ලි පොලියට දෙන වැඩක්. මටත් ඒක කරන්න ආස හිතුණා. ඒ වෙනකොට අතේ සල්ලි ටිකකුත් තිබුණ නිසා වැඬේ පටන් ගත්තා. අවසානයේ මගේ ලඟ සේවකයෝ පස් දෙනෙක් වැඩ කළා. අවුරුදු එක හමාරක් විතර වෙනකොට ලොකු මුදලක් මගේ අතේ එකතු වුණා. කාර් එකක් ගත්තා. දවසේ ආදායම ලක්ෂ එකහමාරක් විතර මගේ අතට ආවා. ජීවිතයේ ටිකෙන් ටික ස්ථාවර වුණා. හැම සැපසම්පතක්ම ජිවිතේට ලැබුණා. උපරිමයෙන්ම සැපවත් ජීවිතයක් ගතකළා.”

කළකිරීම

“එක තැනක දී බිරිඳගේ වෙනත් සම්බන්ධතාවක් තියෙනවා කියලා දැනගන්න ලැබුණා. එතකොට දුවට අවුරුදු 3යි. අච්චර සැප සම්පත් දීලත් ගිහි කල විවාහක බිරිඳගේ අනියම් සම්බන්ධතාව අතටම අහුවුණ මොහොතේ ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇතිවුණා.”

දෛවයේ රුදුරුම සරදම එතැනින් නතර වන්නේ නැත. රට වෙනුවෙන් හෙළු ලේ දහඩියටත් වඩා, හදවතින් ගැලූ ඒ කඳුළු කැට අතිශයින්ම රිදුම් දෙන්නට විය. ලෞකික ජීවිතයේදී සකලවිධ සැප සම්පත් සහිත සැපවත් දිවියක් ගත කළ ද, දෛවය උන්වහන්සේ හමුවේ තැබුවේ අතිශය අනුකම්පා විරහිත පරීක්ෂණයකි. යුදබිමේ දී තමන්ගේ සිරුරට වෙඩි උණ්ඩ කිඳා බහිද්දී දැනුණු වේදනාවට වඩා සිය දහස් ගුණයක වේදනාවක් සහ හිස් බවක් සිය බිරිඳ තමා හැරගිය මොහොතේ ඔහුගේ හදවත තුළ ඇති විය. වේදනාව, විරහව සහ කම්පනය ඔහුව යොමු කළේ වෙනස්ම මගකට ය. වෛරයෙන් වෛරය පියවන ලෝකයක, උන්වහන්සේ තෝරා ගත්තේ බුදුන් වදාළ සංසාරික අතහැරීමේ මඟය.

“මගේ කරේ ඒ වෙනකොට පවුම් 25ක මාලයක් තිබුණා. ඇයට ඕන ඕන විදියේ රත්තරන් බඩු තිබුණා. හැම සැප සම්පතක්ම දීලත් ඇය කරපු වැඩෙත් එක්ක මට ටිකක් දරුණු කෝපයක් ආවා. තරහා වැඩිකමට මම පහුවෙනිදා නැවත කෑම්ප් එකට ගියා. ඊට පසුදා මට ඇමතුමක් ආවා ඇය ගෙදර නෑ කියලා. දරුවා නිසා මම එයාලාව ලංකාව පුරාම හෙව්වා. නමුත් මට හොයාගන්න බැරි වුණා. දවස් හතරකින් විතර මගේ හොඳම මිතුරාගෙන් ඇමතුමක් එනවා. අයියේ මට සමාවෙන්න අක්කායි දරුවායි ඉන්නේ මං ළඟ කිව්වා. මම කිව්වා ගෙදර එක්ක එන්න කියලා. නමුත් ආවේ නෑ. ඇය මගේ හොඳම යාළුවා එක්ක වෙනම ජිවිතයක් පටන් ගත්තා.”

“ඉතින් එතැනදි මට තවත් බැඳීම් ගැන කලකිරුණා. ගිහි ජීවිතේ හිටියොත් මම පිස්සෙක් වෙයි කියලා මට දැනුණා. පස්සේ මම සියල්ල අත්හරිනවා කියන තැනට ආවා. මම හොයන සැපය ගිහි ජිවිතේ නැහැ කියලා දැනුණා. ජීවිතේ කොයි තරම් අය පිරිවරාගෙන හිටියත් වැටෙන්නකෝ එක මොහොතක බලන්න. වටේ ඉන්න කිසිම කෙනෙක් බලන්නේ නෑ, ඒ වෙලාවට. මම කියන්නේ අත්දැකීමෙන්.”

උන්වහන්හසේගේ හමුදා දිවිය

වසර දහයක් මම යුද හමුදාවේ සේවය කළා. අදටත් උණ්ඩ තුනක් කකුලේ තියෙනවා

පැවිදි දිවියට

“හම්බ කරපු සියලු දේ - මිලමුදල්, වාහන, රත්තරන් බඩු, අයියාටයි අක්කාටයි දුන්නා. වාහනය හොඳ මිතුරෙක්ට දුන්නා නිකං. පොතේ රුපියලක්වත් නැති වෙන්න හිස් කරලා, මම ගියා මගේ ගුරු ස්වාමීන් වහන්සේ වන ගල්ගොමුව, ඇහැටුවැව, හුණුගල්ලෑව ඓතිහාසික ගල්ළිඳ කන්ද මණ්ඩලාරාම ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති අති පූජ්‍ය මාමුනුවේ උදිතධීර නායක ස්වාමීන්වහන්සේ මුණගැහෙන්න. මට මහණ වෙන්න ඕන කිව්වාම උන්වහන්සේ ආයෙ අමුතුවෙන් ඇයි කියලා ඇහුවේ නෑ. මොකද උන්වහන්සේ ගමේ හාමුදුරුවෝ නිසා මගේ ප්‍රශ්නය දැනන් හිටියා. මහණ කරන්නම් මාස හයක් ඉන්න වෙනවා කියලා කිව්වා. මම ගමේ දඩබ්බරයෙක්. නායක හාමුදුරුන්ටත් සමහරු කියල තිබුණා, මම මහණ වුණාට සිවුරු ඇරලා යයි, ඒ නිසා මහණ කරන්න එපා කියලා. මොන පිනක් ද දන්නෙ නෑ මට දවස් තුනෙන් පාඩම් කරන්න කියපුවා පාඩම් හිටියා. මගේ නායක හාමුදුරුවොත් පුදුම වුණා. ඒ ගාථා සසරේ හුරු පුරුදු බවක් දැනුණා. අවසානයේ දවස් තුනෙන් මාව මහණ කළා. සංසාර පුරුද්ද නැත්නම් මේව පිහිටන්නේ නෑ.”

“ගිහි ජීවිතයේ ආර්ථික පැත්තෙන් මම යන්න ඕන ඉහළම තැනට ගියපු කෙනෙක්. ඕනතරම් සත්පුරුෂයන් සහ අසත්පුරුෂයන් කියන දෙකම මම හොඳින් ඇසුරු කළා. ගිහි ජීවිතෙන් පැවිදි ජීවිතයට එනවා කියන සිතුවිල්ලවත් තිබුණෙ නැති කෙනෙක් මම. මොකද මට තිබුණු සැප සම්පත් එක්ක මම හිතන් හිටියා මම තමයි ජීවිතේ සතුටින්ම ඉන්න පුද්ගලයා කියලා. මම කඩා වැටුණු තැන තමයි මම වැඩිපුරම ආදරේ කරපු තැන අහිමිවීම. හැබැයි මම අදටත් ඒ උපාසක අම්මාට පින් දෙනවා. මොකද මේ බින්දුවේ ඉඳලා නැගිටිද්දි උපාසකම්ම තමයි මට ශක්තියක් වුණේ. ඒ පින මම හැමදාම උපාසක අම්මාට දෙනවා. මට දැන් තමයි තේරෙන්නේ ගිහි ජීවිතේ උතුරන්න මුදල් තිබුණත් ඒක සැපයක් නෙවෙයි ඒක මහා ගින්නක් කියලා.”

“මම පැවිදි දිවියට ආවට පස්සේ මගේ ගුරු ස්වාමීන්වහන්සේ මට දෙන්නේ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්න. ධාතු මන්දිරය. එතැන තමයි මගේ පැවිදි ජීවිතයේ අනිත් පැත්ත හැරන තැන. ඒ කියන්නේ පැවිදි කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගියේ මට එතැනදි. මහණ වෙලා අවුරුද්දක් යනකොට රත්නපුර මැණික්දෙණිය ශ්‍රී සුමනාරාම ආරණ්‍ය සේනාසනයේ නායක හාමුදුරුවන් විදියට මාව පත් කළා.”

“මේ මැණික්දෙණිය ගමේ ඉන්නේ පවුල් 16යි. මේ අය රබර් කිරි කපලා තේ දලු නෙළලා තමයි ජිවත් වෙන්නේ. මිනිස්සු දුක් මන්සියෙන් තමයි අපට දාන ටික දෙන්නේ. ලෝක සත්ත්වයාට ධර්මය අනුශාසනා කරලා ධර්මයෙන් පෝෂණය කරලා අපට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන සිව්පස දානයන්ගෙන් උපස්ථාන කරන දායකයන් මේ සතර අපායෙන් මුදවන්න ඕන කියන හැඟීම තමයි මට තියෙන්නේ.”

“මම පැවිදි ජිවිතේට ආවේ තවත් දේවල් අල්ලාගැනීමට නෙමෙයි. සියලු දුක්ඛයන්ගෙන් නිදහස් විම පිණිස තමයි පැවිදි වෙන්නේ. ගිහියෝ හම්බ කරනවා පවුල් නඩත්තුවට. හැබැයි පැවිදි අපි රස්සාවක් කරලා අපි මොනවා පෝෂණය කරන්න ද? අපිට දායකයෝ සියල්ල දෙද්දි අපි වැටුපක් ගොඩ ගහගෙන ආයෙත් තණ්හාවට ලෝභ වෙනවා. අද ගිහියන්ට වඩා ඇතැම් හාමුදුරුවරු තණ්හාවට දාසයෝ වෙලා. අපි තණ්හාව පොදි ගහගෙන අතාරින්න කියලා කොහොම ද ගිහියන්ට බණ කියන්නේ.”

“මම මුදල් පරිහරණය කරන්නේ නෑ. මට යන්න එන්න වාහන නෑ. සමහර වෙලාවට බෙහෙත් පෙත්තක් ගන්න මුදල් නෑ. තියෙන දෙයක් බීලා දරාගෙන ඉන්නවා. ගිහියන්ගෙන් මුදල් ඉල්ලන්න අපට අයිතියක් නෑ.”

ලෞකික ලෝකයේ මිනිසුන් සතුට සහ සැපසම්පත් පසුපස හඹා යද්දී, උන්වහන්සේ ප්‍රගුණ කළේ “දීම” යන්නයි. මේ වන විටත් සිය ශරීරයේ ප්‍රධාන අවයව තුනක්ම අන් අයගේ ජීවිත වෙනුවෙන් පරිත්‍යාග කර ඇති උන්වහන්සේ තමන්ගේ ලෙයින් පවා පරහිතකාමී බව පසක් කර දුන් අපූර්ව යතිවරයාණන් වහන්සේ නමකි. ශරීරයේ කොටස් අන් අය උදෙසා දන් දෙමින්, උන්වහන්සේ පරිත්‍යාගයේ නොමියෙන පාරමිතාව දපුරා අවසන්ය.

සිරුරේ අංග දන් දෙන්නට සිත

“මම හොඳට බුද්ධ චරිතය කියවනවා. බෝධිසත්වයෝ ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නා ඒවා පිළිබඳව ගොඩක් කියවන්න පටන් ගත්තා. ඇත්තටම උන් වහන්සේ පැවිදිවෙලා අපි වෙනුවෙන් ගොඩක් දේවල් කළා. එතකොට මට හිතුණා මම පැවිදි වෙලා මං මොනවද මේ දේ වෙනුවෙන් කරන්නේ කියලා. එතැනදි මට හිතුණා අංග දන් දෙන්න ඕන කියලා.”

“අංග දන් දෙන්න ඕන කියලා හිතනකොටම රාගම රෝහලේ වෛද්‍ය මෙරන්ති ප්‍රනාන්දු, වෛද්‍ය සුචින්ද තිලකරත්න මට සම්බන්ධ වෙනවා. මුලින්ම අක්මාව සහ පිත්තාශය දන් දෙන්නේ වාරියපොළ බමුණුකොටුව කැටපත් වෙහෙර කියන ගම්මානයේ ජීවත් වෙන සෙනුජ කියලා පුතෙකුට. ශල්‍යකර්මයට ගුරු හාමුදුරුවන්ගෙන් අවසර ලියුමක් ඕන කිව්වාම මම ගුරු හාමුදුරුවෝ ගාවට ගිහින් අවසර ලියුමක් ඉල්ලු‍වම උන්වහන්සේ ගොඩක් සංවේදී වුණා. මට උන්වහන්සේ ගොඩක් අවවාද අනුශාසනා කරා. මට මේකට අවසර දෙන්න බෑ කියලා. පෙරැත්ත කරලාම මම උන්වහන්සේගේ අවසරය ගත්තා.”

“රාගම රෝහලට ගිහිල්ලා මම වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුණා. එතැනදි පුතාගේ සියලු‍ම දේවල්වලට මගේ දේවල් එක්ක ගැළපුනා. ඒකත් සංසාරේ මොකක් හරි පිනක් කියලා මට හිතුණා. අක්මා බද්ධ කරන්න ඔක්කොම දින දා ගත්තට පස්සේ වෛද්‍යවරු කිව්වා ස්වාමීන් වහන්ස අක්මාවෙන් සියයට 65ක් මේ වෙනුවෙන් ගන්න අවශ්‍ය වෙනවා කියලා. මං කිව්වා වෛද්‍යතුමනි ඔබතුමන්ට පුළුවන් නම් මගේ මුළු අක්මාව වුණත් ගන්න මම ජීවත් වෙන්න ලෝභ කරන, ජීවිතයට ආස කරන ස්වාමීන් වහන්සේ නමක් නෙමෙයි කියලා. මගේ අක්මාවෙන් ඒ දරුවා ජීවත් වෙනවා දකින්නයි මගේ එකම ප්‍රාර්ථනය වුණේ. ඊට පස්සේ කිව්වා පිත්තාශයත් එක්කම තමයි මේක ගන්න වෙන්නේ කියලා. මං ඒකටත් කැමති වුණා.”

“සැත්කමට භාජනය කරන්න මාව අයි.සී.යූ. එකට අරගෙන ඔපරේෂන් කාමරයට අරගෙන යද්දී ඒ කණ්ඩායම ඇවිල්ලා, ඔබවහන්සේගේ ජීවිතය ගැන අපි ගොඩක් බලනවා, වැඩි අවස්ථාව දෙන්නේ ඔබ වහන්සේව ජීවත් කරවන්න කියලා කිව්වා. නමුත් මං ඒ වෙලාවෙ දි කිව්වා මගේ ජීවිතය ගැන හිතන්න එපා. දරුවාගේ ජීවිතේ ගැන බලාගන්න කියලා. ඒ සැත්කම පැය විස්සක්.”

“ශල්‍ය කර්මය කරලා කරලා දෙවැනි දවසෙම මම නැගිට්ටා. දින 18ක් පමණ රෝහලේ ඉන්න වුණා. බුදුහාමුදුරුවන්ගේ බුදුගුණ මෙනෙහි කරා. ඒක තමයි මට තිබුණ ලොකුම ආශිර්වාදය. ඒක ඉවර වෙලා අවුරුදු 2ක් විතර යද්දි ආයේම වකුගඩුවක් දන්දෙන්න ආසාවක් ඇති වෙනවා. වකුගඩුව දන් දෙන්නේ ගාල්ල තල්පේ මිහිරිපැන්න ප්‍රදේශයේ තාත්තා කෙනෙකුට. ඒ ශල්‍ය කර්මයේ දි අඟල් නවයක කැපුමක් යනවා කිව්වා. ඒ ශල්‍යකර්මයත් කරලා දවස් පහකින් විතර මම නැවත නැගිට්ටා. දැනට වකුගඩුව දන් දීලා අවුරුදු එකහමාරක් වෙනවා.”

“ලබන වසරේ දි අග්න්‍යාශයේ කොටසක් දන්දීමේ පිංකම සිදුකිරීමේ වැඩ කටයුතු දැන් කරගෙන යනවා. ඊට පසුව මගේ තවත් ආසාවක් තියෙනවා ඇසක් දන් දෙන්න. අංග දන්දීමෙන් සෞඛ්‍ය ගැටලු එනවා. ඒවාට ක්ලිනික් යනවා. අංග දන්දීම නිසා ගන්න වෙන බෙහෙත් නොවරදවාම මම ගන්නවා. ඒ බෙහෙත් අරන් දෙන්නේත් මම ජීවත්වෙන ආරණ්‍යය වටා ඉන්න පවුල් 16 දුප්පත් අම්මලා තාත්තලා ටික තමයි.”

උන්වහන්හසේ ගිහි කල

මගේ අක්මාව, පිත්තාශය, වකුගඩුව දන් දුන්නා. ඊ ළඟට අග්න්‍යාශය දන් දෙනවා

පියා යහමගට ගෙනා බුද්ධ ප්‍රත්‍රයා

පින්වත් හිමියන්ගේ කතාවේ වඩාත් සංවේදීම කාරණය වන්නේ උන්වහන්සේ ගේ පියා පිළිබඳ කතාවය. අතීතයේ දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී, පවුලටත් සමාජයටත් මහත් පීඩාවක් වූ ඒ බේබදු පියා දෙස උන්වහන්සේ බැලු‍වේ කෝපයෙන් හෝ වෛරයෙන් නෙවෙයි. තමන්වහන්සේ ලබාගත් ආධ්‍යාත්මික සුවය තමන්ගේ පියාටත් ලබාදිය යුතුයි කියන අදහසින්ය.

“මගේ තාත්තා මං දන්න දා ඉඳලා මත්පැන්වලට ලොල් වුණ කෙනෙක්. තාත්තා උදේට හිස්බඩටත් බිව්වේ අරක්කු. ඉස්සර තාත්තා බීල ඇවිල්ලා හරියට කෑ ගහනවා, දබර කරනවා. අම්මා තාත්තා නිසා හරියට වේදනා විඳපු කෙනෙක්. මම මහණ වුණාට පස්සෙත් අහල පහළ ගමේ අය මට කියන්න ගත්ත තාත්තා බීලා වැටිලා ඉන්නවා කියලා. මට හරිම වේදනාවයි.”

“පුතා මහණ වෙලා තාත්තා ගමේ බේබද්දෙක් කියන කොට මට ලැජ්ජාව, දුක, කලකිරීම කියන සියල්ලම ඇතිවුණා. මම තාත්තව මගේ ගාවට ගත්තා. අරගෙන හෙමින් ඉන්න ගමන් බුද්ධ වතාවත්වලට පුරුදු කළා. පන්සලේ ඉන්නකොට බොන්න බෑ. මම බණකට වඩිනකොට එක්ක ගෙන ගියා. අවුරුදු දෙකක් විතර යනකොට මං නිකං ඇහුවා තාත්තේ මහණ වෙන්න කැමති නැද්ද? කියලා. තාත්තා එක පාරටම මම කැමතියි හාමුදුරුවනේ කිව්වා.”

“මම ඒ වෙලාවෙම මගේ නායක හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා තාත්තා මහණ වෙන්න කැමතියි කියලා උන්වහන්සේට භාර කරා. දඹුල්ලේ මම මහණ වෙච්ච තැනටම එක්ක ගිහිල්ලා තාත්තාව මහණ කළා. මමයි තාත්තගෙ හිසකෙස් කැපුවේ, මමයි තාත්තගේ අතට පාත්තරේ දීලා සිවුර ඇන්දුවේ. සිවුර ඇඟදාගත්තාම මේ අර පැය විසිහතරම බීගෙන හිටපු තාත්තම ද කියලා පුදුම හිතුණා.”

“අද මගේ තාත්තා අපවත්වුණොත් සාධුනාද මැද්දෙ චිතකයක දැල්වෙයි. හැබැයි අර ජීවිතේ හිටියා නම් බීලා කානුවක වැටිලා මැරිලා කියලා මට ආරංචි වෙයි. මේ වෙනකොට මගේ තාත්තා ගල්හිඳකන්දේ පුඤ්ඤධීර ස්වාමින් වහන්සේ නමින් මගේ අවසාන ගෝලයා විදිහට මහණදම් පුරමින් ඉන්නවා. මගේ අම්මාවත් ලබන අවුරුද්දේ අගෝස්තු මාසේ පැවිදි කරනවා.”

“අංගුලිමාල, ආලවක වගේ යක්ෂයන් දමනය කරන්න දහමට පුළුවන්. ඕනෑම මිනිස් යක්ෂයෙක් දමනය කරන්නත් මේ දහමට පුළුවන්. ගෙවූ කමාන්ඩෝ ජිවිතේ යුද්ධයේ දී මමත් යක්ෂයෙක්. වෙච්ච දේවල් එක්ක මගේ යක්ෂයාත් දමනය කළේ දහම. මේ වෙනකොට මම බෞද්ධයා ගුවන්විදුලියේ මාධ්‍ය ජාලයේ දේශකයාණන් කෙනෙක් ලෙස ධර්ම දේශනා කරනවා. මම ධර්ම දේශනා කරන්නේ මුදල් අරගෙන නෙමෙයි. කොතැනකදීවත් මගේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය මං සල්ලිවලට විකුණන්නේ නැහැ. තව අපේ ආරණ්‍යයට ගොඩාක් එනවා මත්පැන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙච්ච දරුවෝ. මම ඒ දරුවන්ව නතර කරගෙන ජීවිතය හදාගන්න පාර පෙන්නනවා. ඒ විදියට ජීවිතය හදාගත්ත දරුවෝ දහස් ගාණක් ඉන්නවා.”

ජීවන ගමනේ දී කෙනකුට සම්මුඛ වෙන අභියෝග බුද්ධිය මෙහෙයවා අතික්‍රමණය කළ හැකි බවත්, අත්හැරීමෙන් ලැබෙන සුවයට සම අන් සුවයක් තවත් නැති බවත් - සුගතධීර ස්වාමින්වහන්සේ ස්වකීය දිවියෙන්ම නිදසුන් ඉදිරිපත් කරමින් සිය ශ්‍රාවකයන්ට තහවුරු කරති. උන්වහන්සේගේ මේ ජීවිත කතාව - සසර කතරේ අතරමං වී සිටින දහස් ගණනක් විය හැකි පාඨකයන්ට, තම ජීවිතය දෙස නව මානයකින් බලන්නට අගනා කැඩපතක් වනු ඇතිය යන්න, අපගේ විශ්වාසයයි.

 

නදීෂා අතුකෝරළ