සියලු‍ දරුවන්ගේ පළමු ලෝකය වන්නේ දෙමාපියන්ගේ උණුසුම් තුරුළයි. එහෙත් සමහර පුංචි ජීවිතවලින් ඒ තුරුළද, ඒ ආදරයද, ඒ සුරක්ෂිත බවද කාලය විසින් උදුරා ගෙන යයි. තමන්ගේම ලේ නෑයන්ගෙන් පවා ප්‍රතික්ෂේප වූ, සමාජයේ කොන්වලට තල්ලු‍ වූ එවන් දරුවන්ගේ ඇස්වල දිලිසෙන්නේ සිහිනවලට වඩා අහිමිවීම්වල සෙවණැලිය.

නමුත් ජීවිතය සදහටම අඳුරු නොවන බව ඔවුන්ට කියා දීමට ඇතැම් මිනිස්සු නිහඬවම ආලෝකයක් දල්වති. ආදරය යනු අනුකම්පාවෙන් කතා කිරීම නොව, කෙනකුගේ අත අල්ලා ඔහුට හෝ ඇයට නැඟී සිටීමට ශක්තිය ලබාදීම බව හඳපානාගල මෙත් සේවා පදනම ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ. තම රැකවරණය ලබන දරුවන්ට හඳපානාගල ලේක් බීච් රිසෝට් හි රැකියා අවස්ථා සලසා දෙමින්, ඔවුන්ට ආදායමක් පමණක් නොව, අහිමි වූ ගෞරවය, සමාජයේ පිළිගැනීම සහ ”‍මටත් ජීවිතයක් ගොඩනඟා ගත හැකිය”‍ යන විශ්වාසය නැවතත් තිළිණ කර ඇත.

එය රැකියා ලබාදීමේ වැඩසටහනක් පමණක් නොවේ; අහිමි වූ ජීවිතවලට අලු‍ත් පවුලක්, බිඳුණු සිහිනවලට අලු‍ත් පියාපත් සහ බලාපොරොත්තු නැති හෙට දවසකට අලු‍ත් අරුතක් එක් කළ නිහඬ මානුෂීය විප්ලවයකි.

”‍හඳපානාගල මෙත් සේවා පදනමේ මේ වෙද්දී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ වැඩිහිටියන් 120 දෙනෙක් රැකවරණය ලබනවා. වයස අවුරුදු තුනේ ඉඳලා අවුරුදු හැත්තෑව දක්වා ගැහැනු, පිරිමි දෙපාර්ශ්වයේම අය මෙහි ඉන්නවා. ඒ අතරින් 48 දෙනෙක් පූර්ණ ආබාධිතයි. අනිත් පිරිසෙන් සමහර අයට දෛනික වැඩ කටයුතු ස්වාධීනව කරගන්න පුළුවන්.

අපේ දරුවන් හතර දෙනෙක් මේ වෙද්දී පාසල් අධ්‍යාපනයත් ලබනවා. ඒ වගේම මෙත් සේවා පදනම තුළම අපි ඔවුන්ට විවිධ වෘත්තීය පුහුණු වැඩසටහන් ලබාදෙනවා. ඒ පුහුණුවීම් කරන අතරතුර අපිට හිතුණා, මේ දරුවන්ව ආයතනය ඇතුළට විතරක් සීමා කරලා නොතියා, සමාජයත් එක්ක එකතු වෙලා ජීවත් වෙන්න අවස්ථාවක් ලබාදෙන්න ඕනේ කියලා. ඒ අදහසත් එක්ක අපි හඳපානාගල ලේක් බීච් රිසෝට් හි කළමනාකාරීත්වය එක්ක සාකච්ඡා කළා. අපේ ඉල්ලීම ඔවුන් ඉතාමත් සතුටින් පිළිගෙන, මේ දරුවන්ට රැකියා අවස්ථා ලබාදෙන්න එකඟ වුණා. ඒ අනුව අදට මාස පහකට විතර කලින් මේ ව්‍යාපෘතිය ආරම්භ කළා. අද ඒ දරුවන් තමන්ගේ හැකියාවෙන් වැඩ කරමින්, සමාජයේ වටිනා සාමාජිකයන් ලෙස ඉදිරියට යන එක දැකීම අපිට ලොකු සතුටක්.”‍

යැයි මෙත් සේවා පදනමේ කළමනාකරු වන වී.ජී.ඩබ්ලිව්. නිරෝෂන් ඉරිදා ලංකාදීපයට පැවසීය.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ තම පවුලෙන් මෙන්ම සමාජයෙන්ද ප්‍රතික්ෂේප වූ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් තුළ තමන් පිළිබඳ අභිමානයක්, ආත්ම විශ්වාසයක් සහ සමාජයේ වටිනා සාමාජිකයකු ලෙස ජීවත් විය හැකි බව පිළිබඳ හැඟීමක් ගොඩනැඟීමය. දීර්ඝ කාලයක් ආයතනික රැකවරණය තුළ පමණක් සීමා වූ ඔවුන්ට සමාජය සමඟ ගැවසෙමින්, තම හැකියාවන් ඔප්පු කර ගැනීමට අවස්ථාවක් ලබාදීම මෙම ව්‍යාපෘතියේ සැබෑ අරුතයි.

හඳපානාගල මෙත් සේවා පදනමට ඇතුළත් වන බොහෝ දෙනා එහි පැමිණෙන්නේ තම කැමැත්තෙන් හා නිදහස් මානසිකත්වයෙන් නොවේ. ඔවුන් අතර උසාවි නියෝග මත, පොලිසිය, පරිවාස හා ළමාරක්ෂක සේවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ අනෙකුත් රාජ්‍ය ආයතන මඟින් යොමු කෙරෙන පිරිස්ද සිටිති. ඔවුන්ගේ ජීවිත කතාවල පිටු පෙරළූ විට පෙනෙන්නේ දුක, අහිමිවීම් සහ ප්‍රතික්ෂේප වීමේ අමිහිරි අත්දැකීම්ය. මෙහි වෙසෙන ඇතැම් දරුවන්ට දෙමාපියන් නොමැත; තවත් පිරිසකට දෙමාපියන් සිටියද, දරුවකුට ලැබිය යුතු සෙනෙහස, රැකවරණය සහ පිළිගැනීම ඔවුන්ට කිසිදා හිමි වී නැත.

එබැවින් සමාජයේ කොන් වූ, අමතක වූ සහ ආදරය අහිමි වූ ජීවිත රැසකට හඳපානාගල මෙත් සේවා පදනම නවාතැනක් පමණක් නොව, නැවත ජීවිතය ආරම්භ කළ හැකි පවුලක් බවට පත්ව තිබේ. මෙත් සේවා පදනමට යාබදව පිහිටි හඳපානාගල ලේක් බීච් රිසෝට් වෙත මෙම දරුවෝ සෑම උදෑසනකම පෙරවරු 9.30 ට පිටත්ව යන අතර, පස්වරු 3.30 ට නැවත පදනම වෙත පැමිණෙති. ඔවුන් කිසිවිටෙකත් තනිව සමාජයට යොමු නොකෙරේ. පදනම මඟින් පත්කරන ලද උපදේශිකාවන් එක් අයකු හෝ දෙදෙනකුගේ පූර්ණ අධීක්ෂණය යටතේම ඔවුහු සිය රාජකාරි ඉටු කරති.

රිසෝට්හි විවිධ සේවා අංශවල කාර්යයන් දිනෙන් දින මාරුවෙන් මාරුවට ඔවුන් වෙත පැවරෙන අතර, එමඟින් එක් එක් අයගේ හැකියාවන් වර්ධනය කිරීමටත්, නව අත්දැකීම් ලබාදීමටත් අවස්ථාව සලසා දී ඇත. මේ සඳහා එක්ව සිටින කණ්ඩායමට වයස අවුරුදු දහඅට ඉක්මවූ තරුණියන් අටදෙනකු සහ තරුණයන් පස්දෙනෙක් අයත් වෙති. ඔවුන්ගේ මුහුණුවල අද දක්නට ලැබෙන්නේ අතීතයේ වේදනාව නොව, තමන්ටත් ජීවිතය ජයගත හැකි බව විශ්වාස කරන නිහඬ සිනහවකි.

මෙම නව පරිසරය සහ රැකියා අත්දැකීම ඔවුන්ට මුල් අවධියේදී නුහුරු ලෝකයක් විය. දීර්ඝ කාලයක් ආයතනික රැකවරණය තුළ පමණක් ජීවත් වූ ඔවුන්ට හෝටල් පරිසරයේ වගකීම් සහිත රාජකාරියකට හුරු වීම පහසු කාර්යයක් නොවීය. එහෙත් ඔවුන්ට බලපෑමකින් තොරව, සෙමින් හා ආදරයෙන් එම පරිසරයට හුරු කරවීම සඳහා මෙත් සේවා පදනමේ කළමනාකාරීත්වය අපූරු ක්‍රමවේදයක් අනුගමනය කළේය.

ඒ අනුව, හෝටලයේ නිල ඇඳුමෙන් සැරසුණු ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙක් මුලින්ම අදාළ රාජකාරි තමන් විසින්ම සිදු කරමින්, කළ යුතු කාර්යයන් පිළිබඳව ඔවුන්ට ප්‍රායෝගිකව පෙන්වා දුන්හ. මුල් දින කිහිපය තුළ මෙම තරුණ තරුණියන් කළේ නිලධාරීන්ගේ කාර්යයන් නිහඬව නිරීක්ෂණය කිරීම පමණි. එහෙත් දිනෙන් දින ඔවුන්ගේ බිය පහව ගියේය; අලු‍ත් පරිසරය පිළිබඳ ඇති වූ සැකය වෙනුවට විශ්වාසය වර්ධනය විය.

කෙටි කාලයකින් පසු ඔවුහු නිලධාරීන්ගේ කාර්යයන්ට අතහිත දෙන්නට පටන් ගත්හ. එතැන් සිට හෝටලයේ සේවා කටයුතු නිලධාරීන් සහ මෙම විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් එක්ව කණ්ඩායමක් ලෙස ඉටු කළහ. ඔවුන්ගේ හැකියාවන් සහ ආත්ම විශ්වාසය ක්‍රමයෙන් වර්ධනය වන බව දුටු පදනමේ කළමනාකාරීත්වය, හෝටලයේ සේවයේ නිරත නිලධාරීන්ගේ මැදිහත්වීම සෙමින් සෙමින් අඩු කරමින්, වැඩි වගකීම් සහ වැඩි ඉඩකඩක් මෙම පිරිසට ලබා දුන්නේය.

ඒ විශ්වාසය ඔවුන් අපේක්ෂා කළ ආකාරයෙන්ම මල්ඵල ගැන්විණි. දිනෙන් දින ඔවුන් රාජකාරිවලට හුරුවෙමින්, තමන්ට පැවරෙන වගකීම් නිසි ලෙස ඉටු කළ අතර, අනුකම්පාවෙන් ඔබ්බට ගිය සැබෑ හැකියාවෙන් තම ස්ථානය සමාජය තුළ දිනාගත හැකි බව නිහඬව ඔප්පු කළහ.

”‍අපි ඉදිරිපත් කළ මේ යෝජනාවට හඳපානාගල ලේක් බීච් රිසෝට් එකේ කළමනාකාරීත්වය ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා. අපේ දරුවන් වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබාදෙමින් මේ වැඩසටහන ආරම්භ කරන්න කැමැත්ත පළ කළා. ඒ අවස්ථාව ලබා දුන්න එක ගැන අපි ඔවුන්ට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා.

අපි මේ දරුවන්ව සේවයට පාරිභෝගිකයන් අඩු දවස්වලයි. හෝටලේ පරිසරය, වැඩ කරන විදිහ, අලු‍ත් අය එක්ක ගනුදෙනු කරන එක මේ දරුවන්ට සම්පූර්ණයෙන්ම අලු‍ත් අත්දැකීමක්. ඒ නිසා මුල් සති දෙක තුනම අපි ඔවුන්ට හෝටලේ පරිසරයට හුරු වෙන්න කාලය දුන්නා; වටපිටාව දකින්න, වැඩ කරන හැටි නිරීක්ෂණය කරන්න, නිදහසේ ඒ අත්දැකීම විඳින්න අවස්ථාව ලබා දුන්නා. හැබැයි අද වෙද්දී තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. උදේ අපිටත් කලින් මේ දරුවන් සේවයට යන්න ලෑස්ති වෙනවා. හරිම උද්‌යෝගයෙන්, සතුටින් තමයි ඒ අය හෝටලේට යන්නේ. ඒ වෙනස දකිනකොට අපිටත් ලොකු සතුටක් දැනෙනවා.

ලේක් බීච් රිසෝට් එකට එන පාරිභෝගිකයන්ගෙනුත් අපිට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔවුන් මේ දරුවන් දිරිගන්වනවා, අගය කරනවා. ඒක මේ දරුවන්ගේ ආත්ම විශ්වාසය තවත් වැඩි වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා.

මෙත් සේවා පදනමේ විවිධ මට්ටමේ විශේෂ අවශ්‍යතා සහිත සහ ආබාධිත පුද්ගලයන් ඉන්නවා. ඒ අතරින් උපදෙස් තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන් අය තමයි අපි මේ වැඩසටහනට තෝරාගන්නේ. මේ සේවයට ඔවුන්ට වැටුපක් ගෙවන්නෙ නැහැ. හැබැයි මුදලකට වඩා වටිනා අත්දැකීමක්, සමාජයේ පිළිගැනීමක් සහ තමන්ටත් වැඩක් කරන්න පුළුවන් කියන විශ්වාසය ඔවුන්ට ලැබෙනවා. ඒක තමයි අපිට වටින්නේ. ඒ වගේම සමහර පාරිභෝගිකයන් කැමැත්තෙන්ම දෙන ‘ටිප්‘ මුදල් එකතු කරලා දවස අවසානයේදී අපි මේ දරුවන්ට චොකලට් එකක්, අයිස්ක්‍රීම් එකක් වගේ එයාලා කැමති පුංචි තෑග්ගක් අරගෙන දෙනවා. ඇත්තටම දරුවන්ට සල්ලි කොළයකට වඩා එයාලා ආස කරන පුංචි දෙයක් ලැබෙන එක තමයි ලොකුම සතුට. ඒ වෙලාවේ ඒ මුහුණුවල පේන සතුට තමයි අපිට ලැබෙන ලොකුම තෑග්ග.”‍

යැයි මෙත් සේවා පදනමේ කළමනාකරු වන වී.ජී.ඩබ්ලිව්. නිරෝෂන් ඉරිදා ලංකාදීපයට පැවසීය.

”‍මෙත් සේවා පදනමෙන් ඔවුන්ගේ පිරිසකට අපේ රිසෝට් එකේ සේවය කරන්න අවස්ථාවක් ලබාදෙන්න පුළුවන්ද කියලා අපිට ඉල්ලීමක් කළා. අපි ඒ අවස්ථාව ඔවුන්ට ලබා දුන්නා. ඊට පෙර අපේ ආයතනයේ කරන්න තියෙන කාර්යයන් ගැන අවශ්‍ය පුහුණුවත් අපි ඔවුන්ට ලබා දුන්නා. අදටත් අපි ඔවුන්ගේ සේවාව ලබාගන්නේ රිසෝට් එක වැඩිය කාර්යබහුල නොවන වේලාවන්වලයි. පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණෙන අවස්ථාවలలోදී තවමත් ඔවුන්ව සේවයට යොදවන්නේ නැහැ.

මුල් කාලයේදී මේ හැම කටයුත්තක්ම සිදුවුණේ මෙත් සේවා පදනමේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන්. අදටත් ඔවුන්ගේ උපදේශිකාවන්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ කටයුතු සිදුවෙන්නේ. තේ පිළියෙළ කිරීම, අතුපතු ගෑම මෙන්ම කාමර පිරිසිදු කිරීම ඇතුළු හෝටලයේ විවිධ සේවා කටයුතුත් අපි ඔවුන්ට පුහුණු කරලා තියෙනවා. මේ ගැන ශ්‍රී ලාංකික අමුත්තන්ගෙනුත් අපිට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. විදේශීය අමුත්තන් පැමිණි විටත් මේ වැඩසටහන ගැන අපි ඔවුන්ව දැනුවත් කරනවා. ඊට පස්සේ ඔවුන්ගේ කැමැත්ත අනුව මොවුන්ගේ සේවාව ලබාදෙන්න අපි කටයුතු කරනවා. බොහෝ දෙනෙක් මේ වැඩසටහන අගය කරනවා වගේම මේ දරුවන්ව දිරිමත් කරන්නත් අමතක කරන්නේ නැහැ.”‍

යැයි ලේක් බීච් රිසෝට් හි කළමනාකරු ඉන්දික සඳකැළුම් ඉරිදා ලංකාදීපයට පැවසීය.

සමාජය බොහෝ විට ඔවුන්ගේ ආබාධය දුටුවද, හඳපානාගල මෙත් සේවා පදනම සහ හඳපානාගල ලේක් බීච් රිසෝට් දුටුවේ ඔවුන්ගේ හැකියාවයි. ආදරය, විශ්වාසය සහ අවස්ථාවක් ලැබුණු විට, කොන් වූ ජීවිත පවා ආත්මගෞරවයෙන් යුත් හෙට දවසක් ගොඩනඟා ගත හැකි බව මේ අපූරු මානුෂීය සත්කාරය නිහඬවම සමාජයට කියා දෙයි.

දිශානි ජයමාලි කරුණාරත්න